Thursday, August 6, 2009



පුවත්පත් මණ්ඩල පනත භයානක නීතියක්.
ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා

මාධ්‍යවේදීන් පාලනය කිරීම රජය මඟින් ඉතාම ක‍්‍රමවත්ව කරගෙන යනවා. මුලින් අපි දැක්කා මාධ්‍යවේදීන්ට යම් වරප‍්‍රසාද ලබාදීමෙන් ඔවුන්ගේ හිත් දිනාගෙන තොරතුරු ජනතාවට ලබාදීම වැළැක්වීමේ ක‍්‍රියාදාමය. ඒ ක‍්‍රමවේදය බලාපොරොත්තු වු ප‍්‍රමාණයට සාර්ථක නොවුණු නිසා මාධ්‍ය මර්දනයකට රජය පියවර අරගෙන තියෙනවා.
2002 වසරේ සිට ම පුවත්පත් මණ්ඩල පනත ක‍්‍රියාත්මක වුණත් එම මණ්ඩලයට සාමාජිකයින් පත් කිරීමෙන් රජය වැළකී සිටීම නිසා මෑතක් වන තුරුම පුවත්පත් මණ්ඩලය ක‍්‍රියා විරහිත වී තිබුණා. නමුත් මෙයට මාසයකට පමණ පෙර ජනාධිපතිතුමා විසින් පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙක් නැවතත් පත්කොට පුවත්පත් මණ්ඩල පනත යළිත් ක‍්‍රියාකාරී තත්ත්වයට ගෙන ආවා.
මේ පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනාගෙන් හය දෙනෙක් නම් කරන්නේ ජනාධිපතිතුමා. නිල බලයෙන් පත්වන්නේ ඒ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා පමණයි.මේ පුවත්පත් මණ්ඩල පනතේ භයානක විධි විධාන ඇතුළත් වී තිබෙනවා. පළමුව, යම් මාධ්‍යවේදියෙකු විසින් යම් තොරතුරු ජනතාවට ලබා දුන්නේ නම් ඒ තොරතුරු ඔහුට ලැබුණු මුලාශ‍්‍රය පිළිබඳව හෙළි කරන්නැයි කියා එකී මාධ්‍යවේදියාට බල කිරීමට පුවත්පත් මණ්ඩලයට පුළුවන්.
මාධ්‍යකරුවන්ට ඉතාම වැදගත් දෙයක් තමයි තමන්ට ලැබෙන තොරතුරු වල මුලාශ‍්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම. එසේ රහස්‍යභාවය රැකෙනවා යැයි විශ්වාසයක් නැත්නම් මර්දනකාරී රජයකට එරෙහි තොරතුරු සැපයීම නවතිනවා. මම රජය විසින් සිදු කරන අක‍්‍රමිකතාවය පිළිබඳ තොරතුරු මාධ්‍යයට දුන් විට, එය මාධ්‍යවේදීන් විසින් පුවත්පතක පළකළ විට, පුවත්පත් මණ්ඩලය මඟින් එම මාධ්‍යවේදීන් ට තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි කරන්නට බල කළොත් මා අවසානයේදී කොටුවන නිසා මාධ්‍යවේදීන් ට එම තොරතුරු ලබාදීමෙන් වැළැකීමට මට සිද්ධවෙනවා.
ඊළඟ කරුණ මේ පුවත්පත් මණ්ඩලයේ සිටින සාමාජිකයන් හත් දෙනාගෙන් අඩු තරමේ හය දෙනෙක් දේශපාලන නායකත්වය විසින් පත් කරන අයයි. මේ පුවත්පත් මණ්ඩල සාමාජිකයින්ට මාධ්‍යකරුවන් සම්බන්ධ ව දඬුවම් පැමිණවීමේ බලතල ද පැවරී තිබෙනවා. අප දන්නා නීතිය අනුව කෙනෙකුට දඬුවම් කිරීමේ බලය ඇත්තේ අධිකරණයකට පමණයි. අධිකරණයේ සිටින්නේ පළපුරුද්දක් ඇති ස්වභාවික යුක්ති ධර්මය සහ නීතිය මත සාධාරණ තීරණ ගැනීමට හැකි විනිශ්චයකරුවන්. නමුත් පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් එවැනි පළපුරුද්දක් හෝ දැනීමක් ඇති අය නොවෙයි. දේශපාලනයට ඒ අය යොදාගෙන යම් අවස්ථාවකදී මාධ්‍යකරුවන්ට එරෙහිව දඬුවම් කිරීමේ හැකියාව දේශපාලකයන්ට තිබෙනවා.
ඒ නිසා පුවත්පත් මණ්ඩලය යනු මාධ්‍යකරුවන් හැසිරවීමට සහ පාලනය කිරීමට රජය ගෙන එන එක අවියක් බව පැහැදිලියි. ඒ නිසා මෙවැනි කරුණු ගැන මේ රටේ ස්වාධීන ව කල්පනා කරන ජනතාව උනන්දු විය යුතුයි











