Monday, August 31, 2009

නිදහසේ වේදිකාවේ කුරුණෑගල මහජන රැස්වීමේදී කථිකයන් පළ කළ අදහස්

නීතිඥ ජේ. සී. වැලිඅමුණ
රටක නීතියට ඒ රටේ පහළම පුරවැසියාගේ පටන් ඉහළම පුරවැසියා වන ජනාධිපතිවරයා දක්වා ගරු කළ යුතුයි. නීතිය ඉදිරියේ සියළුම දෙනා සමානයන්. නමුත් ලංකාවෙ ජනාධිපතිවරයාගෙ සිට පුරවැසියා දක්වා නීතියට ගරු කරනවද? එහෙම ගරු කරනවා නම් අපට අද මේ වගේ රැස්වීම් පවත්වන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ලංකාවෙ ප‍්‍රධාන නීතිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා නීතිය. ඒකට අනුව ජනාධිපතිවරයා බැඳිල ඉන්නවා ව්‍යවස්ථාදායක සභාවක් පත් කරන්න. ඒ මඟින් රාජ්‍ය සේවය, පොලිසිය වගේ හැම ආයතනයක්ම නිර්දේශපාලනීකරණය කරන්න ඔහු බැඳී ඉන්නවා. නමුත් ජනාධිපතිතුමා රටේ ප‍්‍රධාන නීතිය ක‍්‍රියාත්මක නොකරන නිසා අද ව්‍යවස්ථාදායක සභාවක් ලංකාවේ ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ රටේ පුරවැසියන්ට නීතියට ගරු කරන්න තියෙන අයිතිය නැති කරන්න ජනාධිපතිතුමාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද?. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවක් පත් නොකරන තෙක් ජනාධිපතිවරයා සහ නීතිය කඩන අනෙක් පුරවැසියන් අතර තියෙන වෙනස මොකක්ද කියල මම අහන්න කැමතියි.




ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්‍දු

අනෙකාගේ දේශපාලන මතය ඉවසීමේ සංවරතාවක් අපට තියෙන්න ඕන. එහෙම නොහැසිරෙන සමාජයක් නිර්මාණය වෙනවා නම් ඒක දේශපාලනයේ වැරැද්දක්. මේ රටේ තියෙන අවිචාරභාවය මේ ශාලාවේ කොතැනින් හෝ පුපුරා යන්න පටන් ගන්න මොහොතේදී අපි දැන ගන්න ඕන මේ රට විනාශයි කියල. නිදහසේ වේදිකාව අපි ගොඩනඟන්නේ ඒ අවිචාර සමය කරා රට ගෙන යන දේශපාලන නායකත්වයෙන් රට මුදවා ගන්න. නේපාලයේ, පිලිපීනයේ තායිලන්තයේ පරිවර්තනය සිද්ධ වුණේ ජනතා බලය පාරට ආපු දවසේ. ඒ නිසා අපි නිදහසේ වේදිකාව හරහා ජන බලවේගයක් ගොඩනඟන්න, ලංකාවෙ වෙනසක් ඇති කරන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න නොබියව ගමනක් ආරම්භ කර තිබෙනවා.







ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

යුද්ධය අවසන් වීමෙන් පසුවත් හමුදා සෙබළුන් ගණන ලක්ෂයකින් වැඩි කිරීම තුළ ලංකා සමාජය මිලිටරිකරණය වෙමින් පවතිනවා. අද ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය නොමැතිව ඔබට මේ රටේ කළ හැකි කිසිවක් ඇත්ද? මේ තත්ත්වය මේ රටේ බුද්ධිමත් ජනතාවට කරන අපහාසයක්. අපි මීට කළ යුත්තේ කුමක්ද? ඔබ ඔබේ යහළුවන්, නෑදෑයින්, ගම් වැසියන් හා අසල්වැසියන්ට මේ සිදුවෙන දේවල සත්‍ය තත්ත්වය කියන්න සූදානම්ද? මීට දවස් දෙකකට පෙර අවතැන් ජනතාව යළිත් අවතැන් වුණා. ගංවතුරට හසුවී වැසිකිළි සියල්ල උතුරා ගියා. ඔබ මේවා දන්නවාද? ඔබට මේවා දැන ගැනීමට අයිතියක් තිබෙනවද? මේ අප විසින් උත්තර දිය යුතු සැබෑ ප‍්‍රශ්නයි. අනාගතයේ විශාල අභියෝගයන්ට අපට මුහුණ පෑමට සිදුවේවි. ඒ නිසා අපි එකට ඒකරාශී විය යුතුයි.





නීතිඥ ලාල් විජේනායක

මීට කලකට පෙර සුදු වෑන් වලින් තරුණයින් පැහැරගෙන යනකොට, ද්‍රවිඩ සහෝදරවරු අතුරුදහන් වෙනකොට හෝ මරා දමන කොට ජනතාව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒ ඔවුන් දෙමළ නිසා. ඊට පස්සෙ සිංහල සහ මුස්ලිම් මුදලාලිලා සුදු වෑන් වලින් අරන් ගිහින් මරන්න ගත්තා. කප්පම් ගන්න ගත්තා. ඊට පස්සෙ ජනමාධ්‍යවේදීන් මරන්න, මාධ්‍ය ආයතන වලට පහර දෙන්න පටන් ගත්තා. ඉන් පස්සෙ නීතිඥවරුන්ට පහර දෙන්න පටන් ගත්තා. අද කවුරුන් හෝ දේශද්‍රෝහියෙක් කියා නම් කළොත් පොලිසියට ඔහුව මරල දාන්නත් පුලූවන්. අද අපේ රට ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකට ඇදී යනවා. මේව අහම්බෙන් ඇතිවෙන ඒවා නෙවෙයි. 1956 ගණන්වල ඉඳල ලෝකෙ මෙවැනි දේවල් සිදු වුණා. ඉන්දුනීසියාවෙ සුහර්තො ජනතාව බිය වද්දලා ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තියෙනවා යැයි පිළිගන්වන්න උත්සාහ කරා. නොයෙකුත් විකෘති ඡන්ද ක‍්‍රම යොදා ගත්තා. ඒ ක‍්‍රමයට තමයි අද අපේ රට ක‍්‍රම ක‍්‍රමයෙන් ඇදී යන්නේ.

