Thursday, October 29, 2009

ඔහු කතා කරයි

‘රයිට්ස් නව්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන

රයිට්ස් නව් සංවිධානය ආරම්භ වුණේ මිනිස් අයිතිවාසිකම්
දැඩි ලෙස උල්ලංඝණය වූ වාතාවරණයක් යටතේ.
නමුත් ලංකාවේ යුද්ධයත් ජාතිවාදයත් ඉතාම සංකීර්ණ තැනකට
ගිය මොහොතකදී අපේ වැඩපිළිවෙළේ තිබුණු මුල් අංශය
වෙනුවට අපිට සිදුවුණා ජාතිවාදීහරණය කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න.
වහාම ශ‍්‍රී ලංකාවේ පොදු ජනයා වෙනුවෙන්
නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරනු යන තේමාවට මාරු වෙන්න වුණා.
ඔබට කියන්න පුළුවන්ද මේ දක්වා ගමන් පථයේ ප‍්‍රධාන මංසන්ධි කිහිපයක්?

අපි රයිට්ස් නව් සංවිධානය ආරම්භ කළේ අලූත් අභියෝගයන්ට
මුහුණ දීමට අලූත් සංවිධාන රටාවක් අවශ්‍ය බව පෙනී ගිය නිසා.
තවදුරටත් මානව අයිතිවාසිකම් රැක ගැනීම කියන එක තනිව කරන්න
පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සමාජයේ විශාල ජාතිවාදී ප‍්‍රවාහයක් තියෙනවා.
සමාජයේ බහුතරය ඒ ප‍්‍රවාහයට යටවෙලා තියෙනවා.
එවැනි අවස්ථාවකදී මානව හිමිකම් සංවිධානයක සුජාතභාවය අභියෝගයට ලක් වෙනවා.
එනිසා අලූත් ප‍්‍රවේශයක් අවශ්‍යයි. ජාතිවාදයට අභියෝග කරන්න පුළුවන්
විදිහේ අලූත් මානව අයිතිවාසිකම් අරගල සම්ප‍්‍රදායක් හදාගන්න නම්
සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා
සියළුම බලවේග එකතු කරපු පොදු අරගලයක් හරහා මහජනයා අතරට ගමන් කරන්න ඕන.
ඒ අනුව අපි උත්සාහ කළා විවිධ බලවේග සමඟ ප‍්‍රතිපත්තිමය එකඟතාවයකට ගමන් කරන්න.
එතැනදී අපි ඉදිරිපත් කළා විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ
එක්ක වැඩ කරන්න අවශ්‍යයි කියන එක.
පහුගිය කාලේ සිවිල් සමාජය තුළ තිබුණේ එක්කෝ ස්වාධීනව වැඩ කරනවා,
නැත්නම් බහුපාර්ශ්වික එකඟතාවයකට යනවා කියන එක.
බහු පාර්ශ්වික කියන්නේ සියළු පක්ෂ සමඟ එකට වැඩ කිරීම
නමුත් මෙවැනි ධ‍්‍රැවීකරණයට පත්වෙලා තියෙන සමාජයක ජාතිවාදය පදනම් වෙලා ආණ්ඩුවක් පිහිටුවලා තියෙනකොට එ් ආණ්ඩුවට අයත් පක්ෂ තුළ කවදාවත් මෙවැනි මානව අයිතිවාසිකම් රැකීමේ න්‍යාය පත‍්‍රයක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා විරුද්ධ පක්ෂ සහ ජාතිවාදයට විරුද්ධ කොටස් එක්ක තමයි මේ වැඬේ කරන්න පුළුවන්. නිදහසේ වේදිකාව හැදීමට අපි එකතු වෙච්ච අවස්ථාවෙදි අපිට පෙනුණා අර අපි කලින් කියපු තත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා ජන සමාජය සතුරා-මිතුරා වශයෙන් සම්පූර්ණයෙන්ම ධ‍්‍රැවීකරණය වෙනවා. රාජ්‍යය හා රාජ්‍යයේ මතවාදය ‘සිංහල’ බවට පත්වෙනවා. රජයේ මර්දනකාරී හා මතවාදී උපකරණ දෙක එක අරමුණක් වෙත යොමු වෙලා එක්සත් පෙරමුණක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේ එයට විරුද්ධ වන සියළුදෙනා විනාශ කර දැමිය යුතු අය වශයෙන් නම් කරලා විනාශ කිරීමට ක‍්‍රියා කළා.
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ‘සිරස’ ආයතනයට පහරදීම මේ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ නිසා අපි මැදිහත් වුණා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ මාධ්‍ය සංවිධාන එකතු කරලා පළල් පෙරමුණක් ගොඩ නඟන්න. එතැනදී අපි ඉතාම හෙමින් වැඩ පටන් ගත්තේ. ඉතාම නිශ්ශබ්දව වැඩ කරගෙන ගියේ. අපිට ගොඩාක් අය කිව්වා මේකෙ හඬ නැහැ මෙහි දෘශ්‍යමාන තත්ත්වයක් නැහැ කියලා. නමුත් අපි එකඟතාවයක් හදාගෙන සිවිල් සමාජයේ ප‍්‍රධාන සංවිධාන ගණනාවක් එකතු කරගෙන ඒ කාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා යම් පොදු වැඩපිළිවෙළක් හදා ගත්තා.
අපි නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජීවත් වීමේ අයිතිය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා. නමුත් ඒක ක‍්‍රමානුකූලව වර්ධනය කළා ප‍්‍රතිපත්තිමය එකඟතාවයක් දක්වා. මේ වැඩපිළිවෙලේ කොටස් දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි රාජ්‍යය හිංසනහරණය කිරීම නැතිනම් අතිරික්ත හිංසනය ඉවත් කිරීම. එතැනදී අපි අදහස් කරන්නේ ස්වභාවික නීතියට පටහැණි, ජාත්‍යන්තර ව පිළිගත් මානව අයිතිවාසිකම් මූලධර්ම වලට පටහැණි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හදිසි නීති රෙගුලාසි වැනි නීති වගේම ත‍්‍රස්ත විමර්ශන අංශය වැනි ආයතන ඉවත් කරලා එ්වා සමාන්‍ය නීති හා ආයතන තත්ත්වයට ගෙන එ්ම.දෙවැන්න නම් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම. මෙහිදී අපි කරුණු පහක් ඔස්සේ මේ ප‍්‍රතිපත්ති යෝජනා කරලා තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, යහපාලනය සහ රජයේ වගවීම, ජාතීන් අතර සමගිය හා ඒකාග‍්‍රතාවය, සමාජයට වගකියන්නා වු ආර්ථිකයක් සහ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන්වලට ගරු කිරීම. අද ඒකාබද්ධ විපක්ෂය සහ මේ සංවිධාන සියල්ල මෙම පොදු රාමුව තුළට ගෙන එ්මට හැකිවෙලා තියෙනවා. මං හිතන්නේ ඒක ලොකු ජයග‍්‍රහණයක්.

