Monday, August 31, 2009

නිදහසේ වේදිකාවට පහර දීමට එජාපයේ ජොනී පිළ හවුල්

නිදහසේ වේදිකාව යනු රාජ්‍ය හිංසනය රජයමින් තිබූ, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වල පල්ලට යමින් තිබූ ඉතා අවදානම්කාරී මොහොතක ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ උදෙසා සටන් වැදි මහජන බලවේගයකි. නිදහසේ වේදිකාවේ ශක්තිය වූයේ මුදල් හෝ රාජ්‍ය බලය වෙනුවට වඩා යහපත් ලෝකයක් ප‍්‍රාර්ථනා කරන මිනිසුන් කිහිපදෙනෙකු එම අසීරු මොහොතේ ඉදිරියට පැමිණ පෙන්නුම් කළ අප‍්‍රතිහත ධෛර්යයි. වේදිකාව එජාපයේ වැඩක් බවට පෙන්වන්නට ඇතමුන් උත්සාහ කළත් කුරුණෑගල අපේ මහජන රැස්වීමට පහර දුන්නේ එජාපයේ ජොනී පිළ ඇතුළු රජයට සහයෝගය දක්වන පිරිසකි. ඉතා පැහැදිලිව එම මොහොතේ අප ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කුරුණෑගල සාමාන්‍ය ජනතාවයි. අප එජාපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන පිරිස ඇතුළුව විපක්ෂයේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, කලාකරුවන්, කාන්තා සංවිධාන, වෘත්තිකයන් එකමුතුවෙන් ගොඩනැඟුන පුළුල් සිවිල් සමාජ ව්‍යාපාරයකි. මේ මොහොතේ නිදහසේ වේදිකාවට කවුරුන් පහර දුන්නත් එය රජයේ උවමනාවක් ඉෂ්ඨ කිරීමකි. කුරුණෑගලදී අපට එල්ල වූ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් අප කණගාටු වන අතර, එම මොහොතේ අප වෙනුවෙන් පෙනී සිටි සියළුම දෙනාටත්, මෙම සිදුවීමෙන් පසුව අප අමතා අපට සහයෝගය පළකල, අපව ධෛර්යමත් කළ සැමටත් අපේ ස්තූතිය පළ කරමු. ඉදිරියේදීත් අපගේ ශක්තිය වන්නේ, මෙවන් ප‍්‍රහාර හමුවේ නිහඬව නොසිට ඉදිරියට පැමිණෙන ඔබයි. ඔබගේ ශක්තියෙන් තවදුරටත් ශක්තිමත් වූ නිදහසේ වේදිකාවේ මීළඟ මහජන රැස්වීම මේ මස 25 වෙනිදා අනුරාධපුරයේදී පැවැත්වේ. මෙවැනි ප‍්‍රහාර හමුවේ බිය නොවන, නිහඬ නොවන ඔබ සැම එදින අප සමඟ එක් වේ යැයි අප බලාපොරොත්තු වෙමු.
වේදිකාව...

No comments:

Post a Comment