Friday, July 24, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට අවශ්‍ය යැයි සිතන ආණ්ඩු පක්ෂයේ අයටත් නිදහසේ වේදිකාව විවෘතයි


සිරිතුංග ජයසූරිය
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

ඔබ නිදහසේ වේදිකාවට සම්බන්ධ වුණේ ඇයි?
ආසන්නතම හේතුව වුණේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමත් එක්ක මතු වූ තත්ත්වය. නමුත් ඊට පෙර සිටම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, කතාකිරීමට ලිවීමට සහ ජීවත් වීමට තිබෙන නිදහස පිළිබඳ ප‍්‍රශ්නය බරපතල ලෙස සමාජ කතිකාවක් ලෙස මතුවෙමින් තිබුණා. ඒක දේශපාලන පක්‍ෂ වලට විතරක් සීමා වුණේ නැහැ. රටේ විවිධ සංවිධාන, වෘත්තීය සමිති ආදි සියලූ දෙනා අතරත් මේ කතිකාව ගොඩනැඟුණා. නමුත්, ලසන්තගේ ඝාතනයත් සමඟ සංයුක්ත කඩිනම් පියවරක් ගතයුතුයි කියන කාරණාව මත ඔහුගේ අවමඟුල වෙනුවෙන් රැස්වූ සංවිධාන, පුද්ගලයන් යන සියළුදෙනා එකතුවෙලා මේ වේදිකාව ගොඩනැගුවා. අපි පක්‍ෂයක් හැටියටත්, මම පුද්ගලයෙක් හැටියටත් කල්පනා කළා මේ අවස්ථාවේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජීවත්වීමට තිබෙන අයිතිය ආරක්‍ෂා කරගැනීමට අපිට අපේ පක්‍ෂ දේශපාලනය ඉක්මවා ගිය පොදු සමාජීය වගකීමක් තිබෙනවා කියලා. ඒ වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට ගොඩවදින්නට අපි තීරණය කළේ.

නිදහසේ වේදිකාව ආරම්භ කර මේ වෙන කොට ගත වු මාස හතක පමණ කාලය තුළ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔබට තිබෙන තක්සේරුව කුමක්ද?
මම හිතනවා නිදහසේ වේදිකාව මේ වෙන කොට මම කලින් කියපු පරමාර්ථයන් ඉටුකර ගැනීම සම්බන්ධයෙන් යම් වැදගත් වැඩ කොටසක් කරල තියෙනවා. නමුත් ඊට ගමන් කරන්න තිබෙන දුර සම්පූර්ණයෙන් ගමන් කළා කියන්නත් මම සූදානම් නැහැ. මොකද මීට වඩා වැඩි වැඩ කොටසක් කරන්න තියෙනවා. එම තත්ත්වයන් අපි බලන්නට ඕන අද සමාජය තුළ මතුවෙලා තිබෙන්නා වු දේශපාලන පරිසරය. මේ අතරවාරයේ තමයි උතුරේ යුධ ජයග‍්‍රහණයත් එක්ක ආණ්ඩුව ඒක තමන්ගේ පෞද්ගලික වාසියට පෙරලගෙන සිංහ කොඩිය පාලක පක්‍ෂයේ එහෙම නැත්නම් ආණ්ඩුවේ සංකේතය බවට පරිවර්තනය කරගත්තේ. ඔවුන් ඉතා විශාල ලෙස ඒක පාර්ශ්වික විදිහට අනෙක් සියළු බලවේග යටපත් කරගෙන ගිය ක‍්‍රියා කලාපයක් තුළ ඒ අසීරු කාලය සැලකිල්ලට ගැනීමේදි මම හිතනවා නිදහසේ වේදිකාව හැටියට කළ වැඩ කොටස පිළිබඳ යම් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා.

දේශපාලන පක්‍ෂ සමඟ සිවිල් සංවිධාන ඇතිකරගන්නා එකඟතාවන් එම පක්‍ෂ බලයට පත්වූ පසුව අමතක කර දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වලට පූර්ව අත්දැකීම් තිබෙනවා. දේශපාලන පක්‍ෂ නායකයෙක් විදිහට මෙවර එවැන්නක් සිදු නොවන බවට ඔබට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?
අපේ පක්‍ෂය ගැන මට විශ්වාසයක් තියෙනවා. නමුත් මේ ඒකරාශි වෙලා ඉන්න අනෙක් පක්‍ෂ වලින් ඔවුන් බලයට පත් වූ වෙලාවට පරිපූර්ණ ලෙස ඔය කියන කටයුත්ත ඉටු කරගන්න පුළුවන් කියල මට සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ ප‍්‍රශ්නය නැගූ ආකාරයටම අතීත අත්දැකීම් අනුව බැලූවාම විපක්‍ෂයේ සිටියදී පොරොන්දු දීපු ඉතිහාසයක් තියෙනවා. බලයට පත්වුනාට පස්සෙ ඒ සියලූ පොරොන්දු අමතක කරනවා. ඒ නිසා කිව යුතු වැදගත්ම කාරණය නම් මා දන්නා ප‍්‍රමාණයට මේ නිදහසේ වේදිකාව ගොඩනඟල තියෙන්නේ කිනම් හෝ දේශපාලන පක්‍ෂයක් බලයට පත්කිරීමට නෙවෙයි කියන පැහැදිලි ප‍්‍රතිපත්තියක අපි ඉන්නවා. ඒ නිසා මේ පක්‍ෂත් එක්ක නිදහසේ වේදිකාව දේශපාලන සම්මුතියකට යාමට හෝ මැතිවරණයකට තරඟ කිරීමට එකඟත්වයක් කොහෙත්ම නැහැ. ඒකට හේතුව මේ අය බලයට පත් කිරීමෙන් ඒ දේ කරන්න පුළුවන් කියන සහතිකය අපට ගන්න බැරි නිසා. එවිට ප‍්‍රශ්නයක් පැන නගිනවා අද කතාකිරීමේ නිදහස, ලිවීමේ නිදහස, මිනිස්සුන්ගේ ජීවත්වීමේ නිදහස ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරා දැමීම් සිදුවන අතරතුර අපි කොහොමද මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයාගන්නේ කියලා. මම හිතන්නෙ අපිට පිළිතුරු සොයාගන්න පුළුවන් වෙන්නෙ දැනට පවතින පක්‍ෂ රාමුවෙන් මිදිල ප‍්‍රබල මහජන බලවේගයක් ගොඩනැගීමෙනුයි. ඒ මහජන බලවේගය බලයට පත්කළොත් පමණයි අපිට ඔය කියන ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබාගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන සම්මත රාමුවේ දේශපාලන පක්‍ෂ වලින් විශේෂයෙන්ම ධනේෂ්වර පක්‍ෂ වලින් ඔය කියන කාරණාවට සිවිල් සමාජයට හෝ සාමාන්‍ය මහජනතාවටවත් කිසිම පිළිතුරක් ලබාගන්න බැහැයි කියල නම් මම හිතනවා.

මේ වෙනකොට සිවිල් සංවිධාන පාර්ශ්වයෙන් දේශපාලන පක්‍ෂ එක්ක එවැනි ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනාවක් ඇවිල්ල තියෙනවා. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?
ඒකෙ කිසි වරදක් නැහැ. ඇත්තටම මේ සාකච්ඡාවට එක්සත් සමාජවාදී පක්‍ෂයත් සහභාගි වුණා. නමුත් සිවිල් සමාජය හෝ මහජනතාව අපේක්‍ෂාකරන තත්වය සම්පුර්ණයෙන්ම ඉෂ්ඨ වෙයි කියල මම හිතන්නේ නැහැ. අර්ධ වශයෙන් ඉෂ්ඨ වෙන්න ඉඩ තියෙනවා. යම් විදිහකින් දේශපාලන පක්‍ෂ ඔවුන් බලයට පත් වූ පසු මේ දේවල් කරන්නේ නැහැ කියා එකඟත්වයකට හෝ බන්ධනයකට යටත් කරගන්න පුළුවන් කමක් තිබෙනවානම්, එම එකඟතාවය ජනතාවට යම්කිසි අවියක් හැටියට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැතුව මෙම කරුණු අපට නීති මාර්ගයෙන් හෝ ලියවිල්ලක් අත්සන් කරපු පමණකින් සාර්ථක කරගන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ.

