Sunday, December 13, 2009

අපි නීති රීති වලට අනුව මැච් එක ගහමු

‘‘අපට සිහිනයක් තියෙනවා. ඒ සිහිනය මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන සමාජයක් බිහිකිරීමයි. එවැනි සමාජයක අපි සියළු දෙනාටම සමාන අයිතිවාසිකම් හිමිවෙනවා. උස වුණත් මිටි වුණත් ජාතිය මොකක් වුණත් කුමන ආගමක් ඇදහුවත් මොන දේශපාලන මතයක් දැරුවත් පුරවැසියන් වශයෙන් අන්න ඒ සමාන අයිතිවාසිකම ලබා ගන්න තමයි අපි ‘නිදහසේ වේදිකාව’ වශයෙන් එකතු වෙලා ඉන්නේ.’’
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා එසේ පැවසුවේ පසුගිය 21 වනදා මාතලේ පුරහලේ දී පැවැති නිදහසේ වේදිකාවේ දහවැනි මහජන රැස්වීම අමතමිනි.
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන නීතිඥ ජේ.සී.වැලිඅමුණ සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග ‘දූෂණ විමසුම’ සංවිධානයේ සම්බන්ධීකාරක නීතිඥ රවි ජයවර්ධන මහතා ද කතා කළහ. ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ගීත ප‍්‍රසංගයකින් ද වේදිකාව ආලෝකවත් විය.
මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් අලූවිහාරේ, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන වසන්ත අලූවිහාරේ, සංජීව කවිරත්න සහ රෝහණ බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
එහිදී තව දුරටත් කරු ජයසූරිය මහතා මෙසේ පැවසීය. ‘නිදහසේ වේදිකාව බිහි කිරීමේ උවමනාව ඇති වුණේ පහුගිය ජනවාරි මාසේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් වූ කරුණු දෙකක් සිදුවීම හරහා. අභීත මාධ්‍යවේදියෙකු වූ නීතිඥ ලසන්ත වික‍්‍රමතුංග මහතා මහ දවල් අධි ආරක්ෂිත කලාපයක වෙඩි තියලා මරලා දැමීමෙනුත්, සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබීමෙනුත් පසුව රට කොහාටද යන්නෙ කියලා මේ රටේ ජනතාව තුළ යම්කිසි බියක් සාංකාවක් ඇති වුණා. නිදහසේ වේදිකාවේ ආරම්භය සිදු වුණේ එතැනින්. අද දේශපාලන පක්ෂ දාහතරකට ආසන්න ප‍්‍රමාණයක් වගේම සිවිල් සංවිධාන තිහක් පමණ නිදහසේ වේදිකාවට ගොඩ වී එහි සාමාජිකයන් බවට පත්වෙලා සිටිනවා. ඒ වගේම දිනපතා අළුත් පිරිස් එයට එකතු වෙනවා. ඒ නිසා නිදහසේ වේදිකාවේ සිටින කිසිම කෙනෙක් දේශද්‍රෝහියෙක්වත්, කොටි ඒජන්තවරයෙක්වත් නෙවෙයි. නිදහසේ වේදිකාවේ සියළුම ආකාරයේ මත දරන අය ඉන්නවා. සියළුම ජාතීන්ට අයිති, විවිධ ආගම් අදහන අය ඉන්නවා. නමුත් නිදහසේ වේදිකාවේ සියළුදෙනා වගේම අපි ඔක්කොම එකතු වෙලා එකම වේදිකාවකට ගොඩ වෙලා ඉන්නෙ කරුණු පහකට එකඟ වෙලා.
එහි පළමුවැන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය. අද ජීවත්වීමේ අයිතිය, කතා කිරීමේ අයිතිය, නිදහසේ හැසිරීමේ අයිතිය, යහපාලනය, ජාතීන් අතර සමානත්වය, ආර්ථික සමානත්වය යන සියල්ල කඩ වෙලා තියෙන්නේ. කතා කිරීමේ සහ ලිවීමේ නිදහස ගැන කියනවානම් අද කවුරු හරි ආණ්ඩුවට විරුද්ධව මතයක් ප‍්‍රකාශ කළොත් සුදු වෑන් එකක් ඇවිල්ලා ඔහුව උස්සගෙන යනවා. එහෙම නැත්නම් මහ දවාලේ වෙඩි තියලා මරලා දානවා. දැනටමත් මාධ්‍යවේදීන් ෙදාළොස් දෙනෙක් මරලා දාලා. මාධ්‍යට සම්බන්ධ තිස් දෙනෙක් පමණ විවිධ අඩත්තේට්ටම් වලට ලක්වෙලා. තව සමහර අය ජීවිත තර්ජනයට ලක්වීම නිසා පිටරට ගිහිල්ලා. මේ අය කරපු එකම පාප කර්මය තමයි ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම. මේක තමයි අදහස් ප‍්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අද අපේ රටේ තියෙන තත්ත්වය.
