විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ
අනුරාධපුරයේදී
අද දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ගණනාවක් එක වේදිකාවක ඉන්නවා. මේ සියළු දෙනාම එකම වේදිකාවට ගොඩ වෙන එකම අවස්ථාව මෙයයි. නිදහසේ වේදිකාව ගොඩනැඟිල තියෙන්නෙ ජනතාවගේ මූලික නිදහස ආරක්ෂා කරන්නයි. අපි හැමදෙනාටම අපේ මතයන් ගැන වාද විවාද කරන්න, අදහස් පළ කරන්න, ඡන්දය ඉල්ලන්න නිදහස තියෙන්න ඕන. ඔබේ ඒ නිදහස නැති කරන්නයි අද නිදහස් මාධ්‍ය මර්දනය කරල තියෙන්නෙ. ලෝකෙ දරුණුම විදිහට මාධ්‍ය මර්දනය කරන රටවල් පහෙන් එකක් ලංකාව. දැන් මාධ්‍යවේදීන් තිහක් මරල දාලා. පනහක් හැටක් රටින් පිටවෙලා එන්න බැරුව ඉන්නවා. සමහරු තම වෘත්තියෙන් ඈත්වෙලා. තවත් සමහරු කට වහගෙන ඉන්නවා. ඒ අතර සුළු පිරිසක් හීලෑ වෙලා ඉන්නවා. එවැනි අවස්ථාවකයි අපි ඔක්කොම මෙහෙම එකතු වෙලා ඉන්නෙ. දෙමළ මිනිස්සුන්ව මරනකොට මුන් ඔක්කොම කොටි කියනවා. ඊට පස්සෙ සිංහල අය මරන කොට ඒ විරුද්ධවාදීන් කියනවා. මං අහන්න කැමතියි කීත් නොයාර්, ලලිත් අලහකෝන්, උපාලි තෙන්නකෝන් වගේ මාධ්‍යවේදීන් කොටි සංවිධානයේ අයද කියලා. එදා හුඟක් අය කිව්වා කොටි නැති කළ යුතුයි කියල. ඒක ගැන වාදයක් නැහැ. ඒකට අපි සහයෝගය දෙනවා. ඒත් එහෙම කරන කොට මානව නිදහස ආරක්ෂා විය යුතුයි. යුද්ධෙ තියෙන කොට ඒක පිටින් දාල මාධ්‍ය මර්දනය කළා. මේ වෙනකොට කොටි සංවිධානය මර්දනය කරලා මාස හතරක් ගත වෙලා. ඒත් මර්දනය වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. මාධ්‍ය මර්දනය කරන්න කොටි සංවිධානය පලිහක් කරගෙන. පාලකයා පාලනය කරන්නත්, පාලකයා තෝරා ගන්නත් මහජනයාට තියෙන නිදහස පාලනය කිරීමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ. අද මහජන මතය ගොඩ නඟන කෙටිම මාර්ගය මාධ්‍යය. මහින්ද මාධ්‍යවේදීන් බය කරලා රටේ ප‍්‍රශ්න, දූෂණය, භීෂණය, නාස්තිය, එක පවුලක පාලනය ඇතුළු හැමදේ ගැනම මහජන මතය ඉදිරියට ඒම වළක්වලා. ඒ කියන්නෙ පාලකයා පාලනය කිරීමේ අයිතිය පාලනය කරලා. ඒ නිසා ජනතාවගේ දුක කියන්න මාධ්‍ය බයයි. මාධ්‍යවේදීන් අපිට කියනවා ඇත්ත ලිව්වොත් අපි මැරෙනවා, බොරුව ලිව්වොත් වෘත්තිය පාවා දෙනවා කියලා.ඒ නිසා ස්වයංවාරණයක් ඇතිවෙලා. පාලකයා පාලනය කිරීමේ අයිතිය ඉවත් කළාට පසු ජනතාවට අවශ්‍ය නම් වෙනත් පාලකයෙක් තෝරා ගැනීමට තියෙන අයිතියත් නැති කරන්න ස්වාධීන මැතිවරණ කොමිසම පත් නොකර ඉන්නවා. මේ ගහන්නෙ ජනතාවටයි. ජනාධිපති කියන්නෙ තමන් ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න ලැහැස්ති නැහැ, ජනතාව එක්ක ඉන්න