ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික
ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක
නිදහසේ වේදිකාවේ නුවරඑළිය දිස්ත‍්‍රික් මහජන රැස්වීම පසුගිය ජුලි 12 වැනිදා තලවාකැලේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, නීතිඥ ජේ.සී. වැලිඅමුණ, නීතිඥ ලාල් විජේනායක, නීතිඥ රවී ජයවර්ධන සහ තාලමුත්තු සුදාහරන් යන මහත්වරුන් කථිකයෝ ලෙස සහභාගී වූහ. අද සමබිම ඔබ වෙත ගෙන එන්නේ එහිදී නීතිඥ ලාල් විජේනායක මහතා පළ කළ අදහස්ය.
අද ඔබ මෙතැනට ඒකරාශී වී සිටින්නේ දේශපාලන පක්‍ෂයක හෝ දේශපාලන අරමුණු ඉෂ්ඨකර ගැනීමටවත්, තමන්ගේ පුද්ගලික ප‍්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමටවත් නෙවෙයි. ශිෂ්ඨ සම්පන්න මිනිසුන් වශයෙන් ජීවත්වීමට හා මිනිසුන්ගේ මනුෂ්‍ය අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා ගෙනයන්නා වූ ව්‍යාපාරයකට සම්බන්ධ වීමටයි අද ඔබ මෙතැනට පැමිණ සිටින්නේ.අපේ රට දීර්ඝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉතිහාසයක් තියෙන රටක්. නිදහස ලැබීමෙන් පසුව පමණක් නෙවෙයි නිදහස ලැබීමට පෙර අධිරාජ්‍යවාදී යුගයේදී පවා අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් බුක්ති විදපු රටක්. අපට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් නිදහස් කර ගැනීම සඳහා සටන් කිරීමට හැකි වුණා. එක්දහස් නමසිය තිස් ගණන්වල අධිරාජ්‍යවාදී සමාගම් වලට විරුද්ධව ඒ සමාගම්වල වැඩ කරපු අය වර්ජනය කළා. රජයට විරුද්ධව තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය භාවිතා කරමින් සටන් වැදුණා. එවැනි දේශපාලන අතින් ඉතා වැදගත්, දියුණු සංස්කෘතියක් තියෙන රටක් තමයි ශී‍්‍ර ලංකාව. එවැනි දේශපාලන සංස්කෘතියක් තුළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් කියල කියන්නේ, මේ රටේ මූලික මනුෂ්‍ය අයිතිවාසිකම් වලට ගරු කරන, නීතියේ ආධිපත්‍යට ගරු කරන, අන්‍යයන්ගේ ස්වාධීනත්වයට ගරු කරන, පාලන ක‍්‍රමයක් ඒ රට තුළ තිබීමයි. අපි මොහොතක් අද රටේ සිදුවන්නේ මොනවද කියලා මෙනෙහි කරලා බලන්න ඕන.
අද අපේ රටේ පුරවැසියන් ලක්‍ෂ ගාණක් කඳවුරුවල ජීවත් වෙනවා. ඒවා අවතැන් වූවන්ගේ කඳවුරු නෙවෙයි. කිසිම නඩු විභාගයක් නැතුව, ඒ අයගේ නෑදෑයන් බලන්න යන්න දෙන්නේ නැතුව, ඒ අයගේ පදිංචි තැන් වලට යන්න දෙන්නේ නැතුව විශාල රැකවල් දාපු කඳවුරුවල රඳවා ගෙන ඉන්නවා. රෝග පැතිරිලා බෙහෙත් සහ නිසි සෞඛ්‍ය පහසුකම් නැතුව, නිසි වැසිකිළි පහසුකම් නැතුව ඔවුන් දුක්ඛිත ජීවිත ගත කරනවා. දවසකට සිය ගණන් මැරිල යනවා. ඒ කිසි දෙයක් ගැන ජනතාවට දැන ගන්න ලැබෙන්නේ නැහැ.
