Monday, September 28, 2009

රට කාබාසිනියා කරන එවුන් දේශපේ‍්‍රමීන් නම් අපි දේශද්‍රෝහීන් වෙන්න කැමතියි

බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සිංහල සිනමාවේ ආරම්භක නළුවෙකු වූ හියුගෝ ප‍්‍රනාන්දු මාස්ටර්ගේ කණිෂ්ඨ පුත‍්‍රයාය. දීර්ඝ කාලයක් නව සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු සහ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1991 දී මීගමු මහ නගර සභාවටද තේරීපත් විය. නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළ ‘කලාපේ අපි’ සංවිධානයේ සහ ‘නිවේකා’ පුවත්පතේද පුරෝගාමීයාය. 88-89 භීෂණ සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් සීදූව රත්දොළුව ස්මාරකය ගොඩනඟා සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින අතුරුදහන්වූවන්ගේ ජාතික දිනය නොකඩවා අනුස්මරණය කරන අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ගොඩනඟා අද දක්වාම එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේද බි‍්‍රටෝය. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමේ අරමුණින් පිහිටුවන ලද නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඔහු අද නිදහසේ වේදිකාවේ රැස්වීම් වලට නැතුවම බැරි කථිකයෙකි.


අපි අද ඉන්නෙ ශිෂ්ටාචාර සමාජයක. රාජාණ්ඩු යුග, වැඩවසම් යුග, කැලෑ යුග ඔක්කොම පහුකරල ශිෂ්ටචාර යුගයකට ඇවිත් ඉන්න අපි නීතියට පිටින් දඬුවමක් කරන්නෙ නැහැ. ඒක තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරය කියන්නෙ.

අද මේක හරිම සරල කාරණයක් වෙලා. පාතාලයේ එකෙක් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඊට පස්සෙ ආයුධ පෙන්නන්න එක්ක ගියාම පාතාලයා එක පාරටම හංගපු බෝම්බයක් අරගෙන පොලිස් නිලධාරීන්ට ගහනවා. ඉතින් පොලිස් සහෝදරවරු වෙඩි තියනවා. ඊට පස්සෙ ඒකට සාධාරණ මිනී මැරීමක් කියල කියනවා. අපිත් ඒක විශ්වාස කරනවා. ඒත් ටික දවසකින් අපි ඔක්කොටම තේරෙන්න ගන්නවා මේකෙ වෙන කතන්දරයක් තියෙන බව. වෙඩි තියන හැම එකාම පාතාලයෙක් වෙනවා. මෙහෙම පාතාලයන් මරද්දි ඊට පසුබිමකුත් හදනවා. ඔවුන්ට ලස්සන නම් නැහැ. කවුරුහරි කිව්වොත් ප‍්‍රනාන්දු මහත්තයා මරා දැම්ම කියල අපිට කණගාටු හිතෙනවා. ඒත් මේ පාතාලයන්ට තියෙන්නෙ ආනමාලූ ඉමිතියාස් වගේ නම්. එතකොට අපිටත් හිතෙනවා මුන් මැරුණට කමක් නැහැ නම කැතයි කියල. රටේ මේ වගේ සංස්කෘතියක් හැදුවට හැම කෙනාම වගකියන්න ඕන. අපේ නිශ්ශබ්දතාවය හා විශ්වාසය තුළින් අර වගේ මිනිස්සු මේ සමාජයෙන් ඉවත් කරන්න අනුමැතිය අරගෙන තියෙනවා. ඒ නිසා දැන් කාලය ඇවිල්ල තියෙනවා මෙය අවසාන කරන්න.

නිදහසේ වේදිකාවෙන් මහින්ද බලයට එනවද, රනිල් බලයට එනවද කියල අපිට අදාළ නැහැ. මහින්දද, රනිල් ද කියන එක නෙවෙයි අපිට තියෙන ප‍්‍රශ්නය. කතා කිරීමේ නිදහස හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට අපි එකතු වෙලා ඉන්නෙ. මේ නිදහසේ වේදිකාවේ අපි කියන්නෙ එක දෙයයි. කතා කරන්න පටන් ගමු. අද අපි කොච්චර බයද කිව්වොත් බස් එකේ කොන්දොස්තරටත් බයයි. ඉතිරි සත පණහ ඉල්ලන්නෙ නැහැ. ටිකට් එක ඉල්ලන්නෙ නැහැ. ඉස්පිරිතාලෙට ගියාම දොස්තරගෙන් ලෙඬේ ගැන අහන්නෙ නැහැ බයයි. රජයේ කන්තෝරුවකට ගියාම වෙවුලන්න ගන්නවා. ඇයි බයයි. අපි පොලිසියට යන්නෙ ගෙදර ඉඳන් සර් කියාගෙන. මේ සංස්කෘතිය කඩන්න, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න කාලෙ ඇවිල්ල. ඒක ලේසි වෙන්නෙ නැහැ.

