Thursday, November 19, 2009

සිවිල් සංවිධාන වලට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න ලැබීම ඉතාම වැදගත්

මිනිස් අයිතිවාසිකම් ප‍්‍රමුඛ කොට ගෙන නිදහසේ වේදිකාව විසින් සකස් කරන ලද ”වෙනසකට කැපවෙමු” නම් රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඇතුළත් පංචවිධ ප‍්‍රතිපත්තිය විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ වෙත පිළිගැන්වීමේ පළමු පියවර වශයෙන් එය එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම පසුගිය 12 වනදා සවස කොළඹ ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී උත්සවාකාරයෙන් සිදුවිය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන පුළුල්ම මහජන බලවේගයක් ගොඩනැඟීම සඳහා ‘නිදහසේ වේදිකාව’ විසින් දිවයින පුරා පවත්වන ලද දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවලදී සම්මත කරගත් රට ගොඩනැඟීම සඳහා වන පස්වැදෑරුම් වැඩපිළිවෙළ පිළිබඳ එහි සම කැඳවුම්කරුවන් වන ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ විසින් දක්වන ලද අදහස් මෙවර සමබිම පාඨක ඔබ වෙත ගෙන ඒමට අපි අදහස් කළෙමු.






ජ්‍යේෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු


නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා මහජන ව්‍යාපාරයක් සෑදීමටයි. ඒ සඳහා කවුරුවත් ඉදිරිපත් නොවන වෙලාවක යම්කිසි වේදිකාවක් හදන්න අප ඉදිරිපත් වුණා. දිගුකාලීනව ප‍්‍රතිපත්තිමය වශයෙන් මේ වැඩපිළිවෙළ ගෙන යන්නේ කෙසේද සහ අප එකඟ වන්නේ කුමන කාරණා වෙනුවෙන්ද යන්න ගැන නිදහසේ වේදිකාව හදන අවස්ථාවේ අපත් සමඟ සම්බන්ධ වූ පිරිස් සමඟ අප දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එම දීර්ඝ සාකච්ඡා වලින් පසුවයි මෙම පංචවිධ ප‍්‍රතිපත්ති සකස් කළේ .

එය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන පක්ෂ වලට ඉදිරිපත් කිරීමට අප සැලසුම් කළා. පළමුව එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ වලට මෙය පිළිගන්වනු ලබනවා. ඒ මඟින් එම පක්ෂ මේ සඳහා එකඟ වීමක් පමණක් නොව කැපවීමක්ද අප අපේක්ෂා කරනවා. එවැනි කැපවීමකට ඔවුන් එකඟ බව පෙනී ගියහොත් පසුව ඔවුන් සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නිදහසේ වේදිකාව බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් එම දේශපාලන පක්ෂවලට අභ්‍යන්තරව බලපෑම් කිරීමට තරම් ශක්තිමත් වීම අපේ අරමුණයි.
පංචවිධ ප‍්‍රතිපත්තිය තුළ ගැඹුරු කාරණා රාශියක් අන්තර්ගත වෙනවා. ඒ හැම කරුණක්ම බද්ධ කරල තිබෙන්නේ අයිතිවාසිකම් වලට සම්බන්ධ වන ආකාරයටයි. මෙය යහ පාලනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට, රටේ පුරවැසියන්ට වෙනස් කොට සැලකීමකින් තොරව ජීවත් වීමට යම්කිසි මඟ පෙන්වීමක් හා බලපෑමක් කළ හැකි ප‍්‍රබල ලියවිල්ලක් බවට අනාගතයේදී පත්වෙයි කියලා අප විශ්වාස කරනවා.

විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ වලටත් මෙම පංචවිධ ප‍්‍රතිපත්තිය පිළිගන්වන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපත් සමඟ ආරම්භයේ සිටම කටයුතු කරන එක්සත් සමාජවාදී පක්ෂයටත් ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ සෑම පක්ෂයකටමත් ඉදිරියේදී මෙය පිළිගන්වනවා.

ආණ්ඩු පක්ෂයට පංචවිධ ප‍්‍රතිපත්තිය පිළිගන්වනවාද නැද්ද කියලා අපට සලකා බලන්න සිදු වෙනවා. අපට මේ වේදිකාව හදන්න සිදු වුණේ ආණ්ඩුවේම ක‍්‍රියාකාරීත්වය නිසා. ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න තිබුණ වේදිකාව නැති කරල දැම්මේ ඔවුන් විසින්. ඒ නිසා ආණ්ඩු පක්ෂයට මෙය පිළිගැන්වීම ගැන තීන්දුවක් ගැනීම ගැඹුරින් සාකච්ඡා කළ යුතු කාරණයක්.

සිවිල් ව්‍යාපාර හරහා බිහිවෙන මෙවැනි ප‍්‍රතිපත්තීන් වලට දේශපාලන පක්ෂවල එකඟතාවය හා කැපවීම ලබා ගැනීම මඟින් රටට ප‍්‍රතිලාභ රාශියක් අත්වෙනවා. ඒ අතරින් සිවිල් සංවිධාන වලට යම්කිසි දුරකට සවන් දෙන විපක්ෂයක් බිහිකර ගන්න අවස්ථාවක් සහ හැකියාවක් ලැබීමම ඉතාම වැදගත්. දේශපාලන පක්ෂ ජයග‍්‍රහණය කළාට පසුව මෙවැනි ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරවා ගැනීම ඉතා අපහසුයි. සිවිල් සංවිධාන සහ විපක්ෂ දේශපාලන පක්ෂ එකතු වෙලා අවබෝධතා ගිවිසුමකට අත්සන් කරල බලය ලබා ගත්තට පස්සේ ඔවුන් ඒ සඳහා කැපවන අවස්ථා අප දැකලා නැහැ. රටක සිවිල් ජනතාවට යම් බලයක් තිබෙනවා. ඒ මඟින් දේශපාලනඥයින්ට බලපෑම් කරන්න තරම් බලයක් ජනතාවට තිබෙන බව පෙන්විය යුතුයි. මේක සිවිල් සමාජය තමන් බලයට එන්න දරන උත්සාහයක් නෙවෙයි. සිවිල් සමාජයට තියෙන බලාධිකාරිය ජනතාවගේ බලය. ඒ නිසා මෙය ජනතාවගේ බලය ප‍්‍රකාශ කරන අවස්ථාවක්.


Back to samabima
view pdf
Back to platform

Sunday, November 8, 2009

කාකි ඇඳුම් අළුගෝසුවන්ට එරෙහිව ජනතාව පෙළ ගැසෙති

මානසික ආතතියකින් පෙළෙමින් සිටියා යැයි කියන දෙමළ ජාතික තරුණයෙකුට පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂික අන්දමින් පහර දී දියේ ගිල්වා ඝාතනය කරන ලද සිද්ධිය මේ වන විට දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මහත් ආන්දෝලනයක් ඇති කර ඇත. නොකඩවා සිදු වෙමින් පවතින පොලිස් ඝාතන අතරට අළුතින්ම එක් වූ මෙම සිදු වීම හරහා මෙරට මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කිරීමට අපකීර්තිමත් සාක්ෂියක් ශ‍්‍රී ලංකා පොලිසිය විසින් නැවත වරක් සපයා ඇත.යම් හෙයකින් අදාළ සිදුවීම ඇතුළත් වීඩියෝ පටය නොවන්නට ඝාතනයට ලක් වූ මෙම තරුණයාද පාතාලයෙකු බවට පත් වීම සක්කරයාටවත් වෙනස් කළ නොහැකි වන්නේය.මිනිසුන් බල්ලන් බළලූන් මෙන් මරා දමන හිරිකිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් මේ රටේ බිහි වීමේ වගකීම පාලකයින් විසින් බාර ගත යුතුය. ජනතාවගේ ජීවත් වීමට ඇති අයිතිය සුරක්ෂිත කරන්නට අපොහොසත් පාලකයින්ගෙන් ජනතාවට ඵලක් නැත. එනිසා තවදුරටත් අප පත් කළ පාලකයින් අතින් අපගේ මරණ වරෙන්තුව ලියැවෙනු බලා සිටිය නොහැක. තීරණය ඇත්තේ පරමාධිපත්‍යය හිමි ඔබ අතේය.
බම්බලපිටිය මුහුදු වෙරළේදී පොලිස් නිළධාරියෙකු විසින් අමානුෂික ලෙස පහර දී තරුණයෙකු මරා දැමීමට එරෙහිව සිවිල් අධීක්ෂණ කමිටුව, නිදහසේ වේදිකාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ එක්ව පසුගිය 04 වෙනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. ඊට සිවිල් සංවිධාන ගණනාවක් සහ දේශපාලන පක්ෂද සහභාගී විය. විශාල ජනතා සහභාගීත්වයකින් සිදු කෙරුණු මෙම උද්ඝෝෂණයේදී උද්ඝෝෂණකරුවන් ‘කාකි ඇදුම් අළුගෝසුවෝ ’ යැයි සටන් පාඨ කියන විට මහ මඟ යමින් සිටි ජනතාවද ඊට සහාය පළ කරන අන්දම දක්නට ලැබුණි.

මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ

නිදහසේ වේදිකාව සිවිල් සමාජ සංවිධාන සහ විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ යන දෙකොට්ඨාශයේම දායකත්වයෙන් ගොඩනැඟෙන්නේ ජීවත්වීමේ අයිතිය සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස බරපතල ලෙස තර්ජනයට ලක්ව තිබූ අවස්ථාවකය. වසරකටත් අඩු නිදහසේ වේදිකාවේ අතීතය තුළ ප‍්‍රාදේශීය වශයෙන් සාකච්ඡා විශාල සංඛ්‍යාවක් පවත්වමින් පස්වැදෑරුම් වැඩපිළිවෙළක් සමාජගත කිරීමට උත්සාහ දරන ලදී. මෙම සාකච්ඡා සඳහා සිවිල් සමාජ සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වෙයි.
ඔක්තෝමබර් 18 වෙනිදා මාතර සර්වෝදය ශාලාවේදී පැවති දිස්ත‍්‍රික් නියෝජිත සමුළුවේදී සිවිල් සංවිධාන නියෝජනය කරමින් නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන අදහස දැක්වූ අතර දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අදහස් දැක්වූයේ දකුණු පළාත් සභා විපක්ෂ නායක බුද්ධික පතිරණ මහතාය. තරුණ දේශපාලකයෙකු වශයෙන් බුද්ධික නිදහසේ වේදිකාව පිළිබඳ ඉදිරිපත් කළ විග‍්‍රහය මේ පිළිබඳ ආරම්භ කළ සංවාදය ඉදිරියට ගෙන යාමට දායක වනු ඇතැයි සිතන අපි ඔහුගේ අදහස් වලින් තෝරා ගත් කොටසක් මෙවර ‘සමබිම’ පාඨකයන් සමඟ බෙදා ගැනීමට අදහස් කළෙමු.






