Tuesday, June 30, 2009

2009-09-26 වැනි දින පැවැති ‘නිදහසේ වේදිකාව’ මීගමු රැස්වීමේ දී මංගල සමරවීර මහතා විසින් සිදු කරනු ලැබූ සම්පූර්ණ කතාව

අද මිගමුව නගරයේ පැවැත්වෙන ‘නිදහසේ වේදිකාවේ’ රැස්විමේදී මම සුළු පාපොච්චාරනයක් කරන්න කැමතියි. මේ රටේ දශක දෙක හමාරකට ආසන්න කාලයක් තිස්සේ තිබුණු යුද්ධය නිසා ජනතාව විශාල ලෙස හෙම්බත් වුණා. ඒ බොහෝ දෙනා ත‍්‍රස්තවාදයේ පරාජය කොට, යුද්ධය අවසන් කළා යැයි රජය දිගින් දිගටම පැවසූ නිසා සතුටට පත් වෙලා කිරිබත් කෑවා. ජාතික කොඩි එල්ලූවා. රතිඤ්ඤා පත්තු කළා. මම නම් ඔය එකක්වත් කළේ නෑ.

දැන් මේක කියපු ගමන් හෙට උදේට හැම මාධ්‍ය ආයතනයකම ඉන්න ජනාධිපතිවරයා වෙනුවෙන් කහින, නටන, රිලව් ටික ජාති භේදය අල්ලගෙන ආයෙත් කෑ ගහන්න පටන් ගනීවි. විශේෂයෙන්ම 1997 ඉදලම LTTE සංවිධානයේ ෆැසිස්ට්වාදයට එරෙහිව කතා කරන කෙනෙක් හැටියට, LTTE සංවිධානය පරාජය වීම ගැන මම තරම් සතුටු වූ කෙනෙක් තවත් නෑ.

ඔය අද ඉන්න දේශපේ‍්‍රමීන් යැයි කියා ගන්නා නායකයෝ, දැන් මහ හඬින් කයිවාරු ගැහුවට, එදා කටක් ඇරියේ නෑ. බංකර් හදාගෙන, පාරවල් පැය ගණන් වහගෙන, හමුදාව හා පොලීසිය 400 ක් 500 ක් වට කරගෙන දැන් මහ ලොකුවට කතා කරන නායකයෝ, එදා LTTE සංවිධානයේ ෆැසිස්ට්වාදය විවේචනය නොකරන කාලේ, මම පාර්ලිමේන්තුව තුල පවා LTTE සංවිධානය ප‍්‍රසිද්ධියේ විවේචනය කරලා තියෙනවා. මම එක අභියෝගයක් කරනවා. ඔය අද මහ ලොකුවට කෑ ගහන නායකයින්ගේ හැන්සාඞ් වාර්තා පරික්‍ෂා කරලා බලන්න. ඔය මහලොකු නායකයෝ එදා LTTE සංවිධානයට හ්ම්... කියලා වචනයක් කිව්වේ නෑ.

විශේෂයෙන් 2006, හිටපු විදේශ ඇමතිවරයා හැටියට, රටවල් 25 කම LTTE ය තහනම් කිරීමට දායක වූ කෙනෙක් හැටියට, LTTE සංවිධානය පරාජය වීම ගැන අපි කාටවත් කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒ විතරක් නෙවෙයි, අර මම මුලින් කිව්ව වගේ, අවුරුදු 26 ක් තිස්සේ ඉතාම මිලේච්ඡ ත‍්‍රස්තවාදයක් යටතේ මේ රටේ ප‍්‍රඡාතන්ත‍්‍රවාදී නායකයන් බොහෝ දෙනෙක් විනාශ කරපු, මිනිස් බෝම්බ ත‍්‍රස්තවාදය සමාජ ගත කරපු, වටිනා සිංහල-දෙමළ-මුස්ලිම් ජිවිත දහස් ගණනාවක් විනාශ කරපු, ඒ වගේම පසුගිය වසර ගණනාවක් තිස්සේ රජය තුළ හිටපු ලක්‍ෂමන් කදිරගාමර්, ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ, සී.වී. ගුණරත්න වැනි මාගේ කිට්ටුම දේශපාලන මිතුරන් ඝාතනය කරපු, අදත් මම විශාල වශයෙන් ගරු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමියගේ ඇසක් අහිමි කරපු, LTTE සංවිධානය විනාශ කිරිම සඳහා ක‍්‍රියාන්විතයේ යෙදුන, යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසියේ සේවය අපි අගය කරන්න ඕන.