එ්වගේම බොහෝ දෙනෙක් කතා කරන කාරණයක් තමයි යහපාලනය. යහපාලනය තියෙන රටක ඕනම කෙනෙකුට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. යහපාලනය තියෙන රටක අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. යහපාලනයක් තියෙන රටක රජයේ මාධ්‍ය කියන එක ආණඩුවට වගේම විපක්ෂයටත් අයිතියි. පසුගිය ජනාධිපතිවරණයේදී සීයට පණස් එකකට ආසන්න ඡුන්ද සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබුණා. සීයට හතළිස් නමයකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාට ලැබුණා. පණස් එකක් ගත්ත කෙනාට මේ ඔක්කොම අයිති වෙනකොට හතළිස් නමයක් ගත්ත කෙනාට උදේ ඉඳන් ? වෙනකන් පහර දෙනවා. මොකක්ද එතන තියෙන සමානත්වය. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩු බලය හිමි අයට විතරක් නෙවෙයි සියළුම ජන කොට්ඨාශ වලට අයිතියි.
1997 දී සිවිල් සමාජයේ සියළුදෙනා එකතු වෙලා පුරවැසි කමිටුවක් හදාගත්තා. ඒ නිසා 2002 දී අපිට පුළුවන් වුණා 17 වන සංශෝධනය ගේන්න. 17 වන සංශෝධනයේ වැදගත්කම සමහර අය දන්නවා. සමහර අය දන්නෙ නැහැ. ඒක ගෙනාවට පස්සේ ලංකාවෙ හුඟක් ක්ෂේත‍්‍රවල තිබුණු දේශපාලනීකරණය බොහෝ වෙනස් වුණා. ඒ තුළින් මැතිවරණ කොමිසමක් පත් කරලා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතන්නේ 2004 මැතිවරණය තමයි සාධාරණම මැතිවරණය.
ඒ වගේම රාජ්‍ය සේවය නිර්දේශපාලනය කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසමක් පත් කරන්න, අධිකරණ සේවා කොමිසමක් පත් කරන්න හැකි වුණා. මට මතකයි සමහර අවස්ථාවලදී හිටපු ජනාධිපතිතුමියට පවා විරුද්ධව තීරණ ගන්න එදා රාජ්‍ය සේවා කොමිසමට පුළුවන් වුණා. ඒ නිසා දේශපාලන ඇඟිලි ගැසීම්වලට යටත් වෙන්නේ නැතුව පොලිස් නිලධාරීන්ට තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිවුණා. ඒ විදිහට තමයි එදා රටේ වෙනසක් ඇති කලේ.
ඉදිරියේදී ප‍්‍රකාශ කරන මැතිවරණ වලට මුහුණ දෙන්න අපි සූදානම්. නමුත් ඒක නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්විය යුතුයි. අපි රජයෙන් ඉල්ලනවා උදේ ඉඳන් ? වෙනකන් බොරු ගොතමින් ජනතාව මුලා වෙන විදිහට රාජ්‍ය මාධ්‍ය පාවිච්චි නොකර සත්‍ය ප‍්‍රකාශ කරන්න කියලා. අපි නීති රීති වලට අනුව මැච් එක ගහමු. මේ මැච් එක ගහලා එක් කෙනෙක් දිනනවා. එක් කෙනෙක් පරාද වෙනවා.
අද රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා මේ පවතින ක‍්‍රමයේ වෙනසක් අවශ්‍යයි කියලා. අපි කරන සමීක්ෂණ වලිනුත් දකිනවා ජනතාව වෙනසක් අවශ්‍යයි කියලා ප‍්‍රකාශ කරන ආකාරය. ඒ වෙනස තමයි යුක්තියත්, සාධාරණත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, කතා කිරීමේ සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතියත් ඇති රටක්. එහෙම වුණොත් මේ රටට අළුත් මාර්ගයක යන්න පුළුවන්. මේ මැතිවරණය ඉතාම තීරණාත්මකයි. ඒ නිසා මම ඔබ සියළුදෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රජයේ සම්පත් අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන නායකයෙක් පත්කර ගන්න තමුන්නාන්සෙලාගේ සහයෝගය ලබා දෙන්න.

Back to Samabima
Back platform
View Pdf....
View more Photo
view Karu jayasuriya Speech ...

No comments:

Post a Comment