Friday, July 3, 2009

ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ කොළඹ සමුළුව

ජිවත් වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම උදෙසා ජනතා බලවේගයක් සංවිධානය කර ගැනීම පිණිස ගොඩනැගුණු ‘නිදහසේ වේදිකාව’ දේශපාලන පක්ෂ, සිවිල්, මාධ්‍ය, කලා, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති, සහ වෘත්තිකයන්ගේ එකතුවෙන් සෑදුනු පුළුල් බලවේගයකි.රටේ වර්තමාන තත්ත්වය හමුවේ සිවිල් සංවිධාන මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමේ සමුළුවක් පසුගිය ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹට කැඳවා තිබු අතර මෙම සමුළුව සඳහා නියෝජිතයන් සියයකට ආසන්න පිරිසක් සහභාගී විය. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් සහ නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයන් අතර විවෘත සාකච්ඡාවක් සංවිධානය කර තිබු අතර එහිදී නැඟුණු ප‍්‍රශ්න සමහරක් ද, ඒවා පසුබිම් කරගෙන පක්ෂ නායකයන් දැක්වු ප‍්‍රතිචාර ද පළ කිරීමට ‘සමබිම’ දරන ලද උත්සාහය පහත දැක්වේ.





1) මිනිස්සුන්ට නිදහසේ ජීවත්වෙන්න, මියයන්න රාජ්‍ය භීෂණයෙන් තොර විය යුතුයි. අද රටේ ඇති වී තිබෙන තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකිව යුතුයි. ඒනිසා ඔබ බලයට ආ පසු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවද?
කු.ම.නිමල් - කුරුණෑගල මානව සංවිධානය

2) පැමිණ සිටින ඇතැම් දේශපාලන නායකයින්ගේ අතීත දේශපාලන ක‍්‍රියාකාරකම් පිළිබඳ අපට විවේචන තියෙනවා.විශේෂයෙන්ම ඔවුන් දෙමළ ජනයාගේ ප‍්‍රශ්න ගැන තැකීමක් කළේ නැහැ.ඔවුන් වෙනුවෙන් සාධාරණ දේශපාලන විසඳුමක් ගෙන එනවාද?
රෝහිනී වීරසිංහ - කාන්තා ශක්ති සංවිධානය

3)අද ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර ඇමතිවරු විපක්ෂයේ ඉද්දී අපේ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත‍්‍රීවරු. එහෙම වෙන්නේ විපක්ෂයේ ක‍්‍රියාකාරිත්වය ශක්තිමත් මදි නිසාද?
ජී.එස්.ගරුසිංහ - කුරුණෑගල දේවසරණ සංවර්ධන කේන්ද්‍රය

4) අද ජනතාව තමන්ට රජෙක් ඉන්නවා කියනවා. නමුත් මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්, සමානාත්මතාව වැනි කාරණා සුරක්ෂිත වෙලා නැහැ.ඔබට පුළුවන්ද මේ අයිතීන් ජනතාවට සුරක්ෂිත කර දෙන්න.
සමන්ත කුමාර ඈපා - අනුරාධපුර

5) විවිධ දේශපාලනඥයන් බලයට එනවා. ඔවුන් එතැනට එන්න සිවිල් සමාජය විවිධාකාර ලෙස උපයෝගී කර ගන්නවා. නමුත් ඔවුන් බලයට ආපසු සුපුරුදු ලෙස ක‍්‍රියා කරනවා මිස පවතින ව්‍යුහය වෙනස් කරන්නේ නැහැ. ඔබලා බලයට ආ විට ව්‍යුහයේ වෙනසක් කරන බවට පොරොන්දු වෙනවාද?
ගීතා ලක්මිණී - ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය

6)
i. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු සමයේ දෙමළ ජනතාවට විශාල වශයෙන් හිරිහැර සිදුවුණා. අදත් සිදුවෙන්නේ ඒකමයි. යුද්ධය ඉවර වෙලත් තාමත් මඩකලපුවට යනකොට එදා තිබුණ මාර්ග බාධක එකක්වත් ඉවත් කරලා නැහැ. ඔබලා බලයට ආ විට මෙම ක‍්‍රියාවලිය නැවත වෙන්න දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවාද?
ii. වාර්ගික ආර්බුදයට දේශපාලන විසඳුමක් ගැන ඔබගේ ස්ථිර තීරණය කුමක්ද ? 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම ගැන පැහැදිලි මතයක් තිබෙනවද?
iii. අතීතයේ සිදුවීම් සමඟ සැසඳීමේදී ඔබලාව විශ්වාස කිරීමට අපට දෙන සහතිකය කුමක්ද ?
iv. එක්සත් ජාතික පක්ෂය යුද්ධයට ප‍්‍රශංසා කරන කොට මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා ඔවුන් සමඟ එකට වැඩ කරන්නේ කොහොමද?
ජේසුදාසන් - ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය

7) අද රටේ පාලනය ගෙනි යන්නේ හදිසි නීතිය මඟින්. හදිසි නීති විවාදයේදී මඟහැර යනවාට වඩා ඊට විරුද්ධව ඡන්දය දීමයි වැදගත්. ඔබලා හදිසි නීතියට පාර්ලිමේන්තුව තුළ පක්ෂව ඡන්දය දෙනවද?
සෝමසිරි දේශප‍්‍රිය- කුරුණෑගල මානව හිමිකම් සංවිධානය

8)
i. අද මේ ආකාරයට එකතු වී කරන කටයුතු පසුව දේශපාලන අවශ්‍යතා සඳහා ඈදා ගන්න උත්සාහ කරනවද?
ii. එක්සත් ජාතික පක්ෂයේ සමහරු කරන ”යුද්ධයට අඩිතාලම දමා දුන්නේ අපි” වැනි ප‍්‍රකාශ ගැන මොකද කියන්නේ ?
iii. අවශ්‍ය වුණොත් පසු කලෙක අධිකරණය ඉදිරියට යාමට හැකි පරිදි සිවිල් සංවිධානවල එකඟතාවලට අනුව නීතිමය ලියවිල්ලකට අත්සන් තබනවද?
ලක්ෂ්මන් විජේකෝන් - එස්.සි.අයි.සංවිධානය, මහනුවර

9)
i. අවතැන් කඳවුරුවල වයස්ගත වූවන් සහ ගැබිණි මවුවරුන් විස්සක් පමණ දිනකට මිය යනව කියලා ආරංචියක් තියෙනවා. ඒ ගැන සොයා බැලීමට විපක්ෂයට හා නිදහසේ වේදිකාවට වගකීමක් නැද්ද?
ii. ඩෙංගු වසංගතය පාලනය කිරීමට බැරි තරම් පැතිරිලා. විපක්ෂය විදිහට ඩෙංගු වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නඟන්නේ නැද්ද?
iii. ඔබ බලයට පත් වුවහොත් ස්ත‍්‍රීන්ට 30%ක නියෝජන බලය දෙනවද?
iv. යුද්ධයෙන් වඩාත්ම අසරණ වුණේ කාන්තාවන් හා ළමුන්. යුද්ධය පවතින අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය යුද්ධයට ආවැඩුවා. ඔබලා කොහොමද එවැනි තත්ත්වයක සිට මේ එකමුතුවට සහයෝගය පළකරන්නේ.
v. වික‍්‍රමබාහු සහෝදරයා සහ ඔහුගේ පක්ෂය නිදහසේ වේදිකාව සමඟ සම්බන්ධයක් නැද්ද? ඔවුන්ට එයට ගොඩවීමට ආරාධනා කළේ නැද්ද?
ස්ටෙලා පිලිප්ස් - ගෘහමුලිකත්ව කාන්තා කණ්ඩායම

10). අපි සියලූ දෙනා නිදහසේ වේදිකාවත් එක්ක අභියෝග බාරගෙන ඉදිරියට යාමට සුදානම්. දේශපාලන පක්ෂ වශයෙන් ඔබලාත් එයට ගොඩවී සිටිනවා. නමුත් බලයට පත් වූ පසු ඔබලා සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය අමතක කර දමනවා නම් ඊට සිවිල් සමාජයෙන් ලැබෙන්නට තියෙන උත්තරය භයානකයි. සිවිල් සමාජයත් පාඩම් ඉගෙන ගන්නවා. එදාට අපි මීට වඩා ශක්තිමත්ව ඔබලාට එරෙහිව නැගී සිටිනවා.
මොහොමඞ් මුසම්මිල් කාදර් - සමාදාන සංවිධානය, මහනුවර



