Sunday, November 8, 2009

මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ

නිදහසේ වේදිකාව සිවිල් සමාජ සංවිධාන සහ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ යන දෙකොට්ඨාශයේම දායකත්වයෙන් ගොඩනැඟෙන්නේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබූ අවස්ථාවකය. වසරකටත් අඩු නිදහසේ වේදිකාවේ අතීතය තුළ ප‍්‍රාදේශීය වශයෙන් සාකච්ඡා විශාල සංඛ්‍යාවක් පවත්වමින් පස්වැදෑරුම් වැඩපිළිවෙළක් සමාජගත කිරීමට උත්සාහ දරන ලදී. මෙම සාකච්ඡා සඳහා සිවිල් සමාජ සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වෙයි.
ඔක්තෝමබර් 18 වෙනිදා මාතර සර්වෝදය ශාලාවේදී පැවති දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවේදී සිවිල් සංවිධාන නියෝජනය කරමින් නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන අදහස දැක්වූ අතර දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක්වූයේ දකුණු පළාත් සභා විපක්ෂ නායක බුද්ධික පතිරණ මහතාය. තරුණ දේශපාලකයෙකු වශයෙන් බුද්ධික නිදහසේ වේදිකාව පිළිබඳ ඉදිරිපත් කළ විග‍්‍රහය මේ පිළිබඳ ආරම්භ කළ සංවාදය ඉදිරියට ගෙන යාමට දායක වනු ඇතැයි සිතන අපි ඔහුගේ අදහස් වලින් තෝරා ගත් කොටසක් මෙවර ‘සමබිම’ පාඨකයන් සමඟ බෙදා ගැනීමට අදහස් කළෙමු.






දකුණු පළාත් සභා විපක්ෂ නායක
බුද්ධික පතිරණ

මගේ මේ කතාව ආරම්භ වෙන්නෙ 1990 දශකයේ මුල් කාර්තුවෙන්. මට මතකයි ඒ වකවානුවෙත් අද ඇතිවෙලා තියෙනවා වගේම ලොකු සංවාදයක් රට පුරා ඇති වුණා. ඒත් එදා ඒ සංවාදය තුළ මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් එදා පේ‍්‍රමදාස රජය ක‍්‍රියාත්මක කරපු ප‍්‍රමුඛ සුබ සාධන ව්‍යාපාරයන් ඇගයීමකට ලක්වුණේ නැහැ. එදා කතාවුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ගැන.හැබැයි සාම්ප‍්‍රදායික එක්සත් ජාතික පාක්‍ෂිකයෝ මේ සංවාදයෙන් පිටතයි හිටියෙ.

එහෙමනම් කවුද එදා ඒ සංවාදයට මුලපිරුවේ? එදා තිබූ සිවිල් සහ බහුජන සංවිධාන. නමුත් මම කරපු අධ්‍යනයන්ට අනුව එදා සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන ගෙනගිය වැඩ පිළිවෙළ ඒ මොහොතේදී ජනතාව අතර බරපතල සාකච්ඡාවකට ලක් වුණේ නැහැ.

1992 විතර වෙනකොට එක්සත් ජාතික පක්‍ෂය ඇතුළෙ බරපතල පිපිරීමක් ඇතිවෙනවා. ඒ පිපිරීමේ ප‍්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතික පක්‍ෂය තුළ ගොඩනැගිලා තිබුණ ශක්තිමත් සංවිධාන ජාලයේ යම් අර්බුදයක් ඇති වෙනවා. ඒ අර්බුදය තුළ ලලිත්, ගාමිණි, පේ‍්‍රමචන්ද්‍ර කණ්ඩායම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වෙනවා. ඒ ඉවත්වෙන මොහොත වෙනකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් නිද්‍රාශීලි තත්ත්වයකට පත්වෙලා තිබුණේ.

ඒ තත්වය තුළ මේ රටේ නැවත දේශපාලන උද්දීපනයක් ඇති කරන්න එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වුණ ලලිත් ගාමිණී කණ්ඩායම් එකතු වුණා. ඉන්පසු ඔවුන් විසින් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය ආරම්භ කර ඒකට නායකත්වය දීලා අවසානයේදී ඉතා කණගාටුදායක ලෙස දේශපාලනයෙන් සහ ජීවිතයෙන් සමුගැනීම තුළ චන්ද්‍රිකා කුමාරතුංග එහි ප‍්‍රතිඵල නෙළනවා. සටන ආරම්භ කළේ චන්ද්‍රිකා නොවුණට ප‍්‍රතිඵල නෙළලා ආණ්ඩුවක් හදලා අවසානේදී ඒකට පාර හදල දීපු අර සිවිල් සංවිධාන ජාලය තුළ සිටි සියළු ක‍්‍රියාකාරීන්ට නිර්දය ආකාරයට පහර දීල මේ රටේ දේශපාලන ගමන් මඟ වෙනස්ම දිශාවකට තල්ලූ කරල දාන්න ඒ ආණ්ඩුවට පුළුවන් වෙනවා.