වාමාංශික නායකයෙක් විදිහට එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකට වැඩ කිරීම සම්බන්ධයෙන් ඔබ දරන ස්ථාවරය මොකක්ද?
මම මුලින් කී ආකාරයට නිදහසේ වේදිකාව රටේ අද තිබෙන මර්දනයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියළු සිවිල් පුරවැසියන්ට පක්‍ෂ පාට භේදයකින් තොරව එකතු වෙන්න පුළුවන් තැනක්. නිදහසේ වේදිකාවේ තියෙන ඒ අළුත්කම නිසයි ඒක වෙනත් දේවල් වලින් වෙනස් වෙන්නේ. ඒ නිසා මං හිතන්නෙ ඒක අර පරණ රාමුවෙන්, පරණ කණ්නාඩියෙන් බලන්න ගියොත් අපි වැරදි තැනකට ගමන් කරනවා. මේක මහජන ව්‍යාපාරයක්. මම දකින විදිහට ඒකට තව ගොඩක් දුර යන්න පුළුවන්. මේ ව්‍යාපාරය කිසිම දේශපාලන පක්‍ෂයක අතකොලූවක් වෙන්නේ නැහැ. ඒ වගේම එක්සත් සමාජවාදී පක්‍ෂය කිසිම විදිහකින් එක්සත් ජාතික පක්‍ෂය සමඟ එවැනි දේශපාලන සම්මුතියකට යාමට බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

මේ එකමුතුව තුළ ප‍්‍රමුඛ පෙළේ වාමාංශික නායකයින් වන වාසුදේව සහ වික‍්‍රමබාහු දකින්න නැහැ. ඒ ඇයි?
වික‍්‍රමබාහු සහෝදරයා මේ එකමුතුවෙ මුල ඉඳල හිටිය විතරක් නෙවෙයි, ඔහු මීට බොහොම උනන්දුවෙන් සහභාගි වුණ කෙනෙක් හැටියටයි මම දැක්කේ. නමුත් මම හිතනවා බස්නාහිර පළාත් සභා ඡන්දෙදි වික‍්‍රමබාහු සහෝදරයා වෙනස් අදහසක් දරල මෙයින් ඉවත් වුණා. එහෙම නැතුව නිල වශයෙන් ඉවත්වුණු බවක් තවම අපට දන්වලා නැහැ. නමුත් ඉවත්වෙච්ච කෙනෙක් විදිහටයි වැඩ කටයුතු කරන්නේ. ඇත්තට ඒක කණගාටුදායක තත්වයක් කියල මම හිතනවා. බස්නාහිර පලාත් සභා ඡන්දයත් සමඟ ඔහුගේ ධූරය පිළිබඳ ඇතිවු ගැටළුත් සමඟ ක්‍ෂණික විසඳුම් සොයන්න ගිහිනුයි මේ වගේ තත්ත්වයක් ඇති වුණේ.වාසුදේව අද ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයෙක්. එතකොට ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයෙකුට මේ වේදිකාවට නගින්න බැරිද කියන කරණාවට කියන්න තියෙන්නේ ඔවුන් එනවා නම් පුළුවන් කියලයි. ඒ නිසා වාසුදේව ගැන මට කියන්න තියෙන්නෙත් ඒකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමට එරෙහි අය වගේම ලියන්න කියන්න තියෙන අයිතිය විනාශ කිරීමට විරුද්ධ අය ආණ්ඩුව ඇතුළෙත් ඉන්න පුළුවන්. ඒ අය මේ ආණ්ඩුවත් සමඟ තියෙන දීගෙ පවත්වා ගෙනයමින් මේ කටයුත්තට සම්බන්ධ වීම ඔවුන්ට ඉතාම අසීරු දෙයක් වේවි. ආණ්ඩුවේ එහෙම නැත්නම් ජනාධිපතිගේ අදහසට වෙනස් අදහසක් ඉදිරිපත් කරන අයට කොයිතරම් දුරට එකට ඉන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් ඕනතරම් අත්දැකීම් තියනවා පහුගිය කාලපරිච්ජේදය තුළ. දයාන් ජයතිලකට වෙච්ච දේම අපට හොඳ උදාහරණයක්. නමුත් මේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියළුදෙනාට විවෘත වේදිකාවක්.
අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනකොට බරපතල ප‍්‍රශ්නයක් පැන නගිමින් තියනවා. සිවිල් පරිපාලනය තුළට හමුදාව ඉතා වේගයෙන් ඇතුළත් කරමින් සමාජය හමුදාකරණය කරමින් සිටින්නේ. පාතාලය නැති කරන්න, හිරගෙදර වෙන ඳූෂණයන් නැති කරන්න කෝකටත් තෛලෙ වගේ හමුදාව ඇතුළත් කිරීමෙන් ප‍්‍රශ්නෙ විසඳීම ගැන සමහර ජන කොටස් කැමැත්තෙන් ඉන්නවා. හමුදාව සිවිල් පරිපාලනයට ඇතුළත් කරගන්නවා කියන්නේ යල් පැන ගිය දෙයක්. එල්ලූම් ගහ නැවත ක‍්‍රියාත්මක කරනවා කියන්නේ දියුණු ලෝකයෙන් හුඟක් ඈතට ගමන් කිරීමක්. ඒ නිසා මේ රට ඉතාම අඳූරු යුගයකට අනාගතයේ ඇදගෙන යෑමේ ඉතාම සියුම් ආකෘතිමය වැඩ කොටසක් මේ යුද ජයග‍්‍රහණය තුළ ක‍්‍රියාත්මක කිරීමටයි යන්නේ. ඒ නිසා මම හිතනවා නිදහසේ වේදිකාව හැටියට මේ කාරණාවන් ගැන ජනතාව අවදි කිරීමත්, දැනුවත් කිරීමත්, ජනතාවට මෙහි තිබෙන අනාගත අනිටු විපාක ගැන පෙන්වාදීමත් අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.

Back to samabima site
Back to platform site

Thursday, July 16, 2009

නිදහසේ වේදිකාව ශිෂ්ටත්වය සඳහා වන ව්‍යාපාරයක්

ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික
ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක

නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම පසුගිය ජුලි 12 වැනිදා තලවාකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී. වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන සහ තාලමුත්තු සුදාහරන් යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ. අද සමබිම ඔබ වෙත ගෙන එන්නේ එහිදී නීතිඥ ලාල් විජේනායක මහතා පළ කළ අදහස්ය.



අද ඔබ මෙතැනට ඒකරාශී වී සිටින්නේ දේශපාලන පක්‍ෂයක හෝ දේශපාලන අරමුණු ඉෂ්ඨකර ගැනීමටවත්, තමන්ගේ පුද්ගලික ප‍්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමටවත් නෙවෙයි. ශිෂ්ඨ සම්පන්න මිනිසුන් වශයෙන් ජීවත්වීමට හා මිනිසුන්ගේ මනුෂ්‍ය අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා ගෙනයන්නා වූ ව්‍යාපාරයකට සම්බන්ධ වීමටයි අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ.අපේ රට දීර්ඝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉතිහාසයක් තියෙන රටක්. නිදහස ලැබීමෙන් පසුව පමණක් නෙවෙයි නිදහස ලැබීමට පෙර අධිරාජ්‍යවාදී යුගයේදී පවා අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් බුක්ති විදපු රටක්. අපට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් නිදහස් කර ගැනීම සඳහා සටන් කිරීමට හැකි වුණා. එක්දහස් නමසිය තිස් ගණන්වල අධිරාජ්‍යවාදී සමාගම් වලට විරුද්ධව ඒ සමාගම්වල වැඩ කරපු අය වර්ජනය කළා. රජයට විරුද්ධව තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය භාවිතා කරමින් සටන් වැදුණා. එවැනි දේශපාලන අතින් ඉතා වැදගත්, දියුණු සංස්කෘතියක් තියෙන රටක් තමයි ශී‍්‍ර ලංකාව. එවැනි දේශපාලන සංස්කෘතියක් තුළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කියල කියන්නේ, මේ රටේ මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් වලට ගරු කරන, නීතියේ ආධිපත්‍යට ගරු කරන, අන්‍යයන්ගේ ස්වාධීනත්වයට ගරු කරන, පාලන ක‍්‍රමයක් ඒ රට තුළ තිබීමයි. අපි මොහොතක් අද රටේ සිදුවන්නේ මොනවද කියලා මෙනෙහි කරලා බලන්න ඕන.

