Monday, December 14, 2009

හිමිකරුවන්ට පැනවෙන සීමාවන් නිසා ස්වයංවාරණයක් පනවා ගන්න මාධ්‍යවේදීන්ට සිදුවෙලා

එදා මාධ්‍යවේදියා තම හඬ නැගුවේ පෑනෙන් හෝ කැමරාවෙනි. නමුත් පසු කලෙක මාධ්‍යවේදියා තමන්ට හඬක් නැති අන් අයගේ හඬ පමණක් ප‍්‍රකාශ කරන ඊනියා මධ්‍යස්ථ ඇම්ප්ලිෆයරයක් පමණක් බවට පත් විය. ඉන් අනතුරුව කරළියට පැමිණියේ මාධ්‍ය ක‍්‍රියාකරුවාය. ඔහු මාධ්‍යවේදියා වෙනුවෙන් හඬ නැගීමේ එ්ජන්තයා බවට පත් වූ අතර පෑන හෝ කැමරාව වෙනුවට ඔහුගේ මාධ්‍යය වූයේ ලිප්ටන් වටරවුමයි. අද මාධ්‍යවේදියා සහ මාධ්‍ය ක‍්‍රියාකරුවා යන දෙදෙනාම නිහඬය. අද සමබිම ඔබ වෙත ගෙන එන්නේ මාධ්‍යවේදියෙකුගේ හඬය.




නාරද නිශ්ශංක
‘දිවයින’නියෝජ්‍ය කර්තෘ සහ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ

සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

අපි දකිනවා ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් කොටස් දෙකක් ක‍්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදීන් කියනවා තමන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ පෑනෙන් කියලා. මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් පෙනී සිටින අය පෑනෙන් අරගල කිරීම කෙසේ වුවත් මාධ්‍ය නිදහස ඇතුළු වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. නමුත් අපිට අනුව මේ වෙනකොට මේ දෙගොල්ලන්ගේම අරගලය අසමත්.
මාධ්‍ය ක‍්‍රියාකාරීන් කියන පිරිසට වඩා ඍජුවම මේ ප‍්‍රශ්නයේ මැද ඉන්නේ මාධ්‍යවේදීන්. රටක තියෙන දේශපාලන සමාජ ප‍්‍රශ්න, ඒවායේ ඉතිහාසය හා දේශපාලන ගමන් මග ගැන හෝ අතීතයේදී සහෝදර මාධ්‍යවේදීන් මුහුණ දුන් පීඩනයන් ගැන කිසිම අවබෝධයක් නැතුව අද මාධ්‍ය ක්ෂේ‍ත‍්‍රයට පැමිණ සිටින නව පරම්පරාවේ සමහරු අත්දැකීම් අතින් විශාල ගැටළුවකට මැදිවී සිටිනවා. මේ පිරිසට අතීත අත්දැකීම්වලින් පන්නරය ලබන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා හුඟක් වෙලාවලදී ඔවුන්ගේ මාධ්‍ය භාවිතය තුළ යම් යම් සීමාවන්ට මුහුණපාන්න සිදුවෙනවා. ඒ තුළ ඔවුන් හිතනවා එය තමයි තමන්ගේ සීමාව කියලා. මෙය සිදුනොවිය යුතු දෙයක්.
අද හුඟක් වෙලාවට සත්‍ය ප‍්‍රකාශ කරන්න මාධ්‍ය තුළ සම්බාධක තියෙනවා. මාධ්‍යවේදීන්ට තමන්ගේ කාර්ය කිරීමේදී මතුවෙන සීමාවන් නිසා ඇතිවෙලා තිබෙන වාතාවරණයට මුහුණදීමට බැරිවීමත් එක්ක මාධ්‍ය ක‍්‍රියාකාරීන්ටත් තම තමන්ට සීමාවන් පනවාගන්න සිදුවෙලා තියෙනවා. කවුරුහරි මාධ්‍යකරුවාගේ නිදහස වෙනුවෙන් හඬක් නැගීමට සිටිය යුතුයි. ඒ හඩ නඟන අය අතර විවිධ දේශපාලන පක්‍ෂවල සහ විවිධ අරමුණු සහිත අය ඉන්නවා. ඒක අපිට වළක්වන්න බැහැ. ඒ නිසා අද සමහර මාධ්‍ය කි‍්‍රයාකාරීන්ට තමන්ගේ හෘදය සාක්‍ෂියට එකඟව කතා කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මං හිතන්නේ ඒ ප‍්‍රශ්නයත් ඔවුන්ට බලපාලා තියෙනවා.

