Thursday, December 17, 2009

දැන් මිනිස්සු කතාකරන්න පටන් අරගෙන

ජයතිලක බණ්ඩාර ‘71 අපේ‍්‍රල් කැරළිකරුවෙකි. සිරගෙයින් නිදහස් වී ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයේ කටයුතු කරන අතරතුර දේශපාලන හේතු මත එවකට පැවති එ.ජා.ප. රජය විසින් ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ සමඟ ඔහුවද සේවයෙන් පහ කරන ලදී. අනතුරුව ‘ගී රස වින්දන’ වැඩසටහන හරහා මහජනයා අතරට ගිය ජයතිලක යුද්ධයට එරෙහිව
දියත් කළ ‘සාධු ජනරාව’ ප‍්‍රසංගයේ නිර්මාතෘවරයා ය. ‘නිදහසේ වේදිකාව’ ආරම්භ කරන අවස්ථාවේ එයට එකතු වූ කලාකරුවන් අතළොස්සෙන් එක් අයෙකු වූ ඔහු එහි සෑම රැස්වීමකටම පාහේ සිය මධුර ස්වරය එකතු කළේය.
නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකු ද වන ජයතිලක බණ්ඩාර මෙවර ‘සමබිම’ තුළින් ඔබ හමුවෙයි.


වැස්ස වගේ ඇද හැලෙමු - සුළඟ වගේ එකට ඉමු

සාධු ජනරාව ප‍්‍රසංගයේ නිර්මාතෘ, ගායන ශිල්පී
ජයතිලක බණ්ඩාර
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

නිදහසේ වේදිකාව මෙතෙක් ආපු ගමන ගැන ඔබ තෘප්තිමත්ද?
නිදහසේ වේදිකාව පටන්ගන්නා මොහොත වෙනකොට සමාජය අයිස් තට්ටුවක් බවට පත්වෙලා තිබුණේ. මිනිස්සු සිද්ධවෙන දේවල් දිහා බලාගෙන හිටියා.නමුත් ඔවුන් තුළ ඒ සඳහා ප‍්‍රතිචාර දක්වන්න සූදානමක් අපි දැක්කෙ නැහැ. යම් සමාජයක් අගතියට යනකොට ඒ සමාජයේ ඉන්න හෘදය සාක්‍ෂියක් තියෙන මිනිස්සු ඒකට විරුද්ධව නැඟී සිටිනවා. නමුත් නිදහසේ වේදිකාව ආරම්භ කරපු අවධිය වෙනකොට එහෙම හිටපු පිරිස පවා පාලකයා විසින් තාන්න මාන්න, නම්බුනාම හා නොයෙක් වරප‍්‍රසාද දීලා ඔවුන්ගේ ගැත්තන් බවට පත්කරගෙන හිටියේ. මං මේ කතා කරන්නේ කලාකරුවන්, මාධ්‍යවේදීන් ඒ වගේම බුද්ධිමතුන් බහුතරයක් පිළිබඳවයි. එවැනි වකවානුවකයි නිදහසේ වේදිකාව පටන්ගත්තේ. ඒක දුෂ්කර ගමනක් වුණා. නමුත් අද වෙනකොට මිනිස්සු නැවත අසාධාරණයට විරුද්ධව කතාකරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම දුෂ්ඨ පාලකයෝ හෙලවෙන්න පටන් අරන් තියෙනවා. ඒ පාලන යන්ත‍්‍රය ඉරි තලලා තියෙනවා. නිදහසේ වේදිකාව නිශ්ශබ්දතාවය බිඳින්න මිනිස්සුන්ට ආරාධනා කළා. ඒ නිසා මිනිස්සු අසාධාරණයට එරෙහිව නැඟී සිටින්න පටන් අරගෙන තියෙනවා. ඒක නිදහසේ වේදිකාව විසින් කළ කාර්යභාරයක් නිසා සතුටක් දැනෙනවා.
නිදහසේ වේදිකාව කියන්නේ සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ එකතුවෙලා හදපු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාරයක්.එයට එකතුවෙලා වැඩකරද්දී මතුවුණ ගැටළු සහ අර්බුදකාරී තත්ත්වයන් මොනවාද?
නිදහසේ වේදිකාව වෘත්තීය සමිතිවල, දේශපාලන පක්‍ෂවල හා සිවිල් සංවිධානවල එකතුවක් වුණත් මුලදි මිනිස්සුන්ට ඒක පෙනුණේ එක්සත් ජාතික පක්‍ෂය සහ සිවිල් පුරවැසියන් කිහිපදෙනෙක් එකතුවෙලා කරන වැඩක් හැටියට. මිනිස්සු ඒ ගැන ප‍්‍රශ්න කළා. නමුත් කාලයක් යනකොට ඒ සියළු ප‍්‍රශ්නවලට උත්තර ඔවුන්ට ලැබෙන්න පටන්ගත්තා.අපි කිසිදවසක දේශපාලන පක්‍ෂවල අතකොළු බවට හෝ ඔවුන්ගේ හොරණෑවන් බවට පත්නොවුණ බව මිනිස්සු දැක්කා. ඒ නිසා අපි මේ දුෂ්කරතාවයන් ජයගත්තා.
නිදහසේ වේදිකාවේ අනුරාධපුර මහජන රැස්වීම ඉතා සාර්ථක රැස්වීමක් ලෙස අපි දකිනවා. ඔබ එය සංවිධානය කිරීමේ මූලිකත්වය අරන් කටයුතු කරපු කෙනෙක්. නමුත් ‘මේ රැස්වීම්වලට ආපු සෙනඟ බහුතරය යු.එන්.පී කාරයෝ. ඔවුන්ව ගෙනාවේ බස් යොදවලා’ කියලා චෝදනාවක් ඔබට එල්ල කළොත්, ඒ ගැන මොකද කියන්නේ?
ඔව්. මිනිස්සු බොහෝ දෙනෙක් ආවෙ බස්වල තමයි. මොකද තන්තිරිමලේ, කැකිරාවේ, ගලෙන්බිඳුනුවැව, හොරොව්පතානේ මිනිස්සුන්ට පයින් අනුරාධපුරේට එන්න බැහැනේ. ඒ නිසා බස්වලින් වෑන්වලින් තමයි ආවේ. නමුත් එන්.ජී. ඕ එකක හෝ යම් දේශපාලන පක්‍ෂයක මුදල් වලින් නෙවෙයි. ඒ මිනිස්සු ආවේ බස්වල ටිකට් අරගෙනයි. සමහර අය ඔවුන් විසින් සංවිධානය කරගත්ත වෑන්වල, ලෑන්ඞ්
මාස්ටර්වල නැඟිලත් ආවා.
ඒ වගේම එක්සත් ජාතික පාක්‍ෂිකයනුත් මේකෙ හිටියා. නමුත් ඒ සියළු දෙනාම එක්සත් ජාතික පක්‍ෂයේ අය කියලා කියනවනම් ඒක තොරතුරු හරියට නොදැන කරපු ප‍්‍රකාශයක්. යූ.එන්.පී යේ අයත් හිටියා. ඒ වගේම මේ ආණ්ඩුව කෙරෙහි කළකිරුණු ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයනුත්, වෘත්තීය සමිති ක‍්‍රියාධරයනුත්, වමේ ක‍්‍රියාධරයනුත් මෙයට සහභාගී වුණා. ඒක අපි වගකීමෙන් කියන්නෙ.රැස්වීම සංවිධානය කිරීම සඳහා මේ සියළු දෙනාගේ ශක්තිය ධෛර්යය අපි ලබා ගත්තා.ඒ එකතුව තමයි මෙහි සාර්ථකත්වය.
දේශපාලන පක්‍ෂ සමඟ එකතුවෙලා මෙවැනි ජනතා ව්‍යාපාරයක් ආරම්භ කරනකොට සහෝදර කලාකරුවන්ගෙන් ඔබට එල්ල වුණ අභියෝග මොනවාද?
අද ලංකාවේ ගායකයෝ හිතාගෙන ඉන්නවා ගීතයක් කවියක් කියන එක තමයි අපේ කාර්යභාරය කියලා.නාට්‍ය කරන අය හිතාගෙන ඉන්නවා අපේ වැඬේ නාට්‍ය කරන එක කියලා. නළු නිළියෝ හිතනවා මගේ වැඬේ තමයි රඟපාන එක කියලා. මේ හැමෝම හිතනවා එතනින් එහාට අපි සමාජ ප‍්‍රශ්න පිළිබඳව වැඩ කරන්න හෝ මිනිස්සුන්ගේ අරගලත් එක්ක එකතුවෙන්න හෝ අවශ්‍ය නැහැ කියලා. ඒක මහා මුග්ධ ප‍්‍රකාශයක්.
තමන්ගේ නිර්මාණවලින් අමතන සහෘද ජනතාව පීඩාවට පත්වෙනකොට, කලා නිර්මාණ කරන්න බැරි තත්ත්වයක් ගොඩනැඟෙනකොට පෑන්, කැමරා, මයික‍්‍රෆෝන් සහ සංගීත භාණ්ඩ පැත්තකින් තියලා කලාකරුවන් මහජනතාවගේ අරගලයන් එක්ක එකතු විය යුතුයි.
නමුත් පැහැදිලිවම අපේ රටේ කලාකරුවන්ගේ එවැනි සංස්කෘතියක් දකින්න හරි අමාරුයි. මිනිසුන් වෙනුවෙන් කෙරෙන අරගලවලට සම්බන්ධ වෙන කලාකරුවන් සුළු පිරිසක් සිටින නමුත් බහුතරය ඒ නිදහස නැති කරපු දුෂ්ඨ පාලකයන්ගේ අතකොළු බවට පත්වෙලා. අපට දිගින් දිගටම ඔවුන්ගේ මුසාවාදවලට සවන් දෙන්න සිදුවෙලා තියෙනවා. මේ තත්ත්වය මට අලූත් දෙයක් නෙවෙයි. මම නම් දශක ගණනාවක් තිස්සේ ගීත ගායනා කරනවා වගේම වාදනය කරනවා වගේම මේ ජන අරගලවලත් කොටස්කරුවෙක්.
ඉදිරියේදී ජනාධිපතිවරණයකට මුහුණ දීමට මෙරට ජනතාවට සිදු වෙනවා. ජනාධිපතිවරණය ගැන ඔබේ ස්ථාවරය කුමක්ද?
ජනාධිපතිවරණය මට ලොකු බලපෑමක් කරන්නෙ නැහැ. මොකද බලයට පත්වෙන මිනිසුන් විසින් අප බලාපොරොත්තු වෙන නිදහස ලබාදෙයි කියලා කිසිම විශ්වාසයක් නැහැ.එක්තරා කාලයකදී විපක්‍ෂයේ සිටින්නේ ඉතාම ප‍්‍රගතිශීලී මිනිස්සු. එතකොට බලයේ ඉන්න මිනිස්සු දුෂ්ඨයෝ. කාලයක් යනකොට විපක්‍ෂයේ ඉන්න මිනිස්සු ජනතාවත් එක්ක එකතුවෙලා අර දුෂ්ඨ පාලකයන් පන්නා දමනවා. ඉන් පස්සේ විපක්‍ෂයේ සිටිය ප‍්‍රගතිශීලීන් තමයි පාලකයන් බවට පත්වෙන්නේ. බලයට පත්වෙලා ටික කලක් ගියාම ඔවුන් තරම් අධර්මිෂ්ඨ, කුහක, ම්ලේච්ඡ පිරිසක් තවත් නැහැ. මේ වෙනකොට මගේ වයස අවුරුදු පනස් හතක්. මේක තමයි දශක ගණනක් පුරා අපේ අත්දැකීම. ඒ නිසා අපි මේ කිසිම මිනිසෙක් හෝ ගැහැනියක් කෙරෙහි විශ්වාසය තබන්නේ නැහැ. අපි විශ්වාස කරන්නේ ප‍්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳවයි.
ඔබේ විශ්වාසය එය නම්, ‘වෙනසක් අවශ්‍යයි - වෙනසක් කරමු’ යනුවෙන් ගත වූ මාස කිහිපයක් පුරා නිදහසේ වේදිකාව ගෙනගිය ජන අරගලයෙන් වැඩක් තියෙනවද?
අපි දැනට ඉදිරිපත් කරලා තියෙනවා රට ගොඩනැඟීම සඳහා වන පංචවිධ ප‍්‍රතිපත්ති මාලාවක්. අපි පෙනීසිටිය යුත්තේ ඒ ප‍්‍රතිපත්ති වෙනුවෙනුයි. මේ පිළිබඳව මහජනයා සමඟ සංවාදයක යෙදී ඔවුන් දැනුවත් කළොත් ඔවුන් මැතිවරණයකදී ඡන්දෙට ඉදිරිපත් වෙන දේශපාලනඥයන්ගෙන් ඒ පිළිබඳව ප‍්‍රශ්න කරයි කියලා අපි විශ්වාස කරනවා. අපේ ජයග‍්‍රහණය රැඳිලා තියෙන්නෙ ඒ මතයි.
අපිට වෙනසක් අවශ්‍යයයි. නමුත් ඒක බලයේ සිටින පුද්ගලයන් වෙනස්වීම තුළින් පමණක් සිද්ධවෙන්නේ නැහැ. මහජනයාගේ සිතුම් පැතුම් සහ ආකල්පත් වෙනස් විය යුතුයි. එය කිරීමට හැකිවන්නේ මහජන බලවේගයකට පමණයි. අප කරමින් ඉන්නේ ඒ මහජන බලවේගය ගොඩනැඟීමයි.
ඔබ නිදහසේ වේදිකාව මත සිට ‘නිවට සිවලූනේ වද නොදී සිහසුනෙන් බැස යන්න’ කියලා අපූරු ගීතයක් ගායනා කරනවා. අපි දැකලා තියෙනවා ජනතාව මේ ගීතයට ඉතා සංවේදී ප‍්‍රතිචාර දක්වනවා. මේ ගීතයත් වත්මන් පාලනයත් අතර තියෙන සම්බන්ධය පැහැදිලි කළොත්.
‘නිවට සිවලූනේ තොපට කාලයයි-වද නොදී සිහසුනෙන් බැස යන්න’ කියන මේ ගීතය මීට ඉහත පේ‍්‍රමදාස පාලනය කාලයේ එවකට සිටි පාලකයන්ගේ දුර්දාන්ත පාලනය පෙරළා දමන්න මහින්ද චන්ද්‍රසේකර විසින් රචනා කොට අප ගායනා කරපු ගීතයක්. මෙම ගීතය වර්තමාන පාලකයන්ටත් ඉතාම වලංගුයි. ඔවුන්ට සිංහාසනයේ ඉන්නට අයිතියක් නැහැ. තවමත් බලයට පත්වෙන්නේ නිවට සහ දුෂ්ඨ පාලකයන් නිසා දශක ගණනාවක් තිස්සේ මෙවැනි ගීතයක් ගායනා කරන්න සිදුවීම පිළිබඳව මම කණගාටු වෙනවා. අනාගතයේ දවසක හෝ මෙවැනි ගීතයක් ගායනා නොකර සිටිය හැකි වාතාවරණයක් අපේ රටේ ඇති වුණොත් මම ඉතාම සතුටුවෙනවා.