BACK TO PLATFORM
back to samabima

නිදහසේ වේදිකාවට පහර දීමට එජාපයේ ජොනී පිළ හවුල්

නිදහසේ වේදිකාව යනු රාජ්‍ය හිංසනය රජයමින් තිබූ, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල පල්ලට යමින් තිබූ ඉතා අවදානම්කාරී මොහොතක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ උදෙසා සටන් වැදි මහජන බලවේගයකි. නිදහසේ වේදිකාවේ ශක්තිය වූයේ මුදල් හෝ රාජ්‍ය බලය වෙනුවට වඩා යහපත් ලෝකයක් ප‍්‍රාර්ථනා කරන මිනිසුන් කිහිපදෙනෙකු එම අසීරු මොහොතේ ඉදිරියට පැමිණ පෙන්නුම් කළ අප‍්‍රතිහත ධෛර්යයි. වේදිකාව එජාපයේ වැඩක් බවට පෙන්වන්නට ඇතමුන් උත්සාහ කළත් කුරුණෑගල අපේ මහජන රැස්වීමට පහර දුන්නේ එජාපයේ ජොනී පිළ ඇතුළු රජයට සහයෝගය දක්වන පිරිසකි. ඉතා පැහැදිලිව එම මොහොතේ අප ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කුරුණෑගල සාමාන්‍ය ජනතාවයි. අප එජාපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන පිරිස ඇතුළුව විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කලාකරුවන්, කාන්තා සංවිධාන, වෘත්තිකයන් එකමුතුවෙන් ගොඩනැඟුන පුළුල් සිවිල් සමාජ ව්‍යාපාරයකි. මේ මොහොතේ නිදහසේ වේදිකාවට කවුරුන් පහර දුන්නත් එය රජයේ උවමනාවක් ඉෂ්ඨ කිරීමකි. කුරුණෑගලදී අපට එල්ල වූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් අප කණගාටු වන අතර, එම මොහොතේ අප වෙනුවෙන් පෙනී සිටි සියළුම දෙනාටත්, මෙම සිදුවීමෙන් පසුව අප අමතා අපට සහයෝගය පළකල, අපව ධෛර්යමත් කළ සැමටත් අපේ ස්තූතිය පළ කරමු. ඉදිරියේදීත් අපගේ ශක්තිය වන්නේ, මෙවන් ප‍්‍රහාර හමුවේ නිහඬව නොසිට ඉදිරියට පැමිණෙන ඔබයි. ඔබගේ ශක්තියෙන් තවදුරටත් ශක්තිමත් වූ නිදහසේ වේදිකාවේ මීළඟ මහජන රැස්වීම මේ මස 25 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වේ. මෙවැනි ප‍්‍රහාර හමුවේ බිය නොවන, නිහඬ නොවන ඔබ සැම එදින අප සමඟ එක් වේ යැයි අප බලාපොරොත්තු වෙමු.
වේදිකාව...