අද අපේ රටේ පුරවැසියන් ලක්‍ෂ ගාණක් කඳවුරුවල ජීවත් වෙනවා. ඒවා අවතැන් වූවන්ගේ කඳවුරු නෙවෙයි. කිසිම නඩු විභාගයක් නැතුව, ඒ අයගේ නෑදෑයන් බලන්න යන්න දෙන්නේ නැතුව, ඒ අයගේ පදිංචි තැන් වලට යන්න දෙන්නේ නැතුව විශාල රැකවල් දාපු කඳවුරුවල රඳවා ගෙන ඉන්නවා. රෝග පැතිරිලා බෙහෙත් සහ නිසි සෞඛ්‍ය පහසුකම් නැතුව, නිසි වැසිකිළි පහසුකම් නැතුව ඔවුන් දුක්ඛිත ජීවිත ගත කරනවා. දවසකට සිය ගණන් මැරිල යනවා. ඒ කිසි දෙයක් ගැන ජනතාවට දැන ගන්න ලැබෙන්නේ නැහැ.

ඒ මොකද? ඒ හා සමාන්තරව ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, ජනමාධ්‍ය නිදහස සම්පුර්ණයෙන්ම තුරන් කරල තියෙන නිසා. අද නිදහසේ බය නැතුව අදහස් ප‍්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන එකම පත්තරයක්වත්, එකම ගුවන් විදුලි සේවයක් හෝ රූපවාහිනී නාලිකාවක්වත් නැහැ. ඒ හැම මාධ්‍යක්ම බය ගන්වලා. නැත්නම් මුදල් හෝ වරප‍්‍රසාද දීලා මිළට අරගෙන.

මේ තත්ත්වය ප‍්‍රකාශ කරන්න ඉදිරිපත් වුණ ජනමාධ්‍යවේදීන්ට අද රට හැරලා යන්න හෝ පරලොව යන්න වෙලා තියෙනවා. ලසන්ත වික‍්‍රමතුංග මැතිතුමා බය නැතුව අදහස් ප‍්‍රකාශ කළ මාධ්‍යවේදියෙක්. මුලින් ඔහුව දිනාගන්න උත්සාහ කළා. මර්දනය කරන්න උත්සාහ කළා. ඒ හැම දේම බැරි වුනාම අවසානයේ ඔහුව මරල දැම්මා. ආණ්ඩුව ඒ දෙන පණිවිඩය තමයි ‘අපිට විරුද්ධව ගියොත් වෙන්නේ මෙයයි’ කියන එක. ඒක තමයි අද රටේ හැම ක්ෂේත‍්‍රයකම ඇති වෙලා තියෙන තත්ත්වය. අපේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න අපට සම්පුර්ණ අයිතිය තියෙන්න ඕන. අද රටේ ස්වාධිපත්‍යක් තියෙනවද? අධිකරණය ඉදිරියේ වරදකරුවන් නොවුවත් නොයෙක් සාපරාධී කි‍්‍රයාවන්ට සැකකරුවන් විදිහට අත්අඩංගුවට ගත් හැම පුද්ගලයෙක්ම ආයුධ පෙන්වන්න ගියාම තමන්ට වෙඩි තියන්න ආවයි කියලා පොලීසිය එකම කතාව කියමින් ඔවුන්ව මරලා දානවා. නැත්නම් මැරෙන්න අරිනවා. අත්අඩංගුවට ගත්ත හැම සැකකරුවෙක්ම ආයුධ සොයන්න අරන් යන්නේ මාංචු දාගෙන. එහෙම අයවයි මරලා දාන්නේ. සමහර මිනිස්සු සන්තෝෂ වෙනවා පාතාලයේ කෙනෙක් නිසා එහෙම මරලා දාන එක හොඳයි කියලා. නමුත් මේ ක‍්‍රියාව මෙතනින් නවතින්නේ නැහැ. පසුගිය අවුරුදු දෙක හමාර තුළ හැට පස් දෙනෙකුට වඩා මරල දාලා තියෙනවා. පොලිසිය විසින් මිනී මැරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්තයි කියන්නේ ඒ පුද්ගලයා අසරණයි. නමුත් ඒ පුද්ගලයා අසරණ වුණා කියලා මරා දැමීම අමානුෂිකයි. ඒ වගේම මනුෂ්‍යකමට නිග‍්‍රහයක්. එවැනි මනුෂ්‍ය ඝාතන හෙලා දැකිය යුතුයි.

අද ආණ්ඩුවේ මත වලට එකඟ නොවෙන අය සලකන්නේ දේශද්‍රෝහියෝ කියලා. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව විභාග වූ අපහාස නඩුවකට පෙනී සිටි නීතිඥයන් තුන් දෙනෙක් දේශද්‍රෝහියෝ කියල නම් කරල ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියක සඳහන් කරල තියෙනවා.

මෙහෙම ගියොත් මේ රටේ තියෙන නීතියේ ආධිපත්‍යය නැති වෙනවා. මේව ගැන කිව්වම ආපස්සට කියනවා ජනාධිපතිතුමාට පහර ගහනවාලූ. ඒ වගේ ඇත්ත කියන්න බය, ඇත්ත කියන්න ඉදිරිපත් වෙන්නෙ නැති බුද්ධිමතුන් ඉන්න රටක් හැටියටයි අද මේ රට පත් වෙලා තියෙන්නේ. අද මේ රටේ කලාකරුවන්, මහාචාර්යවරුන් පවා බයයි. ඒ නිසයි නිදහසේ වේදිකාව විශිෂ්ට වෙන්නේ. අපි හැමෝම වැරැද්දක් සිදුවෙන කොට ඒක වැරදියි කියලා හඬ නගන්න ඉදිරිපත් වෙන්න ඕන. මේ ව්‍යාපාරය තිබුණොත් පමණයි රටේ ජනතාව ශිෂ්ඨ සම්පන්න ජනතාවක් වෙන්නේ. එහෙම නැතුව බලයට සහ වාසියට යට වුණොත් ඒ සමාජය සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා. ජනතාවගේ අයිතීන් එකින් එක උදුර ගනිමින් ප‍්‍රජාව විනාශ කිරීමේ වැඩපිළිවෙළකට යමින් සිටිනවා. ඒකට ප‍්‍රධානම හේතුව රටේ තියෙන පාලන ක‍්‍රමයේ තිබෙන්නා වූ දූෂිතභාවය සහ දුර්වලතා. රජයට විරුද්ධව ජනතාව පෙළ ගැසීම නතර කිරීමට එක්තරා ආකාරයකට ප‍්‍රධාන බලවේගයක් ක‍්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ නිසා තමයි මම නැවත නැවතත් නිදහසේ වේදිකාව මේ තරම් වැදගත් කියන්නේ.

