Monday, August 31, 2009

නිදහසේ වේදිකාවේ කුරුණෑගල මහජන රැස්වීමේදී කථිකයන් පළ කළ අදහස්

නීතිඥ ජේ. සී. වැලිඅමුණ
රටක නීතියට ඒ රටේ පහළම පුරවැසියාගේ පටන් ඉහළම පුරවැසියා වන ජනාධිපතිවරයා දක්වා ගරු කළ යුතුයි. නීතිය ඉදිරියේ සියළුම දෙනා සමානයන්. නමුත් ලංකාවෙ ජනාධිපතිවරයාගෙ සිට පුරවැසියා දක්වා නීතියට ගරු කරනවද? එහෙම ගරු කරනවා නම් අපට අද මේ වගේ රැස්වීම් පවත්වන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. ලංකාවෙ ප‍්‍රධාන නීතිය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා නීතිය. ඒකට අනුව ජනාධිපතිවරයා බැඳිල ඉන්නවා ව්‍යවස්ථාදායක සභාවක් පත් කරන්න. ඒ මඟින් රාජ්‍ය සේවය, පොලිසිය වගේ හැම ආයතනයක්ම නිර්දේශපාලනීකරණය කරන්න ඔහු බැඳී ඉන්නවා. නමුත් ජනාධිපතිතුමා රටේ ප‍්‍රධාන නීතිය ක‍්‍රියාත්මක නොකරන නිසා අද ව්‍යවස්ථාදායක සභාවක් ලංකාවේ ක‍්‍රියාත්මක වෙන්නෙ නැහැ. මේ රටේ පුරවැසියන්ට නීතියට ගරු කරන්න තියෙන අයිතිය නැති කරන්න ජනාධිපතිතුමාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද?. ඒ නිසා ව්‍යවස්ථාදායක සභාවක් පත් නොකරන තෙක් ජනාධිපතිවරයා සහ නීතිය කඩන අනෙක් පුරවැසියන් අතර තියෙන වෙනස මොකක්ද කියල මම අහන්න කැමතියි.




ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්‍දු

අනෙකාගේ දේශපාලන මතය ඉවසීමේ සංවරතාවක් අපට තියෙන්න ඕන. එහෙම නොහැසිරෙන සමාජයක් නිර්මාණය වෙනවා නම් ඒක දේශපාලනයේ වැරැද්දක්. මේ රටේ තියෙන අවිචාරභාවය මේ ශාලාවේ කොතැනින් හෝ පුපුරා යන්න පටන් ගන්න මොහොතේදී අපි දැන ගන්න ඕන මේ රට විනාශයි කියල. නිදහසේ වේදිකාව අපි ගොඩනඟන්නේ ඒ අවිචාර සමය කරා රට ගෙන යන දේශපාලන නායකත්වයෙන් රට මුදවා ගන්න. නේපාලයේ, පිලිපීනයේ තායිලන්තයේ පරිවර්තනය සිද්ධ වුණේ ජනතා බලය පාරට ආපු දවසේ. ඒ නිසා අපි නිදහසේ වේදිකාව හරහා ජන බලවේගයක් ගොඩනඟන්න, ලංකාවෙ වෙනසක් ඇති කරන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන්න නොබියව ගමනක් ආරම්භ කර තිබෙනවා.







ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

යුද්ධය අවසන් වීමෙන් පසුවත් හමුදා සෙබළුන් ගණන ලක්ෂයකින් වැඩි කිරීම තුළ ලංකා සමාජය මිලිටරිකරණය වෙමින් පවතිනවා. අද ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය නොමැතිව ඔබට මේ රටේ කළ හැකි කිසිවක් ඇත්ද? මේ තත්ත්වය මේ රටේ බුද්ධිමත් ජනතාවට කරන අපහාසයක්. අපි මීට කළ යුත්තේ කුමක්ද? ඔබ ඔබේ යහළුවන්, නෑදෑයින්, ගම් වැසියන් හා අසල්වැසියන්ට මේ සිදුවෙන දේවල සත්‍ය තත්ත්වය කියන්න සූදානම්ද? මීට දවස් දෙකකට පෙර අවතැන් ජනතාව යළිත් අවතැන් වුණා. ගංවතුරට හසුවී වැසිකිළි සියල්ල උතුරා ගියා. ඔබ මේවා දන්නවාද? ඔබට මේවා දැන ගැනීමට අයිතියක් තිබෙනවද? මේ අප විසින් උත්තර දිය යුතු සැබෑ ප‍්‍රශ්නයි. අනාගතයේ විශාල අභියෝගයන්ට අපට මුහුණ පෑමට සිදුවේවි. ඒ නිසා අපි එකට ඒකරාශී විය යුතුයි.





නීතිඥ ලාල් විජේනායක

මීට කලකට පෙර සුදු වෑන් වලින් තරුණයින් පැහැරගෙන යනකොට, ද්‍රවිඩ සහෝදරවරු අතුරුදහන් වෙනකොට හෝ මරා දමන කොට ජනතාව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ. ඒ ඔවුන් දෙමළ නිසා. ඊට පස්සෙ සිංහල සහ මුස්ලිම් මුදලාලිලා සුදු වෑන් වලින් අරන් ගිහින් මරන්න ගත්තා. කප්පම් ගන්න ගත්තා. ඊට පස්සෙ ජනමාධ්‍යවේදීන් මරන්න, මාධ්‍ය ආයතන වලට පහර දෙන්න පටන් ගත්තා. ඉන් පස්සෙ නීතිඥවරුන්ට පහර දෙන්න පටන් ගත්තා. අද කවුරුන් හෝ දේශද්‍රෝහියෙක් කියා නම් කළොත් පොලිසියට ඔහුව මරල දාන්නත් පුලූවන්. අද අපේ රට ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයකට ඇදී යනවා. මේව අහම්බෙන් ඇතිවෙන ඒවා නෙවෙයි. 1956 ගණන්වල ඉඳල ලෝකෙ මෙවැනි දේවල් සිදු වුණා. ඉන්දුනීසියාවෙ සුහර්තො ජනතාව බිය වද්දලා ඒ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් තියෙනවා යැයි පිළිගන්වන්න උත්සාහ කරා. නොයෙකුත් විකෘති ඡන්ද ක‍්‍රම යොදා ගත්තා. ඒ ක‍්‍රමයට තමයි අද අපේ රට ක‍්‍රම ක‍්‍රමයෙන් ඇදී යන්නේ.

BACK TO PLATFORM
back to samabima

No comments:

Post a Comment