මම හිතනවා අදත් නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතිහාසය නැවතත් පුනරුච්චාරණය වෙන එවැනිම තත්ත්වයක්. අවසානෙදි සිවිල් සංවිධාන මේ අරගලයේ පෙරටුගාමී බලය විදිහට නැත්නම් අරගලයේ ගිණිපුපුර බවට පත්වුණාට ඒකෙ ප‍්‍රතිලාභ ලබන්නේ වෙනත් කණ්ඩායමක්.

නමුත් මෙදා නිදහසේ වේදිකාවේ මම සාධනීය තත්ත්වයක් දකිනවා. ඒ කාරණා දෙකක් නිසා. මම මේ අරගලය සමඟ එකතු වෙන්නෙත් ඒ කාරණා දෙක නිසා. එකක් තමයි මෙදා සිවිල් සංවිධාන ජාලය සහ දේශපාලන සංවිධාන ජාලය කියන දෙක එකිනෙකට සමාන්තර පීලි දෙකක ගමන් නොකර එකට බද්ධවෙලා තිබීම. මම විශ්වාස කරනවා මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ කියලා. එහෙම වෙන්න හේතුව දේශපාලන සමාජය නැත්නම් දේශපාලන තලය තාමත් මේ රටේ අති බහුතරයක් පිරිස වන්දනීයව සලකන නිසා. ඒ නිසා දේශපාලනඥයාට පුළුවන් වෙලා තියෙනවා ඕනතරම් පිස්සු කෙලින්න. මොන පිස්සුව නැටුවත් ඒ පිස්සු දේශපාලඥයින්ව මනාප ලැයිස්තුවේ උඩින්ම ගෙනල්ල තියලා ඒ ව්‍යුහයට වන්දනාමාන කරන බහුතරයක් තමයි අද දේශපාලන ව්‍යාපාරය තුළ ඉන්නේ. නමුත් එහෙම අය වීර චරිත බවට පත්වෙන අතරම ඔවුන්ට දේශපාලන වේදිකාවෙන් එළියේ ලොකු චියර් එකක් ලැබෙන්නේ මෙන්න මේ සන්දර්භය තුළ. මට ඒක දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මමත් සිවිල් ව්‍යාපාරය තුළ කටයුතු කරලා දේශපාලනයට ආපු නිසා.

මම මේ අරගලය එක්ක එකතුවෙන දෙවෙනි කාරණය තමයි නිදහසේ වේදිකාව ප‍්‍රකාශයට පත් කරලා තියෙන පංචවිධ මූලධර්ම. 1990 දශකයේ සිවිල් ව්‍යාපාරය හා දේශපාලන ව්‍යාපාරය එකට එකතුවෙලා කතා කරන්නෙ සීමිත කාරණා කිහිපයක් වෙනුවෙන් පමණයි. නමුත් මෙදා දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික හැම කාරණයක් පිළිබඳවම මේ පංචවිධ මූලධර්මය තුළ ඇතුළත්. කොටින්ම ඊළගට පත්වෙන ආණ්ඩුවට රටක් ගෙනියන්න අවශ්‍ය සමස්ත ව්‍යුහයම මේ තුළ අන්තර්ගත වී තියෙනවා. 1977 දී ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හදුන්වාදෙන වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමය තුළ එක්සත් ජාතික පක්‍ෂයටත් බැරිවෙනවා ඒක ව්‍යුහය තුළට ගෙනාවට මනුස්සයන්ගේ සිතුවිලි තුළට ගේන්න. ඒ නිසයි අදටත් තාත්තෙක් අම්මෙක් හිතන්නේ තමන්ගෙ කොල්ලා පෙන්ෂන් පඩිකාරයෙක් බවට පත්කරන්න ඕන කියලා. තමන්ගෙ කෙල්ල පෙන්ෂන් පඩිකාරයෙකුට කසාද බන්දලා දෙන්න ඕන කියලා. අදටත් මේ වෙළෙඳපොළ අර්ථක‍්‍රමය යටතේ ඇතිවෙලා තියෙන පෞද්ගලික අංශයේ රැකියාවලට යවනවාට වඩා හැම අම්මෙක්ම තාත්තෙක්ම කැමති තමන්ගෙ ළමයා කොහොමහරි රජයේ සේවකයෙක් බවට පත්කරන්න. ඒක තමයි ඇත්ත කථාව. වෙළෙඳපොළ අර්ථක‍්‍රමය සමාජගත කරලා අවුරුදු තිස් දෙකක් ගතවෙලා තිබුණත් මිනිස්සුන්ගේ සිතුවිලි තියෙන්නේ ඊට වෙනස් පැත්තක. ඒ නිසා මම හිතනවා මේ පංචවිධ මූලධර්මයන් තුළ අපට මඟ හැරුණ සියළු කාරණා තියෙනවා කියලා.

