Friday, March 19, 2010

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා වාමාංශික පක්ෂවල වගකීම විශාලයි

අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකට වාමාංශික නායකයෙකු මෙන්ම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක මූලික ලක්‍ෂණය වන්නේ කලින් කලට තමන්ගේ පාලකයින් නිදහස්ව හා ස්වාධීනව පත් කිරීමට ඇති අයිතිය, නීතියේ ස්වාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගරු කිරීම වේ. රට තුළ අද සිදුවන්නාවූ සිදුවීම් සලකා බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් ගරු කරමින් පාලනය වූ අප රට වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට දැඩි අභියෝගයන් ලක් වූ අවස්ථාවක රටේ දේශපාලන පක්ෂ සතු කාර්යභාර්ය හා වගකීම කුමක් විය යුතුද යන්න සලකා බැලිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ දේශපාලන සංස්කෘතියේ මූලික පදනම හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ බිඳ වැටීමත් සමඟ සමාජය අගය කරන්නාවූ සියලූ අගයන් හා සමාජය රඳා පවත්නාවූ මූලික පදනම කඩා වැටීම වැළැක්විය නොහැක. ඒ අනුව මුළු රටම දැඩි අර්බුදයකට පත් වනු ඇත.
එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ආරක්ෂා කිරීම සඳහා මූලිකව ක‍්‍රියා කිරීම සියළු දේශපාලන පක්ෂවල කාර්යභාරය වන්නේය. එම සටනේදී රටේ වාමාංශික පක්ෂ මත පැවරෙන්නාවූ වගකීම ඉමහත්ය. සමාජයේ පීඩනයට ලක් වි සිටින වරප‍්‍රසාද අහිමි ගොවි කම්කරු ජනතාවගේ ගැලවීම සඳහා සටන් කරනු ලබන වාමාංශික පක්ෂවලට තම සටන ඉදිරියට ගෙනයාමට මුලික අවශ්‍යතාවය වන්නේ පවතින්නාවූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමය. මෙම ඓතිහාසික යුතුකම මගහැරිය නොහැකිය. අවස්ථාවාදීව ක‍්‍රියාකරමින් මෙම මුලික යුතුකම මගහැරියහොත් එමගින් වාමාංශික පක්ෂ නියෝජනය කරන්නාවූ ජනතාවගේ අයිතීන් සඳහා සටන් කිරිමට ඇති අවකාශය අහිමිවීම තුළින් ප‍්‍රධාන වශයෙන් මර්දනයට ලක්වන්නේ එම වැඩකරන ජනතාව බව ඉතිහාසය අපට පෙන්වාදී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩා වැටීමත් සමග බුද්ධිමතුන් හා වෘත්තිකයින්ට ඇති වන්නාවු මර්දනය හා පීඩනයත් සමඟම කම්කරු ජනතාවද පීඩනයට හා මර්දනයට පත්වීම අප අද ලෝකයේ ප‍්‍රජතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය බිඳ වැටී ඇති සිම්බාබ්වේ, නයිජීරියාව, මියන්මාරය (බුරුමය) වැනි රටවල් දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සියළු බලවේග ඒකරාශී කිරීම මූලික අවශ්‍යතාවය වන්නේය. එම බලවේග සලකා බැලීමේදී වැදගත්ම බලවේගය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින පක්ෂ හා සංවිධාන වේ. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින සියළු දේශපාලන පක්ෂ ඒකරාශි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ සටන ප‍්‍රධාන අභියෝගය වේ. රටක ආර්ථිකය පිළිබඳ, සංවර්ධන මාවත පිළිබඳව මෙන්ම අනෙකුත් සමාජ ප‍්‍රශ්න පිළිබඳව වෙනස් මත දැරුවද අපගේ පාලන ක‍්‍රමයේ පදනම මෙන්ම ශිෂ්ටසම්පන්න සමාජයක මුලික පදනම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ක‍්‍රියාමාර්ගයත් ගත යුතුව ඇත.
