Thursday, December 17, 2009

දැන් මිනිස්සු කතාකරන්න පටන් අරගෙන

ජයතිලක බණ්ඩාර ‘71 අපේ‍්‍රල් කැරළිකරුවෙකි. සිරගෙයින් නිදහස් වී ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ කටයුතු කරන අතරතුර දේශපාලන හේතු මත එවකට පැවති එ.ජා.ප. රජය විසින් ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ සමඟ ඔහුවද සේවයෙන් පහ කරන ලදී. අනතුරුව ‘ගී රස වින්දන’ වැඩසටහන හරහා මහජනයා අතරට ගිය ජයතිලක යුද්ධයට එරෙහිව
දියත් කළ ‘සාධු ජනරාව’ ප‍්‍රසංගයේ නිර්මාතෘවරයා ය. ‘නිදහසේ වේදිකාව’ ආරම්භ කරන අවස්ථාවේ එයට එකතු වූ කලාකරුවන් අතළොස්සෙන් එක් අයෙකු වූ ඔහු එහි සෑම රැස්වීමකටම පාහේ සිය මධුර ස්වරය එකතු කළේය.
නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකු ද වන ජයතිලක බණ්ඩාර මෙවර ‘සමබිම’ තුළින් ඔබ හමුවෙයි.


වැස්ස වගේ ඇද හැලෙමු - සුළඟ වගේ එකට ඉමු

සාධු ජනරාව ප‍්‍රසංගයේ නිර්මාතෘ, ගායන ශිල්පී
ජයතිලක බණ්ඩාර
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

