Monday, July 13, 2009

නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම අද (ජුලි 12)තලවකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන, තලමුත්තු සුදාහරන්, යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ.
(more photo)
මෙහිදී අදහස් දැක්වු නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා සදහන් කළේ 2009 වසර ආරම්භ වුයේ සිරස මාධ්‍ය ජාලයට පහරදී, මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමෙන් බවය. ”මේ සිද්ධීන් ඇතිවෙන තත්ත්වයට රටේ පරිසරය සකස් වී තිබුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිනිස්සුන්ට අයිති දෙයක් මිස රජයට අයිති දෙයක් නොවන අතර එය රැක ගැනීමට පුරවැසියන් එක්රැස් විය යුතුයි. නිදහසේ වේදිකාව දේශපාලන පක්ෂවලට කිහිලිකරුවක් හෝ ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් නොවන අතර මෙය සාමකාමී ව්‍යපාරයක් පමණයි.”

අද ආණ්ඩුවේ මතයට විරුද්ධ නීතිඥවරුන් දේශද්‍රෝහීන් ලෙස නම් කරමින් රජයේ ආරක්ෂක වෙබ් අඩවියේ නම් ප‍්‍රසිද්ධ කර ඇති බව කියමින් අදහස් දැක්වු නීතිඥ ලාල් විජේනායක මහතා අද ලංකාව ඇත්ත කීමට ඉදිරිපත් නොවන බුද්ධිමතුන් ඉන්නා රටක් බවට පත්ව ඇතැයි කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වු සිවිල් සංවිධාන සාමාජික තලමුත්තු සුදාහරන් මහතා පැවසුයේ වතුවල ජීවත් වන ජනතාව මේ වන විට ලංකාවේ වසර දෙසීයයක් ජීවත් ව ඇති නමුත් තවමත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිඳු පාලකයෙකු ඉදිරිපත් වී නැති බවත්ය. වතුකරයේ සිටින ජනතාව මේ රටට කිසිදිනෙක ද්‍රෝහීකමක් කර නැති මුත් ඔවුන්ගේ හඬට කන් දීම පාලකයන් පැහැර ඇති බවත් ඔහු පැවසීය.

දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සහභාගී වු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා, රජය වසර තිහක් පූරා තිබු ත‍්‍රස්තවාදය පරාජය කළත් තවමත් සාමය දිනාගෙන නැති බව කීවේය. ”අද කවුරුන් හෝ එල්.ටී.ටී.ඊ ය ඉවර වු නිසා ඒ ප‍්‍රශ්නයත් ඉවරයි කියා හිතනවා නම් ඒ තරම් මෝඩයෙක් තවත් නැහැ. එල්.ටී.ටී.ඊ ය කියන්නේ දරුණු රෝගයක රෝග ලක්ෂණ විතරයි. දැනට සනීප කරලා තියෙන්නේ ඒ රෝගයේ පොඩි තුවාලයක් විතරයි. මේකට ශක්තිමත් බෙහෙතක් නොදුන්නොත් රෝගය මීට වඩා භයානක විදිහට මතුවෙයි. මේ ආණ්ඩුව මේ ප‍්‍රශ්නය ගෙන යන ආකාරයෙන් අනිවාර්යෙන්ම තවත් පුංචි ප‍්‍රභාකරන්ලා දහස් ගණනක් බිහි වේවි. කරුණාකරලා මේ ප‍්‍රශ්නය විසඳන්න තමන්ගේ මතය මොකක්ද කියලා මහින්ද රටට කියන්න ඕන. විශ්වාසය දිනාගන්නවා වෙනුවට වෙනම රටක් නොඉල්ලපු දෙමළ ජනතාව ඒ පැත්තට තල්ලූ කරමින් සිටිනවා.”

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසුරිය මහතා, අද රාජ්‍ය මාධ්‍යවල එකම කාර්යය විපක්ෂය විනාශ කිරීම බවත්, බොරු ප‍්‍රචාර කරමින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට උත්සාහ කරන බවත් පැවසීය. තමා පවතින ආණ්ඩුවේ බලශක්ති ඇමතිවරයා වශයෙන් සිටි නිසා ඉතා පැහැදිලිව දන්නා කරුණක් ලෙස ලෝකයේ වැඩිම මිලට පෙට‍්‍රල් විකුණන රට ලංකාව බව ප‍්‍රකාශ කළ හැකි යැයිද සඳහන් කළේය. අදටත් රුපියල් හැත්තෑවට පෙට‍්‍රල් ලීටරයක් දීමේ හැකියාව මේ රජයට පවතින නමුත් එසේ නොකර ජනතාව ආර්ථික වශයෙන් පීඩාවට පත් කරන බව පැවසීය.

නීතිඥ රවී ජයවර්ධන කතා කරමින් පැවසුවේ යුද්ධය අවසන් කර මාස දෙකක් ගතවීත් වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ගෙන ඒමට රජය අසමත්ව ඇති බවය. අවස්ථාවාදය, බඩගෝස්තරවාදය, තම පෞද්ගලික දේශපාලන අරමුණු පෙරටු කොටගත් ඊනියා දේශප්‍රේමීන්ගේ වුවමනාවන් ඊට හේතුවී ඇතැයි ඔහු කීවේය. ඉන් කොටසක් ඔටුන්නක් දාගෙන සිටින බවත්, තව කොටසක් හක්ගෙඩි පිඹින බවත්, තවත් කොටසක් කරත්ත රෝදයක් තල්ලූ කරමින් සිටින බවත් කීවේය. සිංහල සහ දමිළ භාෂාවෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සිංහල, දෙමළ හා මුස්ලිම් විශාල පිරිසක් සහභාගී වුහ.

Back to Home

No comments:

Post a Comment