Thursday, August 13, 2009

නිදහසේ වේදිකාවේ මහජන රැස්වීම් මාලාවේ පස්වැන්න අගෝස්තු 18 දා කුරුණෑගල YMBA ශාලාවේදී පැවැත්වේ. රැස්වීමේ සංවිධායක කමිටු සාමාජිකයන් දෙදෙනෙකු සමඟ සමබිම වෙනුවෙන් ගිම්හාන තේනුවර කළ සාකච්ඡාව පහත පළ වේ.






කවුරු බලයේ සිටියත් මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි
-ප‍්‍රසන්න ශමල් සෙනරත්

වයඹ පළාත් විපක්ෂ නායක

භාෂණයට හඬක් ජීවිතයට ඉඩක් යන තේමාව යටතේ ‘නිදහසේ වේදිකාව’ බිහි වී තිබෙනවා. මෙවැනි අවස්ථාවක නිදහසේ වේදිකාවේ අවශ්‍යතාව ඔබ දකින්නේ කෙසේද?
ඔව්. ඇත්ත වශයෙන්ම මේ අදහසත්, මේ වැඩපිළිවෙළත් මම බොහොම සුභවාදී ලෙස වගේම කාලීන අවශ්‍යතාවක් ලෙසයි දකින්නේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය නිදහස රටට අත්‍යවශ්‍ය දෙයක්. රටේ මිනිස්සු තොරතුරු දැන ගන්නේ ජනමාධ්‍ය හරහා. නමුත් සත්‍ය තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අද සහමුලින්ම විනාශ කරල දාලා. මේ තත්ත්වය ගැන දැනුවත් කිරීමට පැමිණි එකමුතුවක්, බලවේගයක්, කාලීන අවශ්‍යතාවක් ඉටුවීමක් විදිහට මම නිදහසේ වේදිකාව දකිනවා.

එළැඹෙන දහඅට වැනිදා පැවැත්වෙන කුරුණෑගල මහජන රැස්වීම සම්බන්ධයෙන් ඔබගේ අදහස කෙබඳුද?
මූලික සාකච්ඡාවේ සිටම කුරුණෑගල නිදහසේ වේදිකාව එක්ක මම සම්බන්ධ වුණා. මම දැක්කා මෙයට සම්බන්ධ වෙලා සිටින පුද්ගලයින්. මම එක්සත් ජාතික පාක්ෂිකයෙක් වුණාට ඒ අවස්ථාවලදී මෙයට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්, කොමියුනිස්ට් පාක්ෂිකයන් ඇතුළු අනිකුත් සියළු පක්ෂවල සාමාජිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටින ආකාරය මම දැක්කා. මෙතැනට දේශපාලන පක්ෂ භේදයක් කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැති වීම ඉතාම වැදගත් කරුණක්. සාධාරණය, සමානාත්මතාව, යුක්තිගරුකභාවය අගය කරන සියළු දෙනාම නිදහසේ වේදිකාව ඒකරාශී විය යුතුයි කියා මම හිතනවා. නිදහසේ වේදිකාවේ කුරුණෑගල මහජන රැස්වීම අද රටේ තත්ත්වය කුමක්ද කියා දැනගන්න කුරුණෑගල ජනතාවට ලැබෙන ඉතා හොඳ අවස්ථාවක්.

නිදහසේ වේදිකාවට ඇතැම් පාර්ශ්වයන්ගෙන් විවේචන එල්ල වෙනවා. මේ විවේචන එල්ල වීම ඔබ දකින්නේ කොහොමද?
තමන්ගේ පුවත්පත් මඟින් සත්‍ය දැන ගැනීමට අවස්ථාව ලබා දුන් සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර, සිරස මාධ්‍ය ජාලයට ගිනි තබා විනාශ කර දැමූ මොහොතකයි නිදහසේ වේදිකාව බිහි වුණේ. මේ ව්‍යාපාරය ඇති වුණේ මේ රටේ ජනමාධ්‍ය නිදහස නැතිවූ අවස්ථාවකදී. අනිකුත් මාධ්‍යවලටත් රටේ මිනිස්සු දැනුවත් කරන වැඩපිළිවෙල නතර නොකෙරුවොතින් මෙවැනි ඉරණමකට පත් වෙන්නට පුළුවන් කියන පණිවිඩය රජයක් ලෙස දී තිබුණ වෙලාවක බිය නැතිව සියළුදෙනාම ඒකරාශී කරගෙන මේ මර්දනයට විරුද්ධව නැඟී සිටින්න පුළුවන් සංවිධානයක් දැන් බිහි කරල තියෙනවා. ඒක මේ රටේ ජනතාවගේ අනාගතය වඩා හොඳ තත්ත්වයකට පත් කරන්න පුළුවන් ප‍්‍රබල බලවේගයක් බවට පත් කළ යුතුයි. රටේ ජනතාවගේ නිදහස, මූලික අයිතිවාසිකම්, ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති කර ගැනීමට තියෙන අවස්ථාවක් ලෙස මම මේක දකිනවා. මෙතැන කිසිම දේශපාලනයක් නැතැයි කියන කාරණය අපි සඳහන් කළ යුතුමයි. කවර ආණ්ඩුවක් බලයේ සිටියත් මෙවැනි සංවිධානයක අවශ්‍යතාවය පවතිනවා.



ඞී.ටී.ඩබ්ලිව්.ජී.දිසානායක
කුරුණෑගල මානව හිමිකම් සංවිධානයේ සම්බන්ධීකාරක සහ
නිදහසේ වේදිකාවේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික

''සිරස මාධ්‍ය ජාලයට පහරදීමත් ඉන් දින කිහිපයකට පසු ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කර දැමීමත් අප සියළු දෙනා තුළ විශාල කම්පනයක් ඇති කළා. ඔහුගේ අවමඟුලට සහභාගි වුණ මම මින් පෙර මාධ්‍යවේදියෙකු වෙනුවෙන් එතරම් ජනතාවක් පෙළ ගැසෙනු දැක නැහැ. නිදහසේ වේදිකාව බිහි වෙන්නේ මම වගේම ලසන්තගේ මරණයෙන් කම්පනයට පත් වුණ පිරිසකගේ එකමුතුවෙන්."

ආරම්භයේදීම නිදහසේ වේදිකාව සමඟු මම සම්බන්ධ වුණා. කෙසේ හෝ නිදහසේ වේදිකාව ඉදිරියටම යා යුතු දෙයක් ලෙස මා හඳුනා ගත්තා. එවැනි මර්දනකාරී අවස්ථාවක මේ අභියෝගයට මුහුණ දී සිටි අය තුළ වූ අදහස් මම බොහෝ අගය කළා. අවසානයේදී අප සමඟ කටයුතු කරන විවිධ සංවිධාන, පුද්ගලයින්, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති වලට කුරුණෑගල නිදහසේ වේදිකාව පුළුල් කිරීමට එක් වන ලෙස අප ආරාධනා කළා. එහි පළමු රැස්වීමට සෑම ක්ෂේත‍්‍රයක්ම නියෝජනය කරමින් පුද්ගලයින් පැමිණ සිටියා. මේ ආකාරයට අපි රැස්විම් වට කිහිපයක්ම පවත්වා අවසානයේ කුරුණෑගල මහජන රැුස්වීමක් පැවැත්විය යුතුයි යන අදහසට පැමිණියා. ඒ අනුව මේ වෙන කොට අගෝස්තු දහඅට වැනිදා කුරුණෑගල නිදහසේ වේදිකාවේ මහජන රැස්වීම පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම්.

Back to Samabima
Back to Platform

No comments:

Post a Comment