නිදහසේ වේදිකාව මෙතෙක් ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
නිදහසේ වේදිකාව පටන්ගන්නා මොහොත වෙනකොට සමාජය අයිස් තට්ටුවක් බවට පත්වෙලා තිබුණේ. මිනිස්සු සිද්ධවෙන දේවල් දිහා බලාගෙන හිටියා.නමුත් ඔවුන් තුළ ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන්න සූදානමක් අපි දැක්කෙ නැහැ. යම් සමාජයක් අගතියට යනකොට ඒ සමාජයේ ඉන්න හෘදය සාක්‍ෂියක් තියෙන මිනිස්සු ඒකට විරුද්ධව නැඟී සිටිනවා. නමුත් නිදහසේ වේදිකාව ආරම්භ කරපු අවධිය වෙනකොට එහෙම හිටපු පිරිස පවා පාලකයා විසින් තාන්න මාන්න, නම්බුනාම හා නොයෙක් වරප‍්‍රසාද දීලා ඔවුන්ගේ ගැත්තන් බවට පත්කරගෙන හිටියේ. මං මේ කතා කරන්නේ කලාකරුවන්, මාධ්‍යවේදීන් ඒ වගේම බුද්ධිමතුන් බහුතරයක් පිළිබඳවයි. එවැනි වකවානුවකයි නිදහසේ වේදිකාව පටන්ගත්තේ. ඒක දුෂ්කර ගමනක් වුණා. නමුත් අද වෙනකොට මිනිස්සු නැවත අසාධාරණයට විරුද්ධව කතාකරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම දුෂ්ඨ පාලකයෝ හෙලවෙන්න පටන් අරන් තියෙනවා. ඒ පාලන යන්ත‍්‍රය ඉරි තලලා තියෙනවා. නිදහසේ වේදිකාව නිශ්ශබ්දතාවය බිඳින්න මිනිස්සුන්ට ආරාධනා කළා. ඒ නිසා මිනිස්සු අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න පටන් අරගෙන තියෙනවා. ඒක නිදහසේ වේදිකාව විසින් කළ කාර්යභාරයක් නිසා සතුටක් දැනෙනවා.
නිදහසේ වේදිකාව කියන්නේ සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ එකතුවෙලා හදපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක්.එයට එකතුවෙලා වැඩකරද්දී මතුවුණ ගැටළු සහ අර්බුදකාරී තත්ත්වයන් මොනවාද?
නිදහසේ වේදිකාව වෘත්තීය සමිතිවල, දේශපාලන පක්‍ෂවල හා සිවිල් සංවිධානවල එකතුවක් වුණත් මුලදි මිනිස්සුන්ට ඒක පෙනුණේ එක්සත් ජාතික පක්‍ෂය සහ සිවිල් පුරවැසියන් කිහිපදෙනෙක් එකතුවෙලා කරන වැඩක් හැටියට. මිනිස්සු ඒ ගැන ප‍්‍රශ්න කළා. නමුත් කාලයක් යනකොට ඒ සියළු ප‍්‍රශ්නවලට උත්තර ඔවුන්ට ලැබෙන්න පටන්ගත්තා.අපි කිසිදවසක දේශපාලන පක්‍ෂවල අතකොළු බවට හෝ ඔවුන්ගේ හොරණෑවන් බවට පත්නොවුණ බව මිනිස්සු දැක්කා. ඒ නිසා අපි මේ දුෂ්කරතාවයන් ජයගත්තා.
නිදහසේ වේදිකාවේ අනුරාධපුර මහජන රැස්වීම ඉතා සාර්ථක රැස්වීමක් ලෙස අපි දකිනවා. ඔබ එය සංවිධානය කිරීමේ මූලිකත්වය අරන් කටයුතු කරපු කෙනෙක්. නමුත් ‘මේ රැස්වීම්වලට ආපු සෙනඟ බහුතරය යු.එන්.පී කාරයෝ. ඔවුන්ව ගෙනාවේ බස් යොදවලා’ කියලා චෝදනාවක් ඔබට එල්ල කළොත්, ඒ ගැන මොකද කියන්නේ?
ඔව්. මිනිස්සු බොහෝ දෙනෙක් ආවෙ බස්වල තමයි. මොකද තන්තිරිමලේ, කැකිරාවේ, ගලෙන්බිඳුනුවැව, හොරොව්පතානේ මිනිස්සුන්ට පයින් අනුරාධපුරේට එන්න බැහැනේ. ඒ නිසා බස්වලින් වෑන්වලින් තමයි ආවේ. නමුත් එන්.ජී. ඕ එකක හෝ යම් දේශපාලන පක්‍ෂයක මුදල් වලින් නෙවෙයි. ඒ මිනිස්සු ආවේ බස්වල ටිකට් අරගෙනයි. සමහර අය ඔවුන් විසින් සංවිධානය කරගත්ත වෑන්වල, ලෑන්ඞ්
මාස්ටර්වල නැඟිලත් ආවා.
ඒ වගේම එක්සත් ජාතික පාක්‍ෂිකයනුත් මේකෙ හිටියා. නමුත් ඒ සියළු දෙනාම එක්සත් ජාතික පක්‍ෂයේ අය කියලා කියනවනම් ඒක තොරතුරු හරියට නොදැන කරපු ප‍්‍රකාශයක්. යූ.එන්.පී යේ අයත් හිටියා. ඒ වගේම මේ ආණ්ඩුව කෙරෙහි කළකිරුණු ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයනුත්, වෘත්තීය සමිති ක‍්‍රියාධරයනුත්, වමේ ක‍්‍රියාධරයනුත් මෙයට සහභාගී වුණා. ඒක අපි වගකීමෙන් කියන්නෙ.රැස්වීම සංවිධානය කිරීම සඳහා මේ සියළු දෙනාගේ ශක්තිය ධෛර්යය අපි ලබා ගත්තා.ඒ එකතුව තමයි මෙහි සාර්ථකත්වය.
දේශපාලන පක්‍ෂ සමඟ එකතුවෙලා මෙවැනි ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරනකොට සහෝදර කලාකරුවන්ගෙන් ඔබට එල්ල වුණ අභියෝග මොනවාද?