Monday, December 14, 2009

හිමිකරුවන්ට පැනවෙන සීමාවන් නිසා ස්වයංවාරණයක් පනවා ගන්න මාධ්‍යවේදීන්ට සිදුවෙලා

එදා මාධ්‍යවේදියා තම හඬ නැගුවේ පෑනෙන් හෝ කැමරාවෙනි. නමුත් පසු කලෙක මාධ්‍යවේදියා තමන්ට හඬක් නැති අන් අයගේ හඬ පමණක් ප‍්‍රකාශ කරන ඊනියා මධ්‍යස්ථ ඇම්ප්ලිෆයරයක් පමණක් බවට පත් විය. ඉන් අනතුරුව කරළියට පැමිණියේ මාධ්‍ය ක‍්‍රියාකරුවාය. ඔහු මාධ්‍යවේදියා වෙනුවෙන් හඬ නැගීමේ එ්ජන්තයා බවට පත් වූ අතර පෑන හෝ කැමරාව වෙනුවට ඔහුගේ මාධ්‍යය වූයේ ලිප්ටන් වටරවුමයි. අද මාධ්‍යවේදියා සහ මාධ්‍ය ක‍්‍රියාකරුවා යන දෙදෙනාම නිහඬය. අද සමබිම ඔබ වෙත ගෙන එන්නේ මාධ්‍යවේදියෙකුගේ හඬය.




නාරද නිශ්ශංක
‘දිවයින’නියෝජ්‍ය කර්තෘ සහ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්ති කර්තෘ

සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

අපි දකිනවා ලංකාවේ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් කොටස් දෙකක් ක‍්‍රියාත්මක වෙනවා. මාධ්‍යවේදීන් කියනවා තමන් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරන්නේ පෑනෙන් කියලා. මාධ්‍ය ක‍්‍රියාකාරීන් වශයෙන් පෙනී සිටින අය පෑනෙන් අරගල කිරීම කෙසේ වුවත් මාධ්‍ය නිදහස ඇතුළු වෙනත් බොහෝ කාරණා සම්බන්ධයෙන් පාරට බැහැලා උද්ඝෝෂණ කරනවා. නමුත් අපිට අනුව මේ වෙනකොට මේ දෙගොල්ලන්ගේම අරගලය අසමත්.
මාධ්‍ය ක‍්‍රියාකාරීන් කියන පිරිසට වඩා ඍජුවම මේ ප‍්‍රශ්නයේ මැද ඉන්නේ මාධ්‍යවේදීන්. රටක තියෙන දේශපාලන සමාජ ප‍්‍රශ්න, ඒවායේ ඉතිහාසය හා දේශපාලන ගමන් මග ගැන හෝ අතීතයේදී සහෝදර මාධ්‍යවේදීන් මුහුණ දුන් පීඩනයන් ගැන කිසිම අවබෝධයක් නැතුව අද මාධ්‍ය ක්ෂේ‍ත‍්‍රයට පැමිණ සිටින නව පරම්පරාවේ සමහරු අත්දැකීම් අතින් විශාල ගැටළුවකට මැදිවී සිටිනවා. මේ පිරිසට අතීත අත්දැකීම්වලින් පන්නරය ලබන්න අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා හුඟක් වෙලාවලදී ඔවුන්ගේ මාධ්‍ය භාවිතය තුළ යම් යම් සීමාවන්ට මුහුණපාන්න සිදුවෙනවා. ඒ තුළ ඔවුන් හිතනවා එය තමයි තමන්ගේ සීමාව කියලා. මෙය සිදුනොවිය යුතු දෙයක්.
අද හුඟක් වෙලාවට සත්‍ය ප‍්‍රකාශ කරන්න මාධ්‍ය තුළ සම්බාධක තියෙනවා. මාධ්‍යවේදීන්ට තමන්ගේ කාර්ය කිරීමේදී මතුවෙන සීමාවන් නිසා ඇතිවෙලා තිබෙන වාතාවරණයට මුහුණදීමට බැරිවීමත් එක්ක මාධ්‍ය ක‍්‍රියාකාරීන්ටත් තම තමන්ට සීමාවන් පනවාගන්න සිදුවෙලා තියෙනවා. කවුරුහරි මාධ්‍යකරුවාගේ නිදහස වෙනුවෙන් හඬක් නැගීමට සිටිය යුතුයි. ඒ හඩ නඟන අය අතර විවිධ දේශපාලන පක්‍ෂවල සහ විවිධ අරමුණු සහිත අය ඉන්නවා. ඒක අපිට වළක්වන්න බැහැ. ඒ නිසා අද සමහර මාධ්‍ය කි‍්‍රයාකාරීන්ට තමන්ගේ හෘදය සාක්‍ෂියට එකඟව කතා කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. මං හිතන්නේ ඒ ප‍්‍රශ්නයත් ඔවුන්ට බලපාලා තියෙනවා.

