Thursday, October 29, 2009

ඔහු කතා කරයි

‘රයිට්ස් නව්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන

රයිට්ස් නව් සංවිධානය ආරම්භ වුණේ මිනිස් අයිතිවාසිකම්
දැඩි ලෙස උල්ලංඝණය වූ වාතාවරණයක් යටතේ.
නමුත් ලංකාවේ යුද්ධයත් ජාතිවාදයත් ඉතාම සංකීර්ණ තැනකට
ගිය මොහොතකදී අපේ වැඩපිළිවෙළේ තිබුණු මුල් අංශය
වෙනුවට අපිට සිදුවුණා ජාතිවාදීහරණය කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න.
වහාම ශ‍්‍රී ලංකාවේ පොදු ජනයා වෙනුවෙන්
නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරනු යන තේමාවට මාරු වෙන්න වුණා.
ඔබට කියන්න පුළුවන්ද මේ දක්වා ගමන් පථයේ ප‍්‍රධාන මංසන්ධි කිහිපයක්?

අපි රයිට්ස් නව් සංවිධානය ආරම්භ කළේ අලූත් අභියෝගයන්ට
මුහුණ දීමට අලූත් සංවිධාන රටාවක් අවශ්‍ය බව පෙනී ගිය නිසා.
තවදුරටත් මානව අයිතිවාසිකම් රැක ගැනීම කියන එක තනිව කරන්න
පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සමාජයේ විශාල ජාතිවාදී ප‍්‍රවාහයක් තියෙනවා.
සමාජයේ බහුතරය ඒ ප‍්‍රවාහයට යටවෙලා තියෙනවා.
එවැනි අවස්ථාවකදී මානව හිමිකම් සංවිධානයක සුජාතභාවය අභියෝගයට ලක් වෙනවා.
එනිසා අලූත් ප‍්‍රවේශයක් අවශ්‍යයි. ජාතිවාදයට අභියෝග කරන්න පුළුවන්
විදිහේ අලූත් මානව අයිතිවාසිකම් අරගල සම්ප‍්‍රදායක් හදාගන්න නම්
සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා
සියළුම බලවේග එකතු කරපු පොදු අරගලයක් හරහා මහජනයා අතරට ගමන් කරන්න ඕන.
ඒ අනුව අපි උත්සාහ කළා විවිධ බලවේග සමඟ ප‍්‍රතිපත්තිමය එකඟතාවයකට ගමන් කරන්න.
එතැනදී අපි ඉදිරිපත් කළා විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ
එක්ක වැඩ කරන්න අවශ්‍යයි කියන එක.
පහුගිය කාලේ සිවිල් සමාජය තුළ තිබුණේ එක්කෝ ස්වාධීනව වැඩ කරනවා,
නැත්නම් බහුපාර්ශ්වික එකඟතාවයකට යනවා කියන එක.
බහු පාර්ශ්වික කියන්නේ සියළු පක්ෂ සමඟ එකට වැඩ කිරීම
නමුත් මෙවැනි ධ‍්‍රැවීකරණයට පත්වෙලා තියෙන සමාජයක ජාතිවාදය පදනම් වෙලා ආණ්ඩුවක් පිහිටුවලා තියෙනකොට එ් ආණ්ඩුවට අයත් පක්ෂ තුළ කවදාවත් මෙවැනි මානව අයිතිවාසිකම් රැකීමේ න්‍යාය පත‍්‍රයක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා විරුද්ධ පක්ෂ සහ ජාතිවාදයට විරුද්ධ කොටස් එක්ක තමයි මේ වැඬේ කරන්න පුළුවන්. නිදහසේ වේදිකාව හැදීමට අපි එකතු වෙච්ච අවස්ථාවෙදි අපිට පෙනුණා අර අපි කලින් කියපු තත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා ජන සමාජය සතුරා-මිතුරා වශයෙන් සම්පූර්ණයෙන්ම ධ‍්‍රැවීකරණය වෙනවා. රාජ්‍යය හා රාජ්‍යයේ මතවාදය ‘සිංහල’ බවට පත්වෙනවා. රජයේ මර්දනකාරී හා මතවාදී උපකරණ දෙක එක අරමුණක් වෙත යොමු වෙලා එක්සත් පෙරමුණක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේ එයට විරුද්ධ වන සියළුදෙනා විනාශ කර දැමිය යුතු අය වශයෙන් නම් කරලා විනාශ කිරීමට ක‍්‍රියා කළා.
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ‘සිරස’ ආයතනයට පහරදීම මේ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ නිසා අපි මැදිහත් වුණා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ මාධ්‍ය සංවිධාන එකතු කරලා පළල් පෙරමුණක් ගොඩ නඟන්න. එතැනදී අපි ඉතාම හෙමින් වැඩ පටන් ගත්තේ. ඉතාම නිශ්ශබ්දව වැඩ කරගෙන ගියේ. අපිට ගොඩාක් අය කිව්වා මේකෙ හඬ නැහැ මෙහි දෘශ්‍යමාන තත්ත්වයක් නැහැ කියලා. නමුත් අපි එකඟතාවයක් හදාගෙන සිවිල් සමාජයේ ප‍්‍රධාන සංවිධාන ගණනාවක් එකතු කරගෙන ඒ කාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා යම් පොදු වැඩපිළිවෙළක් හදා ගත්තා.
අපි නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජීවත් වීමේ අයිතිය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා. නමුත් ඒක ක‍්‍රමානුකූලව වර්ධනය කළා ප‍්‍රතිපත්තිමය එකඟතාවයක් දක්වා. මේ වැඩපිළිවෙලේ කොටස් දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි රාජ්‍යය හිංසනහරණය කිරීම නැතිනම් අතිරික්ත හිංසනය ඉවත් කිරීම. එතැනදී අපි අදහස් කරන්නේ ස්වභාවික නීතියට පටහැණි, ජාත්‍යන්තර ව පිළිගත් මානව අයිතිවාසිකම් මූලධර්ම වලට පටහැණි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හදිසි නීති රෙගුලාසි වැනි නීති වගේම ත‍්‍රස්ත විමර්ශන අංශය වැනි ආයතන ඉවත් කරලා එ්වා සමාන්‍ය නීති හා ආයතන තත්ත්වයට ගෙන එ්ම.දෙවැන්න නම් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම. මෙහිදී අපි කරුණු පහක් ඔස්සේ මේ ප‍්‍රතිපත්ති යෝජනා කරලා තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, යහපාලනය සහ රජයේ වගවීම, ජාතීන් අතර සමගිය හා ඒකාග‍්‍රතාවය, සමාජයට වගකියන්නා වු ආර්ථිකයක් සහ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන්වලට ගරු කිරීම. අද ඒකාබද්ධ විපක්ෂය සහ මේ සංවිධාන සියල්ල මෙම පොදු රාමුව තුළට ගෙන එ්මට හැකිවෙලා තියෙනවා. මං හිතන්නේ ඒක ලොකු ජයග‍්‍රහණයක්.

නිදහසේ වේදිකාව ඒකාබද්ධ විපක්ෂය සමඟ ඔබ අර කළින් කිව්ව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමේ නෛතික ලියවිල්ලක් අත්සන් කරනවාද නැත්නම් 94 එවකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු ව්‍යාපාර ලද පරාජයන්ගෙන් ලද අත්දැකීමෙන් පෝෂණය වෙලා මෙය ඡන්දෙන් පස්සේ නවත්තන්නේ නැතිව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ රාජ්‍යයේ හිංසනහරණය යන ක‍්‍රියාවලිය පොදුජන අධ්‍යාත්මය තුළට තුළ රැගෙන යන බහුජන ව්‍යාපාරයක් කරා මෙම නිදහසේ වේදිකාව පුළුල් කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවාද?

