Sunday, February 28, 2010

රැල්ලට එරෙහිව පොරබැදීම

ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වූයේ සාම්ප‍්‍රදායික ආකාරයට විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවයක් හෝ සන්ධානයක් ගොඩනැගීමෙන් අනතුරුව නොවේ. එක් එක් පක්ෂ වෙන වෙනම පොදු අපේක්ෂකයා වෙත තම සහයෝගය පළ කරන ලද අතර එහිදී සියළු පක්ෂවල පොදු අපේක්ෂාව වූයේ ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරනු ලබන පොදු අපේක්ෂකයා මඟින් සියළු දෙනාටම නිදහසේ දේශපාලනය කිරීම සඳහා අවශ්‍ය වන හුස්ම ගැනීමේ අවකාශයක් නිර්මාණය කර ගැනීමය.
ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී ප‍්‍රකාශ කළේ තමන්ට වෙනත් කිසිදු පක්ෂයක් සමඟ ගිවිසුමක් නොමැති බවත් තමාගේ එකඟතාවන් ඇත්තේ ජෙනරාල් ෆොන්සේකා මහතා සමඟ පමණක් බවත්ය. එක්සත් ජාතික පක්ෂය පැවසුවේ සියළු පක්ෂ පොදු අපේක්ෂකයෙකුට සහාය දීමට එකඟව ඇති හෙයින්ද එම පොදු අපේක්ෂකයා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වන හෙයින්ද මෙම ජනාධිපතිවරණයට තම පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත් මෙය ජනමත විචාරණයක් ලෙස සලකා හංසයා ලකුණට ඡන්දය දෙන ලෙස පාක්ෂිකයන්ට නියෝග කරන බවත්ය.
අනෙකුත් පක්ෂද තම තමන්ගේ විවිධ වූ හේතු මත පොදු අපේක්ෂකයාට සහාය දුන් අතර අවසානයේදී කිසිදු ගිවිසුමක් නැතිව විශ්වාසය පදනම් කොටගෙන දෙමළ ජාතික සන්ධානයද පොදු අපේක්ෂකයාට සහාය පළ කළේය. (මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමටද ජෙනරාල් ෆොන්සේකා පරාජය වීමටද බලපෑ ප‍්‍රධාන සාධකය - නිලය මෙයයි) දස වැදෑරුම් කරුණු ඇතුළත් අවම පොදු වැඩපිළිවෙලක් පොදු අපේක්ෂකයා වෙනුවෙන් සකස් කොට ඉදිරිපත් කරන ලද්දේ ඉන් අනතුරුවය.
ජනාධිපතිවරණයෙන් පසු එළැඹෙන මහ මැතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය දෙන පක්ෂ තරග කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද යන ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ජනතා විමුක්ති පෙරමුණ ලබා දුන්නේය. ජනාධිපතිවරණ ජයග‍්‍රහණයත් සමඟම 17 වන සංශෝධනය ක‍්‍රියාත්මක කොට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පත් කරන අතර සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වනු ලැබේ. ජනාධිපතිවරයාට දේශපාලන පක්ෂයක් නොමැති බැවින් ඔහු ස්වාධීනව හා නිර්පාක්ෂිකව කටයුතු කරන අතර ඔහුගෙන් කිසිදු පක්ෂයකට අමතර වාසියක් නොලැබේ. ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීම පිළිබඳ ව ප‍්‍රශ්නයක් පැන නොනඟින අතර එම පක්ෂ තම තමන්ගේ ප‍්‍රතිපත්ති මත වෙන වෙනම තරගයට ඉදිරිපත් වනු ඇත. ජයග‍්‍රාහක පක්ෂය විසින් ආණ්ඩුව පිහිටුවනු ලබන අතර අනෙක් අය විරුද්ධ පක්ෂයේ සිටිමින් වුවද ජනාධිපතිවරණයේදී එකඟ වූ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට සහාය දෙනු ඇත.
කෙසේ වුවද ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ජයග‍්‍රහණය අහිමි විය. අනතුරුව දැඩි මර්දනකාරී තත්ත්වයක් ඇති වූ අතර විපක්ෂයේ දේශපාලන ක‍්‍රියාකාරීන්ගෙන් පළිගැනීමේ ක‍්‍රියාවලිය උච්චස්ථානයකට පත් වූයේ ජෙනරාල් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙනි. මෙම තත්ත්වයට විරුද්ධව රටපුරා සාමකාමී උද්ඝෝෂණ ඇති වූ අතර ඒ සමඟම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය ප‍්‍රකාශයට පත් කළේය.
ඒ සමඟම කරලියට පැමිණි සාකච්ඡාව වූයේ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා තරග කළ හංසයා ලකුණ යටතේ ජෙනරාල් ෆොන්සේකාට සහාය දුන් බලවේග මහ මැතිවරණයේදීත් එකට තරග කළ යුතුය යන්නයි. මෙහිදී මූලික වශයෙන් අදහස් වන්නේ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව ඇති එක්සත් ජාතික පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණත් එකට එක්ව තරග කළ යුතු බවයි. සම්බන්ධන් මහතා ප‍්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයද පොදු අපේක්ෂකයාට සහාය දුන් නමුත් යෝජිත හංස පෙරමුණට ඔවුන්ද එකතු කරගෙන එකම ලකුණක් යටතේ තරග කළ යුතු යැයි කිසිවෙකු කියූ බවක් මෙතෙක් වාර්තා වී නැත.
