Tuesday, September 8, 2009

අනර්කලීට අපහාස කරනවට මම විරුද්ධයි - රෝසි සේනානායක

රටේ වර්තමාන තත්ත්වය හමුවේ කාන්තාවන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සමුළුවක් පසුගිය අගෝස්තු 28 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹදී කැඳවන ලදි. මෙම සමුළුව සඳහා කාන්තා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය, කලා, වෘත්තීය සමිතිවල නියෝජිතවරියන් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වූහ. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතවරියන් සහ දේශපාලන පක්ෂ නායක නායිකාවන් අතර විවෘත සාකච්ඡාවක්ද පැවැත්වුණි. මෙම සමුළුවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේසන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර යන මහත්වරුන් ද සහභාගී විය.
පහත පළවන්නේ එම සමුළුවේදී කාන්තා ශක්ති සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා රෝහිණී වීරසිංහ සහ බස්නාහිර පළාත් විපක්ෂ නායිකා රෝසි සේනානායක දැක්වූ අදහස්ය.
view photo


බස්නාහිර පළාත් විපක්ෂ නායිකා
රෝසි සේනානායක

අද මේ සමුළුවේ ප‍්‍රධාන වශයෙන් මතු වුණ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ කාන්තා නියෝජනය කියන කාරණය ගැන මම කියන්න කැමතියි බස්නාහිර පළාත් සභාවේ අශෝකා ලංකාතිලක මැතිණිය පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා නාම යෝජනා සඳහා සීයට විසිපහක් කාන්තාවන්ගේ නියෝජනය අනිවාර්ය කරන්න කියල කළ යෝජනාව මම සංශෝධනයක්ද සහිතව ස්ථිර කළ බව.

ඒත් නාම යෝජනා වලට පමණක් සීමා වුණොත් හැමදාම දිනා ගන්න බැරි නාම යෝජනා ටිකක් දාල අපේ කාන්තාවන් පීඩනයට පත්වන තත්ත්වයක් කරා යන නිසා අනිවාර්යෙන්ම ආසන වෙන් කිරීමක් අවශ්‍යයි කියල මම කියනවා. ඒ හරහා පළාත් සභාවට ග‍්‍රාමීය මට්ටමින් දේශපාලන නියෝජනය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. අපට ආත්ම විශ්වාසයක් නොමැතිකම නිසයි සමහර වෙලාවට පිරිමින්ටම අපිව නියෝජනය කරන්න කියන්නෙ. මෙතන ඉන්නවා විවිධ පළාත් සභා නියෝජනය කරන කාන්තාවන්. මම ඉල්ලීමක් කරනවා ඔබෙන් බස්නාහිර පළාත් සභාව පූර්වාදර්ශයට අරගෙන මන්ත‍්‍රීවරු හරහා අනිකුත් පළාත් සභාවලත් කාන්තා නියෝජනය වෙනුවෙන් යෝජනාවලියක් සම්මත කර ගන්න කියල. පාර්ලිමේන්තුවේ දැන් සංශෝධනය වෙමින් පවතින පළාත් සභා මැතිවරණ පනත තුළ එය අනිවාර්ය කරමින් ජාතික මට්ටමින් ක‍්‍රියාත්මක කිරීමට ඔබේ සහයෝගය දෙන්න. කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන, මාධ්‍ය, දේශපාලනඥයන් සහ වැඩ කරන කාන්තාවන් ඇතුළු සියළුදෙනාම එකතුවෙලා ඉල්ලා සිටියොත් මේ අයිතිය අනිවාර්යෙන්ම ලබාගන්න පුළුවන්. ඒ සඳහා මේක හොඳ ප‍්‍රවේශයක්. පක්ෂ භේදයකින් තොරව කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි. බස්නාහිර පළාත් සභාවෙන් ආපු මේ යෝජනාව පාර්ලිමේන්තුව දක්වා ගෙන ගොස් ක‍්‍රියාවට නැංවීමට නිදහසේ වේදිකාව කටයුතු කරයි කියල මම විශ්වාස කරනවා.අද නීතිය බිඳ වැටිල. අධ්‍යාපනය කඩා වැටිල. පරිපාලන ක්ෂේත‍්‍රයේ තත්ත්වයත් එයමයි. අපේ කාන්තාවන් විදේශ ශ‍්‍රමිකයන් හැටියට ඒ රටවලට ගිහින් මුදල් උපයගෙන ආවෙ නැත්නම් අපිට අද විදේශ විනිමයක් නැහැ. නව අදායම් මාර්ග අපි සොයා ගත යුතුයි. ඒ සඳහා අපි විදේශ රටවල් එක්ක ගනුදෙනු කළ යුතුයි. මේ සියල්ලම කරන්න නම් අපි විශ්වාස කරනවා සංවේදී, ජනතා හිතවාදී, වගකීමකින් හා කැපවීමෙන් යුක්ත, දූෂණයෙන් තොරව කටයුතු කරන්න පුළුවන් පිරිසක් දේශපාලනඥයින් හැටියට පත් කර ගන්න ඕන කියල. පහුගිය දවස්වල දකුණු පළාත් සභාවට තරඟ කිරීමට නාම යෝජනා දුන් අනර්කලී දැඩි කථා බහට ලක් වුණා. සමහරු විවිධ ආකාරයෙන් කෙනෙකුගේ චරිතයට හානි වන ප‍්‍රකාශ කරනවා. මෙම තත්ත්වය කාන්තාවන් හැටියට හෙළා දැකිය යුතුයි. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. ඕන පක්ෂයකට අයිතියක් තියෙනවා ඕනම කෙනෙක් තමන්ගේ නාම යෝජනා ලැයිස්තුවට ඇතුල් කරන්න. නමුත් ඒ පක්ෂයට වගකීමක් තියෙනවා කිසිවෙකුට විවේචනය කළ නොහැකි ආදර්ශමත් පුද්ගලයින් එ් සඳහා තෝරා ගැනීමට. ඒ වගේම ඔවුන් වගකීමෙන් කටයුතු කරන, දේශය ගැන හොඳ අවබෝධයක් තියෙන, කැපවීම් කරන්න පුළුවන්, අත්දැකීම් සහිත අය විය යුතුයි. ජනතාව අන්තිමට තීරණය කරයි එ් ඉදිරිපත් කරන පුද්ගලයින් අදාළද, අවශ්‍යද, නැද්ද කියල. ඒ නිසා විශේෂයෙන් කාන්තාවන්ට ගරහන, අගෞරවයක් වන දේවල් සහ ප‍්‍රකාශ හෙළා දැකිය යුතුයි. මම විශ්වාස කරනවා නිදහසේ වේදිකාව හරහා කාන්තාවන්ට එවැනි පසුබිමක් සකස් කර දෙයි කියල.

Back to samabima

Back to platform

No comments:

Post a Comment