Tuesday, April 20, 2010

අද පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා - විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

පසුගියදා සිරස ආයතනයට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකිමින් සාමකාමී විරෝධතාවයක නිරත වූ භික්ෂූන් වහන්සේලා නීති විරෝධීව ඉවත් කිරීම හෙළා දැකීම සහ පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය තහවුරු කිරීම වෙනුවෙන් ‘නිදහසේ වේදිකාව’ විසින් සංවිධානය කරනු ලැබූ භාෂණයට හඬක් - ජීවිතයට ඉඩක් රැස්වීම පසුගිය 07 වනදා කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පවත්වනු ලැබිණි. බි‍්‍රටෝ ප‍්‍රනාන්දු විසින් මුලසුන හෙබවූ මෙම රැස්වීමේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, සිරිතුංග ජයසූරිය,ධර්මසිරි ලංකාපේලි, නිමල්කා ප‍්‍රනාන්දු, සන්ධ්‍යා එක්නැළිගොඩ සහ සුදර්ශන ගුණවර්ධන අදහස් දැක්වූහ. මෙවර ‘සමබිම’ තුළින් අප ඔබ වෙත ගෙන එන්නේ එහිදී විපක්ෂ නායකවරයා පළ කළ අදහස්ය.


සාමාන්‍යයෙන් ලංකාවේ මහ මැතිවරණයකදී, ජනාධිපතිවරණයකදී මිනිස්සු විශාල වශයෙන් කතා කරනවා. විවිධ අදහස් පළ කරනවා. ඒත් අද එවැනි තත්ත්වයක් දකින්න නැහැ. රැස්වීම් වලට එන පිරිස අඩු වෙලා. ඇයි මේ නිශ්ශබ්දතාවය. අද ජනතාවට දේශපාලනය එපා වෙලා. ජනතාව දේශපාලනයට කැමති නැද්ද? ඔවුන්ට දේශපාලනඥයන් එපා වෙලාද? ඒක වෙන්න පුළුවන් දෙයක්. අද ජනතාව දේශපාලනයෙන් ඈත් වෙලා. ඔවුන් ඡන්දය දෙන්න ඕනද කියලා බලාගෙන ඉන්නවා.
සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල කියනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය කන්නද කියලා. ඔහු කියන්නේ මිනිස්සුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඕන නැහැ. ඔවුන්ට ඕන කන්නලූ, බොන්නලූ, රැකියාලූ. ඇත්තම නම් මිනිස්සුන්ට කන්න දීලත් නැහැ. බොන්න දීලත් නැහැ. රැකියා දීලත් නැහැ. ඩෙංගු සිරා කරල තියෙන්නේ මිනිස්සු මරන එක විතරයි. ජනාධිපතිවරණය තිබ්බ දවසෙ ඉඳල මිනිස්සු බයෙන් ඉන්නේ. මුලින් එක්නැළිගොඩ නැති වුණා. ඔහුට වුණේ මොකක්ද කියලා තවම හොයා ගන්න බැරි වෙලා. මේ අතුරුදහන් වීමට ආණ්ඩුව සම්බන්ධ නැත්නම් වෙනත් කණ්ඩායමක් යොදවන්න ඕන මොකක්ද වුණේ කියලා හොයන්න.
අපි පහුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දුන්නා. අපි පාර්ලිමේන්තු ඡන්ද කාලෙදි එතුමා මුණ ගැහුණා. එහිදී එතුමා කිවුවා ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉදිරිපත් වෙනවා කියලා. අපි එක්සත් ජනතා සන්ධානය විදිහට එන්න තීරණය කළා. එතනදී සහයෝගයෙන් වැඩ කරමු කියන එකඟතාවයට ආවා. ඒත් සතියක් යන්න ඉස්සර වෙලා ඔහුව හමුදා භාරයට ගත්තා. දැන් එතුමා සිවිල් පුද්ගලයෙක්. ඔහු වැරැද්දක් කරලා තියෙනවා නම් සිවිල් නීතිය යටතේ නඩු දාන්න පුළුවන්. ඒත් ඒකට සාක්ෂි නැති නිසා බලෙන් ගෙනගොස් හමුදා භාරයේ රඳවා ගෙන ඉන්නවා.
අද යුද්ධය දිනූ කෙනා හිර කරලා. ඒකට විරුද්ධව සංඝ සම්මේලනයක් පවත්වන්න හදපු මහ නායක හාමුදුරුවරුන්ට මල්වතු නිකාය කඩනවා කියලා තර්ජනය කළා. දළදා මාළිඟාවට බෝම්බ දානවා කිව්වා. ඉන් පස්සේ වැඩි කල් යන්න කළින් සිරසට ගැහුවා. ගහන්න ආවේ කැළණියෙන්. පාර්ලිමේන්තුවේදී මර්වින් සිල්වා කියනවා එයයි ඒක කළේ කියලා. ඔහු එහෙම කියන කොට රටේ ජනතාවට කතා කරන්න නිදහස නැහැ. ඒ නිදහස තියෙන්නේ ආණ්ඩුවේ බොරු කියන රූපවාහිනියටයි, අයි.ටී.එන් එකටයි විතරයි. ඇයි අනිත් අයට තමන්ගේ අදහස් ප‍්‍රකාශ කරන්න අවස්ථාව දෙන්නේ නැත්තේ.