මුල් අවස්ථාවේ ඉඳලම අපි සාකච්ඡා කළා කිසියම් ආකාරයේ නීතිමය එකඟතාවයක් විරුද්ධ පක්ෂ සමඟ ඇතිකර ගෙන තමයි මේ ගමන යා යුත්තේ කියලා. ලංකාවේ වැඩ කිරීමේදී ප‍්‍රධාන ධාරාවන් තුනක් හඳුනා ගන්න පුළුවන්. එක කට්ටියක් කල්පනා කරනවා සිවිල් සමාජය වශයෙන් ස්වාධීනව තමයි ක‍්‍රියා කරන්න ඕනි කියලා. එහෙම ක‍්‍රියා කරලා කුමන රජයකට හෝ බලපෑම් එල්ල කිරීම් මඟින් දිනා ගත හැකියි කියල. දෙවැනි වර්ගයේ අය කල්පනා කරනවා ස්වාධීන සිවිල් සමාජයක් කියලා එකක් නැහැ, ඒ නිසා දේශපාලන සමාජයේ කොටසක් ඡන්ද කාලේ සිවිල් සමාජය ලෙස පෙනී සිටලා ඡන්දෙට පස්සේ රජයේ තනතුරු අරගෙන රජය ඇතුළට ගිහිල්ලා යම්කිසි ප‍්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන් කියලා.
අපි ඉන්නේ ඇත්ත වශයෙන් ම මේ දෙකේම නෙවෙයි. අපි උත්සාහ කරන්නේ මේ රටේ මහජනයා තුළට මේ අදහස් සාකච්ඡාවට ගෙනයාමට මෙය වේදිකාවක් කර ගැනිමට. දැනටමත් අපි රැස්වීම් රට පුරා ප‍්‍රධාන රැස්වීම් අටක් තියලා තියෙනවා. කුඩා රැස්වීම් දහසකට වඩා තියලා තියෙනවා. කුමන පක්ෂය බලයට පත් වුණත් බලයට පත්වෙන පක්ෂය - විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය එක්ක අපි එකඟතාවයකට යන්නේ, එවිට විරුද්ධ පක්ෂය බලයට පත්වෙච්ච අවස්ථාවකදී ඒ පක්ෂය - සමඟ මේ එකඟතා ගිවිසුම කි‍්‍රයාත්මක කරවා ගැනීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමට අපි ක‍්‍රියා කරනවා. ඒ මඟින් ඔබ කිව්වා වගේ මහජනයාගේ අධ්‍යාත්මය තුළට රාජ්‍යය හිංසනහරණය කිරීම සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යයි කියන සාකච්ඡාව ගෙනයාම තමයි බලාපොරොත්තු වෙන්නේ. අර මුලින් කියපු ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමේදී මහජන බලවේගයක් ඇති නොකර මෙම ගිවිසුම පාර්ශ්වයන් විසින් ක‍්‍රියාත්මක කරයි කියලා හිතුවොතින් අපි ලොකු මිථ්‍යාවක පැටලෙනවා. මොකද අපි විරුද්ධ පක්ෂය එක්ක වැඩ කරනවා වුනාට තවත් නොයෙක් බලවේග විරුද්ධ පක්ෂය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ විවිධ කණ්ඩායම්වලට තරඟකාරී අභිලාෂයන් තියෙනවා. පසුගිය කාලයේදී නිදහසේ වේදිකාව විතරයි විරුද්ධ පක්ෂ එක්ක සම්බන්ධ වුණේ. විපක්ෂ නායක තුමාම කිව්වා මේ දවස්වල ව්‍යපාරික ප‍්‍රජාව විපක්ෂයේ පැත්තවත් බලන්නේ නැහැ කියලා. අපි විපක්ෂයත් එක්ක ගියේ ලාභයක් ගන්න නෙවෙයි. අවදානමක් ගන්න. නමුත් අපි දන්නවා විරුද්ධ පක්ෂය බලයට පත්වෙන දවසක නොයෙක් අය ඇවිල්ලා මී වදයට මැස්සෝ වහනවා වගේ විපක්ෂයේ වහනවා. එතකොට විරුද්ධ පක්ෂය සමග තියෙන හොඳ හිත මත මේක කරන්න බැහැ. මහජනයා මේ වෙනුවෙන් බල කරන තත්ත්වයට ගෙනාවොත් තමයි අපිට මේ ප‍්‍රතිසංස්කරණ කරන්න පුලූවන්.

ලංකාවේ මතවාදය ප‍්‍රධාන වශයෙන් සකස් කරන මතවාදී උපකරණ වන රූපවාහිනි සහ ජනමාධ්‍ය බුද්ධිමතුන්ගේ අධිපති සංවාද වල ප‍්‍රධාන වශයෙන් ප‍්‍රකාශවන ප‍්‍රධාන පරස්පරය තමයි ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය සඳහා අපිට ආයුධ දුන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව කියන එක මේ අය විසින් සැඟවීම. අනෙක් පැත්තෙන් මේකේ තියෙන පරස්පරය වන්නේ චීනය හෝ ඉන්දියාවට වෙනස් ව තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවුරුදු සිය ගණනකට පෙර යම් යම් ව්‍යවස්ථාපිත ආයතන සහ සම්ප‍්‍රදායන් හදාගන්න බටහිර යුරෝපය සහ ඇමෙරිකාව අනිත් පැත්තෙන් අපිට කියනවා යම්කිසි ආකාරයක දේශපාලන බලයක් දෙමළ ජනතාවට ලබාදිය යුතුයි සහ අපේ දේශපාලන ව්‍යූහයන් ප‍්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. බොහෝ දෙනා වටහා ගන්නේ නැහැ මේක පරස්පරයක් කියලා.මේ පරස්පරය දේශීය එකක් නෙවෙයි විදේශීය පරස්පරයක්. අපිට එක පැත්තකින් ආයුධ දෙනවා, අනිත් පැත්තෙන් අදහස් දෙනවා. මේකෙන් ඒගොල්ලන් අදහස් කරන්නේ ඒ ගොල්ලන්ගේ රටවල වෙළෙඳපොළක් බවට අපේ උතුරත් දකුණත් ඒකාබද්ධ කිරීම. මේක තමයි ඒගොල්ලන්ගේ අභිලාෂය. ඔබ මෙම පරස්පර උගුලෙහි පැටලෙනවාද? නැත්නම් මේ පරස්පර උගුලෙක් එළියට යාමට සිතනවාද?

ඇත්ත වශයෙන් ම ජාත්‍යන්තර ප‍්‍රජාව අපිට ද්‍රව්‍යමය දේවල් දෙනවට කවුරුත් කැමතියි. නමුත් අදහස් එක්ක තමයි මේ ගැටලූව තියෙන්නේ. ඉතින් ඔබ කියු විදිහට අපි කියනවා පකිස්ථානය අපිට උදව් කළා. ඇමෙරිකාව උදව් කළේ නැහැ කියලා. ඇමෙරිකාව යුද්දයේදී උදව් කළා. ඊට අමතරව පකිස්ථානය හරහායි පැමිණියේ ඇමරිකන් ආයුධයි. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍යයට ආයුධ ලබාදී ඔවුන් විසින්ම සිවිල් සමාජයට අදහස් ලබා දීමයි. එතකොට මේක තේරුම් නොගත්තොත් අපි ඇත්තටම උගුලක තමයි පැටලෙන්නේ. අපි තේරුම් ගන්න ඕන ජාත්‍යන්තර ප‍්‍රජාවේ රටවල් වෙනත් රටක ප‍්‍රශ්නයක් දිහා බලන්නේ කලාපයේ ස්ථාවරභාවය පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් සහ තමන්නේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමේ දෘෂ්ඨිකෝණයෙන් යුතුවයි. මානවවාදී දෘෂ්ඨිකෝණයකින් නෙවෙයි. චීනය සහ ඉන්දියාව වෙනත් රටවල ප‍්‍රශ්න කෙරෙහි ක‍්‍රියාත්මක වන ආකාරය දිහා බැලූවාම මෙය හොඳට පැහැදිලි වෙනවා. එතනදී යුරෝපයේ රටවල් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ තියෙන ලක්ෂණ නිසා මහජන බලපෑමක් ඔවුන්ට ඇතිවෙනවා. මානවවාදී දෘෂ්ටිකෝණයෙනුත් මේ දෙස බැලිය යුතුයි කියලා. නමුත් ප‍්‍රධාන වන්නේ අර ඉහත කී ස්ථාවරභාවය සහ වෙළෙඳපොළ පිළිබඳ දෘෂ්ටිකෝණය. අපි මෙහි පැටලිලා බටහිර රටවල් අපේ ගැලවුම්කරුවන් ලෙස ඒ අය අපිව බේරා ගනීවි කියලා හිතුවොත් අපි ව්‍යාපාරයක් හැටියට හීලෑවීමක් වෙනවා. අපේ න්‍යාය පත‍්‍රය අපිට අවශ්‍ය පරිදි මෙහෙයවන්න බැරිව සම්පූර්ණ උගුලක පැටලෙනවා. ගොඩාක් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාර මේ උගුලේ පැටලෙනවා. බොහෝ සිවිල් සමාජ ව්‍යාපාර මතවාදී ද්‍රව්‍යමය හා වශයෙනුත් යැපෙන්නේ බටහිර රටවල් මත. ප‍්‍රජාව මත. අපි හිතනවා එල්.ටී.ටී.ඊ.ය පවා මෙලෙස පැටලූන. එනිසා මෙය මහජන ව්‍යාපාරයක් බවට හරවා ගත යුතුය යන අදහසින් තමයි අපි ඉන්නේ. එනිසා අපි කාගේවත් අතකොළුවක් බවට පත්වෙන්නේ නැහැ. කාගේවත් න්‍යාය පත‍්‍රයක් අනුව ක‍්‍රියා කරන්නේ නැහැ.