LTTE සංවිධානය පරාජය කළත්, ඒ යුද්ධය මෙහෙයවපු ආකාරය ගැන සැබෑ සිංහල බෞද්ධයෙකු හැටියට අදත් මට ගැටලූ තියනවා. විශේෂයෙන්ම මට මතකයි, පොඩි කාලේ ඉදලම අපට ඉස්කෝලවල කියලා දුන්නු දුටුගැමුණු - එළාර කතාව. ජයග‍්‍රහණයකදී සිංහලයා කටයුතු කරන්නේ කොහොමද? කියලා ඒ ඉතිහාසය අපට කියලා දුන්නා. ඒ අදහස් අපේ හිත්වල තිබුණා.

ඒ වගේම, බෞද්ධයින් හැටියට අංගුලිමාල චරිත කථාවේදී, අපේ ගෞතම බුදුන් වහන්සේ ක‍්‍රියා කළේ කෙසේද කියලා අහල තියන කෙනෙක් හැටියට, එල්.ටී.ටී.ඊ නායකයා කෙසේ වෙතත්, යටත් වෙච්ච දරුවන් පවුල් පිටින් ඝාතනය කිරීම ගැන මට ගැටලූ තියෙනවා.යුද්ධයෙන් දිනුවට පසුවත්, අද මේ රටට විශාල කැළලක් ඇති වෙලා තියෙන්නේ අන්න ඒ ගැටලූ නිසයි.

ඒ විතරක් නෙවෙයි, ත‍්‍රස්තවාදීන් විනාශ කරන්න යෑමෙන් විනාශ වෙච්ච අහිංසක දහස් ගණනක් ජීවිත සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් තියෙනවා.

යුද මුක්ත කලාපයේ රෝහල පිටි පස්සේ සුසෙයි කියන ත‍්‍රස්තවාදීයා ඉන්නවා කියලා ආරංචි වූ වහාම, මුළු රෝහලටම බෝම්බ දාපු එක ගැන මට ගැටලූ තියෙනවා. ත‍්‍රස්තවාදීන් 4 - 5 දෙනෙකු අල්ලන්න සාමාන්‍ය වැසියන් 1000 ක් 2000 ක් මරන්න ඕනෙ ද? කියලා මට ප‍්‍රශ්නයක් තියෙනවා.

විශේෂයෙන්ම මීට සමාන තත්වයකට ඉතිහාසයේ මා මුහුණ දීලා තියෙනවා. 1989-90 කාලෙ මමයි, මහින්ද රාජපක්‍ෂ මහත්තයයි ‘මව්වරුන්ගේ පෙරමුණේ’ සම කැඳවුම්කරුවන් හැටියට දකුණේ සිදු වන මිනිස්ඝාතන පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කරන කාලේ, අපේ ගම්වල හිටපු ඔය දේශප්‍රේමී ව්‍යාපාරයේ හතර පස්දෙනෙක්,? ට ඇවිත් ලයිට් නිවන්න කියනවා. අරක කරන්න කියනවා. මේක කරන්න කියනවා. හැබැයි හොඳ වෙලාවට අපේ විපක්‍ෂ නායකතුමන්ලා ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටියේ. එතුමන්ලා අපේ ගෙවල් අසල හැංගිලා හිටිය අර දේශප්‍රේමී දෙන්නා තුන්දෙනා අල්ලගන්න අහසෙන් ඇවිත්, අපේ ගම්වලට බෝම්බ දාන්න කිව්වා නම්, අද මහින්ද රාජපක්‍ෂත් නෑ. මමත් නෑ.