මෙසේ පොදුවේ තරග කළ යුතුය යන යෝජනාවට පොදු අපේක්ෂකයාට සහාය දුන් පක්ෂවල ක‍්‍රියාකාරීන් අතර මෙන්ම නිදහස් මතධාරීන් සහ සිවිල් සමාජ ක‍්‍රියාධරයන් අතරද විශාල පිළිගැනීමක් ඇති වූ බව පෙනී ගියේය. තත්ත්වය කොතරම් දුරට වර්ධනය වුවාදැයි කිවහොත් ජනාධිපතිවරණයට පෙර යුගයේදී පාර්ලිමේන්තුවට එක්ව තරග කිරීමේ කිසිදු යෝජනාවක් නොවූ බව කාටත් අමතකව ගිය අතර ‘අපි එහෙමනම් එකට එකතු වී අලියා ලකුණින් තරග කරමු’ යැයි එක්සත් ජාතික පක්ෂය කළ යෝජනාව පවා සමගිය බිඳ දමන අකෘතඥ, කෙළෙහි ගුණ නොදත් ප‍්‍රවේශයක් යැයි ද එය ජනතා අපේක්ෂාවන්ට පටහැනි යැයි ද හොඳින් කෙළෙහි ගුණ දන්නා ජනතාවක් වන ලාංකිකයන් විසින් ප‍්‍රකාශ කරන්නට යෙදිණ.
ආර්ථික, සමාජීය හා දේශපාලන ප‍්‍රතිපත්ති අතින් මෙන්ම ජාතික ගැටළුව පිළිබඳ ස්ථාවරය අතින්ද අහසට පොළොව වැනි කණ්ඩායම් දෙකක් නිශ්චිත අවම එකඟතා මත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකුට වෙන වෙනම සහාය පළ කළද මහ මැතිවරණයේදී එසේ කිරීම ඉතා දුෂ්කර බවද එවැනි එකතුවක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ සෑදීම කෝඳුරු තෙල් හත්පට්ටයක් සෙවීමටත් වඩා අමාරු බවද කාටත් පැහැදිලි විය යුතුය. එහෙත් කොහොම හරි එකට තරග කළ යුතුය යන මේ ජනප‍්‍රිය මතය කොතරම් බලවත් වීද යත් එයට හරි හමන් පිළිතුරක් කෙළින්ම සැපයීමට එක්සත් ජාතික පක්ෂය අසමත් වී ඇති අතර පෙනෙන විදිහට ඔවුන් කරන්නේ වහෙන් ඔරෝ ක‍්‍රමයට හොරගල් අහුලමින් එම ප‍්‍රශ්නය මඟ හැරීමයි.
මේ පිළිබඳව සාකච්ඡාවක් ජනවාරි 19 වෙනි දින උදේ කොළඹදී රැස්වූ නිදහසේ වේදිකාවේ ක‍්‍රියාකාරීන්ගේ සාකච්ඡුා සභාවකදී ද ඇතිවිය. එහිදී එක් ක‍්‍රියාකාරකයෙකු කියා සිටියේ එළැඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එක පෙරමුණකින් හංසයා ලකුණින් ඉදිරිපත් විය යුතුය යන යෝජනාව නිදහසේ වේදිකාව විසින් විපක්ෂයේ පක්ෂවලට ඉදිරිපත් කළ යුතු බවයි. මේ පිළිබඳ අපගේ අදහස ඉදිරිපත් කිරීම පාඨකයන්ට ප‍්‍රයෝජනවත් වනු ඇතැයි සිතමු.
නිදහසේ වේදිකාව යනු දේශපාලන පක්ෂයක් හෝ පක්ෂයක උපාංගයක් නොවේ. සිවිල් සමාජ සංවිධානවල මූලිකත්වයෙන් එය බිහි කරන ලද්දේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා වන පුළුල් මහජන බලවේගයක් ගොඩනැඟීමේ අරමුණෙනි. එය මෙහෙයවනු ලබන්නේ සිවිල් සමාජ සංවිධානවල නායකයන්ගෙන් සමන්විත පස් දෙනෙකුගෙන් යුත් කැඳවුම්කාර මණ්ඩලයක් විසිනි. ඒ කිසිවෙකු මැතිවරණයට තරග කරන කිසියම් හෝ දේශපාලන පක්ෂයක ක‍්‍රියාකාරීන් නොවන අතර මැතිවරණයට තරග කිරීමටද ඔවුහු අපේක්ෂා නොකරති.
ආරම්භයේ සිටම නිදහසේ වේදිකාව ඉතාමත් විවෘත ලෙස විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ එක්ව ඔවුන් තම හවුල්කරුවන් සේ සලකමින් කටයුතු කළේය. නිදහසේ වේදිකාවේ ක‍්‍රියාකාරීන් අතර විවිධ දේශපාලන මත දරන විවිධ පක්ෂවලට සම්බන්ධ පුද්ගලයන් සිටිති.