එම සටනේදී වාමාංශික පක්ෂ හා දක්ෂිණාංශික මත දරණ පක්ෂ හා වෙනත් සංවිධාන එක්සත්ව මෙම සටන දියත් කළ යුතුව ඇත. එසේ නොමැති අවස්ථාවලදී ඉතා දරුණු ප‍්‍රතිවිපාක ජනතාවට මුහණ දීමට සිදුවී ඇති බව ඉතිහාසයෙන් පෙන්වාදී ඇත. මෙයට හොඳම උදාහරණය ජර්මනියේ පැසිස්ටිවාදී හිට්ලර්ගේ ඒකාධිපතිවාදයට විරුද්ධ සටනේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි සියලූ පක්ෂ හා සංවිධාන එක්සත් ක‍්‍රියාමාර්ගයන් සඳහා එක් නොවීමය. ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂය හා අනෙකුත් වාමාංශික බලවේග විශේෂයෙන්ම ප‍්‍රබල කම්කරු පන්තිය නියෝජනය කළ සංවිධාන හිට්ලර්ට විරුද්ධව එක්සත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්වීම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන අඩපණවීම තුළින් සිදුවූ මහා විනාශය මෙනෙහි කිරීම වැදගත් වේ. මීට සමාන සිදුවීම් තවත් නොයෙකුත් රටවල් තුළ සිදුවී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම තුළින් සියළු දේශපාලන ක‍්‍ර‍්‍රියාවල යෙදීමේ අයිතිය අහිමිවීම පමණක් නොව ජනතාවගේ මුලික මානව හිමිකම් පවා අහිමිවිම තුළින් රට තුළ ඉතා පසුගාමී පීඩනකාරී පාලනයක් මතු වේ.
එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සටන මූලික හා ප‍්‍රධාන සටන විය යුතුය. පසුගිය කාලය තුළ පැවැති පළාත් සභා මැතිවරණ හා ජනාධිපතිවරණ තුළින් අපට කොතෙක් දුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවී ඇද්ද යන්න මනාසේ පෙන්වා ඇත. මෙම මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ සේ කිසිසේත්ම පිළිගත නොහැක. එම මැතිවරණ වලින් ජනතාවට නිදහස්ව තම පාලකයින් තෝරාගැනීමට අවස්ථාව අහිමි වූ බව පිළිගත යුතුව ඇත. සියළු මැතිවරණ නීති රීති කඩ කරමින් රටේ නීතියට කිසිදු ගරු කිරීමක් නොමැතිව, රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍යයන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා කිසිදු ලැජ්ජාවක් නොමැතිව භාවිතා කිරීමෙන් මෙන්ම තම විරුද්ධාවාදීන්ට තම ඡුන්ද ව්‍යාපාරය ගෙනයාම සඳහා ඇති නිදහස අහිමි කරමින්, පොලීසිය හා රාජ්‍ය සේවය යෙදවීම තුළින් නිදහස් හා සාධාරණව මැතිවරණ සටන පැවැත්වීමේ අයිතිය ජනතාවට අහිමි කර ඇත. රාජ්‍ය මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය සඳහා නිර්ලජ්ජිත ලෙස භාවිතා කිරීම පමණක් නොව පුද්ගලික මාධ්‍ය වෙතද නොයෙකුත් තර්ජන ඇති කිරීම තුළින් ඔවුන්ටද නිදහස්ව මැතිවරණය වාර්තා කිරීමේ අයිතිය අහිමි කළ බව රහසක් නොවේ.
මෙවැනි අසාධාරණ ඡන්ද ව්‍යාපාරයකින් බලයට පත්වීමෙන් පසුවද තම දේශපාලන ප‍්‍රතිවාදීන් වෙත ක‍්‍රියා කරනු ලබන අසාධාරණ හා නීති විරෝධී මෙන්ම මර්දනකාරී ක‍්‍රියාදාමය තුළින් ගොඩනැගී එන ඒකාධිපති ක‍්‍රමයේ බැරැරුම්කම ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇත. ජනාධිපති මැතිවරණයෙන් පසුව ප‍්‍රධාන විරුද්ධ පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් ක‍්‍රියා කර ඇති ආකාරයෙන් අති භයානක සම්පූර්ණ ඒකාධිපති පාලනයකට ආසන්න බව පෙන්වා ඇත.