දකුණු පළාත් සභා විපක්ෂ නායක
බුද්ධික පතිරණ

මගේ මේ කතාව ආරම්භ වෙන්නෙ 1990 දශකයේ මුල් කාර්තුවෙන්. මට මතකයි ඒ වකවානුවෙත් අද ඇතිවෙලා තියෙනවා වගේම ලොකු සංවාදයක් රට පුරා ඇති වුණා. ඒත් එදා ඒ සංවාදය තුළ මිනිස්සුන්ගේ බඩගින්න ගැන කතා වුණේ නැහැ. ජනතාව වෙනුවෙන් එදා පේ‍්‍රමදාස රජය ක‍්‍රියාත්මක කරපු ප‍්‍රමුඛ සුබ සාධන ව්‍යාපාරයන් ඇගයීමකට ලක්වුණේ නැහැ. එදා කතාවුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ගැන.හැබැයි සාම්ප‍්‍රදායික එක්සත් ජාතික පාක්‍ෂිකයෝ මේ සංවාදයෙන් පිටතයි හිටියෙ.

එහෙමනම් කවුද එදා ඒ සංවාදයට මුලපිරුවේ? එදා තිබූ සිවිල් සහ බහුජන සංවිධාන. නමුත් මම කරපු අධ්‍යනයන්ට අනුව එදා සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන ගෙනගිය වැඩ පිළිවෙළ ඒ මොහොතේදී ජනතාව අතර බරපතල සාකච්ඡාවකට ලක් වුණේ නැහැ.

1992 විතර වෙනකොට එක්සත් ජාතික පක්‍ෂය ඇතුළෙ බරපතල පිපිරීමක් ඇතිවෙනවා. ඒ පිපිරීමේ ප‍්‍රතිඵලයක් විදිහට එක්සත් ජාතික පක්‍ෂය තුළ ගොඩනැගිලා තිබුණ ශක්තිමත් සංවිධාන ජාලයේ යම් අර්බුදයක් ඇති වෙනවා. ඒ අර්බුදය තුළ ලලිත්, ගාමිණි, පේ‍්‍රමචන්ද්‍ර කණ්ඩායම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වෙනවා. ඒ ඉවත්වෙන මොහොත වෙනකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් නිද්‍රාශීලි තත්ත්වයකට පත්වෙලා තිබුණේ.

ඒ තත්වය තුළ මේ රටේ නැවත දේශපාලන උද්දීපනයක් ඇති කරන්න එදා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් පෙරමුණට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වුණ ලලිත් ගාමිණී කණ්ඩායම් එකතු වුණා. ඉන්පසු ඔවුන් විසින් සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය ආරම්භ කර ඒකට නායකත්වය දීලා අවසානයේදී ඉතා කණගාටුදායක ලෙස දේශපාලනයෙන් සහ ජීවිතයෙන් සමුගැනීම තුළ චන්ද්‍රිකා කුමාරතුංග එහි ප‍්‍රතිඵල නෙළනවා. සටන ආරම්භ කළේ චන්ද්‍රිකා නොවුණට ප‍්‍රතිඵල නෙළලා ආණ්ඩුවක් හදලා අවසානේදී ඒකට පාර හදල දීපු අර සිවිල් සංවිධාන ජාලය තුළ සිටි සියළු ක‍්‍රියාකාරීන්ට නිර්දය ආකාරයට පහර දීල මේ රටේ දේශපාලන ගමන් මඟ වෙනස්ම දිශාවකට තල්ලූ කරල දාන්න ඒ ආණ්ඩුවට පුළුවන් වෙනවා.

මම හිතනවා අදත් නිර්මාණය වෙලා තියෙන්නෙ ඉතිහාසය නැවතත් පුනරුච්චාරණය වෙන එවැනිම තත්ත්වයක්. අවසානෙදි සිවිල් සංවිධාන මේ අරගලයේ පෙරටුගාමී බලය විදිහට නැත්නම් අරගලයේ ගිණිපුපුර බවට පත්වුණාට ඒකෙ ප‍්‍රතිලාභ ලබන්නේ වෙනත් කණ්ඩායමක්.

නමුත් මෙදා නිදහසේ වේදිකාවේ මම සාධනීය තත්ත්වයක් දකිනවා. ඒ කාරණා දෙකක් නිසා. මම මේ අරගලය සමඟ එකතු වෙන්නෙත් ඒ කාරණා දෙක නිසා. එකක් තමයි මෙදා සිවිල් සංවිධාන ජාලය සහ දේශපාලන සංවිධාන ජාලය කියන දෙක එකිනෙකට සමාන්තර පීලි දෙකක ගමන් නොකර එකට බද්ධවෙලා තිබීම. මම විශ්වාස කරනවා මේ රටේ ශක්තිමත් සිවිල් සංවිධාන ජාලයක් නැහැ කියලා. එහෙම වෙන්න හේතුව දේශපාලන සමාජය නැත්නම් දේශපාලන තලය තාමත් මේ රටේ අති බහුතරයක් පිරිස වන්දනීයව සලකන නිසා. ඒ නිසා දේශපාලනඥයාට පුළුවන් වෙලා තියෙනවා ඕනතරම් පිස්සු කෙලින්න. මොන පිස්සුව නැටුවත් ඒ පිස්සු දේශපාලඥයින්ව මනාප ලැයිස්තුවේ උඩින්ම ගෙනල්ල තියලා ඒ ව්‍යුහයට වන්දනාමාන කරන බහුතරයක් තමයි අද දේශපාලන ව්‍යාපාරය තුළ ඉන්නේ. නමුත් එහෙම අය වීර චරිත බවට පත්වෙන අතරම ඔවුන්ට දේශපාලන වේදිකාවෙන් එළියේ ලොකු චියර් එකක් ලැබෙන්නේ මෙන්න මේ සන්දර්භය තුළ. මට ඒක දකින්න පුළුවන් වෙලා තියෙන්නේ මමත් සිවිල් ව්‍යාපාරය තුළ කටයුතු කරලා දේශපාලනයට ආපු නිසා.

මම මේ අරගලය එක්ක එකතුවෙන දෙවෙනි කාරණය තමයි නිදහසේ වේදිකාව ප‍්‍රකාශයට පත් කරලා තියෙන පංචවිධ මූලධර්ම. 1990 දශකයේ සිවිල් ව්‍යාපාරය හා දේශපාලන ව්‍යාපාරය එකට එකතුවෙලා කතා කරන්නෙ සීමිත කාරණා කිහිපයක් වෙනුවෙන් පමණයි. නමුත් මෙදා දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික හැම කාරණයක් පිළිබඳවම මේ පංචවිධ මූලධර්මය තුළ ඇතුළත්. කොටින්ම ඊළගට පත්වෙන ආණ්ඩුවට රටක් ගෙනියන්න අවශ්‍ය සමස්ත ව්‍යුහයම මේ තුළ අන්තර්ගත වී තියෙනවා. 1977 දී ජේ.ආර් ජයවර්ධන මැතිතුමා හදුන්වාදෙන වෙළෙඳපොළ අර්ථ ක‍්‍රමය තුළ එක්සත් ජාතික පක්‍ෂයටත් බැරිවෙනවා ඒක ව්‍යුහය තුළට ගෙනාවට මනුස්සයන්ගේ සිතුවිලි තුළට ගේන්න. ඒ නිසයි අදටත් තාත්තෙක් අම්මෙක් හිතන්නේ තමන්ගෙ කොල්ලා පෙන්ෂන් පඩිකාරයෙක් බවට පත්කරන්න ඕන කියලා. තමන්ගෙ කෙල්ල පෙන්ෂන් පඩිකාරයෙකුට කසාද බන්දලා දෙන්න ඕන කියලා. අදටත් මේ වෙළෙඳපොළ අර්ථක‍්‍රමය යටතේ ඇතිවෙලා තියෙන පෞද්ගලික අංශයේ රැකියාවලට යවනවාට වඩා හැම අම්මෙක්ම තාත්තෙක්ම කැමති තමන්ගෙ ළමයා කොහොමහරි රජයේ සේවකයෙක් බවට පත්කරන්න. ඒක තමයි ඇත්ත කථාව. වෙළෙඳපොළ අර්ථක‍්‍රමය සමාජගත කරලා අවුරුදු තිස් දෙකක් ගතවෙලා තිබුණත් මිනිස්සුන්ගේ සිතුවිලි තියෙන්නේ ඊට වෙනස් පැත්තක. ඒ නිසා මම හිතනවා මේ පංචවිධ මූලධර්මයන් තුළ අපට මඟ හැරුණ සියළු කාරණා තියෙනවා කියලා.

අපි කාටත් පේන දෙයක් තමයි ප‍්‍රබලම විපක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂය. ඒ වගේම මේ මොහොත වෙන කොට තවත් දේශපාලන පක්‍ෂ ගණනාවකුත් නිදහසේ වේදිකාවට එකතුවෙලා තියෙනවා. ඒ වගේම සිවිල් සංවිධානත් විශාල සංඛ්‍යාවක් එකතුවෙලා තියෙනවා. මේ කාරණයේදී අපිට තියෙන ලොකුම අභියෝගය තමයි ක්‍රෙඩිබිලිටි (විශ්වාසනීයත්වයක්) එකක් ඇති කරගන්න එක.

අද මේ මොහොත වෙනකොට මහින්ද රාජපක්‍ෂ පිළිබඳ බරපතල ප‍්‍රශ්න තියෙන අය තමයි බහුතරයක් ඉන්නේ. ඒත් ඒක නෙවෙයි ප‍්‍රකාශ වෙන්නේ. ඇයි ඒ බව ප‍්‍රකාශ වෙන්නෙ නැත්තෙ? මරණ බය නිසා. ඒක මාධ්‍යකරුවාගේ සිට සියළු දෙනාට තියෙනවා.මාධ්‍යකරුවාට අද තමන්ගෙ මතය ප‍්‍රකාශකරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අද මේ භීෂණය වෙන්නෙ බොහොම සුමට විදිහට. ඒ වගේම හරිම ප්‍රොෆෙෂනල්.

