Thursday, November 19, 2009

ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක වළල්ලක් අවශ්‍යයි


වැසි දියෙන් තෙත බරිත වී මඳ අඳුරකින් පරිසරය වැසී යමින් තිබුණද නිදහසේ වේදිකාව පළමු වරට එළිමහන් පිටියක පැවැත්වූ ගම්පහ මහජන රැස්වීමට සහභාගීවීමට පැමිණ සිටි විශාල ජනකායක් ගම්පහ කොළඹ බස් නැවතුම් පළ වටා රොක් වී සිටි අයුරු පසුගිය නොවැම්බර් 14 වෙනිදා අපට දැක ගත හැකි විය.
මෙහිදී පැමිණ සිටි පිරිසගේ අවධානය පැහැර ගනිමින් ප‍්‍රහාරාත්මක විලාසයකින් ආරම්භක කතාව කරන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ය.
‘‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ අපි යමකට විරුද්ධ නම් එයට විරුද්ධයි කියල කියන්න අපිට ධෛර්යයක් තිබුණෙ නැහැ. ඒත් දැන් අපිට ඒ ශක්තිය තියෙනවා. අපිට ඕන මේ රටේ අළුත් ආණ්ඩු හදන්න නෙවෙයි. අපේ අරමුණ මොන ආණ්ඩුවක් බලයට ආවත් එය ව්‍යවස්ථාවට හා නීතියට ගරු කරන ආණ්ඩුවක් බවට පත් කිරීමයි.’’
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා කියා සිටියේ, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක තිබෙන ප‍්‍රධානම ලක්ෂණ වන තමන් කැමති පාලකයෙකු පත් කර ගැනීම, කාටත් එක සමානව සලකන නීතියේ ආධිපත්‍යය සුරක්ෂිතව තිබීම, අධිකරණයේ ස්වාධීනතාව සහ මානව හිමිකම් ගරු කිරීම ආදියට අද විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි.’’
අනතුරුව සභාව ඇමතුවේ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ය.
‘‘ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට සිවිල් සමාජය දේශපාලන පක්ෂ සමඟ එක්ව ඉතාම විවෘතව ඓතිහාසික ක‍්‍රියාදාමයකට අවතීර්ණ වූ බවත්, සිවිල් සමාජය හා දේශපාලන සමාජය අතර ඇති කරගත් මෙම කතිකාව මැතිවරණයකින් අහවර නොවිය යුතු බවත්, නිදහසේ වේදිකාව රටේ පාලනය නැවත පුරවැසියා අතට ලබා දීමට පෙරමුණ ගන්නා බවත් ’’ ඇය පවසා සිටියාය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා මෙසේ පැවසීය.
‘‘මැතිවරණ වලින් කවුරු දිනුවත් කවුරු බලයට පත් වුණත් ජීවත් වීමට ඇති අයිතියට, තමන්ගේ හෘදසාක්ෂියට එකඟව මතයක් ප‍්‍රකාශ කිරීමේ නිදහසට තර්ජන එල්ල වෙන අකාරය, ඳුෂණය හා නාස්තිය වැඩි වී ජනතාවට අභියෝග එල්ල වෙන ආකාරය පසුගිය කාලෙ අපි දැක්කා. අද තිබෙන වැඩවසම් රදළ චින්තනය තුළ රජතුමාට සියළු බලතල හිමිවෙලා රටවැසියෝ අතවැසියෝ බවට පත්වෙලා. එය නීත්‍යනුකූලව අභියෝගයට ලක් කිරීමට ජනතාවට අයිතියක් තිබෙන බවට මතක් කර දිය යුතුයි.’’
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මීළඟට අදහස් දක්වන ලදී.
‘‘මීට මාස පහකට පෙර මේ ආණ්ඩුවේ හා ජනාධිපතිතුමාගේ පාලනය සදාකාලිකයි කියල කියපු ජනතාව අද එහෙම ලේසියෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන්න දෙන්නේ නැහැ කියලා ප‍්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. එදා ප‍්‍රධාන විපක්ෂයට තමන්ගේ දේශපාලනය කරගෙන යන්න හැකියාවක් තිබුණා නම් ඔවුන්ට සිවිල් සංවිධාන එක්ක හවුල් වෙන්න ඕන නැහැ. සිවිල් සංවිධාන වලටත් තමන්ගේ ව්‍යාපෘති පවත්වාගෙන යමින් මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්න ඉඩක් තිබුණා නම් දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්න අවශ්‍ය නැහැ.
නමුත් මේ සියළුදෙනාට එකට එකතු වෙන්න සිදුවුණේ මේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩ කරමින් ගෙන ගිය අත්තනෝමතික එ්කාධිපති පාලනය නිසා. කවුරුන් හෝ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරනවා නම් නිදහසේ වේදිකාව ඊට එරෙහිව නැඟී සිටින බව බය නැතුව ප‍්‍රකාශ කර සිටිනවා.’’
මෙහිදී විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ, ‘‘ඉතා ඉක්මනින්ම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර අළුත් ව්‍යවස්ථාවක් සාදා ජනතාව අතට බලය ලබා දීමට කටයුතු කරන බවත්, ඊට මූලාරම්භයක් වුණේ නිදහසේ වේදිකාව බවත්ය.’’
රැස්වීමේ අවසන් කථාව කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා පවසන ලද්දේ, ‘‘බලය ලබා ගත්තට පස්සේ එතැනට එන්න පාර කපල දුන්න සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය සහ ඔවුන්ට වුණු පොරොන්දු දේශපාලන පක්ෂ විසින් අමතක කර දමන බව පසුගිය කාලේ අපි දැක්කා. ඒ නිසා ඊළඟට පත්වන ආණ්ඩුව මොකක් වුණත්, ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් නිදහසේ වේදිකාව තුළ එක්වී සිටින සිවිල් සංවිධාන විසින් ඡන්දය දිනූ දාට පසුදා සිට එය ක‍්‍රියාත්මක කරවා ගැනීමට තමන්ගේ ප‍්‍රතිපත්ති පහ හරහා ඒ දේශපාලන පක්ෂ වටා ශක්තිමත් ආරක්ෂක වළල්ලක් දැමිය යුතුයි.’’යනුවෙනි.
දිනෙන් දින නිදහසේ වේදිකාව වටා ජනතාව රොක් වෙමින් සිටිති. දැන් ඔවුන් සිය සංවාදය අරඹා ඇත. ඒ එය ඔවුන් වෙනුවෙන් බිහි වූ ජනතා ව්‍යාපාරයක් බැවිණි. ගමින් ගමට නගරයෙන් නගරයට යමින් ජනතාව සමඟ අරඹා ඇති නිදහසේ වේදිකාවේ ජනතා සංවාදය නුදුරේදීම ඔබ හමුවටද පැමිණීමට නියමිතය.

