Tuesday, October 27, 2009

හැත්තෑ හතේදී ෆීලික්ස් ඩයස් ඡන්දය කල් දාන්න හදනකොට එන්.එම් පවා ජේ.ආර් හමුවී එක්සත් ක‍්‍රියා මාර්ගයක් ගැන සාකච්ඡා කළා.

නිදහසේ වේදිකාවට ගොඩ වෙන්න එපා යැයි සම සමාජ දේශපාලන මණ්ඩලය ගත් තීරණය වැරදි බව ලාල් විජේනායක කියයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී එයට විරුද්ධව සියළුම බලවේග ඒකරාශී කළ යුතුය යන්න ලංකා සම සමාජ පක්ෂය පිළිගෙන ඇති මූලික කරුණකි. උදාහරණයක් වශයෙන් 1977 මැතිවරණයට ආසන්න කාලයේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මහ මැතිවරණය වසර තුනකින් කල් දැමීමට හා මර්දනකාරී නීති ඉදිරිපත් කිරීමට උත්සාහයක යෙදී සිටින බව දැනගත් අවස්ථාවේදී ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා ජේ. ආර්. ජයවර්ධන මහතා හමු වී එවැනි දෙයක් සිදු වන්නේ නම් එයට විරුද්ධව එක්සත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සාකච්ඡා කළ බවත්, එවැනි සටනකදී තමන් සමඟ ඒ සටනට ඒකරාශී වන පුද්ගලයින්ගේ මුහුණු ප‍්‍රියමනාප දැයි බැලීම අනවශ්‍ය බවත් ප‍්‍රකාශ කර ඇත. එය සත්‍යයක් බව ප‍්‍රකාශ කරන ලාල් විජේනායක මහතා වාමාංශික දේශපාලනය හෝ මොනම ආකාරයේ හෝ දේශපාලනයක යෙදිය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ක‍්‍රියාත්මක වුවහොත් පමණක් බව ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභිකයෙකු වන අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකාශ කරයි.විජේනායක මහතා එසේ ප‍්‍රකාශ කර ඇත්තේ තමාට නිදහසේ වේදිකාවේ රැස්වීම් ඇමතීම තහනම් කරමින් ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට විරුද්ධව එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විමලසිරි ද මැල් මහතා වෙත ලිපියක් යවමිනි. ඔහු සිය ලිපියේ වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි. ‘‘නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි. මෙය කාලීන අවශ්‍යතාවක් ලෙස මම දකිමි. නිදහසේ වේදිකාව බිහි වී කෙටි කාලයක් ඇතුළත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් වලට එල්ල වී ඇති අභියෝගයන් පිළිබඳ ජනතාව හා රට තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීමට සහ එම ක‍්‍රියාවලියට විරුද්ධව හඬක් ගොඩනැඟීමට එය සමත් වී ඇත. මෙම ක‍්‍රියාවලිය පක්ෂයේ මූලික ප‍්‍රතිපත්ති සමඟ ගැටීමක් නොමැත. මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ව සිටි අවධියේ සිට අවුරුදු හතළිස් හයක කාලයක් සම සමාජවාදියෙකු හැටියට පක්ෂයේ ප‍්‍රතිපත්ති අකුරට පිළිපැද ඇති අතර එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමට විශාල කැපවීමකින් ක‍්‍රියාකර ඇත. ලංකා සමසමාජ පක්ෂය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වී ඇති පක්ෂයක ඉතිහාසය දෙස බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මානව හිමිකම්වලට අභියෝග එල්ල වූ හැම අවස්ථාවකදීම පක්ෂය ඊට විරුද්ධව මැදිහත් වී ඇත. පසුගිය කාලය තුළ සිදුවෙමින් පවත්නා වූ බරපතල මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව මා දේශපාලන මණ්ඩලය වෙත ලිඛිතව හා වාචිකව නිරන්තරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 17 වන සංශෝධනය නොසලකා හැර කිසිදු පැකිළීමකින් තොරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ක‍්‍රියා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී ඇති ප‍්‍රබල පහරක් බව මා මතු කර ඇත. නිල නොවන ආයුධ සන්නද්ධ කණ්ඩායම් ක‍්‍රියාත්මක වීම සහ පළල් ලෙස සිදු වී ඇති පුද්ගලයින් අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, බරපතල සාපරාධී ක‍්‍රියා පිළිබඳ සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණමය නොවන ක‍්‍රියාදාම තුළින් මරා දැමීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍ය ආයතනවලට පහර දීම්, දේශපාලන ක‍්‍රියාවල යෙදෙන විරුද්ධ පක්ෂ ක‍්‍රියාකාරීන් මර්දනය කිරීම් මෙන්ම ආණ්ඩුව විවේචනය කරන්නන් දැඩි හිරිහැරවලට ලක් කිරීම් සිදු වෙමින් පවතී.’’එහෙත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස සිටියදී එම ප‍්‍රශ්න පිළිබඳ මැදිහත්වීමට ආණ්ඩුව තුළ අප පක්ෂය නියෝජනය කරන්නන්ට ආත්ම ශක්තියක් හෝ ස්වාධීනතාවක් නොමැති බව පැහැදිළිව ප‍්‍රදර්ශනය කර ඇත. මෙම භයානක සිදුවීම් ඉදිරියේ අප අඳ,ගොළු බිහිරන් සේ සිටින බව පිළිගත යුතුව ඇත. මෙම තත්ත්වය මාගේ හෘද සාක්ෂියට අනුව පිළිගත නොහැකි ඉතා කණගාටුදායක තත්ත්වයකි. එම තත්ත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක අවශ්‍යතාවද මා මතු කර ඇත. නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි.
ඒ අනුව නිදහසේ වේදිකාව මෙම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනකාරී ක‍්‍රියා පිළිබඳව නගන හඬට සම්බන්ධ වීම අප පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට අනුකූල වන අතර එම ක‍්‍රියාව කිසිසේත් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි නොවන බව පිළිගත යුතුව ඇත. එහෙත් ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් ඕනෑම කොන්දේසියක් මත ආණ්ඩුවට අවනත වන අයට මෙය පිළිගත නොහැකිවීම තේරුම්ගත හැක. ඔවුන් සම සමාජවාදය ප‍්‍රතික්ෂේප කර තම වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින අය වේ. එහෙයින් දේශපාලන මණ්ඩල තීරණය පිළිගත නොහැකි බව සහෝදරත්වයෙන් යුතුව දන්වා සිටිමි.
view pdf

No comments:

Post a Comment