වර්තමානයේදී අදහස් ප‍්‍රකාශකිරීම කියන වචනයම අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. වෘත්තීය මාධ්‍ය භාවිතය තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ ඉඩ ඇහිරී යමින් තිබෙන මෙවැනි මොහොතක මාධ්‍යවේදීන් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ.
තමන්ට තිබෙන රැකවරණය පිළිබඳ අවිනිශ්චිතභාවය මෙතනදී ප‍්‍රධාන වශයෙන් බලපානවා. අදහස් පළකිරීමට ඇති නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්‍ෂණයක්. නමුත් අද බොහෝ වෙලාවට මාධ්‍යවේදීන්ට මේ කාර්ය කරන්න හැකියාවක් නැහැ. විද්‍යුත් හෝ මුද්‍රිත එහෙමත් නැත්නම් රජයේ හෝ පෞද්ගලික ඕනෑම මාධ්‍යකට ඔවුන් කරන යම් යම් ප‍්‍රකාශ සම්බන්ධයෙන් ඍජුව සහ වක‍්‍රාකාරයෙන් ආර්ථීක සම්බාධක එල්ලවෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට ලැබෙන වෙළඳ දැන්වීම්වලට සීමාවන් පැනවෙනවා. මේ සීමාවන් නිසා මාධ්‍ය ආයතනයේ මූල්‍යමය ශක්තිය බිඳ වැටෙනවා. අද සමහර ඇමතිවරුන්ව විවේචනය කළොත් අදාළ අමාත්‍යාංශවලින් ඒ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයට දැන්වීම් ලැබෙන්නෙ නැහැ. මේ නිසා වැඩසටහන් පවත්වා ගෙනයාම ගැටළුවක් වෙලා. විශේෂයෙන්ම අද විද්‍යුත් නාලිකාවල පැවැත්ම රඳා පවතින්නේ දැන්වීම් මත. පුවත්පතක් විකුණලා ලැබෙන වාසියෙන් විතරක් මාධ්‍ය ආයතනයක් පවත්වා ගෙනයන්න අපිට බැහැ. මේ තත්ත්වය තුළ අනිවාර්යයෙන්ම දැන්වීම්වලට ප‍්‍රමුඛත්වය ලැබෙනවා. රාජ්‍ය අංශයට වගේම පෞද්ගලික අංශයටත් මෙය පොදුයි. මේ තත්ත්වය ආයතන හිමිකරුවන්ටවත් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයත් සමඟ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් බිහිවුණ නිදහසේ වේදිකාව මාධ්‍ය නිදහස වෙනුවෙන් ගෙනගිය භූමිකාව ඔබ දකින්නේ කොහොමද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදහස් ප‍්‍රකාශ කිරීමට රටේ ඕනෑම පුද්ගලයෙකුට තිබෙන අයිතිය කවුරුන් හෝ මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් අපි එය පිළිකුල් සහගතව හෙළාදැකිය යුතුයි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් බිහිවුණ නිදහසේ වේදිකාවට ආරම්භයේදීම ප‍්‍රහාරයන්ට ලක්වෙන්න සිදුවුණා. යම්කිසි මර්දනයන්ටත් මුහුණ දෙන්න සිදුවුණා. අද මේ රටේ මෙතෙක් තිබුණ නිදහස් මාධ්‍ය සංවිධාන හඬක් නඟන්න බැරි තරමට නිදිකරවලා තියෙන්නේ. ජේ.ආර් ජයවර්ධන රජය පාලනයේ ඉඳන් අද වනතුරු පත්වුණ සියළු රජයන් ඉදිරියේත් මේ සියළු හඬනැගීම් සිදුවුණා.
නමුත් මම දකින විදිහට අද නිදහසේ වේදිකාව සංවිධානයවත් මේ කාර්ය යම් දුරකට ගෙනයාමට උත්සාහ කිරීම අතිශයින් වැදගත්. එහි වැදගත්කම කුහකත්වයෙන් තොරව ප‍්‍රකාශ කරන්න ඕන. රජයෙන් හෝ ආණ්ඩුවලින් යැපෙන අය, පක්‍ෂවලට කඬේ යන අය මේවා ගැන විවෘතව කතා කරන්න බයයි. ලසන්ත මගේ හොඳ මිත‍්‍රයෙක්. ලසන්තගේ මාධ්‍ය භාවිතාව පිළිබඳ නෙවෙයි මම කතා කරන්නේ. මාධ්‍යකරුවෙකුට ඔහුගේ භාවිතාව විවිධාකාරයෙන් කරන්න පුළුවන්. අපිට පුළුවන් බුදුසරණ වගේ පත්තරයක ලියන්න. ඒ වගේම අපිට පුළුවන් ඊට වෙනස් පත්තරේකත් ලියන්න. මාධ්‍යකරුවාගේ දැක්ම මතයි ඔහුගේ භාවිතාව තීරණය වන්නේ.
මේ දැක්ම කෙනෙකුට පවතින රජයක යහපත උදෙසා හරවන්න පුළුවන්. එතකොට ඔහු වීරයෙක්, දක්‍ෂයෙක්, අගය කළ යුතු කෙනෙක් බවට පත්වෙනවා. ඔහුට නිවාස, රාජ්‍ය ආරක්‍ෂාව ඇතුළු බොහෝ දේ ලැබෙනවා. ප‍්‍රශස්තිය හොඳට ගයන තරමට එයාට තව තවත් දේශපාලන වශයෙන් වරප‍්‍රසාද ලබාගන්න පුළුවන්. හොඳ මාධ්‍ය භාවිතාවක් සම්බන්ධයෙන් හඬනඟපු සමහර අය අද විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල වගේම දේශපාලන ක්‍ෂේත‍්‍රයේත් විවිධ පදවි තානාන්තර අරගෙන, ආසන සංවිධායක පදවිත් අරගෙන ඇති.
මම හිතන්නේ නැහැ නිවැරදි මාධ්‍යකරුවෙක් කවදාවත් එහෙම අරමුණකට තමන්ගේ මාධ්‍යය භාවිතා කරාවිය කියලා. මාධ්‍ය මුවාවෙන් ව්‍යාපාර කරන්නා වූ සංවිධාන නෙවෙයි, සැබෑ දැක්මකින් යුතුව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින්නා වූ සංවිධානවල හඬ අද නිහඬ වෙලා. ලසන්ත ජීවිත පරිත්‍යාගයෙන් කළ මාධ්‍ය කලාව වෙනුවෙන් බිහිවුණ නිදහසේ වේදිකාව සැබෑ දැක්මක් අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, මානව නිදහසත්, මාධ්‍යකරුවාගේ යුක්තියත් වෙනුවෙන් අනාගතයට විශාල වැඩ කොටසක් කරාවි කියලා මම හිතනවා.