ඔබ කියන්නේ චීනයේවත් ඉන්දියාවේවත් වෙනත් රටක වුවත් න්‍යාය පත‍්‍රය යහපත් නම් ගැටලූවක් නැහැ, නමුත් ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වුවමනාවන් ඉෂ්ට කිරීමට පමණක් නම් ඔබ එය ප‍්‍රතික්ෂේප කිරීමට තරම් නිහතමානි යි.

අපි ඉතාම පැහැදිලිව එය ප‍්‍රතික්ෂේප කිරීමට නිහමානී වෙනවා. අපි දන්නවා ඉලියඞ් හෝ ඔඩිසි වැනි පුරාණ ග‍්‍රීක වීර කාව්‍ය වල සිටින අසහාය වීරයන්ගේ පසුපසින් සිට ඔවුන්ට බලය සපයන සහ ඔවුන්ගේ ඉරණම තීරණය කරන දෙවිවරුන් සිටිනවා. අවසාන වශයෙන් ජය පරාජය තීරණය වන්නේ මේ දෙවිවරුන්ගේ හැකියා සහ බලපෑම අනුවය. අපි දකිනවා අපේ දේශපාලන කරළියෙත් කාලෙන් කාලෙට මෙවැනි අත්භූත වීරයන් පහළ වෙනවා. මේ අය අමුතු අදහස් ප‍්‍රකාශ කරනවා. මේ අයට විශාල බලයකුත් ලැබෙනවා. ඒවාගේම සමහර වීරයන් හිටපු ගමන් කල් ඉකුත් වී චුත වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ඊනියා වීරයන් පිටුපස චීනය හෝ ඉන්දියාව වැනි බලවත් දෙවිවරු ඉන්නවා. අපි කියන්නේ අපි නිදහසේ වේදිකාව පටන් ගත්තේ අපේ රටේ උවමානාවක් උඩයි. අපිට මේක කරන්න බැරි වුනොත් රටේ ජනතාවට අවංකවම කියලා නවත්තලා ගෙදර යනවා. මෙම ව්‍යාපාරය රජයට හෝ වෙනත් රටකට හෝ පාවා දෙන්නේ නැහැ කියලා අපි වගකීමෙන් කියනවා.

මේ අරගලයේදී ඔබට කණ්ඩායම් දෙකක් හමුවෙලා තියෙනවා. එක කට්ටියක් කියනවා සිවිල් සමාජය එක්ක තමයි මේ වැඬේ කරන්න පුලූවන් කියලා. මේ අය මේ සඳහා විශාල පොත් පත් පවා නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් පසුව සිවිල් සමාජයක් හොයා ගන්න නැහැ කියලා මේ අය කළකිරෙනවා. සිවිල් සමාජයට සමුදීලා දේශපාලන සමාජයට ගිහිල්ලා ඡන්දය ඉල්ලනවා. අනෙක් වර්ගය දේශපාලන සමාජයේ ඉන්නවා. මේ දැඩි ලෙස දේශපේ‍්‍රමී ආණ්ඩුව නිසා කළකිරිලා ඒ අයට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. එනිසා ඒ අයට අවශ්‍ය වෙලා තියෙනවා සිවිල් සමාජය පැත්තට යන්න. ඔබ කොහොමද මේ දෙපැත්තට අදින බලවේග දෙක තුළින් මහජනයා සංවිධානය කරන, පෙරළියක් ඇතිකරන දේශපාලන සමාජ ව්‍යාපාරයක් හදන්නේ?ඇත්තටම මේ දෙපිරිස තමයි හමුවෙන්නේ. මේ විවාදයේ පැටලි පැටලි ඉන්න පුලූවන් දෙගොල්ලන් එක්ක. නමුත් මම හිතන්නේ ඇත්තවශයෙන්ම සමාජයේ විපර්යාසයකාරක බලවේගය සොයා ගැනීම තමයි කරන්න වෙලා තියෙන්නේ. අපි මහජනයා සමඟ සංවාදයෙහි යෙදෙන කොට සිවිල් සමාජය සහ දේශපාලන සමාජය යන දෙකොට්ඨාශය තුළම ඉන්න සැබෑ වුවමනාවක් සහිත මිනිසුන්ට අපි අවංකව මෙම කරුණු ඉදිරිපත් කළොත් ඔවුන්ගේ පිළිගැනීම ලැබෙනවා. මෙන්න මෙ අය අතුරින් තමයි අපිට සමාජ විපර්යාසකාරක බලවේගය සොයා ගන්න වෙන්නේ. එහෙම නැතිව මේ දැනට පවතින සදා නිමකළ නිර්මිතය තුළට ගිහිල්ලා පක්ෂ ශාඛාවක් හෝ සිවිල් සමාජ සංවිධානයක් හෝ ඇමතීමෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැති බව තමයි අපේ අත්දැකීම.ඊළඟ ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයා දිනුවත් ඔහුට දෙමළ ජනයාට දේශපාලන බලය බෙදීමේ ක‍්‍රියාවලියකට යන්න සිද්ධවෙනවා. මේ දවස් වල නිදාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ ඒවාගේ වේලාවක නැගිටලා කියන්න පුළුවන් මෙච්චර දේවල් කළේ බලය බෙදන්නද කියලා. ඒ ඔස්සේ ඒ අයගේ දේශපාලන වැඩසටහන සහ උද්ඝෝෂණ වැඩි කරමින් දේශපාලන බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියට ඇතුල් වෙන්න පුලූවන්. මේක භයානක තත්ත්වයක්. මන්ද එවැනි ක‍්‍රියාවලියකදී ජාත්‍යන්තරය මැදිහත් වී රට බෙදීමේ ක‍්‍රියාවලියක් දක්වා යා හැකියි. මෙම අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ ඔබ ආයතනයේ තියෙන පෙර සූදානම කුමක්ද?

ටික කලකට කළින් මට මතකයි ඩිලාන් පෙරේරා ඇමතිවරයා කිව්වා මේ ප‍්‍රශ්නය විසඳන්න බැරි එල්.ටී.ටී.ඊ එකයි ජෙ.වී.පී එකයි නිසා කියලා. දැන් එල්.ටී.ටී.ඊ එක ඉවරයි. ජෙ.වී.පි සෑහෙන්න දුර්වල වෙලා තියෙන්නේ. මේ දෙක අයින් කළාම උඩින ගේන විසඳුමක් දාලා සියල්ල සතුටින් නිමාවෙයි කියලා සමහරු හිතනවා. අපි ඒ මිථ්‍යාවේ නැහැ. අපි නම් පිළිගන්න විදිහට එල්.ටී.ටී.ඊ එකයි ජෙ.වී.පි එකයි නියෝජනය කරන්නේ යම්කිසි ජනපදනම් දෙකක්. මෙම ජන පදනම් දෙක තියෙනකම් ඒ ව්‍යාපාර පවතිනවා. එතකොට ඔබ කියනවා වගේම ඕනෑම පාලකයෙක් පත් වුනාම මෙතැනින් එහාට යන්න නම් දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට ලබාදිය යුතුමයි. ඒ වගේම තමයි මේ බලවේග ඊට විරුද්ධව නැගී සිටිනවා. අනෙක් කාරණය ගොඩාක් අය හීන දකිනවා දෙමළ මිනිසුන්ගේ ප‍්‍රශ්නය ඉවරයි ඒ නිසා අපි කැමති විදිහට යටත් කරගෙන ඉන්න පුලූවන් කියලා. එහෙම වුණොත් වෙන්නේ නන්දිකඩාල් කලපුවේදි අවසන් වෙච්ච ප‍්‍රශ්නය ජාත්‍යන්තර වශයෙන් මතුවෙලා එනවා. මෙතැනදී අපි හිතනවා මෙයට මුහුණ දෙන්න උප්පරවැට්ටිවලින් බැහැ සාම ගිවිසුම් කාලේ ගොඩාක් අය එන් ජී ඕ හරහා සල්ලි පොම්ප කරලා සාමය ඇති කරන්න පුලූවන් යැයි සිතුවා. නමුත් එය සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. මෙයට මුහුණ දෙන්න දෘෂ්ටිවාදී අරගලයක් කරන්න වෙනවා. අපි තීරණය කළ යුතුයි අපි සිංහල දෙමළ වශයෙන් ජාති දෙකක් විදිහට වෙන් වෙලා දකුණු ආසියාවේ ඊශ‍්‍රායලය බවට ලංකා භූමිය පත් කරනවාද නැතිනම් ශ‍්‍රී ලාංකික ජාතියක් වශයෙන් එකට ඉන්නවාද කියන එක.ඒක වෙනුවෙන් අපි පැහැදිලි අනාගත වැඩපිළිවෙලකට දායක වෙන්න කැමතියි.