ඒ නිසයි අපිට නැවතත් සැබෑ ජනතා අරගලයක් අවශ්‍ය. එතනදි අපිට තියෙන ලොකුම අභියෝගය මේ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්‍ෂය ඉන්නෙ ඇයි කියන කාරණය ජනතාවට අවබෝධ කර දීමයි. එක්සත් ජාතික පක්‍ෂය දේශපාලන ව්‍යුහයක් විදිහට නැත්නම් දේශපාලන පක්‍ෂයක් විදිහට නිදහසේ වේදිකාව සමග ඉන්න කාරණය පිළිබඳ ප‍්‍රබල මතයක් සමාජගත කරන්න ඕන. එතනදී ඉතාම වැදගත් කාරණය තමයි මේ ක‍්‍රියාකාරීත්වයට යූ.එන්.පී ලේබලය ඇලවීමට සමහරු දරන උත්සාහය නැති කිරීම.

ඊළඟ කාරණය මේ එකතු වී සිටින අති බහුතරයක් නියෝජනය කරන සමාජ පන්තීන් සහ ජනතාව මේකට බද්ධ කරගන්න පුළුවන් විදිහට අපේ යටිතලය සකස් කරගන්න ඕන. ඒ සඳහා ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීමට මහජනයාගේ අදහස් ලබා දීම වැදගත්. අපි ක‍්‍රම උපායන් නිර්මාණය කරගෙන අවසානයේදී ඒවා ක‍්‍රියාකාරකම් බවට පත්කරගෙන ඒ කි‍්‍රයාකාරකම් ටික නිර්මාණයකට හරවා ගැනීම වැදගත්. නැත්නම් මේක යූ.එන්.පී වැඩක්, රජය දිනාගත්ත යුද ජයග‍්‍රහණ කණපිට හැරවීමේ ජාත්‍යන්තර සංවිධානවල කුමන්ත‍්‍රණයක්, මේක පිටිපස්සේ ඉන්නෙ ජාත්‍යන්තර බලවේගවල ඩොලර් පොම්ප කරන මැෂින් කියන චෝදනා තමයි හෙට දවසේ මේ ජනතා අරගලයට එල්ල වෙන්නේ. ඒ චෝදනා නිශේධනය කිරීමට, අපිට විරුද්ධව ගහන තුරුම්පු ගැන අපි ලියන්න ඕන. කථා කරන්න ඕන. ඒ තුරුම්පු වලට විසඳුම් හොයන ගමන්ම අපට ආවේණික අපේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න ඕන.නිදහසේ වේදිකාවේ පංචවිධ මූලධර්මවල තියෙන පළවෙනි කාරණාව ජනවාර්ගික සුහදතාවය ආරක්‍ෂාකිරීම. ඒ කාරණය අංක එකට ගත්ත එක ඉතා වැදගත්.

නිදහසේ වේදිකාවේ පංචවිධ මූලධර්ම මතුකරන කාරණා වහාම කි‍්‍රයාත්මක වුණේ නැත්නම් හෙට දවසේ එල්.ටී.ටී.ඊ නම නැතත් වෙන නමකින් හරි උතුරේ නැවතත් යුද කැරලි ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දකුණෙත් විජේවීර මොඩල් මතවාදය වෙනස් කරන්න පුළුවන් නායකයෙක් මතුවෙලා ආපහු කැරැල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ.

මොකද ආපහු සැරයක් එවැනි සටන්කාමී නායකත්වයකට ජනතාව ආකර්ෂණය කරගන්න පුළුවන් අර කැරස්මැටික් ලීඩර්ෂිප් කියන එකක් ඇති වුණොත් දකුණේ තාරුණ්‍යය ආකර්ෂණය කරගන්න පුළුවන් අසහාය නායකයා නිර්මාණය වුවහොත් ඔහු මාක්ස්වාදීද ධනේෂ්වරද කියන සාධකය වැදගත් වෙන්නේ නැහැ. හෙට දවසේ ධනේෂ්වර දේශපාලන පක්ෂයක් තුළ වුණත් තාරුණ්‍යයට ආමන්ත‍්‍රණය කළහැකි, තරුණයින් බහුතරයක් පිළිගන්න නායකයෙකුට දකුණේ ධනේෂ්වර කැරැල්ලක් ඇති කරන්න පුළුවන්.

තවත් වැදගත් කාරණයක් විදිහට මම දේශපාලන අධ්‍යාපනය කියන කාරණය මේකට එකතු කරනවා. අද තාත්තා යු.ඇන්.පී හින්දා දරුවො යු.ඇන්.පී වෙලා නැත්නම් තාත්තා ශ‍්‍රී ලංකා හින්දා දරුවො ශ‍්‍රී ලංකා වෙන ප‍්‍රමාණය අඩුයි. හැබැයි තාමත් ජේ.වී.පී එකේ දේශපාලන අධ්‍යාපන වැඩ පිළිවෙළක් තියෙනවා. ඒත් ජේ.වී.පී එකේ දේශපාලන අධ්‍යාපන වැඩසටහන යන්නේ එක්තරා කොටුකරපු සීමාවක් තුළ. මේ වෙන කොට දේශපාලනය උගන්වන්න තිබුණ ඇකඩමි ඔක්කොම ෆේල් වෙලා තියෙන්නේ. ඒ ඇකඩමි වලට මේ රටේ වෙළෙඳපොළ අර්ථක‍්‍රමය පදනම් කරගත්ත දේශපාලන අධ්‍යාපනය කියන දේ උගන්වන්න බැහැ කියලා ඔප්පු කරලා තියෙනවා.

ඒ නිසා දේශපාලන අධ්‍යාපනය කියන එක හරි වැදගත්. ඒක මේ පංචවිධ මූලධර්මයන් තුළින් හොඳටම කරන්න පුළුවන්. මම කොච්චර පාරවල් හැදුවත් වැඩක් තියනවද ගමට එන ඒ පාරෙ තියන බෝක්කුව කඩන බූරුවො ටිකක් නම් ගමේ ඉන්නේ. මම හදන පාරේ එන බස් එකට ගිනි තියන අමන රැලක් නම් ඒ ගමේ ඇති කරලා තියෙන්නෙ. මම දෙන ට‍්‍රාන්ස්පෝමර් එකට ගිනිතියන තිරිසන්නු නම් ගමේ ඉන්නේ. මේක හරි භයානක තත්ත්වයක්.

ඒ නිසා දේශපාලන අධ්‍යාපනය ජනතාවට ලබා දීම ඉතා වැදගත්. මේ භයානක තත්ත්වය දේශපාලඥයින්ට තේරෙන්නෙ නැහැ. මම හිතනවා අද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අර්බුදයකට ගිහිල්ලා. තාරුණ්‍යය අර්බුදයකට ගිහිල්ලා. අධ්‍යාපනය, සෞඛ්‍ය අර්බුදයකට ගිහිල්ලා. සමස්ථයක් විදිහට මුළු ව්‍යුහයම අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. අපි හැකි ඉක්මනින් සමාජ වෙනසක් ඇති කිරීමේ බලවේගයක් ගොඩ නැඟීම අවශ්‍යයි.

Back to Platform
Back to Samabima
View pdf

Thursday, October 29, 2009

ඔහු කතා කරයි

‘රයිට්ස් නව්’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සහ
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන

රයිට්ස් නව් සංවිධානය ආරම්භ වුණේ මිනිස් අයිතිවාසිකම්
දැඩි ලෙස උල්ලංඝණය වූ වාතාවරණයක් යටතේ.
නමුත් ලංකාවේ යුද්ධයත් ජාතිවාදයත් ඉතාම සංකීර්ණ තැනකට
ගිය මොහොතකදී අපේ වැඩපිළිවෙළේ තිබුණු මුල් අංශය
වෙනුවට අපිට සිදුවුණා ජාතිවාදීහරණය කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න.
වහාම ශ‍්‍රී ලංකාවේ පොදු ජනයා වෙනුවෙන්
නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරනු යන තේමාවට මාරු වෙන්න වුණා.
ඔබට කියන්න පුළුවන්ද මේ දක්වා ගමන් පථයේ ප‍්‍රධාන මංසන්ධි කිහිපයක්?

