Monday, December 14, 2009

වික‍්‍රමබාහු - සිරිතුංග ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්, අපි ඔවුන්ට සුභ පතනවා

නිදහසේ වේදිකාව සංවිධානය කළ එකොළොස් වැනි මහජන රැස්වීම දෙසැම්බර් 1 වනදා මාතර සණස ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. කල්‍යාණ ගුණවර්ධන මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ චිත‍්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ අදහස් වලින් උපුටා ගත් කොටස් කිහිපයක් ‘සමබිම’ මෙවර ඔබ වෙත ගෙන එයි. මෙහිදී බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, කේ.ඩබ්ලිව්.ජනරංජන, නීතිඥ ලාල් විජේනායක, මංගල සමරවීර යන මහත්වරුන් ද රැස්වීම අමතා කතා කළහ.




වික‍්‍රමබාහු - සිරිතුංග ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්, අපි ඔවුන්ට සුභ පතනවා

මාතර නිදහසේ වේදිකාවේදී රනිල් කියයි

මේ නිදහසේ වේදිකාව අපි ආරම්භ කළේ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය කලායින් පස්සේ සියළු දෙනාටම ශක්තියක් ලබා දීමටයි. මේ සඳහා දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන, ජන මාධ්‍ය අපි ඔක්කොම එකට එකතු වුණා. අපි බය නැතුව මේ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියා. දැන් රජතුමා කියනවා එයා රටේ භාරකාරයා ලූ. දැන් රජතුමා කියනවා යුද්ධෙ කරපු නිසා ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න බැරි වුණා කියලා. මට අරක කරන්න බැරි වුණා, මේක කරන්න බැරි වුණා කියලා දැන් අඬනවා. කඳුළු තියෙන්නේ ජනතාවට. කඳුළු තියෙන්නේ මැරුණු මාධ්‍යවේදීන්ට. හිරේට ගිය අයට. ඒ කඳුළු අයින් කරන්න පුළුවන් මේ රජ පවුල පරද්දලා විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කරලා පමණයි.

එදා ඔවුන් චෝදනා කළා මට රටේ නායකත්වය දෙන්න මේ ඔක්කොම නිදහසේ වේදිකාව තුළට එකතු වෙනවා කියලා. දැන් මට ජනාධිපති තරෙඟට එන්න කියන්නේ ආණ්ඩුව. වෙන කවුරුවත් කියලා නැහැ.

අපි නිදහසේ වේදිකාව ආරම්භ කරද්දි එදා වේදිකාවේ හිටියා වික‍්‍රමබාහු කරුණාරත්න. එතුමා අමාරු කාලයක ඇවිත් අපිට එකතු වුණා. අපි ඒක අගය කරනවා. එතුමා අද ජනාධිපති අපේක්‍ෂකයෙක්. අපි සමඟ දිගටම රැඳී සිටි සිරිතුංග ජයසූරිය මැතිතුමා නිර්භීත පුද්ගලයෙක්. එතුමා භය නැතුව කතා කළා. භය නැතුව ඉදිරියට ගියා. එතුමාත් ජනාධිපති අපේක්ෂකයෙක්. මම ඒ දෙන්නටම සුභ ප‍්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ අපි හැමදෙනාම ඔවුන්ට සුභ ප‍්‍රාර්ථනා කරනවා. සමහර අය සහයෝගය දෙයි, සමහරු නොදෙයි. ඒත් අපිට තියෙන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක්. අපි එක එක දේශපාලන පක්ෂවලට ඡන්දය දුන්නත් අපිට පුළුවන් නැඟිටලා කියන්න මේ ගොල්ලෝ හරි, මේ ගොල්ලන්ට සුභ ප‍්‍රාර්ථනා කරන්න කියලා. අපිට ඕන පිරිසිදු දේශපාලනයක්. වික‍්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය කියන්නෙ මේ රටේ දේශපාලනයේ ඉන්න ඕන අය. ඒ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ශක්තියක්. ඒ අය නිර්භීතයි. යහපාලනය පෝෂණය කරන පුද්ගලයන්.