වෙනසකට කැපවෙමු ! - නිදහසේ වේදිකාවේ පංචවිධ ප‍්‍රතිපත්ති

නිදහසේ වේදිකාව ශ‍්‍රී ලංකාව තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා කැපවූ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින් හා දේශපාලන නායකයින් විසින් පිහිටුවා ගනු ලැබූ පුළුල් සන්ධානයකි. රට පුරා පවතින මානව හිමිකම් කඩ කිරීම් නිදහසේ වේදිකාව බිහිකර ගැනීම සඳහා හේතු පාදක විය. එසේම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, නීත්‍යනුකූල නොවන මනුෂ්‍ය ඝාතන මෙන්ම මාධ්‍ය මර්දන කටයුතුවල නියැළුනන්ට දඞුවම් නොලැබීම හරහා මතුවුණු නිර්මුක්ති සංස්කෘතිය ද මෙයට හේතු පාදක විය.
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය යන මූලික මානව අයිතීන් නිදහසේ වේදිකාවේ අඩිතාලම වන්නේය.
සියළු දේශපාලන ආයතන හා කි‍්‍රයාදාමයන් පුරවැසියන්ගේ පුර්ණ සහභාගීත්වය සඳහා විවෘත, ජන කොටස්වල විවිධත්වය හඳුනා ගන්නා සහ එය පිළිබිඹු කරන, ඔවුන් ගේ දුක්ගැනවිලි වලට ආමන්ත‍්‍රණය කරන සහ අපේක්ෂාවන්ට ඉඩ දෙන්නක් විය යුතුය. ශී‍්‍ර ලංකාවේ සියළු පුරවැසියන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දක්වනු ලබන මූලික අයිතිවාසිකම් බුක්තිවිදීමේ අයිතිය තහවුරු කළ යුතුය.
ඒ අනුව අප රටේ සාමය, යහ පාලනය හා සමාජ සාධාරණත්වයට මඟ පෙන්වීම සඳහා නිදහසේ වේදිකාව විසින් පහත දැක්වෙන පංචවිධ ප‍්‍රතිපත්ති කෙරෙහි තම කැපවීම ප‍්‍රකාශ කරනු ලබයි.

01.ජන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම
x විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය.
x ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ වගකීම තහවුරු කෙරෙන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කළ යුතුය.
x කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයන් අඩු කළ යුතුය.
x ජනවාර්ගික ගැටුම විසදාලීමට අදාළව බලය බෙදීම පදනම් කරගත් රාජ්‍යය ප‍්‍රතිව්‍යුහකරණය කළ යුතුය.
x අසාධාරණයන්ට ලක් වූවන්ට සමානත්වය තහවුරු කිරීම පිණිස විශේෂ විධි විධාන ඇති කළ යුතු අතර විශේෂයෙන් සියළු තීරණ ගැනීමේ මණ්ඩල තුළ කාන්තා නියෝජනය සහ සහභාගීත්වය වර්ධනය කළ යුතුය.

02.යහ පාලනය, නීතියේ ආධිපත්‍ය සහ විනිවිදභාවය තහවුරු කිරීම
x ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කළ යුතුය.
x 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීම හරහා පොලිස් සහ පරිපාලන සේවය දේශපාලන ඇගිලි ගැසීම් වලින් මුදා ගත යුතුය.
x ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවිය යුතුය.
x තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීති සම්මත කළ යුතුය.
x අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුය.

03.ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය වර්ධනය කිරීම
x සියළු ජනවර්ගයන්ගේ සමානත්මතාවය පිළිගන්නා බලය බෙදාහැරීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් වහාම ගෙන ආ යුතුය.
x ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සංකේතය මගින් පුද්ගලයන්ගේ විවිධත්වය මත පදනම් වූ එක්සත් බව පිළිඹිබු විය යුතුය.
x අවතැන්වූවන්ගේ ආත්ම ගරුත්වය සුරැකිය යුතුය.
x යුද ගැටුම් වලින් අවතැන්වූවන් නැවත පදිංචිකරවීම සහ පුනරුත්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට අනුකූලව කි‍්‍රයාත්මක කළ යුතුය.
x රාජ්‍ය භාෂා නීතිය අර්ථාන්විත ලෙස කි‍්‍රයාත්මක කළ යුතුය.

04.ආර්ථික හා සමාජ සාධාරණත්වය
x ජනගහනයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස්වල ජීවන තත්ත්වය සහ අභිවෘද්ධිය තහවුරු කිරීම සඳහා කි‍්‍රයාත්මක වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.
x රටේ ආර්ථිකයේ විභවතාවය වර්ධනය කිරීම සඳහා සමාජ වගකීම් සහිත වෙළදපොළ ආර්ථිකයක් ප‍්‍රවර්ධනය කළ යුතුය.
x තිරසාර සංවර්ධනය සහ කෘෂිකාර්මික විධික‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම හරහා ආහාර සුරක්ෂිතභාවය සහ පරිසරය ආරක්ෂා කළ යුතුය.