අපි රයිට්ස් නව් සංවිධානය ආරම්භ කළේ අලූත් අභියෝගයන්ට
මුහුණ දීමට අලූත් සංවිධාන රටාවක් අවශ්‍ය බව පෙනී ගිය නිසා.
තවදුරටත් මානව අයිතිවාසිකම් රැක ගැනීම කියන එක තනිව කරන්න
පුළුවන් දෙයක් නෙවෙයි. මොකද සමාජයේ විශාල ජාතිවාදී ප‍්‍රවාහයක් තියෙනවා.
සමාජයේ බහුතරය ඒ ප‍්‍රවාහයට යටවෙලා තියෙනවා.
එවැනි අවස්ථාවකදී මානව හිමිකම් සංවිධානයක සුජාතභාවය අභියෝගයට ලක් වෙනවා.
එනිසා අලූත් ප‍්‍රවේශයක් අවශ්‍යයි. ජාතිවාදයට අභියෝග කරන්න පුළුවන්
විදිහේ අලූත් මානව අයිතිවාසිකම් අරගල සම්ප‍්‍රදායක් හදාගන්න නම්
සමාජයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා
සියළුම බලවේග එකතු කරපු පොදු අරගලයක් හරහා මහජනයා අතරට ගමන් කරන්න ඕන.
ඒ අනුව අපි උත්සාහ කළා විවිධ බලවේග සමඟ ප‍්‍රතිපත්තිමය එකඟතාවයකට ගමන් කරන්න.
එතැනදී අපි ඉදිරිපත් කළා විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ
එක්ක වැඩ කරන්න අවශ්‍යයි කියන එක.
පහුගිය කාලේ සිවිල් සමාජය තුළ තිබුණේ එක්කෝ ස්වාධීනව වැඩ කරනවා,
නැත්නම් බහුපාර්ශ්වික එකඟතාවයකට යනවා කියන එක.
බහු පාර්ශ්වික කියන්නේ සියළු පක්ෂ සමඟ එකට වැඩ කිරීම
නමුත් මෙවැනි ධ‍්‍රැවීකරණයට පත්වෙලා තියෙන සමාජයක ජාතිවාදය පදනම් වෙලා ආණ්ඩුවක් පිහිටුවලා තියෙනකොට එ් ආණ්ඩුවට අයත් පක්ෂ තුළ කවදාවත් මෙවැනි මානව අයිතිවාසිකම් රැකීමේ න්‍යාය පත‍්‍රයක් ඇතිවෙන්නේ නැහැ. ඒ නිසා විරුද්ධ පක්ෂ සහ ජාතිවාදයට විරුද්ධ කොටස් එක්ක තමයි මේ වැඬේ කරන්න පුළුවන්. නිදහසේ වේදිකාව හැදීමට අපි එකතු වෙච්ච අවස්ථාවෙදි අපිට පෙනුණා අර අපි කලින් කියපු තත්ත්වය තවදුරටත් වර්ධනය වෙලා ජන සමාජය සතුරා-මිතුරා වශයෙන් සම්පූර්ණයෙන්ම ධ‍්‍රැවීකරණය වෙනවා. රාජ්‍යය හා රාජ්‍යයේ මතවාදය ‘සිංහල’ බවට පත්වෙනවා. රජයේ මර්දනකාරී හා මතවාදී උපකරණ දෙක එක අරමුණක් වෙත යොමු වෙලා එක්සත් පෙරමුණක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේ එයට විරුද්ධ වන සියළුදෙනා විනාශ කර දැමිය යුතු අය වශයෙන් නම් කරලා විනාශ කිරීමට ක‍්‍රියා කළා.
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ‘සිරස’ ආයතනයට පහරදීම මේ සඳහා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මේ නිසා අපි මැදිහත් වුණා දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ මාධ්‍ය සංවිධාන එකතු කරලා පළල් පෙරමුණක් ගොඩ නඟන්න. එතැනදී අපි ඉතාම හෙමින් වැඩ පටන් ගත්තේ. ඉතාම නිශ්ශබ්දව වැඩ කරගෙන ගියේ. අපිට ගොඩාක් අය කිව්වා මේකෙ හඬ නැහැ මෙහි දෘශ්‍යමාන තත්ත්වයක් නැහැ කියලා. නමුත් අපි එකඟතාවයක් හදාගෙන සිවිල් සමාජයේ ප‍්‍රධාන සංවිධාන ගණනාවක් එකතු කරගෙන ඒ කාබද්ධ විපක්ෂය සමඟ එකතු වෙලා යම් පොදු වැඩපිළිවෙළක් හදා ගත්තා.
අපි නිදහසේ වේදිකාව ආරම්භ කළේ ජීවත් වීමේ අයිතිය හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා. නමුත් ඒක ක‍්‍රමානුකූලව වර්ධනය කළා ප‍්‍රතිපත්තිමය එකඟතාවයක් දක්වා. මේ වැඩපිළිවෙලේ කොටස් දෙකක් අපිට කියන්න පුළුවන්. එකක් තමයි රාජ්‍යය හිංසනහරණය කිරීම නැතිනම් අතිරික්ත හිංසනය ඉවත් කිරීම. එතැනදී අපි අදහස් කරන්නේ ස්වභාවික නීතියට පටහැණි, ජාත්‍යන්තර ව පිළිගත් මානව අයිතිවාසිකම් මූලධර්ම වලට පටහැණි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හදිසි නීති රෙගුලාසි වැනි නීති වගේම ත‍්‍රස්ත විමර්ශන අංශය වැනි ආයතන ඉවත් කරලා එ්වා සමාන්‍ය නීති හා ආයතන තත්ත්වයට ගෙන එ්ම.දෙවැන්න නම් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම. මෙහිදී අපි කරුණු පහක් ඔස්සේ මේ ප‍්‍රතිපත්ති යෝජනා කරලා තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, යහපාලනය සහ රජයේ වගවීම, ජාතීන් අතර සමගිය හා ඒකාග‍්‍රතාවය, සමාජයට වගකියන්නා වු ආර්ථිකයක් සහ ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් ප‍්‍රමිතීන්වලට ගරු කිරීම. අද ඒකාබද්ධ විපක්ෂය සහ මේ සංවිධාන සියල්ල මෙම පොදු රාමුව තුළට ගෙන එ්මට හැකිවෙලා තියෙනවා. මං හිතන්නේ ඒක ලොකු ජයග‍්‍රහණයක්.

නිදහසේ වේදිකාව ඒකාබද්ධ විපක්ෂය සමඟ ඔබ අර කළින් කිව්ව දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමේ නෛතික ලියවිල්ලක් අත්සන් කරනවාද නැත්නම් 94 එවකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු ව්‍යාපාර ලද පරාජයන්ගෙන් ලද අත්දැකීමෙන් පෝෂණය වෙලා මෙය ඡන්දෙන් පස්සේ නවත්තන්නේ නැතිව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ රාජ්‍යයේ හිංසනහරණය යන ක‍්‍රියාවලිය පොදුජන අධ්‍යාත්මය තුළට තුළ රැගෙන යන බහුජන ව්‍යාපාරයක් කරා මෙම නිදහසේ වේදිකාව පුළුල් කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවාද?

මුල් අවස්ථාවේ ඉඳලම අපි සාකච්ඡා කළා කිසියම් ආකාරයේ නීතිමය එකඟතාවයක් විරුද්ධ පක්ෂ සමඟ ඇතිකර ගෙන තමයි මේ ගමන යා යුත්තේ කියලා. ලංකාවේ වැඩ කිරීමේදී ප‍්‍රධාන ධාරාවන් තුනක් හඳුනා ගන්න පුළුවන්. එක කට්ටියක් කල්පනා කරනවා සිවිල් සමාජය වශයෙන් ස්වාධීනව තමයි ක‍්‍රියා කරන්න ඕනි කියලා. එහෙම ක‍්‍රියා කරලා කුමන රජයකට හෝ බලපෑම් එල්ල කිරීම් මඟින් දිනා ගත හැකියි කියල. දෙවැනි වර්ගයේ අය කල්පනා කරනවා ස්වාධීන සිවිල් සමාජයක් කියලා එකක් නැහැ, ඒ නිසා දේශපාලන සමාජයේ කොටසක් ඡන්ද කාලේ සිවිල් සමාජය ලෙස පෙනී සිටලා ඡන්දෙට පස්සේ රජයේ තනතුරු අරගෙන රජය ඇතුළට ගිහිල්ලා යම්කිසි ප‍්‍රතිසංස්කරණයක් කරන්න පුළුවන් කියලා.
අපි ඉන්නේ ඇත්ත වශයෙන් ම මේ දෙකේම නෙවෙයි. අපි උත්සාහ කරන්නේ මේ රටේ මහජනයා තුළට මේ අදහස් සාකච්ඡාවට ගෙනයාමට මෙය වේදිකාවක් කර ගැනිමට. දැනටමත් අපි රැස්වීම් රට පුරා ප‍්‍රධාන රැස්වීම් අටක් තියලා තියෙනවා. කුඩා රැස්වීම් දහසකට වඩා තියලා තියෙනවා. කුමන පක්ෂය බලයට පත් වුණත් බලයට පත්වෙන පක්ෂය - විශේෂයෙන්ම විරුද්ධ පක්ෂය එක්ක අපි එකඟතාවයකට යන්නේ, එවිට විරුද්ධ පක්ෂය බලයට පත්වෙච්ච අවස්ථාවකදී ඒ පක්ෂය - සමඟ මේ එකඟතා ගිවිසුම කි‍්‍රයාත්මක කරවා ගැනීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමට අපි ක‍්‍රියා කරනවා. ඒ මඟින් ඔබ කිව්වා වගේ මහජනයාගේ අධ්‍යාත්මය තුළට රාජ්‍යය හිංසනහරණය කිරීම සහ දේශපාලන ප‍්‍රතිසංස්කරණ කිරීම අවශ්‍යයි කියන සාකච්ඡාව ගෙනයාම තමයි බලාපොරොත්තු වෙන්නේ. අර මුලින් කියපු ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමේදී මහජන බලවේගයක් ඇති නොකර මෙම ගිවිසුම පාර්ශ්වයන් විසින් ක‍්‍රියාත්මක කරයි කියලා හිතුවොතින් අපි ලොකු මිථ්‍යාවක පැටලෙනවා. මොකද අපි විරුද්ධ පක්ෂය එක්ක වැඩ කරනවා වුනාට තවත් නොයෙක් බලවේග විරුද්ධ පක්ෂය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ විවිධ කණ්ඩායම්වලට තරඟකාරී අභිලාෂයන් තියෙනවා. පසුගිය කාලයේදී නිදහසේ වේදිකාව විතරයි විරුද්ධ පක්ෂ එක්ක සම්බන්ධ වුණේ. විපක්ෂ නායක තුමාම කිව්වා මේ දවස්වල ව්‍යපාරික ප‍්‍රජාව විපක්ෂයේ පැත්තවත් බලන්නේ නැහැ කියලා. අපි විපක්ෂයත් එක්ක ගියේ ලාභයක් ගන්න නෙවෙයි. අවදානමක් ගන්න. නමුත් අපි දන්නවා විරුද්ධ පක්ෂය බලයට පත්වෙන දවසක නොයෙක් අය ඇවිල්ලා මී වදයට මැස්සෝ වහනවා වගේ විපක්ෂයේ වහනවා. එතකොට විරුද්ධ පක්ෂය සමග තියෙන හොඳ හිත මත මේක කරන්න බැහැ. මහජනයා මේ වෙනුවෙන් බල කරන තත්ත්වයට ගෙනාවොත් තමයි අපිට මේ ප‍්‍රතිසංස්කරණ කරන්න පුලූවන්.