නිදහසේ වේදිකාව ඒකාබද්ධ විපක්ෂය සමඟ ඔබ අර කළින් කිව්ව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමේ නෛතික ලියවිල්ලක් අත්සන් කරනවාද නැත්නම් 94 එවකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු ව්‍යාපාර ලද පරාජයන්ගෙන් ලද අත්දැකීමෙන් පෝෂණය වෙලා මෙය ඡන්දෙන් පස්සේ නවත්තන්නේ නැතිව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ රාජ්‍යයේ හිංසනහරණය යන ක‍්‍රියාවලිය පොදුජන අධ්‍යාත්මය තුළට තුළ රැගෙන යන බහුජන ව්‍යාපාරයක් කරා මෙම නිදහසේ වේදිකාව පුළුල් කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවාද?

මුල් අවස්ථාවේ ඉඳලම අපි සාකච්ඡා කළා කිසියම් ආකාරයේ නීතිමය එකඟතාවයක් විරුද්ධ පක්ෂ සමඟ ඇතිකර ගෙන තමයි මේ ගමන යා යුත්තේ කියලා. ලංකාවේ වැඩ කිරීමේදී ප‍්‍රධාන ධාරාවන් තුනක් හඳුනා ගන්න පුළුවන්. එක කට්ටියක් කල්පනා කරනවා සිවිල් සමාජය වශයෙන් ස්වාධීනව තමයි ක‍්‍රියා කරන්න ඕනි කියලා. එහෙම ක‍්‍රියා කරලා කුමන රජයකට හෝ බලපෑම් එල්ල කිරීම් මඟින් දිනා ගත හැකියි කියල. දෙවැනි වර්ගයේ අය කල්පනා කරනවා ස්වාධීන සිවිල් සමාජයක් කියලා එකක් නැහැ, ඒ නිසා දේශපාලන සමාජයේ කොටසක් ඡන්ද කාලේ සිවිල් සමාජය ලෙස පෙනී සිටලා ඡන්දෙට පස්සේ රජයේ තනතුරු අරගෙන රජය ඇතුළට ගිහිල්ලා යම්කිසි ප‍්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන් කියලා.
අපි ඉන්නේ ඇත්ත වශයෙන් ම මේ දෙකේම නෙවෙයි. අපි උත්සාහ කරන්නේ මේ රටේ මහජනයා තුළට මේ අදහස් සාකච්ඡාවට ගෙනයාමට මෙය වේදිකාවක් කර ගැනිමට. දැනටමත් අපි රැස්වීම් රට පුරා ප‍්‍රධාන රැස්වීම් අටක් තියලා තියෙනවා. කුඩා රැස්වීම් දහසකට වඩා තියලා තියෙනවා. කුමන පක්ෂය බලයට පත් වුණත් බලයට පත්වෙන පක්ෂය - විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය එක්ක අපි එකඟතාවයකට යන්නේ, එවිට විරුද්ධ පක්ෂය බලයට පත්වෙච්ච අවස්ථාවකදී ඒ පක්ෂය - සමඟ මේ එකඟතා ගිවිසුම කි‍්‍රයාත්මක කරවා ගැනීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමට අපි ක‍්‍රියා කරනවා. ඒ මඟින් ඔබ කිව්වා වගේ මහජනයාගේ අධ්‍යාත්මය තුළට රාජ්‍යය හිංසනහරණය කිරීම සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යයි කියන සාකච්ඡාව ගෙනයාම තමයි බලාපොරොත්තු වෙන්නේ. අර මුලින් කියපු ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමේදී මහජන බලවේගයක් ඇති නොකර මෙම ගිවිසුම පාර්ශ්වයන් විසින් ක‍්‍රියාත්මක කරයි කියලා හිතුවොතින් අපි ලොකු මිථ්‍යාවක පැටලෙනවා. මොකද අපි විරුද්ධ පක්ෂය එක්ක වැඩ කරනවා වුනාට තවත් නොයෙක් බලවේග විරුද්ධ පක්ෂය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ විවිධ කණ්ඩායම්වලට තරඟකාරී අභිලාෂයන් තියෙනවා. පසුගිය කාලයේදී නිදහසේ වේදිකාව විතරයි විරුද්ධ පක්ෂ එක්ක සම්බන්ධ වුණේ. විපක්ෂ නායක තුමාම කිව්වා මේ දවස්වල ව්‍යපාරික ප‍්‍රජාව විපක්ෂයේ පැත්තවත් බලන්නේ නැහැ කියලා. අපි විපක්ෂයත් එක්ක ගියේ ලාභයක් ගන්න නෙවෙයි. අවදානමක් ගන්න. නමුත් අපි දන්නවා විරුද්ධ පක්ෂය බලයට පත්වෙන දවසක නොයෙක් අය ඇවිල්ලා මී වදයට මැස්සෝ වහනවා වගේ විපක්ෂයේ වහනවා. එතකොට විරුද්ධ පක්ෂය සමග තියෙන හොඳ හිත මත මේක කරන්න බැහැ. මහජනයා මේ වෙනුවෙන් බල කරන තත්ත්වයට ගෙනාවොත් තමයි අපිට මේ ප‍්‍රතිසංස්කරණ කරන්න පුලූවන්.