අද ලංකාවේ ගායකයෝ හිතාගෙන ඉන්නවා ගීතයක් කවියක් කියන එක තමයි අපේ කාර්යභාරය කියලා.නාට්‍ය කරන අය හිතාගෙන ඉන්නවා අපේ වැඬේ නාට්‍ය කරන එක කියලා. නළු නිළියෝ හිතනවා මගේ වැඬේ තමයි රඟපාන එක කියලා. මේ හැමෝම හිතනවා එතනින් එහාට අපි සමාජ ප‍්‍රශ්න පිළිබඳව වැඩ කරන්න හෝ මිනිස්සුන්ගේ අරගලත් එක්ක එකතුවෙන්න හෝ අවශ්‍ය නැහැ කියලා. ඒක මහා මුග්ධ ප‍්‍රකාශයක්.
තමන්ගේ නිර්මාණවලින් අමතන සහෘද ජනතාව පීඩාවට පත්වෙනකොට, කලා නිර්මාණ කරන්න බැරි තත්ත්වයක් ගොඩනැඟෙනකොට පෑන්, කැමරා, මයික‍්‍රෆෝන් සහ සංගීත භාණ්ඩ පැත්තකින් තියලා කලාකරුවන් මහජනතාවගේ අරගලයන් එක්ක එකතු විය යුතුයි.
නමුත් පැහැදිලිවම අපේ රටේ කලාකරුවන්ගේ එවැනි සංස්කෘතියක් දකින්න හරි අමාරුයි. මිනිසුන් වෙනුවෙන් කෙරෙන අරගලවලට සම්බන්ධ වෙන කලාකරුවන් සුළු පිරිසක් සිටින නමුත් බහුතරය ඒ නිදහස නැති කරපු දුෂ්ඨ පාලකයන්ගේ අතකොළු බවට පත්වෙලා. අපට දිගින් දිගටම ඔවුන්ගේ මුසාවාදවලට සවන් දෙන්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය මට අලූත් දෙයක් නෙවෙයි. මම නම් දශක ගණනාවක් තිස්සේ ගීත ගායනා කරනවා වගේම වාදනය කරනවා වගේම මේ ජන අරගලවලත් කොටස්කරුවෙක්.
ඉදිරියේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට මෙරට ජනතාවට සිදු වෙනවා. ජනාධිපතිවරණය ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?
ජනාධිපතිවරණය මට ලොකු බලපෑමක් කරන්නෙ නැහැ. මොකද බලයට පත්වෙන මිනිසුන් විසින් අප බලාපොරොත්තු වෙන නිදහස ලබාදෙයි කියලා කිසිම විශ්වාසයක් නැහැ.එක්තරා කාලයකදී විපක්‍ෂයේ සිටින්නේ ඉතාම ප‍්‍රගතිශීලී මිනිස්සු. එතකොට බලයේ ඉන්න මිනිස්සු දුෂ්ඨයෝ. කාලයක් යනකොට විපක්‍ෂයේ ඉන්න මිනිස්සු ජනතාවත් එක්ක එකතුවෙලා අර දුෂ්ඨ පාලකයන් පන්නා දමනවා. ඉන් පස්සේ විපක්‍ෂයේ සිටිය ප‍්‍රගතිශීලීන් තමයි පාලකයන් බවට පත්වෙන්නේ. බලයට පත්වෙලා ටික කලක් ගියාම ඔවුන් තරම් අධර්මිෂ්ඨ, කුහක, ම්ලේච්ඡ පිරිසක් තවත් නැහැ. මේ වෙනකොට මගේ වයස අවුරුදු පනස් හතක්. මේක තමයි දශක ගණනක් පුරා අපේ අත්දැකීම. ඒ නිසා අපි මේ කිසිම මිනිසෙක් හෝ ගැහැනියක් කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ ප‍්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳවයි.
ඔබේ විශ්වාසය එය නම්, ‘වෙනසක් අවශ්‍යයි - වෙනසක් කරමු’ යනුවෙන් ගත වූ මාස කිහිපයක් පුරා නිදහසේ වේදිකාව ගෙනගිය ජන අරගලයෙන් වැඩක් තියෙනවද?
අපි දැනට ඉදිරිපත් කරලා තියෙනවා රට ගොඩනැඟීම සඳහා වන පංචවිධ ප‍්‍රතිපත්ති මාලාවක්. අපි පෙනීසිටිය යුත්තේ ඒ ප‍්‍රතිපත්ති වෙනුවෙනුයි. මේ පිළිබඳව මහජනයා සමඟ සංවාදයක යෙදී ඔවුන් දැනුවත් කළොත් ඔවුන් මැතිවරණයකදී ඡන්දෙට ඉදිරිපත් වෙන දේශපාලනඥයන්ගෙන් ඒ පිළිබඳව ප‍්‍රශ්න කරයි කියලා අපි විශ්වාස කරනවා. අපේ ජයග‍්‍රහණය රැඳිලා තියෙන්නෙ ඒ මතයි.
අපිට වෙනසක් අවශ්‍යයයි. නමුත් ඒක බලයේ සිටින පුද්ගලයන් වෙනස්වීම තුළින් පමණක් සිද්ධවෙන්නේ නැහැ. මහජනයාගේ සිතුම් පැතුම් සහ ආකල්පත් වෙනස් විය යුතුයි. එය කිරීමට හැකිවන්නේ මහජන බලවේගයකට පමණයි. අප කරමින් ඉන්නේ ඒ මහජන බලවේගය ගොඩනැඟීමයි.
ඔබ නිදහසේ වේදිකාව මත සිට ‘නිවට සිවලූනේ වද නොදී සිහසුනෙන් බැස යන්න’ කියලා අපූරු ගීතයක් ගායනා කරනවා. අපි දැකලා තියෙනවා ජනතාව මේ ගීතයට ඉතා සංවේදී ප‍්‍රතිචාර දක්වනවා. මේ ගීතයත් වත්මන් පාලනයත් අතර තියෙන සම්බන්ධය පැහැදිලි කළොත්.
‘නිවට සිවලූනේ තොපට කාලයයි-වද නොදී සිහසුනෙන් බැස යන්න’ කියන මේ ගීතය මීට ඉහත පේ‍්‍රමදාස පාලනය කාලයේ එවකට සිටි පාලකයන්ගේ දුර්දාන්ත පාලනය පෙරළා දමන්න මහින්ද චන්ද්‍රසේකර විසින් රචනා කොට අප ගායනා කරපු ගීතයක්. මෙම ගීතය වර්තමාන පාලකයන්ටත් ඉතාම වලංගුයි. ඔවුන්ට සිංහාසනයේ ඉන්නට අයිතියක් නැහැ. තවමත් බලයට පත්වෙන්නේ නිවට සහ දුෂ්ඨ පාලකයන් නිසා දශක ගණනාවක් තිස්සේ මෙවැනි ගීතයක් ගායනා කරන්න සිදුවීම පිළිබඳව මම කණගාටු වෙනවා. අනාගතයේ දවසක හෝ මෙවැනි ගීතයක් ගායනා නොකර සිටිය හැකි වාතාවරණයක් අපේ රටේ ඇති වුණොත් මම ඉතාම සතුටුවෙනවා.

No comments:

Post a Comment