දැන් පාර්ලිමේන්තුවත් විහිළුවක් වෙලා. ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණ වෙලාවේ අපේ මන්ත‍්‍රීවරු දෙදෙනෙක් දිවුරුම් දෙන්න නියමිත වෙලා හිටියා. ඒත් ඔවුන්ට දිවුරුම් දෙන්න දුන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ මහජනතාවයි. සර්ව ජන ඡන්දයෙන් නියෝජිතයන් 225ක් තෝර ගන්නවා. ඉන් 196ක් ඡන්දයෙන්. 29ක් ජාතික අනුපාතය අනුවයි. ඕනම පාර්ලිමේන්තුවක්, ඕනම සභාවක් පිරිලා තියෙන්න ඕන. ටික කාලයක් ඇබෑර්තු තියෙන්න පුළුවන්. ඒත් එම ඇබෑර්තුව වහාම පුරවන්න ඕන. අපි පාර්ලිමේන්තුවට බලය දීලා තියෙනවා අපේ වැඩකටයුතු පාලනය කරන්න. එහිදී අපි හදලා තියෙන ස්ථාවර නියෝග අනුව වැඩ කරන්න ඕන. ඒ අනුව මන්ත‍්‍රීවරු දිවුරුම් දෙන්න ඕන. ස්ථාවර නියෝගවලට අනුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඕන මන්ත‍්‍රීවරු දිවුරුම් දීලයි.
ඡන්ද කල් දාන්න බැහැ. බණ්ඩාරනායක මැතිණිය කන්කසන්තුරේ ඡන්දය කල් දැම්මා කියලා ඒ අය වෙනම රාජ්‍යකට ජන වරමක් ගත්තා. චෙල්වනායගම් උඩින්ම දින්නා. ඒවා නවත්වන්නයි 78 ව්‍යවස්ථාව හැදුවේ. මමත් ඒක හදපු කෙනෙක්. මම මේක හදන කාලේ විශ්ව විද්‍යාලයේ උගන්නපු මහාචාර්ය ජී.එල්. පීරිස් අද පාර්ලිමේන්තුවට බි‍්‍රතාන්‍ය නීති අපිට ගැළපෙන්නේ නෑ කියලා කියනවා. අපේ වරප‍්‍රසාද නීතිය දිහා බලන්න කියලා මම ඔහුට කිව්වා. අපි 1950 සම්මත කරපු වරප‍්‍රසාද නීතිය තමයි තවම තියෙන්නේ. කවුරුවත් ඒක වෙනස් කළේ නැහැ.
මම කිවුවා මේ මන්ත‍්‍රීවරු දිවුරුම් දීම ගැන කතා කරන්න පක්ෂ නායක රැස්වීමක් ගන්න කියලා. අපි යම් යම් ස්ථාවර නියෝග කි‍්‍රියාත්මක නොකරනවා නම් ඒක ගැන තීරණය කරන්නේ පක්ෂ නායකයන්. මම යවපු ලිපියට කතානායකවරයා පිළිතුරක් දුන්නේ නැහැ. ඇයි මේක ගත්තේ නැත්තේ කියලා කියන්න ඔහුට හැකියාවක් නැහැ. ඒ ඔහුත් අද අපේ පක්ෂය අතහැර ගොස් සිටින සන්ධානයේ මන්ත‍්‍රීවරයෙක් නිසයි. මේ ගැන අගමැති හෝ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක හෝ කතා කළේ නැහැ. සභා නායක ඉදිරිපත් වෙලා කිව්වා නීතිපතිගේ උපදෙස් මතයි මෙය කළේ කියලා. නමුත් මේ නීතිපති පත් කරලා ඉන්නෙත් ව්‍යවස්ථාව කඩලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය නැතුවයි.
කවුද මේක ආරක්ෂා කරන්නේ. මහාචාර්ය මර්වින් සිල්වායි, මහාචාර්ය ජී.එල් පීරිසුයි. ඒ කියන්නේ ඔවුන් මහින්ද රාජපක්ෂගේ පොඩි කොන්ත‍්‍රාත් එකක් කරන්නේ.
මේ තත්ත්වය නැති කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය ක‍්‍රියාත්මක කරන්න ඕන. අපි ඒකට අත්සන් කළා. ක‍්‍රියාත්මක කළා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එය නැවැත්තුවා. ඊළඟ පාර්ලිමේන්තුවේ මේවා කි‍්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා හැම කෙනෙක්ම තමන්ගේ බඩගිනි නැති කරන්නත්,
නිදහස ඇති කරන්නත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්නත් ඡන්දය පාවිච්චි කළ යුතුයි.

Back to Home
View Pdf