Back to Home......
View PDF...

Tuesday, October 27, 2009

සෑම ලාංකිකයෙක්ම සමාන පුරවැසියෙකු බව ඒත්තු ගැන්වීමේ අභියෝගයට මුහුණ නොදී යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්න බැහැ


‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුය එය අත්හළ නොහැකිය’ යන තේමාව යටතේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද ‘අපි ඔක්කොම රජවරු’ මහජන රැස්වීම ඔක්. 13 දා කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු දැක් වූ අදහස් ‘සමබිම’ ඔබ වෙත ගෙන එයි. View more Photo...




නිදහසේ වේදිකාව මෙම රැස්වීම සඳහා තෝරගෙන තියෙන තේමාව ‘අපි ඔක්කොම රජවරු’.එනම් මහජනතාවගේ පරමාධිපත්‍යය ගැනයි. මහ මැතිවරණයක් ආසන්න වෙමින් පවතින අවස්ථාවේ මේ රටේ ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇද්ද යන්න ගැන මොහොතකට කල්පනා කිරීමට මේක හොඳ කාලයක්. මම හිතනවා ඇත්තටම අද එවැනි අවශ්‍යතාවක් මතුව තියෙනවා කියලා.

රටක ජනතා පරමාධිපත්‍යය අයිතිවාසිකම් තුළින් ශක්තිමත් නොවුණොත් එහි කිසි අර්ථයක් නැතුව යනවා. ජනතා පරමාධිපත්‍යය යථාර්ථයක් බවට පත්වෙන්නෙ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහ සිවිල්-දේශපාලන- ආර්ථික-සමාජීය කියන අයිතිවාසිකම් මඟින්. ජනතාවට තම නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට ඉඩ සලසන ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාදායක ආයතන වල සාමාජිකයින්ට තමන්ගේ ජනතාව මුණ ගැහෙන්නත්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයින්ට තමන්ගේ ඡන්ද දායකයන් වෙත ගිහින් ඔවුන් මුණගැහෙන්න නොහැකි තත්ත්වයක් පැවතීමත් විකාර සහ හාස්‍යජනක තත්ත්වයක්.

අද අපේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට නිදහසේ ගිහින් උතුරේ අවතැන් කඳවුරුවල ඉන්න තමන්ගේ ඡන්දදායකයන් මුණ ගැහෙන්න හැකියාවක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක එවැනි දේවල් සිදු වෙන්න බැහැ. නමුත් අද ශ‍්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින්නේ එයයි. අපි ජනතා පරමාධිපත්‍යය ගැන කථා කරනවා. ඒත් අපේම පුරවැසියන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවකට අත් වෙලා තියෙන ඉරණම සහ ඔවුන් රැකබලා නොගැනීම ගැන විදේශ රටවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තර සංවිධාන වලට බැණ වදිනවා. අපි සියළු දෙනාටම සමාන තත්ත්වයෙන් සැළකිය යුතු අතරම, සියළු දෙනාම සමාන ලෙස අයිතිවාසිකම් භුක්ති විඳිය යුතුයි.

නිදහසෙන් පසුව අපි මුහුණ දී ඇති ප‍්‍රශ්නවලට මූලිකම හේතුව සමහර ශ‍්‍රී ලාංකිකයන්ට අනෙක් ශ‍්‍රී ලාංකිකයන්ට වඩා තමන්ට පහත් ලෙස සලකන්නේය යන හැඟීම තදින්ම ඇතිවීමයි. මෙය අපගේ පරමාධිපත්‍යයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල කැළලක්, තුවාලයක්. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුට ම ඔවුන් හැමදෙනාම සමාන පුරවැසියන් බව ඒත්තු ගැන්වීම අභියෝගයක්. අපි ඒ අභියෝගය භාරගන්නා තෙක් අපිට අර්ථාන්විත පරමාධිපත්‍යයක් ගැන හෝ යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කථා කරන්න බැහැ. මම හිතනවා පරමාධිපත්‍යය ගැන කථාකරන කොට අපි මුහුණ දෙන අභියෝග වලට අනුව එම පරමාධිපත්‍යය ප‍්‍රකාශ වෙන ආකාරය ගැනත් සාකච්ඡා කළ යුතුයි කියල.

අපි පශ්චාත් යුද තත්ත්වයක ඉන්නේ. නිසැකවම සාමය, සමගි සන්ධානය හා ජාතික ඒකාග‍්‍රතාවය සඳහා මුල්තැන දීම අවශ්‍යයි. කුමක් කළත් පසුගිය දශක තුන පුරා මේ රට විනාශ වීමට තුඩු දුන් හේතු නැවත ඇති නොකිරීමට අපි තරයේම වගබලා ගත යුතුයි. දස දහස් ගණන් ජනතාවට අපි දෙවන පෙළ හෝ තුන්වන පෙළ පුරවැසියන් ලෙස සළකනවා නම් කිසිම සැකයක් නැතිව නැවතත් එම ගැටුමේ හේතු ප‍්‍රතිනිර්මාණය වෙනවා. අපේ පරමාධිපත්‍යයේ ඉතා ප‍්‍රබලම ප‍්‍රකාශනය වන්නේ අවතැන් වූ ජනතාවට නිදහසේ යාමට ඊමට ඉඩ දීම. ඕනම කෙනෙකුට මේ රටේ පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය නම් මුලින්ම ගමන් කිරීමේ නිදහස, මූලික අයිතිවාසිකම් සහ රටේ සෑම පුරවැසියෙකුටම අයිතීන් වලට ඔවුන්ට ඇති හිමිකම තහවුරු කළ යුතුයි.

මම හිතනවා අවතැන් වූ පුද්ගලයින් දැනට මුහුණ දී ඇති අර්බුද වලින් එහාට ගිය විට අප සළකා බැලිය යුතු තවත් දේවල් තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය වගේ ඉතා බලවත් ප‍්‍රධාන තනතුරක් තියෙන කොට කෙනෙකුට පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අර්ථාන්විතව කථා කරන්න පුළුවන්ද? මගේ හැඟීම අපි දැනට දශකයක් හෝ ඊට වැඩි කාලයක් මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි. අපි පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන කාරණා බරපතල විදිහට හිතනවා නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියල අපි ඒ බලතලම නැවත ක‍්‍රියාවේ යොදවන අගමැතිවරයෙකු පත්කර ගැනීමෙන් වැඩක් නැහැ. එය හරියට අවතැන්වූවන් මැණික් ෆාම් කඳවුරෙන් ඉවත් කර වෙනත් කඳවුරක රැඳවීම වගේ දෙයක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යාන්ත‍්‍රණය තුළින් ජනතාව පත්කරගත් නියෝජිතයින් හරහා. අපි ජනතා පරමාධිපත්‍යය නගා සිටුවිය යුතුයි. එය විශ්වාසයෙන්, අවංකව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනවා නම් විධායකයේ බලය ක‍්‍රියාත්මක කිරීමේදී සංවරණ හා තුලන ක‍්‍රියාත්මක විය යුතුයි. රජයේ සියළු අංශවල ස්වාධීනත්වය ආරක්ෂා වන යාන්ත‍්‍රණයන් පරිපාලන හා රාජ්‍ය පාලන පද්ධතිය තුළ පවතිනවා. මම මේ කියන්නේ පොලිසිය ගැන. රාජ්‍ය සේවය ගැන. මානව හිමිකම් ගැන. දැනට වසර දෙකක් තිස්සේ උල්ලංඝණය වෙමින් පවතින අපේ ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන. ඒ දාහත් වන සංශෝධනය ගැනයි. ඒක සීයට සීයක් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් මම ඔබට කියන්නේ ප‍්‍රමාණවත් නැති වුණත් එය අත්‍යවශ්‍ය බවයි. මේ රටේ පාලන ආයතන පිළිබඳ විශ්වාසය නගා සිටුවීමට එය අත්‍යවශයි.

අපි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි? රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම නිසා මැතිවරණ කාලයේදී තමන්ට ස්ථාන මාරුවීමක් ලැබෙයිද කියලා කිසිම පොලිස් නිළධාරියෙක් බියට පත් වීම සිදු නොවිය යුතු දෙයක්. මැතිවරණ අක‍්‍රමිකතා වලට එරෙහි වුණොත් තමන්ව ආරක්ෂා කිරීමට යාන්ත‍්‍රණයක් නොමැති වීම ගැන රජයේ නිළධාරියෙකු බිය විය යුතු නැහැ.

