Tuesday, September 8, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ පිරිමින්ගෙ අදහස් විතරක් නෙවෙයි - රෝහිණී වීරසිංහ

රටේ වර්තමාන තත්ත්වය හමුවේ කාන්තාවන් මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සමුළුවක් පසුගිය අගෝස්තු 28 වෙනිදා ‘නිදහසේ වේදිකාව’ මඟින් කොළඹදී කැඳවන ලදි. මෙම සමුළුව සඳහා කාන්තා සංවිධාන, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය, කලා, වෘත්තීය සමිතිවල නියෝජිතවරියන් සහ වෘත්තිකයින් රැසක් සහභාගී වූහ. සමුළුව අවසානයේදී සිවිල් සංවිධාන නියෝජිතවරියන් සහ දේශපාලන පක්ෂ නායක නායිකාවන් අතර විවෘත සාකච්ඡාවක්ද පැවැත්වුණි. මෙම සමුළුවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේසන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර යන මහත්වරුන් ද සහභාගී විය.
පහත පළවන්නේ එම සමුළුවේදී කාන්තා ශක්ති සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා රෝහිණී වීරසිංහ සහ බස්නාහිර පළාත් විපක්ෂ නායිකා රෝසි සේනානායක දැක්වූ අදහස්ය.
view photo


රෝහිණී වීරසිංහ
‘කාන්තා ශක්ති සංවිධානයේ’විධායක අධ්‍යක්ෂිකා සහ නිදහසේ වේදිකාවේ මෙහෙයුම් කමිටු සාමාජිකා


‘පිරිමි ළමුන්ගෙන් සෙල්ලම් බඩු ගන්න’. වරක් ජාත්‍යන්තර කාන්තා දිනයකදී ප‍්‍රංශයේ පැවැත්වුණු පෙළපාලියක සටන් පාඨය වුණේ මේ වචන කිහිපයයි. කාන්තාවන්ගේ ප‍්‍රශ්න වලට අවසාන වශයෙන් දේශපාලන විසඳුමක් අවශ්‍යයි. එය කරන්න නම් කාන්තා ප‍්‍රශ්න දිහා කාන්තා ඇසින් බලන ඇමතිවරු, පාලකයින් සහ ආණ්ඩුවක් අවශ්‍යයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ පිරිමින්ගෙ අදහස් විතරක් නෙවෙයි. කාන්තාවන්ගේ අදහසුත් එයට ඇතුළත්. කාන්තාවන් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අවශ්‍ය නම් එය දේශපාලන සංවාද වලින් ඔබ්බට යා යුතුයි. නමුත් දැනට දේශපාලනය කරන අය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙනවද?දුප්පත්කම නිසා වැඩියෙන්ම අසරණ වෙන්නෙ කාන්තාවන්. 1998 ඉඳන් උත්සාහ දරනවා දුප්පත්කම නැති කරන්න. ඒත් තවමත් සීයට පනහකට වැඩිය සමෘද්ධියෙන් යැපෙන්නෙ. කාන්තාවන්ගේ දුප්පත්කම නැති කරන්න ඇයට මුදල් දිය යුතු නැහැ. ඇය සවිබල කළ යුතුයි. දැනුම හා පුහුණුව දිය යුතුයි. සහනාධාර දීමෙන් කම්මැලි, ආත්ම ගරුත්වය නැති, නිතරම අනුන් මත යැපෙන පිරිසක් බිහි වෙලා. මේ තත්ත්වය වෙනස් කරන්න කාන්තාව ප‍්‍රතිපත්ති හා තීන්දු ගන්නා නායකත්ව මට්ටමට ආ යුතුයි. අපේ මේ උත්සාහය කාන්තාව එතැනට ගෙන එ්මටයි. සමහරු මගෙන් අහනවා මංගල, රනිල් ඉන්න නිදහසේ වේදිකාවට ඔබ ගොඩ වෙන්න ඕනද කියල. ඒකට මගේ උත්තරය නම්, මේ රටේ කාලෙන් කාලෙට මිනිස්සු තමන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බහින කොට එ්ක විවිධ දේශපාලන කණ්ඩායම් වලට වාසි සහගත වුණා. නිදහසේ වේදිකාව තුළින් අපි මේ කරන වැඩ කටයුතුවල වාසිය යූ.එන්.පී යට යන්න පුළුවන්. එයට පිළිතුර නිදහසේ වේදිකාවට සහභාගී නොවී සිටීම නෙවෙයි. එ්ක වළක්වන්න නම් වඩාත් පුළුල්, ශක්තිමත් සිවිල් බලවේගයක් විදිහට ගොඩනැඟිය යුතුයි. ඒ තුළ සුවිශේෂී බලයක් සහ හැකියාවක් කාන්තාවට තියෙනවා. වෙනස්කම් කිරීම මත පීඩනය ඇති කරන මේ සමාජ පාලනය වෙනස් කිරීමට ඇය නායකත්වයට ආ යුතුයි. නිදහසේ වේදිකාවේ කාන්තාවන්ගේ බලවේගය එහි පිරිමින්ගේ බලයට යට වන දෙයක් නෙවෙයි. ඒ හරහා මේ රටේ කාන්තාවන්ගේ තත්ත්වය දියුණු කිරීමට ඔබගේ ඉදිරිපත් වීම අත්‍යවශයි.

No comments:

Post a Comment