Tuesday, June 30, 2009

2009-09-26 වැනි දින පැවැති ‘නිදහසේ වේදිකාව’ මීගමු රැස්වීමේ දී මංගල සමරවීර මහතා විසින් සිදු කරනු ලැබූ සම්පූර්ණ කතාව

අද මිගමුව නගරයේ පැවැත්වෙන ‘නිදහසේ වේදිකාවේ’ රැස්විමේදී මම සුළු පාපොච්චාරනයක් කරන්න කැමතියි. මේ රටේ දශක දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ තිබුණු යුද්ධය නිසා ජනතාව විශාල ලෙස හෙම්බත් වුණා. ඒ බොහෝ දෙනා ත‍්‍රස්තවාදයේ පරාජය කොට, යුද්ධය අවසන් කළා යැයි රජය දිගින් දිගටම පැවසූ නිසා සතුටට පත් වෙලා කිරිබත් කෑවා. ජාතික කොඩි එල්ලූවා. රතිඤ්ඤා පත්තු කළා. මම නම් ඔය එකක්වත් කළේ නෑ.

දැන් මේක කියපු ගමන් හෙට උදේට හැම මාධ්‍ය ආයතනයකම ඉන්න ජනාධිපතිවරයා වෙනුවෙන් කහින, නටන, රිලව් ටික ජාති භේදය අල්ලගෙන ආයෙත් කෑ ගහන්න පටන් ගනීවි. විශේෂයෙන්ම 1997 ඉදලම LTTE සංවිධානයේ ෆැසිස්ට්වාදයට එරෙහිව කතා කරන කෙනෙක් හැටියට, LTTE සංවිධානය පරාජය වීම ගැන මම තරම් සතුටු වූ කෙනෙක් තවත් නෑ.

ඔය අද ඉන්න දේශපේ‍්‍රමීන් යැයි කියා ගන්නා නායකයෝ, දැන් මහ හඬින් කයිවාරු ගැහුවට, එදා කටක් ඇරියේ නෑ. බංකර් හදාගෙන, පාරවල් පැය ගණන් වහගෙන, හමුදාව හා පොලීසිය 400 ක් 500 ක් වට කරගෙන දැන් මහ ලොකුවට කතා කරන නායකයෝ, එදා LTTE සංවිධානයේ ෆැසිස්ට්වාදය විවේචනය නොකරන කාලේ, මම පාර්ලිමේන්තුව තුල පවා LTTE සංවිධානය ප‍්‍රසිද්ධියේ විවේචනය කරලා තියෙනවා. මම එක අභියෝගයක් කරනවා. ඔය අද මහ ලොකුවට කෑ ගහන නායකයින්ගේ හැන්සාඞ් වාර්තා පරික්‍ෂා කරලා බලන්න. ඔය මහලොකු නායකයෝ එදා LTTE සංවිධානයට හ්ම්... කියලා වචනයක් කිව්වේ නෑ.

විශේෂයෙන් 2006, හිටපු විදේශ ඇමතිවරයා හැටියට, රටවල් 25 කම LTTE ය තහනම් කිරීමට දායක වූ කෙනෙක් හැටියට, LTTE සංවිධානය පරාජය වීම ගැන අපි කාටවත් කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒ විතරක් නෙවෙයි, අර මම මුලින් කිව්ව වගේ, අවුරුදු 26 ක් තිස්සේ ඉතාම මිලේච්ඡ ත‍්‍රස්තවාදයක් යටතේ මේ රටේ ප‍්‍රඡාතන්ත‍්‍රවාදී නායකයන් බොහෝ දෙනෙක් විනාශ කරපු, මිනිස් බෝම්බ ත‍්‍රස්තවාදය සමාජ ගත කරපු, වටිනා සිංහල-දෙමළ-මුස්ලිම් ජිවිත දහස් ගණනාවක් විනාශ කරපු, ඒ වගේම පසුගිය වසර ගණනාවක් තිස්සේ රජය තුළ හිටපු ලක්‍ෂමන් කදිරගාමර්, ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ, සී.වී. ගුණරත්න වැනි මාගේ කිට්ටුම දේශපාලන මිතුරන් ඝාතනය කරපු, අදත් මම විශාල වශයෙන් ගරු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ ඇසක් අහිමි කරපු, LTTE සංවිධානය විනාශ කිරිම සඳහා ක‍්‍රියාන්විතයේ යෙදුන, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියේ සේවය අපි අගය කරන්න ඕන.

LTTE සංවිධානය පරාජය කළත්, ඒ යුද්ධය මෙහෙයවපු ආකාරය ගැන සැබෑ සිංහල බෞද්ධයෙකු හැටියට අදත් මට ගැටලූ තියනවා. විශේෂයෙන්ම මට මතකයි, පොඩි කාලේ ඉදලම අපට ඉස්කෝලවල කියලා දුන්නු දුටුගැමුණු - එළාර කතාව. ජයග‍්‍රහණයකදී සිංහලයා කටයුතු කරන්නේ කොහොමද? කියලා ඒ ඉතිහාසය අපට කියලා දුන්නා. ඒ අදහස් අපේ හිත්වල තිබුණා.

ඒ වගේම, බෞද්ධයින් හැටියට අංගුලිමාල චරිත කථාවේදී, අපේ ගෞතම බුදුන් වහන්සේ ක‍්‍රියා කළේ කෙසේද කියලා අහල තියන කෙනෙක් හැටියට, එල්.ටී.ටී.ඊ නායකයා කෙසේ වෙතත්, යටත් වෙච්ච දරුවන් පවුල් පිටින් ඝාතනය කිරීම ගැන මට ගැටලූ තියෙනවා.යුද්ධයෙන් දිනුවට පසුවත්, අද මේ රටට විශාල කැළලක් ඇති වෙලා තියෙන්නේ අන්න ඒ ගැටලූ නිසයි.

ඒ විතරක් නෙවෙයි, ත‍්‍රස්තවාදීන් විනාශ කරන්න යෑමෙන් විනාශ වෙච්ච අහිංසක දහස් ගණනක් ජීවිත සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් තියෙනවා.

යුද මුක්ත කලාපයේ රෝහල පිටි පස්සේ සුසෙයි කියන ත‍්‍රස්තවාදීයා ඉන්නවා කියලා ආරංචි වූ වහාම, මුළු රෝහලටම බෝම්බ දාපු එක ගැන මට ගැටලූ තියෙනවා. ත‍්‍රස්තවාදීන් 4 - 5 දෙනෙකු අල්ලන්න සාමාන්‍ය වැසියන් 1000 ක් 2000 ක් මරන්න ඕනෙ ද? කියලා මට ප‍්‍රශ්නයක් තියෙනවා.