සිවිල් සංවිධාන කිහිපයක් එකතු වෙලා දේශපාලන පක්ෂ නායකයින්ගෙ ආශිර්වාදයෙන් ගොඩනගපු නිදහසේ වේදිකාවට අද මෙච්චර දුරක් එන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ ශක්තියෙන් නිදහසේ වේදිකාවෙ මේ නායක සහෝදරවරු දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ඔබ හමුවෙන්න එනව. අපි බය නැහැ. ඔය ගහල තියෙන ඉරි වලට අනුව හොරකම් කරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මිනී මරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මේ රට කාබාසිනියා කරන එවුන් ඉන්නෙ දේශපේ‍්‍රමී පැත්තෙ නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. ඒ නිසා මේ නිශ්ශබ්දතාවය කඩන්න අපි රට පුරා යනව. මොන දේශපාලනය කළත් අපි එකතු වෙලා අපේ පාරට තාර දාන එක ගැන, අපේ ගුරුවරුන්ගෙ සහ ළමයින්ගෙ විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල් ගැන කතා කරන්න පටන් ගන්න ඕන. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හැම කෙනාම දායකත්වය දෙනවා නම් මේ සියල්ල වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අපි කියනවා මහින්දට දැන් එයාගෙ කාලෙ අවසානයි. එක්කො තමුන් හැදෙන්න ඕන. නැත්නම් තමුන් යන්න ඕන කියල.

Back to samabima
Back to platform

සත්‍ය ලියන මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීම ජනතා වගකීමක්

මාධ්‍යවේදී ෂාරංග නානායක්කාර

නිදහසේ වේදිකාවේ හලාවත මහජන රැළිය පසුගිය සැප්තැම්බර් 12 වෙනිදා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහිදී දේශපාලන නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සභාව අමතා සිය අදහස් පළ කළ අතර
පහත පළ වන්නේ එහිදී නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ මාධ්‍යවේදී ශාරංග නානායක්කාර පළකළ අදහස් වලින් කොටස් කිහිපයකි.






සිරසට පහරදීල, බෝම්බ ගහල, වෙඩි තියල, විනාශ කර දමමින් දෙදාස් නමය අවුරුද්ද පටන් ගත්තෙ ජනමාධ්‍ය නිදහසට විශාල කළු පැල්ලමක් එකතු කරමින්. ඊට දවස් දෙකකට පස්සෙ මේ රටේ විතරක් නෙවෙයි

ජාත්‍යන්තරයේ පවා ප‍්‍රසිද්ධියට පත් වෙලා හිටපු ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතා අධි ආරක්ෂිත කලාපයේදී මහ දවාලේ වෙඩි තබා ඝාතනය කළා.
ජනවාරි විසිහතර වෙනිදා මේ රටේ ප‍්‍රධාන ජාතික පුවත්පතක කර්තෘවරයෙකුට සහ එතුමාගේ බිරිඳට මහ මගදි පහර දුන්නා. මෙහෙම දිගින් දිගටම සිදුවෙන කොට හැමදාම අපි ජනමාධ්‍ය අමාත්‍යංශය ඉදිරියට ගිහින් උද්ඝෝෂණය කරනවා. ඒත් වැඩක් වුණේ නැහැ. ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන කොට, පහරදීම් සිදුවෙන කොට ආණ්ඩුව කිව්වෙ මේ රටේ ආයුධ සංසරණයක් සිදුවෙන නිසා කුමන කණ්ඩායමක් මේවා පිටුපස සිටිනවා ද යන්න හරියටම සොයා ගැනීමට අපහසුයි කියලා.

මාධ්‍යවේදියෙක් විදිහට මමත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට නිරන්තරයෙන් කතා කරනවා. මේ පහරදීම් ගැන ඇහුවම හැමදාම ඔහු කියන්නෙ පරීක්ෂණ පවත්වනවා කියන එකම කතන්දරය. අපි හිතුවා යුද්ධය ඉවර වුණාම ජනමාධ්‍ය වලට තියෙන මර්දනයන්, සහෝදර මාධ්‍යවේදීන්ට තියෙන තර්ජනයන් නැවතෙයි කියලා.
ඒත් යුද්ධය ඉවර වෙලා සතියයි ගියේ. ශ‍්‍රී ලංකා වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්ත මහතා සුදු වෑන් එකකින් පැහැර ගෙන ගිහින් කකුල කඩල, ගහල, අගලකට තල්ලූ කරල දාල යනවා. යාපනයේදී උදයන් පුවත්පත බෙදා හැරීමේදී උදුරගෙන ගිහින් පුච්චලා දානවා. මෙච්චර කල් අක‍්‍රීය වෙලා තිබුන පුවත්පත් මණ්ඩල පනත නැවත ක‍්‍රියාත්මක කරල පුවත්පත් කලාවේදීන්ව දණ්ඩනය කිරීමකට ලක් කරල තියෙනවා. තිස්සනායගම් කියන මාධ්‍යවේදියා තීරු ලිපියක් ලිවීමේ වරදට බරපතල වැඩ ඇතුව විසි වසරකට සිරගෙට යවනවා. ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙක් ඔවුන්ගේ වෘත්තීය කටයුත්තක් කිරීම නිමිත්තෙන් පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඊට පෙර අප පුවත්පතේ ජ්‍යොතිෂ ලිපි ලියන චන්ද්‍රසිරි මහත්මයා අපරාධ විමර්ශන අංශයේ දවස් දෙකක කාලයක් රඳවා තබා ගන්නවා.

