Thursday, November 19, 2009

වෙනසකට කැපවෙමු ! - නිදහසේ වේදිකාවේ පංචවිධ ප‍්‍රතිපත්ති

නිදහසේ වේදිකාව ශ‍්‍රී ලංකාව තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා කැපවූ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින් හා දේශපාලන නායකයින් විසින් පිහිටුවා ගනු ලැබූ පුළුල් සන්ධානයකි. රට පුරා පවතින මානව හිමිකම් කඩ කිරීම් නිදහසේ වේදිකාව බිහිකර ගැනීම සඳහා හේතු පාදක විය. එසේම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, නීත්‍යනුකූල නොවන මනුෂ්‍ය ඝාතන මෙන්ම මාධ්‍ය මර්දන කටයුතුවල නියැළුනන්ට දඞුවම් නොලැබීම හරහා මතුවුණු නිර්මුක්ති සංස්කෘතිය ද මෙයට හේතු පාදක විය.
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය යන මූලික මානව අයිතීන් නිදහසේ වේදිකාවේ අඩිතාලම වන්නේය.
සියළු දේශපාලන ආයතන හා කි‍්‍රයාදාමයන් පුරවැසියන්ගේ පුර්ණ සහභාගීත්වය සඳහා විවෘත, ජන කොටස්වල විවිධත්වය හඳුනා ගන්නා සහ එය පිළිබිඹු කරන, ඔවුන් ගේ දුක්ගැනවිලි වලට ආමන්ත‍්‍රණය කරන සහ අපේක්ෂාවන්ට ඉඩ දෙන්නක් විය යුතුය. ශී‍්‍ර ලංකාවේ සියළු පුරවැසියන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දක්වනු ලබන මූලික අයිතිවාසිකම් බුක්තිවිදීමේ අයිතිය තහවුරු කළ යුතුය.
ඒ අනුව අප රටේ සාමය, යහ පාලනය හා සමාජ සාධාරණත්වයට මඟ පෙන්වීම සඳහා නිදහසේ වේදිකාව විසින් පහත දැක්වෙන පංචවිධ ප‍්‍රතිපත්ති කෙරෙහි තම කැපවීම ප‍්‍රකාශ කරනු ලබයි.

01.ජන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම
x විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය.
x ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ වගකීම තහවුරු කෙරෙන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කළ යුතුය.
x කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයන් අඩු කළ යුතුය.
x ජනවාර්ගික ගැටුම විසදාලීමට අදාළව බලය බෙදීම පදනම් කරගත් රාජ්‍යය ප‍්‍රතිව්‍යුහකරණය කළ යුතුය.
x අසාධාරණයන්ට ලක් වූවන්ට සමානත්වය තහවුරු කිරීම පිණිස විශේෂ විධි විධාන ඇති කළ යුතු අතර විශේෂයෙන් සියළු තීරණ ගැනීමේ මණ්ඩල තුළ කාන්තා නියෝජනය සහ සහභාගීත්වය වර්ධනය කළ යුතුය.

02.යහ පාලනය, නීතියේ ආධිපත්‍ය සහ විනිවිදභාවය තහවුරු කිරීම
x ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කළ යුතුය.
x 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීම හරහා පොලිස් සහ පරිපාලන සේවය දේශපාලන ඇගිලි ගැසීම් වලින් මුදා ගත යුතුය.
x ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවිය යුතුය.
x තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීති සම්මත කළ යුතුය.
x අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුය.

03.ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය වර්ධනය කිරීම
x සියළු ජනවර්ගයන්ගේ සමානත්මතාවය පිළිගන්නා බලය බෙදාහැරීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් වහාම ගෙන ආ යුතුය.
x ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සංකේතය මගින් පුද්ගලයන්ගේ විවිධත්වය මත පදනම් වූ එක්සත් බව පිළිඹිබු විය යුතුය.
x අවතැන්වූවන්ගේ ආත්ම ගරුත්වය සුරැකිය යුතුය.
x යුද ගැටුම් වලින් අවතැන්වූවන් නැවත පදිංචිකරවීම සහ පුනරුත්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට අනුකූලව කි‍්‍රයාත්මක කළ යුතුය.
x රාජ්‍ය භාෂා නීතිය අර්ථාන්විත ලෙස කි‍්‍රයාත්මක කළ යුතුය.

04.ආර්ථික හා සමාජ සාධාරණත්වය
x ජනගහනයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස්වල ජීවන තත්ත්වය සහ අභිවෘද්ධිය තහවුරු කිරීම සඳහා කි‍්‍රයාත්මක වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.
x රටේ ආර්ථිකයේ විභවතාවය වර්ධනය කිරීම සඳහා සමාජ වගකීම් සහිත වෙළදපොළ ආර්ථිකයක් ප‍්‍රවර්ධනය කළ යුතුය.
x තිරසාර සංවර්ධනය සහ කෘෂිකාර්මික විධික‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම හරහා ආහාර සුරක්ෂිතභාවය සහ පරිසරය ආරක්ෂා කළ යුතුය.

05.මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස සුරැකීම
x අතුරුදහන්කරවීම්, පැහැරගෙන යාම් සහ නීති විරෝධී ඝාතනයන් සම්බන්ධ පරීක්ෂණයන් වහා පවත්වා වරදකරුවන් නීතියේ ඉදිරියට ගෙන එ්ම හරහා වරදින් නිදොස් කිරීමේ සංස්කෘතිය වහා අවසන් කළ යුතුය.
x ජාතික ආරක්ෂාව සඳහා පනවා ඇති නීති, හදිසි නීති විධි විධානයන් ඇතුළු සියළු නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
x ශී‍්‍ර ලංකා රාජ්‍යය අපකීර්තියට පත් නොවනු පිණිස අප විසින් පිළිගෙන ඇති සියළු ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්තීන් ගරු කළ යුතුය.
x ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන නීතියක් වහාම සම්පාදනය කළ යුතුය.
x මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය වහා නැවැත්විය යුතුය.
x මහජන සේවා මාධ්‍ය සම්ප‍්‍රදායක් සැලසුම් කිරීම හරහා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ඒකාධිකාරය පරිවර්තනයට ලක් කෙරෙන නව මාධ්‍ය සංස්කෘතියක් බිහිකළ යුතුය.
x පුවත්පත් මණ්ඩල පනත වහා අහෝසි කළ යුතුය.

Back to samabima
view pdf
Back to platform

No comments:

Post a Comment