ලංකාවේ මතවාදය ප‍්‍රධාන වශයෙන් සකස් කරන මතවාදී උපකරණ වන රූපවාහිනි සහ ජනමාධ්‍ය බුද්ධිමතුන්ගේ අධිපති සංවාද වල ප‍්‍රධාන වශයෙන් ප‍්‍රකාශවන ප‍්‍රධාන පරස්පරය තමයි ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය සඳහා අපිට ආයුධ දුන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව කියන එක මේ අය විසින් සැඟවීම. අනෙක් පැත්තෙන් මේකේ තියෙන පරස්පරය වන්නේ චීනය හෝ ඉන්දියාවට වෙනස් ව තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවුරුදු සිය ගණනකට පෙර යම් යම් ව්‍යවස්ථාපිත ආයතන සහ සම්ප‍්‍රදායන් හදාගන්න බටහිර යුරෝපය සහ ඇමෙරිකාව අනිත් පැත්තෙන් අපිට කියනවා යම්කිසි ආකාරයක දේශපාලන බලයක් දෙමළ ජනතාවට ලබාදිය යුතුයි සහ අපේ දේශපාලන ව්‍යූහයන් ප‍්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. බොහෝ දෙනා වටහා ගන්නේ නැහැ මේක පරස්පරයක් කියලා.මේ පරස්පරය දේශීය එකක් නෙවෙයි විදේශීය පරස්පරයක්. අපිට එක පැත්තකින් ආයුධ දෙනවා, අනිත් පැත්තෙන් අදහස් දෙනවා. මේකෙන් ඒගොල්ලන් අදහස් කරන්නේ ඒ ගොල්ලන්ගේ රටවල වෙළෙඳපොළක් බවට අපේ උතුරත් දකුණත් ඒකාබද්ධ කිරීම. මේක තමයි ඒගොල්ලන්ගේ අභිලාෂය. ඔබ මෙම පරස්පර උගුලෙහි පැටලෙනවාද? නැත්නම් මේ පරස්පර උගුලෙක් එළියට යාමට සිතනවාද?

ඇත්ත වශයෙන් ම ජාත්‍යන්තර ප‍්‍රජාව අපිට ද්‍රව්‍යමය දේවල් දෙනවට කවුරුත් කැමතියි. නමුත් අදහස් එක්ක තමයි මේ ගැටලූව තියෙන්නේ. ඉතින් ඔබ කියු විදිහට අපි කියනවා පකිස්ථානය අපිට උදව් කළා. ඇමෙරිකාව උදව් කළේ නැහැ කියලා. ඇමෙරිකාව යුද්දයේදී උදව් කළා. ඊට අමතරව පකිස්ථානය හරහායි පැමිණියේ ඇමරිකන් ආයුධයි. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍යයට ආයුධ ලබාදී ඔවුන් විසින්ම සිවිල් සමාජයට අදහස් ලබා දීමයි. එතකොට මේක තේරුම් නොගත්තොත් අපි ඇත්තටම උගුලක තමයි පැටලෙන්නේ. අපි තේරුම් ගන්න ඕන ජාත්‍යන්තර ප‍්‍රජාවේ රටවල් වෙනත් රටක ප‍්‍රශ්නයක් දිහා බලන්නේ කලාපයේ ස්ථාවරභාවය පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් සහ තමන්නේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමේ දෘෂ්ඨිකෝණයෙන් යුතුවයි. මානවවාදී දෘෂ්ඨිකෝණයකින් නෙවෙයි. චීනය සහ ඉන්දියාව වෙනත් රටවල ප‍්‍රශ්න කෙරෙහි ක‍්‍රියාත්මක වන ආකාරය දිහා බැලූවාම මෙය හොඳට පැහැදිලි වෙනවා. එතනදී යුරෝපයේ රටවල් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ තියෙන ලක්ෂණ නිසා මහජන බලපෑමක් ඔවුන්ට ඇතිවෙනවා. මානවවාදී දෘෂ්ටිකෝණයෙනුත් මේ දෙස බැලිය යුතුයි කියලා. නමුත් ප‍්‍රධාන වන්නේ අර ඉහත කී ස්ථාවරභාවය සහ වෙළෙඳපොළ පිළිබඳ දෘෂ්ටිකෝණය. අපි මෙහි පැටලිලා බටහිර රටවල් අපේ ගැලවුම්කරුවන් ලෙස ඒ අය අපිව බේරා ගනීවි කියලා හිතුවොත් අපි ව්‍යාපාරයක් හැටියට හීලෑවීමක් වෙනවා. අපේ න්‍යාය පත‍්‍රය අපිට අවශ්‍ය පරිදි මෙහෙයවන්න බැරිව සම්පූර්ණ උගුලක පැටලෙනවා. ගොඩාක් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාර මේ උගුලේ පැටලෙනවා. බොහෝ සිවිල් සමාජ ව්‍යාපාර මතවාදී ද්‍රව්‍යමය හා වශයෙනුත් යැපෙන්නේ බටහිර රටවල් මත. ප‍්‍රජාව මත. අපි හිතනවා එල්.ටී.ටී.ඊ.ය පවා මෙලෙස පැටලූන. එනිසා මෙය මහජන ව්‍යාපාරයක් බවට හරවා ගත යුතුය යන අදහසින් තමයි අපි ඉන්නේ. එනිසා අපි කාගේවත් අතකොළුවක් බවට පත්වෙන්නේ නැහැ. කාගේවත් න්‍යාය පත‍්‍රයක් අනුව ක‍්‍රියා කරන්නේ නැහැ.

