නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කාරිනිය
මිනිස් අයිතිවාසිකම් ප‍්‍රමුඛ කොට ගෙන නිදහසේ වේදිකාව විසින් සකස් කරන ලද ”වෙනසකට කැපවෙමු” නම් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඇතුළත් පංචවිධ ප‍්‍රතිපත්තිය විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ පළමු පියවර වශයෙන් එය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම පසුගිය 12 වනදා සවස කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී උත්සවාකාරයෙන් සිදුවිය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පුළුල්ම මහජන බලවේගයක් ගොඩනැඟීම සඳහා ‘නිදහසේ වේදිකාව’ විසින් දිවයින පුරා පවත්වන ලද දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවලදී සම්මත කරගත් රට ගොඩනැඟීම සඳහා වන පස්වැදෑරුම් වැඩපිළිවෙළ පිළිබඳ එහි සම කැඳවුම්කරුවන් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු විසින් දක්වන ලද අදහස් මෙවර සමබිම පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.
අපේ ප‍්‍රධාන ඉලක්කය වන්නේ පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා බලවේගයක් ඇති කිරීමයි. මෙම බලවේගය ඇති කිරීමේ මූලික අරමුණ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමයි. එහිදී දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම ප‍්‍රධාන කාරණයක්. ඒ නිසා මේ වන විටත් අප සමඟ එකතු වී කටයුතු කරන එක්සත් සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟත් මෙම පංචවිධ ප‍්‍රතිපත්ති සාකච්ඡාවට ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.
නමුත් ආණ්ඩුව සමඟ සිටින පක්ෂ වලට මෙය අළුත් දෙයක් නෙවෙයි. අප කාලාන්තරයක් පුරාම ආණ්ඩුවේ පක්ෂ වලින් ඉල්ලා සිටියේ මෙම පංචවිධ ප‍්‍රතිපත්තියේ තිබෙන යෝජනා අනුව කටයුතු කරන්න කියලා. ඒ අයට පසුගිය කාලයේ ජනාධිපති ධූරයේ රැදී සිටියදී ගත හැකි විසඳුම් තිබුණා. පැහැරගැනීම් සහ අතුරුදහන්වීම් සිදු වුණේ මේ ආණ්ඩුව යටතේ. ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක නොකළේ මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා විසින්. 13 වන ව්‍යවස්ථාව අද මියැදෙමින් තිබෙනවා. ඒ නිසා ඔවුන් සමඟ සංවාදයක්, සාකච්ඡාවක් පැවැත්වීම ඵලදායී නැහැ. නමුත් ඒ අයට අප මේ අවස්ථාවේ පෙන්වා දෙන්නේ විපක්ෂයේ බලවේගය ලෙස අප ඉදිරියට එන බවයි. ආණ්ඩු පක්ෂයේ ඉන්නා දේශපාලන කණ්ඩායම්වල හෘද සාක්ෂියක් තිබෙන දේශපාලනඥයින් සහ රටට ආදරය කරන ක‍්‍රියාධරයන් ඉන්නවා නම් අපේ රට මේ අගාධයෙන් බේරා ගැනීමට ඔවුන් මෙම පංචවිධ ප‍්‍රතිපත්තිය කියවා එම බලවේගයට එක් විය යුතුයි කියා අප හිතනවා. නමුත් ඒ අය සමග සංවාදයක් කිරීම මිස සාකච්ඡා කිරීම ඵලදායී නොවන බව අප හිතනවා. ඊට හේතුව ඒ අය කල්පනා කරන්නේ මේ ඒකාධිපති පවුල්වාදී පාලනය දිගටම ගෙන යාමටයි. අපට අවශ්‍ය ජනතාවගේ සර්ව ජන ඡන්ද බලයට ගරු කරන, ස්වෛරී භාවය මත පදනම් වූ, ජනතාවට වග කියන, ඔවුන් මුලා නොකරන දේශපාලන රාමුවක් ඇති කිරීමටයි.
රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනය හුදෙක් දේශපාලන පක්ෂ හරහා පමණක් කළ නොහැකියි. නේපාලය, තායිලන්තය, පිලිපීනය වගේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගල දෙස බැලූ විට අපට ඒ බව පැහැදිලිව පේනවා. උදාහරණයක් විදිහට ගාන්ධිතුමා ඉන්දියාවේ නිදහස වෙනුවෙන් කටයුතු කළේ දේශපාලන පක්ෂයක් ලෙස නෙවෙයි. ඔහුගේ සටන ගෙන ගියේ විශාල ජනතා බලවේගයක් මෙහෙයවා ගනිමිනුයි. සිවිල් සමාජය යනු හුදෙක් රාජ්‍ය නොවන සංවිධාන පමණක් නෙවෙයි. සිවිල් සමාජය කියන්නේ පුළුල් ජනතා සවිඥනය සහ පුළුල් ජනතා මෙහෙයවීමයි. ඒ අවශ්‍ය වන්නා වූ දේශපාලන පෙරළිය කිරීමට සහ වෙනස ළඟා කර ගැනීමට තමන්ගේ රාමුවෙන් පිටත සිටින නමුත් තමන් වගේ සිතන කණ්ඩායම් සමඟ කටයුතු කිරීම රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ ක‍්‍රියාධරයන්ගේ වගකීමයි.
Back to samabima
view pdf
Back to platform
No comments:
Post a Comment