වර්තමානයේදී අදහස් ප‍්‍රකාශකිරීම කියන වචනයම අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. වෘත්තීය මාධ්‍ය භාවිතය තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ ඉඩ ඇහිරී යමින් තිබෙන මෙවැනි මොහොතක මාධ්‍යවේදීන් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ.
තමන්ට තිබෙන රැකවරණය පිළිබඳ අවිනිශ්චිතභාවය මෙතනදී ප‍්‍රධාන වශයෙන් බලපානවා. අදහස් පළකිරීමට ඇති නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්‍ෂණයක්. නමුත් අද බොහෝ වෙලාවට මාධ්‍යවේදීන්ට මේ කාර්ය කරන්න හැකියාවක් නැහැ. විද්‍යුත් හෝ මුද්‍රිත එහෙමත් නැත්නම් රජයේ හෝ පෞද්ගලික ඕනෑම මාධ්‍යකට ඔවුන් කරන යම් යම් ප‍්‍රකාශ සම්බන්ධයෙන් ඍජුව සහ වක‍්‍රාකාරයෙන් ආර්ථීක සම්බාධක එල්ලවෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට ලැබෙන වෙළඳ දැන්වීම්වලට සීමාවන් පැනවෙනවා. මේ සීමාවන් නිසා මාධ්‍ය ආයතනයේ මූල්‍යමය ශක්තිය බිඳ වැටෙනවා. අද සමහර ඇමතිවරුන්ව විවේචනය කළොත් අදාළ අමාත්‍යාංශවලින් ඒ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයට දැන්වීම් ලැබෙන්නෙ නැහැ. මේ නිසා වැඩසටහන් පවත්වා ගෙනයාම ගැටළුවක් වෙලා. විශේෂයෙන්ම අද විද්‍යුත් නාලිකාවල පැවැත්ම රඳා පවතින්නේ දැන්වීම් මත. පුවත්පතක් විකුණලා ලැබෙන වාසියෙන් විතරක් මාධ්‍ය ආයතනයක් පවත්වා ගෙනයන්න අපිට බැහැ. මේ තත්ත්වය තුළ අනිවාර්යයෙන්ම දැන්වීම්වලට ප‍්‍රමුඛත්වය ලැබෙනවා. රාජ්‍ය අංශයට වගේම පෞද්ගලික අංශයටත් මෙය පොදුයි. මේ තත්ත්වය ආයතන හිමිකරුවන්ටවත් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයත් සමඟ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් බිහිවුණ නිදහසේ වේදිකාව මාධ්‍ය නිදහස වෙනුවෙන් ගෙනගිය භූමිකාව ඔබ දකින්නේ කොහොමද?
ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අදහස් ප‍්‍රකාශ කිරීමට රටේ ඕනෑම පුද්ගලයෙකුට තිබෙන අයිතිය කවුරුන් හෝ මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් අපි එය පිළිකුල් සහගතව හෙළාදැකිය යුතුයි. අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් බිහිවුණ නිදහසේ වේදිකාවට ආරම්භයේදීම ප‍්‍රහාරයන්ට ලක්වෙන්න සිදුවුණා. යම්කිසි මර්දනයන්ටත් මුහුණ දෙන්න සිදුවුණා. අද මේ රටේ මෙතෙක් තිබුණ නිදහස් මාධ්‍ය සංවිධාන හඬක් නඟන්න බැරි තරමට නිදිකරවලා තියෙන්නේ. ජේ.ආර් ජයවර්ධන රජය පාලනයේ ඉඳන් අද වනතුරු පත්වුණ සියළු රජයන් ඉදිරියේත් මේ සියළු හඬනැගීම් සිදුවුණා.
නමුත් මම දකින විදිහට අද නිදහසේ වේදිකාව සංවිධානයවත් මේ කාර්ය යම් දුරකට ගෙනයාමට උත්සාහ කිරීම අතිශයින් වැදගත්. එහි වැදගත්කම කුහකත්වයෙන් තොරව ප‍්‍රකාශ කරන්න ඕන. රජයෙන් හෝ ආණ්ඩුවලින් යැපෙන අය, පක්‍ෂවලට කඬේ යන අය මේවා ගැන විවෘතව කතා කරන්න බයයි. ලසන්ත මගේ හොඳ මිත‍්‍රයෙක්. ලසන්තගේ මාධ්‍ය භාවිතාව පිළිබඳ නෙවෙයි මම කතා කරන්නේ. මාධ්‍යකරුවෙකුට ඔහුගේ භාවිතාව විවිධාකාරයෙන් කරන්න පුළුවන්. අපිට පුළුවන් බුදුසරණ වගේ පත්තරයක ලියන්න. ඒ වගේම අපිට පුළුවන් ඊට වෙනස් පත්තරේකත් ලියන්න. මාධ්‍යකරුවාගේ දැක්ම මතයි ඔහුගේ භාවිතාව තීරණය වන්නේ.
මේ දැක්ම කෙනෙකුට පවතින රජයක යහපත උදෙසා හරවන්න පුළුවන්. එතකොට ඔහු වීරයෙක්, දක්‍ෂයෙක්, අගය කළ යුතු කෙනෙක් බවට පත්වෙනවා. ඔහුට නිවාස, රාජ්‍ය ආරක්‍ෂාව ඇතුළු බොහෝ දේ ලැබෙනවා. ප‍්‍රශස්තිය හොඳට ගයන තරමට එයාට තව තවත් දේශපාලන වශයෙන් වරප‍්‍රසාද ලබාගන්න පුළුවන්. හොඳ මාධ්‍ය භාවිතාවක් සම්බන්ධයෙන් හඬනඟපු සමහර අය අද විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල වගේම දේශපාලන ක්‍ෂේත‍්‍රයේත් විවිධ පදවි තානාන්තර අරගෙන, ආසන සංවිධායක පදවිත් අරගෙන ඇති.
මම හිතන්නේ නැහැ නිවැරදි මාධ්‍යකරුවෙක් කවදාවත් එහෙම අරමුණකට තමන්ගේ මාධ්‍යය භාවිතා කරාවිය කියලා. මාධ්‍ය මුවාවෙන් ව්‍යාපාර කරන්නා වූ සංවිධාන නෙවෙයි, සැබෑ දැක්මකින් යුතුව මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින්නා වූ සංවිධානවල හඬ අද නිහඬ වෙලා. ලසන්ත ජීවිත පරිත්‍යාගයෙන් කළ මාධ්‍ය කලාව වෙනුවෙන් බිහිවුණ නිදහසේ වේදිකාව සැබෑ දැක්මක් අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, මානව නිදහසත්, මාධ්‍යකරුවාගේ යුක්තියත් වෙනුවෙන් අනාගතයට විශාල වැඩ කොටසක් කරාවි කියලා මම හිතනවා.

ලංකාවේ මාධ්‍ය පාලනය වෙන්නේ මූලික වශයෙන් දේශපාලනඥයින් අතින්. නැත්නම් ව්‍යාපාරිකයන් අතින් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයන්වලට අනුව. මේ ඇත්ත මාධ්‍යවේදීනුත් දන්නා නමුත් මාධ්‍ය භාවිතයේ යෙදීමට තමන්ට පවතින බාධාවන්ට ඔවුන් ඉන් පරිබාහිර විවිධ හේතු දක්වනවා. නමුත් එක්තරා කාලයක් තිබුණා මේ තිත්ත ඇත්ත මැදින් හෝ ඇතැම් මාධ්‍යවේදීන් තමාගේ කර්තව්‍යය නිවැරදිව ඉෂ්ඨ කිරීමට යම් උත්සාහයක් දරපු. අද අපිට එවැනි මාධ්‍යවේදීන් දකින්න ලැබෙන්නේ නැති තරම්. මේ ගැන ඔබගේ අදහස.
මූලිකවම මෙයට බලපාන්නේ දේශපාලනික ක‍්‍රියාකාරකම්වල භාවිතාවයි. අද මාධ්‍ය හිමිකරුවනුත් යම් යම් සම්බාධකවල හිරවෙලා ඉන්නේ. හිමිකරුවන්ට පැනවෙන සීමාවන් නිසා මාධ්‍යකරුවන්ටත් සිදුවෙනවා තමන් වෙත සීමාවන් පනවාගෙන ඒ තුළ ඉඳගෙන තමන්ගේ කාර්යය කරන්න. එවිට ඳූෂණ හෙළිදරවු කිරීම් හා විවේචනය වැනි කාරණා සම්බන්ධයෙන් ඔහු විසින්ම ස්වයංවාරණයක් පනවා ගන්නවා. මෙය ඉතා ඛේදජනක තත්ත්වයක්. අධිපතීත්වය මත පාලනය වන සීමාවකයි අපි වැඩකරන්නේ. ජනාධිපතිතුමා පසුගිය දවසක ප‍්‍රවෘත්ති කර්තෘවරු හමුවෙලා කියලා තිබුණා මඩගැහීම් සහ පුද්ගලයින්ට අපහාස කිරීම් නවත්වන්න කියලා. නමුත් කණගාටුවට කාරණය මඩ ගහන්නේ රජයේ මාධ්‍ය ආයතන වලින් වීමයි. රජයේ විද්‍යුත් නාලිකාවලින් නොනවත්වා විපක්‍ෂයට අපහාස කරනවා. අපේ තුවාලේ තියෙන්නේ අපි ලඟනේ. මේ තුවාලේ පෙනි පෙනී වටේ තියෙන තුවාලවලට බේත් දාන්න යන එකෙන් වැඩක් තියෙනවද? මම හිතන්නේ ජනාධිපතිතුමා බොහොම හොඳ දෙයක් කිව්වේ. මේ අපහාස කිරීම හරිම නරකයි. මේක නවත්වන්න කියලා. නමුත් ඒ කාර්ය පළමුවෙන්ම ආරම්භ කරන්න වෙන්නේ රජයේ විද්‍යුත් මාධ්‍ය නාලිකාවලින් සහ රජයේ මුද්‍රිත මාධ්‍යන් තුළින්.