සැකකරුවන් අනූගණනක් අමු අමුවේ මරා දාලා
ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක


පහුගිය කාලය තුළ දරුණු අපරාධ සම්බන්ධ ව සැකපිට අත් අඩංගුවට ගන්නා ලද අනුවකට වැඩි පිරිසක්, කිසිම නඩු විභායක් නොමැති ව අමු අමුවේ මරා දාලා තියෙනවා. ඒ කියන්නේ නඩු විභාග වෙන්නේ උසාවි මඟින් නෙමෙයි. පොලිසිය මඟින්. පොලිසිය මේ හැම අවස්ථාවක ම කියන්නේ තමන් සැකකරු ආයුධ සොයා ගැනීම පිණිස රැගෙන ගිය බවත්, එහිදී ආයුධයක් ගෙන වෙඩි තැබීමට සැරසුණු බවත්, ආත්මාරක්ෂාව සඳහා අපි වෙඩි තියලා මැරූ බවත්, පොලිස් රෙගුලාසි අනුවම විත්තිකරුවෙකු සිර මැදිරියෙන් එළියට ගෙන යා යුත්තේ මාංචු යොදලායි. එසේ නම් මේ වෙඩි තැබීමට තැත්කර මරණයට පත් වී තිබෙන්නේ මංචු පිටින් හිටපු අයයි.
අපරාධකාරයෙකුට වුණත් සම්පූර්ණ නිදහස තියෙනවා රටේ නීති ක‍්‍රමය යටතේ දඬුවම් ලැබීමට. සමහර අය හිතනවා මේක සිද්ධ වෙන්නේ අපරාධකාරයන්ට නිසා කමක් නැහැ කියලා. නමුත් අපි කොතැනද තීරණය කරන්නේ අපරාධකාරයා කවුද කියලා. දැන් නීතිඥ මහත්වරුන් ට දේශද්‍රෝහීන් කියලා තියෙනවා. දේශද්‍රෝහී වීම ලොකු අපරාධයක්. එතකොට ඒ තර්කය යටතේ පොලීසියට සම්පූර්ණ අයිතියක් තියෙනවා ඒ අයව මරලා දාන්න. තව ඉස්සරහට ආණ්ඩු විරෝධී අයත් දේශද්‍රෝහී කියලා නම් කරන්න පුළුවන්.
මේ නීතිය තිබුණා නම් අපට එන්.එම්. පෙරේරා කෙනෙක් ගැන අහන්න ලැබෙන්නේ නෑ. මොකද ඔහු අත් අඩංගුවට ගත් වෙලාවේ එවෙලේම පොලිසිය වැඬේ ඉවර කරලා දානවා. ඒක යුද්ධයක් තිබුණු වෙලාවක් යුද්ධයට විරුද්ධව කතා කරපු එන්.එම්. පෙරේරාටත් නීතිය අනුව කටයුතු කරන්න අධිරාජ්‍යවාදී පාලනය පවා ක‍්‍රියා කළා.
අපේ රට දිර්ඝ කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංස්කෘතියක් පැවති රටක්. අපි බ්‍රේස් ගර්ඞ්ල් නඩුව දැම්මේ බි‍්‍රතාන්‍ය ආණ්ඩු කාලයේදියි. බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා බ්‍රේස් ගර්ඞ්ල්ට විරුද්ධ ව රඳවා ගැනීමේ නියෝගයක් නිකුත් කළා. ඒ රඳවා තබා ගැනීමේ නියෝගයට විරුද්ධ ව අධිකරණයට ගිහිල්ලා නීතිඥයන් මඟින් පෙනී සිටලා කරුණු ඉදිරිපත් කරලා ලාංකිකයන්ට පුළුවන් වුණා ඒ ආණඩුකාරයාගේ නියෝගය නීති විරෝධීයි කියලා ප‍්‍රකාශයක් ලබා ගන්න.
දැන් ඒ දීර්ඝ කාලයක් තිස්සේ පැවති සම්ප‍්‍රදාය අනුව බලනවා නම් අද තියෙන්නේ කැලෑ නීතිය. ඒ කියන්නේ බරපතල නඩු ඔක්කෝම අහන්නේ පොලිසිය විසින්. උසාවියට එන්නේ කෙහෙල් කැන් හොරකම් කිරීම වගේ සුළු නඩු. මේ නීතිය තිබුණා නම් අපට සතාසිවම් නඩුව, තිස්මඩ නඩුව වගේ නඩුවක් ගැන අහන්න ලැබෙන්නේ නැහැ.මෙය විහිළුවක් නොවෙයි. මෙය නීතියේ ආධිපත්‍යයට එරෙහිව ඇති වී තිබෙන ඉතාම දරුණු තර්ජනයක්. මෙය මේ අකාරයට වර්ධනය වුණොත් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් සම්පුර්ණයෙන් ම අහෝසි වෙනවා.මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැඳි පවතින්නේ ප‍්‍රධාන වශයෙන් කරුණු හතරක් උඩයි.
01. මහජන නියෝජිතයන් විසින් කරනු ලබන පාලනයක් තිබිය යුතුයි.
02. නීතියේ ආධිපත්‍යය තිබිය යුතුයි.
03. අධිකරණයේ ස්වාධීනත්වය තිබිය යුතුයි.
04.මානව හිමිකම් වලට ගරු කළ යුතුයි.
මේවා නැත්නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් යනු බෝඞ් ලෑල්ලකට පමණක් සීමා වු බොරුවක්. අද රට තුළ ශීඝ‍්‍රයෙන් සිදුවෙමින් යන්නේ එයයි. එනිසා නීතිඥයන් වශයෙන් අපට විශාල වගකීමක් තියෙනවා සමාජයට මේ කරුණු ඉදිරිපත් කරලා පෙන්වා දීමට නීතියේ ආධිපත්‍යයට විරුද්ධ ව ඇති වන මේ තර්ජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දරුණු පහරක් බව










