Friday, July 24, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීමට අවශ්‍ය යැයි සිතන ආණ්ඩු පක්ෂයේ අයටත් නිදහසේ වේදිකාව විවෘතයි


සිරිතුංග ජයසූරිය
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

ඔබ නිදහසේ වේදිකාවට සම්බන්ධ වුණේ ඇයි?
ආසන්නතම හේතුව වුණේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීමත් එක්ක මතු වූ තත්ත්වය. නමුත් ඊට පෙර සිටම මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන, කතාකිරීමට ලිවීමට සහ ජීවත් වීමට තිබෙන නිදහස පිළිබඳ ප‍්‍රශ්නය බරපතල ලෙස සමාජ කතිකාවක් ලෙස මතුවෙමින් තිබුණා. ඒක දේශපාලන පක්‍ෂ වලට විතරක් සීමා වුණේ නැහැ. රටේ විවිධ සංවිධාන, වෘත්තීය සමිති ආදි සියලූ දෙනා අතරත් මේ කතිකාව ගොඩනැඟුණා. නමුත්, ලසන්තගේ ඝාතනයත් සමඟ සංයුක්ත කඩිනම් පියවරක් ගතයුතුයි කියන කාරණාව මත ඔහුගේ අවමඟුල වෙනුවෙන් රැස්වූ සංවිධාන, පුද්ගලයන් යන සියළුදෙනා එකතුවෙලා මේ වේදිකාව ගොඩනැගුවා. අපි පක්‍ෂයක් හැටියටත්, මම පුද්ගලයෙක් හැටියටත් කල්පනා කළා මේ අවස්ථාවේදි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජීවත්වීමට තිබෙන අයිතිය ආරක්‍ෂා කරගැනීමට අපිට අපේ පක්‍ෂ දේශපාලනය ඉක්මවා ගිය පොදු සමාජීය වගකීමක් තිබෙනවා කියලා. ඒ වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට ගොඩවදින්නට අපි තීරණය කළේ.

නිදහසේ වේදිකාව ආරම්භ කර මේ වෙන කොට ගත වු මාස හතක පමණ කාලය තුළ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔබට තිබෙන තක්සේරුව කුමක්ද?
මම හිතනවා නිදහසේ වේදිකාව මේ වෙන කොට මම කලින් කියපු පරමාර්ථයන් ඉටුකර ගැනීම සම්බන්ධයෙන් යම් වැදගත් වැඩ කොටසක් කරල තියෙනවා. නමුත් ඊට ගමන් කරන්න තිබෙන දුර සම්පූර්ණයෙන් ගමන් කළා කියන්නත් මම සූදානම් නැහැ. මොකද මීට වඩා වැඩි වැඩ කොටසක් කරන්න තියෙනවා. එම තත්ත්වයන් අපි බලන්නට ඕන අද සමාජය තුළ මතුවෙලා තිබෙන්නා වු දේශපාලන පරිසරය. මේ අතරවාරයේ තමයි උතුරේ යුධ ජයග‍්‍රහණයත් එක්ක ආණ්ඩුව ඒක තමන්ගේ පෞද්ගලික වාසියට පෙරලගෙන සිංහ කොඩිය පාලක පක්‍ෂයේ එහෙම නැත්නම් ආණ්ඩුවේ සංකේතය බවට පරිවර්තනය කරගත්තේ. ඔවුන් ඉතා විශාල ලෙස ඒක පාර්ශ්වික විදිහට අනෙක් සියළු බලවේග යටපත් කරගෙන ගිය ක‍්‍රියා කලාපයක් තුළ ඒ අසීරු කාලය සැලකිල්ලට ගැනීමේදි මම හිතනවා නිදහසේ වේදිකාව හැටියට කළ වැඩ කොටස පිළිබඳ යම් සෑහීමකට පත්වෙන්න පුළුවන් කියලා.