මේ විදිහට රට විනාශය කරා යන්න ඉඩ දෙන්න බැහැ. නොයෙක් පක්‍ෂවල, නොයෙක් රාජ්‍ය නොවන සංවිධානවල ඉන්නා පිරිස් එක් රැස්වී මෙය කළ යුතුයි. එකතු වෙලා රට පුරාම අපි ආශ‍්‍රය කරන හා නොකරන පිරිස් වලට මේ ව්‍යාපාරය ගැන පණිවිඩය ගෙනියන්න ඕන. මනුෂ්‍යයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි ඉදිරිපත් විය යුතුයි කියන හඬ ජනතාව අතරට ගෙන යා යුතුයි. මේ පුළුල් එකතුවට ඒ වෙනුවෙන් පනතක් ගේන්න හැකියාවක් තියෙනවා. අපේ රටේ නොයෙක් අවස්ථාවල අද වගේ මිනිස් ඝාතන සිදුවී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයට තර්ජන ඇති වෙලා තියෙනවා. ඒ ආපු තර්ජන හැම එකකටම ජනතාවට මුහුණ දෙන්න පුළුවන් වෙලත් තියෙනවා. අපි කොයිතරම් අවස්ථාවල ආයුධ අතට නොගෙන මේ රටේ ඉතා බලවත් පුද්ගලයන්ගේ ආණ්ඩු ගණනාවක් වෙනස් කරල තියෙනවද? සර් ජෝන් කොතලාවල, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වගේ බලවත් පුද්ගලයන්ගේ ආණ්ඩු වෙනස් කරන්න ජනතාවට ශක්තිය එදා තිබුණා. ඒ ශක්තිය තියෙන තාක් විතරයි ජනතාවගේ හඬට ඇහුම් කන් දීමේ අවශ්‍යතාවක් පාලකයන්ට උද්ගත වෙන්නේ.මම මේ නිදහසේ වේදිකාව ඉදිරියේදී තව තවත් රටේ ජනතාවගේ සැබෑ නියෝජිතයෝ නියෝජනය කරන්නා වූ සංවිධානයක් බවට පත් වේවායි පතනවා.

Back to Home
Back to Platform site

Monday, July 13, 2009

නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම අද (ජුලි 12)තලවකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන, තලමුත්තු සුදාහරන්, යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ.
(more photo)
මෙහිදී අදහස් දැක්වු නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා සදහන් කළේ 2009 වසර ආරම්භ වුයේ සිරස මාධ්‍ය ජාලයට පහරදී, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමෙන් බවය. ”මේ සිද්ධීන් ඇතිවෙන තත්ත්වයට රටේ පරිසරය සකස් වී තිබුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස්සුන්ට අයිති දෙයක් මිස රජයට අයිති දෙයක් නොවන අතර එය රැක ගැනීමට පුරවැසියන් එක්රැස් විය යුතුයි. නිදහසේ වේදිකාව දේශපාලන පක්ෂවලට කිහිලිකරුවක් හෝ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් නොවන අතර මෙය සාමකාමී ව්‍යපාරයක් පමණයි.”

අද ආණ්ඩුවේ මතයට විරුද්ධ නීතිඥවරුන් දේශද්‍රෝහීන් ලෙස නම් කරමින් රජයේ ආරක්ෂක වෙබ් අඩවියේ නම් ප‍්‍රසිද්ධ කර ඇති බව කියමින් අදහස් දැක්වු නීතිඥ ලාල් විජේනායක මහතා අද ලංකාව ඇත්ත කීමට ඉදිරිපත් නොවන බුද්ධිමතුන් ඉන්නා රටක් බවට පත්ව ඇතැයි කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු සිවිල් සංවිධාන සාමාජික තලමුත්තු සුදාහරන් මහතා පැවසුයේ වතුවල ජීවත් වන ජනතාව මේ වන විට ලංකාවේ වසර දෙසීයයක් ජීවත් ව ඇති නමුත් තවමත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිඳු පාලකයෙකු ඉදිරිපත් වී නැති බවත්ය. වතුකරයේ සිටින ජනතාව මේ රටට කිසිදිනෙක ද්‍රෝහීකමක් කර නැති මුත් ඔවුන්ගේ හඬට කන් දීම පාලකයන් පැහැර ඇති බවත් ඔහු පැවසීය.

දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සහභාගී වු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා, රජය වසර තිහක් පූරා තිබු ත‍්‍රස්තවාදය පරාජය කළත් තවමත් සාමය දිනාගෙන නැති බව කීවේය. ”අද කවුරුන් හෝ එල්.ටී.ටී.ඊ ය ඉවර වු නිසා ඒ ප‍්‍රශ්නයත් ඉවරයි කියා හිතනවා නම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ. එල්.ටී.ටී.ඊ ය කියන්නේ දරුණු රෝගයක රෝග ලක්ෂණ විතරයි. දැනට සනීප කරලා තියෙන්නේ ඒ රෝගයේ පොඩි තුවාලයක් විතරයි. මේකට ශක්තිමත් බෙහෙතක් නොදුන්නොත් රෝගය මීට වඩා භයානක විදිහට මතුවෙයි. මේ ආණ්ඩුව මේ ප‍්‍රශ්නය ගෙන යන ආකාරයෙන් අනිවාර්යෙන්ම තවත් පුංචි ප‍්‍රභාකරන්ලා දහස් ගණනක් බිහි වේවි. කරුණාකරලා මේ ප‍්‍රශ්නය විසඳන්න තමන්ගේ මතය මොකක්ද කියලා මහින්ද රටට කියන්න ඕන. විශ්වාසය දිනාගන්නවා වෙනුවට වෙනම රටක් නොඉල්ලපු දෙමළ ජනතාව ඒ පැත්තට තල්ලූ කරමින් සිටිනවා.”

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා, අද රාජ්‍ය මාධ්‍යවල එකම කාර්යය විපක්ෂය විනාශ කිරීම බවත්, බොරු ප‍්‍රචාර කරමින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට උත්සාහ කරන බවත් පැවසීය. තමා පවතින ආණ්ඩුවේ බලශක්ති ඇමතිවරයා වශයෙන් සිටි නිසා ඉතා පැහැදිලිව දන්නා කරුණක් ලෙස ලෝකයේ වැඩිම මිලට පෙට‍්‍රල් විකුණන රට ලංකාව බව ප‍්‍රකාශ කළ හැකි යැයිද සඳහන් කළේය. අදටත් රුපියල් හැත්තෑවට පෙට‍්‍රල් ලීටරයක් දීමේ හැකියාව මේ රජයට පවතින නමුත් එසේ නොකර ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත් කරන බව පැවසීය.

නීතිඥ රවී ජයවර්ධන කතා කරමින් පැවසුවේ යුද්ධය අවසන් කර මාස දෙකක් ගතවීත් වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට රජය අසමත්ව ඇති බවය. අවස්ථාවාදය, බඩගෝස්තරවාදය, තම පෞද්ගලික දේශපාලන අරමුණු පෙරටු කොටගත් ඊනියා දේශප්‍රේමීන්ගේ වුවමනාවන් ඊට හේතුවී ඇතැයි ඔහු කීවේය. ඉන් කොටසක් ඔටුන්නක් දාගෙන සිටින බවත්, තව කොටසක් හක්ගෙඩි පිඹින බවත්, තවත් කොටසක් කරත්ත රෝදයක් තල්ලූ කරමින් සිටින බවත් කීවේය. සිංහල සහ දමිළ භාෂාවෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සිංහල, දෙමළ හා මුස්ලිම් විශාල පිරිසක් සහභාගී වුහ.