ලංකාවේ මතවාදය ප‍්‍රධාන වශයෙන් සකස් කරන මතවාදී උපකරණ වන රූපවාහිනි සහ ජනමාධ්‍ය බුද්ධිමතුන්ගේ අධිපති සංවාද වල ප‍්‍රධාන වශයෙන් ප‍්‍රකාශවන ප‍්‍රධාන පරස්පරය තමයි ශ‍්‍රී ලංකාවේ පැවති යුද්ධය සඳහා අපිට ආයුධ දුන්නේ ජාත්‍යන්තර ප‍්‍රජාව කියන එක මේ අය විසින් සැඟවීම. අනෙක් පැත්තෙන් මේකේ තියෙන පරස්පරය වන්නේ චීනය හෝ ඉන්දියාවට වෙනස් ව තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවුරුදු සිය ගණනකට පෙර යම් යම් ව්‍යවස්ථාපිත ආයතන සහ සම්ප‍්‍රදායන් හදාගන්න බටහිර යුරෝපය සහ ඇමෙරිකාව අනිත් පැත්තෙන් අපිට කියනවා යම්කිසි ආකාරයක දේශපාලන බලයක් දෙමළ ජනතාවට ලබාදිය යුතුයි සහ අපේ දේශපාලන ව්‍යූහයන් ප‍්‍රතිසංස්කරණය විය යුතුයි කියලා. බොහෝ දෙනා වටහා ගන්නේ නැහැ මේක පරස්පරයක් කියලා.මේ පරස්පරය දේශීය එකක් නෙවෙයි විදේශීය පරස්පරයක්. අපිට එක පැත්තකින් ආයුධ දෙනවා, අනිත් පැත්තෙන් අදහස් දෙනවා. මේකෙන් ඒගොල්ලන් අදහස් කරන්නේ ඒ ගොල්ලන්ගේ රටවල වෙළෙඳපොළක් බවට අපේ උතුරත් දකුණත් ඒකාබද්ධ කිරීම. මේක තමයි ඒගොල්ලන්ගේ අභිලාෂය. ඔබ මෙම පරස්පර උගුලෙහි පැටලෙනවාද? නැත්නම් මේ පරස්පර උගුලෙක් එළියට යාමට සිතනවාද?

ඇත්ත වශයෙන් ම ජාත්‍යන්තර ප‍්‍රජාව අපිට ද්‍රව්‍යමය දේවල් දෙනවට කවුරුත් කැමතියි. නමුත් අදහස් එක්ක තමයි මේ ගැටලූව තියෙන්නේ. ඉතින් ඔබ කියු විදිහට අපි කියනවා පකිස්ථානය අපිට උදව් කළා. ඇමෙරිකාව උදව් කළේ නැහැ කියලා. ඇමෙරිකාව යුද්දයේදී උදව් කළා. ඊට අමතරව පකිස්ථානය හරහායි පැමිණියේ ඇමරිකන් ආයුධයි. ඇත්ත වශයෙන්ම සිදුවන්නේ රාජ්‍යයට ආයුධ ලබාදී ඔවුන් විසින්ම සිවිල් සමාජයට අදහස් ලබා දීමයි. එතකොට මේක තේරුම් නොගත්තොත් අපි ඇත්තටම උගුලක තමයි පැටලෙන්නේ. අපි තේරුම් ගන්න ඕන ජාත්‍යන්තර ප‍්‍රජාවේ රටවල් වෙනත් රටක ප‍්‍රශ්නයක් දිහා බලන්නේ කලාපයේ ස්ථාවරභාවය පිළිබඳ දෘෂ්ඨිකෝණයෙන් සහ තමන්නේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමේ දෘෂ්ඨිකෝණයෙන් යුතුවයි. මානවවාදී දෘෂ්ඨිකෝණයකින් නෙවෙයි. චීනය සහ ඉන්දියාව වෙනත් රටවල ප‍්‍රශ්න කෙරෙහි ක‍්‍රියාත්මක වන ආකාරය දිහා බැලූවාම මෙය හොඳට පැහැදිලි වෙනවා. එතනදී යුරෝපයේ රටවල් ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ තියෙන ලක්ෂණ නිසා මහජන බලපෑමක් ඔවුන්ට ඇතිවෙනවා. මානවවාදී දෘෂ්ටිකෝණයෙනුත් මේ දෙස බැලිය යුතුයි කියලා. නමුත් ප‍්‍රධාන වන්නේ අර ඉහත කී ස්ථාවරභාවය සහ වෙළෙඳපොළ පිළිබඳ දෘෂ්ටිකෝණය. අපි මෙහි පැටලිලා බටහිර රටවල් අපේ ගැලවුම්කරුවන් ලෙස ඒ අය අපිව බේරා ගනීවි කියලා හිතුවොත් අපි ව්‍යාපාරයක් හැටියට හීලෑවීමක් වෙනවා. අපේ න්‍යාය පත‍්‍රය අපිට අවශ්‍ය පරිදි මෙහෙයවන්න බැරිව සම්පූර්ණ උගුලක පැටලෙනවා. ගොඩාක් රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාර මේ උගුලේ පැටලෙනවා. බොහෝ සිවිල් සමාජ ව්‍යාපාර මතවාදී ද්‍රව්‍යමය හා වශයෙනුත් යැපෙන්නේ බටහිර රටවල් මත. ප‍්‍රජාව මත. අපි හිතනවා එල්.ටී.ටී.ඊ.ය පවා මෙලෙස පැටලූන. එනිසා මෙය මහජන ව්‍යාපාරයක් බවට හරවා ගත යුතුය යන අදහසින් තමයි අපි ඉන්නේ. එනිසා අපි කාගේවත් අතකොළුවක් බවට පත්වෙන්නේ නැහැ. කාගේවත් න්‍යාය පත‍්‍රයක් අනුව ක‍්‍රියා කරන්නේ නැහැ.

ඔබ කියන්නේ චීනයේවත් ඉන්දියාවේවත් වෙනත් රටක වුවත් න්‍යාය පත‍්‍රය යහපත් නම් ගැටලූවක් නැහැ, නමුත් ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ වුවමනාවන් ඉෂ්ට කිරීමට පමණක් නම් ඔබ එය ප‍්‍රතික්ෂේප කිරීමට තරම් නිහතමානි යි.

අපි ඉතාම පැහැදිලිව එය ප‍්‍රතික්ෂේප කිරීමට නිහමානී වෙනවා. අපි දන්නවා ඉලියඞ් හෝ ඔඩිසි වැනි පුරාණ ග‍්‍රීක වීර කාව්‍ය වල සිටින අසහාය වීරයන්ගේ පසුපසින් සිට ඔවුන්ට බලය සපයන සහ ඔවුන්ගේ ඉරණම තීරණය කරන දෙවිවරුන් සිටිනවා. අවසාන වශයෙන් ජය පරාජය තීරණය වන්නේ මේ දෙවිවරුන්ගේ හැකියා සහ බලපෑම අනුවය. අපි දකිනවා අපේ දේශපාලන කරළියෙත් කාලෙන් කාලෙට මෙවැනි අත්භූත වීරයන් පහළ වෙනවා. මේ අය අමුතු අදහස් ප‍්‍රකාශ කරනවා. මේ අයට විශාල බලයකුත් ලැබෙනවා. ඒවාගේම සමහර වීරයන් හිටපු ගමන් කල් ඉකුත් වී චුත වෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ ඊනියා වීරයන් පිටුපස චීනය හෝ ඉන්දියාව වැනි බලවත් දෙවිවරු ඉන්නවා. අපි කියන්නේ අපි නිදහසේ වේදිකාව පටන් ගත්තේ අපේ රටේ උවමානාවක් උඩයි. අපිට මේක කරන්න බැරි වුනොත් රටේ ජනතාවට අවංකවම කියලා නවත්තලා ගෙදර යනවා. මෙම ව්‍යාපාරය රජයට හෝ වෙනත් රටකට හෝ පාවා දෙන්නේ නැහැ කියලා අපි වගකීමෙන් කියනවා.

මේ අරගලයේදී ඔබට කණ්ඩායම් දෙකක් හමුවෙලා තියෙනවා. එක කට්ටියක් කියනවා සිවිල් සමාජය එක්ක තමයි මේ වැඬේ කරන්න පුලූවන් කියලා. මේ අය මේ සඳහා විශාල පොත් පත් පවා නිෂ්පාදනය කරලා තියෙනවා. නමුත් පසුව සිවිල් සමාජයක් හොයා ගන්න නැහැ කියලා මේ අය කළකිරෙනවා. සිවිල් සමාජයට සමුදීලා දේශපාලන සමාජයට ගිහිල්ලා ඡන්දය ඉල්ලනවා. අනෙක් වර්ගය දේශපාලන සමාජයේ ඉන්නවා. මේ දැඩි ලෙස දේශපේ‍්‍රමී ආණ්ඩුව නිසා කළකිරිලා ඒ අයට දේශපාලනය එපා වෙලා තියෙන්නේ. එනිසා ඒ අයට අවශ්‍ය වෙලා තියෙනවා සිවිල් සමාජය පැත්තට යන්න. ඔබ කොහොමද මේ දෙපැත්තට අදින බලවේග දෙක තුළින් මහජනයා සංවිධානය කරන, පෙරළියක් ඇතිකරන දේශපාලන සමාජ ව්‍යාපාරයක් හදන්නේ?ඇත්තටම මේ දෙපිරිස තමයි හමුවෙන්නේ. මේ විවාදයේ පැටලි පැටලි ඉන්න පුලූවන් දෙගොල්ලන් එක්ක. නමුත් මම හිතන්නේ ඇත්තවශයෙන්ම සමාජයේ විපර්යාසයකාරක බලවේගය සොයා ගැනීම තමයි කරන්න වෙලා තියෙන්නේ. අපි මහජනයා සමඟ සංවාදයෙහි යෙදෙන කොට සිවිල් සමාජය සහ දේශපාලන සමාජය යන දෙකොට්ඨාශය තුළම ඉන්න සැබෑ වුවමනාවක් සහිත මිනිසුන්ට අපි අවංකව මෙම කරුණු ඉදිරිපත් කළොත් ඔවුන්ගේ පිළිගැනීම ලැබෙනවා. මෙන්න මෙ අය අතුරින් තමයි අපිට සමාජ විපර්යාසකාරක බලවේගය සොයා ගන්න වෙන්නේ. එහෙම නැතිව මේ දැනට පවතින සදා නිමකළ නිර්මිතය තුළට ගිහිල්ලා පක්ෂ ශාඛාවක් හෝ සිවිල් සමාජ සංවිධානයක් හෝ ඇමතීමෙන් කිසිම ප‍්‍රයෝජනයක් නැති බව තමයි අපේ අත්දැකීම.ඊළඟ ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයා දිනුවත් ඔහුට දෙමළ ජනයාට දේශපාලන බලය බෙදීමේ ක‍්‍රියාවලියකට යන්න සිද්ධවෙනවා. මේ දවස් වල නිදාගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණ ඒවාගේ වේලාවක නැගිටලා කියන්න පුළුවන් මෙච්චර දේවල් කළේ බලය බෙදන්නද කියලා. ඒ ඔස්සේ ඒ අයගේ දේශපාලන වැඩසටහන සහ උද්ඝෝෂණ වැඩි කරමින් දේශපාලන බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියට ඇතුල් වෙන්න පුලූවන්. මේක භයානක තත්ත්වයක්. මන්ද එවැනි ක‍්‍රියාවලියකදී ජාත්‍යන්තරය මැදිහත් වී රට බෙදීමේ ක‍්‍රියාවලියක් දක්වා යා හැකියි. මෙම අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ ඔබ ආයතනයේ තියෙන පෙර සූදානම කුමක්ද?