ලබ්බට තියපු අත පුහුලටත් නොතියයි කියන්නේ කොහොමද ?
ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද කුමාරගේ



මේ ක‍්‍රියාදාමය 1971 -1989 කාල පරිච්ජේදයේ දැකිය හැකි වු තත්වයක් බවත් 1980 ගණන්වල එවකට පැවති රජය නීතිඥයන් සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීමි අතුරුදහන් කිරිම් සිදුකරන ලද බව කුමාරගේ මහතා පැවසීය මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප‍්‍රකාශ කලේ එම අතුරුදහන් කිරිම් වලට විරුද්ධව එනම් ගංගාවල මළ කදන් පාවීම වැලැක්වීමට අතුරුදහන් වුවන්ගේ මාපිය දු දරු සංගමය එදා ස්ථාපිත කල බවයි එදා මහින්ද රාජපක්ෂ මිනිස් සංහාරය පිළිබද වාර්ථා රුගෙන බටහිර සංවිධානවලට මෙන්ම ජිනිවා පවා ගිය අතරම එතුමා සිරබාරයටත් ගනු ලැබු බව මතක් කර දෙයි නමුත් අද ඔහුගේ පාලනය යටතේදීම පසුගිය කාලයේ සිදුවු සිද්ධින්ම සිදුවීම අභාග්‍යයට කාරණයක් බව නීතිඥ චන්ද කුමාරගේ ප‍්‍රකාශ කරන ලදී .

17 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේම කොටසක් බවත් එම කොටස ක‍්‍රියාත්මක නොකිරිම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරිමක් බවත් මෙය විශාල වරදක් ලෙස ඒ මහතා හදුන්වන ලදි අපි යුද්ධය දිහා බලන් සිටි බවත් අද යුද්ධය අවසන් වී රට සාමාන්‍ය තත්වයට පත්ව තිබෙන මොහොතේ කල යුත්තේ නීතියේ ආධිපත්‍ය ක‍්‍රියාත්මක කිරිම බව අවධාරණය කරන ලදි ලංකාව අත්සන් තබා තිබෙන සිවිල් අයිතිවාසිකම් පිළිබද පනත් ඒ ආකාරයෙන්ම ක‍්‍රියාත්මක කල යුතු අතර ඒවා කඩ කිරිමට වගකිවයුතු රජයකට නොහැකි බව සදහන් කරන ලදි සිද්ධින් පනහකට අධික සංඛ්‍යාවකදී පොලිසියට වෙඩි තැබිමට උත්සහ කිරිමි නිසා සැකකරුවන් ඝාතනය වු බව පොලිසිය පැවසීම මුසාවක් මිස සත්‍යයක් නොවන බව පැහැදිලි බවද අධිකරණ තීන්දුවකින් තොරව පුද්ගලයන් මරණයට පත්කරලීමට කිසිවකුට අයිතියක් නොමැති බව පොලිසිය දැනගතයුතුයයි අවධාරණය කරන ලදි.

