Monday, September 28, 2009

සත්‍ය ලියන මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම ජනතා වගකීමක්

මාධ්‍යවේදී ෂාරංග නානායක්කාර

නිදහසේ වේදිකාවේ හලාවත මහජන රැළිය පසුගිය සැප්තැම්බර් 12 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී දේශපාලන නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සභාව අමතා සිය අදහස් පළ කළ අතර
පහත පළ වන්නේ එහිදී නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ මාධ්‍යවේදී ශාරංග නානායක්කාර පළකළ අදහස් වලින් කොටස් කිහිපයකි.






සිරසට පහරදීල, බෝම්බ ගහල, වෙඩි තියල, විනාශ කර දමමින් දෙදාස් නමය අවුරුද්ද පටන් ගත්තෙ ජනමාධ්‍ය නිදහසට විශාල කළු පැල්ලමක් එකතු කරමින්. ඊට දවස් දෙකකට පස්සෙ මේ රටේ විතරක් නෙවෙයි

ජාත්‍යන්තරයේ පවා ප‍්‍රසිද්ධියට පත් වෙලා හිටපු ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා අධි ආරක්ෂිත කලාපයේදී මහ දවාලේ වෙඩි තබා ඝාතනය කළා.
ජනවාරි විසිහතර වෙනිදා මේ රටේ ප‍්‍රධාන ජාතික පුවත්පතක කර්තෘවරයෙකුට සහ එතුමාගේ බිරිඳට මහ මගදි පහර දුන්නා. මෙහෙම දිගින් දිගටම සිදුවෙන කොට හැමදාම අපි ජනමාධ්‍ය අමාත්‍යංශය ඉදිරියට ගිහින් උද්ඝෝෂණය කරනවා. ඒත් වැඩක් වුණේ නැහැ. ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන කොට, පහරදීම් සිදුවෙන කොට ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආයුධ සංසරණයක් සිදුවෙන නිසා කුමන කණ්ඩායමක් මේවා පිටුපස සිටිනවා ද යන්න හරියටම සොයා ගැනීමට අපහසුයි කියලා.

මාධ්‍යවේදියෙක් විදිහට මමත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට නිරන්තරයෙන් කතා කරනවා. මේ පහරදීම් ගැන ඇහුවම හැමදාම ඔහු කියන්නෙ පරීක්ෂණ පවත්වනවා කියන එකම කතන්දරය. අපි හිතුවා යුද්ධය ඉවර වුණාම ජනමාධ්‍ය වලට තියෙන මර්දනයන්, සහෝදර මාධ්‍යවේදීන්ට තියෙන තර්ජනයන් නැවතෙයි කියලා.
ඒත් යුද්ධය ඉවර වෙලා සතියයි ගියේ. ශ‍්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත මහතා සුදු වෑන් එකකින් පැහැර ගෙන ගිහින් කකුල කඩල, ගහල, අගලකට තල්ලූ කරල දාල යනවා. යාපනයේදී උදයන් පුවත්පත බෙදා හැරීමේදී උදුරගෙන ගිහින් පුච්චලා දානවා. මෙච්චර කල් අක‍්‍රීය වෙලා තිබුන පුවත්පත් මණ්ඩල පනත නැවත ක‍්‍රියාත්මක කරල පුවත්පත් කලාවේදීන්ව දණ්ඩනය කිරීමකට ලක් කරල තියෙනවා. තිස්සනායගම් කියන මාධ්‍යවේදියා තීරු ලිපියක් ලිවීමේ වරදට බරපතල වැඩ ඇතුව විසි වසරකට සිරගෙට යවනවා. ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් ඔවුන්ගේ වෘත්තීය කටයුත්තක් කිරීම නිමිත්තෙන් පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඊට පෙර අප පුවත්පතේ ජ්‍යොතිෂ ලිපි ලියන චන්ද්‍රසිරි මහත්මයා අපරාධ විමර්ශන අංශයේ දවස් දෙකක කාලයක් රඳවා තබා ගන්නවා.

අපි හිතුව යුද්ධය අවසන් වීමත් සමඟ ම මේ රටේ ජනමාධ්‍යවේදීන්ට සහ ආයතන වලට තිබුණ තර්ජනයන් නැතිවෙයි කියල. අද ජනාධිපති හා මැති ඇමතිවරු සෑම කෙනාම කියනවා මේ රටේ තිබුණ ත‍්‍රස්තවාදය ඉවරයි කියල. එහෙමනම් අපි අහනවා මොකටද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවම තියාගෙන ඉන්නෙ කියල.
එකම කාරණයක් නිසයි ආණ්ඩුව තවම මේ පනත තියාගෙන ඉන්නේ. ඒ ආණ්ඩුවේ විරුද්ධවාදීන් මර්දනය කරන්න. ජනමාධ්‍යවේදීන් මර්දනය කරන්න. ඒ නිසා අපි පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ එක දෙයයි. අපේ වෘත්තීමය අයිතිවාසිකම් රැකුණොත් විතරයි ඔබට ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නෙ. ඔබේ අයිතිය වෙනුවෙන් තමයි අපි මේ සටන් කරන්නෙ. ඒ නිසා යම් වගකීමක් ඔබටත් පැවරිලා තියෙනවා.

ජනමාධ්‍යවේදීන් වශයෙන් මේ වගේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, මාධ්‍ය සංවිධාන සිටින පුළුල් වේදිකාවකට ගොඩවීමේ අවශ්‍යතාව අපිට මතු වුණේ ඒ නිසයි. අපි සත්‍ය කතා කරනවා නම්, සත්‍ය ලියනවා නම් අපි වගේ අයව ආරක්ෂා කර ගන්න මේ වගේ මහජන ව්‍යාපාරයකට ඔබගේ යොමු වීම වැදගත් වෙනවා

Back to samabima
Back to platform

No comments:

Post a Comment