අපි තීරණය කරලා පක්ෂ කිහිපයක් එකතු වෙලා එක්සත් ජාතික පෙරමුණ ඇති කළා. අපි නිදහසේ වේදිකාවේ මූලධර්ම පහ පිළිගත්තා. ඒත් ඒවා ක‍්‍රියාත්මක කරන්න නම් විධායක ජනාධිපති ක‍්‍රමය නැති කරන්න ඕන. මම විධායක ජනාධිපති ක‍්‍රමය නිර්මාණය කරන්න උදව් දුන් පුද්ගලයෙක්. අපි හිතුවෙ නැහැ මේක රජකම දක්වා යයි කියලා. මෙම ජනාධිපති ක‍්‍රමය නැති කරලා අලූතෙන් මේක පටන් ගන්න ඕන. ඊට පස්සේ මේ මූලධර්ම පහ අපිට ක‍්‍රියාත්මක කරන්න පුළුවන්.

අපි හිතුවා හැම කෙනාටම පිළිගන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉන්නවා නම් උදව් කරන්න. සරත් ෆොන්සේකා ඉදිරියට ආවා. මේ කාරණා ඔක්කොම එතුමා පිළිගත්තා. වෙනම පක්ෂයක් වශයෙන් ජනතා විමුක්ති පෙරමුණත් ඔහුට සහාය දෙනවා. අපි හිතුවා සරත් ෆොන්සේකාගේ ඒ අපේක්ෂාවට උදව් කරලා එතුමාගේ ජයග‍්‍රහණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්න වැඩ කටයුතු කරමු කියලා. අන්න එතනට අද අපි ඇවිල්ලා තියෙන්නෙ.

ඒත් අපි මේ නිදහසේ වේදිකාව පටන් ගත්තේ නැත්නම්, කෑගැහුවේ නැත්නම් අද මහින්ද රාජපක්ෂ ඡන්දෙට එන්නේ නැහැ කියන එක අපිට සහතිකයි.

Back to samabima....
Back to Platform...
View PDF ...


‘කෙළවීම’
‘ජෙනරාල් ආවොත් ’ ලිපියට පිළිතුරක්

ලාල් පෙරේරා

පසුගිය ‘සමබිම’ කලාපයේ පළ වූ සුදර්ශන ගුණවර්ධනගේ ලිපියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ගත හැකි විකල්ප තුනක් දක්වා තිබිණි. ඊට ඌන පූර්ණයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
එහි අනුපිළිවෙළට එකඟ නොවෙමි. මුලට ගත යුත්තේ අංක 2 ය. අංක 2 ට ගත යුත්තේ අංක 3 ය. අංක 1 අත්හැරියද කමක් නැත. තව අංක 1 හෙවත් පූර්ව අංක 2 වන ‘‘ තොපි දෙගොල්ලොම මක බෑ වෙලා පලයව් ’’ හෙවත් ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දය දීම වඩාත් බහුතර විකල්පය වීමට ඉඩ ඇත. අවශ්‍ය නම් එය පහත පරිදි උප අංකනයද කළ හැක.

l.l රටේ නීතිය ක‍්‍රියාත්මක නොවීම, බලය ඇති සෑම එකාම අන්ත දූෂණයේ යෙදීම, වැඩි කොටසක් බඩෙන් අඩක් පමණක් අපහසුවෙන් පුරවා ගනිද්දී සීමිත පිරිසක් අති සුඛෝපභෝගී ජීවිත ගත කිරීම හේතුවෙන් ඇතිව තිබෙන්නා වූ සමාජ ක්‍රෝධය, නොසන්සුන්තාවය මත ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දය දීම. (මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට මහින්ද රාජපක්ෂ ප‍්‍රමාද වැඩිය)