එපමණක් ද නොව පසුගිය වසර දෙක තුළ සිදුවී ඇති මාධ්‍යවේදීන් මරාදැමීම, මාධ්‍යවේදීන්ට පහරදීම පුද්ගලික මාධ්‍ය ආයතනවලට පහරදීම මෙන්ම ප‍්‍රවෘත්ති පළකිරීම පිළිබඳව පනවා අති නිල නොවන වාරණය තුළින් ඉතා පැහැදිලිවම මෙම යුගයේදි විරුද්ධ මත නොඉවසන බවත්, විරුද්ධ අදහස් දැරිමේ හා ප‍්‍රකාශ කිරීමේ නිදහස අහිමිවී ඇති බවත් පෙන්නුම් කරයි.
එහෙයින් මෙම මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින පක්ෂ හා අපේක්ෂකයින් ජයග‍්‍රහණය කිරීම තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිම සඳහා සටන ශක්තිමත් කළ හැක. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සැමගේ මූලික යුතුකම වේ. මෙම යුතුකම මගහැරියහොත් අනාගතයේදී ඒ පිළිබඳව පසුතැවිලිවීමට සිදුවනු නොඅනුමානය.

Back to Home

සිවිල් සමාජය අත්‍යන්තයෙන්ම දේශපාලනීයකරණය වු බලවේගයක්


ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ‘නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කාරියක වන අතර වෙනස්කොට සැලකීම්වලට හා වර්ගවාදයට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනියද වන්නීය.



ඔබ ‘නිදහසේ වේදිකාව’ සංවිධානයේ කැඳවුම්කාරියක් ලෙස ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා විවේචනය කරන ප‍්‍රමුඛ පෙළේ ප‍්‍රකාශිකාවක්. ඒ වගේම විවිධ ජාත්‍යන්තර සමුළුවලදී ඔබ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට විරුද්ධව අදහස් පළ කොට තිබෙනවා. මේ දිනවල ජනමාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ගේ ලැයිස්තුවක් රජයේ ඔත්තු සේවා විසින් සකස් කොට ඔවුන් ශ්‍රේණිගත කොට ඇතැයි කියවෙන නමුත්, ඔබේ නම එහි ඇතුළත් වී ඇතැයි වාර්තා වෙන්නේ නැහැ. ඒ ඇයි?
ඔය වගේ ලැයිස්තු කිහිපයක මීට පෙර අපේ නම් තිබුණා. විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ defence.lk වෙබ් අඩවියේ පළවූ දේශද්‍රෝහීන්ගේ ලැයිස්තුවේ අපේ නම් ඇතුළත් කර තිබුණා. මට කියන්න තිබෙන්නේ මම ලංකාවේ යහපාලනය ඇති කිරීම පිළිබඳවත්, පවතින රජය සාමකාමීව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පෙරළා දැමීමට මහජනයාට ඇති අයිතිය පිළිබඳවත් අවුරුදු විසි පහක පමණ කාලයක් තිස්සේ දේශපාලන අරගලයක යෙදුණු බවයි. අප පැමිණෙන්නේ වාමාංශික දේශපාලන සම්ප‍්‍රදායෙනුයි. රජය පෙරළීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රීයව කටයුතු කිරීමට අපට අයිතියක් තිබෙන බව අප පිළිගන්නා නිසා ඒ සඳහා අපට පිටරටවලට ගිහින් කුමන්ත‍්‍රණය කිරීමට අවශ්‍ය නැහැ. පිටරට ගියත්, ලංකාවේ හිටියත් මම කියන්නේ එක දෙයක්. එ් බව ජනාධිපතිතුමාත් ඇමතිවරුත් වගේම බුද්ධි අංශත් දන්නවා.
අතුරුදහන්වීම් පිළිබඳව හෝ අවතැන්වීම් පිළිබඳව හෝ සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම පිළිබඳව හෝ අප පෙනී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාදාමය පිළිබඳව විවෘතව කතා කරන පුද්ගලයන් හැටියටයි. අප අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවලට සම්බන්ධ නොවන බව අපේ මුළු දේශපාලන ඉතිහාසය තුළින්ම ඔප්පු කොට තියෙනවා. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධීක්ෂණය කිරීමට ඕනෑම ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමකට ඉඩදිය යුතු බව අප කියා සිටින්නේ ප‍්‍රසිද්ධියේ මිස හොර රහසේ නොවෙයි.
ඒ වගේම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය රැක ගැනීම සඳහා රටේ පාලන තන්ත‍්‍රය කලින් කලට වෙනස් කර ගැනීමට මහජනයාට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් තිබෙනවා. එකම පාලන තන්ත‍්‍රයක් අවුරුදු 17ක් නැත්නම් අවුරුදු 35ක් පැවතිය යුතුය කියලා කෙනෙක් හිතනවා නම් ඔහු තම රටට ආදරය කරන පුද්ගලයෙක් නෙමෙයි.ඒ නිසා මම විවෘතව කියනවා මේ පාලනය වෙනස් කළ යුතුයි කියලා.
මේ වන විට රාජ්‍ය යන්ත‍්‍රයෙහි මතවාදී සහ මර්දන උපකරණ සම්පූර්ණයෙන්ම වාගේ ජනාධිපතිවරයාගේ සහ පාලක පක්ෂයේ සේවය සඳහා යොදවා තිබෙනවා. ස්වාධීන ව සිටිය යුතු අමාත්‍යංශ ලේකම්වරු ප‍්‍රසිද්ධියේම ඡුන්ද රැස්වීම් අමතනවා. නමුත්, රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත‍්‍රයේ සිටින අය තවමත් විශ්වාස කරන්නේ එක්කෝ දේශපාලන ක්ෂේත‍්‍රයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී සිටිය යුතුයි නැත්නම් සියළු පක්ෂ සමඟ වැඩ කරන බහු පාර්ශ්වික ප‍්‍රවේශයකට යා යුතුයි යන යල් පැන ගිය අදහසයි. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙලෙසද?
අප මෙය බරපතළ අභියෝගයක් ලෙස නොසැළකිය යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන හෝ සිවිල් සමාජය වශයෙන් හඳුන්වන අප වැඩ කරන ක්ෂේත‍්‍රය පෙළ ගැසෙන්නේ නව දැක්ම, විවේචනය සහ පරිවර්තනය මතයි. අප ආණ්ඩුව නෙවෙයි. අප ආණ්ඩුවට අභියෝග කරනවා. එක් එක් ආණ්ඩුවල දේශපාලන ගමන් මග පිළිබඳ අප බලන්නේ විවේචනාත්මක දෘෂ්ටියකිනුයි. සමහර විට විවේචනාත්මක සහයෝගය දෙන අවස්ථා තිබෙනවා. ඒ නිසා සිවිල් සමාජය අත්‍යන්තයෙන්ම දේශපාලනීකරණය වූ බලවේගයක්. අප මත ඉදිරිපත් කරනවා. ඒ මත එක්කෝ පවතින දේශපාලන ගමන් මගට සමාන්තරව යනවා නැත්නම් පවතින ගමන් මගට එරෙහිව යනවා. දැන් මේ දේශපාලන ගමන් මග තීරණය කරන්නේ දේශපාලන පක්ෂ විසිනුයි. එ් නිසා මේ ක‍්‍රියාමාර්ගය තුළදී අප කැමති වුවත් අකමැතිවුවත් අපට ඒ දේශපාලන මතවාදයන් සමඟ එකතුවීමට හෝ එයට විරුද්ධවීමට සිදුවෙනවා.
අතීතයේදී සිවිල් සමාජය දේශපාලන පක්ෂ සමඟ එක්වුණේ නැතැයි කියා කිව්වත් ඇත්තටම බැලූවොත් සිවිල් සමාජ ක‍්‍රියාධරයන් ඡුන්ද පාවිච්චි කරන්නේ තමන් කැමති පක්‍ෂයටයි. ඊළඟට සිවිල් සමාජ සංවිධානවල ක‍්‍රියාකාරීත්වය දෙස බැලූවොත් ඔවුන් බොහෝවිට පක්ෂයක් අරගෙන තමයි වැඩ කරලා තියෙන්නේ. විරුද්ධ පක්ෂය සමඟ වැඩ නොකරන කණ්ඩායම් වලට ආණ්ඩු පක්ෂය සමඟ රහසිගත ගණූදෙනු තියෙනවා. බොහෝවිට මේ ගණු දෙනු සිදුවන්නේ සිවිල් සමාජ සංවිධානවල පැවැත්ම රඳා පවතින අරමුදල් ලබා ගැනීම කියන කාරණාවට අදාලව මතුවන නීතිමය සහ නිල අනුමැතිය ලබා ගැනීම වැනි කාරණා පදනම් කරගෙනයි. උදාහරණයක් වශයෙන් සටන් විරාම ගිවිසුම පැවති සමයේදී ගැටුම් නිරාකරණය පිළිබඳව විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට අවකාශයක් සිවිල් සමාජයට ඇතිවී තිබුණා. ඉතින් එවැනි ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියළු කටයුතු එවකට පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් ඉටු කරදෙනු ලැබුවා. ඉතින් මේ ව්‍යාපෘති වලට එරෙහිව පැමිණි විවේචන නම් එ්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පක්ෂපාතී ව්‍යාපෘති බවයි. ඉතින් ආණ්ඩුව වෙනස් වුණු විගසම ඒ රාජ්‍ය නොවන සංවිධාන සියල්ල වැසී ගියා.
