Sunday, July 12, 2009

සිවිල් සමාජය දේශපාලන පක්ෂ සමඟ ගිවිසුමක් ඇති කර ගන්නේ ආණ්ඩු පිහිටුවන්න නොවෙයි; ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගන්නයි

නීතිඥ ජේ.සී.වැලිඅමුණ
නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික


නිදහසේ වේදිකාව තුළ සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ සමඟ ඒකරාශීව සිටින්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල් මහජන බලවේගයක් ගොඩ නඟා ගැනීමේ අරමුණෙනි. ඒ සඳහා අවශ්‍ය වන දේශපාලන,ආර්ථික හා සමාජයීය ප‍්‍රතිසංස්කරණ පිළිබඳ එකඟතා ලියවිල්ලක් මහජනයා අතර සිදු කරන සාකච්ඡා මාලාවකින් පසු සකස් කොට එය පදනම් කරගෙන දේශපාලන පක්ෂ සමඟ එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ. පසුගිය ජූනි 26 වැනිදා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් නිදහසේ වේදිකාව මඟින් කැඳවා තිබූ අතර එහිදී සිවිල් සංවිධාන සාමාජිකයෙකු මතුකළ ප‍්‍රශ්නයක් වූයේ අවශ්‍ය අවස්ථාවක අධිකරණය ඉදිරියට යාමට හැකි පරිදි සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ අතර නීතිමය ලියවිල්ලක් අත්සන් තැබීමට හැකිද යන්නයි. මීට පෙර අවස්ථාවල ඇති කර ගත් එවැනි එකඟතා දේශපාලන නායකයින් විසින් කඩ කළ විටදී ඊට එරෙහිව සිවිල් සංවිධාන වලට ගතහැකි පියවරක් නොමැති වූ බවද ඔහු එහිදී මතු කළේය. මේ ප‍්‍රශ්නය අපි නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා වෙත යොමු කළෙමු. වැලිඅමුණ මහතා ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ය.


සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ අතර ඇති කර ගැනීමට නියමිත එකඟතා ගිවිසුම නීතියෙන් බලාත්මක කළ හැකි සම්මුතියක් බවට පත්කර ගත හැකි ද?
දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය අතර තියෙන බැඳීම ඓතිහාසික එකක්. ප‍්‍රංශ විප්ලවයෙන් පසු මතුවූ විවිධ හේතූන් මත සමාජ සම්මුති න්‍යාය බිහි වුණේ ඒ විදිහට. මේ තත්ත්වය කාලයක් පුරා දියුණු වෙමින් ඇවිත් අද දේශපාලන පක්ෂ හා සිවිල් සමාජය එකිනෙකා සමඟ ගිව්සුම් වලට බැඳෙන පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. පක්ෂයක් බලයට ආපසු හෝ ඔවුන් තම ඉදිරි ගමන තීරණය කිරීමේදී මෙවැනි ගිවිසුම් වෙත යා හැකියි. ඒ වගේම සමහර විට රටේ ප‍්‍රගමනය ඇති කරන කාරණා සම්බන්ධයෙනුත් ගිවිසුම් වලට යාමේ ඉඩක් තියෙනවා. නමුත් මෙය මෙතෙක් අප අත නොගැසූ කාරණයක්. ඒ නිසා සිවිල් සමාජය සමඟ ගිවිසුම් වලට එළැඹීම අපිටත් ආධුනිකයි. දේශපාලන පක්ෂ වලටත් ආධුනිකයි. විශේෂයෙන්ම මෙම ගිවිසුම් වලට එළැඹෙන්නේ ඒවා උසාවි මඟින් ක‍්‍රියාත්මක කරන්න නෙවෙයි. ඒ නිසා මේවා සම්බන්ධයෙන් නීතිමය නොවුණත් සදාචාරාත්මක බැඳීමක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ගිවිසුම් මඟින් දේශපාලන පක්ෂ සමඟ සන්ධාන වලට යන්න නෙවෙයි. අපට අවශ්‍ය රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිමිකම් සුරක්ෂිත කරන පාලනයක් බිහි කරගන්න. එහි වාසිය දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට අත්වේවිද කියන කාරණය අපිට අදාළ නැහැ. නමුත් නියත වශයෙන්ම ජනතාවට එයින් වාසියක් අත්වෙනවා.