අපි හිතුව යුද්ධය අවසන් වීමත් සමඟ ම මේ රටේ ජනමාධ්‍යවේදීන්ට සහ ආයතන වලට තිබුණ තර්ජනයන් නැතිවෙයි කියල. අද ජනාධිපති හා මැති ඇමතිවරු සෑම කෙනාම කියනවා මේ රටේ තිබුණ ත‍්‍රස්තවාදය ඉවරයි කියල. එහෙමනම් අපි අහනවා මොකටද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවම තියාගෙන ඉන්නෙ කියල.
එකම කාරණයක් නිසයි ආණ්ඩුව තවම මේ පනත තියාගෙන ඉන්නේ. ඒ ආණ්ඩුවේ විරුද්ධවාදීන් මර්දනය කරන්න. ජනමාධ්‍යවේදීන් මර්දනය කරන්න. ඒ නිසා අපි පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ එක දෙයයි. අපේ වෘත්තීමය අයිතිවාසිකම් රැකුණොත් විතරයි ඔබට ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නෙ. ඔබේ අයිතිය වෙනුවෙන් තමයි අපි මේ සටන් කරන්නෙ. ඒ නිසා යම් වගකීමක් ඔබටත් පැවරිලා තියෙනවා.

ජනමාධ්‍යවේදීන් වශයෙන් මේ වගේ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, මාධ්‍ය සංවිධාන සිටින පුළුල් වේදිකාවකට ගොඩවීමේ අවශ්‍යතාව අපිට මතු වුණේ ඒ නිසයි. අපි සත්‍ය කතා කරනවා නම්, සත්‍ය ලියනවා නම් අපි වගේ අයව ආරක්ෂා කර ගන්න මේ වගේ මහජන ව්‍යාපාරයකට ඔබගේ යොමු වීම වැදගත් වෙනවා

Back to samabima
Back to platform

Tuesday, September 8, 2009

වාරණයට වගකිව යුත්තේයුද්ධයට උඩ ගෙඩි දුන්න අයයි

සිනමාවේදී සිරිමල් විජේසිංහ
අනුරාධපුරයේදී

නිදහසේ වේදිකාව තුළ කලාකරුවෙකු වශයෙන් අදහස් දැක්වීමට විතරක් නෙවෙයි පුරවැසියෙක් වශයෙන් මට තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියල ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවත් ලැබිල තියෙනවා. මේ වේදිකාවේ නොයෙක් විට කියැවෙනවා තියෙන භීෂණය ගැන. කලාවට, සංස්කෘතියට හෝ මාධ්‍ය නිදහසට තියන ප‍්‍රශ්න ගැන. මම අහන්න කැමතියි මේ මාධ්‍ය හෝ කලා නිදහස විනාශ වීමට වගකිව යුතු වැරදිකාරයා කවුද කියල. වැරදිකාරයා මහින්ද සහ ගෝඨාභය සහෝදරවරු දෙන්නා විතරක්ද? මම දකින විදියට අද මෙතන ඉන්න විපක්ෂයේ සාමාජිකයන් ඇතුළු ඔබ සියළුදෙනාම එහි කොටස්කාරයින්.
ඒ ඇයි? පසුගිය කාලය පුරාම අතිශය බිහිසුණු යුද්ධයක් මේ රටේ තිබුණා. දැන් ඒ යුද්ධය ඉවරයි. නමුත් තාමත් නොනිල වශයෙන් යුද මානසිකත්වය ක‍්‍රියාත්මක වෙන පශ්චාත් යුද කාලයක් පවතිනවා. ඒ නිසා යුද භීෂණය ක‍්‍රියාත්මක වෙනවා. එතකොට යුද්ධයට වැරදිකාරයා අද ඉන්න ආණ්ඩුව පමණක්ද? කලාකාරුවෙක් වශයෙන් මම නම් යුද්ධයට සපෝට් කළේ නැහැ. ඒ නිසා මට චෝදනා කරන්න ලේසියි. ඔබ සියළුදෙනාම පක්ෂ භේදයකින් තොරව යුද්ධයට සපෝට් කළා. ඒ නිසා කලාකරුවෙක් විදිහට අද මට ඇති වෙලා තියෙන තත්ත්වයට සහ කලාව පිළිබඳ මේ පවතින කලහකාරී වාතාවරණයට ඔබ චූදිතයෙක් කියලා මම සෘජුවම කියනවා.
දැන් ඔබ අහන්න පුළුවන් එහෙමනම් කොහොමද ත‍්‍රස්තවාදීන් නැති කරන්නේ කියලා. මම විශ්වාස කරනවා අතිශය රුදුරු ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් මේ රටේ තිබුණා, ඒක ඇත්ත. නමුත් දරුණු ත‍්‍රස්තවාදයක් මර්දනය කරන්න ඊට වඩා ත‍්‍රස්තවාදයක් යොදා ගත්තා. අපිට තිබුණ හොඳම විසඳුම් වෙනුවට ලේසිම විසඳුම තෝරා ගත්තා. අද නොනිල වාරණ රාශියක් ඇතිවෙලා. පහුගිය කාලයේ මාධ්‍ය නිදහස නැහැ කියලා උද්ඝෝෂණය කරපු මාධ්‍යවේදීන් කිව්වෙ නැහැ මාධ්‍ය නිදහස නැතිවෙලා තියෙන්නෙ යුද්ධය නිසා කියලා.කලාකරුවෙක් වශයෙන් මට කියන්න තියෙන්නෙ මට කෙළවුණේ යුද්ධය නිසා කියලයි. අපි කවුරුත් තේරුම් ගත්තෙ නැහැ ඇයි ත‍්‍රස්තවාදය ඇති වුණේ කියල. හෙට අනිද්දා වෙද්දී මේ රටේ තව ත‍්‍රස්තවාදීන් ඇති වෙන්න පුළුවන්. ඒව තේරුම් ගත්තොත් අපි වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න පුළුවන්.