නිදහසේ වේදිකාව සහ ඒ හා සම්බන්ධ දේශපාලන පක්ෂ අතර එකඟතාවය පවතින්නේ ශ‍්‍රී ලංකාවට යහපත් අනාගතයක් උදා කරනු පිණිස ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කළ යුතුය යන කරුණ මතය. එම ප‍්‍රතිසංස්කරණ අපගේ පස්වැදෑරුම් ප‍්‍රතිපත්තිවලට ඇතුළත් කොට ඇති අතර නිදහසේ වේදිකාව සමඟ ආරම්භයේ සිටම කටයුතු කරන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සහ එක්සත් සමාජවාදී පක්ෂය මෙම වැඩපිළිවෙළ පිළිගෙන ඇත.
මෙම වැඩපිළිවෙළෙහි එක් ප‍්‍රධාන සංඝටකයක් වන්නේ ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමේදී සියළු ජාතීන්ට සමාන අයිතිවාසිකම් තහවුරු කරන්නා වූ ද, සුළු ජාතීන් සමඟ දේශපාලන බලය බෙදා හදා ගන්නා වූ ද වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි. ඇත්ත වශයෙන්ම නිදහසේ වේදිකාවේ අප සියළුදෙනා එකට එකතු කරන ප‍්‍රධාන පොදු සාධකය වන්නේ ඉහත කරුණ සම්බන්ධයෙන් එකී සියළුදෙනා විසින්ම පෙන්නුම් කොට ඇති කැපවීමයි. ඒ වෙනුවෙන් පෙනී සිටීම අත්හරින මොහොතේදී නිදහසේ වේදිකාවේ පැවැත්මේ යුක්තිසහගත භාවයද අවසන් වනු ඇත.
අවාසනාවට මෙන් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන බලවේග සියල්ලම දේශපාලන බලය බෙදා ගැනීමේ ප‍්‍රශ්නය අත්‍යවශ්‍ය ප‍්‍රතිසංස්කරණයක් වශයෙන් නොසලකයි. ඔවුන් කල්පනා කරන විදිහට එය මඟ හැර ගොස් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සාක්ෂාත් කරගත හැකිය. එහෙත් අපගේ අත්දැකීම නම් ජාතික ප‍්‍රශ්නය ආමන්ත‍්‍රණය නොකොට ඇති කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ වැල්ලේ තැනූ මාළිඟා මෙන් බිඳ වැටෙන බවයි. 13 වන සංශෝධනය මඟ හැර ගොස් හෝ අමතක කොට ගොඩනැඟූ 17 වන සංශෝධනයට අද අත්ව ඇති ඉරණම එයට පැහැදිලි සාක්ෂියකි.
දේශපාලන පක්ෂවලට තමන් කැමති ආකාරයේ සන්ධාන ගොඩනඟා ගැනීමට අයිතියක් ඇති අතර ඒ සම්බන්ධව ඔවුන්ට උපදෙස් දීම නිදහසේ වේදිකාවේ කාර්යභාරයක් නොවේ. අපට අවශ්‍ය වන්නේ අප විශ්වාස කරන අයුරින් ජාතික ප‍්‍රශ්නය විසදීමද ඇතුළත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කරවා ගැනීම පිණිස දේශපාලන පක්ෂ සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමය. ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකත්වය යටතේ කුසලානය ලකුණෙන් ගොඩනඟන සන්ධානය සමඟ බලය බෙදා ගැනීම පිළිබඳ එකඟතාවයක් ඇතිකර ගැනීම මේ මොහොතේදී යථාර්ථවාදී ප‍්‍රවේශයක් යැයි අපට නොපෙනේ. ඒ සඳහා එකඟවීමට හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට ඇති නොහැකියාවද අපට තේරුම් ගත හැකිය. එසේ හෙයින් නිදහසේ වේදිකාවට මේ මොහොතේ කළ හැක්කේ අපගේ ප‍්‍රතිපත්ති සමඟ එකඟතාවයට පැමිණ සිටින එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ සහ එක්සත් සමාජවාදී පක්ෂය සමඟ එකට් එක්ව ප‍්‍රතිසංස්කරණ පිළිබඳ න්‍යාය පත‍්‍රය ඉදිරියට ගැනීමය. එසේ වුවද විපක්ෂයේ සියළු බලවේග සමඟ එක්ව මර්දනයට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයකට දායක වීමට එය කිසිදු බාධාවක් නොවනු ඇත.
ඇති වී තිබෙන තත්ත්වය තුළ ”අයියෝ, විපක්ෂයේ සමගිය කුඩු පට්ටම් වී ගියා නේදැ”යි කියමින් ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් කාලකණ්ණි සතුටක් ලැබීමට ඉඩ ඇත. මෙහිදී අප ආණ්ඩුවට කිවයුත්තේ පසුගිය ලිපියේද සඳහන් කර ඇති පරිදි ඔවුන් ගත කරන්නේ අපායේ ඉන්ටවල් එක බවයි.