l.ll වෛද්‍යවරුන්, නීතිඥවරුන් වැනි වෘත්තිකයන්, කොතරම් හම්බ කළත් මදියි කියන උදවිය, දරුවන් ඉන්ටර්නැෂනල් යවමින්, විවිධ පල කිහිපයකින් යුක්තව තට්ටු දෙකේ නිවසක් (හුලසක් සේ පෙනෙන 3 වන තට්ටුවද සමඟ) තනාගෙන, වර්ණවත් 141 කින් ගමන් බිමන් යාමට ඇති ආර්ථික අවහිරය නිසා ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දයක් දීම. (මේ සම්බන්ධයෙන්ද කරන්නට දෙයක් මහින්ද රාජපක්ෂට නැත)

කගකකක පරිපාලන සේවයේ නොවන රජයේ මාණ්ඩලික නිළධාරීන්, ලලිත් වීරතුංග විසින් ජනාධිපතිවරයා වටා පරිපාලන සේවයේ ගෝලබාලයෝ යොදාගෙන පරිපාලන සේවයෙන් බැහැර වූ සේවාවල එවුන්ට කටු කෑල්ලක් හෝ විසි කිරීමට ඉඩ නොදීම හේතු කොට ගෙන ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දයක් දීම. (හැබැයි මේ අයගෙන් භාගයක් හෝ තම ගොඩට ගැනීමේ හැකියාව තවම මහින්ද රාජපක්ෂට ඇත)

කගකඪ ත‍්‍රීවිල් කට්ටිය, මෝටර් බයිසිකල්වල එහා මෙහා යන කට්ටිය හා බෝක්කු උඩ සිටින කට්ටිය ‘‘කෙළවීම’’ සඳහා ජෙනරාල්ට ඡන්දයක් දීම. ඒ අය එසේ ඡන්දය දෙන්නේ ඇයි දැයි ඒ අයවත් නොදනී. (මෙය මහින්ද රාජපක්ෂගේ අවාසනාවය.)

Back to First Article
Back to platform
Back to Samabima
View PDF ...

Sunday, December 13, 2009

කවුදැයි කවුදැයි ඡන්දෙට එන්නේ,ජෙනරාල් ආවොත් මොකද කරන්නේ?