Back to Home

Sunday, July 12, 2009

සිවිල් සමාජය දේශපාලන පක්ෂ සමඟ ගිවිසුමක් ඇති කර ගන්නේ ආණ්ඩු පිහිටුවන්න නොවෙයි; ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගන්නයි

නීතිඥ ජේ.සී.වැලිඅමුණ
නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික


නිදහසේ වේදිකාව තුළ සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සමඟ ඒකරාශීව සිටින්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩ නඟා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා අවශ්‍ය වන දේශපාලන,ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ එකඟතා ලියවිල්ලක් මහජනයා අතර සිදු කරන සාකච්ඡා මාලාවකින් පසු සකස් කොට එය පදනම් කරගෙන දේශපාලන පක්ෂ සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය ජූනි 26 වැනිදා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් නිදහසේ වේදිකාව මඟින් කැඳවා තිබූ අතර එහිදී සිවිල් සංවිධාන සාමාජිකයෙකු මතුකළ ප‍්‍රශ්නයක් වූයේ අවශ්‍ය අවස්ථාවක අධිකරණය ඉදිරියට යාමට හැකි පරිදි සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ අතර නීතිමය ලියවිල්ලක් අත්සන් තැබීමට හැකිද යන්නයි. මීට පෙර අවස්ථාවල ඇති කර ගත් එවැනි එකඟතා දේශපාලන නායකයින් විසින් කඩ කළ විටදී ඊට එරෙහිව සිවිල් සංවිධාන වලට ගතහැකි පියවරක් නොමැති වූ බවද ඔහු එහිදී මතු කළේය. මේ ප‍්‍රශ්නය අපි නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා වෙත යොමු කළෙමු. වැලිඅමුණ මහතා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ය.


සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ අතර ඇති කර ගැනීමට නියමිත එකඟතා ගිවිසුම නීතියෙන් බලාත්මක කළ හැකි සම්මුතියක් බවට පත්කර ගත හැකි ද?
දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය අතර තියෙන බැඳීම ඓතිහාසික එකක්. ප‍්‍රංශ විප්ලවයෙන් පසු මතුවූ විවිධ හේතූන් මත සමාජ සම්මුති න්‍යාය බිහි වුණේ ඒ විදිහට. මේ තත්ත්වය කාලයක් පුරා දියුණු වෙමින් ඇවිත් අද දේශපාලන පක්ෂ හා සිවිල් සමාජය එකිනෙකා සමඟ ගිව්සුම් වලට බැඳෙන පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. පක්ෂයක් බලයට ආපසු හෝ ඔවුන් තම ඉදිරි ගමන තීරණය කිරීමේදී මෙවැනි ගිවිසුම් වෙත යා හැකියි. ඒ වගේම සමහර විට රටේ ප‍්‍රගමනය ඇති කරන කාරණා සම්බන්ධයෙනුත් ගිවිසුම් වලට යාමේ ඉඩක් තියෙනවා. නමුත් මෙය මෙතෙක් අප අත නොගැසූ කාරණයක්. ඒ නිසා සිවිල් සමාජය සමඟ ගිවිසුම් වලට එළැඹීම අපිටත් ආධුනිකයි. දේශපාලන පක්ෂ වලටත් ආධුනිකයි. විශේෂයෙන්ම මෙම ගිවිසුම් වලට එළැඹෙන්නේ ඒවා උසාවි මඟින් ක‍්‍රියාත්මක කරන්න නෙවෙයි. ඒ නිසා මේවා සම්බන්ධයෙන් නීතිමය නොවුණත් සදාචාරාත්මක බැඳීමක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ගිවිසුම් මඟින් දේශපාලන පක්ෂ සමඟ සන්ධාන වලට යන්න නෙවෙයි. අපට අවශ්‍ය රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් සුරක්ෂිත කරන පාලනයක් බිහි කරගන්න. එහි වාසිය දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට අත්වේවිද කියන කාරණය අපිට අදාළ නැහැ. නමුත් නියත වශයෙන්ම ජනතාවට එයින් වාසියක් අත්වෙනවා.

මෙවැනි ගිවිසුමකට එළැඹීමට ලංකාවේ පවතින නීතිය අනුව හැකියාවක් තියෙනවද?
ලංකාවේ තියෙන ගිවිසුම් නීතිය අනුව මූල්‍යමය වටිනාකම් තිබුණත් නැතත් ගිවිසුම් ඇති කර ගත හැකියි. ඒ අනුව මෙවැනි ගිවිසුමකට ඉඩක් වගේම වටිනාකමකුත් තියෙනවා. එතැනදී මෙහි වලංගුභාවය පවතින්නේ සදාචාරාත්මක වශයෙන්. බොහෝ විට දේශපාලන පක්ෂ වාචිකව විවිධ පොරොන්දු දෙනවා. විවිධ බැඳීම් වලට එනවා. නමුත් ඒවා ලිඛිතව තියෙනකොට වාචිකව තියෙනවාට වඩා බලපෑම් කිරීමේ හැකියාව වැඩියි. එවැනි අවස්ථාවල ගිවිසුම් වලට අදාළ සෑම පාර්ශ්වයකටම විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ ඉඩක් ඇතිවෙනවා. කිසිවෙකුට ඇඟිලි ගැසීමේ හැකියාවක් නැහැ. අභූත චෝදනා නැඟීමට ඉඩක් නැහැ.

කොහොමද එවැනි ක‍්‍රියාවකට යන්නේ?
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට සිවිල් සමාජය වගේම දේශපාලන පක්ෂත් කැපවීමෙන් ඉන්නා බව පෙන්විය යුතුයි. මෙය දේශපාලන පක්ෂ බලයට එන්න පාවිච්චි කරන සටන් පාඨයක් කරගන්නේ නැතුව මේ සම්බන්ධයෙන් ලිඛිතව පොරොන්දුවක් වෙන්න ඕන. අපි මේ එකඟතා වලට යන්නේ දේශපාලන පක්ෂයක් ලෙස නෙවෙයි. මේක සන්ධාන ගොඩනඟන්න ගෙන යන උත්සාහයකුත් නෙවෙයි. මේක ජනතාවගේ පාර්ශ්වයෙන් ගන්නා ප‍්‍රගතිශීලී පියවරක්.

ලෝකයේ වෙනත් රටවල මෙවැනි බලවේග ඇති වී තිබෙනවද?
විශේෂයෙන්ම ප‍්‍රජාව මර්දනය කල අවස්ථාවල ලෝකයේ බහුජන ව්‍යාපාර මතු වෙලා තියෙනවා. නමුත් ඒ ව්‍යාපාර ඇති වෙලා තියෙන්නේ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති තනි තනියම දියත් කරපු වැඩසටහන් හරහා නෙවෙයි. සියලූ පාර්ශ්වයන්ගේ එකතුවක් හරහා බිහි වූ ජන බලවේගයක් තුළිනුයි එම ව්‍යාපාර සාර්ථක වෙලා තියෙන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම යන එකම අරමුණ වටා රොක් වෙලා ආණ්ඩු බලය පවා වෙනස් කරපු මහජන ව්‍යාපාර තියෙනවා. පිලිපීනය, නේපාලය එවැනි බලවේග ඇති වූ රටවල්. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ගැනීමට කිසියම් ජන බලවේගයක් ගොඩනැඟීමයි.

නිදහසේ වේදිකාව මේ වෙන කොට ප‍්‍රධාන විපක්ෂය ඇතුලූ අනෙක් විපක්ෂ කණ්ඩායම් සමඟ මේ සම්බන්ධයෙන් එකඟතාවකට ඇවිත් තියෙනවා. ඒ ආකාරයටම ආණ්ඩු පක්ෂය සමඟත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවාද?
ඔවුන් එක්ක සාකච්ඡාවකට යාම ගැන තවම තීරණයක් අරගෙන නැහැ. නමුත් ඔවුන් හා සාකච්ඡාවක් කළ යුතුයි. නමුත් ඒ ආණ්ඩුව එක්ක සන්ධානගත වෙන්න නෙවෙයි. රජය කියන්නේ දේශපාලන බලය තියෙන අය. එනිසා ඔවුන් සමඟයි කේවල් කරන්න වෙන්නේ. එය කළ හැක්කේ යම්කිසි ආකාරයකට නිල වශයෙන් සාකච්ඡා වටයක් ඇති වූ පසුයි. නිදහසේ වේදිකාව තුළ කළ නොහැකි දෙයක් නැහැ. ඒ නිසා නිදහසේ වේදිකාවට ඒ කාරණය ගැන අවශ්‍ය වෙලාවකදී මැදිහත් වීමක් කලහැකියි. භාෂණයට සහ ජීවත් වීමේ අයිතියට ඇති ඉඩකඩ ආරක්ෂා කරගන්න සිදු වෙලා තියෙන්නේ රාජ්‍ය බලය මඟින් එන පීඩනයට එරෙහිවයි. එනිසා මෙවැනි අවස්ථාවක රජය සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගනුදෙනුවකට යාමට සිදු වෙනවා. එය බැහැර කළ නොහැකියි. නමුත් එය සිදු වන්නේ අදද හෙටද කියන්න බැහැ.

