Thursday, August 6, 2009

නිදහසේ වේදිකාවේ නීතිඥවරුන්ගේ ප‍්‍රකාශය

නිදහසේ වේදිකාව’ ට සම්බන්ධ නීතිඥවරුන් වෙනුවෙන් අප ප‍්‍රකාශ කරන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම පිණිස නීතියේ පාලනය සහ සිවිල් පරිපාලනය නැවත ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය බවයි. එමෙන් ම, ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ඇතුළුව සියළු නීති ක‍්‍රියාත්මක කරන ලෙසද, තෝරා බේරාගත් නීති පමණක් ක‍්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ද අපි ඉල්ලා සිටිමු.
එමෙන්ම, පහත සඳහන් කරුණු ද අපි අවධාරණය කරමු.
17 වැනි ආණ්ඩු ක‍්‍රම සංශෝධනය අක‍්‍රීය වීම නිසා මුළු මහත් රාජ්‍ය යන්ත‍්‍රයම නීති විරෝධී තත්ත්වයකට පත් ව ඇත. එබැවින්, එම සංශෝධනය වහාම ක‍්‍රියාත්මක කරන්න.
අධිකරණ ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයභාවය සහ සුපිළිපන්නභාවය යළි ඇති කිරීම සඳහා වාතාවරණය නොපමාව කරන්න.
නීතිඥවරුන්ට බලපෑම්වලට ලක් නොවී සංවේදී ස්වභාවයේ නඩුවලට සහ මුලික අයිතිවාසිකම් නඩුවලට පෙනී සිටීමට අවශ්‍ය වාතාවරණය ඇති කරන්න.
අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට කටයුතු කරන්න. මාධ්‍ය නිදහසට බාධාකාරී වන පුවත්පත් මණ්ඩල පනත ඇතුළු මළ නීති නැවත ක‍්‍රියාත්මක නොකරන්න.
ආණ්ඩුවේ මතය ට වෙනස් මත දැරීමේ හේතුව මත තෝරාගත් මාධ්‍ය ආයතන වෙත රජයේ වෙළෙඳ දැන්වීම් සහ අනුග‍්‍රහය ලබා නොදීම මගින් ඇති කරන වක‍්‍ර මර්දනය නවත්වන්න.
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයන්ට නිදහසේ තම වෘත්තීමය කටයුතු කරගෙන යාමට අවශ්‍ය වාතාවරණයක් ඇති කරන්න. පිටුවහල් වී ජීවත්වන ලාංකික මාධ්‍යවේදීන් ට සහ මාධ්‍ය සේවකයන්ට පෙරළා පැමිණ බියෙන් තොරව කටයුතු කළහැකි වාතාවරණයක් සකස් කරන්න.
අපරාධ රැල්ල නීත්‍යානුකූලව පාලනය කළ හැකි ක‍්‍රියාශීලි සහ ස්වාධීන පොලිස් සේවයක් ස්ථාපිත කර ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදෙමින් අපරාධ විමර්ශන කටයුතු විද්‍යානූකූලව කිරීම සඳහා ශක්‍යතාවයන් වර්ධනය කරන්න.
අපරාධ චෝදනා ලැබ සිටින චූදිතයන් නිසි අධිකරණයක් මඟින් වරදකරුවකු කරන තුරු නිර්දෝෂී පුද්ගලයෙකි. පොලිස් අත් අඩංගුවේ සිටින චූදිතයන් පොලිස් වෙඩි පහරින් ඝාතනය වීම වළක්වන්න.
ලෝක ප‍්‍රජාව විසින් එක හෙළා පිළිගනු ලැබු මානව අයිතිවාසිකම්වලට ගරු කොට, ආරක්ෂා කොට, වැඩි දියුණු කළ යුතු අතර පටු දේශපාලන වාසි ලැබීමේ ජනප‍්‍රිය උපාය මාර්ගයක් ලෙස මානව හිමිකම් අවඥවට ලක් කිරීමෙන් වළකින්න.
තම රටවල ජනතාවගේ මානව හිමිකම් පාගා දමමින් කටයුතු කරන මර්දනකාරී රාජ්‍යයන් සමග එක පෙළට සිට ගනිමින් මානව හිමිකම් සීමා කිරීමේ කටයුතු වලින් වළකින්න.
යුධ ගැටුම් හේතුවෙන් අභ්‍යන්තර අවතැන්වුවන්ට ද සෙසු පුරවැසියන්ට ඇති අයිතිවාසිකම් වලට හිමිකම් තිබිය යුතුය. ඔවුන්ට රට තුළ එහා මෙහා යාමේ නිදහස ද අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ද තහවුරු කරන්න. ඔවුන් අතර අපරාධ චෝදනා ලත් අය සිටී නම් රටේ සාමාන්‍ය නීතිය අනුව ක‍්‍රියාකරනු මිස සියළු දෙනාටම සාමුහික ව දඬුවම් දීම නවත්වන්න.
වැඩිහිටියන්ගේ පරිහරණය සඳහා ඇති කලා හා සංස්කෘතික මාධ්‍ය බාල වයස්කරුවන් විසින් භාවිතා කිරීම වැළැක්වීමට දැනට නීති මඟින් පිළිගෙන ඇති පටිපාටිය අනුව කටයුතු කරනවා වෙනුවට එම කෘතීන් තහනම් කරමින් ඇෆ්ඝනිස්ථානයේ මූලධර්මවාදී තලේබාන් පාලනය වැනි අන්තවාදී පාලන ක‍්‍රම වෙත ගමන් නොකරන්න.
පාර්ලිමේන්තුව තුළ විවාද හරහා සම්මත වන නීති මඟින් රට පාලනය කරනු වෙනුවට, හදිසි නීතියේ රෙගුලාසි ඇතුළු අනෙකුත් විධායක නියෝග මඟින් රට පාලනය කිරීම අවසන් කරන්න.

No comments:

Post a Comment