Back to platform
Back to samabima

පාලකයා පාලනය කරන්නත්ත් පාලකයා තෝරා ගන්නත් මහජනයාට ඇති අයිතිය අහිමි කිරීමට එරෙහි වෙමු

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ
අනුරාධපුරයේදී

අද දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ගණනාවක් එක වේදිකාවක ඉන්නවා. මේ සියළු දෙනාම එකම වේදිකාවට ගොඩ වෙන එකම අවස්ථාව මෙයයි. නිදහසේ වේදිකාව ගොඩනැඟිල තියෙන්නෙ ජනතාවගේ මූලික නිදහස ආරක්ෂා කරන්නයි. අපි හැමදෙනාටම අපේ මතයන් ගැන වාද විවාද කරන්න, අදහස් පළ කරන්න, ඡන්දය ඉල්ලන්න නිදහස තියෙන්න ඕන. ඔබේ ඒ නිදහස නැති කරන්නයි අද නිදහස් මාධ්‍ය මර්දනය කරල තියෙන්නෙ. ලෝකෙ දරුණුම විදිහට මාධ්‍ය මර්දනය කරන රටවල් පහෙන් එකක් ලංකාව. දැන් මාධ්‍යවේදීන් තිහක් මරල දාලා. පනහක් හැටක් රටින් පිටවෙලා එන්න බැරුව ඉන්නවා. සමහරු තම වෘත්තියෙන් ඈත්වෙලා. තවත් සමහරු කට වහගෙන ඉන්නවා. ඒ අතර සුළු පිරිසක් හීලෑ වෙලා ඉන්නවා. එවැනි අවස්ථාවකයි අපි ඔක්කොම මෙහෙම එකතු වෙලා ඉන්නෙ. දෙමළ මිනිස්සුන්ව මරනකොට මුන් ඔක්කොම කොටි කියනවා. ඊට පස්සෙ සිංහල අය මරන කොට ඒ විරුද්ධවාදීන් කියනවා. මං අහන්න කැමතියි කීත් නොයාර්, ලලිත් අලහකෝන්, උපාලි තෙන්නකෝන් වගේ මාධ්‍යවේදීන් කොටි සංවිධානයේ අයද කියලා. එදා හුඟක් අය කිව්වා කොටි නැති කළ යුතුයි කියල. ඒක ගැන වාදයක් නැහැ. ඒකට අපි සහයෝගය දෙනවා. ඒත් එහෙම කරන කොට මානව නිදහස ආරක්ෂා විය යුතුයි. යුද්ධෙ තියෙන කොට ඒක පිටින් දාල මාධ්‍ය මර්දනය කළා. මේ වෙනකොට කොටි සංවිධානය මර්දනය කරලා මාස හතරක් ගත වෙලා. ඒත් මර්දනය වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. මාධ්‍ය මර්දනය කරන්න කොටි සංවිධානය පලිහක් කරගෙන. පාලකයා පාලනය කරන්නත්, පාලකයා තෝරා ගන්නත් මහජනයාට තියෙන නිදහස පාලනය කිරීමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ. අද මහජන මතය ගොඩ නඟන කෙටිම මාර්ගය මාධ්‍යය. මහින්ද මාධ්‍යවේදීන් බය කරලා රටේ ප‍්‍රශ්න, දූෂණය, භීෂණය, නාස්තිය, එක පවුලක පාලනය ඇතුළු හැමදේ ගැනම මහජන මතය ඉදිරියට ඒම වළක්වලා. ඒ කියන්නෙ පාලකයා පාලනය කිරීමේ අයිතිය පාලනය කරලා. ඒ නිසා ජනතාවගේ දුක කියන්න මාධ්‍ය බයයි. මාධ්‍යවේදීන් අපිට කියනවා ඇත්ත ලිව්වොත් අපි මැරෙනවා, බොරුව ලිව්වොත් වෘත්තිය පාවා දෙනවා කියලා.