නමුත් ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ නාමයෙන් ඒ වගේ මහා විනාශයක් ඇති කළා. ඒ තත්වය නොදැන අපේ සමහරුන් කිරිබත් කෑවට, ඇත්ත තත්වය අපි හොඳින් දන්නවා. අපේ ගම්වල ජනතාව ඒ පැත්තේ වුණ දේවල් දැක්කා නම් ඇත්තටම කම්පනයට පත්වෙනවා. සිංහල ජාතිය කියන්නේ බොහොම සංවේදී ජාතියක්. විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව, ඔය කොළඹ හතේ ඉන්න මධ්‍යම පාංතික ජනතාවට වඩා වෙනස්.

විශේෂයෙන්ම මේ සියල්ල වුණේ වෙසක් හඳ යට. බෞද්ධයෙකු හැටියට අපි සියලූ දෙනාගේම උතුම්ම මාසය මැයි මාසය. මේ මහා විනාශය වුණේ, උතුම්ම පෝය කියන වෙසක් පෝය කාලය තුළයි. වැඩි ඈත නෙවෙයි.

මේ මොහොතේදීත් ලක්‍ෂ 03 කට ආසන්න අම්මලා, තාත්තලා දරුවෝ කී දෙනෙක් දුක් විඳිනවද? උදේට වැසිකිළි යන්න පෝලිම කිලෝමීටර් 1 1/2 දුර තියෙනවා. ගෑනු - පිරිමි කියලා වෙන් කරලා නෑ. බෙහෙත් නෑ. දරුවන් පාචනයෙන් මැරෙනවා. තරුණ තරුණියන් සිය ගණනින් අතුරුදහන් වෙනවා.

මෙන්න මේ වගේ තත්වයක් උඩ තමයි මම නම් එදා තීන්දු කළේ, කිරිබත් කන්න මෙය අවස්ථාවක් නෙමෙයි කියලා. හැබැයි අපිත් කැමතියි හැකිතාක් ඉක්මනින් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මේ දිනා ගත්ත සටන, දීර්ඝ කාලීන සාමයක් බවට පත් කර ගන්න. අන්න එදාට අපිත් කිරිබත් කනවා.ඒ විතරක් නෙවෙයි. දෙවෙනුව, තමුන්නාන්සෙලා අහන්න පුළුවන් ඇයි ජාතික කොඩිය ඉස්සුවේ නැත්තේ කියලා? එක පැත්තකින් මිත‍්‍රවරුනි, විදේශීය ආක‍්‍රමණයකට එරෙහිව සටන් කරලා, ඒ අය පරාජය කළා නම් අපට ජාතික කොඩිය ඉහළින්ම ඔසවන්න තිබුණා. නමුත් අපේ ම ශ‍්‍රි ලාංකික දරුවෝ, අපේම අම්මලා, අපේම තාත්තලා, අපි වගේම මේ රටට උරුමකම් කියන පිරිසක් පරාජයට පත් වුණා කියලා, ජාතික කොඩිය ඔසවන එක සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා.

ඇත්ත වශයෙන්ම, මම නම් හැමදාම සුන්දර සිහිනයක් දැක්කා. අදත් ඒ සිහිනය දකිනවා. යම්කිසි දවසක සිංහල-දෙමළ-මුස්ලිම් දැරුවන් බියෙන් සැකෙන් තොරව ජාතික කොඩිය ඔසවාගෙන, අත්වැල් බැඳගෙන පී‍්‍රතියෙන් සිනාසේවි. ලස්සන ශ‍්‍රී ලංකාවට ලස්සන සිහිනයක් අපි හැමෝම ළඟ තියෙනවා.මම ඉතාම ගරු කළ නන්දා මාලනී ඒ කාලේ කියපු ගීතයක් මට අදත් හොඳින් මතකයි. ‘‘උතුරේ දරුවන් හිනහෙන දවසක හිනැහෙමු අපි ලංකා - දකුණේ දරුවන් හිනැහෙන දවසක හිනැහෙමු අපි ලංකා’’ කියලා ඇය එදා කිව්වා. හැබැයි මං දන්නේ නෑ එයත් හීනයක්ද කියලා. මොකද මම ගරු කරපු ඒ ගායිකාව මම දැක්කා ළඟ දී පාර්ලිමේන්තුව පැත්තේ වේදිකාවකට වෙලා ඉන්නවා. උතුරේ දෙමළ දරුවන් සිය දහස් ගණනක් කඳවුරු තුළ තාමත් දුක් විඳින මොහොතක, ඇය රාජ්‍ය නායකයින් සමඟ වේදිකාවේ ඉන්නවා. එයත් තවත් නපුරු හීනයක් පමණක් වේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.