සුදර්ශන ගුණවර්ධන

ජෙනරාල් තුමාගේ දේශපාලන ආගමනය හේතුවෙන් මුළු මහත් දේශපාලන තලයම දෙදරන්නට පටන් ගෙන ඇත. තව අවුරුදු හයක් හෝ අටක් යනතුරු මහරජතුමාගේ ආණ්ඩුව හීනෙන්වත් හොලවන්න බැරි බව කියූ සියළුදෙනාම සෙලවෙන්නට වෙලාය. අප දේශපාලන විපක්ෂය සමඟ අත්වැල් බැඳගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් රැකගැනීම සඳහා වන මහජන ව්‍යාපාරයක් ගොඩනඟන්නට වෙහෙසෙන අතර, වැඩ කිරීමට අවකාශයක් නැතැයි කියා අත් පා හකුළුවා ගෙන වකුටු වී නිදා සිටි සිවිල් සමාජයේ සාමාජිකයන්ට ද ඇහැ ඇරී අවදි වී ඇත.
‘‘ජෙනරාල් විපක්ෂයේ පොදු අපේක්ෂකයා නේද? දැන් ඔයගොල්ලන් අර්බුදයට යනවා නේද?’’ මේ ඔවුන් අප වෙත දමා ගසන ප‍්‍රශ්නයයි.
මේ ප‍්‍රශ්නය අහන සමහරුන්ට පසුගිය කාලයේ අප ඇඟේ හැපුණත් ඇහැට පෙනුණේ නැත. තවත් සමහර අය ‘අයියෝ, යූ.එන්.පී. එකත් එක්ක යන්න ලැජ්ජ නැද්ද?’ කීවෝය. තවත් උදවිය කීවේ පරදින අශ්වයාට ඔට්ටු අල්ලන්න ඔයාලා ඔය තරම් මෝඩද කියාය. මෙයට අමතර ව පසුගිය කාලයේ විවිධ දුෂ්කරතා මැද වුවද අපට සහයෝගය දුන් අයද හොඳ හිතින් යුතුව මේ ප‍්‍රශ්නය අසන බව ද සටහන් කළ යුතුය.
ප‍්‍රශ්නය හොඳටම පැහැදිලිය. පසුගිය කාලයේ අප විසින් දිගින් දිගටම ප‍්‍රකාශ කළ පරමාදර්ශයන්ට විරුද්ධ භාවිතාවක සිටි පුද්ගලයෙකු පොදු අපේක්ෂකයා වශයෙන් නම් කළහොත් අප ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ කෙසේද යන්නය.
ප‍්‍රශ්නය පැහැදිලි නිසා අපි පිළිතුරක් ගොනු කරමු.
ජනාධිපතිවරණයකදී තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයා තීරණය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ඇත්තේ දේශපාලන පක්ෂ වලටය. විපක්ෂය කියන්නේ තමන් මෙවර ඉදිරිපත් කරන්නේ ජේම්ස් බොන්ඞ් කෙනෙක් නැත්නම් සුපර් මෑන් කෙනෙක් කියාය. ආණ්ඩුව කියන්නේ සුපර් මෑන් ඉන්නේ තමන්ගේ පැත්තේ කියාය.
මේ වන විට පවතින වර්ධනයන් අනුව එක්සත් ජාතික පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණත් අතර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට අවබෝධයක් පවතී. ඒ පොදු අපේක්ෂකයා කවුරුන් ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් නොවුණත් වැඩි දෙනෙකු කල්පනා කරන්නේ ජෙනරාල් තුමා ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බවයි.
එය එසේ වුවහොත් සිවිල් සමාජ සංවිධාන වලට හා ඒවායේ ක‍්‍රියාකාරීන්ට ජනාධිපතිවරණයේදී ගත හැකි විකල්ප පියවරයන් තුනකි.
1. ‘ ඕන එකක් ’ කියා මේ පාරත් රජතුමාටම ඡන්දය දී රජතුමා දෙවන වරටත් බලයට පත් කිරීම- මෙහිදී අප ඡන්දය දෙන්නේ මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති වලට නොවන බවත් වාසුදේව නානායක්කාර මහතා වැනි ප‍්‍රගතිශීලීන් තවමත් ආණ්ඩුව සමඟ සිටින නිසා ඔවුන් ගැන විශ්වාස කරමින් බව සිතා සිත සනසා ගත හැකිය.