ඒ නිසා ස්වයංවාරණයක් ඇතිවෙලා. පාලකයා පාලනය කිරීමේ අයිතිය ඉවත් කළාට පසු ජනතාවට අවශ්‍ය නම් වෙනත් පාලකයෙක් තෝරා ගැනීමට තියෙන අයිතියත් නැති කරන්න ස්වාධීන මැතිවරණ කොමිසම පත් නොකර ඉන්නවා. මේ ගහන්නෙ ජනතාවටයි. ජනාධිපති කියන්නෙ තමන් ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න ලැහැස්ති නැහැ, ජනතාව එක්ක ඉන්න ලැහැස්තිත් නැහැ, ඒ වුණාට ජනතාව ඔහු එක්ක ඉන්න ඕන කියලයි. මේක තමයි ඔහුගේ පාලනය. මේක රජ පාලනයේ කොටසක් මිස ජනතාවගේ පරමාධිපත්‍යයේ කොටසක් නෙවෙයි. අද මේ රටේ ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. ජීවන වියදම, සෞඛ්‍යය, අධ්‍යාපනය ඇතුළු බොහෝ ක්ෂේත‍්‍රවල මොන තරම් ප‍්‍රශ්න තියෙනවා ද ? ඒවා ගැන මාධ්‍ය කතා කරනවාද ? මම කියන්නෙ නැහැ නිකං ගිහින් ජනාධිපතිට බනින්න කියලා. මම මාධ්‍යයට දොස් කියන්නෙ නැහැ. මට බැහැ ඔවුන්ගෙ ජීවිත ආරක්ෂා කරල දෙන්න. පුවත්පත් කර්තෘවරයෙකුගේ හෝ රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්ති කියවන අයගේ අයිතිය නෙවෙයි මේ නැති වෙන්නේ, ඔබේ නිදහසයි. ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ මාධ්‍ය නිදහස ඕන කියල මුලින්ම පාරට බැස්සෙ මහින්ද. මම අගමැති වුණාම මාධ්‍යයට බලපාන නීති ගණනාවක් නැති කළා. එකක් තමයි පුවත්පත් මණ්ඩලය. මම ඒක පත්කළේ නැහැ. ඒ වෙනුවට පුවත්පත් පැමිණිලි මණ්ඩලයක් ඇති කළා. ඒකෙන් පැමිණිලි අටසීයක්, නවසීයක් විතර විභාග කළා. දැන් ආපහු පුවත්පත් මණ්ඩලය පත් කරලා. එදා මා එක්ක එකඟ වුණ සමහර මාධ්‍යවේදීන් අද මේක සාධාරණීයකරණය කරනවා. මේ පුවත්පත් මණ්ඩලය සම්මත කර ගත්තෙ කොහොමද කියල කවුරුවත් හරියට දන්නෙ නැහැ. ඇහුවම නොයෙක් කතන්දර කියනවා. ඒක කරපු මණ්ඩලයක්, කමිටුවක්, වාර්තාවක් නැහැ.අද මාධ්‍යවේදීන් ට තර්ජන එනකොට ඉදිරිපත් වෙලා උදව් කළ ආචාර්ය සරවනමුත්තුගේ ගෙදරට මුද්දරයක් ඇලවූ ලියුමක් එනවා ‘උඹ මරනවා’ කියල. කාටද මේ රටේ මිනිස්සු මරන්න පුළුවන් ? ආණ්ඩුවට විතරයි. මම දන්නෙ නැහැ ඇයි මේ ලියුම රජයේ මුද්‍රණයක් විදිහටම එව්වෙ නැත්තෙ කියල. එහෙම වුණා නම් මුද්දර ගාස්තුවත් ඉතිරියි.1973 බණ්ඩාරනායක මැතිනිය ස්වාධීන පුවත්පත් වහල දාල අත්පත් කරගත්තා. නැවත ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් ඒ වෙනුවෙන් අපි උද්ඝෝෂණය කළා. කටින් කට ප‍්‍රචාරය යැවුවා. ආණ්ඩුවකට පාලනය කළ නොහැකි එකම මාධ්‍ය තමයි ‘කට මාධ්‍යය’. මොන මාධ්‍ය පාලනය කළත් ගෙදර තියෙන කට මාධ්‍ය කෝටි දෙකක් පාලනය කරන්න ආණ්ඩුවකට බැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, ජීවන වියදම ගැන කියන්න අපි මේ මාධ්‍ය භාවිතා කරමු. පාලකයා පාලනය කරන්න අපිට තාම පුළුවන්. ඒ වෙනුවෙන් ඕනම සංවිධානයක්, පක්ෂයක් එක්ක අපි කටයුතු කරනවා. මේ නිදහස ලබා ගන්න අපේ කට මාධ්‍ය භාවිතා කර උද්ඝෝෂණය කරමු කියා මම ඉල්ලා සිටිනවා.