05.මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස සුරැකීම
x අතුරුදහන්කරවීම්, පැහැරගෙන යාම් සහ නීති විරෝධී ඝාතනයන් සම්බන්ධ පරීක්ෂණයන් වහා පවත්වා වරදකරුවන් නීතියේ ඉදිරියට ගෙන එ්ම හරහා වරදින් නිදොස් කිරීමේ සංස්කෘතිය වහා අවසන් කළ යුතුය.
x ජාතික ආරක්ෂාව සඳහා පනවා ඇති නීති, හදිසි නීති විධි විධානයන් ඇතුළු සියළු නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
x ශී‍්‍ර ලංකා රාජ්‍යය අපකීර්තියට පත් නොවනු පිණිස අප විසින් පිළිගෙන ඇති සියළු ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්තීන් ගරු කළ යුතුය.
x ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන නීතියක් වහාම සම්පාදනය කළ යුතුය.
x මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය වහා නැවැත්විය යුතුය.
x මහජන සේවා මාධ්‍ය සම්ප‍්‍රදායක් සැලසුම් කිරීම හරහා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ඒකාධිකාරය පරිවර්තනයට ලක් කෙරෙන නව මාධ්‍ය සංස්කෘතියක් බිහිකළ යුතුය.
x පුවත්පත් මණ්ඩල පනත වහා අහෝසි කළ යුතුය.

Back to samabima
view pdf
Back to platform

විපක්ෂය සමඟ වැඩ කිරීම සිවිල් සමාජයට අළුත් දෙයක් නෙවෙයි

ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනිය


මිනිස් අයිතිවාසිකම් ප‍්‍රමුඛ කොට ගෙන නිදහසේ වේදිකාව විසින් සකස් කරන ලද ”වෙනසකට කැපවෙමු” නම් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඇතුළත් පංචවිධ ප‍්‍රතිපත්තිය විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ පළමු පියවර වශයෙන් එය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම පසුගිය 12 වනදා සවස කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී උත්සවාකාරයෙන් සිදුවිය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පුළුල්ම මහජන බලවේගයක් ගොඩනැඟීම සඳහා ‘නිදහසේ වේදිකාව’ විසින් දිවයින පුරා පවත්වන ලද දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවලදී සම්මත කරගත් රට ගොඩනැඟීම සඳහා වන පස්වැදෑරුම් වැඩපිළිවෙළ පිළිබඳ එහි සම කැඳවුම්කරුවන් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු විසින් දක්වන ලද අදහස් මෙවර සමබිම පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.



සිවිල් සමාජයේ ක‍්‍රියාධරයන් හැටියට පසුගිය කාලයේදී අප විශාල අභියෝගාත්මක තීන්දුවක් ගත්තා. ඒ විපක්ෂයේ දේශපාලන බලවේග සමඟ ක‍්‍රියාකාරී සංවාදයකට සහ මෙහෙයුමකට පැමිණීමටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම, නීතියට පිටින් සිදු කරන ඝාතන සහ අපරාධ, පැහැර ගැනීම් සහ අතුරුදහන්වීම් සිදුවන මොහොතක පොදු සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වය පමණක් ප‍්‍රමාණවත් නොවන බව අපට හැඟී ගිය නිසයි මේ තීන්දුව ගැනීමට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ එක්දහස් නමසිය අසූ ගණන්වල අපි විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂයේ මර්දනයට එරෙහිව කටයුතු කළෙත් මේ ආකාරයටමයි. අප මේ මොහොතෙත් විපක්ෂය සමඟ කටයුතු කරන්නේ ඒ අත්දැකීම් පදනම් කරගෙනයි. ඒ නිසා මෙය අපට අළුත් දෙයක් නෙවෙයි.

අපේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා බලවේගයක් ඇති කිරීමයි. මෙම බලවේගය ඇති කිරීමේ මූලික අරමුණ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමයි. එහිදී දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම ප‍්‍රධාන කාරණයක්. ඒ නිසා මේ වන විටත් අප සමඟ එකතු වී කටයුතු කරන එක්සත් සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟත් මෙම පංචවිධ ප‍්‍රතිපත්ති සාකච්ඡාවට ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

නමුත් ආණ්ඩුව සමඟ සිටින පක්ෂ වලට මෙය අළුත් දෙයක් නෙවෙයි. අප කාලාන්තරයක් පුරාම ආණ්ඩුවේ පක්ෂ වලින් ඉල්ලා සිටියේ මෙම පංචවිධ ප‍්‍රතිපත්තියේ තිබෙන යෝජනා අනුව කටයුතු කරන්න කියලා. ඒ අයට පසුගිය කාලයේ ජනාධිපති ධූරයේ රැදී සිටියදී ගත හැකි විසඳුම් තිබුණා. පැහැරගැනීම් සහ අතුරුදහන්වීම් සිදු වුණේ මේ ආණ්ඩුව යටතේ. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක නොකළේ මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා විසින්. 13 වන ව්‍යවස්ථාව අද මියැදෙමින් තිබෙනවා. ඒ නිසා ඔවුන් සමඟ සංවාදයක්, සාකච්ඡාවක් පැවැත්වීම ඵලදායී නැහැ. නමුත් ඒ අයට අප මේ අවස්ථාවේ පෙන්වා දෙන්නේ විපක්ෂයේ බලවේගය ලෙස අප ඉදිරියට එන බවයි. ආණ්ඩු පක්ෂයේ ඉන්නා දේශපාලන කණ්ඩායම්වල හෘද සාක්ෂියක් තිබෙන දේශපාලනඥයින් සහ රටට ආදරය කරන ක‍්‍රියාධරයන් ඉන්නවා නම් අපේ රට මේ අගාධයෙන් බේරා ගැනීමට ඔවුන් මෙම පංචවිධ ප‍්‍රතිපත්තිය කියවා එම බලවේගයට එක් විය යුතුයි කියා අප හිතනවා. නමුත් ඒ අය සමග සංවාදයක් කිරීම මිස සාකච්ඡා කිරීම ඵලදායී නොවන බව අප හිතනවා. ඊට හේතුව ඒ අය කල්පනා කරන්නේ මේ ඒකාධිපති පවුල්වාදී පාලනය දිගටම ගෙන යාමටයි. අපට අවශ්‍ය ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට ගරු කරන, ස්වෛරී භාවය මත පදනම් වූ, ජනතාවට වග කියන, ඔවුන් මුලා නොකරන දේශපාලන රාමුවක් ඇති කිරීමටයි.

රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය හුදෙක් දේශපාලන පක්ෂ හරහා පමණක් කළ නොහැකියි. නේපාලය, තායිලන්තය, පිලිපීනය වගේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල දෙස බැලූ විට අපට ඒ බව පැහැදිලිව පේනවා. උදාහරණයක් විදිහට ගාන්ධිතුමා ඉන්දියාවේ නිදහස වෙනුවෙන් කටයුතු කළේ දේශපාලන පක්ෂයක් ලෙස නෙවෙයි. ඔහුගේ සටන ගෙන ගියේ විශාල ජනතා බලවේගයක් මෙහෙයවා ගනිමිනුයි. සිවිල් සමාජය යනු හුදෙක් රාජ්‍ය නොවන සංවිධාන පමණක් නෙවෙයි. සිවිල් සමාජය කියන්නේ පුළුල් ජනතා සවිඥනය සහ පුළුල් ජනතා මෙහෙයවීමයි. ඒ අවශ්‍ය වන්නා වූ දේශපාලන පෙරළිය කිරීමට සහ වෙනස ළඟා කර ගැනීමට තමන්ගේ රාමුවෙන් පිටත සිටින නමුත් තමන් වගේ සිතන කණ්ඩායම් සමඟ කටයුතු කිරීම රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ ක‍්‍රියාධරයන්ගේ වගකීමයි.


Back to samabima
view pdf
Back to platform

සිවිල් සංවිධාන වලට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න ලැබීම ඉතාම වැදගත්

මිනිස් අයිතිවාසිකම් ප‍්‍රමුඛ කොට ගෙන නිදහසේ වේදිකාව විසින් සකස් කරන ලද ”වෙනසකට කැපවෙමු” නම් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඇතුළත් පංචවිධ ප‍්‍රතිපත්තිය විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ පළමු පියවර වශයෙන් එය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම පසුගිය 12 වනදා සවස කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී උත්සවාකාරයෙන් සිදුවිය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පුළුල්ම මහජන බලවේගයක් ගොඩනැඟීම සඳහා ‘නිදහසේ වේදිකාව’ විසින් දිවයින පුරා පවත්වන ලද දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවලදී සම්මත කරගත් රට ගොඩනැඟීම සඳහා වන පස්වැදෑරුම් වැඩපිළිවෙළ පිළිබඳ එහි සම කැඳවුම්කරුවන් වන ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ විසින් දක්වන ලද අදහස් මෙවර සමබිම පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.






ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු


නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් සෑදීමටයි. ඒ සඳහා කවුරුවත් ඉදිරිපත් නොවන වෙලාවක යම්කිසි වේදිකාවක් හදන්න අප ඉදිරිපත් වුණා. දිගුකාලීනව ප‍්‍රතිපත්තිමය වශයෙන් මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ කෙසේද සහ අප එකඟ වන්නේ කුමන කාරණා වෙනුවෙන්ද යන්න ගැන නිදහසේ වේදිකාව හදන අවස්ථාවේ අපත් සමඟ සම්බන්ධ වූ පිරිස් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එම දීර්ඝ සාකච්ඡා වලින් පසුවයි මෙම පංචවිධ ප‍්‍රතිපත්ති සකස් කළේ .

එය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන පක්ෂ වලට ඉදිරිපත් කිරීමට අප සැලසුම් කළා. පළමුව එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ වලට මෙය පිළිගන්වනු ලබනවා. ඒ මඟින් එම පක්ෂ මේ සඳහා එකඟ වීමක් පමණක් නොව කැපවීමක්ද අප අපේක්ෂා කරනවා. එවැනි කැපවීමකට ඔවුන් එකඟ බව පෙනී ගියහොත් පසුව ඔවුන් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නිදහසේ වේදිකාව බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් එම දේශපාලන පක්ෂවලට අභ්‍යන්තරව බලපෑම් කිරීමට තරම් ශක්තිමත් වීම අපේ අරමුණයි.
පංචවිධ ප‍්‍රතිපත්තිය තුළ ගැඹුරු කාරණා රාශියක් අන්තර්ගත වෙනවා. ඒ හැම කරුණක්ම බද්ධ කරල තිබෙන්නේ අයිතිවාසිකම් වලට සම්බන්ධ වන ආකාරයටයි. මෙය යහ පාලනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට, රටේ පුරවැසියන්ට වෙනස් කොට සැලකීමකින් තොරව ජීවත් වීමට යම්කිසි මඟ පෙන්වීමක් හා බලපෑමක් කළ හැකි ප‍්‍රබල ලියවිල්ලක් බවට අනාගතයේදී පත්වෙයි කියලා අප විශ්වාස කරනවා.

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වලටත් මෙම පංචවිධ ප‍්‍රතිපත්තිය පිළිගන්වන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපත් සමඟ ආරම්භයේ සිටම කටයුතු කරන එක්සත් සමාජවාදී පක්ෂයටත් ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ සෑම පක්ෂයකටමත් ඉදිරියේදී මෙය පිළිගන්වනවා.