Tuesday, August 25, 2009

වේදිකාව කඩාකප්පල් කිරීමට ගත් උත්සාහය පරාජය කරයි

More photo........
නිදහසේ වේදිකාවේ කුරුණෑගල මහජන රැස්වීම ඉකුත් දහඅට වෙනිදා කුරුණෑගල YMBA ශාලාවේදී පැවැත්විණි. සවස 3.30 ට පමණ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව ආරම්භ වූ රැස්වීමට ලංකා සම සමාජ පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික නීතීඥ ලාල් විජේනායක, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්‍දු, සිරිතුංග ජයසූරිය මනෝ ගනේසන්, කරු ජයසූරිය, මංගල සමරවීර ඇතුළු දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූහ. එදින පැවැත්වුණු රැස්වීම කඩාකප්පල් කිරීමට ආණ්ඩුවට හිතවාදී සංවිධානාත්මක සුළු පිරිසක් ප‍්‍රබල උත්සාහයක් ගත්තද බහුතර ජනතාවකගේ සහයෝගයෙන් එය පරාජය කොට රැස්වීම සාර්ථක ලෙස පැවැත්වීමට නිදහසේ වේදිකාවට හැකි විය. මේ ඒ පිළිබඳව ලංකා නිව්ස් වෙබ් :(http://www.lankanewsweb.com/) අඩවියේ පළවූ ලිපියකින් උපුටා ගත් කොටස් කිහිපයකි.
එක්සත් ජාතික පක්‍ෂයේ බැසිල් කණ්ඩායමේ ප‍්‍රධානියෙකු වන කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ බෙබදු ගොලයින් පිරිසක් අද (18) වන දින පස්වරුවේ කුරුණෑගල YMBA ශාලාවේ පැවැති නිදහසේ වේදිකාවේ රැස්වීමට ‘හූ’ කියමින් බාධාකළද රැස්වීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට සංවිධායකයන් සමත් විය
රැස්වීම ආරම්භ වී ම`ද වේලාවකින් ආණ්ඩුවේ අනුග‍්‍රහය ඇති පිරිසක් කෑ කෝ ගසමින් නිදහසේ වේදිකාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට සූදානම් වන බව එ.ජා.ප සභාපති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා විසින් රැස්වීමේ ප‍්‍රධාන කථිකයෙකු වූ එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය වෙත එදින පෙරවරුවේ දැනුම් දී ඇත. එම පණිවිඩය ලැබුණු විගස කරූ ජයසූරිය, නිදහසේ වේදිකාවේ ප‍්‍රධානියකු වන නීතීඥ සුදර්ශණ ගුණවර්ධන හා දේශපාලන නායකයින් වන මනෝ ගනේෂන්, මංගල සමරවීර, සිරිතුංග ජයසූරිය වෙත ඒ බව දැනුම් දී තිබූ අතර ඔවුන් සියළු දෙනාගේම මතය වී ඇත්තේ කුමන බාධක පැමි◊◊ණියද රැස්වීම කෙසේ හෝ පැවැත්විය යුතු බවය.
ඒ අනුව රැස්වීම පස්වරු 3.30 ට විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව ආරම්භ විය. එම අවස්ථාවේ සිට ඊට සුළු සුළු බාධා කිරීම් ඇතිවූ අතර ‘‘ ඕනෑම අයෙකුට තමන්ගේ මතය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට තිබෙන්නා වූ අයිතිය නිදහසේ වේදිකාව පිළිගනු ලබන බව’’ නිමල්කා ප‍්‍රනාන්‍දු එහි දී අවධාරණයෙන් යුතුව ප‍්‍රකාශ කළාය.
රැස්වීමේ අවසන් කතා දෙක හිිමිව තිබුණේ මංගලට හා කරූටය. මංගල තම දේශනය ආරම්භ කරමින් රටේ වත්මන් තත්ත්වය විග‍්‍රහ කළ අතර ‘‘නිදහසෙන් පසුව රට යළි ගොඩනැඟිය හැකි ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇති බවත් එහෙත් රටේත් ජනතාවගේත් අවාසනාවකට ජනාධිපතිවරයාට ඒ පිළිබඳව උවමනාවක් හෝ හැකියාවක් නොමැති බව’’ ප‍්‍රකාශ කිරීමත් සමඟ නැඟී සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ගේ පෞද්ගලික ලේකම් සාෆීර් ජනාධිපති විවේචනය නොකරන්නැයි කියමින් පළමු ‘හූ’ හඬ නැඟීය. ඔහුගේ ‘හූ’ හඬ මැද මංගල වඩාත් වේගවත්ව ජනාධිපතිවරයා විවේචනය කළ අතර ඒ සමඟ ම නැඟී සිටි ජොන්ස්ටන් ප‍්‍රනාන්දුගේ සමීපතම ගෝලයෙකු වන නාගරික මන්ත‍්‍රී තුෂාර සංජීව ‘ජනාධිපති විවේචනය කරනවානම් කතා කිරීමට ඉඩ නොදෙන බව’ පවසමින් ශබ්ද නඟා ‘හූ’ හඬ නැඟීය. ඒ සමඟ ම තැනින් තැන අසුන් ගෙන සිටි ආණ්ඩු හිතවාදීන් ‘හූ’ කියමින් දිගින් දිගටම බාධා කළ අතර නියමිත කාලය තුළ බාධක මැද්දේ මංගල ඔහුගේ කතාව අවසන් කළේය.
ඉන් අනතුරුව එ.ජා.ප නියෝජ්‍ය නායක කරූ ජයසූරිය සභාව ඇමතීමට නැඟී සිටි අතර කඩාකප්පල්කාරීන් ‘හූ’ කියමින් කෑ කෝ ගසමින් ඔහුගේ කතාවටද බාධා පමුණුවනු ලැබීය. එම බාධා මධ්‍යයේ පවා ඉතිහාසයේ ප‍්‍රථම වරට වේගවත් කතාවක් කළ කරූ ජයසූරිය, නිදහස් මත ප‍්‍රකාශ කිරීමට ඇති අයිතිය වෙනුවෙන් දිගින් දිගටම සටන් කරන බව අවධාරණය කළේය.
බීමත්ව ප‍්‍රකෝපකාරී ලෙස හැසිරුණු කිහිප දෙනෙකු කථිකයින් සිටින ස්ථානයට පැමිණීමට උත්සාහ කළද නිමල්කා ප‍්‍රනාන්‍දු ඇතුළු නිදහසේ වේදිකාවේ කාන්තාවන් පිරිසක් පොලීසියේ සහාය ඇතිව වැටක් මෙන් පෙළට සිටිමින් ඊට බාධා පැමිණවීය.
‘හූ’ කියමින් රැස්වීමට බාධා කරන අතර තුර පුටු ඔසවා කඩාකප්පල්කාරීන් සංවිධායකයින්ට පහර දීමට බලාපොරොත්තුව සිට ඇතත් පුටුවක් එසවීමට තබා සිටගෙන සිටීමටවත් නොහැකි තරමට ඔවුන් බීමත්ව සිටි බව රැස්වීමට සහභාගී වී සිටි පිරිසට පැහැදිලිව පෙණුනි. කඩාකප්පල්කරුවන් දිගින් දිගටම කෑ කෝ ගසමින් බාධා කළද කලාකරු ජයතිලක බණ්ඩාර ගී ගයමින් සභාවේ නොසන්සුන්තාවය යම් පමණකට හෝ සමනය කර ගැනීමට බලවත් උත්සාහයක් දැරීය. මෙම බේබදු උද්ඝෝෂණයට රජයේ ඉහළම අනුග‍්‍රහය ලැබී තිබුණ නිසා රැස්වීමේ ආරක්‍ෂාවට යෙදවූ පොලිස් නිළධාරීන්ද කිසිත් කර කියා ගත නොහැකිව කර බාගෙන සිටියහ.රැස්වීම ආවරණය සඳහා පැමිණි මාධ්‍යවේදීන්ටද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ගේ බේබදු ගෝලයින්ගෙන් බාධා එල්ල විය. අනතුරුව නියමිත පරිදි රැස්වීම අවසන් කළ සංවිධායකයින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන පාර්ශ්වයේ උප සභාපතිනී උපුලාංගනී මාලගමුවගේ නිවසේදී රාත‍්‍රී 7.00 ට විශේෂ මාධ්‍ය හමුවක්ද පවත්වා කුමන බාධක පැමිණියද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස වෙනුවෙන් සටන් කරන බව අවධාරණය කළේය. එහිදී මාධ්‍ය ඇමතූ නිදහසේ වේදිකාවේ ප‍්‍රධානීන් සියළු දෙනා ප‍්‍රකාශ කර සිටියේ, රැස්වීම කඩාකප්පල් කිරීමට දරණු ලැබූ උත්සාහය ආණ්ඩුවේ උවමනාව මත සිදු වූවක් බවය.


Thursday, August 13, 2009

නිදහසේ වේදිකාවේ මහජන රැස්වීම් මාලාවේ පස්වැන්න අගෝස්තු 18 දා කුරුණෑගල YMBA ශාලාවේදී පැවැත්වේ. රැස්වීමේ සංවිධායක කමිටු සාමාජිකයන් දෙදෙනෙකු සමඟ සමබිම වෙනුවෙන් ගිම්හාන තේනුවර කළ සාකච්ඡාව පහත පළ වේ.