විශේෂයෙන්ම මීට සමාන තත්වයකට ඉතිහාසයේ මා මුහුණ දීලා තියෙනවා. 1989-90 කාලෙ මමයි, මහින්ද රාජපක්‍ෂ මහත්තයයි ‘මව්වරුන්ගේ පෙරමුණේ’ සම කැඳවුම්කරුවන් හැටියට දකුණේ සිදු වන මිනිස්ඝාතන පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරන කාලේ, අපේ ගම්වල හිටපු ඔය දේශප්‍රේමී ව්‍යාපාරයේ හතර පස්දෙනෙක්,? ට ඇවිත් ලයිට් නිවන්න කියනවා. අරක කරන්න කියනවා. මේක කරන්න කියනවා. හැබැයි හොඳ වෙලාවට අපේ විපක්‍ෂ නායකතුමන්ලා ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටියේ. එතුමන්ලා අපේ ගෙවල් අසල හැංගිලා හිටිය අර දේශප්‍රේමී දෙන්නා තුන්දෙනා අල්ලගන්න අහසෙන් ඇවිත්, අපේ ගම්වලට බෝම්බ දාන්න කිව්වා නම්, අද මහින්ද රාජපක්‍ෂත් නෑ. මමත් නෑ.

නමුත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ නාමයෙන් ඒ වගේ මහා විනාශයක් ඇති කළා. ඒ තත්වය නොදැන අපේ සමහරුන් කිරිබත් කෑවට, ඇත්ත තත්වය අපි හොඳින් දන්නවා. අපේ ගම්වල ජනතාව ඒ පැත්තේ වුණ දේවල් දැක්කා නම් ඇත්තටම කම්පනයට පත්වෙනවා. සිංහල ජාතිය කියන්නේ බොහොම සංවේදී ජාතියක්. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව, ඔය කොළඹ හතේ ඉන්න මධ්‍යම පාංතික ජනතාවට වඩා වෙනස්.

විශේෂයෙන්ම මේ සියල්ල වුණේ වෙසක් හඳ යට. බෞද්ධයෙකු හැටියට අපි සියලූ දෙනාගේම උතුම්ම මාසය මැයි මාසය. මේ මහා විනාශය වුණේ, උතුම්ම පෝය කියන වෙසක් පෝය කාලය තුළයි. වැඩි ඈත නෙවෙයි.

මේ මොහොතේදීත් ලක්‍ෂ 03 කට ආසන්න අම්මලා, තාත්තලා දරුවෝ කී දෙනෙක් දුක් විඳිනවද? උදේට වැසිකිළි යන්න පෝලිම කිලෝමීටර් 1 1/2 දුර තියෙනවා. ගෑනු - පිරිමි කියලා වෙන් කරලා නෑ. බෙහෙත් නෑ. දරුවන් පාචනයෙන් මැරෙනවා. තරුණ තරුණියන් සිය ගණනින් අතුරුදහන් වෙනවා.

මෙන්න මේ වගේ තත්වයක් උඩ තමයි මම නම් එදා තීන්දු කළේ, කිරිබත් කන්න මෙය අවස්ථාවක් නෙමෙයි කියලා. හැබැයි අපිත් කැමතියි හැකිතාක් ඉක්මනින් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මේ දිනා ගත්ත සටන, දීර්ඝ කාලීන සාමයක් බවට පත් කර ගන්න. අන්න එදාට අපිත් කිරිබත් කනවා.ඒ විතරක් නෙවෙයි. දෙවෙනුව, තමුන්නාන්සෙලා අහන්න පුළුවන් ඇයි ජාතික කොඩිය ඉස්සුවේ නැත්තේ කියලා? එක පැත්තකින් මිත‍්‍රවරුනි, විදේශීය ආක‍්‍රමණයකට එරෙහිව සටන් කරලා, ඒ අය පරාජය කළා නම් අපට ජාතික කොඩිය ඉහළින්ම ඔසවන්න තිබුණා. නමුත් අපේ ම ශ‍්‍රි ලාංකික දරුවෝ, අපේම අම්මලා, අපේම තාත්තලා, අපි වගේම මේ රටට උරුමකම් කියන පිරිසක් පරාජයට පත් වුණා කියලා, ජාතික කොඩිය ඔසවන එක සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා.

ඇත්ත වශයෙන්ම, මම නම් හැමදාම සුන්දර සිහිනයක් දැක්කා. අදත් ඒ සිහිනය දකිනවා. යම්කිසි දවසක සිංහල-දෙමළ-මුස්ලිම් දැරුවන් බියෙන් සැකෙන් තොරව ජාතික කොඩිය ඔසවාගෙන, අත්වැල් බැඳගෙන පී‍්‍රතියෙන් සිනාසේවි. ලස්සන ශ‍්‍රී ලංකාවට ලස්සන සිහිනයක් අපි හැමෝම ළඟ තියෙනවා.මම ඉතාම ගරු කළ නන්දා මාලනී ඒ කාලේ කියපු ගීතයක් මට අදත් හොඳින් මතකයි. ‘‘උතුරේ දරුවන් හිනහෙන දවසක හිනැහෙමු අපි ලංකා - දකුණේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා’’ කියලා ඇය එදා කිව්වා. හැබැයි මං දන්නේ නෑ එයත් හීනයක්ද කියලා. මොකද මම ගරු කරපු ඒ ගායිකාව මම දැක්කා ළඟ දී පාර්ලිමේන්තුව පැත්තේ වේදිකාවකට වෙලා ඉන්නවා. උතුරේ දෙමළ දරුවන් සිය දහස් ගණනක් කඳවුරු තුළ තාමත් දුක් විඳින මොහොතක, ඇය රාජ්‍ය නායකයින් සමඟ වේදිකාවේ ඉන්නවා. එයත් තවත් නපුරු හීනයක් පමණක් වේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.

අපි දැක්කා ගිය සතියේ මාතර ඉන්න කොට, මර්වින් සිල්වා ඇතුළු පාතාල ලෝකයේ පිරිසක් ජාතික කොඩිය ඔළුව වටේ පටලවා ගෙන, ජාතික කොඩිය සරමක් වාගේ ඇදගෙන, කරේ දාගෙන, වාහනවල පටලවා ගෙන බීමතින්, කෑ කෝ ගසමින් රථ පෙළපාලි යනවා. තමුන්නාන්සේලා එදා රූපවාහිනය බැලූවා නම්, හොඳට දකින්න ඇති කොළඹ ඉන්න හොඳම පාතාල නායකයෝ තමයි මේ රථ පෙරහැරේ ගියේ.මාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධනවත් මේ රථ පෙරහැර පිළිගන්න මාතරට ඇවිත් හිටියේ නෑ. සිංහල වංශ ගැන කතා කරන වීරයන් තමයි අද මේ ජාතික කොඩිය ඉනේ දවට ගෙන ඉන්නේ. නමුත් ඒගොල්ලන් කවුරුවත් දන්නේ නෑ ජාතික කොඩිය පාවිච්චි කරන්න යම් නීති තියෙනවා කියලා. ඒ නීති ව්‍යවස්ථාවෙන් කියලා දීලා තියෙනවා කියලා. නමුත් අද ජාතික කොඩියට ගිය කල හොඳින් දැක බලා ගන්න පුළුවන්. පාරක් පාරක් ගානේ, අව්වට වේලිලා, වැස්සට තෙමිලා එල්ලිලා තියෙනවා. සමහර ඒවාපාරේ මඩ වලවලත් වැටිලා තියෙනවා.