දේශපාලන පක්‍ෂ සමඟ සිවිල් සංවිධාන ඇතිකරගන්නා එකඟතාවන් එම පක්‍ෂ බලයට පත්වූ පසුව අමතක කර දැමීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වලට පූර්ව අත්දැකීම් තිබෙනවා. දේශපාලන පක්‍ෂ නායකයෙක් විදිහට මෙවර එවැන්නක් සිදු නොවන බවට ඔබට දෙන්න පුළුවන් සහතිකය මොකක්ද?
අපේ පක්‍ෂය ගැන මට විශ්වාසයක් තියෙනවා. නමුත් මේ ඒකරාශි වෙලා ඉන්න අනෙක් පක්‍ෂ වලින් ඔවුන් බලයට පත් වූ වෙලාවට පරිපූර්ණ ලෙස ඔය කියන කටයුත්ත ඉටු කරගන්න පුළුවන් කියල මට සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබ ප‍්‍රශ්නය නැගූ ආකාරයටම අතීත අත්දැකීම් අනුව බැලූවාම විපක්‍ෂයේ සිටියදී පොරොන්දු දීපු ඉතිහාසයක් තියෙනවා. බලයට පත්වුනාට පස්සෙ ඒ සියලූ පොරොන්දු අමතක කරනවා. ඒ නිසා කිව යුතු වැදගත්ම කාරණය නම් මා දන්නා ප‍්‍රමාණයට මේ නිදහසේ වේදිකාව ගොඩනඟල තියෙන්නේ කිනම් හෝ දේශපාලන පක්‍ෂයක් බලයට පත්කිරීමට නෙවෙයි කියන පැහැදිලි ප‍්‍රතිපත්තියක අපි ඉන්නවා. ඒ නිසා මේ පක්‍ෂත් එක්ක නිදහසේ වේදිකාව දේශපාලන සම්මුතියකට යාමට හෝ මැතිවරණයකට තරඟ කිරීමට එකඟත්වයක් කොහෙත්ම නැහැ. ඒකට හේතුව මේ අය බලයට පත් කිරීමෙන් ඒ දේ කරන්න පුළුවන් කියන සහතිකය අපට ගන්න බැරි නිසා. එවිට ප‍්‍රශ්නයක් පැන නගිනවා අද කතාකිරීමේ නිදහස, ලිවීමේ නිදහස, මිනිස්සුන්ගේ ජීවත්වීමේ නිදහස ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරා දැමීම් සිදුවන අතරතුර අපි කොහොමද මේ ප‍්‍රශ්නයට පිළිතුරු සොයාගන්නේ කියලා. මම හිතන්නෙ අපිට පිළිතුරු සොයාගන්න පුළුවන් වෙන්නෙ දැනට පවතින පක්‍ෂ රාමුවෙන් මිදිල ප‍්‍රබල මහජන බලවේගයක් ගොඩනැගීමෙනුයි. ඒ මහජන බලවේගය බලයට පත්කළොත් පමණයි අපිට ඔය කියන ප‍්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබාගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන සම්මත රාමුවේ දේශපාලන පක්‍ෂ වලින් විශේෂයෙන්ම ධනේෂ්වර පක්‍ෂ වලින් ඔය කියන කාරණාවට සිවිල් සමාජයට හෝ සාමාන්‍ය මහජනතාවටවත් කිසිම පිළිතුරක් ලබාගන්න බැහැයි කියල නම් මම හිතනවා.

මේ වෙනකොට සිවිල් සංවිධාන පාර්ශ්වයෙන් දේශපාලන පක්‍ෂ එක්ක එවැනි ගිවිසුමක් ඇති කරගැනීමට යෝජනාවක් ඇවිල්ල තියෙනවා. ඒ ගැන ඔබගේ අදහස මොකක්ද?
ඒකෙ කිසි වරදක් නැහැ. ඇත්තටම මේ සාකච්ඡාවට එක්සත් සමාජවාදී පක්‍ෂයත් සහභාගි වුණා. නමුත් සිවිල් සමාජය හෝ මහජනතාව අපේක්‍ෂාකරන තත්වය සම්පුර්ණයෙන්ම ඉෂ්ඨ වෙයි කියල මම හිතන්නේ නැහැ. අර්ධ වශයෙන් ඉෂ්ඨ වෙන්න ඉඩ තියෙනවා. යම් විදිහකින් දේශපාලන පක්‍ෂ ඔවුන් බලයට පත් වූ පසු මේ දේවල් කරන්නේ නැහැ කියා එකඟත්වයකට හෝ බන්ධනයකට යටත් කරගන්න පුළුවන් කමක් තිබෙනවානම්, එම එකඟතාවය ජනතාවට යම්කිසි අවියක් හැටියට භාවිතා කරන්න පුළුවන්. එහෙම නැතුව මෙම කරුණු අපට නීති මාර්ගයෙන් හෝ ලියවිල්ලක් අත්සන් කරපු පමණකින් සාර්ථක කරගන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ.

වාමාංශික නායකයෙක් විදිහට එක්සත් ජාතික පක්‍ෂය සමඟ එකට වැඩ කිරීම සම්බන්ධයෙන් ඔබ දරන ස්ථාවරය මොකක්ද?
මම මුලින් කී ආකාරයට නිදහසේ වේදිකාව රටේ අද තිබෙන මර්දනයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියළු සිවිල් පුරවැසියන්ට පක්‍ෂ පාට භේදයකින් තොරව එකතු වෙන්න පුළුවන් තැනක්. නිදහසේ වේදිකාවේ තියෙන ඒ අළුත්කම නිසයි ඒක වෙනත් දේවල් වලින් වෙනස් වෙන්නේ. ඒ නිසා මං හිතන්නෙ ඒක අර පරණ රාමුවෙන්, පරණ කණ්නාඩියෙන් බලන්න ගියොත් අපි වැරදි තැනකට ගමන් කරනවා. මේක මහජන ව්‍යාපාරයක්. මම දකින විදිහට ඒකට තව ගොඩක් දුර යන්න පුළුවන්. මේ ව්‍යාපාරය කිසිම දේශපාලන පක්‍ෂයක අතකොලූවක් වෙන්නේ නැහැ. ඒ වගේම එක්සත් සමාජවාදී පක්‍ෂය කිසිම විදිහකින් එක්සත් ජාතික පක්‍ෂය සමඟ එවැනි දේශපාලන සම්මුතියකට යාමට බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