ජාතික පුවත්පතක වගකිවයුතු කාර්යභාරයක් ඉටුකරන මාධ්‍යවේදියෙකු වශයෙන් රාජ්‍ය නායකයා වටා සංකේන්ද්‍රණය වී ඇති අසීමිත බලය සමඟ කටයුතු කිරීමේදී ඔබට ලැබී ඇති අත්දැකීම් මොනවගේද?
මේ සියළු ව්‍යවසනයන්ට මුල පාර්ලිමේන්තුව වෙනුවට විධායක ජනාධිපති ක‍්‍රමය තුළ සියළුම බලය කේන්ද්‍රගත වී තිබීමයි. ඒ වගේම විධායක ජනාධිපති ක‍්‍රමය තිබුණ නිසාම එක පැත්තකින් යුද්ධය අවසන් කිරීමට යම්කිසි නායකත්වයක් දෙන්නත් පුළුවන් වුණා. මෙහි හොඳ සහ නරක දෙකම තියෙනවා. පාර්ලිමේන්තුව අභිබවා යන බලයක් විධායකය මත ගොඩනැගීම තුළ බොහෝ වෙලාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් හඬනඟන ක‍්‍රියාකාරීන්ට අනිසි බියක් දැනෙනවා. මේක අතිශයින්ම කණගාටුදායක තත්ත්වයක්. ජේ.ආර් ජයවර්ධන විධායක ජනාධිපති ක‍්‍රමය ගෙනාවේ ඒ කාලේ තිබුණ අර්බුදවලින් එතුමාගේ දේශපාලන ස්ථාවරභාවය ආරක්‍ෂා කරගන්න. එදත් ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් යම් යම් සීමාවන් තිබුණු බව ඇත්ත. නමුත් එතුමා මූලිකත්වය දුන්නේ තමන්ගේ රාජ්‍ය බලය පිළිබඳ ස්ථාවරභාවය රැකගන්න. මං කියන්නෙ නැහැ මෙතනදී වත්මන් ජනාධිපතිතුමා සම්බන්ධයෙන් විශ්වසනීය බවක් නැහැ කියලා. ජනාධිපතිතුමා පිළිබඳ විශ්වාසනීය බවක් මා තුළත් තිබුණා. නමුත් එතුමාගේ අවට සිටින්නා වූ මැති ඇමතිගොල්ලෝ තමන්ගෙන් ජනතාවට ඉටුවෙන්න ඕන යුක්තිය වෙනුවට සිදු කරන්නා වූ වෙනත් ක‍්‍රියාකාරීත්වයන් ගැන මීට වඩා සොයාබලන්න අවශ්‍යයි කියලා මම හිතනවා.

මාධ්‍ය නිදහස කියන්නේ මේ රටේ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ක‍්‍රියාකාරීන්ගේ පමණක් නෙවෙයි, ජනතාවගේත් අයිතියක්. එය අර්බුදයට යාම ජනතාවගේත් ප‍්‍රශ්නයක්. තමන්ට තොරතුරු සපයන මාධ්‍යයන් ආරක්‍ෂාකර ගැනීමට ජනතාවටත් යුතුකමක් තියෙනවා. නමුත් ඒ වෙනුවෙන් ඔවුන් දක්වන දායකත්වය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
මාධ්‍යයේ ප‍්‍රධානම වගකීම තමයි මහජනයා සත්‍යයෙන් සන්නද්ධ කිරීම. අද ඊට පරිබාහිරව සත්‍ය සහ මාධ්‍ය භාවිතාව පැත්තකට දාලා පුද්ගලික චර්යාවන්, මිනිස්සුන්ගේ පවුල් පසුබිම්, ප‍්‍රවෘත්තියකට අදාළ නැති කරුණු දක්වමින් පුද්ගලයින්ට අපහාස කිරීම්, පීඩාකිරීම් සිදු වෙනවා. සමහර නාලිකාවලින් උදේ පාන්දරම අහන්න ලැබෙන ප‍්‍රකාශ දිහා බැලූවම ඉතාම කණගාටුදායකයි. ඔවුන් රාජ්‍යය සහ එහි කි‍්‍රයාකාරීන් පිනවීමට අමු අමුවේ සදාචාර විරෝධී දේවල් තමන්ගේ වැඩසටහන් වලින් ප‍්‍රකාශ කරනවා. මේක විකෘති භාවිතාවක්. අපි මාධ්‍යවේදියෙකු තුළින් බලාපොරොත්තු වෙන්නේ මීට වඩා යහපත් දැක්මක්. මේ විකෘති මාධ්‍ය භාවිතයට විරුද්ධ වෙන ජනතාවට රැකවරණය දෙන්න ශක්තියක් අද නැති වෙලා තියෙන්නේ. ඉස්සර තිබුණු විපක්‍ෂය බලවත්. මාධ්‍ය ක‍්‍රියාකාරී සංවිධාන, වෘත්තීය සමිති බලවත්. ඔවුන් එළියට බැහැල සටන් කලා. එදා වෘත්තීය සමිතිවලට කම්කරු පන්තිය තමන් පිටිපස්සේ ඉන්නවා කියන හයිය තිබුණා. ඒ නිසා මිනිස්සුත් බය නැතුව එළියට බැස්සා. නමුත් එදා නොබියව කටයුතු කරපු සමහරු අද ආණ්ඩුවල තනතුරු වරප‍්‍රසාද නිසා ගිහිල්ලා ඒ පැත්තේ වාඩිවෙලා. ඇත්ත වශයෙන්ම එදා ජනතාවට නායකත්වය දුන්න උදවිය අද පක්‍ෂවල පැවැත්ම උදෙසා ආශිර්වාදාත්මක නායකත්වයක් දෙනවා අපි දකිනවා. මේ සිදුවීම් නිසා අද ජනතාව තුෂ්නිම්භූතවෙලා ඉන්නේ. අද හඬනගන මනුස්සයෙක් හෙට මරලා දැම්මොත් කවුද ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ. ඔවුන්ට තියෙන රැකවරණය මොකක්ද? ජනතාවට තියෙන්නේ විමතිය පමණයි. හඬක් නඟන්න ශක්තියක් නැහැ.
නමුත් මේ වෙනකොට මාධ්‍යකරුවාද ඇතුළුව මේ රටේ ජනතාව පැටලිලා ඉන්නේ වඩාත් දැවෙන ප‍්‍රශ්න ගොඩක. අද දකුණේ තියෙන රැකියා වියුක්තිය කොපමණද?. උතුරේ එල්.ටී.ටී.ඊය ඇතුළු අනෙක් ත‍්‍රස්තවාදී සංවිධාන වැඩියෙන්ම තරුණයෝ බිලී බා ගත්තේ ඒ තරුණයන් තුළ තිබූ අපේක්‍ෂාභංගත්වය, අනාගතය පිළිබඳ දැක්මක් නැතිකම, රැකියා නැතිකම ආයුධ හැටියට යොදාගෙන. හඬක් නඟන්න ශක්තියක් නැතිවුණාම ජනතාව අසරණ වෙනවා, අර්බුදයකට යනවා. ඒ නිසා ජනතාවට නායකත්වය දෙන ප‍්‍රබල විපක්‍ෂයක් අවශ්‍යයි. මේක සියළු නිදහස, වරප‍්‍රසාද තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත ස්වර්ග රාජ්‍යයක් නෙවෙයි. අද දේශපාලනඥයින්ට විවේචනය ඉවසන්න බැහැ. නමුත් එකිනෙකාගේ අතීත කුණු අවුස්සමින් මඩ ගහගන්නවාට වඩා විවේචනය ඉවසීම වැදගත්. මේ දැක්ම හදාගෙන මිනිස්සුන්ට යහපත් හිතින් මාධ්‍ය භාවිතා කළහැකි මානසිකත්වයක් නිර්මාණය කරදෙන එකත් ගෞරවාන්විත රජයක වගකීමක්. මට කියන්න තියෙන්නේ යුද්ධයෙන් ගෞරවාන්විත ජයග‍්‍රහණයක් දිනාගත්තා වගේම ජනතාවට ගෞරවාන්විතව ජීවත්වීමට ඉඩ සැලසීමත් රජයේ වගකීමක්.



Back to samabima....
Back to Platform...
View PDF ...

චිත‍්‍ර ශිල්පියෙක් දේශපාලන රැස්වීම්වලට යන්නේ ඇයි? චන්ද්‍රගුප්ත තේනුවර

නිදහසේ වේදිකාව සංවිධානය කළ එකොළොස් වැනි මහජන රැස්වීම දෙසැම්බර් 1 වනදා මාතර
සණස ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. කල්‍යාණ ගුණවර්ධන මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ අදහස් වලින් උපුටා ගත් කොටස් කිහිපයක් ‘සමබිම’ මෙවර ඔබ වෙත ගෙන එයි. මෙහිදී බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, කේ.ඩබ්ලිව්.ජනරංජන, නීතිඥ ලාල් විජේනායක, මංගල සමරවීර යන මහත්වරුන් ද රැස්වීම අමතා කතා කළහ.
‘ඔබ චිත‍්‍ර ශිල්පියෙක්. ඇයි ඔබ දේශපාලන රැස්වීම් වලට යන්නේ?’

මේ වගේ වේදිකාවකට ඇවිත් කතා කරන කොට මගෙන් නිතරම අහන ප‍්‍රශ්නයක් තමයි මේ. මම හිතනවා චිත‍්‍ර ශිල්පියාගේ යුතුකම හුදෙක්ම ඔබව රසවත් කරන්න චිත‍්‍ර ඇඳීම පමණක් නෙවෙයි කියලා. ඊට වඩා කාර්යභාරයක් කලාකරුවන් වන අපිට පැවරී තියෙනවා. සමහරු කියනවා චිත‍්‍ර ශිල්පියා කළ යුත්තේ ඇඳීම පමණයි කතා කිරීමේ අයිතියක් නැහැ කියලා. නමුත් මම කියනවා කතා කිරීම අද අනිවාර්ය අංගයක් කියලා. සමකාලීන චිත‍්‍ර ශිල්පීන්ට නිහඬව ඉන්න හැකියාවක් අද නැහැ. ඔවුන් දේශපාලනිකයි. කැමති වුණත් නැතත් අපි දේශපාලනීකරණය වී ඉවරයි. අපි කළ යුත්තේ කුමක්ද, අපි ඇඳිය යුත්තේ කුමක්ද කියලා වෙන කෙනෙකු විසින් තීරණය නොකරන, පුද්ගලයාට නිදහස දෙන සමාජයක් අපිට අවශ්‍යයි.


තවම මේ පාලකයින් චිත‍්‍ර ශිල්පයට අත තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් මන්තී‍්‍රවරු ඇමතිවරු චිත‍්‍ර ප‍්‍රදර්ශන බලන්න එන්නෙ නැති නිසා එහි තිබෙන දේශපාලන කතාව ඔවුන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා මගේ චිත‍්‍රය වහන්න ඕන කියලා ඔවුන් දන්නෙ නැහැ. ඒ හේතුවෙන් මට ගොඩක් දේශපාලනික දේවල් චිත‍්‍රයට නඟන්න තවම ඉඩ තියෙනවා. නමුත් ඔවුන් සිංදු කපනවා. සිනමාව කපනවා. මොකද ඒවා ජනප‍්‍රිය මාධ්‍ය නිසා වේගයෙන් පැතිරෙනවා. මේ බව දන්න නිසාම දැන් ගායකයෝ කියන්නෙ දේශප්‍රේමී ගීත විතරයි. අවිඥානකවම තමන්ගේ වාරණය තමන්ම සලසා ගන්නට ඔවුන් දන්නවා.