අපි කාටත් පේන දෙයක් තමයි ප‍්‍රබලම විපක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය. ඒ වගේම මේ මොහොත වෙන කොට තවත් දේශපාලන පක්‍ෂ ගණනාවකුත් නිදහසේ වේදිකාවට එකතුවෙලා තියෙනවා. ඒ වගේම සිවිල් සංවිධානත් විශාල සංඛ්‍යාවක් එකතුවෙලා තියෙනවා. මේ කාරණයේදී අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ක්‍රෙඩිබිලිටි (විශ්වාසනීයත්වයක්) එකක් ඇති කරගන්න එක.

අද මේ මොහොත වෙනකොට මහින්ද රාජපක්‍ෂ පිළිබඳ බරපතල ප‍්‍රශ්න තියෙන අය තමයි බහුතරයක් ඉන්නේ. ඒත් ඒක නෙවෙයි ප‍්‍රකාශ වෙන්නේ. ඇයි ඒ බව ප‍්‍රකාශ වෙන්නෙ නැත්තෙ? මරණ බය නිසා. ඒක මාධ්‍යකරුවාගේ සිට සියළු දෙනාට තියෙනවා.මාධ්‍යකරුවාට අද තමන්ගෙ මතය ප‍්‍රකාශකරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අද මේ භීෂණය වෙන්නෙ බොහොම සුමට විදිහට. ඒ වගේම හරිම ප්‍රොෆෙෂනල්.

ඒ නිසයි අපිට නැවතත් සැබෑ ජනතා අරගලයක් අවශ්‍ය. එතනදි අපිට තියෙන ලොකුම අභියෝගය මේ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්‍ෂය ඉන්නෙ ඇයි කියන කාරණය ජනතාවට අවබෝධ කර දීමයි. එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන ව්‍යුහයක් විදිහට නැත්නම් දේශපාලන පක්‍ෂයක් විදිහට නිදහසේ වේදිකාව සමග ඉන්න කාරණය පිළිබඳ ප‍්‍රබල මතයක් සමාජගත කරන්න ඕන. එතනදී ඉතාම වැදගත් කාරණය තමයි මේ ක‍්‍රියාකාරීත්වයට යූ.එන්.පී ලේබලය ඇලවීමට සමහරු දරන උත්සාහය නැති කිරීම.

ඊළඟ කාරණය මේ එකතු වී සිටින අති බහුතරයක් නියෝජනය කරන සමාජ පන්තීන් සහ ජනතාව මේකට බද්ධ කරගන්න පුළුවන් විදිහට අපේ යටිතලය සකස් කරගන්න ඕන. ඒ සඳහා ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීමට මහජනයාගේ අදහස් ලබා දීම වැදගත්. අපි ක‍්‍රම උපායන් නිර්මාණය කරගෙන අවසානයේදී ඒවා ක‍්‍රියාකාරකම් බවට පත්කරගෙන ඒ කි‍්‍රයාකාරකම් ටික නිර්මාණයකට හරවා ගැනීම වැදගත්. නැත්නම් මේක යූ.එන්.පී වැඩක්, රජය දිනාගත්ත යුද ජයග‍්‍රහණ කණපිට හැරවීමේ ජාත්‍යන්තර සංවිධානවල කුමන්ත‍්‍රණයක්, මේක පිටිපස්සේ ඉන්නෙ ජාත්‍යන්තර බලවේගවල ඩොලර් පොම්ප කරන මැෂින් කියන චෝදනා තමයි හෙට දවසේ මේ ජනතා අරගලයට එල්ල වෙන්නේ. ඒ චෝදනා නිශේධනය කිරීමට, අපිට විරුද්ධව ගහන තුරුම්පු ගැන අපි ලියන්න ඕන. කථා කරන්න ඕන. ඒ තුරුම්පු වලට විසඳුම් හොයන ගමන්ම අපට ආවේණික අපේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන.නිදහසේ වේදිකාවේ පංචවිධ මූලධර්මවල තියෙන පළවෙනි කාරණාව ජනවාර්ගික සුහදතාවය ආරක්‍ෂාකිරීම. ඒ කාරණය අංක එකට ගත්ත එක ඉතා වැදගත්.