ඒ මොකද? ඒ හා සමාන්තරව ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, ජනමාධ්‍ය නිදහස සම්පුර්ණයෙන්ම තුරන් කරල තියෙන නිසා. අද නිදහසේ බය නැතුව අදහස් ප‍්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන එකම පත්තරයක්වත්, එකම ගුවන් විදුලි සේවයක් හෝ රූපවාහිනී නාලිකාවක්වත් නැහැ. ඒ හැම මාධ්‍යක්ම බය ගන්වලා. නැත්නම් මුදල් හෝ වරප‍්‍රසාද දීලා මිළට අරගෙන.
මේ තත්ත්වය ප‍්‍රකාශ කරන්න ඉදිරිපත් වුණ ජනමාධ්‍යවේදීන්ට අද රට හැරලා යන්න හෝ පරලොව යන්න වෙලා තියෙනවා. ලසන්ත වික‍්‍රමතුංග මැතිතුමා බය නැතුව අදහස් ප‍්‍රකාශ කළ මාධ්‍යවේදියෙක්. මුලින් ඔහුව දිනාගන්න උත්සාහ කළා. මර්දනය කරන්න උත්සාහ කළා. ඒ හැම දේම බැරි වුනාම අවසානයේ ඔහුව මරල දැම්මා. ආණ්ඩුව ඒ දෙන පණිවිඩය තමයි ‘අපිට විරුද්ධව ගියොත් වෙන්නේ මෙයයි’ කියන එක. ඒක තමයි අද රටේ හැම ක්ෂේත‍්‍රයකම ඇති වෙලා තියෙන තත්ත්වය. අපේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න අපට සම්පුර්ණ අයිතිය තියෙන්න ඕන. අද රටේ ස්වාධිපත්‍යක් තියෙනවද? අධිකරණය ඉදිරියේ වරදකරුවන් නොවුවත් නොයෙක් සාපරාධී කි‍්‍රයාවන්ට සැකකරුවන් විදිහට අත්අඩංගුවට ගත් හැම පුද්ගලයෙක්ම ආයුධ පෙන්වන්න ගියාම තමන්ට වෙඩි තියන්න ආවයි කියලා පොලීසිය එකම කතාව කියමින් ඔවුන්ව මරලා දානවා. නැත්නම් මැරෙන්න අරිනවා. අත්අඩංගුවට ගත්ත හැම සැකකරුවෙක්ම ආයුධ සොයන්න අරන් යන්නේ මාංචු දාගෙන. එහෙම අයවයි මරලා දාන්නේ. සමහර මිනිස්සු සන්තෝෂ වෙනවා පාතාලයේ කෙනෙක් නිසා එහෙම මරලා දාන එක හොඳයි කියලා. නමුත් මේ ක‍්‍රියාව මෙතනින් නවතින්නේ නැහැ. පසුගිය අවුරුදු දෙක හමාර තුළ හැට පස් දෙනෙකුට වඩා මරල දාලා තියෙනවා. පොලිසිය විසින් මිනී මැරීම සම්බන්ධව අත්අඩංගුවට ගත්තයි කියන්නේ ඒ පුද්ගලයා අසරණයි. නමුත් ඒ පුද්ගලයා අසරණ වුණා කියලා මරා දැමීම අමානුෂිකයි. ඒ වගේම මනුෂ්‍යකමට නිග‍්‍රහයක්. එවැනි මනුෂ්‍ය ඝාතන හෙලා දැකිය යුතුයි.
අද ආණ්ඩුවේ මත වලට එකඟ නොවෙන අය සලකන්නේ දේශද්‍රෝහියෝ කියලා. ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව විභාග වූ අපහාස නඩුවකට පෙනී සිටි නීතිඥයන් තුන් දෙනෙක් දේශද්‍රෝහියෝ කියල නම් කරල ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියක සඳහන් කරල තියෙනවා.