මම ඔබට යෝජනා කරන අනෙක් කාරණය දැනටමත් බොහෝ විවාද වලට ලක්වෙමින් පවතින කරුණක්. මැතිවරණයකදී රටේ ජනතාවගේ නියම අභිලාශයන් නියෝජනය වන මැතිවරණ ක‍්‍රමයක් අපට අවශ්‍යයි. එහිදී සාර්ථකත්වය ලඟාකර ගැනීමට නම් කේවල ඡන්ද ක‍්‍රමයේ සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයේ නියම සංයෝගයක් අපට ඕන.අපි යුද්ධයක් දිනා ගෙන තියෙනවා. විශාල ජයග‍්‍රහණයක් අත්කරගෙන තියෙනවා. නමුත් අපි හුදෙක් මිලිටරි අභියෝගයක් සමග සටන් කරමින් සිටියේ නැහැ. අපි ගණුදෙනු කරමින් හිටියේ රටේ ඉහළම නායකයා පවා ‘දේශපාලන ගැටළුවක් ලෙස’ දැක්වූ ප‍්‍රශ්නයක් සමඟයි. එයට දේශපාලන විසඳුම කුමක්ද? අපි මේ ගැන දැන ගත යුතුයි. එය දැනට තියෙන ව්‍යවස්ථාවට හා රාජ්‍ය පාලනයට එහා යන දේශපාලන විසඳුමක්ද? එහෙම නැත්නම් එය දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන ප‍්‍රතිපාදන සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටළුවක්ද? දැනට ව්‍යවස්ථා සංශෝධන දෙකක් පිළිබඳව මහජන විවාදයක් තියෙනවා. ඉන් එකක් දාහත් වන සංශෝධනය. එය දැනුවත්වම සහ හිතාමතාම දිනපතාම පාහේ උල්ලංඝණය කරනවා. ඒ වගේම දහතුන් වන සංශෝධනය කිසිදවසක සම්පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කර නැහැ.

මේ රටේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධ විවාදය දහතුන් වන සංශෝධනය වෙත යොමු කිරීමත්, එය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමත් ගැන අවධානය යොමු කිරීමෙන් එතරම් ප‍්‍රයෝජනයක් නැහැ. ඒක දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක්. මෙහිදී ඇතිවන ප‍්‍රශ්නය දහතුන් වන සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරනවාද කියන එක නෙවෙයි. අපි මේ සංශෝධනයෙන් තව දුරටත් එහාට යනවාද, නැතිනම් ඊට පහළ තතත්වයකට යනවාද යන්නයි. දශක දෙකකට පසුව එම කාලය තුළ පැවති මෙම ව්‍යවස්ථාමය රාමුව තුළ මිනී මැරීම්, අතුරුදන්වීම්, විදේශ රටවලට පැනයාම් හා බෝම්බ පිපිරීම් ආදිය පැවතීම මෙතන තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. නිසැකව ම මේ පවතින පාලන රාමුව, ව්‍යවස්ථාවන් සහ අපේ ජීවිතවල තත්ත්වයත් අතර සම්බන්ධයක් පැවතිය යුතුයි. නිදහසේ වේදිකාව ගැන කතා කරන්න නම්, ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන්න නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නගා සිටුවීම ගැන කතාකරන්න නම් අපි මේ පවතින තත්වයන්ට කළ යුතු අභියෝග පිළිබඳව න්‍යාය පත‍්‍රයක් සහිතව ඉදිරි මැතිවරණ වලට යා යුතුයි.මුලින් මම සඳහන් කළ ක්ෂේත‍්‍රවල ප‍්‍රතිසංස්කරණ සඳහා සහ පවතින තත්ත්වයන්ට අභියෝග කිරීම සඳහා වන මේ ගමනට නිදහසේ වේදිකාව ශක්තියක් වෙන බව මගේ බලාපොරොත්තුවයි.

Back to Platform
Back to Samabima

හැත්තෑ හතේදී ෆීලික්ස් ඩයස් ඡන්දය කල් දාන්න හදනකොට එන්.එම් පවා ජේ.ආර් හමුවී එක්සත් ක‍්‍රියා මාර්ගයක් ගැන සාකච්ඡා කළා.

නිදහසේ වේදිකාවට ගොඩ වෙන්න එපා යැයි සම සමාජ දේශපාලන මණ්ඩලය ගත් තීරණය වැරදි බව ලාල් විජේනායක කියයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී එයට විරුද්ධව සියළුම බලවේග ඒකරාශී කළ යුතුය යන්න ලංකා සම සමාජ පක්ෂය පිළිගෙන ඇති මූලික කරුණකි. උදාහරණයක් වශයෙන් 1977 මැතිවරණයට ආසන්න කාලයේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මහ මැතිවරණය වසර තුනකින් කල් දැමීමට හා මර්දනකාරී නීති ඉදිරිපත් කිරීමට උත්සාහයක යෙදී සිටින බව දැනගත් අවස්ථාවේදී ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා ජේ. ආර්. ජයවර්ධන මහතා හමු වී එවැනි දෙයක් සිදු වන්නේ නම් එයට විරුද්ධව එක්සත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සාකච්ඡා කළ බවත්, එවැනි සටනකදී තමන් සමඟ ඒ සටනට ඒකරාශී වන පුද්ගලයින්ගේ මුහුණු ප‍්‍රියමනාප දැයි බැලීම අනවශ්‍ය බවත් ප‍්‍රකාශ කර ඇත. එය සත්‍යයක් බව ප‍්‍රකාශ කරන ලාල් විජේනායක මහතා වාමාංශික දේශපාලනය හෝ මොනම ආකාරයේ හෝ දේශපාලනයක යෙදිය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ක‍්‍රියාත්මක වුවහොත් පමණක් බව ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභිකයෙකු වන අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකාශ කරයි.විජේනායක මහතා එසේ ප‍්‍රකාශ කර ඇත්තේ තමාට නිදහසේ වේදිකාවේ රැස්වීම් ඇමතීම තහනම් කරමින් ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට විරුද්ධව එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විමලසිරි ද මැල් මහතා වෙත ලිපියක් යවමිනි. ඔහු සිය ලිපියේ වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි. ‘‘නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි. මෙය කාලීන අවශ්‍යතාවක් ලෙස මම දකිමි. නිදහසේ වේදිකාව බිහි වී කෙටි කාලයක් ඇතුළත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් වලට එල්ල වී ඇති අභියෝගයන් පිළිබඳ ජනතාව හා රට තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීමට සහ එම ක‍්‍රියාවලියට විරුද්ධව හඬක් ගොඩනැඟීමට එය සමත් වී ඇත. මෙම ක‍්‍රියාවලිය පක්ෂයේ මූලික ප‍්‍රතිපත්ති සමඟ ගැටීමක් නොමැත. මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ව සිටි අවධියේ සිට අවුරුදු හතළිස් හයක කාලයක් සම සමාජවාදියෙකු හැටියට පක්ෂයේ ප‍්‍රතිපත්ති අකුරට පිළිපැද ඇති අතර එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමට විශාල කැපවීමකින් ක‍්‍රියාකර ඇත. ලංකා සමසමාජ පක්ෂය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වී ඇති පක්ෂයක ඉතිහාසය දෙස බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මානව හිමිකම්වලට අභියෝග එල්ල වූ හැම අවස්ථාවකදීම පක්ෂය ඊට විරුද්ධව මැදිහත් වී ඇත. පසුගිය කාලය තුළ සිදුවෙමින් පවත්නා වූ බරපතල මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව මා දේශපාලන මණ්ඩලය වෙත ලිඛිතව හා වාචිකව නිරන්තරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 17 වන සංශෝධනය නොසලකා හැර කිසිදු පැකිළීමකින් තොරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ක‍්‍රියා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී ඇති ප‍්‍රබල පහරක් බව මා මතු කර ඇත. නිල නොවන ආයුධ සන්නද්ධ කණ්ඩායම් ක‍්‍රියාත්මක වීම සහ පළල් ලෙස සිදු වී ඇති පුද්ගලයින් අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, බරපතල සාපරාධී ක‍්‍රියා පිළිබඳ සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණමය නොවන ක‍්‍රියාදාම තුළින් මරා දැමීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍ය ආයතනවලට පහර දීම්, දේශපාලන ක‍්‍රියාවල යෙදෙන විරුද්ධ පක්ෂ ක‍්‍රියාකාරීන් මර්දනය කිරීම් මෙන්ම ආණ්ඩුව විවේචනය කරන්නන් දැඩි හිරිහැරවලට ලක් කිරීම් සිදු වෙමින් පවතී.’’එහෙත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස සිටියදී එම ප‍්‍රශ්න පිළිබඳ මැදිහත්වීමට ආණ්ඩුව තුළ අප පක්ෂය නියෝජනය කරන්නන්ට ආත්ම ශක්තියක් හෝ ස්වාධීනතාවක් නොමැති බව පැහැදිළිව ප‍්‍රදර්ශනය කර ඇත. මෙම භයානක සිදුවීම් ඉදිරියේ අප අඳ,ගොළු බිහිරන් සේ සිටින බව පිළිගත යුතුව ඇත. මෙම තත්ත්වය මාගේ හෘද සාක්ෂියට අනුව පිළිගත නොහැකි ඉතා කණගාටුදායක තත්ත්වයකි. එම තත්ත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක අවශ්‍යතාවද මා මතු කර ඇත. නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි.
ඒ අනුව නිදහසේ වේදිකාව මෙම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනකාරී ක‍්‍රියා පිළිබඳව නගන හඬට සම්බන්ධ වීම අප පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට අනුකූල වන අතර එම ක‍්‍රියාව කිසිසේත් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි නොවන බව පිළිගත යුතුව ඇත. එහෙත් ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් ඕනෑම කොන්දේසියක් මත ආණ්ඩුවට අවනත වන අයට මෙය පිළිගත නොහැකිවීම තේරුම්ගත හැක. ඔවුන් සම සමාජවාදය ප‍්‍රතික්ෂේප කර තම වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින අය වේ. එහෙයින් දේශපාලන මණ්ඩල තීරණය පිළිගත නොහැකි බව සහෝදරත්වයෙන් යුතුව දන්වා සිටිමි.
view pdf

Monday, September 28, 2009

රට කාබාසිනියා කරන එවුන් දේශපේ‍්‍රමීන් නම් අපි දේශද්‍රෝහීන් වෙන්න කැමතියි

බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සිංහල සිනමාවේ ආරම්භක නළුවෙකු වූ හියුගෝ ප‍්‍රනාන්දු මාස්ටර්ගේ කණිෂ්ඨ පුත‍්‍රයාය. දීර්ඝ කාලයක් නව සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු සහ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1991 දී මීගමු මහ නගර සභාවටද තේරීපත් විය. නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළ ‘කලාපේ අපි’ සංවිධානයේ සහ ‘නිවේකා’ පුවත්පතේද පුරෝගාමීයාය. 88-89 භීෂණ සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් සීදූව රත්දොළුව ස්මාරකය ගොඩනඟා සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින අතුරුදහන්වූවන්ගේ ජාතික දිනය නොකඩවා අනුස්මරණය කරන අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ගොඩනඟා අද දක්වාම එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේද බි‍්‍රටෝය. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමේ අරමුණින් පිහිටුවන ලද නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඔහු අද නිදහසේ වේදිකාවේ රැස්වීම් වලට නැතුවම බැරි කථිකයෙකි.


අපි අද ඉන්නෙ ශිෂ්ටාචාර සමාජයක. රාජාණ්ඩු යුග, වැඩවසම් යුග, කැලෑ යුග ඔක්කොම පහුකරල ශිෂ්ටචාර යුගයකට ඇවිත් ඉන්න අපි නීතියට පිටින් දඬුවමක් කරන්නෙ නැහැ. ඒක තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරය කියන්නෙ.

අද මේක හරිම සරල කාරණයක් වෙලා. පාතාලයේ එකෙක් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඊට පස්සෙ ආයුධ පෙන්නන්න එක්ක ගියාම පාතාලයා එක පාරටම හංගපු බෝම්බයක් අරගෙන පොලිස් නිලධාරීන්ට ගහනවා. ඉතින් පොලිස් සහෝදරවරු වෙඩි තියනවා. ඊට පස්සෙ ඒකට සාධාරණ මිනී මැරීමක් කියල කියනවා. අපිත් ඒක විශ්වාස කරනවා. ඒත් ටික දවසකින් අපි ඔක්කොටම තේරෙන්න ගන්නවා මේකෙ වෙන කතන්දරයක් තියෙන බව. වෙඩි තියන හැම එකාම පාතාලයෙක් වෙනවා. මෙහෙම පාතාලයන් මරද්දි ඊට පසුබිමකුත් හදනවා. ඔවුන්ට ලස්සන නම් නැහැ. කවුරුහරි කිව්වොත් ප‍්‍රනාන්දු මහත්තයා මරා දැම්ම කියල අපිට කණගාටු හිතෙනවා. ඒත් මේ පාතාලයන්ට තියෙන්නෙ ආනමාලූ ඉමිතියාස් වගේ නම්. එතකොට අපිටත් හිතෙනවා මුන් මැරුණට කමක් නැහැ නම කැතයි කියල. රටේ මේ වගේ සංස්කෘතියක් හැදුවට හැම කෙනාම වගකියන්න ඕන. අපේ නිශ්ශබ්දතාවය හා විශ්වාසය තුළින් අර වගේ මිනිස්සු මේ සමාජයෙන් ඉවත් කරන්න අනුමැතිය අරගෙන තියෙනවා. ඒ නිසා දැන් කාලය ඇවිල්ල තියෙනවා මෙය අවසාන කරන්න.

නිදහසේ වේදිකාවෙන් මහින්ද බලයට එනවද, රනිල් බලයට එනවද කියල අපිට අදාළ නැහැ. මහින්දද, රනිල් ද කියන එක නෙවෙයි අපිට තියෙන ප‍්‍රශ්නය. කතා කිරීමේ නිදහස හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට අපි එකතු වෙලා ඉන්නෙ. මේ නිදහසේ වේදිකාවේ අපි කියන්නෙ එක දෙයයි. කතා කරන්න පටන් ගමු. අද අපි කොච්චර බයද කිව්වොත් බස් එකේ කොන්දොස්තරටත් බයයි. ඉතිරි සත පණහ ඉල්ලන්නෙ නැහැ. ටිකට් එක ඉල්ලන්නෙ නැහැ. ඉස්පිරිතාලෙට ගියාම දොස්තරගෙන් ලෙඬේ ගැන අහන්නෙ නැහැ බයයි. රජයේ කන්තෝරුවකට ගියාම වෙවුලන්න ගන්නවා. ඇයි බයයි. අපි පොලිසියට යන්නෙ ගෙදර ඉඳන් සර් කියාගෙන. මේ සංස්කෘතිය කඩන්න, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න කාලෙ ඇවිල්ල. ඒක ලේසි වෙන්නෙ නැහැ.

සිවිල් සංවිධාන කිහිපයක් එකතු වෙලා දේශපාලන පක්ෂ නායකයින්ගෙ ආශිර්වාදයෙන් ගොඩනගපු නිදහසේ වේදිකාවට අද මෙච්චර දුරක් එන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ ශක්තියෙන් නිදහසේ වේදිකාවෙ මේ නායක සහෝදරවරු දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ඔබ හමුවෙන්න එනව. අපි බය නැහැ. ඔය ගහල තියෙන ඉරි වලට අනුව හොරකම් කරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මිනී මරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මේ රට කාබාසිනියා කරන එවුන් ඉන්නෙ දේශපේ‍්‍රමී පැත්තෙ නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. ඒ නිසා මේ නිශ්ශබ්දතාවය කඩන්න අපි රට පුරා යනව. මොන දේශපාලනය කළත් අපි එකතු වෙලා අපේ පාරට තාර දාන එක ගැන, අපේ ගුරුවරුන්ගෙ සහ ළමයින්ගෙ විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල් ගැන කතා කරන්න පටන් ගන්න ඕන. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හැම කෙනාම දායකත්වය දෙනවා නම් මේ සියල්ල වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අපි කියනවා මහින්දට දැන් එයාගෙ කාලෙ අවසානයි. එක්කො තමුන් හැදෙන්න ඕන. නැත්නම් තමුන් යන්න ඕන කියල.

Back to samabima
Back to platform

සත්‍ය ලියන මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම ජනතා වගකීමක්

මාධ්‍යවේදී ෂාරංග නානායක්කාර

නිදහසේ වේදිකාවේ හලාවත මහජන රැළිය පසුගිය සැප්තැම්බර් 12 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී දේශපාලන නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සභාව අමතා සිය අදහස් පළ කළ අතර
පහත පළ වන්නේ එහිදී නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ මාධ්‍යවේදී ශාරංග නානායක්කාර පළකළ අදහස් වලින් කොටස් කිහිපයකි.