අද රාජ්‍ය කලාභවන කලා කෘති වෙනුවට මළ මිනී පෙන්වන අවමංගල්‍ය උත්සව ශාලාවක්. චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වන්න හැකියාවක් එතන නැහැ. කලාකාරයෙක් මැරිච්ච ගමන් මළ මිනිය ගෙනත් මිනිස්සුන්ට ඒක බලන්න එන්න කියනවා. ඒ නිසා පසුගිය ජූලි මාසෙ පුද්ගලික කලාගාරයක් වන ලයනල් වෙන්ඞ්ට් එකේ මගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වූවා. එහිදී මට මගේ ප‍්‍රදර්ශනය තුන් පාරක් වහන්න සිදු වුණා. ලයනල් වෙන්ඞ්ට් කලාගාරය පිහිටා තියෙන්නෙ රාජකීය පුත‍්‍රයන් නිතර ගමන් බිමන් යන භයානක අඩවියකයි. ඒ නිසා රජතුමාගේ සහෝදරයා එතනින් යනකොට පැයක් දෙකක් සියල්ල වසා දමන්න ඕන. පාර වහනවා විතරක් නෙවෙයි චිත‍්‍ර ශිල්පියයි රසිකයොයි ඔක්කොම ඇතුළට දාලා කලාගාරයේ දොරත් වහගන්න කියනවා.
අවුරුදු තිහක යුද්ධය නිසා ඇතිවුණු වෙනස අපිට හිතා ගන්න බැහැ. අද මිනිස්සු තමන් එක්ක එකට ගමන් බිමන් ගිය, එකම තැන රැකියාව කරන අයව පවා සැක කරනවා. අද මිනිස්සු සැකය හා භීතිය පැවැත්මේ කරුණක් කරගෙන තියෙන්නේ. ප‍්‍රවෘත්ති ඇහුවට පස්සේ ‘අපේ පැත්තෙන් තිහක් මැරුණානම් අනිත් පැත්තෙන් කීයක් මැරුණද’ කියලා අහන තරමට මේ ප‍්‍රචණ්ඩ පරිභෝජන සමාජය තුළ අපේ මනස විකෘති වෙලා. ඔබ අපේ කෙනෙක්ද?. සිංහල කෙනෙක් ද නැත්නම් දෙමළ කෙනෙක්ද කියලා අපේ අනන්‍යතාවය ප‍්‍රශ්න කරමින් සැක කරමින් දෙපැත්තට දමනවා. ඒ නිසා තමයි විසිත්ත කාමර ලස්සන කරන චිත‍්‍ර අඳින සිත්තරෙක් පමණක් නොවී මීට වඩා සමාජය වෙනස් කරන සමාජය යහපත් තැනකට ගෙන යන්න දායක වෙන්න සිදුවෙලා තියෙන්නෙ.


මම යුද්ධෙට විරුද්ධව ඊයෙත් වැඩ කළා. අදත් වැඩ කරනවා. හෙටත් වැඩ කරනවා. රටකට යුද්ධ අවශ්‍ය නැහැ. යුද්ධ ඇති නොකර ගන්නටයි අපි ඉන්න ඕන. ඒ නිසා මට මිනිහෙක් මැරෙන එක ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. අද මරණයක් ගැන වචන තුනක් කියලා අපේ රට සැනසීමට පත්වෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් දිවි පුදනවා, ත‍්‍රස්තවාදීන් මැරුම් කනවා, සාමාන්‍ය සිවිල් වැසියන් මිය යනවා කියා මරණය ගැන කියවෙන මේ වගන්ති තුන තමයි අපි මෙතෙක් ජප කර කර හිටියේ. තාම ඒ අදහස් සමාජයෙන් තුරන් වෙලා නැහැ. මාධ්‍ය සම්පූර්ණයෙන්ම බිල්ලට අරගෙන මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා තමාට තමා ගැනත් සැක හිතෙන සමාජයක් මේ පාලනය විසින් ඇති කළා. දැන් පුල්ලි තිබුණ කොටි ඉවර නිසා පුල්ලි නැති කොටි හොයන අවධියකට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ආයුධය තාම නිවලා නැහැ, ගිනියම් වෙලා තියෙන්නේ. ඕනෑම මොහොතක නැවත ඒක පත්තු වෙන්න පුළුවන්. ඒ බියකරු සමාජයෙන් ඈත්වෙන්න අවශ්‍යයයි. ඒ වෙනස ඇතිකර ගන්න ජීවිතයට ඇති අයිතියත්, කතා කිරීමට ඇති අයිතියත් ආරක්ෂා කරගන්නයි අපි අද නිදහසේ වේදිකාවට ගොඩවෙලා තියෙන්නේ. මගේ කලාව මට අයිති ක්ෂේත‍්‍රය තුළ ඒ අධ්‍යාත්මික ගුණ වගාවන් සහතික කිරීමට, ඒ අදහස් මිනිස්සුන්ට කියා දීමට මිනිස් මනස අවදිකරන්න චිත‍්‍ර ඇඳීමයි. නමුත් අද චිත‍්‍ර ඇඳීමට අමතරව මෙවැනි වේදිකාවලට ගොඩ වෙන්න මට සිදුවෙලා තියෙනවා.


එක්දාස් නවසිය හැත්තෑ අටේදී මම පාසල් ශිෂ්‍යයෙක්.ඒ දවස්වල හිටපු අගමැතිවරයෙකු වන දහනායක මහත්තයා බස් එකක් එනකන් අපේ නැන්දගේ කඬේ ඉස්සරහා තිබුණ හෙවනැල්ල යටට ඇවිත් ඉන්නවා මට මතකයි. ලංකාව සාමාන්‍ය මිනිස්සු එක්ක ජීවත් වෙච්ච දේශපාලනඥයෝ හිටිය රටක් මිස සිය ගාණක් පිරිවර එක්ක ජනතාව ඉවත් කරමින් ආව ගිය රටක් නෙවෙයි. නැවතත් එහෙම රටක් හදන්න බල කරන්න තමයි අපි මේ නිදහසේ වේදිකාවට ආවේ. එක එක රජයන් මාරු කරන්න නෙවෙයි අපි ඇවිත් ඉන්නේ. අපිට අවශ්‍ය අපේ ප‍්‍රතිපත්ති පිළිගන්නා මිනිසුන් හා ඵ්වා ක‍්‍රියාත්මක කරන රටක් දැක ගන්නයි.
මම හිතනවා මේ සමාජය වෙනස් කර ගත යුතුමයි. වෙනස් වීම බුදු හාමුදුරුවොත් අපිට කියා දුන් සත්‍යයක්. ලෝකයේ වෙනස් වීම හැර අන් හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔබ අපි වගේ සාමාන්‍ය මිනිස්සු තමයි ඒ වෙනස ඇති කළ යුත්තේ. අපිව පාරෙන් එළියට තල්ලූ කරන, අපේ සාක්කු අත පය පරීක්ෂා කරන සමාජයක් මේක. රජවෙන ඕනම කෙනෙකුට අපි කියන්නේ අපි එක්ක බලයට එන්න. අපිත් එක්කම ජීවත් වෙන්න. රජවෙලා වෙන කොහෙටවත් ගිහින් ජීවත් වෙන්න එපා. කිසිවක් අනුන්ගෙන් අහලා දැනගන්න එපා. මිනිස්සුන්ගෙන්ම අහලා දැනගන්න. විකෘති මනසක් පවත්වා ගෙන යන්න රාජ්‍යයට ඉඩ දෙන්නේ නැතුව යහපත් සමාජයක් ගැන බලාපොරොත්තු ඇතුව ඉක්මනින්ම වෙනස් සමාජයක් බිහි කර ගන්න අපිට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වෙනස් වීම මට, ඔබට, අපට කරන්න පුළුවන්.

Back to samabima....
Back to Platform...
View PDF ...

වික‍්‍රමබාහු - සිරිතුංග ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්, අපි ඔවුන්ට සුභ පතනවා

නිදහසේ වේදිකාව සංවිධානය කළ එකොළොස් වැනි මහජන රැස්වීම දෙසැම්බර් 1 වනදා මාතර සණස ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. කල්‍යාණ ගුණවර්ධන මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ අදහස් වලින් උපුටා ගත් කොටස් කිහිපයක් ‘සමබිම’ මෙවර ඔබ වෙත ගෙන එයි. මෙහිදී බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, කේ.ඩබ්ලිව්.ජනරංජන, නීතිඥ ලාල් විජේනායක, මංගල සමරවීර යන මහත්වරුන් ද රැස්වීම අමතා කතා කළහ.




වික‍්‍රමබාහු - සිරිතුංග ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්, අපි ඔවුන්ට සුභ පතනවා

මාතර නිදහසේ වේදිකාවේදී රනිල් කියයි

මේ නිදහසේ වේදිකාව අපි ආරම්භ කළේ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කලායින් පස්සේ සියළු දෙනාටම ශක්තියක් ලබා දීමටයි. මේ සඳහා දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, ජන මාධ්‍ය අපි ඔක්කොම එකට එකතු වුණා. අපි බය නැතුව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා. දැන් රජතුමා කියනවා එයා රටේ භාරකාරයා ලූ. දැන් රජතුමා කියනවා යුද්ධෙ කරපු නිසා ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න බැරි වුණා කියලා. මට අරක කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා කියලා දැන් අඬනවා. කඳුළු තියෙන්නේ ජනතාවට. කඳුළු තියෙන්නේ මැරුණු මාධ්‍යවේදීන්ට. හිරේට ගිය අයට. ඒ කඳුළු අයින් කරන්න පුළුවන් මේ රජ පවුල පරද්දලා විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කරලා පමණයි.

