Tuesday, October 27, 2009

සෑම ලාංකිකයෙක්ම සමාන පුරවැසියෙකු බව ඒත්තු ගැන්වීමේ අභියෝගයට මුහුණ නොදී යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්න බැහැ


‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුය එය අත්හළ නොහැකිය’ යන තේමාව යටතේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද ‘අපි ඔක්කොම රජවරු’ මහජන රැස්වීම ඔක්. 13 දා කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු දැක් වූ අදහස් ‘සමබිම’ ඔබ වෙත ගෙන එයි. View more Photo...




නිදහසේ වේදිකාව මෙම රැස්වීම සඳහා තෝරගෙන තියෙන තේමාව ‘අපි ඔක්කොම රජවරු’.එනම් මහජනතාවගේ පරමාධිපත්‍යය ගැනයි. මහ මැතිවරණයක් ආසන්න වෙමින් පවතින අවස්ථාවේ මේ රටේ ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇද්ද යන්න ගැන මොහොතකට කල්පනා කිරීමට මේක හොඳ කාලයක්. මම හිතනවා ඇත්තටම අද එවැනි අවශ්‍යතාවක් මතුව තියෙනවා කියලා.

රටක ජනතා පරමාධිපත්‍යය අයිතිවාසිකම් තුළින් ශක්තිමත් නොවුණොත් එහි කිසි අර්ථයක් නැතුව යනවා. ජනතා පරමාධිපත්‍යය යථාර්ථයක් බවට පත්වෙන්නෙ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහ සිවිල්-දේශපාලන- ආර්ථික-සමාජීය කියන අයිතිවාසිකම් මඟින්. ජනතාවට තම නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට ඉඩ සලසන ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාදායක ආයතන වල සාමාජිකයින්ට තමන්ගේ ජනතාව මුණ ගැහෙන්නත්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයින්ට තමන්ගේ ඡන්ද දායකයන් වෙත ගිහින් ඔවුන් මුණගැහෙන්න නොහැකි තත්ත්වයක් පැවතීමත් විකාර සහ හාස්‍යජනක තත්ත්වයක්.

අද අපේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට නිදහසේ ගිහින් උතුරේ අවතැන් කඳවුරුවල ඉන්න තමන්ගේ ඡන්දදායකයන් මුණ ගැහෙන්න හැකියාවක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක එවැනි දේවල් සිදු වෙන්න බැහැ. නමුත් අද ශ‍්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින්නේ එයයි. අපි ජනතා පරමාධිපත්‍යය ගැන කථා කරනවා. ඒත් අපේම පුරවැසියන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවකට අත් වෙලා තියෙන ඉරණම සහ ඔවුන් රැකබලා නොගැනීම ගැන විදේශ රටවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තර සංවිධාන වලට බැණ වදිනවා. අපි සියළු දෙනාටම සමාන තත්ත්වයෙන් සැළකිය යුතු අතරම, සියළු දෙනාම සමාන ලෙස අයිතිවාසිකම් භුක්ති විඳිය යුතුයි.

නිදහසෙන් පසුව අපි මුහුණ දී ඇති ප‍්‍රශ්නවලට මූලිකම හේතුව සමහර ශ‍්‍රී ලාංකිකයන්ට අනෙක් ශ‍්‍රී ලාංකිකයන්ට වඩා තමන්ට පහත් ලෙස සලකන්නේය යන හැඟීම තදින්ම ඇතිවීමයි. මෙය අපගේ පරමාධිපත්‍යයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල කැළලක්, තුවාලයක්. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුට ම ඔවුන් හැමදෙනාම සමාන පුරවැසියන් බව ඒත්තු ගැන්වීම අභියෝගයක්. අපි ඒ අභියෝගය භාරගන්නා තෙක් අපිට අර්ථාන්විත පරමාධිපත්‍යයක් ගැන හෝ යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කථා කරන්න බැහැ. මම හිතනවා පරමාධිපත්‍යය ගැන කථාකරන කොට අපි මුහුණ දෙන අභියෝග වලට අනුව එම පරමාධිපත්‍යය ප‍්‍රකාශ වෙන ආකාරය ගැනත් සාකච්ඡා කළ යුතුයි කියල.