ඔබ කියන්නේ චීනයේවත් ඉන්දියාවේවත් වෙනත් රටක වුවත් න්‍යාය පත‍්‍රය යහපත් නම් ගැටලූවක් නැහැ, නමුත් ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වුවමනාවන් ඉෂ්ට කිරීමට පමණක් නම් ඔබ එය ප‍්‍රතික්ෂේප කිරීමට තරම් නිහතමානි යි.

අපි ඉතාම පැහැදිලිව එය ප‍්‍රතික්ෂේප කිරීමට නිහමානී වෙනවා. අපි දන්නවා ඉලියඞ් හෝ ඔඩිසි වැනි පුරාණ ග‍්‍රීක වීර කාව්‍ය වල සිටින අසහාය වීරයන්ගේ පසුපසින් සිට ඔවුන්ට බලය සපයන සහ ඔවුන්ගේ ඉරණම තීරණය කරන දෙවිවරුන් සිටිනවා. අවසාන වශයෙන් ජය පරාජය තීරණය වන්නේ මේ දෙවිවරුන්ගේ හැකියා සහ බලපෑම අනුවය. අපි දකිනවා අපේ දේශපාලන කරළියෙත් කාලෙන් කාලෙට මෙවැනි අත්භූත වීරයන් පහළ වෙනවා. මේ අය අමුතු අදහස් ප‍්‍රකාශ කරනවා. මේ අයට විශාල බලයකුත් ලැබෙනවා. ඒවාගේම සමහර වීරයන් හිටපු ගමන් කල් ඉකුත් වී චුත වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ඊනියා වීරයන් පිටුපස චීනය හෝ ඉන්දියාව වැනි බලවත් දෙවිවරු ඉන්නවා. අපි කියන්නේ අපි නිදහසේ වේදිකාව පටන් ගත්තේ අපේ රටේ උවමානාවක් උඩයි. අපිට මේක කරන්න බැරි වුනොත් රටේ ජනතාවට අවංකවම කියලා නවත්තලා ගෙදර යනවා. මෙම ව්‍යාපාරය රජයට හෝ වෙනත් රටකට හෝ පාවා දෙන්නේ නැහැ කියලා අපි වගකීමෙන් කියනවා.

මේ අරගලයේදී ඔබට කණ්ඩායම් දෙකක් හමුවෙලා තියෙනවා. එක කට්ටියක් කියනවා සිවිල් සමාජය එක්ක තමයි මේ වැඬේ කරන්න පුලූවන් කියලා. මේ අය මේ සඳහා විශාල පොත් පත් පවා නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් පසුව සිවිල් සමාජයක් හොයා ගන්න නැහැ කියලා මේ අය කළකිරෙනවා. සිවිල් සමාජයට සමුදීලා දේශපාලන සමාජයට ගිහිල්ලා ඡන්දය ඉල්ලනවා. අනෙක් වර්ගය දේශපාලන සමාජයේ ඉන්නවා. මේ දැඩි ලෙස දේශපේ‍්‍රමී ආණ්ඩුව නිසා කළකිරිලා ඒ අයට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. එනිසා ඒ අයට අවශ්‍ය වෙලා තියෙනවා සිවිල් සමාජය පැත්තට යන්න. ඔබ කොහොමද මේ දෙපැත්තට අදින බලවේග දෙක තුළින් මහජනයා සංවිධානය කරන, පෙරළියක් ඇතිකරන දේශපාලන සමාජ ව්‍යාපාරයක් හදන්නේ?ඇත්තටම මේ දෙපිරිස තමයි හමුවෙන්නේ. මේ විවාදයේ පැටලි පැටලි ඉන්න පුලූවන් දෙගොල්ලන් එක්ක. නමුත් මම හිතන්නේ ඇත්තවශයෙන්ම සමාජයේ විපර්යාසයකාරක බලවේගය සොයා ගැනීම තමයි කරන්න වෙලා තියෙන්නේ. අපි මහජනයා සමඟ සංවාදයෙහි යෙදෙන කොට සිවිල් සමාජය සහ දේශපාලන සමාජය යන දෙකොට්ඨාශය තුළම ඉන්න සැබෑ වුවමනාවක් සහිත මිනිසුන්ට අපි අවංකව මෙම කරුණු ඉදිරිපත් කළොත් ඔවුන්ගේ පිළිගැනීම ලැබෙනවා. මෙන්න මෙ අය අතුරින් තමයි අපිට සමාජ විපර්යාසකාරක බලවේගය සොයා ගන්න වෙන්නේ. එහෙම නැතිව මේ දැනට පවතින සදා නිමකළ නිර්මිතය තුළට ගිහිල්ලා පක්ෂ ශාඛාවක් හෝ සිවිල් සමාජ සංවිධානයක් හෝ ඇමතීමෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැති බව තමයි අපේ අත්දැකීම.ඊළඟ ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයා දිනුවත් ඔහුට දෙමළ ජනයාට දේශපාලන බලය බෙදීමේ ක‍්‍රියාවලියකට යන්න සිද්ධවෙනවා. මේ දවස් වල නිදාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ ඒවාගේ වේලාවක නැගිටලා කියන්න පුළුවන් මෙච්චර දේවල් කළේ බලය බෙදන්නද කියලා. ඒ ඔස්සේ ඒ අයගේ දේශපාලන වැඩසටහන සහ උද්ඝෝෂණ වැඩි කරමින් දේශපාලන බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියට ඇතුල් වෙන්න පුලූවන්. මේක භයානක තත්ත්වයක්. මන්ද එවැනි ක‍්‍රියාවලියකදී ජාත්‍යන්තරය මැදිහත් වී රට බෙදීමේ ක‍්‍රියාවලියක් දක්වා යා හැකියි. මෙම අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ ඔබ ආයතනයේ තියෙන පෙර සූදානම කුමක්ද?