එදා ඔවුන් චෝදනා කළා මට රටේ නායකත්වය දෙන්න මේ ඔක්කොම නිදහසේ වේදිකාව තුළට එකතු වෙනවා කියලා. දැන් මට ජනාධිපති තරෙඟට එන්න කියන්නේ ආණ්ඩුව. වෙන කවුරුවත් කියලා නැහැ.

අපි නිදහසේ වේදිකාව ආරම්භ කරද්දි එදා වේදිකාවේ හිටියා වික‍්‍රමබාහු කරුණාරත්න. එතුමා අමාරු කාලයක ඇවිත් අපිට එකතු වුණා. අපි ඒක අගය කරනවා. එතුමා අද ජනාධිපති අපේක්‍ෂකයෙක්. අපි සමඟ දිගටම රැඳී සිටි සිරිතුංග ජයසූරිය මැතිතුමා නිර්භීත පුද්ගලයෙක්. එතුමා භය නැතුව කතා කළා. භය නැතුව ඉදිරියට ගියා. එතුමාත් ජනාධිපති අපේක්ෂකයෙක්. මම ඒ දෙන්නටම සුභ ප‍්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ අපි හැමදෙනාම ඔවුන්ට සුභ ප‍්‍රාර්ථනා කරනවා. සමහර අය සහයෝගය දෙයි, සමහරු නොදෙයි. ඒත් අපිට තියෙන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක්. අපි එක එක දේශපාලන පක්ෂවලට ඡන්දය දුන්නත් අපිට පුළුවන් නැඟිටලා කියන්න මේ ගොල්ලෝ හරි, මේ ගොල්ලන්ට සුභ ප‍්‍රාර්ථනා කරන්න කියලා. අපිට ඕන පිරිසිදු දේශපාලනයක්. වික‍්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය කියන්නෙ මේ රටේ දේශපාලනයේ ඉන්න ඕන අය. ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්. ඒ අය නිර්භීතයි. යහපාලනය පෝෂණය කරන පුද්ගලයන්.

අපි තීරණය කරලා පක්ෂ කිහිපයක් එකතු වෙලා එක්සත් ජාතික පෙරමුණ ඇති කළා. අපි නිදහසේ වේදිකාවේ මූලධර්ම පහ පිළිගත්තා. ඒත් ඒවා ක‍්‍රියාත්මක කරන්න නම් විධායක ජනාධිපති ක‍්‍රමය නැති කරන්න ඕන. මම විධායක ජනාධිපති ක‍්‍රමය නිර්මාණය කරන්න උදව් දුන් පුද්ගලයෙක්. අපි හිතුවෙ නැහැ මේක රජකම දක්වා යයි කියලා. මෙම ජනාධිපති ක‍්‍රමය නැති කරලා අලූතෙන් මේක පටන් ගන්න ඕන. ඊට පස්සේ මේ මූලධර්ම පහ අපිට ක‍්‍රියාත්මක කරන්න පුළුවන්.

අපි හිතුවා හැම කෙනාටම පිළිගන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉන්නවා නම් උදව් කරන්න. සරත් ෆොන්සේකා ඉදිරියට ආවා. මේ කාරණා ඔක්කොම එතුමා පිළිගත්තා. වෙනම පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණත් ඔහුට සහාය දෙනවා. අපි හිතුවා සරත් ෆොන්සේකාගේ ඒ අපේක්ෂාවට උදව් කරලා එතුමාගේ ජයග‍්‍රහණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න වැඩ කටයුතු කරමු කියලා. අන්න එතනට අද අපි ඇවිල්ලා තියෙන්නෙ.

ඒත් අපි මේ නිදහසේ වේදිකාව පටන් ගත්තේ නැත්නම්, කෑගැහුවේ නැත්නම් අද මහින්ද රාජපක්ෂ ඡන්දෙට එන්නේ නැහැ කියන එක අපිට සහතිකයි.

Back to samabima....
Back to Platform...
View PDF ...


‘කෙළවීම’
ජෙනරාල් ආවොත් ’ ලිපියට පිළිතුරක්

ලාල් පෙරේරා

පසුගිය ‘සමබිම’ කලාපයේ පළ වූ සුදර්ශන ගුණවර්ධනගේ ලිපියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගත හැකි විකල්ප තුනක් දක්වා තිබිණි. ඊට ඌන පූර්ණයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
එහි අනුපිළිවෙළට එකඟ නොවෙමි. මුලට ගත යුත්තේ අංක 2 ය. අංක 2 ට ගත යුත්තේ අංක 3 ය. අංක 1 අත්හැරියද කමක් නැත. තව අංක 1 හෙවත් පූර්ව අංක 2 වන ‘‘ තොපි දෙගොල්ලොම මක බෑ වෙලා පලයව් ’’ හෙවත් ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දය දීම වඩාත් බහුතර විකල්පය වීමට ඉඩ ඇත. අවශ්‍ය නම් එය පහත පරිදි උප අංකනයද කළ හැක.

l.l රටේ නීතිය ක‍්‍රියාත්මක නොවීම, බලය ඇති සෑම එකාම අන්ත දූෂණයේ යෙදීම, වැඩි කොටසක් බඩෙන් අඩක් පමණක් අපහසුවෙන් පුරවා ගනිද්දී සීමිත පිරිසක් අති සුඛෝපභෝගී ජීවිත ගත කිරීම හේතුවෙන් ඇතිව තිබෙන්නා වූ සමාජ ක්‍රෝධය, නොසන්සුන්තාවය මත ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දය දීම. (මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට මහින්ද රාජපක්ෂ ප‍්‍රමාද වැඩිය)

l.ll වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි වෘත්තිකයන්, කොතරම් හම්බ කළත් මදියි කියන උදවිය, දරුවන් ඉන්ටර්නැෂනල් යවමින්, විවිධ පල කිහිපයකින් යුක්තව තට්ටු දෙකේ නිවසක් (හුලසක් සේ පෙනෙන 3 වන තට්ටුවද සමඟ) තනාගෙන, වර්ණවත් 141 කින් ගමන් බිමන් යාමට ඇති ආර්ථික අවහිරය නිසා ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දයක් දීම. (මේ සම්බන්ධයෙන්ද කරන්නට දෙයක් මහින්ද රාජපක්ෂට නැත)

කගකකක පරිපාලන සේවයේ නොවන රජයේ මාණ්ඩලික නිළධාරීන්, ලලිත් වීරතුංග විසින් ජනාධිපතිවරයා වටා පරිපාලන සේවයේ ගෝලබාලයෝ යොදාගෙන පරිපාලන සේවයෙන් බැහැර වූ සේවාවල එවුන්ට කටු කෑල්ලක් හෝ විසි කිරීමට ඉඩ නොදීම හේතු කොට ගෙන ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දයක් දීම. (හැබැයි මේ අයගෙන් භාගයක් හෝ තම ගොඩට ගැනීමේ හැකියාව තවම මහින්ද රාජපක්ෂට ඇත)

කගකඪ ත‍්‍රීවිල් කට්ටිය, මෝටර් බයිසිකල්වල එහා මෙහා යන කට්ටිය හා බෝක්කු උඩ සිටින කට්ටිය ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දයක් දීම. ඒ අය එසේ ඡන්දය දෙන්නේ ඇයි දැයි ඒ අයවත් නොදනී. (මෙය මහින්ද රාජපක්ෂගේ අවාසනාවය.)

Back to First Article
Back to platform
Back to Samabima
View PDF ...

Sunday, December 13, 2009

කවුදැයි කවුදැයි ඡන්දෙට එන්නේ,ජෙනරාල් ආවොත් මොකද කරන්නේ?