Back home
Back to Platform

Friday, July 3, 2009

ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ කොළඹ සමුළුව

ජිවත් වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම උදෙසා ජනතා බලවේගයක් සංවිධානය කර ගැනීම පිණිස ගොඩනැගුණු ‘නිදහසේ වේදිකාව’ දේශපාලන පක්ෂ, සිවිල්, මාධ්‍ය, කලා, කාන්තා සංවිධාන, වෘත්තීය සමිති, සහ වෘත්තිකයන්ගේ එකතුවෙන් සෑදුනු පුළුල් බලවේගයකි.රටේ වර්තමාන තත්ත්වය හමුවේ සිවිල් සංවිධාන මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමේ සමුළුවක් පසුගිය ජුනි 26 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹට කැඳවා තිබු අතර මෙම සමුළුව සඳහා නියෝජිතයන් සියයකට ආසන්න පිරිසක් සහභාගී විය. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතයන් සහ නිදහසේ වේදිකාවට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයන් අතර විවෘත සාකච්ඡාවක් සංවිධානය කර තිබු අතර එහිදී නැඟුණු ප‍්‍රශ්න සමහරක් ද, ඒවා පසුබිම් කරගෙන පක්ෂ නායකයන් දැක්වු ප‍්‍රතිචාර ද පළ කිරීමට ‘සමබිම’ දරන ලද උත්සාහය පහත දැක්වේ.





1) මිනිස්සුන්ට නිදහසේ ජීවත්වෙන්න, මියයන්න රාජ්‍ය භීෂණයෙන් තොර විය යුතුයි. අද රටේ ඇති වී තිබෙන තත්ත්වයට එක්සත් ජාතික පක්ෂය වගේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකිව යුතුයි. ඒනිසා ඔබ බලයට ආ පසු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවද?
කු.ම.නිමල් - කුරුණෑගල මානව සංවිධානය

2) පැමිණ සිටින ඇතැම් දේශපාලන නායකයින්ගේ අතීත දේශපාලන ක‍්‍රියාකාරකම් පිළිබඳ අපට විවේචන තියෙනවා.විශේෂයෙන්ම ඔවුන් දෙමළ ජනයාගේ ප‍්‍රශ්න ගැන තැකීමක් කළේ නැහැ.ඔවුන් වෙනුවෙන් සාධාරණ දේශපාලන විසඳුමක් ගෙන එනවාද?
රෝහිනී වීරසිංහ - කාන්තා ශක්ති සංවිධානය

3)අද ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර ඇමතිවරු විපක්ෂයේ ඉද්දී අපේ මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත‍්‍රීවරු. එහෙම වෙන්නේ විපක්ෂයේ ක‍්‍රියාකාරිත්වය ශක්තිමත් මදි නිසාද?
ජී.එස්.ගරුසිංහ - කුරුණෑගල දේවසරණ සංවර්ධන කේන්ද්‍රය

4) අද ජනතාව තමන්ට රජෙක් ඉන්නවා කියනවා. නමුත් මානව අයිතිවාසිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්, සමානාත්මතාව වැනි කාරණා සුරක්ෂිත වෙලා නැහැ.ඔබට පුළුවන්ද මේ අයිතීන් ජනතාවට සුරක්ෂිත කර දෙන්න.
සමන්ත කුමාර ඈපා - අනුරාධපුර

5) විවිධ දේශපාලනඥයන් බලයට එනවා. ඔවුන් එතැනට එන්න සිවිල් සමාජය විවිධාකාර ලෙස උපයෝගී කර ගන්නවා. නමුත් ඔවුන් බලයට ආපසු සුපුරුදු ලෙස ක‍්‍රියා කරනවා මිස පවතින ව්‍යුහය වෙනස් කරන්නේ නැහැ. ඔබලා බලයට ආ විට ව්‍යුහයේ වෙනසක් කරන බවට පොරොන්දු වෙනවාද?
ගීතා ලක්මිණී - ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය

6)
i. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු සමයේ දෙමළ ජනතාවට විශාල වශයෙන් හිරිහැර සිදුවුණා. අදත් සිදුවෙන්නේ ඒකමයි. යුද්ධය ඉවර වෙලත් තාමත් මඩකලපුවට යනකොට එදා තිබුණ මාර්ග බාධක එකක්වත් ඉවත් කරලා නැහැ. ඔබලා බලයට ආ විට මෙම ක‍්‍රියාවලිය නැවත වෙන්න දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවාද?
ii. වාර්ගික ආර්බුදයට දේශපාලන විසඳුමක් ගැන ඔබගේ ස්ථිර තීරණය කුමක්ද ? 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම ගැන පැහැදිලි මතයක් තිබෙනවද?
iii. අතීතයේ සිදුවීම් සමඟ සැසඳීමේදී ඔබලාව විශ්වාස කිරීමට අපට දෙන සහතිකය කුමක්ද ?
iv. එක්සත් ජාතික පක්ෂය යුද්ධයට ප‍්‍රශංසා කරන කොට මනෝ ගනේෂන් මන්ත‍්‍රීවරයා ඔවුන් සමඟ එකට වැඩ කරන්නේ කොහොමද?
ජේසුදාසන් - ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය

7) අද රටේ පාලනය ගෙනි යන්නේ හදිසි නීතිය මඟින්. හදිසි නීති විවාදයේදී මඟහැර යනවාට වඩා ඊට විරුද්ධව ඡන්දය දීමයි වැදගත්. ඔබලා හදිසි නීතියට පාර්ලිමේන්තුව තුළ පක්ෂව ඡන්දය දෙනවද?
සෝමසිරි දේශප‍්‍රිය- කුරුණෑගල මානව හිමිකම් සංවිධානය

8)
i. අද මේ ආකාරයට එකතු වී කරන කටයුතු පසුව දේශපාලන අවශ්‍යතා සඳහා ඈදා ගන්න උත්සාහ කරනවද?
ii. එක්සත් ජාතික පක්ෂයේ සමහරු කරන ”යුද්ධයට අඩිතාලම දමා දුන්නේ අපි” වැනි ප‍්‍රකාශ ගැන මොකද කියන්නේ ?
iii. අවශ්‍ය වුණොත් පසු කලෙක අධිකරණය ඉදිරියට යාමට හැකි පරිදි සිවිල් සංවිධානවල එකඟතාවලට අනුව නීතිමය ලියවිල්ලකට අත්සන් තබනවද?
ලක්ෂ්මන් විජේකෝන් - එස්.සි.අයි.සංවිධානය, මහනුවර