මෙවැනි ගිවිසුමකට එළැඹීමට ලංකාවේ පවතින නීතිය අනුව හැකියාවක් තියෙනවද?
ලංකාවේ තියෙන ගිවිසුම් නීතිය අනුව මූල්‍යමය වටිනාකම් තිබුණත් නැතත් ගිවිසුම් ඇති කර ගත හැකියි. ඒ අනුව මෙවැනි ගිවිසුමකට ඉඩක් වගේම වටිනාකමකුත් තියෙනවා. එතැනදී මෙහි වලංගුභාවය පවතින්නේ සදාචාරාත්මක වශයෙන්. බොහෝ විට දේශපාලන පක්ෂ වාචිකව විවිධ පොරොන්දු දෙනවා. විවිධ බැඳීම් වලට එනවා. නමුත් ඒවා ලිඛිතව තියෙනකොට වාචිකව තියෙනවාට වඩා බලපෑම් කිරීමේ හැකියාව වැඩියි. එවැනි අවස්ථාවල ගිවිසුම් වලට අදාළ සෑම පාර්ශ්වයකටම විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමේ ඉඩක් ඇතිවෙනවා. කිසිවෙකුට ඇඟිලි ගැසීමේ හැකියාවක් නැහැ. අභූත චෝදනා නැඟීමට ඉඩක් නැහැ.

කොහොමද එවැනි ක‍්‍රියාවකට යන්නේ?
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට සිවිල් සමාජය වගේම දේශපාලන පක්ෂත් කැපවීමෙන් ඉන්නා බව පෙන්විය යුතුයි. මෙය දේශපාලන පක්ෂ බලයට එන්න පාවිච්චි කරන සටන් පාඨයක් කරගන්නේ නැතුව මේ සම්බන්ධයෙන් ලිඛිතව පොරොන්දුවක් වෙන්න ඕන. අපි මේ එකඟතා වලට යන්නේ දේශපාලන පක්ෂයක් ලෙස නෙවෙයි. මේක සන්ධාන ගොඩනඟන්න ගෙන යන උත්සාහයකුත් නෙවෙයි. මේක ජනතාවගේ පාර්ශ්වයෙන් ගන්නා ප‍්‍රගතිශීලී පියවරක්.

ලෝකයේ වෙනත් රටවල මෙවැනි බලවේග ඇති වී තිබෙනවද?
විශේෂයෙන්ම ප‍්‍රජාව මර්දනය කල අවස්ථාවල ලෝකයේ බහුජන ව්‍යාපාර මතු වෙලා තියෙනවා. නමුත් ඒ ව්‍යාපාර ඇති වෙලා තියෙන්නේ සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති තනි තනියම දියත් කරපු වැඩසටහන් හරහා නෙවෙයි. සියලූ පාර්ශ්වයන්ගේ එකතුවක් හරහා බිහි වූ ජන බලවේගයක් තුළිනුයි එම ව්‍යාපාර සාර්ථක වෙලා තියෙන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම යන එකම අරමුණ වටා රොක් වෙලා ආණ්ඩු බලය පවා වෙනස් කරපු මහජන ව්‍යාපාර තියෙනවා. පිලිපීනය, නේපාලය එවැනි බලවේග ඇති වූ රටවල්. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම නෙවෙයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කර ගැනීමට කිසියම් ජන බලවේගයක් ගොඩනැඟීමයි.

නිදහසේ වේදිකාව මේ වෙන කොට ප‍්‍රධාන විපක්ෂය ඇතුලූ අනෙක් විපක්ෂ කණ්ඩායම් සමඟ මේ සම්බන්ධයෙන් එකඟතාවකට ඇවිත් තියෙනවා. ඒ ආකාරයටම ආණ්ඩු පක්ෂය සමඟත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවාද?
ඔවුන් එක්ක සාකච්ඡාවකට යාම ගැන තවම තීරණයක් අරගෙන නැහැ. නමුත් ඔවුන් හා සාකච්ඡාවක් කළ යුතුයි. නමුත් ඒ ආණ්ඩුව එක්ක සන්ධානගත වෙන්න නෙවෙයි. රජය කියන්නේ දේශපාලන බලය තියෙන අය. එනිසා ඔවුන් සමඟයි කේවල් කරන්න වෙන්නේ. එය කළ හැක්කේ යම්කිසි ආකාරයකට නිල වශයෙන් සාකච්ඡා වටයක් ඇති වූ පසුයි. නිදහසේ වේදිකාව තුළ කළ නොහැකි දෙයක් නැහැ. ඒ නිසා නිදහසේ වේදිකාවට ඒ කාරණය ගැන අවශ්‍ය වෙලාවකදී මැදිහත් වීමක් කලහැකියි. භාෂණයට සහ ජීවත් වීමේ අයිතියට ඇති ඉඩකඩ ආරක්ෂා කරගන්න සිදු වෙලා තියෙන්නේ රාජ්‍ය බලය මඟින් එන පීඩනයට එරෙහිවයි. එනිසා මෙවැනි අවස්ථාවක රජය සමඟ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගනුදෙනුවකට යාමට සිදු වෙනවා. එය බැහැර කළ නොහැකියි. නමුත් එය සිදු වන්නේ අදද හෙටද කියන්න බැහැ.

Back home
Back to Platform

No comments:

Post a Comment