අප ඉදිරිපත් කරන මතවාදය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන ප‍්‍රශ්නය යුගයෙන් යුගයට මතුවන අභියෝගයක්. වර්තමානයේදී අපේ මතය මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති රටට හානිදායක බවයි. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන්නේ නැහැ. අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනා ගැන කිසිදු වග විභාගයක් නැහැ. දේශපාලන විසඳුමක් මඟින් දෙමළ ජනතාව සමඟ බලය බෙදා හදා ගැනීම පිළිබඳ වැඩපිළිවෙළක් නැහැ.
අප අයත් වන රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රවාහය හැමදාමත් රට බෙදීමට හා රට කෑලිවලට කැඞීමට විරුද්ධයි. අප හැමදාම පෙනී සිටියේ දෙමළ ජනතාව සමඟ දේශපාලන බලය බෙදා හදා ගැනීම මගින් බෙදුම්වාදය පරාජය කළ යුතුය යන මතයේයි. එබැවින් අපට වර්තමාන ආණ්ඩුවේ මතවාදය සමඟ අපට සමීප විය නොහැකියි. අපට සමීපවීමට හැකිවන්නේ අපේ මතවාදය සමඟ එකඟතාවයක් ඇති බලවේග සමඟයි.
ඒ වගේම වර්තමානයේ ලංකාවේ ක‍්‍රියාත්මක වන ස්වාධීන වෘත්තීය සමිති ගැනත් මම ප‍්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ අය පසුගිය කාලේ ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවන්ට විරුද්ධ පොදු උද්ඝෝෂණවලට දායක වුණේ නැහැ. නමුත් ඒ සමහර අය අප‍්‍රසිද්ධියේ කියමින් යනවා ඒ අය නිදහසේ වේදිකාවට ගොඩ නොවෙන්නේ ඒක එක්සත් ජාතික පක්ෂයේ උවමනාව අනුව ක‍්‍රියාත්මක වෙන නිසාය කියලා.
අපේ තරුණ වියේදී අප දුටු විප්ලවවාදී අභාසයක් සහිත කම්කරු පන්තිය මත පදනම් වූ ඉතා ප‍්‍රබල වෘත්තීය සමිති ව්‍යාපාරය නෙමෙයි මේ යුගයේ ක‍්‍රියාත්මක වෙන්නෙ. අද පවතින ගෝලීයකරණ තත්ත්වය තුළ මේ වෘත්තීය සමිති ව්‍යාපාරය තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා තමන්ගේ සංවිධානාත්මක ශක්තිය පාවිච්චි කිරීමකුයි සිදුවෙන්නෙ. දැන් අපට කිසිසේත්ම කියන්න බැහැනෙ ගුරු සංගමය කම්කරු පංති ව්‍යාපාරයක් කියලා. ඔවුන්ගේ වැටුප් දිහා බැලූවාම ඒ වගේම ඔවුන් වැඩ කරන ආකාරය දිහා බැලූවාම අපට පේනවා ඔවුන් ‘සුදු කරපටි’ රැකියාවක නිරත වෙන පිරිසක් බව. එදා දුම්රිය සේවකයො, මුද්‍රණාල සේවකයො කම්කරු පංතිය වශයෙන් සැලකුණත් අද ඔවුන් උපයන වැටුප සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය දිහා බැලූවොත් අර සම්භාව්‍ය කම්කරු පංතිය කියන නිර්වචනය ඇතුළට ගන්න බැහැ.