අපි දැක්කා ගිය සතියේ මාතර ඉන්න කොට, මර්වින් සිල්වා ඇතුළු පාතාල ලෝකයේ පිරිසක් ජාතික කොඩිය ඔළුව වටේ පටලවා ගෙන, ජාතික කොඩිය සරමක් වාගේ ඇදගෙන, කරේ දාගෙන, වාහනවල පටලවා ගෙන බීමතින්, කෑ කෝ ගසමින් රථ පෙළපාලි යනවා. තමුන්නාන්සේලා එදා රූපවාහිනය බැලූවා නම්, හොඳට දකින්න ඇති කොළඹ ඉන්න හොඳම පාතාල නායකයෝ තමයි මේ රථ පෙරහැරේ ගියේ.මාධ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධනවත් මේ රථ පෙරහැර පිළිගන්න මාතරට ඇවිත් හිටියේ නෑ. සිංහල වංශ ගැන කතා කරන වීරයන් තමයි අද මේ ජාතික කොඩිය ඉනේ දවට ගෙන ඉන්නේ. නමුත් ඒගොල්ලන් කවුරුවත් දන්නේ නෑ ජාතික කොඩිය පාවිච්චි කරන්න යම් නීති තියෙනවා කියලා. ඒ නීති ව්‍යවස්ථාවෙන් කියලා දීලා තියෙනවා කියලා. නමුත් අද ජාතික කොඩියට ගිය කල හොඳින් දැක බලා ගන්න පුළුවන්. පාරක් පාරක් ගානේ, අව්වට වේලිලා, වැස්සට තෙමිලා එල්ලිලා තියෙනවා. සමහර ඒවාපාරේ මඩ වලවලත් වැටිලා තියෙනවා.

මේ ජාතික කොඩිය නිර්මාණය කළේ මේ රටේ සියලූ ජාතීන් නියෝජනය වීමට. නමුත් අද රූපවාහිනිය, අයි.ටී.එන්. නාලිකාව මේ කොඩියට කියන්නේ ‘සිංහල කොඩිය’ කියලා. මේ ආණ්ඩුව යටතේ ජාතික කොඩිය, සිංහල කොඩිය බවට පරිවර්තනය කරලා ඉවරයි.මෙහෙම ගියොත් මිත‍්‍රවරුනි, මට පේන හැටියට වැඩි කල් නොගොස්, ඔය ජාතික කොඩියේ සංකේතය වෙන්නේ සිංහයා නෙවෙයි. අර කඩුව අතට ගත්ත සිංහයා වෙනුවට හෑන්ඞ්ෆෝන් එක අතට ගත්ත, කොන්ඬේ ජෙල් කරගෙන ඉන්න නරියෙක් ඉදීවි.ඒ නිසා තමයි මිත‍්‍රවරුනි මම කිව්වේ අපි කිරිබත් කෑවේ නැති වුණාට, කොඩි ඉස්සුවේ නැති වුණාට අපිට සුදුසු අවස්ථාවක් ඇවිත් තියනවා අපේ රණවිරුවන්ට ස්තූතිවන්ත වෙන්න. ත‍්‍රස්තවාදය පරාජය කල නමුත්, අපි සාමය දිනාගෙන නෑ. අපි එල්.ටී.ටී.ඊ. ය විනාශ කළ පමණින්, මේ රටේ යුද්ධය අවසන් වෙනවා කියලා හිතුවොත්, ඒ තරම් මෝඩ ක‍්‍රියාවක් තවත් නෑ. මේ විදියට ගියොත් තවත් ප‍්‍රභාකරන්ලා සිය දහස් ගණනක් මේ රටේ බිහිවේවි.