ටික කලකට කළින් මට මතකයි ඩිලාන් පෙරේරා ඇමතිවරයා කිව්වා මේ ප‍්‍රශ්නය විසඳන්න බැරි එල්.ටී.ටී.ඊ එකයි ජෙ.වී.පී එකයි නිසා කියලා. දැන් එල්.ටී.ටී.ඊ එක ඉවරයි. ජෙ.වී.පි සෑහෙන්න දුර්වල වෙලා තියෙන්නේ. මේ දෙක අයින් කළාම උඩින ගේන විසඳුමක් දාලා සියල්ල සතුටින් නිමාවෙයි කියලා සමහරු හිතනවා. අපි ඒ මිථ්‍යාවේ නැහැ. අපි නම් පිළිගන්න විදිහට එල්.ටී.ටී.ඊ එකයි ජෙ.වී.පි එකයි නියෝජනය කරන්නේ යම්කිසි ජනපදනම් දෙකක්. මෙම ජන පදනම් දෙක තියෙනකම් ඒ ව්‍යාපාර පවතිනවා. එතකොට ඔබ කියනවා වගේම ඕනෑම පාලකයෙක් පත් වුනාම මෙතැනින් එහාට යන්න නම් දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට ලබාදිය යුතුමයි. ඒ වගේම තමයි මේ බලවේග ඊට විරුද්ධව නැගී සිටිනවා. අනෙක් කාරණය ගොඩාක් අය හීන දකිනවා දෙමළ මිනිසුන්ගේ ප‍්‍රශ්නය ඉවරයි ඒ නිසා අපි කැමති විදිහට යටත් කරගෙන ඉන්න පුලූවන් කියලා. එහෙම වුණොත් වෙන්නේ නන්දිකඩාල් කලපුවේදි අවසන් වෙච්ච ප‍්‍රශ්නය ජාත්‍යන්තර වශයෙන් මතුවෙලා එනවා. මෙතැනදී අපි හිතනවා මෙයට මුහුණ දෙන්න උප්පරවැට්ටිවලින් බැහැ සාම ගිවිසුම් කාලේ ගොඩාක් අය එන් ජී ඕ හරහා සල්ලි පොම්ප කරලා සාමය ඇති කරන්න පුලූවන් යැයි සිතුවා. නමුත් එය සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. මෙයට මුහුණ දෙන්න දෘෂ්ටිවාදී අරගලයක් කරන්න වෙනවා. අපි තීරණය කළ යුතුයි අපි සිංහල දෙමළ වශයෙන් ජාති දෙකක් විදිහට වෙන් වෙලා දකුණු ආසියාවේ ඊශ‍්‍රායලය බවට ලංකා භූමිය පත් කරනවාද නැතිනම් ශ‍්‍රී ලාංකික ජාතියක් වශයෙන් එකට ඉන්නවාද කියන එක.ඒක වෙනුවෙන් අපි පැහැදිලි අනාගත වැඩපිළිවෙලකට දායක වෙන්න කැමතියි.


Back to Home......
View PDF...

Tuesday, October 27, 2009

සෑම ලාංකිකයෙක්ම සමාන පුරවැසියෙකු බව ඒත්තු ගැන්වීමේ අභියෝගයට මුහුණ නොදී යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්න බැහැ


‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුය එය අත්හළ නොහැකිය’ යන තේමාව යටතේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද ‘අපි ඔක්කොම රජවරු’ මහජන රැස්වීම ඔක්. 13 දා කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු දැක් වූ අදහස් ‘සමබිම’ ඔබ වෙත ගෙන එයි. View more Photo...




නිදහසේ වේදිකාව මෙම රැස්වීම සඳහා තෝරගෙන තියෙන තේමාව ‘අපි ඔක්කොම රජවරු’.එනම් මහජනතාවගේ පරමාධිපත්‍යය ගැනයි. මහ මැතිවරණයක් ආසන්න වෙමින් පවතින අවස්ථාවේ මේ රටේ ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇද්ද යන්න ගැන මොහොතකට කල්පනා කිරීමට මේක හොඳ කාලයක්. මම හිතනවා ඇත්තටම අද එවැනි අවශ්‍යතාවක් මතුව තියෙනවා කියලා.

රටක ජනතා පරමාධිපත්‍යය අයිතිවාසිකම් තුළින් ශක්තිමත් නොවුණොත් එහි කිසි අර්ථයක් නැතුව යනවා. ජනතා පරමාධිපත්‍යය යථාර්ථයක් බවට පත්වෙන්නෙ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහ සිවිල්-දේශපාලන- ආර්ථික-සමාජීය කියන අයිතිවාසිකම් මඟින්. ජනතාවට තම නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට ඉඩ සලසන ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාදායක ආයතන වල සාමාජිකයින්ට තමන්ගේ ජනතාව මුණ ගැහෙන්නත්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයින්ට තමන්ගේ ඡන්ද දායකයන් වෙත ගිහින් ඔවුන් මුණගැහෙන්න නොහැකි තත්ත්වයක් පැවතීමත් විකාර සහ හාස්‍යජනක තත්ත්වයක්.