ලංකාවේ මාධ්‍ය පාලනය වෙන්නේ මූලික වශයෙන් දේශපාලනඥයින් අතින්. නැත්නම් ව්‍යාපාරිකයන් අතින් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන්වලට අනුව. මේ ඇත්ත මාධ්‍යවේදීනුත් දන්නා නමුත් මාධ්‍ය භාවිතයේ යෙදීමට තමන්ට පවතින බාධාවන්ට ඔවුන් ඉන් පරිබාහිර විවිධ හේතු දක්වනවා. නමුත් එක්තරා කාලයක් තිබුණා මේ තිත්ත ඇත්ත මැදින් හෝ ඇතැම් මාධ්‍යවේදීන් තමාගේ කර්තව්‍යය නිවැරදිව ඉෂ්ඨ කිරීමට යම් උත්සාහයක් දරපු. අද අපිට එවැනි මාධ්‍යවේදීන් දකින්න ලැබෙන්නේ නැති තරම්. මේ ගැන ඔබගේ අදහස.
මූලිකවම මෙයට බලපාන්නේ දේශපාලනික ක‍්‍රියාකාරකම්වල භාවිතාවයි. අද මාධ්‍ය හිමිකරුවනුත් යම් යම් සම්බාධකවල හිරවෙලා ඉන්නේ. හිමිකරුවන්ට පැනවෙන සීමාවන් නිසා මාධ්‍යකරුවන්ටත් සිදුවෙනවා තමන් වෙත සීමාවන් පනවාගෙන ඒ තුළ ඉඳගෙන තමන්ගේ කාර්යය කරන්න. එවිට ඳූෂණ හෙළිදරවු කිරීම් හා විවේචනය වැනි කාරණා සම්බන්ධයෙන් ඔහු විසින්ම ස්වයංවාරණයක් පනවා ගන්නවා. මෙය ඉතා ඛේදජනක තත්ත්වයක්. අධිපතීත්වය මත පාලනය වන සීමාවකයි අපි වැඩකරන්නේ. ජනාධිපතිතුමා පසුගිය දවසක ප‍්‍රවෘත්ති කර්තෘවරු හමුවෙලා කියලා තිබුණා මඩගැහීම් සහ පුද්ගලයින්ට අපහාස කිරීම් නවත්වන්න කියලා. නමුත් කණගාටුවට කාරණය මඩ ගහන්නේ රජයේ මාධ්‍ය ආයතන වලින් වීමයි. රජයේ විද්‍යුත් නාලිකාවලින් නොනවත්වා විපක්‍ෂයට අපහාස කරනවා. අපේ තුවාලේ තියෙන්නේ අපි ලඟනේ. මේ තුවාලේ පෙනි පෙනී වටේ තියෙන තුවාලවලට බේත් දාන්න යන එකෙන් වැඩක් තියෙනවද? මම හිතන්නේ ජනාධිපතිතුමා බොහොම හොඳ දෙයක් කිව්වේ. මේ අපහාස කිරීම හරිම නරකයි. මේක නවත්වන්න කියලා. නමුත් ඒ කාර්ය පළමුවෙන්ම ආරම්භ කරන්න වෙන්නේ රජයේ විද්‍යුත් මාධ්‍ය නාලිකාවලින් සහ රජයේ මුද්‍රිත මාධ්‍යන් තුළින්.