ආණ්ඩු පක්ෂයට පංචවිධ ප‍්‍රතිපත්තිය පිළිගන්වනවාද නැද්ද කියලා අපට සලකා බලන්න සිදු වෙනවා. අපට මේ වේදිකාව හදන්න සිදු වුණේ ආණ්ඩුවේම ක‍්‍රියාකාරීත්වය නිසා. ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න තිබුණ වේදිකාව නැති කරල දැම්මේ ඔවුන් විසින්. ඒ නිසා ආණ්ඩු පක්ෂයට මෙය පිළිගැන්වීම ගැන තීන්දුවක් ගැනීම ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණයක්.

සිවිල් ව්‍යාපාර හරහා බිහිවෙන මෙවැනි ප‍්‍රතිපත්තීන් වලට දේශපාලන පක්ෂවල එකඟතාවය හා කැපවීම ලබා ගැනීම මඟින් රටට ප‍්‍රතිලාභ රාශියක් අත්වෙනවා. ඒ අතරින් සිවිල් සංවිධාන වලට යම්කිසි දුරකට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න අවස්ථාවක් සහ හැකියාවක් ලැබීමම ඉතාම වැදගත්. දේශපාලන පක්ෂ ජයග‍්‍රහණය කළාට පසුව මෙවැනි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරවා ගැනීම ඉතා අපහසුයි. සිවිල් සංවිධාන සහ විපක්ෂ දේශපාලන පක්ෂ එකතු වෙලා අවබෝධතා ගිවිසුමකට අත්සන් කරල බලය ලබා ගත්තට පස්සේ ඔවුන් ඒ සඳහා කැපවන අවස්ථා අප දැකලා නැහැ. රටක සිවිල් ජනතාවට යම් බලයක් තිබෙනවා. ඒ මඟින් දේශපාලනඥයින්ට බලපෑම් කරන්න තරම් බලයක් ජනතාවට තිබෙන බව පෙන්විය යුතුයි. මේක සිවිල් සමාජය තමන් බලයට එන්න දරන උත්සාහයක් නෙවෙයි. සිවිල් සමාජයට තියෙන බලාධිකාරිය ජනතාවගේ බලය. ඒ නිසා මෙය ජනතාවගේ බලය ප‍්‍රකාශ කරන අවස්ථාවක්.


Back to samabima
view pdf
Back to platform

Sunday, November 8, 2009

කාකි ඇඳුම් අළුගෝසුවන්ට එරෙහිව ජනතාව පෙළ ගැසෙති

මානසික ආතතියකින් පෙළෙමින් සිටියා යැයි කියන දෙමළ ජාතික තරුණයෙකුට පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂික අන්දමින් පහර දී දියේ ගිල්වා ඝාතනය කරන ලද සිද්ධිය මේ වන විට දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති කර ඇත. නොකඩවා සිදු වෙමින් පවතින පොලිස් ඝාතන අතරට අළුතින්ම එක් වූ මෙම සිදු වීම හරහා මෙරට මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කිරීමට අපකීර්තිමත් සාක්ෂියක් ශ‍්‍රී ලංකා පොලිසිය විසින් නැවත වරක් සපයා ඇත.යම් හෙයකින් අදාළ සිදුවීම ඇතුළත් වීඩියෝ පටය නොවන්නට ඝාතනයට ලක් වූ මෙම තරුණයාද පාතාලයෙකු බවට පත් වීම සක්කරයාටවත් වෙනස් කළ නොහැකි වන්නේය.මිනිසුන් බල්ලන් බළලූන් මෙන් මරා දමන හිරිකිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් මේ රටේ බිහි වීමේ වගකීම පාලකයින් විසින් බාර ගත යුතුය. ජනතාවගේ ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන්නට අපොහොසත් පාලකයින්ගෙන් ජනතාවට ඵලක් නැත. එනිසා තවදුරටත් අප පත් කළ පාලකයින් අතින් අපගේ මරණ වරෙන්තුව ලියැවෙනු බලා සිටිය නොහැක. තීරණය ඇත්තේ පරමාධිපත්‍යය හිමි ඔබ අතේය.
බම්බලපිටිය මුහුදු වෙරළේදී පොලිස් නිළධාරියෙකු විසින් අමානුෂික ලෙස පහර දී තරුණයෙකු මරා දැමීමට එරෙහිව සිවිල් අධීක්ෂණ කමිටුව, නිදහසේ වේදිකාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ එක්ව පසුගිය 04 වෙනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඊට සිවිල් සංවිධාන ගණනාවක් සහ දේශපාලන පක්ෂද සහභාගී විය. විශාල ජනතා සහභාගීත්වයකින් සිදු කෙරුණු මෙම උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් ‘කාකි ඇදුම් අළුගෝසුවෝ ’ යැයි සටන් පාඨ කියන විට මහ මඟ යමින් සිටි ජනතාවද ඊට සහාය පළ කරන අන්දම දක්නට ලැබුණි.

මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ

නිදහසේ වේදිකාව සිවිල් සමාජ සංවිධාන සහ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ යන දෙකොට්ඨාශයේම දායකත්වයෙන් ගොඩනැඟෙන්නේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබූ අවස්ථාවකය. වසරකටත් අඩු නිදහසේ වේදිකාවේ අතීතය තුළ ප‍්‍රාදේශීය වශයෙන් සාකච්ඡා විශාල සංඛ්‍යාවක් පවත්වමින් පස්වැදෑරුම් වැඩපිළිවෙළක් සමාජගත කිරීමට උත්සාහ දරන ලදී. මෙම සාකච්ඡා සඳහා සිවිල් සමාජ සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වෙයි.
ඔක්තෝමබර් 18 වෙනිදා මාතර සර්වෝදය ශාලාවේදී පැවති දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවේදී සිවිල් සංවිධාන නියෝජනය කරමින් නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන අදහස දැක්වූ අතර දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක්වූයේ දකුණු පළාත් සභා විපක්ෂ නායක බුද්ධික පතිරණ මහතාය. තරුණ දේශපාලකයෙකු වශයෙන් බුද්ධික නිදහසේ වේදිකාව පිළිබඳ ඉදිරිපත් කළ විග‍්‍රහය මේ පිළිබඳ ආරම්භ කළ සංවාදය ඉදිරියට ගෙන යාමට දායක වනු ඇතැයි සිතන අපි ඔහුගේ අදහස් වලින් තෝරා ගත් කොටසක් මෙවර ‘සමබිම’ පාඨකයන් සමඟ බෙදා ගැනීමට අදහස් කළෙමු.






දකුණු පළාත් සභා විපක්ෂ නායක
බුද්ධික පතිරණ

මගේ මේ කතාව ආරම්භ වෙන්නෙ 1990 දශකයේ මුල් කාර්තුවෙන්. මට මතකයි ඒ වකවානුවෙත් අද ඇතිවෙලා තියෙනවා වගේම ලොකු සංවාදයක් රට පුරා ඇති වුණා. ඒත් එදා ඒ සංවාදය තුළ මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් එදා පේ‍්‍රමදාස රජය ක‍්‍රියාත්මක කරපු ප‍්‍රමුඛ සුබ සාධන ව්‍යාපාරයන් ඇගයීමකට ලක්වුණේ නැහැ. එදා කතාවුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ගැන.හැබැයි සාම්ප‍්‍රදායික එක්සත් ජාතික පාක්‍ෂිකයෝ මේ සංවාදයෙන් පිටතයි හිටියෙ.

එහෙමනම් කවුද එදා ඒ සංවාදයට මුලපිරුවේ? එදා තිබූ සිවිල් සහ බහුජන සංවිධාන. නමුත් මම කරපු අධ්‍යනයන්ට අනුව එදා සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන ගෙනගිය වැඩ පිළිවෙළ ඒ මොහොතේදී ජනතාව අතර බරපතල සාකච්ඡාවකට ලක් වුණේ නැහැ.

1992 විතර වෙනකොට එක්සත් ජාතික පක්‍ෂය ඇතුළෙ බරපතල පිපිරීමක් ඇතිවෙනවා. ඒ පිපිරීමේ ප‍්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතික පක්‍ෂය තුළ ගොඩනැගිලා තිබුණ ශක්තිමත් සංවිධාන ජාලයේ යම් අර්බුදයක් ඇති වෙනවා. ඒ අර්බුදය තුළ ලලිත්, ගාමිණි, පේ‍්‍රමචන්ද්‍ර කණ්ඩායම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වෙනවා. ඒ ඉවත්වෙන මොහොත වෙනකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් නිද්‍රාශීලි තත්ත්වයකට පත්වෙලා තිබුණේ.

ඒ තත්වය තුළ මේ රටේ නැවත දේශපාලන උද්දීපනයක් ඇති කරන්න එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වුණ ලලිත් ගාමිණී කණ්ඩායම් එකතු වුණා. ඉන්පසු ඔවුන් විසින් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය ආරම්භ කර ඒකට නායකත්වය දීලා අවසානයේදී ඉතා කණගාටුදායක ලෙස දේශපාලනයෙන් සහ ජීවිතයෙන් සමුගැනීම තුළ චන්ද්‍රිකා කුමාරතුංග එහි ප‍්‍රතිඵල නෙළනවා. සටන ආරම්භ කළේ චන්ද්‍රිකා නොවුණට ප‍්‍රතිඵල නෙළලා ආණ්ඩුවක් හදලා අවසානේදී ඒකට පාර හදල දීපු අර සිවිල් සංවිධාන ජාලය තුළ සිටි සියළු ක‍්‍රියාකාරීන්ට නිර්දය ආකාරයට පහර දීල මේ රටේ දේශපාලන ගමන් මඟ වෙනස්ම දිශාවකට තල්ලූ කරල දාන්න ඒ ආණ්ඩුවට පුළුවන් වෙනවා.

මම හිතනවා අදත් නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතිහාසය නැවතත් පුනරුච්චාරණය වෙන එවැනිම තත්ත්වයක්. අවසානෙදි සිවිල් සංවිධාන මේ අරගලයේ පෙරටුගාමී බලය විදිහට නැත්නම් අරගලයේ ගිණිපුපුර බවට පත්වුණාට ඒකෙ ප‍්‍රතිලාභ ලබන්නේ වෙනත් කණ්ඩායමක්.

නමුත් මෙදා නිදහසේ වේදිකාවේ මම සාධනීය තත්ත්වයක් දකිනවා. ඒ කාරණා දෙකක් නිසා. මම මේ අරගලය සමඟ එකතු වෙන්නෙත් ඒ කාරණා දෙක නිසා. එකක් තමයි මෙදා සිවිල් සංවිධාන ජාලය සහ දේශපාලන සංවිධාන ජාලය කියන දෙක එකිනෙකට සමාන්තර පීලි දෙකක ගමන් නොකර එකට බද්ධවෙලා තිබීම. මම විශ්වාස කරනවා මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ කියලා. එහෙම වෙන්න හේතුව දේශපාලන සමාජය නැත්නම් දේශපාලන තලය තාමත් මේ රටේ අති බහුතරයක් පිරිස වන්දනීයව සලකන නිසා. ඒ නිසා දේශපාලනඥයාට පුළුවන් වෙලා තියෙනවා ඕනතරම් පිස්සු කෙලින්න. මොන පිස්සුව නැටුවත් ඒ පිස්සු දේශපාලඥයින්ව මනාප ලැයිස්තුවේ උඩින්ම ගෙනල්ල තියලා ඒ ව්‍යුහයට වන්දනාමාන කරන බහුතරයක් තමයි අද දේශපාලන ව්‍යාපාරය තුළ ඉන්නේ. නමුත් එහෙම අය වීර චරිත බවට පත්වෙන අතරම ඔවුන්ට දේශපාලන වේදිකාවෙන් එළියේ ලොකු චියර් එකක් ලැබෙන්නේ මෙන්න මේ සන්දර්භය තුළ. මට ඒක දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මමත් සිවිල් ව්‍යාපාරය තුළ කටයුතු කරලා දේශපාලනයට ආපු නිසා.