ටික කලකට කළින් මට මතකයි ඩිලාන් පෙරේරා ඇමතිවරයා කිව්වා මේ ප‍්‍රශ්නය විසඳන්න බැරි එල්.ටී.ටී.ඊ එකයි ජෙ.වී.පී එකයි නිසා කියලා. දැන් එල්.ටී.ටී.ඊ එක ඉවරයි. ජෙ.වී.පි සෑහෙන්න දුර්වල වෙලා තියෙන්නේ. මේ දෙක අයින් කළාම උඩින ගේන විසඳුමක් දාලා සියල්ල සතුටින් නිමාවෙයි කියලා සමහරු හිතනවා. අපි ඒ මිථ්‍යාවේ නැහැ. අපි නම් පිළිගන්න විදිහට එල්.ටී.ටී.ඊ එකයි ජෙ.වී.පි එකයි නියෝජනය කරන්නේ යම්කිසි ජනපදනම් දෙකක්. මෙම ජන පදනම් දෙක තියෙනකම් ඒ ව්‍යාපාර පවතිනවා. එතකොට ඔබ කියනවා වගේම ඕනෑම පාලකයෙක් පත් වුනාම මෙතැනින් එහාට යන්න නම් දේශපාලන විසඳුමක් දෙමළ ජනතාවට ලබාදිය යුතුමයි. ඒ වගේම තමයි මේ බලවේග ඊට විරුද්ධව නැගී සිටිනවා. අනෙක් කාරණය ගොඩාක් අය හීන දකිනවා දෙමළ මිනිසුන්ගේ ප‍්‍රශ්නය ඉවරයි ඒ නිසා අපි කැමති විදිහට යටත් කරගෙන ඉන්න පුලූවන් කියලා. එහෙම වුණොත් වෙන්නේ නන්දිකඩාල් කලපුවේදි අවසන් වෙච්ච ප‍්‍රශ්නය ජාත්‍යන්තර වශයෙන් මතුවෙලා එනවා. මෙතැනදී අපි හිතනවා මෙයට මුහුණ දෙන්න උප්පරවැට්ටිවලින් බැහැ සාම ගිවිසුම් කාලේ ගොඩාක් අය එන් ජී ඕ හරහා සල්ලි පොම්ප කරලා සාමය ඇති කරන්න පුලූවන් යැයි සිතුවා. නමුත් එය සම්පූර්ණයෙන් අසාර්ථක වුණා. මෙයට මුහුණ දෙන්න දෘෂ්ටිවාදී අරගලයක් කරන්න වෙනවා. අපි තීරණය කළ යුතුයි අපි සිංහල දෙමළ වශයෙන් ජාති දෙකක් විදිහට වෙන් වෙලා දකුණු ආසියාවේ ඊශ‍්‍රායලය බවට ලංකා භූමිය පත් කරනවාද නැතිනම් ශ‍්‍රී ලාංකික ජාතියක් වශයෙන් එකට ඉන්නවාද කියන එක.ඒක වෙනුවෙන් අපි පැහැදිලි අනාගත වැඩපිළිවෙලකට දායක වෙන්න කැමතියි.


Back to Home......
View PDF...

Tuesday, October 27, 2009

සෑම ලාංකිකයෙක්ම සමාන පුරවැසියෙකු බව ඒත්තු ගැන්වීමේ අභියෝගයට මුහුණ නොදී යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කතා කරන්න බැහැ


‘ශ‍්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව සතුය එය අත්හළ නොහැකිය’ යන තේමාව යටතේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලද ‘අපි ඔක්කොම රජවරු’ මහජන රැස්වීම ඔක්. 13 දා කොළඹදී පැවැත්විණි. දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු දැක් වූ අදහස් ‘සමබිම’ ඔබ වෙත ගෙන එයි. View more Photo...




නිදහසේ වේදිකාව මෙම රැස්වීම සඳහා තෝරගෙන තියෙන තේමාව ‘අපි ඔක්කොම රජවරු’.එනම් මහජනතාවගේ පරමාධිපත්‍යය ගැනයි. මහ මැතිවරණයක් ආසන්න වෙමින් පවතින අවස්ථාවේ මේ රටේ ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී ඇද්ද යන්න ගැන මොහොතකට කල්පනා කිරීමට මේක හොඳ කාලයක්. මම හිතනවා ඇත්තටම අද එවැනි අවශ්‍යතාවක් මතුව තියෙනවා කියලා.

රටක ජනතා පරමාධිපත්‍යය අයිතිවාසිකම් තුළින් ශක්තිමත් නොවුණොත් එහි කිසි අර්ථයක් නැතුව යනවා. ජනතා පරමාධිපත්‍යය යථාර්ථයක් බවට පත්වෙන්නෙ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් සහ සිවිල්-දේශපාලන- ආර්ථික-සමාජීය කියන අයිතිවාසිකම් මඟින්. ජනතාවට තම නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට ඉඩ සලසන ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාදායක ආයතන වල සාමාජිකයින්ට තමන්ගේ ජනතාව මුණ ගැහෙන්නත්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයින්ට තමන්ගේ ඡන්ද දායකයන් වෙත ගිහින් ඔවුන් මුණගැහෙන්න නොහැකි තත්ත්වයක් පැවතීමත් විකාර සහ හාස්‍යජනක තත්ත්වයක්.

අද අපේ පාර්ලිමේන්තු නියෝජිතයින්ට නිදහසේ ගිහින් උතුරේ අවතැන් කඳවුරුවල ඉන්න තමන්ගේ ඡන්දදායකයන් මුණ ගැහෙන්න හැකියාවක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක එවැනි දේවල් සිදු වෙන්න බැහැ. නමුත් අද ශ‍්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින්නේ එයයි. අපි ජනතා පරමාධිපත්‍යය ගැන කථා කරනවා. ඒත් අපේම පුරවැසියන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවකට අත් වෙලා තියෙන ඉරණම සහ ඔවුන් රැකබලා නොගැනීම ගැන විදේශ රටවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ජාත්‍යන්තර සංවිධාන වලට බැණ වදිනවා. අපි සියළු දෙනාටම සමාන තත්ත්වයෙන් සැළකිය යුතු අතරම, සියළු දෙනාම සමාන ලෙස අයිතිවාසිකම් භුක්ති විඳිය යුතුයි.

නිදහසෙන් පසුව අපි මුහුණ දී ඇති ප‍්‍රශ්නවලට මූලිකම හේතුව සමහර ශ‍්‍රී ලාංකිකයන්ට අනෙක් ශ‍්‍රී ලාංකිකයන්ට වඩා තමන්ට පහත් ලෙස සලකන්නේය යන හැඟීම තදින්ම ඇතිවීමයි. මෙය අපගේ පරමාධිපත්‍යයට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විශාල කැළලක්, තුවාලයක්. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුට ම ඔවුන් හැමදෙනාම සමාන පුරවැසියන් බව ඒත්තු ගැන්වීම අභියෝගයක්. අපි ඒ අභියෝගය භාරගන්නා තෙක් අපිට අර්ථාන්විත පරමාධිපත්‍යයක් ගැන හෝ යථාර්ථවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කථා කරන්න බැහැ. මම හිතනවා පරමාධිපත්‍යය ගැන කථාකරන කොට අපි මුහුණ දෙන අභියෝග වලට අනුව එම පරමාධිපත්‍යය ප‍්‍රකාශ වෙන ආකාරය ගැනත් සාකච්ඡා කළ යුතුයි කියල.

අපි පශ්චාත් යුද තත්ත්වයක ඉන්නේ. නිසැකවම සාමය, සමගි සන්ධානය හා ජාතික ඒකාග‍්‍රතාවය සඳහා මුල්තැන දීම අවශ්‍යයි. කුමක් කළත් පසුගිය දශක තුන පුරා මේ රට විනාශ වීමට තුඩු දුන් හේතු නැවත ඇති නොකිරීමට අපි තරයේම වගබලා ගත යුතුයි. දස දහස් ගණන් ජනතාවට අපි දෙවන පෙළ හෝ තුන්වන පෙළ පුරවැසියන් ලෙස සළකනවා නම් කිසිම සැකයක් නැතිව නැවතත් එම ගැටුමේ හේතු ප‍්‍රතිනිර්මාණය වෙනවා. අපේ පරමාධිපත්‍යයේ ඉතා ප‍්‍රබලම ප‍්‍රකාශනය වන්නේ අවතැන් වූ ජනතාවට නිදහසේ යාමට ඊමට ඉඩ දීම. ඕනම කෙනෙකුට මේ රටේ පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කථාකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය නම් මුලින්ම ගමන් කිරීමේ නිදහස, මූලික අයිතිවාසිකම් සහ රටේ සෑම පුරවැසියෙකුටම අයිතීන් වලට ඔවුන්ට ඇති හිමිකම තහවුරු කළ යුතුයි.

