Sunday, December 13, 2009

වෙනසකට කැපවෙන්න අපි සූදානම්













විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක
රනිල් වික‍්‍රමසිංහ

‘‘පාර්ලිමේන්තුව පත් වෙලා දවස් එකසිය අසූවකින් යහපාලනය, 17 වන සංශෝධනය, ව්‍යවස්ථාමය හා නීතියේ ආධිපත්‍යය ආදී කාරණා ගැන නිදහසේ වේදිකාව සහ අනිත් පිරිස් සමඟ සාකච්ඡා කර ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය සහ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු වෙන ආකාරයේ අළුත් ව්‍යවස්ථාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා.’’
විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පවසා සිටියේ, ‘වෙනසකට කැපවෙමු’ තේමාව යටතේ නිදහසේ වේදිකාවේ පස් වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව එළි දැක්වීම පිණිස පසුගිය නොවැම්බර් 12 වෙනිදා කොළඹදී පැවති උත්සවයේදීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හා නිදහසේ වේදිකාව ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කැපවෙන බවත් අද මෙම අවස්ථාවට සහභාගී වන්නේ පුද්ගලයන් වෙනුවෙන් නොව අරමුණු සහ ප‍්‍රතිපත්ති වෙනුවෙන් බවත් කී වික‍්‍රමසිංහ මහතා ඒ සඳහා පළමුවෙන් මැතිවරණයක් පවත්වා විධායක ජනාධිපති ක‍්‍රමය හැකි තරම් ඉක්මණින් අහෝසි කිරීමට සැලසුම් කරගෙන යන බවද පැවසුවේය.
‘මැතිවරණයකින් පස්සෙ ජනතාව එක්සේසත් කර දේශපාලන විසඳුමක් ගෙන ඒමටත් සමාජ සාධාරණත්වයක් ඇති ආර්ථීකයක් (Social Market Economy) හදන්නත් අපි කැපවෙලා ඉන්නවා’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
නිදහසේ වේදිකාවේ පස් වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම මෙම උත්සවයේදී සිදු කෙරුණු අතර අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාව ද රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිදහසේ වේදිකාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් වෙත පිළිගන්වන ලදී. මෙම උත්සවයට විපක්ෂ නායකවරයා සමඟ කරු ජයසූරිය, මංගල සමරවීර, රවුෆ් හකීම්, තිස්ස අත්තනායක, ආචාර්ය කුමරගුරුබරන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් රැුසක් සහභාගී වූහ.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ‘‘නිදහසේ වේදිකාවේ මූලධර්ම පහ ප‍්‍රකාශයට පත්කිරීම වැදගත් පියවරක් බවයි. එක්සත් ජාතික පෙරමුණේ සියලූම පක්ෂ සහ සංවිධාන මේ මූලධර්ම පහ පිළිගැනීමට නිල වශයෙන් තීරණය කර තිබෙන බව පැවසූ ඔහු නිදහසේ වේදිකාව ආරම්භ කළේ ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනයෙන් පසු මේ රටේ නිදහස නැති වෙමින් ගිය අවස්ථාවක බවත් එදා සිට සියළුදෙනා සමඟ අත්වැල් බැඳගෙන ගිය ගමන නිසා නිදහස ඉතා සුළුවෙන් හෝ ආරක්ෂා කරගැනීමට හැකි වී ඇති බවත් පැවසීය.
‘‘දැන් අපි බලන්නෙ මෙම නිදහස සම්පූර්ණයෙන්ම රැකගෙන ඉදිරියට යන්නයි. මේ සඳහා නිදහසේ වේදිකාව සමඟ අපිත් එකතු වෙලා සාකච්ඡා කළා. කටයුතු කළා. අපි එකතු වෙලා නිදහස් සමාජයක් ඇති කරලා මේ ආසියානු කලාපයටම පෙන්නන්න ඕන. අපේ සටන් පාඨය අපි ඔක්කොම රජවරු. ඒක සත්‍යයක් බව පසක් කරන්න අපි මේ පස් වැදෑරුම් මූලධර්ම පිළිගෙන ක‍්‍රියාකරනවා.’’ වික‍්‍රමසිංහ මහතා පැවසීය.
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ‘වෙනසකට කැපවෙමු’ පස්වැදෑරුම් වැඩපිළිවෙළ සභාව වෙත ඉදිරිපත් කළාය.



සිවිල් සමාජයට සුවිශේෂ වගකීමක් ඇත
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

රට ගොඩනැඟීම සඳහා නිදහසේ වේදිකාව විසින් එළිදක්වන ලද පංචවිධ ප‍්‍රතිපත්ති තමා සම්පූර්ණයෙන්ම අනුමත කරන බවත් එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට සුවිශේෂී වගකීමක් සිවිල් සමාජය වෙත පැවරී ඇති බවත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ප‍්‍රකාශ කරයි. ඔහු එසේ පැවසුවේ පංචවිධ ප‍්‍රතිපත්ති එළිදැක්වීමේ උළෙලට නිව්යෝර්ක් නුවර සිට සුබ පැතුම් පණිවිඩයක් එවමිනි. එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
‘‘නිදහසේ වේදිකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම පංචවිධ ප‍්‍රතිපත්ති මම සම්පූර්ණයෙන් ම අනුමත කරමි. මානව හිමිකම් දැඩි ලෙස ආරක්ෂා කරන්නාවූද, යහපාලනය සහිතවූද, සාමය සහ සමඟි සන්ධානය ගොඩනඟා ගත්තාවූද, එක්සත් ශ‍්‍රී ලංකාවක් වශයෙන් ඉදිරියට යනු පිණිස මෙම ප‍්‍රතිපත්ති සුරකින ලෙස දේශපාලන පක්ෂ වලින් ද, සිවිල් සමාජ සංවිධාන වෙතින්ද ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි.
අප වර්තමානයේ මුහුණ දෙමින් සිටින අභියෝග මධ්‍යයේ ඉහත ප‍්‍රතිපත්ති රැක ගැනීම සඳහා සක‍්‍රීයව දායකවීමේ සුවිශේෂ වගකීමක් සිවිල් සමාජය වෙත පැවරී ඇති බව මම අවධාරණය කරමි.’’


No comments:

Post a Comment