ප‍්‍රභාකරන් ප‍්‍රශ්නයේ දරුවා මිස ප‍්‍රශ්නය ප‍්‍රභාකරන්ගේ දරුවා නෙවෙයි


විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

අපි අතර එක මතයක් නැහැ. විවිධ වාද විවාද ඇති වෙනවා. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන ප‍්‍රශ්නයට අපි සියලූදෙනා එකඟයි. අද අපි තවදුරටත් අතීතය ගැන තර්ක කරනවාද? මෙතැනින් ඉදිරියට යනවාද? එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපේ වැරදි තියෙනවා. අපේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂවල අතීත වැරදි තියෙනවා. නමුත් පළමුව අපි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි. දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීම ගැන සිතිය යුතුයි. අද ආරක්ෂක අංශයේ ඉහළ පත්කිරීම් සිදුවන ආකාරය ගැටළුවක්. සියලූ මාධ්‍ය පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා මේ අයිතීන් ආරක්ෂා කරගන්න අපි යන මාර්ගය සහ අපේ කාලවේගය ප‍්‍රබල වෙන තරමට ආණ්ඩුවට එහි බලපෑමක් ඇතිවෙනවා. අපි කොහොමද පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්නේ? ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව පදනම් කරගෙන සියලූ දෙනාටම සමාන ලෙස ජීවත්විය හැකි සැකැස්මක් සකස් කළ යුතුයි. කොළඹ හා සෑම දිස්ත‍්‍රික්කයකම සීමිත භූමි භාගයකට පමණක් කේන්ද්‍රගතවී තිබෙන සංවර්ධනය අනෙක් කොටස්වලට ව්‍යාප්ත කළ යුතුයි. මේ දේවල් කරන්න බහුතරයේ සහයෝගය අවශ්‍යයි. ආර්ථික හා දේශපාලනික බලය ලබා ගැනීමට සක‍්‍රීය ලෙස ක‍්‍රියාත්මක වෙමු. මේ පවතින ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් දිය යුතුයි. උතුරේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාව රඳවා ඉන්න මැණික් ෆාම් අවතැන් කඳවුර දකුණේ නගර ගණනාවකට වඩා විශාලයි. මේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. ප‍්‍රභාකරන් ප‍්‍රශ්නයේ දරුවා මිස ප‍්‍රශ්නය ප‍්‍රභාකරන්ගේ දරුවා නෙවෙයි.දැනට පවතින විධායක ජනාධිපති ක‍්‍රමය නිසා අපි ඒකාධිපති පාලනයකට යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට වග කියන පාලනයක් අපට අවශ්‍යයි. ඒ ගැන අපි සාකච්ඡා කරමු. නීතියේ ආධිපත්‍ය ක‍්‍රියාත්මක කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට අයත් කාර්ය භාරයක්. එය හරියට සිදුවෙන්නේ නැහැ. අපි ඒ ගැනත් කතා කරමු. පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතුයි. මම එයට එකඟයි. ඒවාගේම සමාජ, ආර්ථික දියුණුව ඇති නොකර රට සංවර්ධනය කළ නොහැකියි. අපේ ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය රාජ්‍යය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම අනුව ජනතාව බඩගින්නේ තබන්නේ නැති බවට රජයක් කටයුතු කළයුතු බව අර්ථ නිරූපණය කරන්න පුළුවන්. නමුත් මේ වෙන කොට ඒවා වෙනත් නීති ප‍්‍රතිපාදන වලින් යටපත් වෙලා. අපි මෙතනට එකතුවෙලා ඉන්නේ අනාගතයේ පොදු ක‍්‍රියාවලියකට යන්න. මේක ආරම්භයක් විතරයි, අවසානයක් නෙවෙයි. පක්ෂයේ අනෙක් අය සමඟ අපි හා ඔබ කතා කරමු. දැනටමත් අවතැන් කඳවුරුවලට යන්න දෙන්න කියලා අපි නඩු දාලා තියෙනවා. ඒවා වාර්තා නොවෙන එකයි ප‍්‍රශ්නේ. ඩෙංගු ගැනත් කතා කළා. ඒත් මාධ්‍ය ඒවා වාර්තා කරන්නේ නැහැ. එදා මාධ්‍ය අපෙන් අහනවා මේවා සම්බන්ධව වැඩ කරන්නේ නැද්ද කියලා. අද අපි කියන දේවත් දාන්නේ නැහැ. මේක ගම් මට්ටමින් ගෙන යා යුතු සංවාදයක්. අපි අතර විවිධ විවේචන තිබුණත් අපි එකට වැඩ කරමු. එක්සත් ජාතික පක්ෂය හැමදාම නිදහසේ වේදිකාව සමඟ ඉන්නවා. අපි කතා කරල අවසානයේ මැද තැනකට එමු. නීතියෙන් එය කරන්න බැහැ. ජන බලවේගයකිනුයි එය කළ යුත්තේ. අපි කොහොමද එකතුවෙලා වැඩ කරන්නේ කියන කාරණයට මට කියන්න තියෙන්නේ අපි අලූත් ක‍්‍රමයක් තුළ ප‍්‍රජාව එකතු කරගෙන මේ ගමන යන්නේ. එයට සහයෝගය දෙන්න.