මම හිතනවා අවතැන් වූ පුද්ගලයින් දැනට මුහුණ දී ඇති අර්බුද වලින් එහාට ගිය විට අප සළකා බැලිය යුතු තවත් දේවල් තියෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය වගේ ඉතා බලවත් ප‍්‍රධාන තනතුරක් තියෙන කොට කෙනෙකුට පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන අර්ථාන්විතව කථා කරන්න පුළුවන්ද? මගේ හැඟීම අපි දැනට දශකයක් හෝ ඊට වැඩි කාලයක් මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි. අපි පරමාධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන කාරණා බරපතල විදිහට හිතනවා නම් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියල අපි ඒ බලතලම නැවත ක‍්‍රියාවේ යොදවන අගමැතිවරයෙකු පත්කර ගැනීමෙන් වැඩක් නැහැ. එය හරියට අවතැන්වූවන් මැණික් ෆාම් කඳවුරෙන් ඉවත් කර වෙනත් කඳවුරක රැඳවීම වගේ දෙයක්. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ යාන්ත‍්‍රණය තුළින් ජනතාව පත්කරගත් නියෝජිතයින් හරහා. අපි ජනතා පරමාධිපත්‍යය නගා සිටුවිය යුතුයි. එය විශ්වාසයෙන්, අවංකව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරනවා නම් විධායකයේ බලය ක‍්‍රියාත්මක කිරීමේදී සංවරණ හා තුලන ක‍්‍රියාත්මක විය යුතුයි. රජයේ සියළු අංශවල ස්වාධීනත්වය ආරක්ෂා වන යාන්ත‍්‍රණයන් පරිපාලන හා රාජ්‍ය පාලන පද්ධතිය තුළ පවතිනවා. මම මේ කියන්නේ පොලිසිය ගැන. රාජ්‍ය සේවය ගැන. මානව හිමිකම් ගැන. දැනට වසර දෙකක් තිස්සේ උල්ලංඝණය වෙමින් පවතින අපේ ව්‍යවස්ථාවේ සංශෝධනයක් ගැන. ඒ දාහත් වන සංශෝධනය ගැනයි. ඒක සීයට සීයක් සර්ව සම්පූර්ණ නැහැ. නමුත් මම ඔබට කියන්නේ ප‍්‍රමාණවත් නැති වුණත් එය අත්‍යවශ්‍ය බවයි. මේ රටේ පාලන ආයතන පිළිබඳ විශ්වාසය නගා සිටුවීමට එය අත්‍යවශයි.

අපි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුත්තේ ඇයි? රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම නිසා මැතිවරණ කාලයේදී තමන්ට ස්ථාන මාරුවීමක් ලැබෙයිද කියලා කිසිම පොලිස් නිළධාරියෙක් බියට පත් වීම සිදු නොවිය යුතු දෙයක්. මැතිවරණ අක‍්‍රමිකතා වලට එරෙහි වුණොත් තමන්ව ආරක්ෂා කිරීමට යාන්ත‍්‍රණයක් නොමැති වීම ගැන රජයේ නිළධාරියෙකු බිය විය යුතු නැහැ.

මම ඔබට යෝජනා කරන අනෙක් කාරණය දැනටමත් බොහෝ විවාද වලට ලක්වෙමින් පවතින කරුණක්. මැතිවරණයකදී රටේ ජනතාවගේ නියම අභිලාශයන් නියෝජනය වන මැතිවරණ ක‍්‍රමයක් අපට අවශ්‍යයි. එහිදී සාර්ථකත්වය ලඟාකර ගැනීමට නම් කේවල ඡන්ද ක‍්‍රමයේ සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයේ නියම සංයෝගයක් අපට ඕන.අපි යුද්ධයක් දිනා ගෙන තියෙනවා. විශාල ජයග‍්‍රහණයක් අත්කරගෙන තියෙනවා. නමුත් අපි හුදෙක් මිලිටරි අභියෝගයක් සමග සටන් කරමින් සිටියේ නැහැ. අපි ගණුදෙනු කරමින් හිටියේ රටේ ඉහළම නායකයා පවා ‘දේශපාලන ගැටළුවක් ලෙස’ දැක්වූ ප‍්‍රශ්නයක් සමඟයි. එයට දේශපාලන විසඳුම කුමක්ද? අපි මේ ගැන දැන ගත යුතුයි. එය දැනට තියෙන ව්‍යවස්ථාවට හා රාජ්‍ය පාලනයට එහා යන දේශපාලන විසඳුමක්ද? එහෙම නැත්නම් එය දැනටමත් ව්‍යවස්ථාවේ තියෙන ප‍්‍රතිපාදන සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටළුවක්ද? දැනට ව්‍යවස්ථා සංශෝධන දෙකක් පිළිබඳව මහජන විවාදයක් තියෙනවා. ඉන් එකක් දාහත් වන සංශෝධනය. එය දැනුවත්වම සහ හිතාමතාම දිනපතාම පාහේ උල්ලංඝණය කරනවා. ඒ වගේම දහතුන් වන සංශෝධනය කිසිදවසක සම්පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කර නැහැ.

මේ රටේ ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධ විවාදය දහතුන් වන සංශෝධනය වෙත යොමු කිරීමත්, එය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමත් ගැන අවධානය යොමු කිරීමෙන් එතරම් ප‍්‍රයෝජනයක් නැහැ. ඒක දැනටමත් ව්‍යවස්ථාවේ කොටසක්. මෙහිදී ඇතිවන ප‍්‍රශ්නය දහතුන් වන සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරනවාද කියන එක නෙවෙයි. අපි මේ සංශෝධනයෙන් තව දුරටත් එහාට යනවාද, නැතිනම් ඊට පහළ තතත්වයකට යනවාද යන්නයි. දශක දෙකකට පසුව එම කාලය තුළ පැවති මෙම ව්‍යවස්ථාමය රාමුව තුළ මිනී මැරීම්, අතුරුදන්වීම්, විදේශ රටවලට පැනයාම් හා බෝම්බ පිපිරීම් ආදිය පැවතීම මෙතන තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක්. නිසැකව ම මේ පවතින පාලන රාමුව, ව්‍යවස්ථාවන් සහ අපේ ජීවිතවල තත්ත්වයත් අතර සම්බන්ධයක් පැවතිය යුතුයි. නිදහසේ වේදිකාව ගැන කතා කරන්න නම්, ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන්න නම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නගා සිටුවීම ගැන කතාකරන්න නම් අපි මේ පවතින තත්වයන්ට කළ යුතු අභියෝග පිළිබඳව න්‍යාය පත‍්‍රයක් සහිතව ඉදිරි මැතිවරණ වලට යා යුතුයි.මුලින් මම සඳහන් කළ ක්ෂේත‍්‍රවල ප‍්‍රතිසංස්කරණ සඳහා සහ පවතින තත්ත්වයන්ට අභියෝග කිරීම සඳහා වන මේ ගමනට නිදහසේ වේදිකාව ශක්තියක් වෙන බව මගේ බලාපොරොත්තුවයි.

Back to Platform
Back to Samabima

හැත්තෑ හතේදී ෆීලික්ස් ඩයස් ඡන්දය කල් දාන්න හදනකොට එන්.එම් පවා ජේ.ආර් හමුවී එක්සත් ක‍්‍රියා මාර්ගයක් ගැන සාකච්ඡා කළා.

නිදහසේ වේදිකාවට ගොඩ වෙන්න එපා යැයි සම සමාජ දේශපාලන මණ්ඩලය ගත් තීරණය වැරදි බව ලාල් විජේනායක කියයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් එල්ල වූ අවස්ථාවලදී එයට විරුද්ධව සියළුම බලවේග ඒකරාශී කළ යුතුය යන්න ලංකා සම සමාජ පක්ෂය පිළිගෙන ඇති මූලික කරුණකි. උදාහරණයක් වශයෙන් 1977 මැතිවරණයට ආසන්න කාලයේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා මහ මැතිවරණය වසර තුනකින් කල් දැමීමට හා මර්දනකාරී නීති ඉදිරිපත් කිරීමට උත්සාහයක යෙදී සිටින බව දැනගත් අවස්ථාවේදී ආචාර්ය එන්.එම්. පෙරේරා සහෝදරයා ජේ. ආර්. ජයවර්ධන මහතා හමු වී එවැනි දෙයක් සිදු වන්නේ නම් එයට විරුද්ධව එක්සත් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සාකච්ඡා කළ බවත්, එවැනි සටනකදී තමන් සමඟ ඒ සටනට ඒකරාශී වන පුද්ගලයින්ගේ මුහුණු ප‍්‍රියමනාප දැයි බැලීම අනවශ්‍ය බවත් ප‍්‍රකාශ කර ඇත. එය සත්‍යයක් බව ප‍්‍රකාශ කරන ලාල් විජේනායක මහතා වාමාංශික දේශපාලනය හෝ මොනම ආකාරයේ හෝ දේශපාලනයක යෙදිය හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රට තුළ ක‍්‍රියාත්මක වුවහොත් පමණක් බව ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික හා දේශපාලන මණ්ඩල සභිකයෙකු වන අධිනීතිඥ ලාල් විජේනායක මහතා ප‍්‍රකාශ කරයි.විජේනායක මහතා එසේ ප‍්‍රකාශ කර ඇත්තේ තමාට නිදහසේ වේදිකාවේ රැස්වීම් ඇමතීම තහනම් කරමින් ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට විරුද්ධව එම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් විමලසිරි ද මැල් මහතා වෙත ලිපියක් යවමිනි. ඔහු සිය ලිපියේ වැඩි දුරටත් මෙසේද සඳහන් කරයි. ‘‘නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි. මෙය කාලීන අවශ්‍යතාවක් ලෙස මම දකිමි. නිදහසේ වේදිකාව බිහි වී කෙටි කාලයක් ඇතුළත ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් වලට එල්ල වී ඇති අභියෝගයන් පිළිබඳ ජනතාව හා රට තුළ පුළුල් අවබෝධයක් ඇති කිරීමට සහ එම ක‍්‍රියාවලියට විරුද්ධව හඬක් ගොඩනැඟීමට එය සමත් වී ඇත. මෙම ක‍්‍රියාවලිය පක්ෂයේ මූලික ප‍්‍රතිපත්ති සමඟ ගැටීමක් නොමැත. මා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ව සිටි අවධියේ සිට අවුරුදු හතළිස් හයක කාලයක් සම සමාජවාදියෙකු හැටියට පක්ෂයේ ප‍්‍රතිපත්ති අකුරට පිළිපැද ඇති අතර එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමට විශාල කැපවීමකින් ක‍්‍රියාකර ඇත. ලංකා සමසමාජ පක්ෂය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කැප වී ඇති පක්ෂයක ඉතිහාසය දෙස බැලීමේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා මානව හිමිකම්වලට අභියෝග එල්ල වූ හැම අවස්ථාවකදීම පක්ෂය ඊට විරුද්ධව මැදිහත් වී ඇත. පසුගිය කාලය තුළ සිදුවෙමින් පවත්නා වූ බරපතල මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳව මා දේශපාලන මණ්ඩලය වෙත ලිඛිතව හා වාචිකව නිරන්තරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද 17 වන සංශෝධනය නොසලකා හැර කිසිදු පැකිළීමකින් තොරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ක‍්‍රියා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී ඇති ප‍්‍රබල පහරක් බව මා මතු කර ඇත. නිල නොවන ආයුධ සන්නද්ධ කණ්ඩායම් ක‍්‍රියාත්මක වීම සහ පළල් ලෙස සිදු වී ඇති පුද්ගලයින් අතුරුදහන් වීම්, පැහැරගෙන යෑම්, බරපතල සාපරාධී ක‍්‍රියා පිළිබඳ සැකකරුවන් ලෙස අත් අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණමය නොවන ක‍්‍රියාදාම තුළින් මරා දැමීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍ය ආයතනවලට පහර දීම්, දේශපාලන ක‍්‍රියාවල යෙදෙන විරුද්ධ පක්ෂ ක‍්‍රියාකාරීන් මර්දනය කිරීම් මෙන්ම ආණ්ඩුව විවේචනය කරන්නන් දැඩි හිරිහැරවලට ලක් කිරීම් සිදු වෙමින් පවතී.’’එහෙත් ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක් ලෙස සිටියදී එම ප‍්‍රශ්න පිළිබඳ මැදිහත්වීමට ආණ්ඩුව තුළ අප පක්ෂය නියෝජනය කරන්නන්ට ආත්ම ශක්තියක් හෝ ස්වාධීනතාවක් නොමැති බව පැහැදිළිව ප‍්‍රදර්ශනය කර ඇත. මෙම භයානක සිදුවීම් ඉදිරියේ අප අඳ,ගොළු බිහිරන් සේ සිටින බව පිළිගත යුතුව ඇත. මෙම තත්ත්වය මාගේ හෘද සාක්ෂියට අනුව පිළිගත නොහැකි ඉතා කණගාටුදායක තත්ත්වයකි. එම තත්ත්වය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක අවශ්‍යතාවද මා මතු කර ඇත. නිදහසේ වේදිකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ පොදු වේදිකාවක් ලෙස බිහිවී ඇති හෙයින් එම වේදිකාවට මම සම්බන්ධ වී සිටිමි.
ඒ අනුව නිදහසේ වේදිකාව මෙම ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනකාරී ක‍්‍රියා පිළිබඳව නගන හඬට සම්බන්ධ වීම අප පක්ෂයේ ප‍්‍රතිපත්තීන්ට අනුකූල වන අතර එම ක‍්‍රියාව කිසිසේත් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට පටහැනි නොවන බව පිළිගත යුතුව ඇත. එහෙත් ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් ඕනෑම කොන්දේසියක් මත ආණ්ඩුවට අවනත වන අයට මෙය පිළිගත නොහැකිවීම තේරුම්ගත හැක. ඔවුන් සම සමාජවාදය ප‍්‍රතික්ෂේප කර තම වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින අය වේ. එහෙයින් දේශපාලන මණ්ඩල තීරණය පිළිගත නොහැකි බව සහෝදරත්වයෙන් යුතුව දන්වා සිටිමි.
view pdf