කවුරු බලයේ සිටියත් මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි
-ප‍්‍රසන්න ශමල් සෙනරත්

වයඹ පළාත් විපක්ෂ නායක

භාෂණයට හඬක් ජීවිතයට ඉඩක් යන තේමාව යටතේ ‘නිදහසේ වේදිකාව’ බිහි වී තිබෙනවා. මෙවැනි අවස්ථාවක නිදහසේ වේදිකාවේ අවශ්‍යතාව ඔබ දකින්නේ කෙසේද?
ඔව්. ඇත්ත වශයෙන්ම මේ අදහසත්, මේ වැඩපිළිවෙළත් මම බොහොම සුභවාදී ලෙස වගේම කාලීන අවශ්‍යතාවක් ලෙසයි දකින්නේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය නිදහස රටට අත්‍යවශ්‍ය දෙයක්. රටේ මිනිස්සු තොරතුරු දැන ගන්නේ ජනමාධ්‍ය හරහා. නමුත් සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අද සහමුලින්ම විනාශ කරල දාලා. මේ තත්ත්වය ගැන දැනුවත් කිරීමට පැමිණි එකමුතුවක්, බලවේගයක්, කාලීන අවශ්‍යතාවක් ඉටුවීමක් විදිහට මම නිදහසේ වේදිකාව දකිනවා.

එළැඹෙන දහඅට වැනිදා පැවැත්වෙන කුරුණෑගල මහජන රැස්වීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කෙබඳුද?
මූලික සාකච්ඡාවේ සිටම කුරුණෑගල නිදහසේ වේදිකාව එක්ක මම සම්බන්ධ වුණා. මම දැක්කා මෙයට සම්බන්ධ වෙලා සිටින පුද්ගලයින්. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණාට ඒ අවස්ථාවලදී මෙයට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, කොමියුනිස්ට් පාක්ෂිකයන් ඇතුළු අනිකුත් සියළු පක්ෂවල සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටින ආකාරය මම දැක්කා. මෙතැනට දේශපාලන පක්ෂ භේදයක් කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැති වීම ඉතාම වැදගත් කරුණක්. සාධාරණය, සමානාත්මතාව, යුක්තිගරුකභාවය අගය කරන සියළු දෙනාම නිදහසේ වේදිකාව ඒකරාශී විය යුතුයි කියා මම හිතනවා. නිදහසේ වේදිකාවේ කුරුණෑගල මහජන රැස්වීම අද රටේ තත්ත්වය කුමක්ද කියා දැනගන්න කුරුණෑගල ජනතාවට ලැබෙන ඉතා හොඳ අවස්ථාවක්.

නිදහසේ වේදිකාවට ඇතැම් පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වෙනවා. මේ විවේචන එල්ල වීම ඔබ දකින්නේ කොහොමද?
තමන්ගේ පුවත්පත් මඟින් සත්‍ය දැන ගැනීමට අවස්ථාව ලබා දුන් සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර, සිරස මාධ්‍ය ජාලයට ගිනි තබා විනාශ කර දැමූ මොහොතකයි නිදහසේ වේදිකාව බිහි වුණේ. මේ ව්‍යාපාරය ඇති වුණේ මේ රටේ ජනමාධ්‍ය නිදහස නැතිවූ අවස්ථාවකදී. අනිකුත් මාධ්‍යවලටත් රටේ මිනිස්සු දැනුවත් කරන වැඩපිළිවෙල නතර නොකෙරුවොතින් මෙවැනි ඉරණමකට පත් වෙන්නට පුළුවන් කියන පණිවිඩය රජයක් ලෙස දී තිබුණ වෙලාවක බිය නැතිව සියළුදෙනාම ඒකරාශී කරගෙන මේ මර්දනයට විරුද්ධව නැඟී සිටින්න පුළුවන් සංවිධානයක් දැන් බිහි කරල තියෙනවා. ඒක මේ රටේ ජනතාවගේ අනාගතය වඩා හොඳ තත්ත්වයකට පත් කරන්න පුළුවන් ප‍්‍රබල බලවේගයක් බවට පත් කළ යුතුයි. රටේ ජනතාවගේ නිදහස, මූලික අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට තියෙන අවස්ථාවක් ලෙස මම මේක දකිනවා. මෙතැන කිසිම දේශපාලනයක් නැතැයි කියන කාරණය අපි සඳහන් කළ යුතුමයි. කවර ආණ්ඩුවක් බලයේ සිටියත් මෙවැනි සංවිධානයක අවශ්‍යතාවය පවතිනවා.



ඞී.ටී.ඩබ්ලිව්.ජී.දිසානායක
කුරුණෑගල මානව හිමිකම් සංවිධානයේ සම්බන්ධීකාරක සහ
නිදහසේ වේදිකාවේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික

''සිරස මාධ්‍ය ජාලයට පහරදීමත් ඉන් දින කිහිපයකට පසු ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර දැමීමත් අප සියළු දෙනා තුළ විශාල කම්පනයක් ඇති කළා. ඔහුගේ අවමඟුලට සහභාගි වුණ මම මින් පෙර මාධ්‍යවේදියෙකු වෙනුවෙන් එතරම් ජනතාවක් පෙළ ගැසෙනු දැක නැහැ. නිදහසේ වේදිකාව බිහි වෙන්නේ මම වගේම ලසන්තගේ මරණයෙන් කම්පනයට පත් වුණ පිරිසකගේ එකමුතුවෙන්."