අපි අභියෝගය ජයගත්තෙමු නිදහසේ හඬ අනුරපුරයේ රැව්දෙයි

VIEW PHOTO
පසුගිය 18 වෙනිදා කුරුණෑගල දී පැවැත්වුණු නිදහසේ වේදිකාවේ පස්වන මහජන රැස්වීම කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක සුළු පිරිසක් විසින් ගත් උත්සාහයේ ප‍්‍රතිඵලය වූයේ ලංකාවේ සියළුම මාධ්‍ය නිදහසේ වේදිකාව පිළිබඳ ව පුළුල් ප‍්‍රචාරයක් ලබාදීමයි. සෘජු හා වක‍්‍ර වාරණයන් හේතුවෙන් මෙතෙක් තම මාධ්‍ය මඟින් වේදිකාව පිළිබඳ කතා කිරීමට නොහැකි ව සිටි අප හිතවත් මාධ්‍යවේදීන් අපට පැවසුවේ ඉහත සිදුවීම වෙස්වලා ගත් ආශීර්වාදයක් බවයි. කෙසේ වුවද රැස්වීම කඩාකප්පල් කරන ලදැයි යන මාධ්‍ය ප‍්‍රචාරය හමුවේ බොහෝ දෙනෙකු බලා සිටියේ නිදහසේ වේදිකාවේ ඊළඟ පියවර කුමක්ද යන්න දෙසය. ඒ වනවිට අනුරාධපුර මහජන රැස්වීම පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබූ අතර නිදහසේ වේදිකාවේ අනුරාධපුර දිස්ත‍්‍රික් කමිටුව එකහෙළා කියා සිටියේ සැලසුම් කළ පරිදිම රැස්වීම පැවැත්විය යුතු බවයි.
හරියටම සතියකට පසු, අගෝස්තු විසිපස් වෙනිදා නිදහසේ වේදිකාවේ හය වන මහජන රැස්වීම අනුරාධපුර යොවුන් නිකේතනයේදී අති සාර්ථකව පැවැත්විණි. දහසකට අධික ජන සහභාගිත්වයකින් පැවැති මෙම රැස්වීම අමතා මිහින්තලේ රජමහා විහාරාධිකාරී වලවාහැංගුණු වැවේ ධම්මරතන නා හිමි සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක, ජයතිලක බණ්ඩාර, සිනමාවේදී සිරිමල් විජේසිංහ, නිදහසේ වේදිකාවේ කැඳවුම්කරුවන් වන නිමල්කා ප‍්‍රනාන්දු, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සහ ලංකා ගුරු සංගමයේ ජාතික සංවිධායක ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් අදහස් දැක්වූ අතර රජරට විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ කරුණාරත්න හේරත් මහතා රැස්වීමේ මුලසුන හෙබවීය. බෞද්ධ, ඉස්ලාම් සහ කතෝලික ආගමික නායකයින් ඇතුළු අති විශාල පිරිසක් සහභාගී වූ මෙම රැස්වීමට පැමිණි පිරිසගෙන් යොවුන් නිකේතන ශාලාව සම්පූර්ණයෙන්ම පිරී ඉතිරී ගිය බැවින් රැස්වීමට සහභාගී විමට පැමිණි විශාල පිරිසකට ශාලාවෙන් පිටත රැඳී සිටීමට සිදු විය. අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන පී. හැරිසන් මහතා, චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය, උතුරු මැද පළාත් විපක්ෂ නායක කස්තුරි අනුරාධනායක මහතා ඇතුළු පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු විශාල පිරිසක් ද රැස්වීමට සහභාගී වූහ.
මිනිත්තු එකසිය පනහකට අධික කාලයක් පැවැති රැස්වීමේදී පැවැත්වුණු කතා අතරින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය නිදහස පිළිබඳ කළ කතාවත්, සිනමාවේදී සිරිමල් විජේසිංහ මහතා පැවැත් වූ කතාවත් සමබිම පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට අපි තීරණය කළෙමු.

BACK TO PLATFORM
BACK TO SAMABIMA

අනර්කලීට අපහාස කරනවට මම විරුද්ධයි - රෝසි සේනානායක

රටේ වර්තමාන තත්ත්වය හමුවේ කාන්තාවන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සමුළුවක් පසුගිය අගෝස්තු 28 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹදී කැඳවන ලදි. මෙම සමුළුව සඳහා කාන්තා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය, කලා, වෘත්තීය සමිතිවල නියෝජිතවරියන් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වූහ. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතවරියන් සහ දේශපාලන පක්ෂ නායක නායිකාවන් අතර විවෘත සාකච්ඡාවක්ද පැවැත්වුණි. මෙම සමුළුවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේසන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර යන මහත්වරුන් ද සහභාගී විය.
පහත පළවන්නේ එම සමුළුවේදී කාන්තා ශක්ති සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා රෝහිණී වීරසිංහ සහ බස්නාහිර පළාත් විපක්ෂ නායිකා රෝසි සේනානායක දැක්වූ අදහස්ය.
view photo


බස්නාහිර පළාත් විපක්ෂ නායිකා
රෝසි සේනානායක

අද මේ සමුළුවේ ප‍්‍රධාන වශයෙන් මතු වුණ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කාන්තා නියෝජනය කියන කාරණය ගැන මම කියන්න කැමතියි බස්නාහිර පළාත් සභාවේ අශෝකා ලංකාතිලක මැතිණිය පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා නාම යෝජනා සඳහා සීයට විසිපහක් කාන්තාවන්ගේ නියෝජනය අනිවාර්ය කරන්න කියල කළ යෝජනාව මම සංශෝධනයක්ද සහිතව ස්ථිර කළ බව.