Monday, September 28, 2009

රට කාබාසිනියා කරන එවුන් දේශපේ‍්‍රමීන් නම් අපි දේශද්‍රෝහීන් වෙන්න කැමතියි

බි‍්‍රටෝ ප‍්‍රනාන්දු සිංහල සිනමාවේ ආරම්භක නළුවෙකු වූ හියුගෝ ප‍්‍රනාන්දු මාස්ටර්ගේ කණිෂ්ඨ පුත‍්‍රයාය. දීර්ඝ කාලයක් නව සම සමාජ පක්ෂයේ සාමාජිකයෙකු සහ මධ්‍යම කාරක සභිකයෙකු ලෙස කටයුතු කළ ඔහු 1991 දී මීගමු මහ නගර සභාවටද තේරීපත් විය. නිදහස් වෙළෙඳ කලාප කම්කරුවන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළ ‘කලාපේ අපි’ සංවිධානයේ සහ ‘නිවේකා’ පුවත්පතේද පුරෝගාමීයාය. 88-89 භීෂණ සමයේ අතුරුදහන්වූවන් වෙනුවෙන් සීදූව රත්දොළුව ස්මාරකය ගොඩනඟා සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින අතුරුදහන්වූවන්ගේ ජාතික දිනය නොකඩවා අනුස්මරණය කරන අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව ගොඩනඟා අද දක්වාම එහි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේද බි‍්‍රටෝය. ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මහජන බලවේගයක් ගොඩනඟා ගැනීමේ අරමුණින් පිහිටුවන ලද නිදහසේ වේදිකාවේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජිකයෙකු වන ඔහු අද නිදහසේ වේදිකාවේ රැස්වීම් වලට නැතුවම බැරි කථිකයෙකි.


අපි අද ඉන්නෙ ශිෂ්ටාචාර සමාජයක. රාජාණ්ඩු යුග, වැඩවසම් යුග, කැලෑ යුග ඔක්කොම පහුකරල ශිෂ්ටචාර යුගයකට ඇවිත් ඉන්න අපි නීතියට පිටින් දඬුවමක් කරන්නෙ නැහැ. ඒක තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරය කියන්නෙ.

අද මේක හරිම සරල කාරණයක් වෙලා. පාතාලයේ එකෙක් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නවා. ඊට පස්සෙ ආයුධ පෙන්නන්න එක්ක ගියාම පාතාලයා එක පාරටම හංගපු බෝම්බයක් අරගෙන පොලිස් නිලධාරීන්ට ගහනවා. ඉතින් පොලිස් සහෝදරවරු වෙඩි තියනවා. ඊට පස්සෙ ඒකට සාධාරණ මිනී මැරීමක් කියල කියනවා. අපිත් ඒක විශ්වාස කරනවා. ඒත් ටික දවසකින් අපි ඔක්කොටම තේරෙන්න ගන්නවා මේකෙ වෙන කතන්දරයක් තියෙන බව. වෙඩි තියන හැම එකාම පාතාලයෙක් වෙනවා. මෙහෙම පාතාලයන් මරද්දි ඊට පසුබිමකුත් හදනවා. ඔවුන්ට ලස්සන නම් නැහැ. කවුරුහරි කිව්වොත් ප‍්‍රනාන්දු මහත්තයා මරා දැම්ම කියල අපිට කණගාටු හිතෙනවා. ඒත් මේ පාතාලයන්ට තියෙන්නෙ ආනමාලූ ඉමිතියාස් වගේ නම්. එතකොට අපිටත් හිතෙනවා මුන් මැරුණට කමක් නැහැ නම කැතයි කියල. රටේ මේ වගේ සංස්කෘතියක් හැදුවට හැම කෙනාම වගකියන්න ඕන. අපේ නිශ්ශබ්දතාවය හා විශ්වාසය තුළින් අර වගේ මිනිස්සු මේ සමාජයෙන් ඉවත් කරන්න අනුමැතිය අරගෙන තියෙනවා. ඒ නිසා දැන් කාලය ඇවිල්ල තියෙනවා මෙය අවසාන කරන්න.

නිදහසේ වේදිකාවෙන් මහින්ද බලයට එනවද, රනිල් බලයට එනවද කියල අපිට අදාළ නැහැ. මහින්දද, රනිල් ද කියන එක නෙවෙයි අපිට තියෙන ප‍්‍රශ්නය. කතා කිරීමේ නිදහස හා ජීවත් වීමේ අයිතිය වෙනුවෙනුයි නිදහසේ වේදිකාවට අපි එකතු වෙලා ඉන්නෙ. මේ නිදහසේ වේදිකාවේ අපි කියන්නෙ එක දෙයයි. කතා කරන්න පටන් ගමු. අද අපි කොච්චර බයද කිව්වොත් බස් එකේ කොන්දොස්තරටත් බයයි. ඉතිරි සත පණහ ඉල්ලන්නෙ නැහැ. ටිකට් එක ඉල්ලන්නෙ නැහැ. ඉස්පිරිතාලෙට ගියාම දොස්තරගෙන් ලෙඬේ ගැන අහන්නෙ නැහැ බයයි. රජයේ කන්තෝරුවකට ගියාම වෙවුලන්න ගන්නවා. ඇයි බයයි. අපි පොලිසියට යන්නෙ ගෙදර ඉඳන් සර් කියාගෙන. මේ සංස්කෘතිය කඩන්න, මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින්න කාලෙ ඇවිල්ල. ඒක ලේසි වෙන්නෙ නැහැ.

සිවිල් සංවිධාන කිහිපයක් එකතු වෙලා දේශපාලන පක්ෂ නායකයින්ගෙ ආශිර්වාදයෙන් ගොඩනගපු නිදහසේ වේදිකාවට අද මෙච්චර දුරක් එන්න පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ ශක්තියෙන් නිදහසේ වේදිකාවෙ මේ නායක සහෝදරවරු දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ඔබ හමුවෙන්න එනව. අපි බය නැහැ. ඔය ගහල තියෙන ඉරි වලට අනුව හොරකම් කරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මිනී මරන එක දේශපේ‍්‍රමී නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. මේ රට කාබාසිනියා කරන එවුන් ඉන්නෙ දේශපේ‍්‍රමී පැත්තෙ නම් අපි ඉන්නෙ දේශද්‍රෝහීන්ගෙ පැත්තෙ. ඒ නිසා මේ නිශ්ශබ්දතාවය කඩන්න අපි රට පුරා යනව. මොන දේශපාලනය කළත් අපි එකතු වෙලා අපේ පාරට තාර දාන එක ගැන, අපේ ගුරුවරුන්ගෙ සහ ළමයින්ගෙ විභාග ප‍්‍රශ්න පත‍්‍ර අවුල් ගැන කතා කරන්න පටන් ගන්න ඕන. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හැම කෙනාම දායකත්වය දෙනවා නම් මේ සියල්ල වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. අපි කියනවා මහින්දට දැන් එයාගෙ කාලෙ අවසානයි. එක්කො තමුන් හැදෙන්න ඕන. නැත්නම් තමුන් යන්න ඕන කියල.

Back to samabima
Back to platform