සුදර්ශන ගුණවර්ධන

ජෙනරාල් තුමාගේ දේශපාලන ආගමනය හේතුවෙන් මුළු මහත් දේශපාලන තලයම දෙදරන්නට පටන් ගෙන ඇත. තව අවුරුදු හයක් හෝ අටක් යනතුරු මහරජතුමාගේ ආණ්ඩුව හීනෙන්වත් හොලවන්න බැරි බව කියූ සියළුදෙනාම සෙලවෙන්නට වෙලාය. අප දේශපාලන විපක්ෂය සමඟ අත්වැල් බැඳගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීම සඳහා වන මහජන ව්‍යාපාරයක් ගොඩනඟන්නට වෙහෙසෙන අතර, වැඩ කිරීමට අවකාශයක් නැතැයි කියා අත් පා හකුළුවා ගෙන වකුටු වී නිදා සිටි සිවිල් සමාජයේ සාමාජිකයන්ට ද ඇහැ ඇරී අවදි වී ඇත.
‘‘ජෙනරාල් විපක්ෂයේ පොදු අපේක්ෂකයා නේද? දැන් ඔයගොල්ලන් අර්බුදයට යනවා නේද?’’ මේ ඔවුන් අප වෙත දමා ගසන ප‍්‍රශ්නයයි.
මේ ප‍්‍රශ්නය අහන සමහරුන්ට පසුගිය කාලයේ අප ඇඟේ හැපුණත් ඇහැට පෙනුණේ නැත. තවත් සමහර අය ‘අයියෝ, යූ.එන්.පී. එකත් එක්ක යන්න ලැජ්ජ නැද්ද?’ කීවෝය. තවත් උදවිය කීවේ පරදින අශ්වයාට ඔට්ටු අල්ලන්න ඔයාලා ඔය තරම් මෝඩද කියාය. මෙයට අමතර ව පසුගිය කාලයේ විවිධ දුෂ්කරතා මැද වුවද අපට සහයෝගය දුන් අයද හොඳ හිතින් යුතුව මේ ප‍්‍රශ්නය අසන බව ද සටහන් කළ යුතුය.
ප‍්‍රශ්නය හොඳටම පැහැදිලිය. පසුගිය කාලයේ අප විසින් දිගින් දිගටම ප‍්‍රකාශ කළ පරමාදර්ශයන්ට විරුද්ධ භාවිතාවක සිටි පුද්ගලයෙකු පොදු අපේක්ෂකයා වශයෙන් නම් කළහොත් අප ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ කෙසේද යන්නය.
ප‍්‍රශ්නය පැහැදිලි නිසා අපි පිළිතුරක් ගොනු කරමු.
ජනාධිපතිවරණයකදී තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ඇත්තේ දේශපාලන පක්ෂ වලටය. විපක්ෂය කියන්නේ තමන් මෙවර ඉදිරිපත් කරන්නේ ජේම්ස් බොන්ඞ් කෙනෙක් නැත්නම් සුපර් මෑන් කෙනෙක් කියාය. ආණ්ඩුව කියන්නේ සුපර් මෑන් ඉන්නේ තමන්ගේ පැත්තේ කියාය.
මේ වන විට පවතින වර්ධනයන් අනුව එක්සත් ජාතික පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණත් අතර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අවබෝධයක් පවතී. ඒ පොදු අපේක්ෂකයා කවුරුන් ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් නොවුණත් වැඩි දෙනෙකු කල්පනා කරන්නේ ජෙනරාල් තුමා ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බවයි.
එය එසේ වුවහොත් සිවිල් සමාජ සංවිධාන වලට හා ඒවායේ ක‍්‍රියාකාරීන්ට ජනාධිපතිවරණයේදී ගත හැකි විකල්ප පියවරයන් තුනකි.
1. ‘ ඕන එකක් ’ කියා මේ පාරත් රජතුමාටම ඡන්දය දී රජතුමා දෙවන වරටත් බලයට පත් කිරීම- මෙහිදී අප ඡන්දය දෙන්නේ මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වලට නොවන බවත් වාසුදේව නානායක්කාර මහතා වැනි ප‍්‍රගතිශීලීන් තවමත් ආණ්ඩුව සමඟ සිටින නිසා ඔවුන් ගැන විශ්වාස කරමින් බව සිතා සිත සනසා ගත හැකිය.
2. ‘තොපි දෙගොල්ලාම මක බෑ වෙලා පලයව්’ යැයි ප‍්‍රාර්ථනා කරමින් පළිගැනීමේ සිත් පෙරදැරිව ජෙනරාල්තුමා ට ඡන්දය දීම - රජතුමා විසින් කපා දමන ලද දාම් ඉත්තන් සංඛ්‍යාව අති විශාල බැවින්ද, මේ ඉත්තන් ප‍්‍රසිද්ධියේද, ඉදිරියේදී කැපී යාමට නියමිත ඉත්තන් රහසිගතවද එකට එකතු වී ඇති නිසා මෙම විකල්පය මේ මොහොතේ ආකර්ෂණීයය.
3. රජතුමා සහ ජෙනරාල් තුමා යන දෙදෙනාට ම විරුද්ධතාවය ප‍්‍රකාශ කිරීම - මෙහිදී තම ස්වාධීනතාවය සහ දේශපාලන නිරවද්‍යභාවය (Political correctness) ආරක්ෂා කර ගැනීම සඳහා තුන්වන අපේක්ෂකයෙකුට ඡන්දය දීම හෝ එම ස්ථාවරය ප‍්‍රසිද්ධියේ දරමින් හොරෙන් ජෙනරාල් තුමාට ඡන්දය දීම.
(තවත් විකල්පයන් ඇත්නම් ඒවා සොයා ගැනීමට මේ ලිපියේ අඩුපාඩු සොයන හිතවතුන්ට භාර කරමි.)
ජෙනරාල් තුමා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ආවොත් මොකද කරන්නේ කියා අපෙන් ප‍්‍රශ්න අහන්නේ මෙවැනි සන්දර්භයක් තුළදීය.
අප කිව යුත්තේ මෙහිදී අපට පෞද්ගලික පක්ෂපාතීත්වයක් හෝ අගතියක් නොමැති බවය. අප ඉදිරිපත් කර ඇත්තේ රට ගොඩනැඟීම සඳහා වන ප‍්‍රතිපත්ති මාලාවකි. අප විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මානව අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ක‍්‍රියාමාර්ගයක කටයුතු කළද, එක්සත් වැඩපිළිවෙළකට එකඟතාවයක් ඇති කරගන්නේ එකී ප‍්‍රතිපත්ති මාලාව පිළිගනු ලැබුවහොත් පමණකි.
දැනට රට කරවන රජතුමා සහ රජතුමාගේ ආණ්ඩුව මැතිවරණයට පෙර ඉහත සඳහන් ප‍්‍රතිපත්ති පිළිගෙන ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නම් අපි එය සාදරයෙන් පිළිගනිමු.
පසුගිය කාලයේ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය පිළිබඳ චෝදනා පිටින් දමා ආණ්ඩුව කරනු ලබන යහපත් කටයුත්තකට අකුල් හෙළීමට අපි කුහක නොවෙමු. නමුත්, බලයේ සිටින ආණ්ඩුවෙන් අපට හුදු පොරොන්දු පමණක් ප‍්‍රමාණවත් නොවන අතර, ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයක් බලාපොරොත්තු වෙමු.
රජතුමා විසින් මේ ඉල්ලීම ක‍්‍රියාත්මක නොකළහොත් එම ඉල්ලීම් පිළිගන්නා සහ ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වන විපක්ෂයේ බලවේගයන් සමඟ අප පොදු වැඩපිළිවෙළකට ගමන් කරන අතර එම පොදු වැඩපිළිවෙළ ජයග‍්‍රහණය කරවීමට අපි කටයුතු කරන්නෙමු.
සමහරුන් සිතන පරිදි පුද්ගලයන් මාරු කිරීමෙන් සහ පුද්ගලයන් පවත්වා ගැනීමෙන් ප‍්‍රශ්න විසඳිය හැකි යැයි අප විශ්වාස කරන්නේ නැත. අප විශ්වාසය තබන්නේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීම පිළිබඳවය. එතැනදී අපට පුද්ගලයා කවුරුන්ද යන්න අදාළ නැත.




View pdf....
Back to Platform
Back to samabima

අපි නීති රීති වලට අනුව මැච් එක ගහමු

‘‘අපට සිහිනයක් තියෙනවා. ඒ සිහිනය මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන සමාජයක් බිහිකිරීමයි. එවැනි සමාජයක අපි සියළු දෙනාටම සමාන අයිතිවාසිකම් හිමිවෙනවා. උස වුණත් මිටි වුණත් ජාතිය මොකක් වුණත් කුමන ආගමක් ඇදහුවත් මොන දේශපාලන මතයක් දැරුවත් පුරවැසියන් වශයෙන් අන්න ඒ සමාන අයිතිවාසිකම ලබා ගන්න තමයි අපි ‘නිදහසේ වේදිකාව’ වශයෙන් එකතු වෙලා ඉන්නේ.’’
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා එසේ පැවසුවේ පසුගිය 21 වනදා මාතලේ පුරහලේ දී පැවැති නිදහසේ වේදිකාවේ දහවැනි මහජන රැස්වීම අමතමිනි.
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන නීතිඥ ජේ.සී.වැලිඅමුණ සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග ‘දූෂණ විමසුම’ සංවිධානයේ සම්බන්ධීකාරක නීතිඥ රවි ජයවර්ධන මහතා ද කතා කළහ. ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ගීත ප‍්‍රසංගයකින් ද වේදිකාව ආලෝකවත් විය.
මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් අලූවිහාරේ, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන වසන්ත අලූවිහාරේ, සංජීව කවිරත්න සහ රෝහණ බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
එහිදී තව දුරටත් කරු ජයසූරිය මහතා මෙසේ පැවසීය. ‘නිදහසේ වේදිකාව බිහි කිරීමේ උවමනාව ඇති වුණේ පහුගිය ජනවාරි මාසේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් වූ කරුණු දෙකක් සිදුවීම හරහා. අභීත මාධ්‍යවේදියෙකු වූ නීතිඥ ලසන්ත වික‍්‍රමතුංග මහතා මහ දවල් අධි ආරක්ෂිත කලාපයක වෙඩි තියලා මරලා දැමීමෙනුත්, සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබීමෙනුත් පසුව රට කොහාටද යන්නෙ කියලා මේ රටේ ජනතාව තුළ යම්කිසි බියක් සාංකාවක් ඇති වුණා. නිදහසේ වේදිකාවේ ආරම්භය සිදු වුණේ එතැනින්. අද දේශපාලන පක්ෂ දාහතරකට ආසන්න ප‍්‍රමාණයක් වගේම සිවිල් සංවිධාන තිහක් පමණ නිදහසේ වේදිකාවට ගොඩ වී එහි සාමාජිකයන් බවට පත්වෙලා සිටිනවා. ඒ වගේම දිනපතා අළුත් පිරිස් එයට එකතු වෙනවා. ඒ නිසා නිදහසේ වේදිකාවේ සිටින කිසිම කෙනෙක් දේශද්‍රෝහියෙක්වත්, කොටි ඒජන්තවරයෙක්වත් නෙවෙයි. නිදහසේ වේදිකාවේ සියළුම ආකාරයේ මත දරන අය ඉන්නවා. සියළුම ජාතීන්ට අයිති, විවිධ ආගම් අදහන අය ඉන්නවා. නමුත් නිදහසේ වේදිකාවේ සියළුදෙනා වගේම අපි ඔක්කොම එකතු වෙලා එකම වේදිකාවකට ගොඩ වෙලා ඉන්නෙ කරුණු පහකට එකඟ වෙලා.
එහි පළමුවැන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය. අද ජීවත්වීමේ අයිතිය, කතා කිරීමේ අයිතිය, නිදහසේ හැසිරීමේ අයිතිය, යහපාලනය, ජාතීන් අතර සමානත්වය, ආර්ථික සමානත්වය යන සියල්ල කඩ වෙලා තියෙන්නේ. කතා කිරීමේ සහ ලිවීමේ නිදහස ගැන කියනවානම් අද කවුරු හරි ආණ්ඩුවට විරුද්ධව මතයක් ප‍්‍රකාශ කළොත් සුදු වෑන් එකක් ඇවිල්ලා ඔහුව උස්සගෙන යනවා. එහෙම නැත්නම් මහ දවාලේ වෙඩි තියලා මරලා දානවා. දැනටමත් මාධ්‍යවේදීන් ෙදාළොස් දෙනෙක් මරලා දාලා. මාධ්‍යට සම්බන්ධ තිස් දෙනෙක් පමණ විවිධ අඩත්තේට්ටම් වලට ලක්වෙලා. තව සමහර අය ජීවිත තර්ජනයට ලක්වීම නිසා පිටරට ගිහිල්ලා. මේ අය කරපු එකම පාප කර්මය තමයි ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම. මේක තමයි අදහස් ප‍්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අද අපේ රටේ තියෙන තත්ත්වය.
එ්වගේම බොහෝ දෙනෙක් කතා කරන කාරණයක් තමයි යහපාලනය. යහපාලනය තියෙන රටක ඕනම කෙනෙකුට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. යහපාලනය තියෙන රටක අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. යහපාලනයක් තියෙන රටක රජයේ මාධ්‍ය කියන එක ආණඩුවට වගේම විපක්ෂයටත් අයිතියි. පසුගිය ජනාධිපතිවරණයේදී සීයට පණස් එකකට ආසන්න ඡුන්ද සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබුණා. සීයට හතළිස් නමයකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාට ලැබුණා. පණස් එකක් ගත්ත කෙනාට මේ ඔක්කොම අයිති වෙනකොට හතළිස් නමයක් ගත්ත කෙනාට උදේ ඉඳන් ? වෙනකන් පහර දෙනවා. මොකක්ද එතන තියෙන සමානත්වය. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩු බලය හිමි අයට විතරක් නෙවෙයි සියළුම ජන කොට්ඨාශ වලට අයිතියි.
1997 දී සිවිල් සමාජයේ සියළුදෙනා එකතු වෙලා පුරවැසි කමිටුවක් හදාගත්තා. ඒ නිසා 2002 දී අපිට පුළුවන් වුණා 17 වන සංශෝධනය ගේන්න. 17 වන සංශෝධනයේ වැදගත්කම සමහර අය දන්නවා. සමහර අය දන්නෙ නැහැ. ඒක ගෙනාවට පස්සේ ලංකාවෙ හුඟක් ක්ෂේත‍්‍රවල තිබුණු දේශපාලනීකරණය බොහෝ වෙනස් වුණා. ඒ තුළින් මැතිවරණ කොමිසමක් පත් කරලා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතන්නේ 2004 මැතිවරණය තමයි සාධාරණම මැතිවරණය.
ඒ වගේම රාජ්‍ය සේවය නිර්දේශපාලනය කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසමක් පත් කරන්න, අධිකරණ සේවා කොමිසමක් පත් කරන්න හැකි වුණා. මට මතකයි සමහර අවස්ථාවලදී හිටපු ජනාධිපතිතුමියට පවා විරුද්ධව තීරණ ගන්න එදා රාජ්‍ය සේවා කොමිසමට පුළුවන් වුණා. ඒ නිසා දේශපාලන ඇඟිලි ගැසීම්වලට යටත් වෙන්නේ නැතුව පොලිස් නිලධාරීන්ට තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිවුණා. ඒ විදිහට තමයි එදා රටේ වෙනසක් ඇති කලේ.
ඉදිරියේදී ප‍්‍රකාශ කරන මැතිවරණ වලට මුහුණ දෙන්න අපි සූදානම්. නමුත් ඒක නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්විය යුතුයි. අපි රජයෙන් ඉල්ලනවා උදේ ඉඳන් ? වෙනකන් බොරු ගොතමින් ජනතාව මුලා වෙන විදිහට රාජ්‍ය මාධ්‍ය පාවිච්චි නොකර සත්‍ය ප‍්‍රකාශ කරන්න කියලා. අපි නීති රීති වලට අනුව මැච් එක ගහමු. මේ මැච් එක ගහලා එක් කෙනෙක් දිනනවා. එක් කෙනෙක් පරාද වෙනවා.
අද රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා මේ පවතින ක‍්‍රමයේ වෙනසක් අවශ්‍යයි කියලා. අපි කරන සමීක්ෂණ වලිනුත් දකිනවා ජනතාව වෙනසක් අවශ්‍යයි කියලා ප‍්‍රකාශ කරන ආකාරය. ඒ වෙනස තමයි යුක්තියත්, සාධාරණත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, කතා කිරීමේ සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතියත් ඇති රටක්. එහෙම වුණොත් මේ රටට අළුත් මාර්ගයක යන්න පුළුවන්. මේ මැතිවරණය ඉතාම තීරණාත්මකයි. ඒ නිසා මම ඔබ සියළුදෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රජයේ සම්පත් අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන නායකයෙක් පත්කර ගන්න තමුන්නාන්සෙලාගේ සහයෝගය ලබා දෙන්න.