මේ ජාතික කොඩිය නිර්මාණය කළේ මේ රටේ සියලූ ජාතීන් නියෝජනය වීමට. නමුත් අද රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව මේ කොඩියට කියන්නේ ‘සිංහල කොඩිය’ කියලා. මේ ආණ්ඩුව යටතේ ජාතික කොඩිය, සිංහල කොඩිය බවට පරිවර්තනය කරලා ඉවරයි.මෙහෙම ගියොත් මිත‍්‍රවරුනි, මට පේන හැටියට වැඩි කල් නොගොස්, ඔය ජාතික කොඩියේ සංකේතය වෙන්නේ සිංහයා නෙවෙයි. අර කඩුව අතට ගත්ත සිංහයා වෙනුවට හෑන්ඞ්ෆෝන් එක අතට ගත්ත, කොන්ඬේ ජෙල් කරගෙන ඉන්න නරියෙක් ඉදීවි.ඒ නිසා තමයි මිත‍්‍රවරුනි මම කිව්වේ අපි කිරිබත් කෑවේ නැති වුණාට, කොඩි ඉස්සුවේ නැති වුණාට අපිට සුදුසු අවස්ථාවක් ඇවිත් තියනවා අපේ රණවිරුවන්ට ස්තූතිවන්ත වෙන්න. ත‍්‍රස්තවාදය පරාජය කල නමුත්, අපි සාමය දිනාගෙන නෑ. අපි එල්.ටී.ටී.ඊ. ය විනාශ කළ පමණින්, මේ රටේ යුද්ධය අවසන් වෙනවා කියලා හිතුවොත්, ඒ තරම් මෝඩ ක‍්‍රියාවක් තවත් නෑ. මේ විදියට ගියොත් තවත් ප‍්‍රභාකරන්ලා සිය දහස් ගණනක් මේ රටේ බිහිවේවි.

අන්න ඒ නිසා තමයි මම කියන්නේ, හමුදාව තමන්ගේ කාර්යභාර්ය ඉටු කළා. දැන් අපි තමුනාන්සෙලා අපගේ කාර්යභාර්ය ඉටු කරන්න සුදානම් වෙන්න ඕනෙ කියලා. දැන් වගකීම් අතට ගන්න අපේ කාලය ඇවිල්ලා. විපක්ෂයේ අපගේ වාරය ඇවිල්ලා. තමුන්නාන්සේලාගේ වාරය ඇවිල්ලා.දැන් අපේ අභියෝගය තමයි සාමය දිනා ගැනීම. සාමය දිනා ගන්න නම් මිත‍්‍රවරුනි, අනිවාර්යෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ජනාධිපතිවරයා මාධ්‍යයෙන් ප‍්‍රකාශ කළ පලියට මේ රටේ අද ඉඳලා සුළු පක්‍ෂ ජාතීත් නෑ කියලා, ඒ ප‍්‍රශ්න අතුරුදහන් වෙන්නේ නෑ. නැති වෙන්නෙත් නෑ. ඒ අයගේ සාධාරණ ප‍්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්න ඕන. ඒ සඳහා අවංක, උවමනාවක් තියෙන්න ඕන. ඒ නිසා දේශපාලන විසඳුමක් ලබාදීම අපේ පරම යුතුකම වෙනවා.දෙවනුව, ඒ දේශපාලන විසඳුම තුළින් මේ රටට උදාවෙන ස්ථිසාර සාමය උඩ, මේ රටට ජාතික සංවර්ධනය ප‍්‍රමාද වෙලා හරි ලබා දෙන්න ඕන. මේ රටට උරුම විය යුතු ජාත්‍යන්තර සහාය ප‍්‍රමාද වෙලා හරි ලබා දෙන්න ඕන.

අදත් තවම අපි ලෝකයේ දුප්පත් රටක්. හරිනම් අපි සැලැස්මක් ඇතිව සංවිධානය වෙලා, ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගය නැවත ලබාගෙන, ජර්මනිය වගේ රටවල් ඉතා කඩිනමින් ගොඩනැඟුව වගේ, ලංකාව යළි ගොඩනඟන්න ඕන. එදා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මාර්ෂල් සැලැස්මක් හදලා බිඳ වැටුණු රටවල් ගොඩනැඟුවා වාගේ අපේ රටටත් අද එවැනි සැලැස්මක්. වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය අද අපට දැඩිව අවශ්‍ය වෙලා තියෙනවා.මිත‍්‍රවරුනි, හැබැයි මම ඔය ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, බුරුමයට නෙමෙයි. ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, ඉරානය නෙවෙයි. ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, සිම්බාබ්වේ නෙවෙයි. මම මෙතනදි ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, අපට ආර්ථිකව උදව් කරන්න පුළුවන් රටවලට. ඒ රටවල සහයෝගය අපි ලබාගන්න ඕන.

නමුත් මම අවසාන වශයෙන් කියනවා, මහින්ද යුද්ධය දිනන්න ඇති. නමුත් මහින්දට සාමය දිනන්න බැහැ. මහින්දට ආර්ථිකය දිනන්න බැහැ. මහින්දට ජාත්‍යන්තර ප‍්‍රජාව දිනා ගන්න බැහැ.ඒ නිසා, තමුන්නාන්සේලාගේ දූ දරුවන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්, අලූත් ශි‍්‍ර ලංකාවක් ගොඩනඟන්න, මේ රටේ ඉන්න සිවිල් සමාජයට, මේ රටේ බුද්ධිමතුන් සියලූ දෙනාට අපි එකතු වෙලා වැඩ කරමු කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා ඔබ සැමට ධෛර්ය හා ශක්තිය ලැබේවායි ප‍්‍රාර්ථනය කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

Back to Home

Sunday, June 28, 2009

නිදහසේ වේදිකාව ගොඩ නැඟුනේ ඇයි? එයට සමාජයේ විවිධ පුද්ගලයන් දායකත්වය ලබා දෙන්නේ කෙසේද සහ නිදහසේ වේදිකාව හමුවේ ඇති අභියෝග මොනවාද යන කාරණා සම්බන්ධයෙන් සමබිම දේශපාලන පක්ෂ, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, කාන්තා සංවිධාන නියෝජනය කරන විද්වතුන් සමඟ පසුගියදා පිළිසඳරක යෙදුණි.

ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

නිදහසේ වේදිකාව පුළුල් සමාජ ව්‍යාපාරයක් ලෙස බිහිවන්නේ මෑත භාගයේ කතා කිරීමේ නිදහසට හා ජීවත්වීමේ අයිතියට ඉතා බරපතල ලෙස එල්ල වු තර්ජනත් සමඟයි. ජීවත්වීමේ හා භාෂණයට ඇති අයිතිය සාක්ෂාත් කරන පුළුල් සංවිධාන එකතුවක් ලෙසයි නිදහසේ වේදිකාව මම දකින්නේ. අපි දීර්ඝ කාලයක් පුරා ජීවත්වීමේ අයිතිය, කතා කිරීමේ නිදහස සහ යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා පෙනී සිටි මිනිස්සු. එනිසා රටේ උද්ගත වී ඇති වාතාවරණය තුළ ඒ කාර්යයට උරදීමට ජයතිලක බණ්ඩාර හැටියට මම නිදහසේ වේදිකාව සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.රටේ දැනට පවතින වාතාවරණය තුළ නිදහසේ වේදිකාවට මුහුණ දීමට අභියෝග රාශියක් තිබෙනවා. පළමුවැන්න අපි කොහොමද අපේ සිහිනය සැබෑ කරගැනීමට කටයුතු කරන්නේ කියන අභියෝගය. ඒ සඳහා මේ මර්දනයට විරුද්ධ බලවේග දැනටම පෙළ ගැසෙමින් සිටිනවා. එනිසා ඉතිහාසයේ මෙතෙක් කල් සිදු වු ආකාරයටම මෙයට උරදී සිටින පුද්ගලයන් නිහඬ කරවීම සඳහා මුලදී තර්ජන ගර්ජන සිදු කරාවි. එයින් නිහඬ කළ නොහැකි තැන නොයෙක් තාන්න - මාන්න දී ඔවුන් බිලී බා ගැනීමට, ගොදුරු කර ගැනීමට උත්සාහ කරාවි. ඒ සියල්ලෙනුත් බැරි වු තැන සදාකාලිකව නිහඬ කරවීමට නොයෙක් ක‍්‍රියාමාර්ග ගනීවි. නමුත් එසේ වුවා කියා නිදහසේ වේදිකාව නතර කරන්න අපට බැහැ. එහෙම අතරමඟ මේ බලවේගය නතර කළොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමත් එය වේවි. එනිසා මේ අභියෝගයට මුහුණදීමට අපිට ශක්තිය ඇති බවට අපි විශ්වාස කරනවා. මේ ශක්තිය අපිට ලැබී ඇත්තේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන ඇතුළු විවිධ ජන කණ්ඩායම්වල එකතුව තුුළින්. නමුත් කලාකරුවෙකු විදිහට කලාකරුවන්ගේ පාර්ශ්වයෙන් මේ කාරණය මා කිව යුතුයි. අද දැනට සිටින සහ අලූතෙන් කලාවේ අත්පොත් තබන කලාකරුවන් බොහොමයක් රජවරුන් පිළිබඳ ස්තෝත‍්‍ර ගායනයක යෙදෙමින් සිටිනවා. කලාකරුවා කියන්නේ පාලකයෝ ඉදිරියේ දණින් වැටෙන, ඔවුන්ගේ කුණු සෝදන අය නොවිය යුතුයි. සැබෑ කලාකරුවා තියුණු පරිකල්පන ශක්තියක් සහ සමාජ පරිචයක් ඇති සමාජ යහපත උදෙසා පෙනී සිටින්නෙක්. තම කලා හැකියා නිලය, බලය, මුදල් වෙනුවෙන් විකුණන ලංකාවේ අද සිටින බොහෝ කලාකරුවන්ගෙන් සමාජ ශෝධනයක් උදෙසා එවැනි සහයෝගයක් බලාපොරොත්තු වීමෙන් ප‍්‍රයෝජනයක් නැහැ. නමුත් වන්දිභට්ටකමේ නිරතවන කලාකරුවන් බොහෝ පිරිසක් අතරින් අතලොස්සක් පමණක් ස්වාධීනව තම කලා නිර්මාණකරණයේ යෙදෙමින් කලාකරුවෙක් ලෙස තම යුතුකම ඉටු කරනවා. ඒ අතළොස්ස සමඟ නිදහසේ වේදිකාවට ගොඩවෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

ජෝසප් ස්ටාලින්
සභාපති ලංකා ගුරු සංගමය

ලංකාවේ මේ වෙනකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ජනමාධ්‍ය නිදහස ආදී සියලූ අංශවල ක‍්‍රියාකාරිත්වයන් උපක‍්‍රමිකව යටපත් කරන ස්වරූපයක් තියෙන්නේ. රජය ඒ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරිත්වයන්ට ඉඩ දෙනවා කියා පෙන්වමින් මර්දනය සිදු කරනවා. පොදු ජනතාව අතර ජනතා හිතවාදී චිත‍්‍රයක් මවා පෙන්වමින් ඔවුන් අතරින්ම මර්දනයක්ද දියත් කර තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ රටේ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග එකතු කරමින් සිදු කෙරෙන ක‍්‍රියාකාරිත්වයකට අපි සුභ පතනවා. නිදහසේ වේදාකාවේ ඇතැම් පොදු ක‍්‍රියාකාරිත්වයන්ට අපි සම්බන්ධ වෙලා තියෙනවා. යම් කිසි ආකාරයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් යම් කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.දැනට නිදහසේ වේදිකාව හමුවේ ඇති අභියෝග දෙකක් මා දකිනවා. පළමුවැන්න දැනට නිදහසේ වේදිකාව එක්සත් ජාතික පක්‍ෂයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා ක‍්‍රියාත්මක වේ යැයි වාමාංශික කණ්ඩායම් පාර්ශ්වයෙන් චෝදනා එල්ල වීම. එම හේතුව නිසා සමහර වාමාංශික කොටස් මෙයට දායකත්වය නොදෙන ස්වරූපයක් තිබෙන්නේ. එනිසා මේ සියලූ බලවේග එකතු කරගත හැකි ආකාරයෙන් නිදහසේ වේදිකාවේ ස්වරූපය වෙනස් කර ගත යුතුයි. එය සිදුකරන්නේ කෙසේද කියන ගැටළුව නිදහසේ වේදිකාව හමුවේ අභියෝගයක් ලෙස පවතිනවා කියා මා හිතනවා.දෙවැනි අභියෝගය වන්නේ අද සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට එරෙහිව මර්දනයක් ක‍්‍රියාත්මක වෙනවා. එම මර්දනය නිදහසේ වේදිකාව වෙතද එල්ල විය හැකියි.


නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටු සාමාජික
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න

ලංකාවේ දැන් තිබෙන දේශපාලන, සමාජ,ආර්ථික තත්ත්වය සමඟ අපි හිතනවා රජය ගෙන යන ක‍්‍රියාකාරීත්වය නිවැරදි නැහැ කියලා.විශේෂයෙන්ම ලබාගත් යුධ ජයග‍්‍රහණ සමඟ කිසියම් ආකාරයකට හිතුවක්කාර පාලනයකට පිවිසී ඇති බව පේනවා. යුද්ධය නිසා ජනතාවගෙන් සුජාත භාවයක් අරගෙන මර්දනකාරී වැඩ පිළිවෙලකට ගමන් කිරීමේ බොහෝ ඉඩක් රජය විවෘත කොටගෙන තිබෙනවා. එවැනි ක‍්‍රියාදාමයකට ආණ්ඩුව පෙළඹී සිටින අවස්ථාවක ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිතකර ලෙස ඔවුන් කටයුතු කරන මේ අවස්ථාවේ ඊට විරෝධය පළ කිරීමට තරම් විරුද්ධ පක්ෂය ශක්තිමත් තැනක නැහැ. සිවිල් සමාජය ඉන්නේ එවැනි ශක්තිමත් තැනක නෙවෙයි. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය නැවත ස්ථාපිත කිරීමට රටේ රටේ විවිධ සන්ධාන බලවේගයක් ලෙස එකතුවීම අවශ්‍යයි. එනිසා මෙ මොහොතේ ලෙස නිදහසේ වේදිකාව ඉතා වැදගත් එකතුවක් ලෙස මා දකිනවා. මම කාලයක් තිස්සේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් හා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. ක‍්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස මුල සිටම ලංකාවට ඒවා රැකෙන පාලනයක් අවශ්‍යයි කියා සිතූ කෙනෙක්. විශ්ව විද්‍යාල ගුරුවරයෙක් සහ පුරවැසියෙක් විදිහට මම මේ සංවිධානය සමඟ දිගු තමනක් යාමට කටයුතු කරනවා.නිදහසේ වේදිකාව හමුවේ ඇති අභියෝග රාශියක් තියෙනවා. එයින් ප‍්‍රධානම කාරණය මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය හා සුළු ජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ බුද්ධිමතුන් හා සෙසු ප‍්‍රජාව එකසේ මේ වේදිකාව යටතට එකතු කර ගන්නේ කෙසේද කියන එක. ඊළඟ කාරණය ආණ්ඩුවේ මේ අධිකාරවාදී ගමන් මාර්ගය අදශ්‍ය කිරීමට මොන විදියේ ක‍්‍රමවේදයක් අපි අනුගමනය කළ යුතුද? ඒ කෙසේද යන්නයි.ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් අපි ක‍්‍රියාත්මක කරනවා. ජනතාවගේ යුධ මානසිකත්වය සමඟ මෙවැනි ක‍්‍රියාකාරකම්වල නිරතවන කණ්ඩායම් වලට විවිධාකාර අභියෝගවලට මුහුණදීමට සිදුවේවි. එවිට ක‍්‍රියාකළ යුත්තේ කෙසේද කියා සිතිය යුතුයි. ඒ වගේම තවම නිදහසේ වේදිකාව පුළුල් ජනතා පදනමකින් එළි දක්වන්න හැකි වෙලා නැහැ. මෙහි සිටින සමහර පුද්ගලයන් ගැන විවේචන තියෙනවා අපිට. ඔවුන්ගේ විවිධ අතීත දේශපාලන ක‍්‍රියා සම්බන්ධව. නමුත් එම ගැටලූ කිසියම් සාධනීය ස්ථානයකට ගෙන ඒමද අභියෝගයක් ලෙස සලකනවා.



එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිදහසේ වේදිකාවේ උපදේශක මණ්ඩල සමාජික ‍
කරු ජයසුරිය


නිදහසේ වේදිකාව කියන්නේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය උදෙසා ගොඩනැඟුන බලවේගයක්. විවිධ දේශපාලන මත දරන අය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මාධ්‍ය සංවිධාන මේ නිදහසේ වේදිකාව මත එක් රැස්ව සිටිනවා. ඒ සියලූ දෙනෙකුම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, සාධාරණය හා යහපාලනය ඇති වෙනවා දැකීමට කැමතියි. ඒ නිසා මෙම අදහස් දරන සියලූ දෙනාට මේ වේදිකාව තුළ එක්ව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ප‍්‍රජාතත්ත‍්‍රවාදය ගැන කතා කරනකොට 17 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. එහි යම් යම් අඩු පාඩු තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් එය යම් තරමකින් හෝ ක‍්‍රියාත්මක වු යුගවල දැනට සාපේක්ෂව දේශපාලනයට ගොදුරු වූ රාජ්‍ය සේවයට හා පොලිසිය වැනි රාජ්‍ය ආයතනවලට හැකි පමණ ස්වාධීනව කටයුතු කරන්න පුලූවන් වුණා. අද අපි බලාපොරොතු වන දේශපාලන නිදහස මෙවැනි පසුබිමක් තුළ ලැබෙන්නේ නැහැ. නිදහසේ වේදිකාව රජයේ පාලනයට විරුද්ධව ගොඩනැඟුණු ව්‍යාපාරයක් නෙවෙයි. නමුත් මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ගොඩනැඟූ ව්‍යාපාරයක්. සත්‍යය, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ගොඩනැගුන ව්‍යාපාරයක්. එහි සාමාජිකයන් වීම ගැන අපි සතුටු වෙනවා. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජන ඇති වන විට සිවිල් සමාජය නැඟී සිටි අවස්ථා ඉතිහාසයේ අප දැක තිබෙනවා. ඒ නිසා සමාජ අසාධාරණයන් වැඩි වෙන කොට, අයුක්තිය රජ කරන කොට මෙම ව්‍යාපාරය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව අපේ හැඟීමයි. මෙවැනි ව්‍යාපාරයකට අභියෝග නැත්තේ නැහැ. මෙයට නායකත්වය දෙන අයට අපවාද, චෝදනා මෙන්ම ජීවිත තර්ජන ද එල්ල වෙන්න පුළුවන්. නමුත් සමාජය හැමදාම පාගාගෙන සිටීමට හැකිවන්නේ නැහැ.



නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්
සුනිල් ජයසේකර



නිදහසේ වේදිකාව කියන්නේ මේ රටේ බිහිවු පුළුල් ජන සංවිධාන එකතුවක්. මේ වකවානුවේ ලංකාවේ කතා කිරීමේ හා ජීවත් වීමේ අයිතිය බරපතල තර්ජනයකට ලක්වෙලා. ඒ වෙනුවෙන් පෙනී සිටි සහ පෙනී සිටින පුරෝගාමීන් නිහඬ කරමින් පවතින්නේ. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තියෙන නීතිමය රැකවරණය නැතිවෙලා ගිහින් තියෙන කාලෙක මෙවැනි සංවිධානයක අවශ්‍යතාවය ඇති වුණා. ඒ ඔස්සෙයි නිදහසේ වේදිකාව බිහිවුණේ. සංවිධානයක් වශයෙන් මා නියෝජනය කරන ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ දීර්ඝ කාලයක් මේ රටේ මාධ්‍ය නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි, අරගල කල සංවිධානයක්. නමුත් අද වෙන කොට පවතින මර්දනකාරී වාතාවරණයට තනිව සංවිධානයක් ලෙස මුහුණ දෙන්න බැහැ කියලා අපි තේරුම් අරගෙන අවසානයි. එහිදී භාෂණයේ හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම සංවිධානයක් සමඟ එකතු වීමට අපි සුදානම්. ඒ වෙනුවෙන් කටයුතු කරන්න, එයට බැඳී ඉන්න මුලිකවම පිළිගත් එකඟතා මත පෙළ ගැසී පුළුල් පෙරමුණකට යන්න අපි නිදහසේ වේදිකාව සමඟ එකතු වුණේ.නිදහසේ වේදිකාවට ඇති අභියෝග ගැන කියනවා නම් පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රබල ලෙස හීන වී ගිහිං. ව්‍යවස්ථාපිත නීති වලින් පවා දිනාගෙන තියෙන මුලික අයිතිවාසිකම් වන ජීවත්වීමේ හා කතා කිරීමේ නිදහස ඒකාධිපති ස්වරූපයකින් උල්ලංඝනය කිරීමට එරෙහිව ජනයා දැනුවත් කරන පුළුල් වැඩසටහනකට යා යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙන් තොරව පුරවැසියන්ගේ කිසිම අයිතියක් ලබා ගන්නට බැහැ. අපිට ඒකාධිපති හෝ අර්ධ ඒකාධිපති රාජ්‍යයක මාධ්‍ය නිදහස හෝ ජීවත්වීමේ අයිතිය අපේක්ෂා කළ නොහැකියි.පුරවැසි අයිතිය වෙනුවෙන් පෙළ ගැසුණු මෙවැනි පුළුල් පෙරමුණු ලෝකයේ විවිධ රටවල විවිධ මර්දනකාරී අවස්ථාවල ඇති කරගෙන තියෙනවා. දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන අද නිදහසේ වේදිකාව හා එකතු වී සිටින්නේ මේ එක් සංවිධානයකට හෝ එහි නියෝජිතයෙකුගේ හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය රැකදීමට නෙවෙයි. ජනතාවගේ නිදහස් අයිතීන් සුරක්ෂිත කරදීමට. එනිසා මෙය කළ හැක්කේ ජනතාව හරහා මතුවන පෙළ ගැස්මකින් පමණයි. එය සිදු කිරීමයි අපට මේ වෙලාවේ ඇති ප‍්‍රධාන අභියෝගය. පහුගිය කාලවකවානුවේ විවිධ අංශයන්ගෙන් ලංකාව පිරිහෙමින් සිටි යුගයක ඒවා තහවුරු කිරීමට කියා බලයට ආ දේශපාලන පක්ෂ ඒවා අමතක කර තමන්ගේ බලය සඳහා පමණක් කටයුතු කිරීමට පටන් ගත්තා. මෙය වඩාත් භයානක තත්ත්වයකට ඇඳ දමමින් රටේ නීතිය ක‍්‍රියාත්මක වීම ඉතා දුර්වල මට්ටමකට වැටී තියෙනවා. විශේෂයෙන්ම 17 වන සංශෝධනය අද බලාත්මක නැහැ. විධායකය විසින් රටේ නීතිය යටපත් කරගෙන, එය ක‍්‍රියාත්මක වීමට ඉඩ නොදෙන තත්ත්වයක් ඇතිකර තියෙනවා. ඒ නිසා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට වග කියන පාලන ක‍්‍රමයක් අපට අවශ්‍යයි. ඒක ආණ්ඩු පෙරළියකින් කරනවාද නැතිනම් බලපෑම් කරලා කරනවාද කියන එක වෙනම කාරණයක්. කෙසේ නමුත් මේ කාරණා කෙසේ හෝ ඉටු කරනවා කියා අපි කියනවා.




නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටු සාමාජිකා
ප‍්‍රියදර්ශනී ආරියරත්න