9)
i. අවතැන් කඳවුරුවල වයස්ගත වූවන් සහ ගැබිණි මවුවරුන් විස්සක් පමණ දිනකට මිය යනව කියලා ආරංචියක් තියෙනවා. ඒ ගැන සොයා බැලීමට විපක්ෂයට හා නිදහසේ වේදිකාවට වගකීමක් නැද්ද?
ii. ඩෙංගු වසංගතය පාලනය කිරීමට බැරි තරම් පැතිරිලා. විපක්ෂය විදිහට ඩෙංගු වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬක් නඟන්නේ නැද්ද?
iii. ඔබ බලයට පත් වුවහොත් ස්ත‍්‍රීන්ට 30%ක නියෝජන බලය දෙනවද?
iv. යුද්ධයෙන් වඩාත්ම අසරණ වුණේ කාන්තාවන් හා ළමුන්. යුද්ධය පවතින අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය යුද්ධයට ආවැඩුවා. ඔබලා කොහොමද එවැනි තත්ත්වයක සිට මේ එකමුතුවට සහයෝගය පළකරන්නේ.
v. වික‍්‍රමබාහු සහෝදරයා සහ ඔහුගේ පක්ෂය නිදහසේ වේදිකාව සමඟ සම්බන්ධයක් නැද්ද? ඔවුන්ට එයට ගොඩවීමට ආරාධනා කළේ නැද්ද?
ස්ටෙලා පිලිප්ස් - ගෘහමුලිකත්ව කාන්තා කණ්ඩායම

10). අපි සියලූ දෙනා නිදහසේ වේදිකාවත් එක්ක අභියෝග බාරගෙන ඉදිරියට යාමට සුදානම්. දේශපාලන පක්ෂ වශයෙන් ඔබලාත් එයට ගොඩවී සිටිනවා. නමුත් බලයට පත් වූ පසු ඔබලා සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය අමතක කර දමනවා නම් ඊට සිවිල් සමාජයෙන් ලැබෙන්නට තියෙන උත්තරය භයානකයි. සිවිල් සමාජයත් පාඩම් ඉගෙන ගන්නවා. එදාට අපි මීට වඩා ශක්තිමත්ව ඔබලාට එරෙහිව නැගී සිටිනවා.
මොහොමඞ් මුසම්මිල් කාදර් - සමාදාන සංවිධානය, මහනුවර



ප‍්‍රභාකරන් ප‍්‍රශ්නයේ දරුවා මිස ප‍්‍රශ්නය ප‍්‍රභාකරන්ගේ දරුවා නෙවෙයි


විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

අපි අතර එක මතයක් නැහැ. විවිධ වාද විවාද ඇති වෙනවා. නමුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන ප‍්‍රශ්නයට අපි සියලූදෙනා එකඟයි. අද අපි තවදුරටත් අතීතය ගැන තර්ක කරනවාද? මෙතැනින් ඉදිරියට යනවාද? එක්සත් ජාතික පක්ෂය වශයෙන් අපේ වැරදි තියෙනවා. අපේ විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂවල අතීත වැරදි තියෙනවා. නමුත් පළමුව අපි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි. දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීම ගැන සිතිය යුතුයි. අද ආරක්ෂක අංශයේ ඉහළ පත්කිරීම් සිදුවන ආකාරය ගැටළුවක්. සියලූ මාධ්‍ය පීඩාවට පත්වෙලා ඉන්නේ. ඒ නිසා මේ අයිතීන් ආරක්ෂා කරගන්න අපි යන මාර්ගය සහ අපේ කාලවේගය ප‍්‍රබල වෙන තරමට ආණ්ඩුවට එහි බලපෑමක් ඇතිවෙනවා. අපි කොහොමද පවතින ව්‍යවස්ථාව වෙනස් කරන්නේ? ශ‍්‍රී ලාංකීය අනන්‍යතාව පදනම් කරගෙන සියලූ දෙනාටම සමාන ලෙස ජීවත්විය හැකි සැකැස්මක් සකස් කළ යුතුයි. කොළඹ හා සෑම දිස්ත‍්‍රික්කයකම සීමිත භූමි භාගයකට පමණක් කේන්ද්‍රගතවී තිබෙන සංවර්ධනය අනෙක් කොටස්වලට ව්‍යාප්ත කළ යුතුයි. මේ දේවල් කරන්න බහුතරයේ සහයෝගය අවශ්‍යයි. ආර්ථික හා දේශපාලනික බලය ලබා ගැනීමට සක‍්‍රීය ලෙස ක‍්‍රියාත්මක වෙමු. මේ පවතින ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් දිය යුතුයි. උතුරේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාව රඳවා ඉන්න මැණික් ෆාම් අවතැන් කඳවුර දකුණේ නගර ගණනාවකට වඩා විශාලයි. මේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය යුතුයි. ප‍්‍රභාකරන් ප‍්‍රශ්නයේ දරුවා මිස ප‍්‍රශ්නය ප‍්‍රභාකරන්ගේ දරුවා නෙවෙයි.දැනට පවතින විධායක ජනාධිපති ක‍්‍රමය නිසා අපි ඒකාධිපති පාලනයකට යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවට වග කියන පාලනයක් අපට අවශ්‍යයි. ඒ ගැන අපි සාකච්ඡා කරමු. නීතියේ ආධිපත්‍ය ක‍්‍රියාත්මක කිරීම නීතිපති දෙපාර්තමේන්තුවට අයත් කාර්ය භාරයක්. එය හරියට සිදුවෙන්නේ නැහැ. අපි ඒ ගැනත් කතා කරමු. පුවත්පත් මණ්ඩලය අහෝසි කළ යුතුයි. මම එයට එකඟයි. ඒවාගේම සමාජ, ආර්ථික දියුණුව ඇති නොකර රට සංවර්ධනය කළ නොහැකියි. අපේ ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය රාජ්‍යය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම අනුව ජනතාව බඩගින්නේ තබන්නේ නැති බවට රජයක් කටයුතු කළයුතු බව අර්ථ නිරූපණය කරන්න පුළුවන්. නමුත් මේ වෙන කොට ඒවා වෙනත් නීති ප‍්‍රතිපාදන වලින් යටපත් වෙලා. අපි මෙතනට එකතුවෙලා ඉන්නේ අනාගතයේ පොදු ක‍්‍රියාවලියකට යන්න. මේක ආරම්භයක් විතරයි, අවසානයක් නෙවෙයි. පක්ෂයේ අනෙක් අය සමඟ අපි හා ඔබ කතා කරමු. දැනටමත් අවතැන් කඳවුරුවලට යන්න දෙන්න කියලා අපි නඩු දාලා තියෙනවා. ඒවා වාර්තා නොවෙන එකයි ප‍්‍රශ්නේ. ඩෙංගු ගැනත් කතා කළා. ඒත් මාධ්‍ය ඒවා වාර්තා කරන්නේ නැහැ. එදා මාධ්‍ය අපෙන් අහනවා මේවා සම්බන්ධව වැඩ කරන්නේ නැද්ද කියලා. අද අපි කියන දේවත් දාන්නේ නැහැ. මේක ගම් මට්ටමින් ගෙන යා යුතු සංවාදයක්. අපි අතර විවිධ විවේචන තිබුණත් අපි එකට වැඩ කරමු. එක්සත් ජාතික පක්ෂය හැමදාම නිදහසේ වේදිකාව සමඟ ඉන්නවා. අපි කතා කරල අවසානයේ මැද තැනකට එමු. නීතියෙන් එය කරන්න බැහැ. ජන බලවේගයකිනුයි එය කළ යුත්තේ. අපි කොහොමද එකතුවෙලා වැඩ කරන්නේ කියන කාරණයට මට කියන්න තියෙන්නේ අපි අලූත් ක‍්‍රමයක් තුළ ප‍්‍රජාව එකතු කරගෙන මේ ගමන යන්නේ. එයට සහයෝගය දෙන්න.