මම මේ අරගලය එක්ක එකතුවෙන දෙවෙනි කාරණය තමයි නිදහසේ වේදිකාව ප‍්‍රකාශයට පත් කරලා තියෙන පංචවිධ මූලධර්ම. 1990 දශකයේ සිවිල් ව්‍යාපාරය හා දේශපාලන ව්‍යාපාරය එකට එකතුවෙලා කතා කරන්නෙ සීමිත කාරණා කිහිපයක් වෙනුවෙන් පමණයි. නමුත් මෙදා දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික හැම කාරණයක් පිළිබඳවම මේ පංචවිධ මූලධර්මය තුළ ඇතුළත්. කොටින්ම ඊළගට පත්වෙන ආණ්ඩුවට රටක් ගෙනියන්න අවශ්‍ය සමස්ත ව්‍යුහයම මේ තුළ අන්තර්ගත වී තියෙනවා. 1977 දී ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හදුන්වාදෙන වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමය තුළ එක්සත් ජාතික පක්‍ෂයටත් බැරිවෙනවා ඒක ව්‍යුහය තුළට ගෙනාවට මනුස්සයන්ගේ සිතුවිලි තුළට ගේන්න. ඒ නිසයි අදටත් තාත්තෙක් අම්මෙක් හිතන්නේ තමන්ගෙ කොල්ලා පෙන්ෂන් පඩිකාරයෙක් බවට පත්කරන්න ඕන කියලා. තමන්ගෙ කෙල්ල පෙන්ෂන් පඩිකාරයෙකුට කසාද බන්දලා දෙන්න ඕන කියලා. අදටත් මේ වෙළෙඳපොළ අර්ථක‍්‍රමය යටතේ ඇතිවෙලා තියෙන පෞද්ගලික අංශයේ රැකියාවලට යවනවාට වඩා හැම අම්මෙක්ම තාත්තෙක්ම කැමති තමන්ගෙ ළමයා කොහොමහරි රජයේ සේවකයෙක් බවට පත්කරන්න. ඒක තමයි ඇත්ත කථාව. වෙළෙඳපොළ අර්ථක‍්‍රමය සමාජගත කරලා අවුරුදු තිස් දෙකක් ගතවෙලා තිබුණත් මිනිස්සුන්ගේ සිතුවිලි තියෙන්නේ ඊට වෙනස් පැත්තක. ඒ නිසා මම හිතනවා මේ පංචවිධ මූලධර්මයන් තුළ අපට මඟ හැරුණ සියළු කාරණා තියෙනවා කියලා.

අපි කාටත් පේන දෙයක් තමයි ප‍්‍රබලම විපක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය. ඒ වගේම මේ මොහොත වෙන කොට තවත් දේශපාලන පක්‍ෂ ගණනාවකුත් නිදහසේ වේදිකාවට එකතුවෙලා තියෙනවා. ඒ වගේම සිවිල් සංවිධානත් විශාල සංඛ්‍යාවක් එකතුවෙලා තියෙනවා. මේ කාරණයේදී අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ක්‍රෙඩිබිලිටි (විශ්වාසනීයත්වයක්) එකක් ඇති කරගන්න එක.

අද මේ මොහොත වෙනකොට මහින්ද රාජපක්‍ෂ පිළිබඳ බරපතල ප‍්‍රශ්න තියෙන අය තමයි බහුතරයක් ඉන්නේ. ඒත් ඒක නෙවෙයි ප‍්‍රකාශ වෙන්නේ. ඇයි ඒ බව ප‍්‍රකාශ වෙන්නෙ නැත්තෙ? මරණ බය නිසා. ඒක මාධ්‍යකරුවාගේ සිට සියළු දෙනාට තියෙනවා.මාධ්‍යකරුවාට අද තමන්ගෙ මතය ප‍්‍රකාශකරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අද මේ භීෂණය වෙන්නෙ බොහොම සුමට විදිහට. ඒ වගේම හරිම ප්‍රොෆෙෂනල්.

ඒ නිසයි අපිට නැවතත් සැබෑ ජනතා අරගලයක් අවශ්‍ය. එතනදි අපිට තියෙන ලොකුම අභියෝගය මේ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්‍ෂය ඉන්නෙ ඇයි කියන කාරණය ජනතාවට අවබෝධ කර දීමයි. එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන ව්‍යුහයක් විදිහට නැත්නම් දේශපාලන පක්‍ෂයක් විදිහට නිදහසේ වේදිකාව සමග ඉන්න කාරණය පිළිබඳ ප‍්‍රබල මතයක් සමාජගත කරන්න ඕන. එතනදී ඉතාම වැදගත් කාරණය තමයි මේ ක‍්‍රියාකාරීත්වයට යූ.එන්.පී ලේබලය ඇලවීමට සමහරු දරන උත්සාහය නැති කිරීම.