නිදහසේ වේදිකාවේ පංචවිධ මූලධර්ම මතුකරන කාරණා වහාම කි‍්‍රයාත්මක වුණේ නැත්නම් හෙට දවසේ එල්.ටී.ටී.ඊ නම නැතත් වෙන නමකින් හරි උතුරේ නැවතත් යුද කැරලි ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දකුණෙත් විජේවීර මොඩල් මතවාදය වෙනස් කරන්න පුළුවන් නායකයෙක් මතුවෙලා ආපහු කැරැල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ.

මොකද ආපහු සැරයක් එවැනි සටන්කාමී නායකත්වයකට ජනතාව ආකර්ෂණය කරගන්න පුළුවන් අර කැරස්මැටික් ලීඩර්ෂිප් කියන එකක් ඇති වුණොත් දකුණේ තාරුණ්‍යය ආකර්ෂණය කරගන්න පුළුවන් අසහාය නායකයා නිර්මාණය වුවහොත් ඔහු මාක්ස්වාදීද ධනේෂ්වරද කියන සාධකය වැදගත් වෙන්නේ නැහැ. හෙට දවසේ ධනේෂ්වර දේශපාලන පක්ෂයක් තුළ වුණත් තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කළහැකි, තරුණයින් බහුතරයක් පිළිගන්න නායකයෙකුට දකුණේ ධනේෂ්වර කැරැල්ලක් ඇති කරන්න පුළුවන්.

තවත් වැදගත් කාරණයක් විදිහට මම දේශපාලන අධ්‍යාපනය කියන කාරණය මේකට එකතු කරනවා. අද තාත්තා යු.ඇන්.පී හින්දා දරුවො යු.ඇන්.පී වෙලා නැත්නම් තාත්තා ශ‍්‍රී ලංකා හින්දා දරුවො ශ‍්‍රී ලංකා වෙන ප‍්‍රමාණය අඩුයි. හැබැයි තාමත් ජේ.වී.පී එකේ දේශපාලන අධ්‍යාපන වැඩ පිළිවෙළක් තියෙනවා. ඒත් ජේ.වී.පී එකේ දේශපාලන අධ්‍යාපන වැඩසටහන යන්නේ එක්තරා කොටුකරපු සීමාවක් තුළ. මේ වෙන කොට දේශපාලනය උගන්වන්න තිබුණ ඇකඩමි ඔක්කොම ෆේල් වෙලා තියෙන්නේ. ඒ ඇකඩමි වලට මේ රටේ වෙළෙඳපොළ අර්ථක‍්‍රමය පදනම් කරගත්ත දේශපාලන අධ්‍යාපනය කියන දේ උගන්වන්න බැහැ කියලා ඔප්පු කරලා තියෙනවා.

ඒ නිසා දේශපාලන අධ්‍යාපනය කියන එක හරි වැදගත්. ඒක මේ පංචවිධ මූලධර්මයන් තුළින් හොඳටම කරන්න පුළුවන්. මම කොච්චර පාරවල් හැදුවත් වැඩක් තියනවද ගමට එන ඒ පාරෙ තියන බෝක්කුව කඩන බූරුවො ටිකක් නම් ගමේ ඉන්නේ. මම හදන පාරේ එන බස් එකට ගිනි තියන අමන රැලක් නම් ඒ ගමේ ඇති කරලා තියෙන්නෙ. මම දෙන ට‍්‍රාන්ස්පෝමර් එකට ගිනිතියන තිරිසන්නු නම් ගමේ ඉන්නේ. මේක හරි භයානක තත්ත්වයක්.

ඒ නිසා දේශපාලන අධ්‍යාපනය ජනතාවට ලබා දීම ඉතා වැදගත්. මේ භයානක තත්ත්වය දේශපාලඥයින්ට තේරෙන්නෙ නැහැ. මම හිතනවා අද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අර්බුදයකට ගිහිල්ලා. තාරුණ්‍යය අර්බුදයකට ගිහිල්ලා. අධ්‍යාපනය, සෞඛ්‍ය අර්බුදයකට ගිහිල්ලා. සමස්ථයක් විදිහට මුළු ව්‍යුහයම අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. අපි හැකි ඉක්මනින් සමාජ වෙනසක් ඇති කිරීමේ බලවේගයක් ගොඩ නැඟීම අවශ්‍යයි.

Back to Platform
Back to Samabima
View pdf

No comments:

Post a Comment