2. ‘තොපි දෙගොල්ලාම මක බෑ වෙලා පලයව්’ යැයි ප‍්‍රාර්ථනා කරමින් පළිගැනීමේ සිත් පෙරදැරිව ජෙනරාල්තුමා ට ඡන්දය දීම - රජතුමා විසින් කපා දමන ලද දාම් ඉත්තන් සංඛ්‍යාව අති විශාල බැවින්ද, මේ ඉත්තන් ප‍්‍රසිද්ධියේද, ඉදිරියේදී කැපී යාමට නියමිත ඉත්තන් රහසිගතවද එකට එකතු වී ඇති නිසා මෙම විකල්පය මේ මොහොතේ ආකර්ෂණීයය.
3. රජතුමා සහ ජෙනරාල් තුමා යන දෙදෙනාට ම විරුද්ධතාවය ප‍්‍රකාශ කිරීම - මෙහිදී තම ස්වාධීනතාවය සහ දේශපාලන නිරවද්‍යභාවය (Political correctness) ආරක්ෂා කර ගැනීම සඳහා තුන්වන අපේක්ෂකයෙකුට ඡන්දය දීම හෝ එම ස්ථාවරය ප‍්‍රසිද්ධියේ දරමින් හොරෙන් ජෙනරාල් තුමාට ඡන්දය දීම.
(තවත් විකල්පයන් ඇත්නම් ඒවා සොයා ගැනීමට මේ ලිපියේ අඩුපාඩු සොයන හිතවතුන්ට භාර කරමි.)
ජෙනරාල් තුමා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ආවොත් මොකද කරන්නේ කියා අපෙන් ප‍්‍රශ්න අහන්නේ මෙවැනි සන්දර්භයක් තුළදීය.
අප කිව යුත්තේ මෙහිදී අපට පෞද්ගලික පක්ෂපාතීත්වයක් හෝ අගතියක් නොමැති බවය. අප ඉදිරිපත් කර ඇත්තේ රට ගොඩනැඟීම සඳහා වන ප‍්‍රතිපත්ති මාලාවකි. අප විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ මානව අයිතිවාසිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ක‍්‍රියාමාර්ගයක කටයුතු කළද, එක්සත් වැඩපිළිවෙළකට එකඟතාවයක් ඇති කරගන්නේ එකී ප‍්‍රතිපත්ති මාලාව පිළිගනු ලැබුවහොත් පමණකි.
දැනට රට කරවන රජතුමා සහ රජතුමාගේ ආණ්ඩුව මැතිවරණයට පෙර ඉහත සඳහන් ප‍්‍රතිපත්ති පිළිගෙන ඒවා ක‍්‍රියාත්මක කරන්නේ නම් අපි එය සාදරයෙන් පිළිගනිමු.
පසුගිය කාලයේ ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය පිළිබඳ චෝදනා පිටින් දමා ආණ්ඩුව කරනු ලබන යහපත් කටයුත්තකට අකුල් හෙළීමට අපි කුහක නොවෙමු. නමුත්, බලයේ සිටින ආණ්ඩුවෙන් අපට හුදු පොරොන්දු පමණක් ප‍්‍රමාණවත් නොවන අතර, ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයක් බලාපොරොත්තු වෙමු.
රජතුමා විසින් මේ ඉල්ලීම ක‍්‍රියාත්මක නොකළහොත් එම ඉල්ලීම් පිළිගන්නා සහ ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු වන විපක්ෂයේ බලවේගයන් සමඟ අප පොදු වැඩපිළිවෙළකට ගමන් කරන අතර එම පොදු වැඩපිළිවෙළ ජයග‍්‍රහණය කරවීමට අපි කටයුතු කරන්නෙමු.
සමහරුන් සිතන පරිදි පුද්ගලයන් මාරු කිරීමෙන් සහ පුද්ගලයන් පවත්වා ගැනීමෙන් ප‍්‍රශ්න විසඳිය හැකි යැයි අප විශ්වාස කරන්නේ නැත. අප විශ්වාසය තබන්නේ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීම පිළිබඳවය. එතැනදී අපට පුද්ගලයා කවුරුන්ද යන්න අදාළ නැත.