ඊළඟ කාරණය මේ එකතු වී සිටින අති බහුතරයක් නියෝජනය කරන සමාජ පන්තීන් සහ ජනතාව මේකට බද්ධ කරගන්න පුළුවන් විදිහට අපේ යටිතලය සකස් කරගන්න ඕන. ඒ සඳහා ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීමට මහජනයාගේ අදහස් ලබා දීම වැදගත්. අපි ක‍්‍රම උපායන් නිර්මාණය කරගෙන අවසානයේදී ඒවා ක‍්‍රියාකාරකම් බවට පත්කරගෙන ඒ කි‍්‍රයාකාරකම් ටික නිර්මාණයකට හරවා ගැනීම වැදගත්. නැත්නම් මේක යූ.එන්.පී වැඩක්, රජය දිනාගත්ත යුද ජයග‍්‍රහණ කණපිට හැරවීමේ ජාත්‍යන්තර සංවිධානවල කුමන්ත‍්‍රණයක්, මේක පිටිපස්සේ ඉන්නෙ ජාත්‍යන්තර බලවේගවල ඩොලර් පොම්ප කරන මැෂින් කියන චෝදනා තමයි හෙට දවසේ මේ ජනතා අරගලයට එල්ල වෙන්නේ. ඒ චෝදනා නිශේධනය කිරීමට, අපිට විරුද්ධව ගහන තුරුම්පු ගැන අපි ලියන්න ඕන. කථා කරන්න ඕන. ඒ තුරුම්පු වලට විසඳුම් හොයන ගමන්ම අපට ආවේණික අපේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන.නිදහසේ වේදිකාවේ පංචවිධ මූලධර්මවල තියෙන පළවෙනි කාරණාව ජනවාර්ගික සුහදතාවය ආරක්‍ෂාකිරීම. ඒ කාරණය අංක එකට ගත්ත එක ඉතා වැදගත්.

නිදහසේ වේදිකාවේ පංචවිධ මූලධර්ම මතුකරන කාරණා වහාම කි‍්‍රයාත්මක වුණේ නැත්නම් හෙට දවසේ එල්.ටී.ටී.ඊ නම නැතත් වෙන නමකින් හරි උතුරේ නැවතත් යුද කැරලි ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දකුණෙත් විජේවීර මොඩල් මතවාදය වෙනස් කරන්න පුළුවන් නායකයෙක් මතුවෙලා ආපහු කැරැල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ.

මොකද ආපහු සැරයක් එවැනි සටන්කාමී නායකත්වයකට ජනතාව ආකර්ෂණය කරගන්න පුළුවන් අර කැරස්මැටික් ලීඩර්ෂිප් කියන එකක් ඇති වුණොත් දකුණේ තාරුණ්‍යය ආකර්ෂණය කරගන්න පුළුවන් අසහාය නායකයා නිර්මාණය වුවහොත් ඔහු මාක්ස්වාදීද ධනේෂ්වරද කියන සාධකය වැදගත් වෙන්නේ නැහැ. හෙට දවසේ ධනේෂ්වර දේශපාලන පක්ෂයක් තුළ වුණත් තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කළහැකි, තරුණයින් බහුතරයක් පිළිගන්න නායකයෙකුට දකුණේ ධනේෂ්වර කැරැල්ලක් ඇති කරන්න පුළුවන්.

තවත් වැදගත් කාරණයක් විදිහට මම දේශපාලන අධ්‍යාපනය කියන කාරණය මේකට එකතු කරනවා. අද තාත්තා යු.ඇන්.පී හින්දා දරුවො යු.ඇන්.පී වෙලා නැත්නම් තාත්තා ශ‍්‍රී ලංකා හින්දා දරුවො ශ‍්‍රී ලංකා වෙන ප‍්‍රමාණය අඩුයි. හැබැයි තාමත් ජේ.වී.පී එකේ දේශපාලන අධ්‍යාපන වැඩ පිළිවෙළක් තියෙනවා. ඒත් ජේ.වී.පී එකේ දේශපාලන අධ්‍යාපන වැඩසටහන යන්නේ එක්තරා කොටුකරපු සීමාවක් තුළ. මේ වෙන කොට දේශපාලනය උගන්වන්න තිබුණ ඇකඩමි ඔක්කොම ෆේල් වෙලා තියෙන්නේ. ඒ ඇකඩමි වලට මේ රටේ වෙළෙඳපොළ අර්ථක‍්‍රමය පදනම් කරගත්ත දේශපාලන අධ්‍යාපනය කියන දේ උගන්වන්න බැහැ කියලා ඔප්පු කරලා තියෙනවා.

ඒ නිසා දේශපාලන අධ්‍යාපනය කියන එක හරි වැදගත්. ඒක මේ පංචවිධ මූලධර්මයන් තුළින් හොඳටම කරන්න පුළුවන්. මම කොච්චර පාරවල් හැදුවත් වැඩක් තියනවද ගමට එන ඒ පාරෙ තියන බෝක්කුව කඩන බූරුවො ටිකක් නම් ගමේ ඉන්නේ. මම හදන පාරේ එන බස් එකට ගිනි තියන අමන රැලක් නම් ඒ ගමේ ඇති කරලා තියෙන්නෙ. මම දෙන ට‍්‍රාන්ස්පෝමර් එකට ගිනිතියන තිරිසන්නු නම් ගමේ ඉන්නේ. මේක හරි භයානක තත්ත්වයක්.

ඒ නිසා දේශපාලන අධ්‍යාපනය ජනතාවට ලබා දීම ඉතා වැදගත්. මේ භයානක තත්ත්වය දේශපාලඥයින්ට තේරෙන්නෙ නැහැ. මම හිතනවා අද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අර්බුදයකට ගිහිල්ලා. තාරුණ්‍යය අර්බුදයකට ගිහිල්ලා. අධ්‍යාපනය, සෞඛ්‍ය අර්බුදයකට ගිහිල්ලා. සමස්ථයක් විදිහට මුළු ව්‍යුහයම අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. අපි හැකි ඉක්මනින් සමාජ වෙනසක් ඇති කිරීමේ බලවේගයක් ගොඩ නැඟීම අවශ්‍යයි.

Back to Platform
Back to Samabima
View pdf