ආරම්භයේදීම නිදහසේ වේදිකාව සමඟු මම සම්බන්ධ වුණා. කෙසේ හෝ නිදහසේ වේදිකාව ඉදිරියටම යා යුතු දෙයක් ලෙස මා හඳුනා ගත්තා. එවැනි මර්දනකාරී අවස්ථාවක මේ අභියෝගයට මුහුණ දී සිටි අය තුළ වූ අදහස් මම බොහෝ අගය කළා. අවසානයේදී අප සමඟ කටයුතු කරන විවිධ සංවිධාන, පුද්ගලයින්, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති වලට කුරුණෑගල නිදහසේ වේදිකාව පුළුල් කිරීමට එක් වන ලෙස අප ආරාධනා කළා. එහි පළමු රැස්වීමට සෑම ක්ෂේත‍්‍රයක්ම නියෝජනය කරමින් පුද්ගලයින් පැමිණ සිටියා. මේ ආකාරයට අපි රැස්විම් වට කිහිපයක්ම පවත්වා අවසානයේ කුරුණෑගල මහජන රැුස්වීමක් පැවැත්විය යුතුයි යන අදහසට පැමිණියා. ඒ අනුව මේ වෙන කොට අගෝස්තු දහඅට වැනිදා කුරුණෑගල නිදහසේ වේදිකාවේ මහජන රැස්වීම පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම්.

Back to Samabima
Back to Platform

Thursday, August 6, 2009



පුවත්පත් මණ්ඩල පනත භයානක නීතියක්.
ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා

මාධ්‍යවේදීන් පාලනය කිරීම රජය මඟින් ඉතාම ක‍්‍රමවත්ව කරගෙන යනවා. මුලින් අපි දැක්කා මාධ්‍යවේදීන්ට යම් වරප‍්‍රසාද ලබාදීමෙන් ඔවුන්ගේ හිත් දිනාගෙන තොරතුරු ජනතාවට ලබාදීම වැළැක්වීමේ ක‍්‍රියාදාමය. ඒ ක‍්‍රමවේදය බලාපොරොත්තු වු ප‍්‍රමාණයට සාර්ථක නොවුණු නිසා මාධ්‍ය මර්දනයකට රජය පියවර අරගෙන තියෙනවා.
2002 වසරේ සිට ම පුවත්පත් මණ්ඩල පනත ක‍්‍රියාත්මක වුණත් එම මණ්ඩලයට සාමාජිකයින් පත් කිරීමෙන් රජය වැළකී සිටීම නිසා මෑතක් වන තුරුම පුවත්පත් මණ්ඩලය ක‍්‍රියා විරහිත වී තිබුණා. නමුත් මෙයට මාසයකට පමණ පෙර ජනාධිපතිතුමා විසින් පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙක් නැවතත් පත්කොට පුවත්පත් මණ්ඩල පනත යළිත් ක‍්‍රියාකාරී තත්ත්වයට ගෙන ආවා.
මේ පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනාගෙන් හය දෙනෙක් නම් කරන්නේ ජනාධිපතිතුමා. නිල බලයෙන් පත්වන්නේ ඒ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා පමණයි.මේ පුවත්පත් මණ්ඩල පනතේ භයානක විධි විධාන ඇතුළත් වී තිබෙනවා. පළමුව, යම් මාධ්‍යවේදියෙකු විසින් යම් තොරතුරු ජනතාවට ලබා දුන්නේ නම් ඒ තොරතුරු ඔහුට ලැබුණු මුලාශ‍්‍රය පිළිබඳව හෙළි කරන්නැයි කියා එකී මාධ්‍යවේදියාට බල කිරීමට පුවත්පත් මණ්ඩලයට පුළුවන්.
මාධ්‍යකරුවන්ට ඉතාම වැදගත් දෙයක් තමයි තමන්ට ලැබෙන තොරතුරු වල මුලාශ‍්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම. එසේ රහස්‍යභාවය රැකෙනවා යැයි විශ්වාසයක් නැත්නම් මර්දනකාරී රජයකට එරෙහි තොරතුරු සැපයීම නවතිනවා. මම රජය විසින් සිදු කරන අක‍්‍රමිකතාවය පිළිබඳ තොරතුරු මාධ්‍යයට දුන් විට, එය මාධ්‍යවේදීන් විසින් පුවත්පතක පළකළ විට, පුවත්පත් මණ්ඩලය මඟින් එම මාධ්‍යවේදීන් ට තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි කරන්නට බල කළොත් මා අවසානයේදී කොටුවන නිසා මාධ්‍යවේදීන් ට එම තොරතුරු ලබාදීමෙන් වැළැකීමට මට සිද්ධවෙනවා.
ඊළඟ කරුණ මේ පුවත්පත් මණ්ඩලයේ සිටින සාමාජිකයන් හත් දෙනාගෙන් අඩු තරමේ හය දෙනෙක් දේශපාලන නායකත්වය විසින් පත් කරන අයයි. මේ පුවත්පත් මණ්ඩල සාමාජිකයින්ට මාධ්‍යකරුවන් සම්බන්ධ ව දඬුවම් පැමිණවීමේ බලතල ද පැවරී තිබෙනවා. අප දන්නා නීතිය අනුව කෙනෙකුට දඬුවම් කිරීමේ බලය ඇත්තේ අධිකරණයකට පමණයි. අධිකරණයේ සිටින්නේ පළපුරුද්දක් ඇති ස්වභාවික යුක්ති ධර්මය සහ නීතිය මත සාධාරණ තීරණ ගැනීමට හැකි විනිශ්චයකරුවන්. නමුත් පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් එවැනි පළපුරුද්දක් හෝ දැනීමක් ඇති අය නොවෙයි. දේශපාලනයට ඒ අය යොදාගෙන යම් අවස්ථාවකදී මාධ්‍යකරුවන්ට එරෙහිව දඬුවම් කිරීමේ හැකියාව දේශපාලකයන්ට තිබෙනවා.
ඒ නිසා පුවත්පත් මණ්ඩලය යනු මාධ්‍යකරුවන් හැසිරවීමට සහ පාලනය කිරීමට රජය ගෙන එන එක අවියක් බව පැහැදිලියි. ඒ නිසා මෙවැනි කරුණු ගැන මේ රටේ ස්වාධීන ව කල්පනා කරන ජනතාව උනන්දු විය යුතුයි











සැකකරුවන් අනූගණනක් අමු අමුවේ මරා දාලා
ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක


පහුගිය කාලය තුළ දරුණු අපරාධ සම්බන්ධ ව සැකපිට අත් අඩංගුවට ගන්නා ලද අනුවකට වැඩි පිරිසක්, කිසිම නඩු විභායක් නොමැති ව අමු අමුවේ මරා දාලා තියෙනවා. ඒ කියන්නේ නඩු විභාග වෙන්නේ උසාවි මඟින් නෙමෙයි. පොලිසිය මඟින්. පොලිසිය මේ හැම අවස්ථාවක ම කියන්නේ තමන් සැකකරු ආයුධ සොයා ගැනීම පිණිස රැගෙන ගිය බවත්, එහිදී ආයුධයක් ගෙන වෙඩි තැබීමට සැරසුණු බවත්, ආත්මාරක්ෂාව සඳහා අපි වෙඩි තියලා මැරූ බවත්, පොලිස් රෙගුලාසි අනුවම විත්තිකරුවෙකු සිර මැදිරියෙන් එළියට ගෙන යා යුත්තේ මාංචු යොදලායි. එසේ නම් මේ වෙඩි තැබීමට තැත්කර මරණයට පත් වී තිබෙන්නේ මංචු පිටින් හිටපු අයයි.
අපරාධකාරයෙකුට වුණත් සම්පූර්ණ නිදහස තියෙනවා රටේ නීති ක‍්‍රමය යටතේ දඬුවම් ලැබීමට. සමහර අය හිතනවා මේක සිද්ධ වෙන්නේ අපරාධකාරයන්ට නිසා කමක් නැහැ කියලා. නමුත් අපි කොතැනද තීරණය කරන්නේ අපරාධකාරයා කවුද කියලා. දැන් නීතිඥ මහත්වරුන් ට දේශද්‍රෝහීන් කියලා තියෙනවා. දේශද්‍රෝහී වීම ලොකු අපරාධයක්. එතකොට ඒ තර්කය යටතේ පොලීසියට සම්පූර්ණ අයිතියක් තියෙනවා ඒ අයව මරලා දාන්න. තව ඉස්සරහට ආණ්ඩු විරෝධී අයත් දේශද්‍රෝහී කියලා නම් කරන්න පුළුවන්.
මේ නීතිය තිබුණා නම් අපට එන්.එම්. පෙරේරා කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ නෑ. මොකද ඔහු අත් අඩංගුවට ගත් වෙලාවේ එවෙලේම පොලිසිය වැඬේ ඉවර කරලා දානවා. ඒක යුද්ධයක් තිබුණු වෙලාවක් යුද්ධයට විරුද්ධව කතා කරපු එන්.එම්. පෙරේරාටත් නීතිය අනුව කටයුතු කරන්න අධිරාජ්‍යවාදී පාලනය පවා ක‍්‍රියා කළා.
අපේ රට දිර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් පැවති රටක්. අපි බ්‍රේස් ගර්ඞ්ල් නඩුව දැම්මේ බි‍්‍රතාන්‍ය ආණ්ඩු කාලයේදියි. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා බ්‍රේස් ගර්ඞ්ල්ට විරුද්ධ ව රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කළා. ඒ රඳවා තබා ගැනීමේ නියෝගයට විරුද්ධ ව අධිකරණයට ගිහිල්ලා නීතිඥයන් මඟින් පෙනී සිටලා කරුණු ඉදිරිපත් කරලා ලාංකිකයන්ට පුළුවන් වුණා ඒ ආණඩුකාරයාගේ නියෝගය නීති විරෝධීයි කියලා ප‍්‍රකාශයක් ලබා ගන්න.
දැන් ඒ දීර්ඝ කාලයක් තිස්සේ පැවති සම්ප‍්‍රදාය අනුව බලනවා නම් අද තියෙන්නේ කැලෑ නීතිය. ඒ කියන්නේ බරපතල නඩු ඔක්කෝම අහන්නේ පොලිසිය විසින්. උසාවියට එන්නේ කෙහෙල් කැන් හොරකම් කිරීම වගේ සුළු නඩු. මේ නීතිය තිබුණා නම් අපට සතාසිවම් නඩුව, තිස්මඩ නඩුව වගේ නඩුවක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ.මෙය විහිළුවක් නොවෙයි. මෙය නීතියේ ආධිපත්‍යයට එරෙහිව ඇති වී තිබෙන ඉතාම දරුණු තර්ජනයක්. මෙය මේ අකාරයට වර්ධනය වුණොත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සම්පුර්ණයෙන් ම අහෝසි වෙනවා.මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැඳි පවතින්නේ ප‍්‍රධාන වශයෙන් කරුණු හතරක් උඩයි.
01. මහජන නියෝජිතයන් විසින් කරනු ලබන පාලනයක් තිබිය යුතුයි.
02. නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි.
03. අධිකරණයේ ස්වාධීනත්වය තිබිය යුතුයි.
04.මානව හිමිකම් වලට ගරු කළ යුතුයි.
මේවා නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් යනු බෝඞ් ලෑල්ලකට පමණක් සීමා වු බොරුවක්. අද රට තුළ ශීඝ‍්‍රයෙන් සිදුවෙමින් යන්නේ එයයි. එනිසා නීතිඥයන් වශයෙන් අපට විශාල වගකීමක් තියෙනවා සමාජයට මේ කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දීමට නීතියේ ආධිපත්‍යයට විරුද්ධ ව ඇති වන මේ තර්ජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දරුණු පහරක් බව










ලබ්බට තියපු අත පුහුලටත් නොතියයි කියන්නේ කොහොමද ?
ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද කුමාරගේ



මේ ක‍්‍රියාදාමය 1971 -1989 කාල පරිච්ජේදයේ දැකිය හැකි වු තත්වයක් බවත් 1980 ගණන්වල එවකට පැවති රජය නීතිඥයන් සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීමි අතුරුදහන් කිරිම් සිදුකරන ලද බව කුමාරගේ මහතා පැවසීය මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප‍්‍රකාශ කලේ එම අතුරුදහන් කිරිම් වලට විරුද්ධව එනම් ගංගාවල මළ කදන් පාවීම වැලැක්වීමට අතුරුදහන් වුවන්ගේ මාපිය දු දරු සංගමය එදා ස්ථාපිත කල බවයි එදා මහින්ද රාජපක්ෂ මිනිස් සංහාරය පිළිබද වාර්ථා රුගෙන බටහිර සංවිධානවලට මෙන්ම ජිනිවා පවා ගිය අතරම එතුමා සිරබාරයටත් ගනු ලැබු බව මතක් කර දෙයි නමුත් අද ඔහුගේ පාලනය යටතේදීම පසුගිය කාලයේ සිදුවු සිද්ධින්ම සිදුවීම අභාග්‍යයට කාරණයක් බව නීතිඥ චන්ද කුමාරගේ ප‍්‍රකාශ කරන ලදී .