මම එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණවලට යන්නේ නැහැ

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය

සභාවේ මතු වුණේ වැදගත් මෙන්ම කාලීන ප‍්‍රශ්න. ඒවා මතුවීම වාමාංශික දේශපාලනඥයෙකු ලෙස මා බලාපොරොත්තු වුණා. ඒ බොහෝ ප‍්‍රශ්න එල්ල වුණේ විපක්ෂ නායකයා වෙත. යළි පක්ෂයක් බලයට එනවා නම් ඒ එන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ප‍්‍රශ්න එල්ල වුණේ ඔහුට. මෙතෙක් කල් එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධව කටයුතු නොකළ මට හා මගේ පක්ෂයට නිදහසේ වේදිකාව හරහා අද මේ වේදිකාවට ගොඩ වී එක්සත් ජාතික පක්ෂය සමඟ ඉන්න සිදු වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් තොරව මේ බලවේගය ඉදිරියට ගෙන යන්න අපහසුයි. නමුත් මම කවදාවත් එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණවලට යන්න හදන්නේ නැහැ. පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දරදඬු, පොලිස් හා මිලිටරි පාලනයෙන් යුතු රජයක්. ඒ නිසා අපි වහාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයකින් යුතු පරිසරයක් බිහිකර ගත යුතුයි. තනිවම එය කළ නොහැකි බව වටහාගෙනයි අපි පක්ෂ විදියට එකතුවෙලා ඉන්නේ. ආණ්ඩුවේ මේ ඒකාධිපති වියරුව රටට හා සුළු ජාතීන්ට අහිතකරයි. ඒ නිසා අපි සියලූ දෙනා අතර තිබිය යුතු එකම සම්මුතිය වගේම සියලූ දෙනාම එකට එකතුවී ඉන්නා පොදු අරමුණු දෙක වන ජීවත්වීමට හා භාෂණයට ඇති අයිතිය වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි.
මේ කෲර ඒකාධිපති පාලනය බිඳ දමන්නේ කොහොමද? ඊට එකගත්වයක් අවශ්‍යයි. නීතිමය ලියවිල්ලක් තුළට යනවා වෙනුවට අපි අතර අඛණ්ඩ සම්බන්ධයක් පවත්වාගෙන යා හැකි මගක් ගැන සාකච්ඡාවක් ඇති වෙනවා නම් හොඳයි. ඒ සඳහා මහජන සංවාදයක් ඇති කිරීම වැදගත්. සමාජයේ තමන්ගේ මතය දරාගෙන ඒ තුළ හැසිරීමට ඇති බලය වෙනුවෙන් ජාතික කාර්ය භාරයක් කළ හැකියි. ඉන් ඔබ්බටත් එකඟ කර ගත හැකි නම් වඩා වැදගත්. නමුත් දැනට මේ කාරණා දෙක වෙනුවෙන් අපි පෙනී සිටිමු. ඒ වෙනුවෙන් නිදහසේ වේදිකාව මේ කරන කාර්ය භාරය ඓතිහාසිකයි.



ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පෙරමුණයි යු.ඇන්.පි යි කියන්නේ පක්ෂ දෙකක්
සභාවෙන් මා වෙත ප‍්‍රශ්නයක් යොමු වුණා එක්සත් ජාතික පක්ෂය යුද්ධයට ප‍්‍රශංසා කරන කොට මනෝ ගනේෂන් කොහොමද එක්සත් ජාතික පක්ෂය සමග ඉන්නේ කියලා. මට ඒකට දෙන්න තියෙන උත්තරය තමයි යූ.එන්.පී එක වෙනයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පෙරමුණ වෙනයි.
යූ.එන්.පී එක යුද්ධයට පක්ෂව හෝ බලය බෙදීමට එරෙහිව කතා කරනවානම් එයට මුලින්ම විරුද්ධ වෙන්නේ මම. මගේ පක්ෂ සාමාජිකයන්ට, ජනතාවට මම වග කියනවා. නමුත් වෙන්ව ගිහින් තනි දෙමළ ගමනක් යන්න මම ඒක කාරණයක් කරගන්නේ නැහැ. මම යන්නේ ශ‍්‍රී ලාංකික ගමනක්. එහෙම යනකොට විවේචන තියෙනවා. අද නීතියේ පාලනයට විශාල බලපෑම් එල්ල වෙලා. මාධ්‍යයට එරෙහි මර්දනයක් දියත් වෙලා. වීරකේසරී පත්තරේ කාන්තාවක් පැහැරගෙන ගිහිං පසුගිය දවසක නැවත ගෙනත් දැම්මා. අපි මේවා වෙනුවෙන් කතා කළ යුතුයි.



මේ රටේ සිවිල් සමාජය තමන්ගේ ශක්තිය හරි හැටි තේරුම් අරගෙන නැහැ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර

සිවිල් සමාජය වගේම මාත් වෙලාවකට මගෙන්ම විමසනවා මම ඇයි රනිල් වික‍්‍රමසිංහ මහත්මයා සමඟ මේ වේදිකාවට ගොඩවෙලා ඉන්නේ කියලා. 94 දී රනිල් වික‍්‍රමසිංහ මහතාව වරින් වර දෝෂාරෝපණයට ලක්කළ කෙනෙක් ලෙස දැන් මෙහෙම ඉන්න පුලූවන්ද කියලා මාත් හිතනවා. නමුත් 2005-2006 වෙන කොට මා දරපු මතය වර්තමාන දේශපාලන නායකත්වය තුළ සීඝ‍්‍රයෙන් වෙනස් වෙලා තියෙනවා. 2006 වෙන කොට මට තේරුණා මේ සියල්ල මෙහෙයවන හස්තය ක‍්‍රියාත්මක කරන්නේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ඇතිකළ යුතුයි කිය කියා කෑ ගැසූ වර්තමාන දේශපාලන නායකත්වය බව. මේ නිසා නැවත වතාවක් ආණ්ඩුවට ගිහින් සැප සම්පත් විඳිනවාද, රටේ නැතිවෙන මධ්‍යස්ථ ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවාද කියන දෙකෙන් මා දෙවැනි කාරණය තෝරා ගත්තා. ඒ පසුබිම තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක නායකත්වයකට ආ හැකි පුද්ගලයා ලෙස මා රනිල් වික‍්‍රමසිංහව දුටුවා. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැසිස්ට්වාදී, අන්තවාදී පාලනයක් ගෙන තිබෙනවා. ඒ නිසා යූ.එන්.පී එක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට ගත් තීරණය ප‍්‍රබල තීරණයක් වෙනවා. යූ.එන්.පී එක විශාල පක්ෂයක්. එහිත් යුධවාදීන්, යුධ විරෝධීන් ඉන්නවා. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා මධ්‍යස්ථ මතයන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොහෙත්ම ජාතිවාදියෙක් නෙවෙයි. ලිබරල්වාදියෙක්. ඔහු ඇත්තම ජාත්‍යන්තරවාදියෙක්. ඒවයි ලංකාව වගේ දියුණු වෙන රටකට අවශ්‍ය.
යූ.එන්.පී එක වගේම මේ රටේ සිවිල් සමාජයත් තමන්ගේ ශක්තිය හරි හැටි තේරුම් අරගෙන නැහැ. අපි දෙගොල්ලන්ගේ ශක්තිය අපි එකතු කළ යුතුයි. තවමත් අපිට හරි ජන බලවේගයක් ගොඩ නඟන්න බැරි වෙලා. දේශපාලනය කරන අපිට විතරක් මේ එ්කාධිපති ගමන වලක්වන්න බැහැ. මම නම් නිදහසේ වේදිකාව සමඟ එකතුවෙලා ඉන්නේ බලය ගන්න. එහෙම නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. ඒ පිහිටුවන ආණ්ඩුව මේ අද කියන කාරණාවලට එකඟ වෙන්න ඕන. ඒ ටික කරන්න පුලූවන් සිවිල් සංවිධාන වලටයි. මෙය සංවාදයකට එහා ගිහින් සෘජු බැදීමක් ඇති කාරණාවක් කර ගත යුතුයි කියලා මම යෝජනා කරනවා.

Back to home

No comments:

Post a Comment