අද අපේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට නිදහසේ ගිහින් උතුරේ අවතැන් කඳවුරුවල ඉන්න තමන්ගේ ඡන්දදායකයන් මුණ ගැහෙන්න හැකියාවක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක එවැනි දේවල් සිදු වෙන්න බැහැ. නමුත් අද ශ‍්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින්නේ එයයි. අපි ජනතා පරමාධිපත්‍යය ගැන කථා කරනවා. ඒත් අපේම පුරවැසියන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවකට අත් වෙලා තියෙන ඉරණම සහ ඔවුන් රැකබලා නොගැනීම ගැන විදේශ රටවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තර සංවිධාන වලට බැණ වදිනවා. අපි සියළු දෙනාටම සමාන තත්ත්වයෙන් සැළකිය යුතු අතරම, සියළු දෙනාම සමාන ලෙස අයිතිවාසිකම් භුක්ති විඳිය යුතුයි.

නිදහසෙන් පසුව අපි මුහුණ දී ඇති ප‍්‍රශ්නවලට මූලිකම හේතුව සමහර ශ‍්‍රී ලාංකිකයන්ට අනෙක් ශ‍්‍රී ලාංකිකයන්ට වඩා තමන්ට පහත් ලෙස සලකන්නේය යන හැඟීම තදින්ම ඇතිවීමයි. මෙය අපගේ පරමාධිපත්‍යයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල කැළලක්, තුවාලයක්. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුට ම ඔවුන් හැමදෙනාම සමාන පුරවැසියන් බව ඒත්තු ගැන්වීම අභියෝගයක්. අපි ඒ අභියෝගය භාරගන්නා තෙක් අපිට අර්ථාන්විත පරමාධිපත්‍යයක් ගැන හෝ යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කථා කරන්න බැහැ. මම හිතනවා පරමාධිපත්‍යය ගැන කථාකරන කොට අපි මුහුණ දෙන අභියෝග වලට අනුව එම පරමාධිපත්‍යය ප‍්‍රකාශ වෙන ආකාරය ගැනත් සාකච්ඡා කළ යුතුයි කියල.

අපි පශ්චාත් යුද තත්ත්වයක ඉන්නේ. නිසැකවම සාමය, සමගි සන්ධානය හා ජාතික ඒකාග‍්‍රතාවය සඳහා මුල්තැන දීම අවශ්‍යයි. කුමක් කළත් පසුගිය දශක තුන පුරා මේ රට විනාශ වීමට තුඩු දුන් හේතු නැවත ඇති නොකිරීමට අපි තරයේම වගබලා ගත යුතුයි. දස දහස් ගණන් ජනතාවට අපි දෙවන පෙළ හෝ තුන්වන පෙළ පුරවැසියන් ලෙස සළකනවා නම් කිසිම සැකයක් නැතිව නැවතත් එම ගැටුමේ හේතු ප‍්‍රතිනිර්මාණය වෙනවා. අපේ පරමාධිපත්‍යයේ ඉතා ප‍්‍රබලම ප‍්‍රකාශනය වන්නේ අවතැන් වූ ජනතාවට නිදහසේ යාමට ඊමට ඉඩ දීම. ඕනම කෙනෙකුට මේ රටේ පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය නම් මුලින්ම ගමන් කිරීමේ නිදහස, මූලික අයිතිවාසිකම් සහ රටේ සෑම පුරවැසියෙකුටම අයිතීන් වලට ඔවුන්ට ඇති හිමිකම තහවුරු කළ යුතුයි.

මම හිතනවා අවතැන් වූ පුද්ගලයින් දැනට මුහුණ දී ඇති අර්බුද වලින් එහාට ගිය විට අප සළකා බැලිය යුතු තවත් දේවල් තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය වගේ ඉතා බලවත් ප‍්‍රධාන තනතුරක් තියෙන කොට කෙනෙකුට පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අර්ථාන්විතව කථා කරන්න පුළුවන්ද? මගේ හැඟීම අපි දැනට දශකයක් හෝ ඊට වැඩි කාලයක් මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි. අපි පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන කාරණා බරපතල විදිහට හිතනවා නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියල අපි ඒ බලතලම නැවත ක‍්‍රියාවේ යොදවන අගමැතිවරයෙකු පත්කර ගැනීමෙන් වැඩක් නැහැ. එය හරියට අවතැන්වූවන් මැණික් ෆාම් කඳවුරෙන් ඉවත් කර වෙනත් කඳවුරක රැඳවීම වගේ දෙයක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යාන්ත‍්‍රණය තුළින් ජනතාව පත්කරගත් නියෝජිතයින් හරහා. අපි ජනතා පරමාධිපත්‍යය නගා සිටුවිය යුතුයි. එය විශ්වාසයෙන්, අවංකව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනවා නම් විධායකයේ බලය ක‍්‍රියාත්මක කිරීමේදී සංවරණ හා තුලන ක‍්‍රියාත්මක විය යුතුයි. රජයේ සියළු අංශවල ස්වාධීනත්වය ආරක්ෂා වන යාන්ත‍්‍රණයන් පරිපාලන හා රාජ්‍ය පාලන පද්ධතිය තුළ පවතිනවා. මම මේ කියන්නේ පොලිසිය ගැන. රාජ්‍ය සේවය ගැන. මානව හිමිකම් ගැන. දැනට වසර දෙකක් තිස්සේ උල්ලංඝණය වෙමින් පවතින අපේ ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන. ඒ දාහත් වන සංශෝධනය ගැනයි. ඒක සීයට සීයක් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් මම ඔබට කියන්නේ ප‍්‍රමාණවත් නැති වුණත් එය අත්‍යවශ්‍ය බවයි. මේ රටේ පාලන ආයතන පිළිබඳ විශ්වාසය නගා සිටුවීමට එය අත්‍යවශයි.