මේ අය වෘත්තීය සමිති කියලා නම දාගත්තට අපට කියන්න පුළුවන් මේ අයට අළුත් නමක්, සංවිධානාත්මක රජයේ සේවකයන්ගේ සංගම් කියලා. මේ සංවිධානාත්මක රජයේ සේවකයන්ගේ සංගම් කරන්නේ බලයට පත්වෙන රජය සමඟ ගණුදෙනු කරමින් තමයි ඔවුන්ගේ වේතන ප‍්‍රශ්නය විසඳා ගන්නෙ.
උදාහරණයක් ලෙස මීට අවුරුදු ගණනකට පෙර කාලෙදි ලංකා බැංකු සේවක සංගමය වැනි සංගමයක් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් අතිශය දායකත්වයක් දැක්වූවා. අපි මර්ජ් සංවිධානයේ සිටි කාලයේදී බාලා තම්පෝ, එම්.ආර්.ෂා වගේ වෘත්තීය සමිති නායකයන් ජාතීන් අතර යුක්තිය හා සාමානාත්මතාවය තහවුරු කිරීම සඳහා පැවැති උද්ඝෝෂණවලට සහයෝගය දැක්වූවා. එපමණක් නොවෙයි ඒ කම්කරු පංති බලවේගය ඔස්සේ ගිහින් තමයි අපට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වගේ නායකයන් එක්ක එකතු වෙලා 1994දී මහජන බලවේගයක් ගොඩනගා ගන්න පුළුවන් වුණේ.
දැන් යුරෝපා සංගමය විසින් ජී.එස්.පී.ප්ලස් සහනය ලංකාවට අහිමි කිරීමට කටයුතු කළ අවස්ථාවේදී ඒ ගැන වැඩ කරන ස්වාධීන වෘත්තීය සමිති නායකයන් මානව හිමිකම් පිළිබඳ ක‍්‍රියාධරයන් සමඟ කටයුතු කළේ නැහැ. ඒ වෙනුවට සිදුවුණේ ඔවුන් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර ඔවුන් ඉල්ලා සිටින වැටුප් කර්මාන්තකරුවන් වෙතින් ලබා දෙන්නේ නම් ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ලබා ගැනීමට සහය දිය හැකියි කියලා කීමයි. සම්භාව්‍ය අර්ථයෙන් කම්කරු පංතිය මත පදනම් වූ වෘත්තීය සමිති ව්‍යාපාරයක් කටයුතු කරන අකාරයට නොවෙයි ඔවුන් කටයුතු කර තිබුණේ. ඒ නිසා ඒ වෘත්තීය සමිති නායකයන්ට නිදහසේ වේදිකාව වගේ ස්වාධීන වෙන්න බැහැ. නිදහසේ වේදිකාවට එහි සාමාජිකයන් වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සමඟ හෝ විපක්ෂය සමඟ හෝ තමන්ගේ සාමාජිකයන් වන රජයේ සේවකයන් වෙනුවෙන් ගණුදෙනුවක් නැහැ. අපි ඔවුන් වගේ නෙමෙයි. නමුත්, ඔවුන් අපත් ඔවුන්ගේ මිම්මෙන් මනිනවා. අපි කාටවත් කඬේ යන්නේ නැහැ.
අද වෘත්තීය සමිති මර්දනයට එරෙහිව, ශිෂ්‍යයන් මර්දනය කිරීමට එරෙහිව, දෙමළ ජනතාව විවිධාකාරයෙන් ඇතුරුදහන් කිරීමට හා ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව ඔය ස්වාධීන වෘත්තීය සමිති කියන වෘත්තීය සමිතියක්වත් කෑම පැයේ පිකට් එකක් වෙනුවෙන් එළියට බැස්සේ නැහැ. එදා වර්තමාන ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්න විට මේ වෘත්තීය සමිති සමඟ එක්ව කෑම පැයේ, පැය බාගේ පිකටින් කළා. අද ඒ වෘත්තීය සමිති ඉන්නේ මහින්දගේ සාක්කුවේ. ඒ නිසා ඔවුන් අද මහින්දට විරුද්ධව පැය බාගයකටවත් එළියට එන්නේ නෑ.