ඒත් නාම යෝජනා වලට පමණක් සීමා වුණොත් හැමදාම දිනා ගන්න බැරි නාම යෝජනා ටිකක් දාල අපේ කාන්තාවන් පීඩනයට පත්වන තත්ත්වයක් කරා යන නිසා අනිවාර්යෙන්ම ආසන වෙන් කිරීමක් අවශ්‍යයි කියල මම කියනවා. ඒ හරහා පළාත් සභාවට ග‍්‍රාමීය මට්ටමින් දේශපාලන නියෝජනය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. අපට ආත්ම විශ්වාසයක් නොමැතිකම නිසයි සමහර වෙලාවට පිරිමින්ටම අපිව නියෝජනය කරන්න කියන්නෙ. මෙතන ඉන්නවා විවිධ පළාත් සභා නියෝජනය කරන කාන්තාවන්. මම ඉල්ලීමක් කරනවා ඔබෙන් බස්නාහිර පළාත් සභාව පූර්වාදර්ශයට අරගෙන මන්ත‍්‍රීවරු හරහා අනිකුත් පළාත් සභාවලත් කාන්තා නියෝජනය වෙනුවෙන් යෝජනාවලියක් සම්මත කර ගන්න කියල. පාර්ලිමේන්තුවේ දැන් සංශෝධනය වෙමින් පවතින පළාත් සභා මැතිවරණ පනත තුළ එය අනිවාර්ය කරමින් ජාතික මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට ඔබේ සහයෝගය දෙන්න. කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන, මාධ්‍ය, දේශපාලනඥයන් සහ වැඩ කරන කාන්තාවන් ඇතුළු සියළුදෙනාම එකතුවෙලා ඉල්ලා සිටියොත් මේ අයිතිය අනිවාර්යෙන්ම ලබාගන්න පුළුවන්. ඒ සඳහා මේක හොඳ ප‍්‍රවේශයක්. පක්ෂ භේදයකින් තොරව කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි. බස්නාහිර පළාත් සභාවෙන් ආපු මේ යෝජනාව පාර්ලිමේන්තුව දක්වා ගෙන ගොස් ක‍්‍රියාවට නැංවීමට නිදහසේ වේදිකාව කටයුතු කරයි කියල මම විශ්වාස කරනවා.අද නීතිය බිඳ වැටිල. අධ්‍යාපනය කඩා වැටිල. පරිපාලන ක්ෂේත‍්‍රයේ තත්ත්වයත් එයමයි. අපේ කාන්තාවන් විදේශ ශ‍්‍රමිකයන් හැටියට ඒ රටවලට ගිහින් මුදල් උපයගෙන ආවෙ නැත්නම් අපිට අද විදේශ විනිමයක් නැහැ. නව අදායම් මාර්ග අපි සොයා ගත යුතුයි. ඒ සඳහා අපි විදේශ රටවල් එක්ක ගනුදෙනු කළ යුතුයි. මේ සියල්ලම කරන්න නම් අපි විශ්වාස කරනවා සංවේදී, ජනතා හිතවාදී, වගකීමකින් හා කැපවීමෙන් යුක්ත, දූෂණයෙන් තොරව කටයුතු කරන්න පුළුවන් පිරිසක් දේශපාලනඥයින් හැටියට පත් කර ගන්න ඕන කියල. පහුගිය දවස්වල දකුණු පළාත් සභාවට තරඟ කිරීමට නාම යෝජනා දුන් අනර්කලී දැඩි කථා බහට ලක් වුණා. සමහරු විවිධ ආකාරයෙන් කෙනෙකුගේ චරිතයට හානි වන ප‍්‍රකාශ කරනවා. මෙම තත්ත්වය කාන්තාවන් හැටියට හෙළා දැකිය යුතුයි. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. ඕන පක්ෂයකට අයිතියක් තියෙනවා ඕනම කෙනෙක් තමන්ගේ නාම යෝජනා ලැයිස්තුවට ඇතුල් කරන්න. නමුත් ඒ පක්ෂයට වගකීමක් තියෙනවා කිසිවෙකුට විවේචනය කළ නොහැකි ආදර්ශමත් පුද්ගලයින් එ් සඳහා තෝරා ගැනීමට. ඒ වගේම ඔවුන් වගකීමෙන් කටයුතු කරන, දේශය ගැන හොඳ අවබෝධයක් තියෙන, කැපවීම් කරන්න පුළුවන්, අත්දැකීම් සහිත අය විය යුතුයි. ජනතාව අන්තිමට තීරණය කරයි එ් ඉදිරිපත් කරන පුද්ගලයින් අදාළද, අවශ්‍යද, නැද්ද කියල. ඒ නිසා විශේෂයෙන් කාන්තාවන්ට ගරහන, අගෞරවයක් වන දේවල් සහ ප‍්‍රකාශ හෙළා දැකිය යුතුයි. මම විශ්වාස කරනවා නිදහසේ වේදිකාව හරහා කාන්තාවන්ට එවැනි පසුබිමක් සකස් කර දෙයි කියල.