අපි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි? රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම නිසා මැතිවරණ කාලයේදී තමන්ට ස්ථාන මාරුවීමක් ලැබෙයිද කියලා කිසිම පොලිස් නිළධාරියෙක් බියට පත් වීම සිදු නොවිය යුතු දෙයක්. මැතිවරණ අක‍්‍රමිකතා වලට එරෙහි වුණොත් තමන්ව ආරක්ෂා කිරීමට යාන්ත‍්‍රණයක් නොමැති වීම ගැන රජයේ නිළධාරියෙකු බිය විය යුතු නැහැ.

මම ඔබට යෝජනා කරන අනෙක් කාරණය දැනටමත් බොහෝ විවාද වලට ලක්වෙමින් පවතින කරුණක්. මැතිවරණයකදී රටේ ජනතාවගේ නියම අභිලාශයන් නියෝජනය වන මැතිවරණ ක‍්‍රමයක් අපට අවශ්‍යයි. එහිදී සාර්ථකත්වය ලඟාකර ගැනීමට නම් කේවල ඡන්ද ක‍්‍රමයේ සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයේ නියම සංයෝගයක් අපට ඕන.අපි යුද්ධයක් දිනා ගෙන තියෙනවා. විශාල ජයග‍්‍රහණයක් අත්කරගෙන තියෙනවා. නමුත් අපි හුදෙක් මිලිටරි අභියෝගයක් සමග සටන් කරමින් සිටියේ නැහැ. අපි ගණුදෙනු කරමින් හිටියේ රටේ ඉහළම නායකයා පවා ‘දේශපාලන ගැටළුවක් ලෙස’ දැක්වූ ප‍්‍රශ්නයක් සමඟයි. එයට දේශපාලන විසඳුම කුමක්ද? අපි මේ ගැන දැන ගත යුතුයි. එය දැනට තියෙන ව්‍යවස්ථාවට හා රාජ්‍ය පාලනයට එහා යන දේශපාලන විසඳුමක්ද? එහෙම නැත්නම් එය දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන ප‍්‍රතිපාදන සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටළුවක්ද? දැනට ව්‍යවස්ථා සංශෝධන දෙකක් පිළිබඳව මහජන විවාදයක් තියෙනවා. ඉන් එකක් දාහත් වන සංශෝධනය. එය දැනුවත්වම සහ හිතාමතාම දිනපතාම පාහේ උල්ලංඝණය කරනවා. ඒ වගේම දහතුන් වන සංශෝධනය කිසිදවසක සම්පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කර නැහැ.

මේ රටේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධ විවාදය දහතුන් වන සංශෝධනය වෙත යොමු කිරීමත්, එය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමත් ගැන අවධානය යොමු කිරීමෙන් එතරම් ප‍්‍රයෝජනයක් නැහැ. ඒක දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක්. මෙහිදී ඇතිවන ප‍්‍රශ්නය දහතුන් වන සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරනවාද කියන එක නෙවෙයි. අපි මේ සංශෝධනයෙන් තව දුරටත් එහාට යනවාද, නැතිනම් ඊට පහළ තතත්වයකට යනවාද යන්නයි. දශක දෙකකට පසුව එම කාලය තුළ පැවති මෙම ව්‍යවස්ථාමය රාමුව තුළ මිනී මැරීම්, අතුරුදන්වීම්, විදේශ රටවලට පැනයාම් හා බෝම්බ පිපිරීම් ආදිය පැවතීම මෙතන තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. නිසැකව ම මේ පවතින පාලන රාමුව, ව්‍යවස්ථාවන් සහ අපේ ජීවිතවල තත්ත්වයත් අතර සම්බන්ධයක් පැවතිය යුතුයි. නිදහසේ වේදිකාව ගැන කතා කරන්න නම්, ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන්න නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නගා සිටුවීම ගැන කතාකරන්න නම් අපි මේ පවතින තත්වයන්ට කළ යුතු අභියෝග පිළිබඳව න්‍යාය පත‍්‍රයක් සහිතව ඉදිරි මැතිවරණ වලට යා යුතුයි.මුලින් මම සඳහන් කළ ක්ෂේත‍්‍රවල ප‍්‍රතිසංස්කරණ සඳහා සහ පවතින තත්ත්වයන්ට අභියෝග කිරීම සඳහා වන මේ ගමනට නිදහසේ වේදිකාව ශක්තියක් වෙන බව මගේ බලාපොරොත්තුවයි.

Back to Platform
Back to Samabima

හැත්තෑ හතේදී ෆීලික්ස් ඩයස් ඡන්දය කල් දාන්න හදනකොට එන්.එම් පවා ජේ.ආර් හමුවී එක්සත් ක‍්‍රියා මාර්ගයක් ගැන සාකච්ඡා කළා.