Back to Samabima
Back platform
View Pdf....
View more Photo
view Karu jayasuriya Speech ...

වෙනසකට කැපවෙන්න අපි සූදානම්













විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක
රනිල් වික‍්‍රමසිංහ

‘‘පාර්ලිමේන්තුව පත් වෙලා දවස් එකසිය අසූවකින් යහපාලනය, 17 වන සංශෝධනය, ව්‍යවස්ථාමය හා නීතියේ ආධිපත්‍යය ආදී කාරණා ගැන නිදහසේ වේදිකාව සහ අනිත් පිරිස් සමඟ සාකච්ඡා කර ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය සහ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු වෙන ආකාරයේ අළුත් ව්‍යවස්ථාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා.’’
විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පවසා සිටියේ, ‘වෙනසකට කැපවෙමු’ තේමාව යටතේ නිදහසේ වේදිකාවේ පස් වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව එළි දැක්වීම පිණිස පසුගිය නොවැම්බර් 12 වෙනිදා කොළඹදී පැවති උත්සවයේදීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හා නිදහසේ වේදිකාව ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කැපවෙන බවත් අද මෙම අවස්ථාවට සහභාගී වන්නේ පුද්ගලයන් වෙනුවෙන් නොව අරමුණු සහ ප‍්‍රතිපත්ති වෙනුවෙන් බවත් කී වික‍්‍රමසිංහ මහතා ඒ සඳහා පළමුවෙන් මැතිවරණයක් පවත්වා විධායක ජනාධිපති ක‍්‍රමය හැකි තරම් ඉක්මණින් අහෝසි කිරීමට සැලසුම් කරගෙන යන බවද පැවසුවේය.
‘මැතිවරණයකින් පස්සෙ ජනතාව එක්සේසත් කර දේශපාලන විසඳුමක් ගෙන ඒමටත් සමාජ සාධාරණත්වයක් ඇති ආර්ථීකයක් (Social Market Economy) හදන්නත් අපි කැපවෙලා ඉන්නවා’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
නිදහසේ වේදිකාවේ පස් වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම මෙම උත්සවයේදී සිදු කෙරුණු අතර අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාව ද රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිදහසේ වේදිකාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් වෙත පිළිගන්වන ලදී. මෙම උත්සවයට විපක්ෂ නායකවරයා සමඟ කරු ජයසූරිය, මංගල සමරවීර, රවුෆ් හකීම්, තිස්ස අත්තනායක, ආචාර්ය කුමරගුරුබරන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් රැුසක් සහභාගී වූහ.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ‘‘නිදහසේ වේදිකාවේ මූලධර්ම පහ ප‍්‍රකාශයට පත්කිරීම වැදගත් පියවරක් බවයි. එක්සත් ජාතික පෙරමුණේ සියලූම පක්ෂ සහ සංවිධාන මේ මූලධර්ම පහ පිළිගැනීමට නිල වශයෙන් තීරණය කර තිබෙන බව පැවසූ ඔහු නිදහසේ වේදිකාව ආරම්භ කළේ ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනයෙන් පසු මේ රටේ නිදහස නැති වෙමින් ගිය අවස්ථාවක බවත් එදා සිට සියළුදෙනා සමඟ අත්වැල් බැඳගෙන ගිය ගමන නිසා නිදහස ඉතා සුළුවෙන් හෝ ආරක්ෂා කරගැනීමට හැකි වී ඇති බවත් පැවසීය.
‘‘දැන් අපි බලන්නෙ මෙම නිදහස සම්පූර්ණයෙන්ම රැකගෙන ඉදිරියට යන්නයි. මේ සඳහා නිදහසේ වේදිකාව සමඟ අපිත් එකතු වෙලා සාකච්ඡා කළා. කටයුතු කළා. අපි එකතු වෙලා නිදහස් සමාජයක් ඇති කරලා මේ ආසියානු කලාපයටම පෙන්නන්න ඕන. අපේ සටන් පාඨය අපි ඔක්කොම රජවරු. ඒක සත්‍යයක් බව පසක් කරන්න අපි මේ පස් වැදෑරුම් මූලධර්ම පිළිගෙන ක‍්‍රියාකරනවා.’’ වික‍්‍රමසිංහ මහතා පැවසීය.
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ‘වෙනසකට කැපවෙමු’ පස්වැදෑරුම් වැඩපිළිවෙළ සභාව වෙත ඉදිරිපත් කළාය.



සිවිල් සමාජයට සුවිශේෂ වගකීමක් ඇත
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

රට ගොඩනැඟීම සඳහා නිදහසේ වේදිකාව විසින් එළිදක්වන ලද පංචවිධ ප‍්‍රතිපත්ති තමා සම්පූර්ණයෙන්ම අනුමත කරන බවත් එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට සුවිශේෂී වගකීමක් සිවිල් සමාජය වෙත පැවරී ඇති බවත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ප‍්‍රකාශ කරයි. ඔහු එසේ පැවසුවේ පංචවිධ ප‍්‍රතිපත්ති එළිදැක්වීමේ උළෙලට නිව්යෝර්ක් නුවර සිට සුබ පැතුම් පණිවිඩයක් එවමිනි. එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
‘‘නිදහසේ වේදිකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම පංචවිධ ප‍්‍රතිපත්ති මම සම්පූර්ණයෙන් ම අනුමත කරමි. මානව හිමිකම් දැඩි ලෙස ආරක්ෂා කරන්නාවූද, යහපාලනය සහිතවූද, සාමය සහ සමඟි සන්ධානය ගොඩනඟා ගත්තාවූද, එක්සත් ශ‍්‍රී ලංකාවක් වශයෙන් ඉදිරියට යනු පිණිස මෙම ප‍්‍රතිපත්ති සුරකින ලෙස දේශපාලන පක්ෂ වලින් ද, සිවිල් සමාජ සංවිධාන වෙතින්ද ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි.
අප වර්තමානයේ මුහුණ දෙමින් සිටින අභියෝග මධ්‍යයේ ඉහත ප‍්‍රතිපත්ති රැක ගැනීම සඳහා සක‍්‍රීයව දායකවීමේ සුවිශේෂ වගකීමක් සිවිල් සමාජය වෙත පැවරී ඇති බව මම අවධාරණය කරමි.’’