Monday, December 14, 2009

චිත‍්‍ර ශිල්පියෙක් දේශපාලන රැස්වීම්වලට යන්නේ ඇයි? චන්ද්‍රගුප්ත තේනුවර

නිදහසේ වේදිකාව සංවිධානය කළ එකොළොස් වැනි මහජන රැස්වීම දෙසැම්බර් 1 වනදා මාතර
සණස ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. කල්‍යාණ ගුණවර්ධන මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ අදහස් වලින් උපුටා ගත් කොටස් කිහිපයක් ‘සමබිම’ මෙවර ඔබ වෙත ගෙන එයි. මෙහිදී බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, කේ.ඩබ්ලිව්.ජනරංජන, නීතිඥ ලාල් විජේනායක, මංගල සමරවීර යන මහත්වරුන් ද රැස්වීම අමතා කතා කළහ.
‘ඔබ චිත‍්‍ර ශිල්පියෙක්. ඇයි ඔබ දේශපාලන රැස්වීම් වලට යන්නේ?’

මේ වගේ වේදිකාවකට ඇවිත් කතා කරන කොට මගෙන් නිතරම අහන ප‍්‍රශ්නයක් තමයි මේ. මම හිතනවා චිත‍්‍ර ශිල්පියාගේ යුතුකම හුදෙක්ම ඔබව රසවත් කරන්න චිත‍්‍ර ඇඳීම පමණක් නෙවෙයි කියලා. ඊට වඩා කාර්යභාරයක් කලාකරුවන් වන අපිට පැවරී තියෙනවා. සමහරු කියනවා චිත‍්‍ර ශිල්පියා කළ යුත්තේ ඇඳීම පමණයි කතා කිරීමේ අයිතියක් නැහැ කියලා. නමුත් මම කියනවා කතා කිරීම අද අනිවාර්ය අංගයක් කියලා. සමකාලීන චිත‍්‍ර ශිල්පීන්ට නිහඬව ඉන්න හැකියාවක් අද නැහැ. ඔවුන් දේශපාලනිකයි. කැමති වුණත් නැතත් අපි දේශපාලනීකරණය වී ඉවරයි. අපි කළ යුත්තේ කුමක්ද, අපි ඇඳිය යුත්තේ කුමක්ද කියලා වෙන කෙනෙකු විසින් තීරණය නොකරන, පුද්ගලයාට නිදහස දෙන සමාජයක් අපිට අවශ්‍යයි.


තවම මේ පාලකයින් චිත‍්‍ර ශිල්පයට අත තිබ්බේ නැහැ. සාමාන්‍යයෙන් මන්තී‍්‍රවරු ඇමතිවරු චිත‍්‍ර ප‍්‍රදර්ශන බලන්න එන්නෙ නැති නිසා එහි තිබෙන දේශපාලන කතාව ඔවුන්ට තේරෙන්නෙ නැහැ. ඒ නිසා මගේ චිත‍්‍රය වහන්න ඕන කියලා ඔවුන් දන්නෙ නැහැ. ඒ හේතුවෙන් මට ගොඩක් දේශපාලනික දේවල් චිත‍්‍රයට නඟන්න තවම ඉඩ තියෙනවා. නමුත් ඔවුන් සිංදු කපනවා. සිනමාව කපනවා. මොකද ඒවා ජනප‍්‍රිය මාධ්‍ය නිසා වේගයෙන් පැතිරෙනවා. මේ බව දන්න නිසාම දැන් ගායකයෝ කියන්නෙ දේශප්‍රේමී ගීත විතරයි. අවිඥානකවම තමන්ගේ වාරණය තමන්ම සලසා ගන්නට ඔවුන් දන්නවා.


අද රාජ්‍ය කලාභවන කලා කෘති වෙනුවට මළ මිනී පෙන්වන අවමංගල්‍ය උත්සව ශාලාවක්. චිත‍්‍ර ප‍්‍රදර්ශන පවත්වන්න හැකියාවක් එතන නැහැ. කලාකාරයෙක් මැරිච්ච ගමන් මළ මිනිය ගෙනත් මිනිස්සුන්ට ඒක බලන්න එන්න කියනවා. ඒ නිසා පසුගිය ජූලි මාසෙ පුද්ගලික කලාගාරයක් වන ලයනල් වෙන්ඞ්ට් එකේ මගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනයක් පැවැත්වූවා. එහිදී මට මගේ ප‍්‍රදර්ශනය තුන් පාරක් වහන්න සිදු වුණා. ලයනල් වෙන්ඞ්ට් කලාගාරය පිහිටා තියෙන්නෙ රාජකීය පුත‍්‍රයන් නිතර ගමන් බිමන් යන භයානක අඩවියකයි. ඒ නිසා රජතුමාගේ සහෝදරයා එතනින් යනකොට පැයක් දෙකක් සියල්ල වසා දමන්න ඕන. පාර වහනවා විතරක් නෙවෙයි චිත‍්‍ර ශිල්පියයි රසිකයොයි ඔක්කොම ඇතුළට දාලා කලාගාරයේ දොරත් වහගන්න කියනවා.
අවුරුදු තිහක යුද්ධය නිසා ඇතිවුණු වෙනස අපිට හිතා ගන්න බැහැ. අද මිනිස්සු තමන් එක්ක එකට ගමන් බිමන් ගිය, එකම තැන රැකියාව කරන අයව පවා සැක කරනවා. අද මිනිස්සු සැකය හා භීතිය පැවැත්මේ කරුණක් කරගෙන තියෙන්නේ. ප‍්‍රවෘත්ති ඇහුවට පස්සේ ‘අපේ පැත්තෙන් තිහක් මැරුණානම් අනිත් පැත්තෙන් කීයක් මැරුණද’ කියලා අහන තරමට මේ ප‍්‍රචණ්ඩ පරිභෝජන සමාජය තුළ අපේ මනස විකෘති වෙලා. ඔබ අපේ කෙනෙක්ද?. සිංහල කෙනෙක් ද නැත්නම් දෙමළ කෙනෙක්ද කියලා අපේ අනන්‍යතාවය ප‍්‍රශ්න කරමින් සැක කරමින් දෙපැත්තට දමනවා. ඒ නිසා තමයි විසිත්ත කාමර ලස්සන කරන චිත‍්‍ර අඳින සිත්තරෙක් පමණක් නොවී මීට වඩා සමාජය වෙනස් කරන සමාජය යහපත් තැනකට ගෙන යන්න දායක වෙන්න සිදුවෙලා තියෙන්නෙ.


මම යුද්ධෙට විරුද්ධව ඊයෙත් වැඩ කළා. අදත් වැඩ කරනවා. හෙටත් වැඩ කරනවා. රටකට යුද්ධ අවශ්‍ය නැහැ. යුද්ධ ඇති නොකර ගන්නටයි අපි ඉන්න ඕන. ඒ නිසා මට මිනිහෙක් මැරෙන එක ගැන ප‍්‍රශ්නයක් තියෙනවා. අද මරණයක් ගැන වචන තුනක් කියලා අපේ රට සැනසීමට පත්වෙනවා. රණවිරුවන් රට වෙනුවෙන් දිවි පුදනවා, ත‍්‍රස්තවාදීන් මැරුම් කනවා, සාමාන්‍ය සිවිල් වැසියන් මිය යනවා කියා මරණය ගැන කියවෙන මේ වගන්ති තුන තමයි අපි මෙතෙක් ජප කර කර හිටියේ. තාම ඒ අදහස් සමාජයෙන් තුරන් වෙලා නැහැ. මාධ්‍ය සම්පූර්ණයෙන්ම බිල්ලට අරගෙන මිනිස්සුන්ගේ මනස වෙනස් කරලා තමාට තමා ගැනත් සැක හිතෙන සමාජයක් මේ පාලනය විසින් ඇති කළා. දැන් පුල්ලි තිබුණ කොටි ඉවර නිසා පුල්ලි නැති කොටි හොයන අවධියකට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ආයුධය තාම නිවලා නැහැ, ගිනියම් වෙලා තියෙන්නේ. ඕනෑම මොහොතක නැවත ඒක පත්තු වෙන්න පුළුවන්. ඒ බියකරු සමාජයෙන් ඈත්වෙන්න අවශ්‍යයයි. ඒ වෙනස ඇතිකර ගන්න ජීවිතයට ඇති අයිතියත්, කතා කිරීමට ඇති අයිතියත් ආරක්ෂා කරගන්නයි අපි අද නිදහසේ වේදිකාවට ගොඩවෙලා තියෙන්නේ. මගේ කලාව මට අයිති ක්ෂේත‍්‍රය තුළ ඒ අධ්‍යාත්මික ගුණ වගාවන් සහතික කිරීමට, ඒ අදහස් මිනිස්සුන්ට කියා දීමට මිනිස් මනස අවදිකරන්න චිත‍්‍ර ඇඳීමයි. නමුත් අද චිත‍්‍ර ඇඳීමට අමතරව මෙවැනි වේදිකාවලට ගොඩ වෙන්න මට සිදුවෙලා තියෙනවා.


එක්දාස් නවසිය හැත්තෑ අටේදී මම පාසල් ශිෂ්‍යයෙක්.ඒ දවස්වල හිටපු අගමැතිවරයෙකු වන දහනායක මහත්තයා බස් එකක් එනකන් අපේ නැන්දගේ කඬේ ඉස්සරහා තිබුණ හෙවනැල්ල යටට ඇවිත් ඉන්නවා මට මතකයි. ලංකාව සාමාන්‍ය මිනිස්සු එක්ක ජීවත් වෙච්ච දේශපාලනඥයෝ හිටිය රටක් මිස සිය ගාණක් පිරිවර එක්ක ජනතාව ඉවත් කරමින් ආව ගිය රටක් නෙවෙයි. නැවතත් එහෙම රටක් හදන්න බල කරන්න තමයි අපි මේ නිදහසේ වේදිකාවට ආවේ. එක එක රජයන් මාරු කරන්න නෙවෙයි අපි ඇවිත් ඉන්නේ. අපිට අවශ්‍ය අපේ ප‍්‍රතිපත්ති පිළිගන්නා මිනිසුන් හා ඵ්වා ක‍්‍රියාත්මක කරන රටක් දැක ගන්නයි.
මම හිතනවා මේ සමාජය වෙනස් කර ගත යුතුමයි. වෙනස් වීම බුදු හාමුදුරුවොත් අපිට කියා දුන් සත්‍යයක්. ලෝකයේ වෙනස් වීම හැර අන් හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔබ අපි වගේ සාමාන්‍ය මිනිස්සු තමයි ඒ වෙනස ඇති කළ යුත්තේ. අපිව පාරෙන් එළියට තල්ලූ කරන, අපේ සාක්කු අත පය පරීක්ෂා කරන සමාජයක් මේක. රජවෙන ඕනම කෙනෙකුට අපි කියන්නේ අපි එක්ක බලයට එන්න. අපිත් එක්කම ජීවත් වෙන්න. රජවෙලා වෙන කොහෙටවත් ගිහින් ජීවත් වෙන්න එපා. කිසිවක් අනුන්ගෙන් අහලා දැනගන්න එපා. මිනිස්සුන්ගෙන්ම අහලා දැනගන්න. විකෘති මනසක් පවත්වා ගෙන යන්න රාජ්‍යයට ඉඩ දෙන්නේ නැතුව යහපත් සමාජයක් ගැන බලාපොරොත්තු ඇතුව ඉක්මනින්ම වෙනස් සමාජයක් බිහි කර ගන්න අපිට පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වෙනස් වීම මට, ඔබට, අපට කරන්න පුළුවන්.

Back to samabima....
Back to Platform...
View PDF ...

No comments:

Post a Comment