නිදහසේ වේදිකාවට ගොඩ වෙන්න එපා යැයි සම සමාජ දේශපාලන මණ්ඩලය ගත් තීරණය වැරදි බව ලාල් විජේනායක කියයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී එයට විරුද්ධව සියළුම බලවේග ඒකරාශී කළ යුතුය යන්න ලංකා සම සමාජ පක්ෂය පිළිගෙන ඇති මූලික කරුණකි. උදාහරණයක් වශයෙන් 1977 මැතිවරණයට ආසන්න කාලයේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මහ මැතිවරණය වසර තුනකින් කල් දැමීමට හා මර්දනකාරී නීති ඉදිරිපත් කිරීමට උත්සාහයක යෙදී සිටින බව දැනගත් අවස්ථාවේදී ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා ජේ. ආර්. ජයවර්ධන මහතා හමු වී එවැනි දෙයක් සිදු වන්නේ නම් එයට විරුද්ධව එක්සත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සාකච්ඡා කළ බවත්, එවැනි සටනකදී තමන් සමඟ ඒ සටනට ඒකරාශී වන පුද්ගලයින්ගේ මුහුණු ප‍්‍රියමනාප දැයි බැලීම අනවශ්‍ය බවත් ප‍්‍රකාශ කර ඇත. එය සත්‍යයක් බව ප‍්‍රකාශ කරන ලාල් විජේනායක මහතා වාමාංශික දේශපාලනය හෝ මොනම ආකාරයේ හෝ දේශපාලනයක යෙදිය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ක‍්‍රියාත්මක වුවහොත් පමණක් බව ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභිකයෙකු වන අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකාශ කරයි.විජේනායක මහතා එසේ ප‍්‍රකාශ කර ඇත්තේ තමාට නිදහසේ වේදිකාවේ රැස්වීම් ඇමතීම තහනම් කරමින් ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට විරුද්ධව එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විමලසිරි ද මැල් මහතා වෙත ලිපියක් යවමිනි. ඔහු සිය ලිපියේ වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි. ‘‘නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි. මෙය කාලීන අවශ්‍යතාවක් ලෙස මම දකිමි. නිදහසේ වේදිකාව බිහි වී කෙටි කාලයක් ඇතුළත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් වලට එල්ල වී ඇති අභියෝගයන් පිළිබඳ ජනතාව හා රට තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීමට සහ එම ක‍්‍රියාවලියට විරුද්ධව හඬක් ගොඩනැඟීමට එය සමත් වී ඇත. මෙම ක‍්‍රියාවලිය පක්ෂයේ මූලික ප‍්‍රතිපත්ති සමඟ ගැටීමක් නොමැත. මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ව සිටි අවධියේ සිට අවුරුදු හතළිස් හයක කාලයක් සම සමාජවාදියෙකු හැටියට පක්ෂයේ ප‍්‍රතිපත්ති අකුරට පිළිපැද ඇති අතර එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමට විශාල කැපවීමකින් ක‍්‍රියාකර ඇත. ලංකා සමසමාජ පක්ෂය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වී ඇති පක්ෂයක ඉතිහාසය දෙස බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මානව හිමිකම්වලට අභියෝග එල්ල වූ හැම අවස්ථාවකදීම පක්ෂය ඊට විරුද්ධව මැදිහත් වී ඇත. පසුගිය කාලය තුළ සිදුවෙමින් පවත්නා වූ බරපතල මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව මා දේශපාලන මණ්ඩලය වෙත ලිඛිතව හා වාචිකව නිරන්තරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 17 වන සංශෝධනය නොසලකා හැර කිසිදු පැකිළීමකින් තොරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ක‍්‍රියා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී ඇති ප‍්‍රබල පහරක් බව මා මතු කර ඇත. නිල නොවන ආයුධ සන්නද්ධ කණ්ඩායම් ක‍්‍රියාත්මක වීම සහ පළල් ලෙස සිදු වී ඇති පුද්ගලයින් අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, බරපතල සාපරාධී ක‍්‍රියා පිළිබඳ සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණමය නොවන ක‍්‍රියාදාම තුළින් මරා දැමීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍ය ආයතනවලට පහර දීම්, දේශපාලන ක‍්‍රියාවල යෙදෙන විරුද්ධ පක්ෂ ක‍්‍රියාකාරීන් මර්දනය කිරීම් මෙන්ම ආණ්ඩුව විවේචනය කරන්නන් දැඩි හිරිහැරවලට ලක් කිරීම් සිදු වෙමින් පවතී.’’එහෙත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස සිටියදී එම ප‍්‍රශ්න පිළිබඳ මැදිහත්වීමට ආණ්ඩුව තුළ අප පක්ෂය නියෝජනය කරන්නන්ට ආත්ම ශක්තියක් හෝ ස්වාධීනතාවක් නොමැති බව පැහැදිළිව ප‍්‍රදර්ශනය කර ඇත. මෙම භයානක සිදුවීම් ඉදිරියේ අප අඳ,ගොළු බිහිරන් සේ සිටින බව පිළිගත යුතුව ඇත. මෙම තත්ත්වය මාගේ හෘද සාක්ෂියට අනුව පිළිගත නොහැකි ඉතා කණගාටුදායක තත්ත්වයකි. එම තත්ත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක අවශ්‍යතාවද මා මතු කර ඇත. නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි.
ඒ අනුව නිදහසේ වේදිකාව මෙම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනකාරී ක‍්‍රියා පිළිබඳව නගන හඬට සම්බන්ධ වීම අප පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට අනුකූල වන අතර එම ක‍්‍රියාව කිසිසේත් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි නොවන බව පිළිගත යුතුව ඇත. එහෙත් ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් ඕනෑම කොන්දේසියක් මත ආණ්ඩුවට අවනත වන අයට මෙය පිළිගත නොහැකිවීම තේරුම්ගත හැක. ඔවුන් සම සමාජවාදය ප‍්‍රතික්ෂේප කර තම වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින අය වේ. එහෙයින් දේශපාලන මණ්ඩල තීරණය පිළිගත නොහැකි බව සහෝදරත්වයෙන් යුතුව දන්වා සිටිමි.
view pdf