Friday, March 19, 2010

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා වාමාංශික පක්ෂවල වගකීම විශාලයි

අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකට වාමාංශික නායකයෙකු මෙන්ම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් මණ්ඩල සාමාජිකයෙකුද වෙයි.


ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක මූලික ලක්‍ෂණය වන්නේ කලින් කලට තමන්ගේ පාලකයින් නිදහස්ව හා ස්වාධීනව පත් කිරීමට ඇති අයිතිය, නීතියේ ස්වාධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා මානව හිමිකම් ගරු කිරීම වේ. රට තුළ අද සිදුවන්නාවූ සිදුවීම් සලකා බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. දීර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අගයන් ගරු කරමින් පාලනය වූ අප රට වැනි රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට දැඩි අභියෝගයන් ලක් වූ අවස්ථාවක රටේ දේශපාලන පක්ෂ සතු කාර්යභාර්ය හා වගකීම කුමක් විය යුතුද යන්න සලකා බැලිය යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපගේ දේශපාලන සංස්කෘතියේ මූලික පදනම හෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ බිඳ වැටීමත් සමඟ සමාජය අගය කරන්නාවූ සියලූ අගයන් හා සමාජය රඳා පවත්නාවූ මූලික පදනම කඩා වැටීම වැළැක්විය නොහැක. ඒ අනුව මුළු රටම දැඩි අර්බුදයකට පත් වනු ඇත.
එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය ආරක්ෂා කිරීම සඳහා මූලිකව ක‍්‍රියා කිරීම සියළු දේශපාලන පක්ෂවල කාර්යභාරය වන්නේය. එම සටනේදී රටේ වාමාංශික පක්ෂ මත පැවරෙන්නාවූ වගකීම ඉමහත්ය. සමාජයේ පීඩනයට ලක් වි සිටින වරප‍්‍රසාද අහිමි ගොවි කම්කරු ජනතාවගේ ගැලවීම සඳහා සටන් කරනු ලබන වාමාංශික පක්ෂවලට තම සටන ඉදිරියට ගෙනයාමට මුලික අවශ්‍යතාවය වන්නේ පවතින්නාවූ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමය. මෙම ඓතිහාසික යුතුකම මගහැරිය නොහැකිය. අවස්ථාවාදීව ක‍්‍රියාකරමින් මෙම මුලික යුතුකම මගහැරියහොත් එමගින් වාමාංශික පක්ෂ නියෝජනය කරන්නාවූ ජනතාවගේ අයිතීන් සඳහා සටන් කිරිමට ඇති අවකාශය අහිමිවීම තුළින් ප‍්‍රධාන වශයෙන් මර්දනයට ලක්වන්නේ එම වැඩකරන ජනතාව බව ඉතිහාසය අපට පෙන්වාදී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කඩා වැටීමත් සමග බුද්ධිමතුන් හා වෘත්තිකයින්ට ඇති වන්නාවු මර්දනය හා පීඩනයත් සමඟම කම්කරු ජනතාවද පීඩනයට හා මර්දනයට පත්වීම අප අද ලෝකයේ ප‍්‍රජතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමය බිඳ වැටී ඇති සිම්බාබ්වේ, නයිජීරියාව, මියන්මාරය (බුරුමය) වැනි රටවල් දෙස බැලීමේදී පැහැදිලිවම පෙනී යයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සියළු බලවේග ඒකරාශී කිරීම මූලික අවශ්‍යතාවය වන්නේය. එම බලවේග සලකා බැලීමේදී වැදගත්ම බලවේගය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින පක්ෂ හා සංවිධාන වේ. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින සියළු දේශපාලන පක්ෂ ඒකරාශි කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමේ සටන ප‍්‍රධාන අභියෝගය වේ. රටක ආර්ථිකය පිළිබඳ, සංවර්ධන මාවත පිළිබඳව මෙන්ම අනෙකුත් සමාජ ප‍්‍රශ්න පිළිබඳව වෙනස් මත දැරුවද අපගේ පාලන ක‍්‍රමයේ පදනම මෙන්ම ශිෂ්ටසම්පන්න සමාජයක මුලික පදනම වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ක‍්‍රියාමාර්ගයත් ගත යුතුව ඇත.
