Sunday, November 8, 2009

කාකි ඇඳුම් අළුගෝසුවන්ට එරෙහිව ජනතාව පෙළ ගැසෙති

මානසික ආතතියකින් පෙළෙමින් සිටියා යැයි කියන දෙමළ ජාතික තරුණයෙකුට පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂික අන්දමින් පහර දී දියේ ගිල්වා ඝාතනය කරන ලද සිද්ධිය මේ වන විට දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති කර ඇත. නොකඩවා සිදු වෙමින් පවතින පොලිස් ඝාතන අතරට අළුතින්ම එක් වූ මෙම සිදු වීම හරහා මෙරට මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කිරීමට අපකීර්තිමත් සාක්ෂියක් ශ‍්‍රී ලංකා පොලිසිය විසින් නැවත වරක් සපයා ඇත.යම් හෙයකින් අදාළ සිදුවීම ඇතුළත් වීඩියෝ පටය නොවන්නට ඝාතනයට ලක් වූ මෙම තරුණයාද පාතාලයෙකු බවට පත් වීම සක්කරයාටවත් වෙනස් කළ නොහැකි වන්නේය.මිනිසුන් බල්ලන් බළලූන් මෙන් මරා දමන හිරිකිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් මේ රටේ බිහි වීමේ වගකීම පාලකයින් විසින් බාර ගත යුතුය. ජනතාවගේ ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන්නට අපොහොසත් පාලකයින්ගෙන් ජනතාවට ඵලක් නැත. එනිසා තවදුරටත් අප පත් කළ පාලකයින් අතින් අපගේ මරණ වරෙන්තුව ලියැවෙනු බලා සිටිය නොහැක. තීරණය ඇත්තේ පරමාධිපත්‍යය හිමි ඔබ අතේය.
බම්බලපිටිය මුහුදු වෙරළේදී පොලිස් නිළධාරියෙකු විසින් අමානුෂික ලෙස පහර දී තරුණයෙකු මරා දැමීමට එරෙහිව සිවිල් අධීක්ෂණ කමිටුව, නිදහසේ වේදිකාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ එක්ව පසුගිය 04 වෙනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඊට සිවිල් සංවිධාන ගණනාවක් සහ දේශපාලන පක්ෂද සහභාගී විය. විශාල ජනතා සහභාගීත්වයකින් සිදු කෙරුණු මෙම උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් ‘කාකි ඇදුම් අළුගෝසුවෝ ’ යැයි සටන් පාඨ කියන විට මහ මඟ යමින් සිටි ජනතාවද ඊට සහාය පළ කරන අන්දම දක්නට ලැබුණි.

No comments:

Post a Comment