සිරසට පහරදීල, බෝම්බ ගහල, වෙඩි තියල, විනාශ කර දමමින් දෙදාස් නමය අවුරුද්ද පටන් ගත්තෙ ජනමාධ්‍ය නිදහසට විශාල කළු පැල්ලමක් එකතු කරමින්. ඊට දවස් දෙකකට පස්සෙ මේ රටේ විතරක් නෙවෙයි

ජාත්‍යන්තරයේ පවා ප‍්‍රසිද්ධියට පත් වෙලා හිටපු ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා අධි ආරක්ෂිත කලාපයේදී මහ දවාලේ වෙඩි තබා ඝාතනය කළා.
ජනවාරි විසිහතර වෙනිදා මේ රටේ ප‍්‍රධාන ජාතික පුවත්පතක කර්තෘවරයෙකුට සහ එතුමාගේ බිරිඳට මහ මගදි පහර දුන්නා. මෙහෙම දිගින් දිගටම සිදුවෙන කොට හැමදාම අපි ජනමාධ්‍ය අමාත්‍යංශය ඉදිරියට ගිහින් උද්ඝෝෂණය කරනවා. ඒත් වැඩක් වුණේ නැහැ. ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන කොට, පහරදීම් සිදුවෙන කොට ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආයුධ සංසරණයක් සිදුවෙන නිසා කුමන කණ්ඩායමක් මේවා පිටුපස සිටිනවා ද යන්න හරියටම සොයා ගැනීමට අපහසුයි කියලා.

මාධ්‍යවේදියෙක් විදිහට මමත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට නිරන්තරයෙන් කතා කරනවා. මේ පහරදීම් ගැන ඇහුවම හැමදාම ඔහු කියන්නෙ පරීක්ෂණ පවත්වනවා කියන එකම කතන්දරය. අපි හිතුවා යුද්ධය ඉවර වුණාම ජනමාධ්‍ය වලට තියෙන මර්දනයන්, සහෝදර මාධ්‍යවේදීන්ට තියෙන තර්ජනයන් නැවතෙයි කියලා.
ඒත් යුද්ධය ඉවර වෙලා සතියයි ගියේ. ශ‍්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත මහතා සුදු වෑන් එකකින් පැහැර ගෙන ගිහින් කකුල කඩල, ගහල, අගලකට තල්ලූ කරල දාල යනවා. යාපනයේදී උදයන් පුවත්පත බෙදා හැරීමේදී උදුරගෙන ගිහින් පුච්චලා දානවා. මෙච්චර කල් අක‍්‍රීය වෙලා තිබුන පුවත්පත් මණ්ඩල පනත නැවත ක‍්‍රියාත්මක කරල පුවත්පත් කලාවේදීන්ව දණ්ඩනය කිරීමකට ලක් කරල තියෙනවා. තිස්සනායගම් කියන මාධ්‍යවේදියා තීරු ලිපියක් ලිවීමේ වරදට බරපතල වැඩ ඇතුව විසි වසරකට සිරගෙට යවනවා. ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් ඔවුන්ගේ වෘත්තීය කටයුත්තක් කිරීම නිමිත්තෙන් පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඊට පෙර අප පුවත්පතේ ජ්‍යොතිෂ ලිපි ලියන චන්ද්‍රසිරි මහත්මයා අපරාධ විමර්ශන අංශයේ දවස් දෙකක කාලයක් රඳවා තබා ගන්නවා.

අපි හිතුව යුද්ධය අවසන් වීමත් සමඟ ම මේ රටේ ජනමාධ්‍යවේදීන්ට සහ ආයතන වලට තිබුණ තර්ජනයන් නැතිවෙයි කියල. අද ජනාධිපති හා මැති ඇමතිවරු සෑම කෙනාම කියනවා මේ රටේ තිබුණ ත‍්‍රස්තවාදය ඉවරයි කියල. එහෙමනම් අපි අහනවා මොකටද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවම තියාගෙන ඉන්නෙ කියල.
එකම කාරණයක් නිසයි ආණ්ඩුව තවම මේ පනත තියාගෙන ඉන්නේ. ඒ ආණ්ඩුවේ විරුද්ධවාදීන් මර්දනය කරන්න. ජනමාධ්‍යවේදීන් මර්දනය කරන්න. ඒ නිසා අපි පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ එක දෙයයි. අපේ වෘත්තීමය අයිතිවාසිකම් රැකුණොත් විතරයි ඔබට ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නෙ. ඔබේ අයිතිය වෙනුවෙන් තමයි අපි මේ සටන් කරන්නෙ. ඒ නිසා යම් වගකීමක් ඔබටත් පැවරිලා තියෙනවා.

ජනමාධ්‍යවේදීන් වශයෙන් මේ වගේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, මාධ්‍ය සංවිධාන සිටින පුළුල් වේදිකාවකට ගොඩවීමේ අවශ්‍යතාව අපිට මතු වුණේ ඒ නිසයි. අපි සත්‍ය කතා කරනවා නම්, සත්‍ය ලියනවා නම් අපි වගේ අයව ආරක්ෂා කර ගන්න මේ වගේ මහජන ව්‍යාපාරයකට ඔබගේ යොමු වීම වැදගත් වෙනවා

Back to samabima
Back to platform

Tuesday, September 8, 2009

වාරණයට වගකිව යුත්තේයුද්ධයට උඩ ගෙඩි දුන්න අයයි

සිනමාවේදී සිරිමල් විජේසිංහ
අනුරාධපුරයේදී

නිදහසේ වේදිකාව තුළ කලාකරුවෙකු වශයෙන් අදහස් දැක්වීමට විතරක් නෙවෙයි පුරවැසියෙක් වශයෙන් මට තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියල ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවත් ලැබිල තියෙනවා. මේ වේදිකාවේ නොයෙක් විට කියැවෙනවා තියෙන භීෂණය ගැන. කලාවට, සංස්කෘතියට හෝ මාධ්‍ය නිදහසට තියන ප‍්‍රශ්න ගැන. මම අහන්න කැමතියි මේ මාධ්‍ය හෝ කලා නිදහස විනාශ වීමට වගකිව යුතු වැරදිකාරයා කවුද කියල. වැරදිකාරයා මහින්ද සහ ගෝඨාභය සහෝදරවරු දෙන්නා විතරක්ද? මම දකින විදියට අද මෙතන ඉන්න විපක්ෂයේ සාමාජිකයන් ඇතුළු ඔබ සියළුදෙනාම එහි කොටස්කාරයින්.
ඒ ඇයි? පසුගිය කාලය පුරාම අතිශය බිහිසුණු යුද්ධයක් මේ රටේ තිබුණා. දැන් ඒ යුද්ධය ඉවරයි. නමුත් තාමත් නොනිල වශයෙන් යුද මානසිකත්වය ක‍්‍රියාත්මක වෙන පශ්චාත් යුද කාලයක් පවතිනවා. ඒ නිසා යුද භීෂණය ක‍්‍රියාත්මක වෙනවා. එතකොට යුද්ධයට වැරදිකාරයා අද ඉන්න ආණ්ඩුව පමණක්ද? කලාකාරුවෙක් වශයෙන් මම නම් යුද්ධයට සපෝට් කළේ නැහැ. ඒ නිසා මට චෝදනා කරන්න ලේසියි. ඔබ සියළුදෙනාම පක්ෂ භේදයකින් තොරව යුද්ධයට සපෝට් කළා. ඒ නිසා කලාකරුවෙක් විදිහට අද මට ඇති වෙලා තියෙන තත්ත්වයට සහ කලාව පිළිබඳ මේ පවතින කලහකාරී වාතාවරණයට ඔබ චූදිතයෙක් කියලා මම සෘජුවම කියනවා.
දැන් ඔබ අහන්න පුළුවන් එහෙමනම් කොහොමද ත‍්‍රස්තවාදීන් නැති කරන්නේ කියලා. මම විශ්වාස කරනවා අතිශය රුදුරු ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් මේ රටේ තිබුණා, ඒක ඇත්ත. නමුත් දරුණු ත‍්‍රස්තවාදයක් මර්දනය කරන්න ඊට වඩා ත‍්‍රස්තවාදයක් යොදා ගත්තා. අපිට තිබුණ හොඳම විසඳුම් වෙනුවට ලේසිම විසඳුම තෝරා ගත්තා. අද නොනිල වාරණ රාශියක් ඇතිවෙලා. පහුගිය කාලයේ මාධ්‍ය නිදහස නැහැ කියලා උද්ඝෝෂණය කරපු මාධ්‍යවේදීන් කිව්වෙ නැහැ මාධ්‍ය නිදහස නැතිවෙලා තියෙන්නෙ යුද්ධය නිසා කියලා.කලාකරුවෙක් වශයෙන් මට කියන්න තියෙන්නෙ මට කෙළවුණේ යුද්ධය නිසා කියලයි. අපි කවුරුත් තේරුම් ගත්තෙ නැහැ ඇයි ත‍්‍රස්තවාදය ඇති වුණේ කියල. හෙට අනිද්දා වෙද්දී මේ රටේ තව ත‍්‍රස්තවාදීන් ඇති වෙන්න පුළුවන්. ඒව තේරුම් ගත්තොත් අපි වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න පුළුවන්.