කොළඹ ක‍්‍රියාත්මක වෙන බටහිර රටවල තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම පිළිබඳව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳව දක්වන උනන්දුව කවරාකාරද?
කොළඹ ක‍්‍රියාත්මක වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජාතීන්ගේ සරණාගත මහ කොමසාරිස් (UNHCR) කාර්යාලය වගේ ආයතනවල ක‍්‍රියාකාරීත්වය ගැන අපට බරපතල ප‍්‍රශ්න තියෙනවා. ඒ මොකද තමන්ගේ වීසා නැතිවේවි කියන බය නිසා ඔවුන් පසුගිය කාලේ ආණ්ඩුව සමඟ ගණුදෙනුවක යෙදෙමින් තමයි කටයුතු කළේ.
අනිත් පැත්තෙන් මම දකින විදියට බටහිර තානාපති කාර්යාල තුළින් තමයි මානව හිමිකම් පිළිබඳ කාරණාව බරපතළ විදිහට මතු වෙන්නේ. එතකොට රට ඇතුළේ මතයක් තියෙනවා. මේ බටහිර සුද්ෙදා තමයි මානව හිමිකම් අපට උගන්වන්න හදන්නේ කියලා.
දැන් ඩබ්ලින් නුවර රැස්වුණ නිත්‍ය ජනතා අධිකරණය කියන වැඩපිළිවෙළ විසින් ලංකාවේ සටන් විරාම ගිවිසුම බිඳ දැමීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාව කළ කාර්යභාර්ය විමසුමට ලක් කරලා, ප‍්‍රබල අභියෝගයක් එල්ල කොට තියෙනවා. ඇමෙරිකාව, යුරෝපය, ඉන්දියාව, චීනය, ජපානය වැනි සෑම ජාත්‍යන්තර බලවේගයක්ම බොහෝ වෙලාවට කටයුතු කරන්නේ තම තමන්ගේ දේශපාලන උවමනාව මතයි. ඒ නිසා බටහිර තානාපති කාර්යාල විසින් කරනවාය කියන මේ ඊනියා බටහිර කුමන්ත‍්‍රණය දෙස අපි විමසිල්ලෙන් බලන්න ඕනෑ. අනෙක් අතට බටහිර තානාපති කාර්යාල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය පිළිබඳව කාරණාව දෙස බලන්නේ නැහැ.
ඔවුන් මානව හිමිකම් වැනි එක් ක්ෂේත‍්‍රයක් දෙස බලනවා විනා සමස්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන රටාව බිඳ වැටීම දෙස බලන්නේ නැහැ. ඔවුන් කියනවා වර්තමාන ආණ්ඩුව ජනතාව අතර ජනප‍්‍රිය, ඡන්දයෙන් තේරි පත්වුණ ආණ්ඩුවක් කියලා. එය බරපතළ අභියෝගයක්. අවසානයේදී මට කියන්න වෙන්නේ තම හිසට තම අතමය සෙවනැල්ල කියලායි. මම නම් ඔය තානාපති කාර්යාල පසුපස ඕනෑවට වඩා දුවන්නේ නැහැ. එය අපි නිදහසේ වේදිකාවේ ක‍්‍රියාකාරීත්වය තුළින් ඔප්පු කොට තියෙනවා. අපි විශ්වාසය තබන්නේ තානාපති කාර්යාල මත නොවෙයි ලංකාවේ ජනතාව මතයි. ඔබ කලින් ඇහුවා මගේ නම අර ලැයිස්තුවේ නැත්තේ ඇයි කියලා. මට දැන් එයට පිළිතුරක් දෙන්න පුළුවන්. මං හිතන්නේ රහස් ඔත්තු සේවය දන්නවා මම නිතරම තානාපති කාර්යාල විසින් පවත්වන සම්භාෂණවල නැති බව. මම ඉන්නේ මහජනයා අතරයි. එතැනදී මම කතා කරන දේවල් රහස් ඔත්තු සේවයට රහසක් නොවන නිසා මම ගැන විශේෂයෙන් ඔත්තු බලන්න ඔවුන්ට අවශ්‍යතාවයක් නැතිව ඇති.

Back to Home