Thursday, November 19, 2009

සිවිල් සංවිධාන වලට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න ලැබීම ඉතාම වැදගත්

මිනිස් අයිතිවාසිකම් ප‍්‍රමුඛ කොට ගෙන නිදහසේ වේදිකාව විසින් සකස් කරන ලද ”වෙනසකට කැපවෙමු” නම් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඇතුළත් පංචවිධ ප‍්‍රතිපත්තිය විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ පළමු පියවර වශයෙන් එය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම පසුගිය 12 වනදා සවස කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී උත්සවාකාරයෙන් සිදුවිය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පුළුල්ම මහජන බලවේගයක් ගොඩනැඟීම සඳහා ‘නිදහසේ වේදිකාව’ විසින් දිවයින පුරා පවත්වන ලද දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවලදී සම්මත කරගත් රට ගොඩනැඟීම සඳහා වන පස්වැදෑරුම් වැඩපිළිවෙළ පිළිබඳ එහි සම කැඳවුම්කරුවන් වන ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ විසින් දක්වන ලද අදහස් මෙවර සමබිම පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.






ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු


නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් සෑදීමටයි. ඒ සඳහා කවුරුවත් ඉදිරිපත් නොවන වෙලාවක යම්කිසි වේදිකාවක් හදන්න අප ඉදිරිපත් වුණා. දිගුකාලීනව ප‍්‍රතිපත්තිමය වශයෙන් මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ කෙසේද සහ අප එකඟ වන්නේ කුමන කාරණා වෙනුවෙන්ද යන්න ගැන නිදහසේ වේදිකාව හදන අවස්ථාවේ අපත් සමඟ සම්බන්ධ වූ පිරිස් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එම දීර්ඝ සාකච්ඡා වලින් පසුවයි මෙම පංචවිධ ප‍්‍රතිපත්ති සකස් කළේ .

එය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන පක්ෂ වලට ඉදිරිපත් කිරීමට අප සැලසුම් කළා. පළමුව එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ වලට මෙය පිළිගන්වනු ලබනවා. ඒ මඟින් එම පක්ෂ මේ සඳහා එකඟ වීමක් පමණක් නොව කැපවීමක්ද අප අපේක්ෂා කරනවා. එවැනි කැපවීමකට ඔවුන් එකඟ බව පෙනී ගියහොත් පසුව ඔවුන් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නිදහසේ වේදිකාව බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් එම දේශපාලන පක්ෂවලට අභ්‍යන්තරව බලපෑම් කිරීමට තරම් ශක්තිමත් වීම අපේ අරමුණයි.
පංචවිධ ප‍්‍රතිපත්තිය තුළ ගැඹුරු කාරණා රාශියක් අන්තර්ගත වෙනවා. ඒ හැම කරුණක්ම බද්ධ කරල තිබෙන්නේ අයිතිවාසිකම් වලට සම්බන්ධ වන ආකාරයටයි. මෙය යහ පාලනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට, රටේ පුරවැසියන්ට වෙනස් කොට සැලකීමකින් තොරව ජීවත් වීමට යම්කිසි මඟ පෙන්වීමක් හා බලපෑමක් කළ හැකි ප‍්‍රබල ලියවිල්ලක් බවට අනාගතයේදී පත්වෙයි කියලා අප විශ්වාස කරනවා.

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වලටත් මෙම පංචවිධ ප‍්‍රතිපත්තිය පිළිගන්වන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපත් සමඟ ආරම්භයේ සිටම කටයුතු කරන එක්සත් සමාජවාදී පක්ෂයටත් ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ සෑම පක්ෂයකටමත් ඉදිරියේදී මෙය පිළිගන්වනවා.

ආණ්ඩු පක්ෂයට පංචවිධ ප‍්‍රතිපත්තිය පිළිගන්වනවාද නැද්ද කියලා අපට සලකා බලන්න සිදු වෙනවා. අපට මේ වේදිකාව හදන්න සිදු වුණේ ආණ්ඩුවේම ක‍්‍රියාකාරීත්වය නිසා. ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න තිබුණ වේදිකාව නැති කරල දැම්මේ ඔවුන් විසින්. ඒ නිසා ආණ්ඩු පක්ෂයට මෙය පිළිගැන්වීම ගැන තීන්දුවක් ගැනීම ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණයක්.

සිවිල් ව්‍යාපාර හරහා බිහිවෙන මෙවැනි ප‍්‍රතිපත්තීන් වලට දේශපාලන පක්ෂවල එකඟතාවය හා කැපවීම ලබා ගැනීම මඟින් රටට ප‍්‍රතිලාභ රාශියක් අත්වෙනවා. ඒ අතරින් සිවිල් සංවිධාන වලට යම්කිසි දුරකට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න අවස්ථාවක් සහ හැකියාවක් ලැබීමම ඉතාම වැදගත්. දේශපාලන පක්ෂ ජයග‍්‍රහණය කළාට පසුව මෙවැනි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරවා ගැනීම ඉතා අපහසුයි. සිවිල් සංවිධාන සහ විපක්ෂ දේශපාලන පක්ෂ එකතු වෙලා අවබෝධතා ගිවිසුමකට අත්සන් කරල බලය ලබා ගත්තට පස්සේ ඔවුන් ඒ සඳහා කැපවන අවස්ථා අප දැකලා නැහැ. රටක සිවිල් ජනතාවට යම් බලයක් තිබෙනවා. ඒ මඟින් දේශපාලනඥයින්ට බලපෑම් කරන්න තරම් බලයක් ජනතාවට තිබෙන බව පෙන්විය යුතුයි. මේක සිවිල් සමාජය තමන් බලයට එන්න දරන උත්සාහයක් නෙවෙයි. සිවිල් සමාජයට තියෙන බලාධිකාරිය ජනතාවගේ බලය. ඒ නිසා මෙය ජනතාවගේ බලය ප‍්‍රකාශ කරන අවස්ථාවක්.


Back to samabima
view pdf
Back to platform

No comments:

Post a Comment