අන්න ඒ නිසා තමයි මම කියන්නේ, හමුදාව තමන්ගේ කාර්යභාර්ය ඉටු කළා. දැන් අපි තමුනාන්සෙලා අපගේ කාර්යභාර්ය ඉටු කරන්න සුදානම් වෙන්න ඕනෙ කියලා. දැන් වගකීම් අතට ගන්න අපේ කාලය ඇවිල්ලා. විපක්ෂයේ අපගේ වාරය ඇවිල්ලා. තමුන්නාන්සේලාගේ වාරය ඇවිල්ලා.දැන් අපේ අභියෝගය තමයි සාමය දිනා ගැනීම. සාමය දිනා ගන්න නම් මිත‍්‍රවරුනි, අනිවාර්යෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍යයි. ජනාධිපතිවරයා මාධ්‍යයෙන් ප‍්‍රකාශ කළ පලියට මේ රටේ අද ඉඳලා සුළු පක්‍ෂ ජාතීත් නෑ කියලා, ඒ ප‍්‍රශ්න අතුරුදහන් වෙන්නේ නෑ. නැති වෙන්නෙත් නෑ. ඒ අයගේ සාධාරණ ප‍්‍රශ්නවලට අපි විසඳුම් ලබා දෙන්න ඕන. ඒ සඳහා අවංක, උවමනාවක් තියෙන්න ඕන. ඒ නිසා දේශපාලන විසඳුමක් ලබාදීම අපේ පරම යුතුකම වෙනවා.දෙවනුව, ඒ දේශපාලන විසඳුම තුළින් මේ රටට උදාවෙන ස්ථිසාර සාමය උඩ, මේ රටට ජාතික සංවර්ධනය ප‍්‍රමාද වෙලා හරි ලබා දෙන්න ඕන. මේ රටට උරුම විය යුතු ජාත්‍යන්තර සහාය ප‍්‍රමාද වෙලා හරි ලබා දෙන්න ඕන.

අදත් තවම අපි ලෝකයේ දුප්පත් රටක්. හරිනම් අපි සැලැස්මක් ඇතිව සංවිධානය වෙලා, ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහයෝගය නැවත ලබාගෙන, ජර්මනිය වගේ රටවල් ඉතා කඩිනමින් ගොඩනැඟුව වගේ, ලංකාව යළි ගොඩනඟන්න ඕන. එදා දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මාර්ෂල් සැලැස්මක් හදලා බිඳ වැටුණු රටවල් ගොඩනැඟුවා වාගේ අපේ රටටත් අද එවැනි සැලැස්මක්. වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තියෙනවා. ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය අද අපට දැඩිව අවශ්‍ය වෙලා තියෙනවා.මිත‍්‍රවරුනි, හැබැයි මම ඔය ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, බුරුමයට නෙමෙයි. ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, ඉරානය නෙවෙයි. ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, සිම්බාබ්වේ නෙවෙයි. මම මෙතනදි ජාත්‍යන්තර ප‍්‍රජාව කියන්නේ, අපට ආර්ථිකව උදව් කරන්න පුළුවන් රටවලට. ඒ රටවල සහයෝගය අපි ලබාගන්න ඕන.

නමුත් මම අවසාන වශයෙන් කියනවා, මහින්ද යුද්ධය දිනන්න ඇති. නමුත් මහින්දට සාමය දිනන්න බැහැ. මහින්දට ආර්ථිකය දිනන්න බැහැ. මහින්දට ජාත්‍යන්තර ප‍්‍රජාව දිනා ගන්න බැහැ.ඒ නිසා, තමුන්නාන්සේලාගේ දූ දරුවන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්, අලූත් ශි‍්‍ර ලංකාවක් ගොඩනඟන්න, මේ රටේ ඉන්න සිවිල් සමාජයට, මේ රටේ බුද්ධිමතුන් සියලූ දෙනාට අපි එකතු වෙලා වැඩ කරමු කියලා මම යෝජනා කරනවා. ඒ සඳහා ඔබ සැමට ධෛර්ය හා ශක්තිය ලැබේවායි ප‍්‍රාර්ථනය කරමින් මම මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

Back to Home

No comments:

Post a Comment