ලැහැස්තිත් නැහැ, ඒ වුණාට ජනතාව ඔහු එක්ක ඉන්න ඕන කියලයි. මේක තමයි ඔහුගේ පාලනය. මේක රජ පාලනයේ කොටසක් මිස ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් නෙවෙයි. අද මේ රටේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ජීවන වියදම, සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුළු බොහෝ ක්ෂේත‍්‍රවල මොන තරම් ප‍්‍රශ්න තියෙනවා ද ? ඒවා ගැන මාධ්‍ය කතා කරනවාද ? මම කියන්නෙ නැහැ නිකං ගිහින් ජනාධිපතිට බනින්න කියලා. මම මාධ්‍යයට දොස් කියන්නෙ නැහැ. මට බැහැ ඔවුන්ගෙ ජීවිත ආරක්ෂා කරල දෙන්න. පුවත්පත් කර්තෘවරයෙකුගේ හෝ රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති කියවන අයගේ අයිතිය නෙවෙයි මේ නැති වෙන්නේ, ඔබේ නිදහසයි. ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ මාධ්‍ය නිදහස ඕන කියල මුලින්ම පාරට බැස්සෙ මහින්ද. මම අගමැති වුණාම මාධ්‍යයට බලපාන නීති ගණනාවක් නැති කළා. එකක් තමයි පුවත්පත් මණ්ඩලය. මම ඒක පත්කළේ නැහැ. ඒ වෙනුවට පුවත්පත් පැමිණිලි මණ්ඩලයක් ඇති කළා. ඒකෙන් පැමිණිලි අටසීයක්, නවසීයක් විතර විභාග කළා. දැන් ආපහු පුවත්පත් මණ්ඩලය පත් කරලා. එදා මා එක්ක එකඟ වුණ සමහර මාධ්‍යවේදීන් අද මේක සාධාරණීයකරණය කරනවා. මේ පුවත්පත් මණ්ඩලය සම්මත කර ගත්තෙ කොහොමද කියල කවුරුවත් හරියට දන්නෙ නැහැ. ඇහුවම නොයෙක් කතන්දර කියනවා. ඒක කරපු මණ්ඩලයක්, කමිටුවක්, වාර්තාවක් නැහැ.අද මාධ්‍යවේදීන් ට තර්ජන එනකොට ඉදිරිපත් වෙලා උදව් කළ ආචාර්ය සරවනමුත්තුගේ ගෙදරට මුද්දරයක් ඇලවූ ලියුමක් එනවා ‘උඹ මරනවා’ කියල. කාටද මේ රටේ මිනිස්සු මරන්න පුළුවන් ? ආණ්ඩුවට විතරයි. මම දන්නෙ නැහැ ඇයි මේ ලියුම රජයේ මුද්‍රණයක් විදිහටම එව්වෙ නැත්තෙ කියල. එහෙම වුණා නම් මුද්දර ගාස්තුවත් ඉතිරියි.1973 බණ්ඩාරනායක මැතිනිය ස්වාධීන පුවත්පත් වහල දාල අත්පත් කරගත්තා. නැවත ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් ඒ වෙනුවෙන් අපි උද්ඝෝෂණය කළා. කටින් කට ප‍්‍රචාරය යැවුවා. ආණ්ඩුවකට පාලනය කළ නොහැකි එකම මාධ්‍ය තමයි ‘කට මාධ්‍යය’. මොන මාධ්‍ය පාලනය කළත් ගෙදර තියෙන කට මාධ්‍ය කෝටි දෙකක් පාලනය කරන්න ආණ්ඩුවකට බැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවන වියදම ගැන කියන්න අපි මේ මාධ්‍ය භාවිතා කරමු. පාලකයා පාලනය කරන්න අපිට තාම පුළුවන්. ඒ වෙනුවෙන් ඕනම සංවිධානයක්, පක්ෂයක් එක්ක අපි කටයුතු කරනවා. මේ නිදහස ලබා ගන්න අපේ කට මාධ්‍ය භාවිතා කර උද්ඝෝෂණය කරමු කියා මම ඉල්ලා සිටිනවා.
No comments:
Post a Comment