මේ ඝාතන සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පලකල කුමාරගේ මහතා ලබ්බට තියපු අත පුහුලටත් නොතියයි කියන්නේ කොහොමද යයි ප‍්‍රශ්න කරන ලදි අහිංසකයන් ඝාතනය කොට බෝම්බයක් දැමීම මගින් එම ඝාතනය සාධාරනය කරලීමට මෙම ක‍්‍රියාවලින් හැකි වී තිබෙන අතරම රාජ්‍ය අනුග‍්‍රහය නොමැතිව රජය රාජ්‍ය බලය දරන මොහොතක මේ ආකාරයේ සිදුවීම් සිදුවිය හැකිදැයි අවධාරණය කරන ලදි මෙම තත්වය වැලැක්වීමට නම් නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කල යුතුබවත් කුමාරගේවගකිවයුතු රජයක් ලෙස මෙම රජයෙන් ලංකාව ඇප්ගනිස්ථානයක් නොකොට නීතිඥවරුන්ගේ සහ ජනතාවගේ අයිතිවාසිකමි සුරක්ෂිත කරන ලෙස බල කර සිටින බව කුමාරගේ මහතා ප‍්‍රකාශ කරන ලදි






ආණ්ඩුක‍්‍රම සංශෝධනය බලාත්මක කිරිම රජය පැහැර හරිමින් සිටිනවා
නීතිඥ ජේ.සී.වැලිඅමුණ

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු රටේ මුලික නීතියයි එය ක‍්‍රියාත්මක කරලීමට රජය කටයුතු කල යුතු බව ප‍්‍රකාශ කල වැලි අමුණ මහතා අද ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් ආකාරයට පාලනයක් සිදුනොවන බවත් 17 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය බලාත්මක කිරිම රජය පැහැර හරිමින් සිටින අතරම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන 17 වන සංශෝධනය ක‍්‍රියාත්මක නොවීම මත ඊට අදාල ආයතන නීති විරෝධි තත්වයට පත්ව තිබෙන බව ප‍්‍රකාශ කරන ලදි.
එමෙන්ම අද මාධ්‍යවේදීන්ට පහරදීම් මෙන්ම මාධ්‍යවේදීන් ඝාතනය කිරිම්ද සිදුවන බවත් එම නිසා මාධ්‍යවේදීන් තම ජිවිත ආරක්ෂාව පතා විදේශ ගතව සිටින බව ප‍්‍රකාශ කරයි රජය මෙම තත්වය වෙනස්කරලීමට ඍජුව මැදිහත් විය යුතු අතරම ජිවිත ආරක්ෂාව පතා විදේශ ගතව සිටින මාධ්‍යවේදීන් ලංකාවට ගෙන්වා ගැනිම සදහා සාධනීය ප‍්‍රතිකර්ම යෙදිය යුතු බව අවධාරණය කරණ වැලි අමුණ මහතා රටක ව්සම්මුතික මත දැරීමේ නිදහස ආරක්ෂා කල යුතු බව ප‍්‍රකාශ කරයි.
අද අමාත්‍යවරුන්ගේ තීරණ රටේ නීතිය ලෙස ක‍්‍රියාත්මක කිරිමට යෑම බරපතල තත්වයක් ලෙස සලකන ඔහු මේ ආකාරයේ ක‍්‍රියාදාමයන් තලේබාන් පාලනයට සමාන කර දක්වයිලෝකයේ කිසිම ආකාරයකට මානව හිමිකම් පිලිනොගන්නා රටවල් අතරට ශ‍්‍රි ලංකාව වැටීමේ තැනක නොසිට ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරන තැනකට ගමන් කල යුතු අතරම ජනතාවටද එම අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සදහා යුතුකමක් තිබෙන බවද අවධාරණය කරයි පාර්ලිමේන්තුව තුල සම්මත කරනු ලබන නීති ක‍්‍රියාත්මක කල යුතු අතරම එය රාජ්‍ය පාලකයාට අවශ්‍ය ලෙස නීති වෙනස් කිරිම් සිදු නොකල යුතු අතරම සියල්ලන්ම නීතියේ පාලනයට යටත් විය යුතු බවත් එය සියල්ලන්ටම පොදු මෙන්ම රාජ්‍ය පාලකයාටද අදාල බව මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කරන ලදි .



‘නිදහසේ වේදිකාව’ ට සම්බන්ධ නීතිඥවරුන් විසින් අගෝස්තු 4 වෙනිදා කොළඹ 07, ජාතික පුස්තකාල මණ්ඩල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුව ඇමතූ කේ.එස්. රත්නවේල්, ලාල් විජේනායක, චන්ද්‍රා කුමාරගේ සහ ජේ.සී. වැලිඅමුණ යන ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්. ජනාධිපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතාද මෙයට සහභාගී විය.
Back to Samabima site
Back to Platform site

No comments:

Post a Comment