17 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම කොටසක් බවත් එම කොටස ක‍්‍රියාත්මක නොකිරිම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක් බවත් මෙය විශාල වරදක් ලෙස ඒ මහතා හදුන්වන ලදි අපි යුද්ධය දිහා බලන් සිටි බවත් අද යුද්ධය අවසන් වී රට සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන මොහොතේ කල යුත්තේ නීතියේ ආධිපත්‍ය ක‍්‍රියාත්මක කිරිම බව අවධාරණය කරන ලදි ලංකාව අත්සන් තබා තිබෙන සිවිල් අයිතිවාසිකම් පිළිබද පනත් ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කල යුතු අතර ඒවා කඩ කිරිමට වගකිවයුතු රජයකට නොහැකි බව සදහන් කරන ලදි සිද්ධින් පනහකට අධික සංඛ්‍යාවකදී පොලිසියට වෙඩි තැබිමට උත්සහ කිරිමි නිසා සැකකරුවන් ඝාතනය වු බව පොලිසිය පැවසීම මුසාවක් මිස සත්‍යයක් නොවන බව පැහැදිලි බවද අධිකරණ තීන්දුවකින් තොරව පුද්ගලයන් මරණයට පත්කරලීමට කිසිවකුට අයිතියක් නොමැති බව පොලිසිය දැනගතයුතුයයි අවධාරණය කරන ලදි.

මේ ඝාතන සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පලකල කුමාරගේ මහතා ලබ්බට තියපු අත පුහුලටත් නොතියයි කියන්නේ කොහොමද යයි ප‍්‍රශ්න කරන ලදි අහිංසකයන් ඝාතනය කොට බෝම්බයක් දැමීම මගින් එම ඝාතනය සාධාරනය කරලීමට මෙම ක‍්‍රියාවලින් හැකි වී තිබෙන අතරම රාජ්‍ය අනුග‍්‍රහය නොමැතිව රජය රාජ්‍ය බලය දරන මොහොතක මේ ආකාරයේ සිදුවීම් සිදුවිය හැකිදැයි අවධාරණය කරන ලදි මෙම තත්වය වැලැක්වීමට නම් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කල යුතුබවත් කුමාරගේවගකිවයුතු රජයක් ලෙස මෙම රජයෙන් ලංකාව ඇප්ගනිස්ථානයක් නොකොට නීතිඥවරුන්ගේ සහ ජනතාවගේ අයිතිවාසිකමි සුරක්ෂිත කරන ලෙස බල කර සිටින බව කුමාරගේ මහතා ප‍්‍රකාශ කරන ලදි






ආණ්ඩුක‍්‍රම සංශෝධනය බලාත්මක කිරිම රජය පැහැර හරිමින් සිටිනවා
නීතිඥ ජේ.සී.වැලිඅමුණ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ මුලික නීතියයි එය ක‍්‍රියාත්මක කරලීමට රජය කටයුතු කල යුතු බව ප‍්‍රකාශ කල වැලි අමුණ මහතා අද ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් ආකාරයට පාලනයක් සිදුනොවන බවත් 17 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය බලාත්මක කිරිම රජය පැහැර හරිමින් සිටින අතරම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 17 වන සංශෝධනය ක‍්‍රියාත්මක නොවීම මත ඊට අදාල ආයතන නීති විරෝධි තත්වයට පත්ව තිබෙන බව ප‍්‍රකාශ කරන ලදි.
එමෙන්ම අද මාධ්‍යවේදීන්ට පහරදීම් මෙන්ම මාධ්‍යවේදීන් ඝාතනය කිරිම්ද සිදුවන බවත් එම නිසා මාධ්‍යවේදීන් තම ජිවිත ආරක්ෂාව පතා විදේශ ගතව සිටින බව ප‍්‍රකාශ කරයි රජය මෙම තත්වය වෙනස්කරලීමට ඍජුව මැදිහත් විය යුතු අතරම ජිවිත ආරක්ෂාව පතා විදේශ ගතව සිටින මාධ්‍යවේදීන් ලංකාවට ගෙන්වා ගැනිම සදහා සාධනීය ප‍්‍රතිකර්ම යෙදිය යුතු බව අවධාරණය කරණ වැලි අමුණ මහතා රටක ව්සම්මුතික මත දැරීමේ නිදහස ආරක්ෂා කල යුතු බව ප‍්‍රකාශ කරයි.
අද අමාත්‍යවරුන්ගේ තීරණ රටේ නීතිය ලෙස ක‍්‍රියාත්මක කිරිමට යෑම බරපතල තත්වයක් ලෙස සලකන ඔහු මේ ආකාරයේ ක‍්‍රියාදාමයන් තලේබාන් පාලනයට සමාන කර දක්වයිලෝකයේ කිසිම ආකාරයකට මානව හිමිකම් පිලිනොගන්නා රටවල් අතරට ශ‍්‍රි ලංකාව වැටීමේ තැනක නොසිට ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරන තැනකට ගමන් කල යුතු අතරම ජනතාවටද එම අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සදහා යුතුකමක් තිබෙන බවද අවධාරණය කරයි පාර්ලිමේන්තුව තුල සම්මත කරනු ලබන නීති ක‍්‍රියාත්මක කල යුතු අතරම එය රාජ්‍ය පාලකයාට අවශ්‍ය ලෙස නීති වෙනස් කිරිම් සිදු නොකල යුතු අතරම සියල්ලන්ම නීතියේ පාලනයට යටත් විය යුතු බවත් එය සියල්ලන්ටම පොදු මෙන්ම රාජ්‍ය පාලකයාටද අදාල බව මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කරන ලදි .



