Monday, September 28, 2009

රට කාබාසිනියා කරන එවුන් දේශපේ‍්‍රමීන් නම් අපි දේශද්‍රෝහීන් වෙන්න කැමතියි

බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සිංහල සිනමාවේ ආරම්භක නළුවෙකු වූ හියුගෝ ප‍්‍රනාන්දු මාස්ටර්ගේ කණිෂ්ඨ පුත‍්‍රයාය. දීර්ඝ කාලයක් නව සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු සහ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1991 දී මීගමු මහ නගර සභාවටද තේරීපත් විය. නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළ ‘කලාපේ අපි’ සංවිධානයේ සහ ‘නිවේකා’ පුවත්පතේද පුරෝගාමීයාය. 88-89 භීෂණ සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් සීදූව රත්දොළුව ස්මාරකය ගොඩනඟා සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින අතුරුදහන්වූවන්ගේ ජාතික දිනය නොකඩවා අනුස්මරණය කරන අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ගොඩනඟා අද දක්වාම එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේද බි‍්‍රටෝය. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමේ අරමුණින් පිහිටුවන ලද නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඔහු අද නිදහසේ වේදිකාවේ රැස්වීම් වලට නැතුවම බැරි කථිකයෙකි.


අපි අද ඉන්නෙ ශිෂ්ටාචාර සමාජයක. රාජාණ්ඩු යුග, වැඩවසම් යුග, කැලෑ යුග ඔක්කොම පහුකරල ශිෂ්ටචාර යුගයකට ඇවිත් ඉන්න අපි නීතියට පිටින් දඬුවමක් කරන්නෙ නැහැ. ඒක තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරය කියන්නෙ.

අද මේක හරිම සරල කාරණයක් වෙලා. පාතාලයේ එකෙක් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඊට පස්සෙ ආයුධ පෙන්නන්න එක්ක ගියාම පාතාලයා එක පාරටම හංගපු බෝම්බයක් අරගෙන පොලිස් නිලධාරීන්ට ගහනවා. ඉතින් පොලිස් සහෝදරවරු වෙඩි තියනවා. ඊට පස්සෙ ඒකට සාධාරණ මිනී මැරීමක් කියල කියනවා. අපිත් ඒක විශ්වාස කරනවා. ඒත් ටික දවසකින් අපි ඔක්කොටම තේරෙන්න ගන්නවා මේකෙ වෙන කතන්දරයක් තියෙන බව. වෙඩි තියන හැම එකාම පාතාලයෙක් වෙනවා. මෙහෙම පාතාලයන් මරද්දි ඊට පසුබිමකුත් හදනවා. ඔවුන්ට ලස්සන නම් නැහැ. කවුරුහරි කිව්වොත් ප‍්‍රනාන්දු මහත්තයා මරා දැම්ම කියල අපිට කණගාටු හිතෙනවා. ඒත් මේ පාතාලයන්ට තියෙන්නෙ ආනමාලූ ඉමිතියාස් වගේ නම්. එතකොට අපිටත් හිතෙනවා මුන් මැරුණට කමක් නැහැ නම කැතයි කියල. රටේ මේ වගේ සංස්කෘතියක් හැදුවට හැම කෙනාම වගකියන්න ඕන. අපේ නිශ්ශබ්දතාවය හා විශ්වාසය තුළින් අර වගේ මිනිස්සු මේ සමාජයෙන් ඉවත් කරන්න අනුමැතිය අරගෙන තියෙනවා. ඒ නිසා දැන් කාලය ඇවිල්ල තියෙනවා මෙය අවසාන කරන්න.

නිදහසේ වේදිකාවෙන් මහින්ද බලයට එනවද, රනිල් බලයට එනවද කියල අපිට අදාළ නැහැ. මහින්දද, රනිල් ද කියන එක නෙවෙයි අපිට තියෙන ප‍්‍රශ්නය. කතා කිරීමේ නිදහස හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට අපි එකතු වෙලා ඉන්නෙ. මේ නිදහසේ වේදිකාවේ අපි කියන්නෙ එක දෙයයි. කතා කරන්න පටන් ගමු. අද අපි කොච්චර බයද කිව්වොත් බස් එකේ කොන්දොස්තරටත් බයයි. ඉතිරි සත පණහ ඉල්ලන්නෙ නැහැ. ටිකට් එක ඉල්ලන්නෙ නැහැ. ඉස්පිරිතාලෙට ගියාම දොස්තරගෙන් ලෙඬේ ගැන අහන්නෙ නැහැ බයයි. රජයේ කන්තෝරුවකට ගියාම වෙවුලන්න ගන්නවා. ඇයි බයයි. අපි පොලිසියට යන්නෙ ගෙදර ඉඳන් සර් කියාගෙන. මේ සංස්කෘතිය කඩන්න, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න කාලෙ ඇවිල්ල. ඒක ලේසි වෙන්නෙ නැහැ.

සිවිල් සංවිධාන කිහිපයක් එකතු වෙලා දේශපාලන පක්ෂ නායකයින්ගෙ ආශිර්වාදයෙන් ගොඩනගපු නිදහසේ වේදිකාවට අද මෙච්චර දුරක් එන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ ශක්තියෙන් නිදහසේ වේදිකාවෙ මේ නායක සහෝදරවරු දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ඔබ හමුවෙන්න එනව. අපි බය නැහැ. ඔය ගහල තියෙන ඉරි වලට අනුව හොරකම් කරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මිනී මරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මේ රට කාබාසිනියා කරන එවුන් ඉන්නෙ දේශපේ‍්‍රමී පැත්තෙ නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. ඒ නිසා මේ නිශ්ශබ්දතාවය කඩන්න අපි රට පුරා යනව. මොන දේශපාලනය කළත් අපි එකතු වෙලා අපේ පාරට තාර දාන එක ගැන, අපේ ගුරුවරුන්ගෙ සහ ළමයින්ගෙ විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල් ගැන කතා කරන්න පටන් ගන්න ඕන. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හැම කෙනාම දායකත්වය දෙනවා නම් මේ සියල්ල වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අපි කියනවා මහින්දට දැන් එයාගෙ කාලෙ අවසානයි. එක්කො තමුන් හැදෙන්න ඕන. නැත්නම් තමුන් යන්න ඕන කියල.

Back to samabima
Back to platform

No comments:

Post a Comment