අපි පශ්චාත් යුද තත්ත්වයක ඉන්නේ. නිසැකවම සාමය, සමගි සන්ධානය හා ජාතික ඒකාග‍්‍රතාවය සඳහා මුල්තැන දීම අවශ්‍යයි. කුමක් කළත් පසුගිය දශක තුන පුරා මේ රට විනාශ වීමට තුඩු දුන් හේතු නැවත ඇති නොකිරීමට අපි තරයේම වගබලා ගත යුතුයි. දස දහස් ගණන් ජනතාවට අපි දෙවන පෙළ හෝ තුන්වන පෙළ පුරවැසියන් ලෙස සළකනවා නම් කිසිම සැකයක් නැතිව නැවතත් එම ගැටුමේ හේතු ප‍්‍රතිනිර්මාණය වෙනවා. අපේ පරමාධිපත්‍යයේ ඉතා ප‍්‍රබලම ප‍්‍රකාශනය වන්නේ අවතැන් වූ ජනතාවට නිදහසේ යාමට ඊමට ඉඩ දීම. ඕනම කෙනෙකුට මේ රටේ පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය නම් මුලින්ම ගමන් කිරීමේ නිදහස, මූලික අයිතිවාසිකම් සහ රටේ සෑම පුරවැසියෙකුටම අයිතීන් වලට ඔවුන්ට ඇති හිමිකම තහවුරු කළ යුතුයි.

මම හිතනවා අවතැන් වූ පුද්ගලයින් දැනට මුහුණ දී ඇති අර්බුද වලින් එහාට ගිය විට අප සළකා බැලිය යුතු තවත් දේවල් තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය වගේ ඉතා බලවත් ප‍්‍රධාන තනතුරක් තියෙන කොට කෙනෙකුට පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අර්ථාන්විතව කථා කරන්න පුළුවන්ද? මගේ හැඟීම අපි දැනට දශකයක් හෝ ඊට වැඩි කාලයක් මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි. අපි පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන කාරණා බරපතල විදිහට හිතනවා නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියල අපි ඒ බලතලම නැවත ක‍්‍රියාවේ යොදවන අගමැතිවරයෙකු පත්කර ගැනීමෙන් වැඩක් නැහැ. එය හරියට අවතැන්වූවන් මැණික් ෆාම් කඳවුරෙන් ඉවත් කර වෙනත් කඳවුරක රැඳවීම වගේ දෙයක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යාන්ත‍්‍රණය තුළින් ජනතාව පත්කරගත් නියෝජිතයින් හරහා. අපි ජනතා පරමාධිපත්‍යය නගා සිටුවිය යුතුයි. එය විශ්වාසයෙන්, අවංකව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනවා නම් විධායකයේ බලය ක‍්‍රියාත්මක කිරීමේදී සංවරණ හා තුලන ක‍්‍රියාත්මක විය යුතුයි. රජයේ සියළු අංශවල ස්වාධීනත්වය ආරක්ෂා වන යාන්ත‍්‍රණයන් පරිපාලන හා රාජ්‍ය පාලන පද්ධතිය තුළ පවතිනවා. මම මේ කියන්නේ පොලිසිය ගැන. රාජ්‍ය සේවය ගැන. මානව හිමිකම් ගැන. දැනට වසර දෙකක් තිස්සේ උල්ලංඝණය වෙමින් පවතින අපේ ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන. ඒ දාහත් වන සංශෝධනය ගැනයි. ඒක සීයට සීයක් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් මම ඔබට කියන්නේ ප‍්‍රමාණවත් නැති වුණත් එය අත්‍යවශ්‍ය බවයි. මේ රටේ පාලන ආයතන පිළිබඳ විශ්වාසය නගා සිටුවීමට එය අත්‍යවශයි.

අපි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි? රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම නිසා මැතිවරණ කාලයේදී තමන්ට ස්ථාන මාරුවීමක් ලැබෙයිද කියලා කිසිම පොලිස් නිළධාරියෙක් බියට පත් වීම සිදු නොවිය යුතු දෙයක්. මැතිවරණ අක‍්‍රමිකතා වලට එරෙහි වුණොත් තමන්ව ආරක්ෂා කිරීමට යාන්ත‍්‍රණයක් නොමැති වීම ගැන රජයේ නිළධාරියෙකු බිය විය යුතු නැහැ.

