Sunday, June 28, 2009

නිදහසේ වේදිකාව ගොඩ නැඟුනේ ඇයි? එයට සමාජයේ විවිධ පුද්ගලයන් දායකත්වය ලබා දෙන්නේ කෙසේද සහ නිදහසේ වේදිකාව හමුවේ ඇති අභියෝග මොනවාද යන කාරණා සම්බන්ධයෙන් සමබිම දේශපාලන පක්ෂ, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, කාන්තා සංවිධාන නියෝජනය කරන විද්වතුන් සමඟ පසුගියදා පිළිසඳරක යෙදුණි.

ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

නිදහසේ වේදිකාව පුළුල් සමාජ ව්‍යාපාරයක් ලෙස බිහිවන්නේ මෑත භාගයේ කතා කිරීමේ නිදහසට හා ජීවත්වීමේ අයිතියට ඉතා බරපතල ලෙස එල්ල වු තර්ජනත් සමඟයි. ජීවත්වීමේ හා භාෂණයට ඇති අයිතිය සාක්ෂාත් කරන පුළුල් සංවිධාන එකතුවක් ලෙසයි නිදහසේ වේදිකාව මම දකින්නේ. අපි දීර්ඝ කාලයක් පුරා ජීවත්වීමේ අයිතිය, කතා කිරීමේ නිදහස සහ යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා පෙනී සිටි මිනිස්සු. එනිසා රටේ උද්ගත වී ඇති වාතාවරණය තුළ ඒ කාර්යයට උරදීමට ජයතිලක බණ්ඩාර හැටියට මම නිදහසේ වේදිකාව සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා.රටේ දැනට පවතින වාතාවරණය තුළ නිදහසේ වේදිකාවට මුහුණ දීමට අභියෝග රාශියක් තිබෙනවා. පළමුවැන්න අපි කොහොමද අපේ සිහිනය සැබෑ කරගැනීමට කටයුතු කරන්නේ කියන අභියෝගය. ඒ සඳහා මේ මර්දනයට විරුද්ධ බලවේග දැනටම පෙළ ගැසෙමින් සිටිනවා. එනිසා ඉතිහාසයේ මෙතෙක් කල් සිදු වු ආකාරයටම මෙයට උරදී සිටින පුද්ගලයන් නිහඬ කරවීම සඳහා මුලදී තර්ජන ගර්ජන සිදු කරාවි. එයින් නිහඬ කළ නොහැකි තැන නොයෙක් තාන්න - මාන්න දී ඔවුන් බිලී බා ගැනීමට, ගොදුරු කර ගැනීමට උත්සාහ කරාවි. ඒ සියල්ලෙනුත් බැරි වු තැන සදාකාලිකව නිහඬ කරවීමට නොයෙක් ක‍්‍රියාමාර්ග ගනීවි. නමුත් එසේ වුවා කියා නිදහසේ වේදිකාව නතර කරන්න අපට බැහැ. එහෙම අතරමඟ මේ බලවේගය නතර කළොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමත් එය වේවි. එනිසා මේ අභියෝගයට මුහුණදීමට අපිට ශක්තිය ඇති බවට අපි විශ්වාස කරනවා. මේ ශක්තිය අපිට ලැබී ඇත්තේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන ඇතුළු විවිධ ජන කණ්ඩායම්වල එකතුව තුුළින්. නමුත් කලාකරුවෙකු විදිහට කලාකරුවන්ගේ පාර්ශ්වයෙන් මේ කාරණය මා කිව යුතුයි. අද දැනට සිටින සහ අලූතෙන් කලාවේ අත්පොත් තබන කලාකරුවන් බොහොමයක් රජවරුන් පිළිබඳ ස්තෝත‍්‍ර ගායනයක යෙදෙමින් සිටිනවා. කලාකරුවා කියන්නේ පාලකයෝ ඉදිරියේ දණින් වැටෙන, ඔවුන්ගේ කුණු සෝදන අය නොවිය යුතුයි. සැබෑ කලාකරුවා තියුණු පරිකල්පන ශක්තියක් සහ සමාජ පරිචයක් ඇති සමාජ යහපත උදෙසා පෙනී සිටින්නෙක්. තම කලා හැකියා නිලය, බලය, මුදල් වෙනුවෙන් විකුණන ලංකාවේ අද සිටින බොහෝ කලාකරුවන්ගෙන් සමාජ ශෝධනයක් උදෙසා එවැනි සහයෝගයක් බලාපොරොත්තු වීමෙන් ප‍්‍රයෝජනයක් නැහැ. නමුත් වන්දිභට්ටකමේ නිරතවන කලාකරුවන් බොහෝ පිරිසක් අතරින් අතලොස්සක් පමණක් ස්වාධීනව තම කලා නිර්මාණකරණයේ යෙදෙමින් කලාකරුවෙක් ලෙස තම යුතුකම ඉටු කරනවා. ඒ අතළොස්ස සමඟ නිදහසේ වේදිකාවට ගොඩවෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