ජාතික පුවත්පතක වගකිවයුතු කාර්යභාරයක් ඉටුකරන මාධ්‍යවේදියෙකු වශයෙන් රාජ්‍ය නායකයා වටා සංකේන්ද්‍රණය වී ඇති අසීමිත බලය සමඟ කටයුතු කිරීමේදී ඔබට ලැබී ඇති අත්දැකීම් මොනවගේද?
මේ සියළු ව්‍යවසනයන්ට මුල පාර්ලිමේන්තුව වෙනුවට විධායක ජනාධිපති ක‍්‍රමය තුළ සියළුම බලය කේන්ද්‍රගත වී තිබීමයි. ඒ වගේම විධායක ජනාධිපති ක‍්‍රමය තිබුණ නිසාම එක පැත්තකින් යුද්ධය අවසන් කිරීමට යම්කිසි නායකත්වයක් දෙන්නත් පුළුවන් වුණා. මෙහි හොඳ සහ නරක දෙකම තියෙනවා. පාර්ලිමේන්තුව අභිබවා යන බලයක් විධායකය මත ගොඩනැගීම තුළ බොහෝ වෙලාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් හඬනඟන ක‍්‍රියාකාරීන්ට අනිසි බියක් දැනෙනවා. මේක අතිශයින්ම කණගාටුදායක තත්ත්වයක්. ජේ.ආර් ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනාවේ ඒ කාලේ තිබුණ අර්බුදවලින් එතුමාගේ දේශපාලන ස්ථාවරභාවය ආරක්‍ෂා කරගන්න. එදත් ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් යම් යම් සීමාවන් තිබුණු බව ඇත්ත. නමුත් එතුමා මූලිකත්වය දුන්නේ තමන්ගේ රාජ්‍ය බලය පිළිබඳ ස්ථාවරභාවය රැකගන්න. මං කියන්නෙ නැහැ මෙතනදී වත්මන් ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විශ්වසනීය බවක් නැහැ කියලා. ජනාධිපතිතුමා පිළිබඳ විශ්වාසනීය බවක් මා තුළත් තිබුණා. නමුත් එතුමාගේ අවට සිටින්නා වූ මැති ඇමතිගොල්ලෝ තමන්ගෙන් ජනතාවට ඉටුවෙන්න ඕන යුක්තිය වෙනුවට සිදු කරන්නා වූ වෙනත් ක‍්‍රියාකාරීත්වයන් ගැන මීට වඩා සොයාබලන්න අවශ්‍යයි කියලා මම හිතනවා.