මම ඔබට යෝජනා කරන අනෙක් කාරණය දැනටමත් බොහෝ විවාද වලට ලක්වෙමින් පවතින කරුණක්. මැතිවරණයකදී රටේ ජනතාවගේ නියම අභිලාශයන් නියෝජනය වන මැතිවරණ ක‍්‍රමයක් අපට අවශ්‍යයි. එහිදී සාර්ථකත්වය ලඟාකර ගැනීමට නම් කේවල ඡන්ද ක‍්‍රමයේ සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයේ නියම සංයෝගයක් අපට ඕන.අපි යුද්ධයක් දිනා ගෙන තියෙනවා. විශාල ජයග‍්‍රහණයක් අත්කරගෙන තියෙනවා. නමුත් අපි හුදෙක් මිලිටරි අභියෝගයක් සමග සටන් කරමින් සිටියේ නැහැ. අපි ගණුදෙනු කරමින් හිටියේ රටේ ඉහළම නායකයා පවා ‘දේශපාලන ගැටළුවක් ලෙස’ දැක්වූ ප‍්‍රශ්නයක් සමඟයි. එයට දේශපාලන විසඳුම කුමක්ද? අපි මේ ගැන දැන ගත යුතුයි. එය දැනට තියෙන ව්‍යවස්ථාවට හා රාජ්‍ය පාලනයට එහා යන දේශපාලන විසඳුමක්ද? එහෙම නැත්නම් එය දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන ප‍්‍රතිපාදන සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටළුවක්ද? දැනට ව්‍යවස්ථා සංශෝධන දෙකක් පිළිබඳව මහජන විවාදයක් තියෙනවා. ඉන් එකක් දාහත් වන සංශෝධනය. එය දැනුවත්වම සහ හිතාමතාම දිනපතාම පාහේ උල්ලංඝණය කරනවා. ඒ වගේම දහතුන් වන සංශෝධනය කිසිදවසක සම්පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කර නැහැ.

මේ රටේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධ විවාදය දහතුන් වන සංශෝධනය වෙත යොමු කිරීමත්, එය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමත් ගැන අවධානය යොමු කිරීමෙන් එතරම් ප‍්‍රයෝජනයක් නැහැ. ඒක දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක්. මෙහිදී ඇතිවන ප‍්‍රශ්නය දහතුන් වන සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරනවාද කියන එක නෙවෙයි. අපි මේ සංශෝධනයෙන් තව දුරටත් එහාට යනවාද, නැතිනම් ඊට පහළ තතත්වයකට යනවාද යන්නයි. දශක දෙකකට පසුව එම කාලය තුළ පැවති මෙම ව්‍යවස්ථාමය රාමුව තුළ මිනී මැරීම්, අතුරුදන්වීම්, විදේශ රටවලට පැනයාම් හා බෝම්බ පිපිරීම් ආදිය පැවතීම මෙතන තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. නිසැකව ම මේ පවතින පාලන රාමුව, ව්‍යවස්ථාවන් සහ අපේ ජීවිතවල තත්ත්වයත් අතර සම්බන්ධයක් පැවතිය යුතුයි. නිදහසේ වේදිකාව ගැන කතා කරන්න නම්, ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන්න නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නගා සිටුවීම ගැන කතාකරන්න නම් අපි මේ පවතින තත්වයන්ට කළ යුතු අභියෝග පිළිබඳව න්‍යාය පත‍්‍රයක් සහිතව ඉදිරි මැතිවරණ වලට යා යුතුයි.මුලින් මම සඳහන් කළ ක්ෂේත‍්‍රවල ප‍්‍රතිසංස්කරණ සඳහා සහ පවතින තත්ත්වයන්ට අභියෝග කිරීම සඳහා වන මේ ගමනට නිදහසේ වේදිකාව ශක්තියක් වෙන බව මගේ බලාපොරොත්තුවයි.

Back to Platform
Back to Samabima

No comments:

Post a Comment