‘නිදහසේ වේදිකාව’ ට සම්බන්ධ නීතිඥවරුන් විසින් අගෝස්තු 4 වෙනිදා කොළඹ 07, ජාතික පුස්තකාල මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුව ඇමතූ කේ.එස්. රත්නවේල්, ලාල් විජේනායක, චන්ද්‍රා කුමාරගේ සහ ජේ.සී. වැලිඅමුණ යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්. ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතාද මෙයට සහභාගී විය.
Back to Samabima site
Back to Platform site

නිදහසේ වේදිකාවේ නීතිඥවරුන්ගේ ප‍්‍රකාශය

නිදහසේ වේදිකාව’ ට සම්බන්ධ නීතිඥවරුන් වෙනුවෙන් අප ප‍්‍රකාශ කරන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පිණිස නීතියේ පාලනය සහ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය බවයි. එමෙන් ම, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ඇතුළුව සියළු නීති ක‍්‍රියාත්මක කරන ලෙසද, තෝරා බේරාගත් නීති පමණක් ක‍්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ද අපි ඉල්ලා සිටිමු.
එමෙන්ම, පහත සඳහන් කරුණු ද අපි අවධාරණය කරමු.
17 වැනි ආණ්ඩු ක‍්‍රම සංශෝධනය අක‍්‍රීය වීම නිසා මුළු මහත් රාජ්‍ය යන්ත‍්‍රයම නීති විරෝධී තත්ත්වයකට පත් ව ඇත. එබැවින්, එම සංශෝධනය වහාම ක‍්‍රියාත්මක කරන්න.
අධිකරණ ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයභාවය සහ සුපිළිපන්නභාවය යළි ඇති කිරීම සඳහා වාතාවරණය නොපමාව කරන්න.
නීතිඥවරුන්ට බලපෑම්වලට ලක් නොවී සංවේදී ස්වභාවයේ නඩුවලට සහ මුලික අයිතිවාසිකම් නඩුවලට පෙනී සිටීමට අවශ්‍ය වාතාවරණය ඇති කරන්න.
අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. මාධ්‍ය නිදහසට බාධාකාරී වන පුවත්පත් මණ්ඩල පනත ඇතුළු මළ නීති නැවත ක‍්‍රියාත්මක නොකරන්න.
ආණ්ඩුවේ මතය ට වෙනස් මත දැරීමේ හේතුව මත තෝරාගත් මාධ්‍ය ආයතන වෙත රජයේ වෙළෙඳ දැන්වීම් සහ අනුග‍්‍රහය ලබා නොදීම මගින් ඇති කරන වක‍්‍ර මර්දනය නවත්වන්න.
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයන්ට නිදහසේ තම වෘත්තීමය කටයුතු කරගෙන යාමට අවශ්‍ය වාතාවරණයක් ඇති කරන්න. පිටුවහල් වී ජීවත්වන ලාංකික මාධ්‍යවේදීන් ට සහ මාධ්‍ය සේවකයන්ට පෙරළා පැමිණ බියෙන් තොරව කටයුතු කළහැකි වාතාවරණයක් සකස් කරන්න.
අපරාධ රැල්ල නීත්‍යානුකූලව පාලනය කළ හැකි ක‍්‍රියාශීලි සහ ස්වාධීන පොලිස් සේවයක් ස්ථාපිත කර ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදෙමින් අපරාධ විමර්ශන කටයුතු විද්‍යානූකූලව කිරීම සඳහා ශක්‍යතාවයන් වර්ධනය කරන්න.
අපරාධ චෝදනා ලැබ සිටින චූදිතයන් නිසි අධිකරණයක් මඟින් වරදකරුවකු කරන තුරු නිර්දෝෂී පුද්ගලයෙකි. පොලිස් අත් අඩංගුවේ සිටින චූදිතයන් පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම වළක්වන්න.
ලෝක ප‍්‍රජාව විසින් එක හෙළා පිළිගනු ලැබු මානව අයිතිවාසිකම්වලට ගරු කොට, ආරක්ෂා කොට, වැඩි දියුණු කළ යුතු අතර පටු දේශපාලන වාසි ලැබීමේ ජනප‍්‍රිය උපාය මාර්ගයක් ලෙස මානව හිමිකම් අවඥවට ලක් කිරීමෙන් වළකින්න.
තම රටවල ජනතාවගේ මානව හිමිකම් පාගා දමමින් කටයුතු කරන මර්දනකාරී රාජ්‍යයන් සමග එක පෙළට සිට ගනිමින් මානව හිමිකම් සීමා කිරීමේ කටයුතු වලින් වළකින්න.
යුධ ගැටුම් හේතුවෙන් අභ්‍යන්තර අවතැන්වුවන්ට ද සෙසු පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් වලට හිමිකම් තිබිය යුතුය. ඔවුන්ට රට තුළ එහා මෙහා යාමේ නිදහස ද අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ද තහවුරු කරන්න. ඔවුන් අතර අපරාධ චෝදනා ලත් අය සිටී නම් රටේ සාමාන්‍ය නීතිය අනුව ක‍්‍රියාකරනු මිස සියළු දෙනාටම සාමුහික ව දඬුවම් දීම නවත්වන්න.
වැඩිහිටියන්ගේ පරිහරණය සඳහා ඇති කලා හා සංස්කෘතික මාධ්‍ය බාල වයස්කරුවන් විසින් භාවිතා කිරීම වැළැක්වීමට දැනට නීති මඟින් පිළිගෙන ඇති පටිපාටිය අනුව කටයුතු කරනවා වෙනුවට එම කෘතීන් තහනම් කරමින් ඇෆ්ඝනිස්ථානයේ මූලධර්මවාදී තලේබාන් පාලනය වැනි අන්තවාදී පාලන ක‍්‍රම වෙත ගමන් නොකරන්න.
පාර්ලිමේන්තුව තුළ විවාද හරහා සම්මත වන නීති මඟින් රට පාලනය කරනු වෙනුවට, හදිසි නීතියේ රෙගුලාසි ඇතුළු අනෙකුත් විධායක නියෝග මඟින් රට පාලනය කිරීම අවසන් කරන්න.