නිදහසේ වේදිකාව කියන්නේ ඇත්තටම නිදහස් වේදිකාවක්. එහි ආරම්භක අරමුණ ජීවත් වීමේ සහ භාෂණයට ඇති අයිතිය වෙනුවෙන් හැම දෙනාටම එකතු වෙන්න පුලූවන් ඉඩක් නිර්මාණය කිරීම. මේ අරමුණු දෙක ඇතුලේ වචනාර්ථයෙන්ම ලඝු වෙලා තියෙනවා තවත් බොහෝ අයිතීන්. එනිසා වැඩි දෙනෙකුගේ දායකත්වය ලබා ගැනීමටයි අපි මෙය පිහිටෙව්වේ.මම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකාවක්. එහි කාන්තා නියෝජනය අඩුයි. ඉන්න කිහිප දෙනාගෙන් කෙනෙක් මම. ගුරුවරියක් හැටියට ගුරු වෘත්තීය සමිතිවල සහ අනෙක් වෘත්තීය සමිතිවල තීරණ ගැනීමේ මට්ටමෙන් කටයුතු කර අත්දැකීම් මට තියෙනවා. මෙතෙක් කල් විවිධ සංවිධාන වලින් හදාගත් සම්බන්ධතා සහ අත්දැකීම් නිදහසේ වේදිකාව හා සම්බන්ධ කරමින් ජාල ගොඩනැගීමට මේ වන විට මගේ සම්පූර්ණ කැප කිරීම ලබා දෙනවා. අද ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ හා මාධ්‍ය යන සියල්ලේම ගාමක බලය ඉතාම සූක්ෂම ලෙස එකම තැනකට සංකේන්ද්‍රණය වෙමින් තියෙන්නේ. මේ තත්ත්වය උතුරේ එල්.ටී.ටී.ඊ පාලන සමයට සමානයි. එල්.ටී.ටී.ය වෙනත් කිසිම මතවාදයකට ඉඩ නොදෙමින් විකල්ප කණ්ඩායම් සහ මතධාරීන් හොදින් හෝ නරකින් තම සංවිධානය තුළට ඈඳා ගත්තා. දෙමළ මිනිස්සුන්ට තම සංවිධාන රාමුවෙන් එහාට හිතන්න ඉඩ නොදී පීඩාවට පත් කළා. අද මේ තත්ත්වය අඩු වැඩි ලෙස දකුණේ සහ සමස්ත රට තුළම ඇති වෙමින් තියෙනවා. ඒ වගේම රජය කරන දේ සීයට සීයක් අනුමත කරන ‘උන් ’ කියා ගොඩක් සහ රජය කියන දෙය සීයට සීයක් අනුමත නොකරන ‘මුන් ’ කියා ගොඩක් රේඛාවකින් බෙදා වෙන්කරලා. නිදහසෙන් පසුව මෑත ඉතිහාසයේ උදා වී ඇති ලොකුම අභියෝගයටයි ලංකාව දැන් මුහුණ දී සිටින්නේ. ඒ නිසා රජයේ පිළිවෙත සියයට එකේ සිට වගේම සියයට සියය දක්වා විවේචනය කරන අයටත් නිදහසේ වේදිකාවට ගොඩවෙන්න පුලූවන්. මේ කණ්ඩායම එකතු කර ගැනීමයි තියෙන අභියෝගය. දකුණු ආසියාවේ සාක්ෂරතාව අතින් ලංකාවේ කාන්තාවන් ඉන්නේ ඉතාම ඉහළ මට්ටමක. නමුත් තීරණ ගැනීමේදී සහ දේශපාලන නියෝජනය තුළ ඔවුන්ගේ ප‍්‍රතිශතය ඉතාමත් අවමයි. මේ නිසා නිදහසේ වේදිකාවේ මූලික අරමුණු දෙක සමඟ ලාංකික කාන්තාව එකතු කර ගැනීමට ඔවුන් දැනුවත් කිරීමේ සමාරම්භක රැස්වීම මේ මාසයේ 27 වනදා දවස පුරා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැත්වෙනවා.

Back to Home

අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව කතා කළ යුතුයි

පසුගිය ජුනි 23 වැනිදා සවස මීගමුව පුරහලේ පැවති නිදහසේ වේදිකාවේ තුන් වන මහජන රැස්වීමේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැත්වූ කතාව ඇසුරෙන් සැකසිණි.

ත‍්‍රස්තවාදයේ පරාජය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයක් විය යුතුයි. නමුත් කොටි සංවිධානය පරාජය වුණාට ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවම ජය අරගෙන නැහැ. මාධ්‍ය මර්දනය අවසන් වෙලා නැහැ. ව්‍යවස්ථාදායක සභාවක් තවම පත් කරලත් නැහැ. මේ සියල්ල බලපාන්නේ ජනතාවගේ මුලික අයිතීන් වලට. ඒවාගේ ම ඡන්ද බලයට. පුරවැසියන් සතු කතා කිරීමේ අයිතිය, තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය, එකට එකතු වීමේ අයිතිය ජනතාවට තිබිය යුතුයි. ඒවා සුරක්ෂිත කර දෙන ආයතන ද අපක්ෂපාතී විය යුතුයි. යම්කිසි විදිහකින් එම ආයතන පක්ෂපාති, ආණ්ඩුවාදී, මර්දනීය ආයතන වුණොත් එමඟින් ජනතාවගේ අයිතිවාසිකම් නැති වෙනවා. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පුළුවන් ජනතාවට විතරයි. ඒ නිසයි ජනතාව දිරිමත් කිරීමට නිදහසේ වේදිකාව මත අපි සියළුදෙනා එකට එකතු වෙලා තියෙන්නේ. අපට විවිධ දේශපාලන මත තියෙනවා. සමහර ආයතන දේශපාලන ක‍්‍රම ප‍්‍රතික්ෂේප කරනවා, පිළිකුල් කරනවා. නමුත් අපි එකඟ පොදු කරුණක් තියෙනවා. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, භාෂණයේ අයිතිය, ජීවත්වීමේ අයිතිය, සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා වෙන්න ඕන. ඒවා ආරක්ෂා කරන්න බැරිනම් අපට ජනතාව අතරට ගිහින් අපේ විවිධ මත ප‍්‍රකාශ කරන්න අවස්ථාව නැහැ. අද ලංකාවේ මාධ්‍ය නිදහසක් නැහැ. පසුගිය අවුරුදු දෙක තුළ මාධ්‍යවේදීන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා. ලසන්ත වික‍්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් ඝාතනය කළා. උපාලි තෙන්නකෝන්ට පහර දුන්නා. විද්‍යාධරන් පැහැරගෙන ගියා. මේ සියල්ල සිදුවෙන කොට ආණ්ඩුව මොකද කිව්වේ? වඩා මුලිකත්වය දෙන්න ඕන කොටි සංවිධානය නැති කරන්න කිව්වා. අපි කොටි සංවිධානයට විරුද්ධ ව විතරක් නෙවෙයි ත‍්‍රස්තවාදී සංවිධාන ගණනාවකට විරුද්ධව 1983 ඉඳන් යුධ මෙහෙයුම් කරලා තියෙනවා. ඒ අවස්ථාවලදී විවිධ ක්ෂේත‍්‍රවල පුද්ගලයන්ට තම මතය ප‍්‍රකාශ කරන්න, අදහස් දක්වන්න තිබුණ අයිතිවාසිකම අපි නැති කළේ නැහැ. අපි මුහුණ පෑ අමාරුම කාලය 1983 සිට 1996 දක්වා කාලයයි. ඒ කාල සීමාව තුළ ත‍්‍රස්තවාදී කණ්ඩායම් රාශියක් ලංකාවට පැමිණ උතුරේ ක‍්‍රියාත්මක වුණා. එතකොට රජයේ හමුදාවට කිසිම පුහුණුවක් තිබුණේ නැහැ. අවි ආයුධ තිබුණේ නැහැ. ඒ නිසා විශාල පසුබැසීමකටත් ලක් වුණා. ඒ වෙලාවේ තමයි අපි ත‍්‍රස්තවාදය නැති කරන්න දේශපාලන ක‍්‍රම, යුධ උපක‍්‍රම වැනි සියළු කරුණු සාකච්ඡා කළේ. එවැනි අවදානම් තත්ත්වයකදී මෙන්ම එක්සත් ජාතික පක්ෂය ප‍්‍රබලව සිටියදිත් සමානාත්මතාව පිළිබඳ අයිතිය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂිතව තිබුණා. අද ප‍්‍රභාකරන් මැරිලා. යුද්දෙත් අවසානයි. එහෙනම් ඇයි තවමත් මාධ්‍ය මර්දනය ගෙනියන්නේ.
අද රජය දයා මාස්ටර් කිව්වා කියලා මාධ්‍යවේදීන් පනහකගේ විතර ලැයිස්තුවක් හදාගෙන ඒක පෙන්නමින් මාධ්‍යවලට තර්ජනය කරනවා. ඔවුන් එල්.ටී.ටී.ඊ ය සමඟ සම්බන්ධකම් පැවැත්වුවා කියා. 2001 ඔක්තෝම්බර් මාසයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී මාධ්‍යවේදීන්ට එල්.ටී.ටී.ඊ ය සමඟ සාකච්ඡා කිරීමට තිබුණ තහනම ඉවත් කරා. මහින්ද රාජපක්ෂ ඒ කාලයේ ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ජනමාධ්‍යවේදීන්ට කොටි සංවිධානය ඕනෑම පාලනයක් ගැන කරන ප‍්‍රකාශ හැම පත්තරේකම පළ කරන්න හැකියාව තිබුණා. ඒ වෙලාවේ එල්.ටී.ටී.ඊ පාර්ශ්වයෙන් දකුණේ මාධ්‍යවේදීන් සමඟ කතා කල එකම පුද්ගලයා දයා මාස්ටර්. මෙහේ හැම මාධ්‍යවේදියෙක්ම ගිහිං ඔහු සමඟ කතා කළා. කවුද කතා නොකළේ. දැන් දයා මාස්ටර් මේ පැත්තේ ඉඳගෙන එයාගේ ජීවිතේ රැක ගන්න ඕනම දෙයක් කියනවා. අද හැම පුද්ගලයෙක්ම තමන්ගේ විරුද්ධවාදියාට කියන්නේ කොටියෙන් කියලා. ඊට පස්සේ ඒ මිනිහාව අත් අඩංගුවට ගන්නවා. උසාවියට ගේන්නේ නැතිව අඬු කඩනවා. 2003 දී අපි පුවත්පත් ආයතනය ඇති කරලා පුවත්පත් පිළිබඳව පැමිණිලි කිරීමේ කොමිසමක් පත්කළා. අපි එදා එකඟ වුණා පුවත්පත් මණ්ඩලයක් පත් කරන්න නීති අහෝසි නොකර. ඒක එදා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරද්දි අපිට පක්ෂව ප‍්‍රධාන රැළි දෙකක කතා කළ දෙදෙනාගෙන් එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ. අනිත් කෙනා ලක්ෂ්මන් කදිරගාමර්. මේ දෙදෙනා එදා එකඟ වුණා පුවත්පත් කැඳවුම් කොමිසම සමඟ සාකච්ඡා කරන්න. නමුත් අද මාධ්‍ය සංවිධානවලට කියන්නේ නැතිව, ඔවුන් හා සාකච්ඡා නොකර නැවත පුවත්පත් මණ්ඩලය පත් කරලා. දැන් මාධ්‍ය සංවිධාන බයයි මේ ගැන ප‍්‍රකාශ නිකුත් කරන්න. ස්වාධීන පොලිස් කොමිසම, ව්‍යවස්ථාදායක මණ්ඩලය වැනි ආයතන පත් නොකිරීම ගැන පාර්ලිමේන්තුවේ අපි මතුකරන අවස්ථාවලදී ආණ්ඩුවේ ඔක්කොම කෑගහන්න පටන් අරගෙන එවැනි සාකච්ඡා යටපත් කරනවා.

අද තවත් විශාල ප‍්‍රශ්නයක් මතුවෙලා. තව ටික දවසකින් වවුනියාවේ ඡන්දය පැවැත්වෙනවා. නමුත් අපිට වවුනියාවට යන්නවත්, යාපනයට යන්නවත් හැකියාවක් නැහැ. යාපනයට යන්න පුළුවන්. නමුත් ආණ්ඩුවේ ගුවන් යානාවලට පමණයි. මෙතෙක් කල් වවුනියාවට ගොඩබිමෙන් යන්න පුළුවන්. තහනමක් තිබුණේ නැහැ. නමුත් දැන් මැදවච්චියේ මුරපොළින් එහාට යන්න පුළුවන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයක් ලත් අයට පමණයි. ඉතිං කොහොමද අපි ඡන්ද කරන්නේ? අපේ ඡන්ද දායකයින් බොහෝ පිරිසක් ඉන්නේ අනාථ කඳවුරුවල. අවි ගත්තු පිරිසක් අපේ මඟ අහුරමින් කඳවුරුවලට ඇතුල් වෙන්න නොදෙන කොට කොහොමද අපි ඡන්ද දායකයින්ට කොළයක්වත් බෙදන්නේ. මේ වෙලාවේ වවුනියාවට යන එක අපේ අයිතියක්. අපේ නාම යෝජනා පත‍්‍ර බාර දෙන්න යන්න ඉඩ දුන්නේ පක්ෂයේ මහ ලේකම්තුමාට සහ ජයලත් ජයවර්ධන මන්ත‍්‍රීතුමාට පමණයි. නමුත් ආණ්ඩුව කියන්නේ ස්වාධීන ඡුන්දයක් පවත්වනවා කියලයි. අපට විතරක් නෙවෙයි මුස්ලිම් කොංග‍්‍රසය ඇතුළු තවත් පක්ෂ රාශියකට උදා වෙලා තියෙන්නේ මේ තත්ත්වයමයි. මෙහෙම තත්ත්වයක ඇයි වවුනියාවේ ඡන්දයක් තියන්නේ. අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව කතා කරන්න ඕන. මාධ්‍යවේදීන්ට විතරක් මෙය කරන්න බැහැ. පක්ෂයට අනුව නෙවෙයි නිදහස වුවමනා හැම කෙනෙක්ම එකට එකතු වෙන්න ඕන. ජනතාව එකතු වෙලා ශක්තිමත්ව සංවිධානය වෙන්න ඕන. සංවිධාන ගණනාවක් එකතුවෙලා මේ රැස්වීම් පවත්වන්නේ ඒ පණිවිඩය දෙන්න. රජයේ නොවන ජාතික මට්ටමේ විශාල සංවිධාන මෙයට එකතු වෙන්න. මෙය ආරක්ෂා කරන්න, මේ පරමාර්ථය රැක ගන්න නිදහස වෙනුවෙන් අපි සියළුදෙනා එකතු වෙන්න ඕන. මහජනතාවගේ මේ අයිතීන් ආරක්ෂා කරන්න ඔබට නිදහසේ වේදිකාව ආරාධනා කරනවා.