මෙහෙම ගියොත් මේ රටේ තියෙන නීතියේ ආධිපත්‍යය නැති වෙනවා. මේව ගැන කිව්වම ආපස්සට කියනවා ජනාධිපතිතුමාට පහර ගහනවාලූ. ඒ වගේ ඇත්ත කියන්න බය, ඇත්ත කියන්න ඉදිරිපත් වෙන්නෙ නැති බුද්ධිමතුන් ඉන්න රටක් හැටියටයි අද මේ රට පත් වෙලා තියෙන්නේ. අද මේ රටේ කලාකරුවන්, මහාචාර්යවරුන් පවා බයයි. ඒ නිසයි නිදහසේ වේදිකාව විශිෂ්ට වෙන්නේ. අපි හැමෝම වැරැද්දක් සිදුවෙන කොට ඒක වැරදියි කියලා හඬ නගන්න ඉදිරිපත් වෙන්න ඕන. මේ ව්‍යාපාරය තිබුණොත් පමණයි රටේ ජනතාව ශිෂ්ඨ සම්පන්න ජනතාවක් වෙන්නේ. එහෙම නැතුව බලයට සහ වාසියට යට වුණොත් ඒ සමාජය සම්පුර්ණයෙන්ම විනාශ වෙනවා. ජනතාවගේ අයිතීන් එකින් එක උදුර ගනිමින් ප‍්‍රජාව විනාශ කිරීමේ වැඩපිළිවෙළකට යමින් සිටිනවා. ඒකට ප‍්‍රධානම හේතුව රටේ තියෙන පාලන ක‍්‍රමයේ තිබෙන්නා වූ දූෂිතභාවය සහ දුර්වලතා. රජයට විරුද්ධව ජනතාව පෙළ ගැසීම නතර කිරීමට එක්තරා ආකාරයකට ප‍්‍රධාන බලවේගයක් ක‍්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ නිසා තමයි මම නැවත නැවතත් නිදහසේ වේදිකාව මේ තරම් වැදගත් කියන්නේ.
මේ විදිහට රට විනාශය කරා යන්න ඉඩ දෙන්න බැහැ. නොයෙක් පක්‍ෂවල, නොයෙක් රාජ්‍ය නොවන සංවිධානවල ඉන්නා පිරිස් එක් රැස්වී මෙය කළ යුතුයි. එකතු වෙලා රට පුරාම අපි ආශ‍්‍රය කරන හා නොකරන පිරිස් වලට මේ ව්‍යාපාරය ගැන පණිවිඩය ගෙනියන්න ඕන. මනුෂ්‍යයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි ඉදිරිපත් විය යුතුයි කියන හඬ ජනතාව අතරට ගෙන යා යුතුයි. මේ පුළුල් එකතුවට ඒ වෙනුවෙන් පනතක් ගේන්න හැකියාවක් තියෙනවා. අපේ රටේ නොයෙක් අවස්ථාවල අද වගේ මිනිස් ඝාතන සිදුවී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයට තර්ජන ඇති වෙලා තියෙනවා. ඒ ආපු තර්ජන හැම එකකටම ජනතාවට මුහුණ දෙන්න පුළුවන් වෙලත් තියෙනවා. අපි කොයිතරම් අවස්ථාවල ආයුධ අතට නොගෙන මේ රටේ ඉතා බලවත් පුද්ගලයන්ගේ ආණ්ඩු ගණනාවක් වෙනස් කරල තියෙනවද? සර් ජෝන් කොතලාවල, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වගේ බලවත් පුද්ගලයන්ගේ ආණ්ඩු වෙනස් කරන්න ජනතාවට ශක්තිය එදා තිබුණා. ඒ ශක්තිය තියෙන තාක් විතරයි ජනතාවගේ හඬට ඇහුම් කන් දීමේ අවශ්‍යතාවක් පාලකයන්ට උද්ගත වෙන්නේ.මම මේ නිදහසේ වේදිකාව ඉදිරියේදී තව තවත් රටේ ජනතාවගේ සැබෑ නියෝජිතයෝ නියෝජනය කරන්නා වූ සංවිධානයක් බවට පත් වේවායි පතනවා.
Back to Home
Back to Platform site
Thursday, July 16, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment