Sunday, December 13, 2009

කවුදැයි කවුදැයි ඡන්දෙට එන්නේ,ජෙනරාල් ආවොත් මොකද කරන්නේ?

සුදර්ශන ගුණවර්ධන

ජෙනරාල් තුමාගේ දේශපාලන ආගමනය හේතුවෙන් මුළු මහත් දේශපාලන තලයම දෙදරන්නට පටන් ගෙන ඇත. තව අවුරුදු හයක් හෝ අටක් යනතුරු මහරජතුමාගේ ආණ්ඩුව හීනෙන්වත් හොලවන්න බැරි බව කියූ සියළුදෙනාම සෙලවෙන්නට වෙලාය. අප දේශපාලන විපක්ෂය සමඟ අත්වැල් බැඳගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීම සඳහා වන මහජන ව්‍යාපාරයක් ගොඩනඟන්නට වෙහෙසෙන අතර, වැඩ කිරීමට අවකාශයක් නැතැයි කියා අත් පා හකුළුවා ගෙන වකුටු වී නිදා සිටි සිවිල් සමාජයේ සාමාජිකයන්ට ද ඇහැ ඇරී අවදි වී ඇත.
‘‘ජෙනරාල් විපක්ෂයේ පොදු අපේක්ෂකයා නේද? දැන් ඔයගොල්ලන් අර්බුදයට යනවා නේද?’’ මේ ඔවුන් අප වෙත දමා ගසන ප‍්‍රශ්නයයි.
මේ ප‍්‍රශ්නය අහන සමහරුන්ට පසුගිය කාලයේ අප ඇඟේ හැපුණත් ඇහැට පෙනුණේ නැත. තවත් සමහර අය ‘අයියෝ, යූ.එන්.පී. එකත් එක්ක යන්න ලැජ්ජ නැද්ද?’ කීවෝය. තවත් උදවිය කීවේ පරදින අශ්වයාට ඔට්ටු අල්ලන්න ඔයාලා ඔය තරම් මෝඩද කියාය. මෙයට අමතර ව පසුගිය කාලයේ විවිධ දුෂ්කරතා මැද වුවද අපට සහයෝගය දුන් අයද හොඳ හිතින් යුතුව මේ ප‍්‍රශ්නය අසන බව ද සටහන් කළ යුතුය.
ප‍්‍රශ්නය හොඳටම පැහැදිලිය. පසුගිය කාලයේ අප විසින් දිගින් දිගටම ප‍්‍රකාශ කළ පරමාදර්ශයන්ට විරුද්ධ භාවිතාවක සිටි පුද්ගලයෙකු පොදු අපේක්ෂකයා වශයෙන් නම් කළහොත් අප ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ කෙසේද යන්නය.
ප‍්‍රශ්නය පැහැදිලි නිසා අපි පිළිතුරක් ගොනු කරමු.
ජනාධිපතිවරණයකදී තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ඇත්තේ දේශපාලන පක්ෂ වලටය. විපක්ෂය කියන්නේ තමන් මෙවර ඉදිරිපත් කරන්නේ ජේම්ස් බොන්ඞ් කෙනෙක් නැත්නම් සුපර් මෑන් කෙනෙක් කියාය. ආණ්ඩුව කියන්නේ සුපර් මෑන් ඉන්නේ තමන්ගේ පැත්තේ කියාය.
මේ වන විට පවතින වර්ධනයන් අනුව එක්සත් ජාතික පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණත් අතර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අවබෝධයක් පවතී. ඒ පොදු අපේක්ෂකයා කවුරුන් ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් නොවුණත් වැඩි දෙනෙකු කල්පනා කරන්නේ ජෙනරාල් තුමා ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බවයි.
එය එසේ වුවහොත් සිවිල් සමාජ සංවිධාන වලට හා ඒවායේ ක‍්‍රියාකාරීන්ට ජනාධිපතිවරණයේදී ගත හැකි විකල්ප පියවරයන් තුනකි.
1. ‘ ඕන එකක් ’ කියා මේ පාරත් රජතුමාටම ඡන්දය දී රජතුමා දෙවන වරටත් බලයට පත් කිරීම- මෙහිදී අප ඡන්දය දෙන්නේ මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වලට නොවන බවත් වාසුදේව නානායක්කාර මහතා වැනි ප‍්‍රගතිශීලීන් තවමත් ආණ්ඩුව සමඟ සිටින නිසා ඔවුන් ගැන විශ්වාස කරමින් බව සිතා සිත සනසා ගත හැකිය.
2. ‘තොපි දෙගොල්ලාම මක බෑ වෙලා පලයව්’ යැයි ප‍්‍රාර්ථනා කරමින් පළිගැනීමේ සිත් පෙරදැරිව ජෙනරාල්තුමා ට ඡන්දය දීම - රජතුමා විසින් කපා දමන ලද දාම් ඉත්තන් සංඛ්‍යාව අති විශාල බැවින්ද, මේ ඉත්තන් ප‍්‍රසිද්ධියේද, ඉදිරියේදී කැපී යාමට නියමිත ඉත්තන් රහසිගතවද එකට එකතු වී ඇති නිසා මෙම විකල්පය මේ මොහොතේ ආකර්ෂණීයය.
3. රජතුමා සහ ජෙනරාල් තුමා යන දෙදෙනාට ම විරුද්ධතාවය ප‍්‍රකාශ කිරීම - මෙහිදී තම ස්වාධීනතාවය සහ දේශපාලන නිරවද්‍යභාවය (Political correctness) ආරක්ෂා කර ගැනීම සඳහා තුන්වන අපේක්ෂකයෙකුට ඡන්දය දීම හෝ එම ස්ථාවරය ප‍්‍රසිද්ධියේ දරමින් හොරෙන් ජෙනරාල් තුමාට ඡන්දය දීම.
(තවත් විකල්පයන් ඇත්නම් ඒවා සොයා ගැනීමට මේ ලිපියේ අඩුපාඩු සොයන හිතවතුන්ට භාර කරමි.)
ජෙනරාල් තුමා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ආවොත් මොකද කරන්නේ කියා අපෙන් ප‍්‍රශ්න අහන්නේ මෙවැනි සන්දර්භයක් තුළදීය.
අප කිව යුත්තේ මෙහිදී අපට පෞද්ගලික පක්ෂපාතීත්වයක් හෝ අගතියක් නොමැති බවය. අප ඉදිරිපත් කර ඇත්තේ රට ගොඩනැඟීම සඳහා වන ප‍්‍රතිපත්ති මාලාවකි. අප විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මානව අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ක‍්‍රියාමාර්ගයක කටයුතු කළද, එක්සත් වැඩපිළිවෙළකට එකඟතාවයක් ඇති කරගන්නේ එකී ප‍්‍රතිපත්ති මාලාව පිළිගනු ලැබුවහොත් පමණකි.
දැනට රට කරවන රජතුමා සහ රජතුමාගේ ආණ්ඩුව මැතිවරණයට පෙර ඉහත සඳහන් ප‍්‍රතිපත්ති පිළිගෙන ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නම් අපි එය සාදරයෙන් පිළිගනිමු.
පසුගිය කාලයේ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය පිළිබඳ චෝදනා පිටින් දමා ආණ්ඩුව කරනු ලබන යහපත් කටයුත්තකට අකුල් හෙළීමට අපි කුහක නොවෙමු. නමුත්, බලයේ සිටින ආණ්ඩුවෙන් අපට හුදු පොරොන්දු පමණක් ප‍්‍රමාණවත් නොවන අතර, ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයක් බලාපොරොත්තු වෙමු.
රජතුමා විසින් මේ ඉල්ලීම ක‍්‍රියාත්මක නොකළහොත් එම ඉල්ලීම් පිළිගන්නා සහ ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වන විපක්ෂයේ බලවේගයන් සමඟ අප පොදු වැඩපිළිවෙළකට ගමන් කරන අතර එම පොදු වැඩපිළිවෙළ ජයග‍්‍රහණය කරවීමට අපි කටයුතු කරන්නෙමු.
සමහරුන් සිතන පරිදි පුද්ගලයන් මාරු කිරීමෙන් සහ පුද්ගලයන් පවත්වා ගැනීමෙන් ප‍්‍රශ්න විසඳිය හැකි යැයි අප විශ්වාස කරන්නේ නැත. අප විශ්වාසය තබන්නේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීම පිළිබඳවය. එතැනදී අපට පුද්ගලයා කවුරුන්ද යන්න අදාළ නැත.




View pdf....
Back to Platform
Back to samabima

No comments:

Post a Comment