මම එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණවලට යන්නේ නැහැ

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය

සභාවේ මතු වුණේ වැදගත් මෙන්ම කාලීන ප‍්‍රශ්න. ඒවා මතුවීම වාමාංශික දේශපාලනඥයෙකු ලෙස මා බලාපොරොත්තු වුණා. ඒ බොහෝ ප‍්‍රශ්න එල්ල වුණේ විපක්ෂ නායකයා වෙත. යළි පක්ෂයක් බලයට එනවා නම් ඒ එන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ප‍්‍රශ්න එල්ල වුණේ ඔහුට. මෙතෙක් කල් එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධව කටයුතු නොකළ මට හා මගේ පක්ෂයට නිදහසේ වේදිකාව හරහා අද මේ වේදිකාවට ගොඩ වී එක්සත් ජාතික පක්ෂය සමඟ ඉන්න සිදු වුණා. එක්සත් ජාතික පක්ෂයෙන් තොරව මේ බලවේගය ඉදිරියට ගෙන යන්න අපහසුයි. නමුත් මම කවදාවත් එක්සත් ජාතික පක්ෂය සමඟ මැතිවරණවලට යන්න හදන්නේ නැහැ. පවතින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දරදඬු, පොලිස් හා මිලිටරි පාලනයෙන් යුතු රජයක්. ඒ නිසා අපි වහාම ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතයකින් යුතු පරිසරයක් බිහිකර ගත යුතුයි. තනිවම එය කළ නොහැකි බව වටහාගෙනයි අපි පක්ෂ විදියට එකතුවෙලා ඉන්නේ. ආණ්ඩුවේ මේ ඒකාධිපති වියරුව රටට හා සුළු ජාතීන්ට අහිතකරයි. ඒ නිසා අපි සියලූ දෙනා අතර තිබිය යුතු එකම සම්මුතිය වගේම සියලූ දෙනාම එකට එකතුවී ඉන්නා පොදු අරමුණු දෙක වන ජීවත්වීමට හා භාෂණයට ඇති අයිතිය වෙනුවෙන් පෙළ ගැසිය යුතුයි.
මේ කෲර ඒකාධිපති පාලනය බිඳ දමන්නේ කොහොමද? ඊට එකගත්වයක් අවශ්‍යයි. නීතිමය ලියවිල්ලක් තුළට යනවා වෙනුවට අපි අතර අඛණ්ඩ සම්බන්ධයක් පවත්වාගෙන යා හැකි මගක් ගැන සාකච්ඡාවක් ඇති වෙනවා නම් හොඳයි. ඒ සඳහා මහජන සංවාදයක් ඇති කිරීම වැදගත්. සමාජයේ තමන්ගේ මතය දරාගෙන ඒ තුළ හැසිරීමට ඇති බලය වෙනුවෙන් ජාතික කාර්ය භාරයක් කළ හැකියි. ඉන් ඔබ්බටත් එකඟ කර ගත හැකි නම් වඩා වැදගත්. නමුත් දැනට මේ කාරණා දෙක වෙනුවෙන් අපි පෙනී සිටිමු. ඒ වෙනුවෙන් නිදහසේ වේදිකාව මේ කරන කාර්ය භාරය ඓතිහාසිකයි.



ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පෙරමුණයි යු.ඇන්.පි යි කියන්නේ පක්ෂ දෙකක්
සභාවෙන් මා වෙත ප‍්‍රශ්නයක් යොමු වුණා එක්සත් ජාතික පක්ෂය යුද්ධයට ප‍්‍රශංසා කරන කොට මනෝ ගනේෂන් කොහොමද එක්සත් ජාතික පක්ෂය සමග ඉන්නේ කියලා. මට ඒකට දෙන්න තියෙන උත්තරය තමයි යූ.එන්.පී එක වෙනයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජනතා පෙරමුණ වෙනයි.
යූ.එන්.පී එක යුද්ධයට පක්ෂව හෝ බලය බෙදීමට එරෙහිව කතා කරනවානම් එයට මුලින්ම විරුද්ධ වෙන්නේ මම. මගේ පක්ෂ සාමාජිකයන්ට, ජනතාවට මම වග කියනවා. නමුත් වෙන්ව ගිහින් තනි දෙමළ ගමනක් යන්න මම ඒක කාරණයක් කරගන්නේ නැහැ. මම යන්නේ ශ‍්‍රී ලාංකික ගමනක්. එහෙම යනකොට විවේචන තියෙනවා. අද නීතියේ පාලනයට විශාල බලපෑම් එල්ල වෙලා. මාධ්‍යයට එරෙහි මර්දනයක් දියත් වෙලා. වීරකේසරී පත්තරේ කාන්තාවක් පැහැරගෙන ගිහිං පසුගිය දවසක නැවත ගෙනත් දැම්මා. අපි මේවා වෙනුවෙන් කතා කළ යුතුයි.



මේ රටේ සිවිල් සමාජය තමන්ගේ ශක්තිය හරි හැටි තේරුම් අරගෙන නැහැ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර

සිවිල් සමාජය වගේම මාත් වෙලාවකට මගෙන්ම විමසනවා මම ඇයි රනිල් වික‍්‍රමසිංහ මහත්මයා සමඟ මේ වේදිකාවට ගොඩවෙලා ඉන්නේ කියලා. 94 දී රනිල් වික‍්‍රමසිංහ මහතාව වරින් වර දෝෂාරෝපණයට ලක්කළ කෙනෙක් ලෙස දැන් මෙහෙම ඉන්න පුලූවන්ද කියලා මාත් හිතනවා. නමුත් 2005-2006 වෙන කොට මා දරපු මතය වර්තමාන දේශපාලන නායකත්වය තුළ සීඝ‍්‍රයෙන් වෙනස් වෙලා තියෙනවා. 2006 වෙන කොට මට තේරුණා මේ සියල්ල මෙහෙයවන හස්තය ක‍්‍රියාත්මක කරන්නේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ඇතිකළ යුතුයි කිය කියා කෑ ගැසූ වර්තමාන දේශපාලන නායකත්වය බව. මේ නිසා නැවත වතාවක් ආණ්ඩුවට ගිහින් සැප සම්පත් විඳිනවාද, රටේ නැතිවෙන මධ්‍යස්ථ ප‍්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවාද කියන දෙකෙන් මා දෙවැනි කාරණය තෝරා ගත්තා. ඒ පසුබිම තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක නායකත්වයකට ආ හැකි පුද්ගලයා ලෙස මා රනිල් වික‍්‍රමසිංහව දුටුවා. අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පැසිස්ට්වාදී, අන්තවාදී පාලනයක් ගෙන තිබෙනවා. ඒ නිසා යූ.එන්.පී එක ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමට ගත් තීරණය ප‍්‍රබල තීරණයක් වෙනවා. යූ.එන්.පී එක විශාල පක්ෂයක්. එහිත් යුධවාදීන්, යුධ විරෝධීන් ඉන්නවා. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා මධ්‍යස්ථ මතයන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොහෙත්ම ජාතිවාදියෙක් නෙවෙයි. ලිබරල්වාදියෙක්. ඔහු ඇත්තම ජාත්‍යන්තරවාදියෙක්. ඒවයි ලංකාව වගේ දියුණු වෙන රටකට අවශ්‍ය.
යූ.එන්.පී එක වගේම මේ රටේ සිවිල් සමාජයත් තමන්ගේ ශක්තිය හරි හැටි තේරුම් අරගෙන නැහැ. අපි දෙගොල්ලන්ගේ ශක්තිය අපි එකතු කළ යුතුයි. තවමත් අපිට හරි ජන බලවේගයක් ගොඩ නඟන්න බැරි වෙලා. දේශපාලනය කරන අපිට විතරක් මේ එ්කාධිපති ගමන වලක්වන්න බැහැ. මම නම් නිදහසේ වේදිකාව සමඟ එකතුවෙලා ඉන්නේ බලය ගන්න. එහෙම නැතුව ආණ්ඩුවක් පිහිටුවන්න බැහැ. ඒ පිහිටුවන ආණ්ඩුව මේ අද කියන කාරණාවලට එකඟ වෙන්න ඕන. ඒ ටික කරන්න පුලූවන් සිවිල් සංවිධාන වලටයි. මෙය සංවාදයකට එහා ගිහින් සෘජු බැදීමක් ඇති කාරණාවක් කර ගත යුතුයි කියලා මම යෝජනා කරනවා.

Back to home