මාධ්‍ය නිදහස කියන්නේ මේ රටේ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන්ගේ පමණක් නෙවෙයි, ජනතාවගේත් අයිතියක්. එය අර්බුදයට යාම ජනතාවගේත් ප‍්‍රශ්නයක්. තමන්ට තොරතුරු සපයන මාධ්‍යයන් ආරක්‍ෂාකර ගැනීමට ජනතාවටත් යුතුකමක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ඔවුන් දක්වන දායකත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
මාධ්‍යයේ ප‍්‍රධානම වගකීම තමයි මහජනයා සත්‍යයෙන් සන්නද්ධ කිරීම. අද ඊට පරිබාහිරව සත්‍ය සහ මාධ්‍ය භාවිතාව පැත්තකට දාලා පුද්ගලික චර්යාවන්, මිනිස්සුන්ගේ පවුල් පසුබිම්, ප‍්‍රවෘත්තියකට අදාළ නැති කරුණු දක්වමින් පුද්ගලයින්ට අපහාස කිරීම්, පීඩාකිරීම් සිදු වෙනවා. සමහර නාලිකාවලින් උදේ පාන්දරම අහන්න ලැබෙන ප‍්‍රකාශ දිහා බැලූවම ඉතාම කණගාටුදායකයි. ඔවුන් රාජ්‍යය සහ එහි කි‍්‍රයාකාරීන් පිනවීමට අමු අමුවේ සදාචාර විරෝධී දේවල් තමන්ගේ වැඩසටහන් වලින් ප‍්‍රකාශ කරනවා. මේක විකෘති භාවිතාවක්. අපි මාධ්‍යවේදියෙකු තුළින් බලාපොරොත්තු වෙන්නේ මීට වඩා යහපත් දැක්මක්. මේ විකෘති මාධ්‍ය භාවිතයට විරුද්ධ වෙන ජනතාවට රැකවරණය දෙන්න ශක්තියක් අද නැති වෙලා තියෙන්නේ. ඉස්සර තිබුණු විපක්‍ෂය බලවත්. මාධ්‍ය ක‍්‍රියාකාරී සංවිධාන, වෘත්තීය සමිති බලවත්. ඔවුන් එළියට බැහැල සටන් කලා. එදා වෘත්තීය සමිතිවලට කම්කරු පන්තිය තමන් පිටිපස්සේ ඉන්නවා කියන හයිය තිබුණා. ඒ නිසා මිනිස්සුත් බය නැතුව එළියට බැස්සා. නමුත් එදා නොබියව කටයුතු කරපු සමහරු අද ආණ්ඩුවල තනතුරු වරප‍්‍රසාද නිසා ගිහිල්ලා ඒ පැත්තේ වාඩිවෙලා. ඇත්ත වශයෙන්ම එදා ජනතාවට නායකත්වය දුන්න උදවිය අද පක්‍ෂවල පැවැත්ම උදෙසා ආශිර්වාදාත්මක නායකත්වයක් දෙනවා අපි දකිනවා. මේ සිදුවීම් නිසා අද ජනතාව තුෂ්නිම්භූතවෙලා ඉන්නේ. අද හඬනගන මනුස්සයෙක් හෙට මරලා දැම්මොත් කවුද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ. ඔවුන්ට තියෙන රැකවරණය මොකක්ද? ජනතාවට තියෙන්නේ විමතිය පමණයි. හඬක් නඟන්න ශක්තියක් නැහැ.
නමුත් මේ වෙනකොට මාධ්‍යකරුවාද ඇතුළුව මේ රටේ ජනතාව පැටලිලා ඉන්නේ වඩාත් දැවෙන ප‍්‍රශ්න ගොඩක. අද දකුණේ තියෙන රැකියා වියුක්තිය කොපමණද?. උතුරේ එල්.ටී.ටී.ඊය ඇතුළු අනෙක් ත‍්‍රස්තවාදී සංවිධාන වැඩියෙන්ම තරුණයෝ බිලී බා ගත්තේ ඒ තරුණයන් තුළ තිබූ අපේක්‍ෂාභංගත්වය, අනාගතය පිළිබඳ දැක්මක් නැතිකම, රැකියා නැතිකම ආයුධ හැටියට යොදාගෙන. හඬක් නඟන්න ශක්තියක් නැතිවුණාම ජනතාව අසරණ වෙනවා, අර්බුදයකට යනවා. ඒ නිසා ජනතාවට නායකත්වය දෙන ප‍්‍රබල විපක්‍ෂයක් අවශ්‍යයි. මේක සියළු නිදහස, වරප‍්‍රසාද තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත ස්වර්ග රාජ්‍යයක් නෙවෙයි. අද දේශපාලනඥයින්ට විවේචනය ඉවසන්න බැහැ. නමුත් එකිනෙකාගේ අතීත කුණු අවුස්සමින් මඩ ගහගන්නවාට වඩා විවේචනය ඉවසීම වැදගත්. මේ දැක්ම හදාගෙන මිනිස්සුන්ට යහපත් හිතින් මාධ්‍ය භාවිතා කළහැකි මානසිකත්වයක් නිර්මාණය කරදෙන එකත් ගෞරවාන්විත රජයක වගකීමක්. මට කියන්න තියෙන්නේ යුද්ධයෙන් ගෞරවාන්විත ජයග‍්‍රහණයක් දිනාගත්තා වගේම ජනතාවට ගෞරවාන්විතව ජීවත්වීමට ඉඩ සැලසීමත් රජයේ වගකීමක්.



Back to samabima....
Back to Platform...
View PDF ...

No comments:

Post a Comment