Thursday, November 19, 2009

ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක වළල්ලක් අවශ්‍යයි


වැසි දියෙන් තෙත බරිත වී මඳ අඳුරකින් පරිසරය වැසී යමින් තිබුණද නිදහසේ වේදිකාව පළමු වරට එළිමහන් පිටියක පැවැත්වූ ගම්පහ මහජන රැස්වීමට සහභාගීවීමට පැමිණ සිටි විශාල ජනකායක් ගම්පහ කොළඹ බස් නැවතුම් පළ වටා රොක් වී සිටි අයුරු පසුගිය නොවැම්බර් 14 වෙනිදා අපට දැක ගත හැකි විය.
මෙහිදී පැමිණ සිටි පිරිසගේ අවධානය පැහැර ගනිමින් ප‍්‍රහාරාත්මක විලාසයකින් ආරම්භක කතාව කරන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ය.
‘‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ අපි යමකට විරුද්ධ නම් එයට විරුද්ධයි කියල කියන්න අපිට ධෛර්යයක් තිබුණෙ නැහැ. ඒත් දැන් අපිට ඒ ශක්තිය තියෙනවා. අපිට ඕන මේ රටේ අළුත් ආණ්ඩු හදන්න නෙවෙයි. අපේ අරමුණ මොන ආණ්ඩුවක් බලයට ආවත් එය ව්‍යවස්ථාවට හා නීතියට ගරු කරන ආණ්ඩුවක් බවට පත් කිරීමයි.’’
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා කියා සිටියේ, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක තිබෙන ප‍්‍රධානම ලක්ෂණ වන තමන් කැමති පාලකයෙකු පත් කර ගැනීම, කාටත් එක සමානව සලකන නීතියේ ආධිපත්‍යය සුරක්ෂිතව තිබීම, අධිකරණයේ ස්වාධීනතාව සහ මානව හිමිකම් ගරු කිරීම ආදියට අද විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි.’’
අනතුරුව සභාව ඇමතුවේ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ය.
‘‘ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට සිවිල් සමාජය දේශපාලන පක්ෂ සමඟ එක්ව ඉතාම විවෘතව ඓතිහාසික ක‍්‍රියාදාමයකට අවතීර්ණ වූ බවත්, සිවිල් සමාජය හා දේශපාලන සමාජය අතර ඇති කරගත් මෙම කතිකාව මැතිවරණයකින් අහවර නොවිය යුතු බවත්, නිදහසේ වේදිකාව රටේ පාලනය නැවත පුරවැසියා අතට ලබා දීමට පෙරමුණ ගන්නා බවත් ’’ ඇය පවසා සිටියාය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා මෙසේ පැවසීය.
‘‘මැතිවරණ වලින් කවුරු දිනුවත් කවුරු බලයට පත් වුණත් ජීවත් වීමට ඇති අයිතියට, තමන්ගේ හෘදසාක්ෂියට එකඟව මතයක් ප‍්‍රකාශ කිරීමේ නිදහසට තර්ජන එල්ල වෙන අකාරය, ඳුෂණය හා නාස්තිය වැඩි වී ජනතාවට අභියෝග එල්ල වෙන ආකාරය පසුගිය කාලෙ අපි දැක්කා. අද තිබෙන වැඩවසම් රදළ චින්තනය තුළ රජතුමාට සියළු බලතල හිමිවෙලා රටවැසියෝ අතවැසියෝ බවට පත්වෙලා. එය නීත්‍යනුකූලව අභියෝගයට ලක් කිරීමට ජනතාවට අයිතියක් තිබෙන බවට මතක් කර දිය යුතුයි.’’
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මීළඟට අදහස් දක්වන ලදී.
‘‘මීට මාස පහකට පෙර මේ ආණ්ඩුවේ හා ජනාධිපතිතුමාගේ පාලනය සදාකාලිකයි කියල කියපු ජනතාව අද එහෙම ලේසියෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන්න දෙන්නේ නැහැ කියලා ප‍්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. එදා ප‍්‍රධාන විපක්ෂයට තමන්ගේ දේශපාලනය කරගෙන යන්න හැකියාවක් තිබුණා නම් ඔවුන්ට සිවිල් සංවිධාන එක්ක හවුල් වෙන්න ඕන නැහැ. සිවිල් සංවිධාන වලටත් තමන්ගේ ව්‍යාපෘති පවත්වාගෙන යමින් මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්න ඉඩක් තිබුණා නම් දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්න අවශ්‍ය නැහැ.
නමුත් මේ සියළුදෙනාට එකට එකතු වෙන්න සිදුවුණේ මේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩ කරමින් ගෙන ගිය අත්තනෝමතික එ්කාධිපති පාලනය නිසා. කවුරුන් හෝ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරනවා නම් නිදහසේ වේදිකාව ඊට එරෙහිව නැඟී සිටින බව බය නැතුව ප‍්‍රකාශ කර සිටිනවා.’’
මෙහිදී විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ, ‘‘ඉතා ඉක්මනින්ම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර අළුත් ව්‍යවස්ථාවක් සාදා ජනතාව අතට බලය ලබා දීමට කටයුතු කරන බවත්, ඊට මූලාරම්භයක් වුණේ නිදහසේ වේදිකාව බවත්ය.’’
රැස්වීමේ අවසන් කථාව කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා පවසන ලද්දේ, ‘‘බලය ලබා ගත්තට පස්සේ එතැනට එන්න පාර කපල දුන්න සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය සහ ඔවුන්ට වුණු පොරොන්දු දේශපාලන පක්ෂ විසින් අමතක කර දමන බව පසුගිය කාලේ අපි දැක්කා. ඒ නිසා ඊළඟට පත්වන ආණ්ඩුව මොකක් වුණත්, ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් නිදහසේ වේදිකාව තුළ එක්වී සිටින සිවිල් සංවිධාන විසින් ඡන්දය දිනූ දාට පසුදා සිට එය ක‍්‍රියාත්මක කරවා ගැනීමට තමන්ගේ ප‍්‍රතිපත්ති පහ හරහා ඒ දේශපාලන පක්ෂ වටා ශක්තිමත් ආරක්ෂක වළල්ලක් දැමිය යුතුයි.’’යනුවෙනි.
දිනෙන් දින නිදහසේ වේදිකාව වටා ජනතාව රොක් වෙමින් සිටිති. දැන් ඔවුන් සිය සංවාදය අරඹා ඇත. ඒ එය ඔවුන් වෙනුවෙන් බිහි වූ ජනතා ව්‍යාපාරයක් බැවිණි. ගමින් ගමට නගරයෙන් නගරයට යමින් ජනතාව සමඟ අරඹා ඇති නිදහසේ වේදිකාවේ ජනතා සංවාදය නුදුරේදීම ඔබ හමුවටද පැමිණීමට නියමිතය.

No comments:

Post a Comment