Back to platform
Back to samabima

පාලකයා පාලනය කරන්නත්ත් පාලකයා තෝරා ගන්නත් මහජනයාට ඇති අයිතිය අහිමි කිරීමට එරෙහි වෙමු

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ
අනුරාධපුරයේදී

අද දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ගණනාවක් එක වේදිකාවක ඉන්නවා. මේ සියළු දෙනාම එකම වේදිකාවට ගොඩ වෙන එකම අවස්ථාව මෙයයි. නිදහසේ වේදිකාව ගොඩනැඟිල තියෙන්නෙ ජනතාවගේ මූලික නිදහස ආරක්ෂා කරන්නයි. අපි හැමදෙනාටම අපේ මතයන් ගැන වාද විවාද කරන්න, අදහස් පළ කරන්න, ඡන්දය ඉල්ලන්න නිදහස තියෙන්න ඕන. ඔබේ ඒ නිදහස නැති කරන්නයි අද නිදහස් මාධ්‍ය මර්දනය කරල තියෙන්නෙ. ලෝකෙ දරුණුම විදිහට මාධ්‍ය මර්දනය කරන රටවල් පහෙන් එකක් ලංකාව. දැන් මාධ්‍යවේදීන් තිහක් මරල දාලා. පනහක් හැටක් රටින් පිටවෙලා එන්න බැරුව ඉන්නවා. සමහරු තම වෘත්තියෙන් ඈත්වෙලා. තවත් සමහරු කට වහගෙන ඉන්නවා. ඒ අතර සුළු පිරිසක් හීලෑ වෙලා ඉන්නවා. එවැනි අවස්ථාවකයි අපි ඔක්කොම මෙහෙම එකතු වෙලා ඉන්නෙ. දෙමළ මිනිස්සුන්ව මරනකොට මුන් ඔක්කොම කොටි කියනවා. ඊට පස්සෙ සිංහල අය මරන කොට ඒ විරුද්ධවාදීන් කියනවා. මං අහන්න කැමතියි කීත් නොයාර්, ලලිත් අලහකෝන්, උපාලි තෙන්නකෝන් වගේ මාධ්‍යවේදීන් කොටි සංවිධානයේ අයද කියලා. එදා හුඟක් අය කිව්වා කොටි නැති කළ යුතුයි කියල. ඒක ගැන වාදයක් නැහැ. ඒකට අපි සහයෝගය දෙනවා. ඒත් එහෙම කරන කොට මානව නිදහස ආරක්ෂා විය යුතුයි. යුද්ධෙ තියෙන කොට ඒක පිටින් දාල මාධ්‍ය මර්දනය කළා. මේ වෙනකොට කොටි සංවිධානය මර්දනය කරලා මාස හතරක් ගත වෙලා. ඒත් මර්දනය වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. මාධ්‍ය මර්දනය කරන්න කොටි සංවිධානය පලිහක් කරගෙන. පාලකයා පාලනය කරන්නත්, පාලකයා තෝරා ගන්නත් මහජනයාට තියෙන නිදහස පාලනය කිරීමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ. අද මහජන මතය ගොඩ නඟන කෙටිම මාර්ගය මාධ්‍යය. මහින්ද මාධ්‍යවේදීන් බය කරලා රටේ ප‍්‍රශ්න, දූෂණය, භීෂණය, නාස්තිය, එක පවුලක පාලනය ඇතුළු හැමදේ ගැනම මහජන මතය ඉදිරියට ඒම වළක්වලා. ඒ කියන්නෙ පාලකයා පාලනය කිරීමේ අයිතිය පාලනය කරලා. ඒ නිසා ජනතාවගේ දුක කියන්න මාධ්‍ය බයයි. මාධ්‍යවේදීන් අපිට කියනවා ඇත්ත ලිව්වොත් අපි මැරෙනවා, බොරුව ලිව්වොත් වෘත්තිය පාවා දෙනවා කියලා.ඒ නිසා ස්වයංවාරණයක් ඇතිවෙලා. පාලකයා පාලනය කිරීමේ අයිතිය ඉවත් කළාට පසු ජනතාවට අවශ්‍ය නම් වෙනත් පාලකයෙක් තෝරා ගැනීමට තියෙන අයිතියත් නැති කරන්න ස්වාධීන මැතිවරණ කොමිසම පත් නොකර ඉන්නවා. මේ ගහන්නෙ ජනතාවටයි. ජනාධිපති කියන්නෙ තමන් ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න ලැහැස්ති නැහැ, ජනතාව එක්ක ඉන්න ලැහැස්තිත් නැහැ, ඒ වුණාට ජනතාව ඔහු එක්ක ඉන්න ඕන කියලයි. මේක තමයි ඔහුගේ පාලනය. මේක රජ පාලනයේ කොටසක් මිස ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් නෙවෙයි. අද මේ රටේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ජීවන වියදම, සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුළු බොහෝ ක්ෂේත‍්‍රවල මොන තරම් ප‍්‍රශ්න තියෙනවා ද ? ඒවා ගැන මාධ්‍ය කතා කරනවාද ? මම කියන්නෙ නැහැ නිකං ගිහින් ජනාධිපතිට බනින්න කියලා. මම මාධ්‍යයට දොස් කියන්නෙ නැහැ. මට බැහැ ඔවුන්ගෙ ජීවිත ආරක්ෂා කරල දෙන්න. පුවත්පත් කර්තෘවරයෙකුගේ හෝ රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති කියවන අයගේ අයිතිය නෙවෙයි මේ නැති වෙන්නේ, ඔබේ නිදහසයි. ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ මාධ්‍ය නිදහස ඕන කියල මුලින්ම පාරට බැස්සෙ මහින්ද. මම අගමැති වුණාම මාධ්‍යයට බලපාන නීති ගණනාවක් නැති කළා. එකක් තමයි පුවත්පත් මණ්ඩලය. මම ඒක පත්කළේ නැහැ. ඒ වෙනුවට පුවත්පත් පැමිණිලි මණ්ඩලයක් ඇති කළා. ඒකෙන් පැමිණිලි අටසීයක්, නවසීයක් විතර විභාග කළා. දැන් ආපහු පුවත්පත් මණ්ඩලය පත් කරලා. එදා මා එක්ක එකඟ වුණ සමහර මාධ්‍යවේදීන් අද මේක සාධාරණීයකරණය කරනවා. මේ පුවත්පත් මණ්ඩලය සම්මත කර ගත්තෙ කොහොමද කියල කවුරුවත් හරියට දන්නෙ නැහැ. ඇහුවම නොයෙක් කතන්දර කියනවා. ඒක කරපු මණ්ඩලයක්, කමිටුවක්, වාර්තාවක් නැහැ.අද මාධ්‍යවේදීන් ට තර්ජන එනකොට ඉදිරිපත් වෙලා උදව් කළ ආචාර්ය සරවනමුත්තුගේ ගෙදරට මුද්දරයක් ඇලවූ ලියුමක් එනවා ‘උඹ මරනවා’ කියල. කාටද මේ රටේ මිනිස්සු මරන්න පුළුවන් ? ආණ්ඩුවට විතරයි. මම දන්නෙ නැහැ ඇයි මේ ලියුම රජයේ මුද්‍රණයක් විදිහටම එව්වෙ නැත්තෙ කියල. එහෙම වුණා නම් මුද්දර ගාස්තුවත් ඉතිරියි.1973 බණ්ඩාරනායක මැතිනිය ස්වාධීන පුවත්පත් වහල දාල අත්පත් කරගත්තා. නැවත ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් ඒ වෙනුවෙන් අපි උද්ඝෝෂණය කළා. කටින් කට ප‍්‍රචාරය යැවුවා. ආණ්ඩුවකට පාලනය කළ නොහැකි එකම මාධ්‍ය තමයි ‘කට මාධ්‍යය’. මොන මාධ්‍ය පාලනය කළත් ගෙදර තියෙන කට මාධ්‍ය කෝටි දෙකක් පාලනය කරන්න ආණ්ඩුවකට බැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවන වියදම ගැන කියන්න අපි මේ මාධ්‍ය භාවිතා කරමු. පාලකයා පාලනය කරන්න අපිට තාම පුළුවන්. ඒ වෙනුවෙන් ඕනම සංවිධානයක්, පක්ෂයක් එක්ක අපි කටයුතු කරනවා. මේ නිදහස ලබා ගන්න අපේ කට මාධ්‍ය භාවිතා කර උද්ඝෝෂණය කරමු කියා මම ඉල්ලා සිටිනවා.