එම සටනේදී වාමාංශික පක්ෂ හා දක්ෂිණාංශික මත දරණ පක්ෂ හා වෙනත් සංවිධාන එක්සත්ව මෙම සටන දියත් කළ යුතුව ඇත. එසේ නොමැති අවස්ථාවලදී ඉතා දරුණු ප‍්‍රතිවිපාක ජනතාවට මුහණ දීමට සිදුවී ඇති බව ඉතිහාසයෙන් පෙන්වාදී ඇත. මෙයට හොඳම උදාහරණය ජර්මනියේ පැසිස්ටිවාදී හිට්ලර්ගේ ඒකාධිපතිවාදයට විරුද්ධ සටනේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි සියලූ පක්ෂ හා සංවිධාන එක්සත් ක‍්‍රියාමාර්ගයන් සඳහා එක් නොවීමය. ජර්මනියේ කොමියුනිස්ට් පක්ෂය හා අනෙකුත් වාමාංශික බලවේග විශේෂයෙන්ම ප‍්‍රබල කම්කරු පන්තිය නියෝජනය කළ සංවිධාන හිට්ලර්ට විරුද්ධව එක්සත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත්වීම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන අඩපණවීම තුළින් සිදුවූ මහා විනාශය මෙනෙහි කිරීම වැදගත් වේ. මීට සමාන සිදුවීම් තවත් නොයෙකුත් රටවල් තුළ සිදුවී ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ බිඳ වැටීම තුළින් සියළු දේශපාලන ක‍්‍ර‍්‍රියාවල යෙදීමේ අයිතිය අහිමිවීම පමණක් නොව ජනතාවගේ මුලික මානව හිමිකම් පවා අහිමිවිම තුළින් රට තුළ ඉතා පසුගාමී පීඩනකාරී පාලනයක් මතු වේ.
එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා සටන මූලික හා ප‍්‍රධාන සටන විය යුතුය. පසුගිය කාලය තුළ පැවැති පළාත් සභා මැතිවරණ හා ජනාධිපතිවරණ තුළින් අපට කොතෙක් දුරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමිවී ඇද්ද යන්න මනාසේ පෙන්වා ඇත. මෙම මැතිවරණ නිදහස් හා සාධාරණ මැතිවරණ සේ කිසිසේත්ම පිළිගත නොහැක. එම මැතිවරණ වලින් ජනතාවට නිදහස්ව තම පාලකයින් තෝරාගැනීමට අවස්ථාව අහිමි වූ බව පිළිගත යුතුව ඇත. සියළු මැතිවරණ නීති රීති කඩ කරමින් රටේ නීතියට කිසිදු ගරු කිරීමක් නොමැතිව, රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියළු මාධ්‍යයන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන්ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා කිසිදු ලැජ්ජාවක් නොමැතිව භාවිතා කිරීමෙන් මෙන්ම තම විරුද්ධාවාදීන්ට තම ඡුන්ද ව්‍යාපාරය ගෙනයාම සඳහා ඇති නිදහස අහිමි කරමින්, පොලීසිය හා රාජ්‍ය සේවය යෙදවීම තුළින් නිදහස් හා සාධාරණව මැතිවරණ සටන පැවැත්වීමේ අයිතිය ජනතාවට අහිමි කර ඇත. රාජ්‍ය මාධ්‍ය සම්පූර්ණයෙන්ම ආණ්ඩු පක්ෂයේ ඡන්ද ව්‍යාපාරය සඳහා නිර්ලජ්ජිත ලෙස භාවිතා කිරීම පමණක් නොව පුද්ගලික මාධ්‍ය වෙතද නොයෙකුත් තර්ජන ඇති කිරීම තුළින් ඔවුන්ටද නිදහස්ව මැතිවරණය වාර්තා කිරීමේ අයිතිය අහිමි කළ බව රහසක් නොවේ.
මෙවැනි අසාධාරණ ඡන්ද ව්‍යාපාරයකින් බලයට පත්වීමෙන් පසුවද තම දේශපාලන ප‍්‍රතිවාදීන් වෙත ක‍්‍රියා කරනු ලබන අසාධාරණ හා නීති විරෝධී මෙන්ම මර්දනකාරී ක‍්‍රියාදාමය තුළින් ගොඩනැගී එන ඒකාධිපති ක‍්‍රමයේ බැරැරුම්කම ඉතා පැහැදිලිව ප‍්‍රදර්ශනය කර ඇත. ජනාධිපති මැතිවරණයෙන් පසුව ප‍්‍රධාන විරුද්ධ පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් ක‍්‍රියා කර ඇති ආකාරයෙන් අති භයානක සම්පූර්ණ ඒකාධිපති පාලනයකට ආසන්න බව පෙන්වා ඇත.
එපමණක් ද නොව පසුගිය වසර දෙක තුළ සිදුවී ඇති මාධ්‍යවේදීන් මරාදැමීම, මාධ්‍යවේදීන්ට පහරදීම පුද්ගලික මාධ්‍ය ආයතනවලට පහරදීම මෙන්ම ප‍්‍රවෘත්ති පළකිරීම පිළිබඳව පනවා අති නිල නොවන වාරණය තුළින් ඉතා පැහැදිලිවම මෙම යුගයේදි විරුද්ධ මත නොඉවසන බවත්, විරුද්ධ අදහස් දැරිමේ හා ප‍්‍රකාශ කිරීමේ නිදහස අහිමිවී ඇති බවත් පෙන්නුම් කරයි.
එහෙයින් මෙම මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා පෙනී සිටින පක්ෂ හා අපේක්ෂකයින් ජයග‍්‍රහණය කිරීම තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරිම සඳහා සටන ශක්තිමත් කළ හැක. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන සැමගේ මූලික යුතුකම වේ. මෙම යුතුකම මගහැරියහොත් අනාගතයේදී ඒ පිළිබඳව පසුතැවිලිවීමට සිදුවනු නොඅනුමානය.

Back to Home

No comments:

Post a Comment