මේ එකමුතුව තුළ ප‍්‍රමුඛ පෙළේ වාමාංශික නායකයින් වන වාසුදේව සහ වික‍්‍රමබාහු දකින්න නැහැ. ඒ ඇයි?
වික‍්‍රමබාහු සහෝදරයා මේ එකමුතුවෙ මුල ඉඳල හිටිය විතරක් නෙවෙයි, ඔහු මීට බොහොම උනන්දුවෙන් සහභාගි වුණ කෙනෙක් හැටියටයි මම දැක්කේ. නමුත් මම හිතනවා බස්නාහිර පළාත් සභා ඡන්දෙදි වික‍්‍රමබාහු සහෝදරයා වෙනස් අදහසක් දරල මෙයින් ඉවත් වුණා. එහෙම නැතුව නිල වශයෙන් ඉවත්වුණු බවක් තවම අපට දන්වලා නැහැ. නමුත් ඉවත්වෙච්ච කෙනෙක් විදිහටයි වැඩ කටයුතු කරන්නේ. ඇත්තට ඒක කණගාටුදායක තත්වයක් කියල මම හිතනවා. බස්නාහිර පලාත් සභා ඡන්දයත් සමඟ ඔහුගේ ධූරය පිළිබඳ ඇතිවු ගැටළුත් සමඟ ක්‍ෂණික විසඳුම් සොයන්න ගිහිනුයි මේ වගේ තත්ත්වයක් ඇති වුණේ.වාසුදේව අද ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයෙක්. එතකොට ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයෙකුට මේ වේදිකාවට නගින්න බැරිද කියන කරණාවට කියන්න තියෙන්නේ ඔවුන් එනවා නම් පුළුවන් කියලයි. ඒ නිසා වාසුදේව ගැන මට කියන්න තියෙන්නෙත් ඒකයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමට එරෙහි අය වගේම ලියන්න කියන්න තියෙන අයිතිය විනාශ කිරීමට විරුද්ධ අය ආණ්ඩුව ඇතුළෙත් ඉන්න පුළුවන්. ඒ අය මේ ආණ්ඩුවත් සමඟ තියෙන දීගෙ පවත්වා ගෙනයමින් මේ කටයුත්තට සම්බන්ධ වීම ඔවුන්ට ඉතාම අසීරු දෙයක් වේවි. ආණ්ඩුවේ එහෙම නැත්නම් ජනාධිපතිගේ අදහසට වෙනස් අදහසක් ඉදිරිපත් කරන අයට කොයිතරම් දුරට එකට ඉන්න පුළුවන්ද කියන කාරණේ සම්බන්ධයෙන් ඕනතරම් අත්දැකීම් තියනවා පහුගිය කාලපරිච්ජේදය තුළ. දයාන් ජයතිලකට වෙච්ච දේම අපට හොඳ උදාහරණයක්. නමුත් මේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන සියළුදෙනාට විවෘත වේදිකාවක්.
අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරනකොට බරපතල ප‍්‍රශ්නයක් පැන නගිමින් තියනවා. සිවිල් පරිපාලනය තුළට හමුදාව ඉතා වේගයෙන් ඇතුළත් කරමින් සමාජය හමුදාකරණය කරමින් සිටින්නේ. පාතාලය නැති කරන්න, හිරගෙදර වෙන ඳූෂණයන් නැති කරන්න කෝකටත් තෛලෙ වගේ හමුදාව ඇතුළත් කිරීමෙන් ප‍්‍රශ්නෙ විසඳීම ගැන සමහර ජන කොටස් කැමැත්තෙන් ඉන්නවා. හමුදාව සිවිල් පරිපාලනයට ඇතුළත් කරගන්නවා කියන්නේ යල් පැන ගිය දෙයක්. එල්ලූම් ගහ නැවත ක‍්‍රියාත්මක කරනවා කියන්නේ දියුණු ලෝකයෙන් හුඟක් ඈතට ගමන් කිරීමක්. ඒ නිසා මේ රට ඉතාම අඳූරු යුගයකට අනාගතයේ ඇදගෙන යෑමේ ඉතාම සියුම් ආකෘතිමය වැඩ කොටසක් මේ යුද ජයග‍්‍රහණය තුළ ක‍්‍රියාත්මක කිරීමටයි යන්නේ. ඒ නිසා මම හිතනවා නිදහසේ වේදිකාව හැටියට මේ කාරණාවන් ගැන ජනතාව අවදි කිරීමත්, දැනුවත් කිරීමත්, ජනතාවට මෙහි තිබෙන අනාගත අනිටු විපාක ගැන පෙන්වාදීමත් අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.

Back to samabima site
Back to platform site

No comments:

Post a Comment