ජෝසප් ස්ටාලින්
සභාපති ලංකා ගුරු සංගමය

ලංකාවේ මේ වෙනකොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් සහ ජනමාධ්‍ය නිදහස ආදී සියලූ අංශවල ක‍්‍රියාකාරිත්වයන් උපක‍්‍රමිකව යටපත් කරන ස්වරූපයක් තියෙන්නේ. රජය ඒ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාකාරිත්වයන්ට ඉඩ දෙනවා කියා පෙන්වමින් මර්දනය සිදු කරනවා. පොදු ජනතාව අතර ජනතා හිතවාදී චිත‍්‍රයක් මවා පෙන්වමින් ඔවුන් අතරින්ම මර්දනයක්ද දියත් කර තිබෙනවා. මෙවැනි වාතාවරණයක් තුළ රටේ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග එකතු කරමින් සිදු කෙරෙන ක‍්‍රියාකාරිත්වයකට අපි සුභ පතනවා. නිදහසේ වේදාකාවේ ඇතැම් පොදු ක‍්‍රියාකාරිත්වයන්ට අපි සම්බන්ධ වෙලා තියෙනවා. යම් කිසි ආකාරයකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් යම් කණ්ඩායමක් කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා.දැනට නිදහසේ වේදිකාව හමුවේ ඇති අභියෝග දෙකක් මා දකිනවා. පළමුවැන්න දැනට නිදහසේ වේදිකාව එක්සත් ජාතික පක්‍ෂයේ ක‍්‍රියාකාරිත්වය උදෙසා ක‍්‍රියාත්මක වේ යැයි වාමාංශික කණ්ඩායම් පාර්ශ්වයෙන් චෝදනා එල්ල වීම. එම හේතුව නිසා සමහර වාමාංශික කොටස් මෙයට දායකත්වය නොදෙන ස්වරූපයක් තිබෙන්නේ. එනිසා මේ සියලූ බලවේග එකතු කරගත හැකි ආකාරයෙන් නිදහසේ වේදිකාවේ ස්වරූපය වෙනස් කර ගත යුතුයි. එය සිදුකරන්නේ කෙසේද කියන ගැටළුව නිදහසේ වේදිකාව හමුවේ අභියෝගයක් ලෙස පවතිනවා කියා මා හිතනවා.දෙවැනි අභියෝගය වන්නේ අද සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට එරෙහිව මර්දනයක් ක‍්‍රියාත්මක වෙනවා. එම මර්දනය නිදහසේ වේදිකාව වෙතද එල්ල විය හැකියි.


නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටු සාමාජික
මහාචාර්ය ජයන්ත සෙනෙවිරත්න

ලංකාවේ දැන් තිබෙන දේශපාලන, සමාජ,ආර්ථික තත්ත්වය සමඟ අපි හිතනවා රජය ගෙන යන ක‍්‍රියාකාරීත්වය නිවැරදි නැහැ කියලා.විශේෂයෙන්ම ලබාගත් යුධ ජයග‍්‍රහණ සමඟ කිසියම් ආකාරයකට හිතුවක්කාර පාලනයකට පිවිසී ඇති බව පේනවා. යුද්ධය නිසා ජනතාවගෙන් සුජාත භාවයක් අරගෙන මර්දනකාරී වැඩ පිළිවෙලකට ගමන් කිරීමේ බොහෝ ඉඩක් රජය විවෘත කොටගෙන තිබෙනවා. එවැනි ක‍්‍රියාදාමයකට ආණ්ඩුව පෙළඹී සිටින අවස්ථාවක ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිතකර ලෙස ඔවුන් කටයුතු කරන මේ අවස්ථාවේ ඊට විරෝධය පළ කිරීමට තරම් විරුද්ධ පක්ෂය ශක්තිමත් තැනක නැහැ. සිවිල් සමාජය ඉන්නේ එවැනි ශක්තිමත් තැනක නෙවෙයි. එහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය නැවත ස්ථාපිත කිරීමට රටේ රටේ විවිධ සන්ධාන බලවේගයක් ලෙස එකතුවීම අවශ්‍යයි. එනිසා මෙ මොහොතේ ලෙස නිදහසේ වේදිකාව ඉතා වැදගත් එකතුවක් ලෙස මා දකිනවා. මම කාලයක් තිස්සේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය, මානව හිමිකම් හා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කෙනෙක්. ක‍්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස මුල සිටම ලංකාවට ඒවා රැකෙන පාලනයක් අවශ්‍යයි කියා සිතූ කෙනෙක්. විශ්ව විද්‍යාල ගුරුවරයෙක් සහ පුරවැසියෙක් විදිහට මම මේ සංවිධානය සමඟ දිගු තමනක් යාමට කටයුතු කරනවා.නිදහසේ වේදිකාව හමුවේ ඇති අභියෝග රාශියක් තියෙනවා. එයින් ප‍්‍රධානම කාරණය මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහ පාලනය හා සුළු ජන අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ බුද්ධිමතුන් හා සෙසු ප‍්‍රජාව එකසේ මේ වේදිකාව යටතට එකතු කර ගන්නේ කෙසේද කියන එක. ඊළඟ කාරණය ආණ්ඩුවේ මේ අධිකාරවාදී ගමන් මාර්ගය අදශ්‍ය කිරීමට මොන විදියේ ක‍්‍රමවේදයක් අපි අනුගමනය කළ යුතුද? ඒ කෙසේද යන්නයි.ඉදිරියේදී ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් අපි ක‍්‍රියාත්මක කරනවා. ජනතාවගේ යුධ මානසිකත්වය සමඟ මෙවැනි ක‍්‍රියාකාරකම්වල නිරතවන කණ්ඩායම් වලට විවිධාකාර අභියෝගවලට මුහුණදීමට සිදුවේවි. එවිට ක‍්‍රියාකළ යුත්තේ කෙසේද කියා සිතිය යුතුයි. ඒ වගේම තවම නිදහසේ වේදිකාව පුළුල් ජනතා පදනමකින් එළි දක්වන්න හැකි වෙලා නැහැ. මෙහි සිටින සමහර පුද්ගලයන් ගැන විවේචන තියෙනවා අපිට. ඔවුන්ගේ විවිධ අතීත දේශපාලන ක‍්‍රියා සම්බන්ධව. නමුත් එම ගැටලූ කිසියම් සාධනීය ස්ථානයකට ගෙන ඒමද අභියෝගයක් ලෙස සලකනවා.



එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිදහසේ වේදිකාවේ උපදේශක මණ්ඩල සමාජික ‍
කරු ජයසුරිය


නිදහසේ වේදිකාව කියන්නේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය උදෙසා ගොඩනැඟුන බලවේගයක්. විවිධ දේශපාලන මත දරන අය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ මාධ්‍ය සංවිධාන මේ නිදහසේ වේදිකාව මත එක් රැස්ව සිටිනවා. ඒ සියලූ දෙනෙකුම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යුක්තිය, සාධාරණය හා යහපාලනය ඇති වෙනවා දැකීමට කැමතියි. ඒ නිසා මෙම අදහස් දරන සියලූ දෙනාට මේ වේදිකාව තුළ එක්ව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා. ප‍්‍රජාතත්ත‍්‍රවාදය ගැන කතා කරනකොට 17 වන සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්. එහි යම් යම් අඩු පාඩු තිබෙන බව අපි පිළිගන්නවා. නමුත් එය යම් තරමකින් හෝ ක‍්‍රියාත්මක වු යුගවල දැනට සාපේක්ෂව දේශපාලනයට ගොදුරු වූ රාජ්‍ය සේවයට හා පොලිසිය වැනි රාජ්‍ය ආයතනවලට හැකි පමණ ස්වාධීනව කටයුතු කරන්න පුලූවන් වුණා. අද අපි බලාපොරොතු වන දේශපාලන නිදහස මෙවැනි පසුබිමක් තුළ ලැබෙන්නේ නැහැ. නිදහසේ වේදිකාව රජයේ පාලනයට විරුද්ධව ගොඩනැඟුණු ව්‍යාපාරයක් නෙවෙයි. නමුත් මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා ගොඩනැඟූ ව්‍යාපාරයක්. සත්‍යය, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් ගොඩනැගුන ව්‍යාපාරයක්. එහි සාමාජිකයන් වීම ගැන අපි සතුටු වෙනවා. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජන ඇති වන විට සිවිල් සමාජය නැඟී සිටි අවස්ථා ඉතිහාසයේ අප දැක තිබෙනවා. ඒ නිසා සමාජ අසාධාරණයන් වැඩි වෙන කොට, අයුක්තිය රජ කරන කොට මෙම ව්‍යාපාරය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව අපේ හැඟීමයි. මෙවැනි ව්‍යාපාරයකට අභියෝග නැත්තේ නැහැ. මෙයට නායකත්වය දෙන අයට අපවාද, චෝදනා මෙන්ම ජීවිත තර්ජන ද එල්ල වෙන්න පුළුවන්. නමුත් සමාජය හැමදාම පාගාගෙන සිටීමට හැකිවන්නේ නැහැ.



නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම්
සුනිල් ජයසේකර



නිදහසේ වේදිකාව කියන්නේ මේ රටේ බිහිවු පුළුල් ජන සංවිධාන එකතුවක්. මේ වකවානුවේ ලංකාවේ කතා කිරීමේ හා ජීවත් වීමේ අයිතිය බරපතල තර්ජනයකට ලක්වෙලා. ඒ වෙනුවෙන් පෙනී සිටි සහ පෙනී සිටින පුරෝගාමීන් නිහඬ කරමින් පවතින්නේ. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර තියෙන නීතිමය රැකවරණය නැතිවෙලා ගිහින් තියෙන කාලෙක මෙවැනි සංවිධානයක අවශ්‍යතාවය ඇති වුණා. ඒ ඔස්සෙයි නිදහසේ වේදිකාව බිහිවුණේ. සංවිධානයක් වශයෙන් මා නියෝජනය කරන ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ දීර්ඝ කාලයක් මේ රටේ මාධ්‍ය නිදහස හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි, අරගල කල සංවිධානයක්. නමුත් අද වෙන කොට පවතින මර්දනකාරී වාතාවරණයට තනිව සංවිධානයක් ලෙස මුහුණ දෙන්න බැහැ කියලා අපි තේරුම් අරගෙන අවසානයි. එහිදී භාෂණයේ හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම සංවිධානයක් සමඟ එකතු වීමට අපි සුදානම්. ඒ වෙනුවෙන් කටයුතු කරන්න, එයට බැඳී ඉන්න මුලිකවම පිළිගත් එකඟතා මත පෙළ ගැසී පුළුල් පෙරමුණකට යන්න අපි නිදහසේ වේදිකාව සමඟ එකතු වුණේ.නිදහසේ වේදිකාවට ඇති අභියෝග ගැන කියනවා නම් පසුගිය කාලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රබල ලෙස හීන වී ගිහිං. ව්‍යවස්ථාපිත නීති වලින් පවා දිනාගෙන තියෙන මුලික අයිතිවාසිකම් වන ජීවත්වීමේ හා කතා කිරීමේ නිදහස ඒකාධිපති ස්වරූපයකින් උල්ලංඝනය කිරීමට එරෙහිව ජනයා දැනුවත් කරන පුළුල් වැඩසටහනකට යා යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙන් තොරව පුරවැසියන්ගේ කිසිම අයිතියක් ලබා ගන්නට බැහැ. අපිට ඒකාධිපති හෝ අර්ධ ඒකාධිපති රාජ්‍යයක මාධ්‍ය නිදහස හෝ ජීවත්වීමේ අයිතිය අපේක්ෂා කළ නොහැකියි.පුරවැසි අයිතිය වෙනුවෙන් පෙළ ගැසුණු මෙවැනි පුළුල් පෙරමුණු ලෝකයේ විවිධ රටවල විවිධ මර්දනකාරී අවස්ථාවල ඇති කරගෙන තියෙනවා. දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය සංවිධාන අද නිදහසේ වේදිකාව හා එකතු වී සිටින්නේ මේ එක් සංවිධානයකට හෝ එහි නියෝජිතයෙකුගේ හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය රැකදීමට නෙවෙයි. ජනතාවගේ නිදහස් අයිතීන් සුරක්ෂිත කරදීමට. එනිසා මෙය කළ හැක්කේ ජනතාව හරහා මතුවන පෙළ ගැස්මකින් පමණයි. එය සිදු කිරීමයි අපට මේ වෙලාවේ ඇති ප‍්‍රධාන අභියෝගය. පහුගිය කාලවකවානුවේ විවිධ අංශයන්ගෙන් ලංකාව පිරිහෙමින් සිටි යුගයක ඒවා තහවුරු කිරීමට කියා බලයට ආ දේශපාලන පක්ෂ ඒවා අමතක කර තමන්ගේ බලය සඳහා පමණක් කටයුතු කිරීමට පටන් ගත්තා. මෙය වඩාත් භයානක තත්ත්වයකට ඇඳ දමමින් රටේ නීතිය ක‍්‍රියාත්මක වීම ඉතා දුර්වල මට්ටමකට වැටී තියෙනවා. විශේෂයෙන්ම 17 වන සංශෝධනය අද බලාත්මක නැහැ. විධායකය විසින් රටේ නීතිය යටපත් කරගෙන, එය ක‍්‍රියාත්මක වීමට ඉඩ නොදෙන තත්ත්වයක් ඇතිකර තියෙනවා. ඒ නිසා ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට වග කියන පාලන ක‍්‍රමයක් අපට අවශ්‍යයි. ඒක ආණ්ඩු පෙරළියකින් කරනවාද නැතිනම් බලපෑම් කරලා කරනවාද කියන එක වෙනම කාරණයක්. කෙසේ නමුත් මේ කාරණා කෙසේ හෝ ඉටු කරනවා කියා අපි කියනවා.




නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටු සාමාජිකා
ප‍්‍රියදර්ශනී ආරියරත්න


නිදහසේ වේදිකාව කියන්නේ ඇත්තටම නිදහස් වේදිකාවක්. එහි ආරම්භක අරමුණ ජීවත් වීමේ සහ භාෂණයට ඇති අයිතිය වෙනුවෙන් හැම දෙනාටම එකතු වෙන්න පුලූවන් ඉඩක් නිර්මාණය කිරීම. මේ අරමුණු දෙක ඇතුලේ වචනාර්ථයෙන්ම ලඝු වෙලා තියෙනවා තවත් බොහෝ අයිතීන්. එනිසා වැඩි දෙනෙකුගේ දායකත්වය ලබා ගැනීමටයි අපි මෙය පිහිටෙව්වේ.මම නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකාවක්. එහි කාන්තා නියෝජනය අඩුයි. ඉන්න කිහිප දෙනාගෙන් කෙනෙක් මම. ගුරුවරියක් හැටියට ගුරු වෘත්තීය සමිතිවල සහ අනෙක් වෘත්තීය සමිතිවල තීරණ ගැනීමේ මට්ටමෙන් කටයුතු කර අත්දැකීම් මට තියෙනවා. මෙතෙක් කල් විවිධ සංවිධාන වලින් හදාගත් සම්බන්ධතා සහ අත්දැකීම් නිදහසේ වේදිකාව හා සම්බන්ධ කරමින් ජාල ගොඩනැගීමට මේ වන විට මගේ සම්පූර්ණ කැප කිරීම ලබා දෙනවා. අද ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ හා මාධ්‍ය යන සියල්ලේම ගාමක බලය ඉතාම සූක්ෂම ලෙස එකම තැනකට සංකේන්ද්‍රණය වෙමින් තියෙන්නේ. මේ තත්ත්වය උතුරේ එල්.ටී.ටී.ඊ පාලන සමයට සමානයි. එල්.ටී.ටී.ය වෙනත් කිසිම මතවාදයකට ඉඩ නොදෙමින් විකල්ප කණ්ඩායම් සහ මතධාරීන් හොදින් හෝ නරකින් තම සංවිධානය තුළට ඈඳා ගත්තා. දෙමළ මිනිස්සුන්ට තම සංවිධාන රාමුවෙන් එහාට හිතන්න ඉඩ නොදී පීඩාවට පත් කළා. අද මේ තත්ත්වය අඩු වැඩි ලෙස දකුණේ සහ සමස්ත රට තුළම ඇති වෙමින් තියෙනවා. ඒ වගේම රජය කරන දේ සීයට සීයක් අනුමත කරන ‘උන් ’ කියා ගොඩක් සහ රජය කියන දෙය සීයට සීයක් අනුමත නොකරන ‘මුන් ’ කියා ගොඩක් රේඛාවකින් බෙදා වෙන්කරලා. නිදහසෙන් පසුව මෑත ඉතිහාසයේ උදා වී ඇති ලොකුම අභියෝගයටයි ලංකාව දැන් මුහුණ දී සිටින්නේ. ඒ නිසා රජයේ පිළිවෙත සියයට එකේ සිට වගේම සියයට සියය දක්වා විවේචනය කරන අයටත් නිදහසේ වේදිකාවට ගොඩවෙන්න පුලූවන්. මේ කණ්ඩායම එකතු කර ගැනීමයි තියෙන අභියෝගය. දකුණු ආසියාවේ සාක්ෂරතාව අතින් ලංකාවේ කාන්තාවන් ඉන්නේ ඉතාම ඉහළ මට්ටමක. නමුත් තීරණ ගැනීමේදී සහ දේශපාලන නියෝජනය තුළ ඔවුන්ගේ ප‍්‍රතිශතය ඉතාමත් අවමයි. මේ නිසා නිදහසේ වේදිකාවේ මූලික අරමුණු දෙක සමඟ ලාංකික කාන්තාව එකතු කර ගැනීමට ඔවුන් දැනුවත් කිරීමේ සමාරම්භක රැස්වීම මේ මාසයේ 27 වනදා දවස පුරා ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැත්වෙනවා.

Back to Home

No comments:

Post a Comment