Back to samabima

Back to platform

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ පිරිමින්ගෙ අදහස් විතරක් නෙවෙයි - රෝහිණී වීරසිංහ

රටේ වර්තමාන තත්ත්වය හමුවේ කාන්තාවන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සමුළුවක් පසුගිය අගෝස්තු 28 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹදී කැඳවන ලදි. මෙම සමුළුව සඳහා කාන්තා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය, කලා, වෘත්තීය සමිතිවල නියෝජිතවරියන් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වූහ. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතවරියන් සහ දේශපාලන පක්ෂ නායක නායිකාවන් අතර විවෘත සාකච්ඡාවක්ද පැවැත්වුණි. මෙම සමුළුවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේසන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර යන මහත්වරුන් ද සහභාගී විය.
පහත පළවන්නේ එම සමුළුවේදී කාන්තා ශක්ති සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා රෝහිණී වීරසිංහ සහ බස්නාහිර පළාත් විපක්ෂ නායිකා රෝසි සේනානායක දැක්වූ අදහස්ය.
view photo


රෝහිණී වීරසිංහ
‘කාන්තා ශක්ති සංවිධානයේ’විධායක අධ්‍යක්ෂිකා සහ නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටු සාමාජිකා


‘පිරිමි ළමුන්ගෙන් සෙල්ලම් බඩු ගන්න’. වරක් ජාත්‍යන්තර කාන්තා දිනයකදී ප‍්‍රංශයේ පැවැත්වුණු පෙළපාලියක සටන් පාඨය වුණේ මේ වචන කිහිපයයි. කාන්තාවන්ගේ ප‍්‍රශ්න වලට අවසාන වශයෙන් දේශපාලන විසඳුමක් අවශ්‍යයි. එය කරන්න නම් කාන්තා ප‍්‍රශ්න දිහා කාන්තා ඇසින් බලන ඇමතිවරු, පාලකයින් සහ ආණ්ඩුවක් අවශ්‍යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ පිරිමින්ගෙ අදහස් විතරක් නෙවෙයි. කාන්තාවන්ගේ අදහසුත් එයට ඇතුළත්. කාන්තාවන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නම් එය දේශපාලන සංවාද වලින් ඔබ්බට යා යුතුයි. නමුත් දැනට දේශපාලනය කරන අය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවද?දුප්පත්කම නිසා වැඩියෙන්ම අසරණ වෙන්නෙ කාන්තාවන්. 1998 ඉඳන් උත්සාහ දරනවා දුප්පත්කම නැති කරන්න. ඒත් තවමත් සීයට පනහකට වැඩිය සමෘද්ධියෙන් යැපෙන්නෙ. කාන්තාවන්ගේ දුප්පත්කම නැති කරන්න ඇයට මුදල් දිය යුතු නැහැ. ඇය සවිබල කළ යුතුයි. දැනුම හා පුහුණුව දිය යුතුයි. සහනාධාර දීමෙන් කම්මැලි, ආත්ම ගරුත්වය නැති, නිතරම අනුන් මත යැපෙන පිරිසක් බිහි වෙලා. මේ තත්ත්වය වෙනස් කරන්න කාන්තාව ප‍්‍රතිපත්ති හා තීන්දු ගන්නා නායකත්ව මට්ටමට ආ යුතුයි. අපේ මේ උත්සාහය කාන්තාව එතැනට ගෙන එ්මටයි. සමහරු මගෙන් අහනවා මංගල, රනිල් ඉන්න නිදහසේ වේදිකාවට ඔබ ගොඩ වෙන්න ඕනද කියල. ඒකට මගේ උත්තරය නම්, මේ රටේ කාලෙන් කාලෙට මිනිස්සු තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බහින කොට එ්ක විවිධ දේශපාලන කණ්ඩායම් වලට වාසි සහගත වුණා. නිදහසේ වේදිකාව තුළින් අපි මේ කරන වැඩ කටයුතුවල වාසිය යූ.එන්.පී යට යන්න පුළුවන්. එයට පිළිතුර නිදහසේ වේදිකාවට සහභාගී නොවී සිටීම නෙවෙයි. එ්ක වළක්වන්න නම් වඩාත් පුළුල්, ශක්තිමත් සිවිල් බලවේගයක් විදිහට ගොඩනැඟිය යුතුයි. ඒ තුළ සුවිශේෂී බලයක් සහ හැකියාවක් කාන්තාවට තියෙනවා. වෙනස්කම් කිරීම මත පීඩනය ඇති කරන මේ සමාජ පාලනය වෙනස් කිරීමට ඇය නායකත්වයට ආ යුතුයි. නිදහසේ වේදිකාවේ කාන්තාවන්ගේ බලවේගය එහි පිරිමින්ගේ බලයට යට වන දෙයක් නෙවෙයි. ඒ හරහා මේ රටේ කාන්තාවන්ගේ තත්ත්වය දියුණු කිරීමට ඔබගේ ඉදිරිපත් වීම අත්‍යවශයි.