View pdf....
Back to Platform
Back to samabima

අපි නීති රීති වලට අනුව මැච් එක ගහමු

‘‘අපට සිහිනයක් තියෙනවා. ඒ සිහිනය මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන සමාජයක් බිහිකිරීමයි. එවැනි සමාජයක අපි සියළු දෙනාටම සමාන අයිතිවාසිකම් හිමිවෙනවා. උස වුණත් මිටි වුණත් ජාතිය මොකක් වුණත් කුමන ආගමක් ඇදහුවත් මොන දේශපාලන මතයක් දැරුවත් පුරවැසියන් වශයෙන් අන්න ඒ සමාන අයිතිවාසිකම ලබා ගන්න තමයි අපි ‘නිදහසේ වේදිකාව’ වශයෙන් එකතු වෙලා ඉන්නේ.’’
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරු ජයසූරිය මහතා එසේ පැවසුවේ පසුගිය 21 වනදා මාතලේ පුරහලේ දී පැවැති නිදහසේ වේදිකාවේ දහවැනි මහජන රැස්වීම අමතමිනි.
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා මුලසුන හෙබවූ මෙම රැස්වීම අමතා නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරුවන් වන නීතිඥ ජේ.සී.වැලිඅමුණ සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමග ‘දූෂණ විමසුම’ සංවිධානයේ සම්බන්ධීකාරක නීතිඥ රවි ජයවර්ධන මහතා ද කතා කළහ. ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර මහතා ඉදිරිපත් කළ ගීත ප‍්‍රසංගයකින් ද වේදිකාව ආලෝකවත් විය.
මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් අලූවිහාරේ, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන වසන්ත අලූවිහාරේ, සංජීව කවිරත්න සහ රෝහණ බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු දහසකට ආසන්න පිරිසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
එහිදී තව දුරටත් කරු ජයසූරිය මහතා මෙසේ පැවසීය. ‘නිදහසේ වේදිකාව බිහි කිරීමේ උවමනාව ඇති වුණේ පහුගිය ජනවාරි මාසේ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තර්ජනයක් වූ කරුණු දෙකක් සිදුවීම හරහා. අභීත මාධ්‍යවේදියෙකු වූ නීතිඥ ලසන්ත වික‍්‍රමතුංග මහතා මහ දවල් අධි ආරක්ෂිත කලාපයක වෙඩි තියලා මරලා දැමීමෙනුත්, සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබීමෙනුත් පසුව රට කොහාටද යන්නෙ කියලා මේ රටේ ජනතාව තුළ යම්කිසි බියක් සාංකාවක් ඇති වුණා. නිදහසේ වේදිකාවේ ආරම්භය සිදු වුණේ එතැනින්. අද දේශපාලන පක්ෂ දාහතරකට ආසන්න ප‍්‍රමාණයක් වගේම සිවිල් සංවිධාන තිහක් පමණ නිදහසේ වේදිකාවට ගොඩ වී එහි සාමාජිකයන් බවට පත්වෙලා සිටිනවා. ඒ වගේම දිනපතා අළුත් පිරිස් එයට එකතු වෙනවා. ඒ නිසා නිදහසේ වේදිකාවේ සිටින කිසිම කෙනෙක් දේශද්‍රෝහියෙක්වත්, කොටි ඒජන්තවරයෙක්වත් නෙවෙයි. නිදහසේ වේදිකාවේ සියළුම ආකාරයේ මත දරන අය ඉන්නවා. සියළුම ජාතීන්ට අයිති, විවිධ ආගම් අදහන අය ඉන්නවා. නමුත් නිදහසේ වේදිකාවේ සියළුදෙනා වගේම අපි ඔක්කොම එකතු වෙලා එකම වේදිකාවකට ගොඩ වෙලා ඉන්නෙ කරුණු පහකට එකඟ වෙලා.
එහි පළමුවැන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදය. අද ජීවත්වීමේ අයිතිය, කතා කිරීමේ අයිතිය, නිදහසේ හැසිරීමේ අයිතිය, යහපාලනය, ජාතීන් අතර සමානත්වය, ආර්ථික සමානත්වය යන සියල්ල කඩ වෙලා තියෙන්නේ. කතා කිරීමේ සහ ලිවීමේ නිදහස ගැන කියනවානම් අද කවුරු හරි ආණ්ඩුවට විරුද්ධව මතයක් ප‍්‍රකාශ කළොත් සුදු වෑන් එකක් ඇවිල්ලා ඔහුව උස්සගෙන යනවා. එහෙම නැත්නම් මහ දවාලේ වෙඩි තියලා මරලා දානවා. දැනටමත් මාධ්‍යවේදීන් ෙදාළොස් දෙනෙක් මරලා දාලා. මාධ්‍යට සම්බන්ධ තිස් දෙනෙක් පමණ විවිධ අඩත්තේට්ටම් වලට ලක්වෙලා. තව සමහර අය ජීවිත තර්ජනයට ලක්වීම නිසා පිටරට ගිහිල්ලා. මේ අය කරපු එකම පාප කර්මය තමයි ආණ්ඩුවට විරුද්ධව අදහස් ප‍්‍රකාශ කිරීම. මේක තමයි අදහස් ප‍්‍රකාශ කිරීම සහ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අද අපේ රටේ තියෙන තත්ත්වය.
එ්වගේම බොහෝ දෙනෙක් කතා කරන කාරණයක් තමයි යහපාලනය. යහපාලනය තියෙන රටක ඕනම කෙනෙකුට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. යහපාලනය තියෙන රටක අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. යහපාලනයක් තියෙන රටක රජයේ මාධ්‍ය කියන එක ආණඩුවට වගේම විපක්ෂයටත් අයිතියි. පසුගිය ජනාධිපතිවරණයේදී සීයට පණස් එකකට ආසන්න ඡුන්ද සංඛ්‍යාවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලැබුණා. සීයට හතළිස් නමයකට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාට ලැබුණා. පණස් එකක් ගත්ත කෙනාට මේ ඔක්කොම අයිති වෙනකොට හතළිස් නමයක් ගත්ත කෙනාට උදේ ඉඳන් ? වෙනකන් පහර දෙනවා. මොකක්ද එතන තියෙන සමානත්වය. රාජ්‍ය මාධ්‍ය ආණ්ඩු බලය හිමි අයට විතරක් නෙවෙයි සියළුම ජන කොට්ඨාශ වලට අයිතියි.
1997 දී සිවිල් සමාජයේ සියළුදෙනා එකතු වෙලා පුරවැසි කමිටුවක් හදාගත්තා. ඒ නිසා 2002 දී අපිට පුළුවන් වුණා 17 වන සංශෝධනය ගේන්න. 17 වන සංශෝධනයේ වැදගත්කම සමහර අය දන්නවා. සමහර අය දන්නෙ නැහැ. ඒක ගෙනාවට පස්සේ ලංකාවෙ හුඟක් ක්ෂේත‍්‍රවල තිබුණු දේශපාලනීකරණය බොහෝ වෙනස් වුණා. ඒ තුළින් මැතිවරණ කොමිසමක් පත් කරලා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න පුළුවන් වුණා. ඒ නිසා මම හිතන්නේ 2004 මැතිවරණය තමයි සාධාරණම මැතිවරණය.
ඒ වගේම රාජ්‍ය සේවය නිර්දේශපාලනය කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසමක් පත් කරන්න, අධිකරණ සේවා කොමිසමක් පත් කරන්න හැකි වුණා. මට මතකයි සමහර අවස්ථාවලදී හිටපු ජනාධිපතිතුමියට පවා විරුද්ධව තීරණ ගන්න එදා රාජ්‍ය සේවා කොමිසමට පුළුවන් වුණා. ඒ නිසා දේශපාලන ඇඟිලි ගැසීම්වලට යටත් වෙන්නේ නැතුව පොලිස් නිලධාරීන්ට තමන්ගේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන් තත්ත්වයක් ඇතිවුණා. ඒ විදිහට තමයි එදා රටේ වෙනසක් ඇති කලේ.
ඉදිරියේදී ප‍්‍රකාශ කරන මැතිවරණ වලට මුහුණ දෙන්න අපි සූදානම්. නමුත් ඒක නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්විය යුතුයි. අපි රජයෙන් ඉල්ලනවා උදේ ඉඳන් ? වෙනකන් බොරු ගොතමින් ජනතාව මුලා වෙන විදිහට රාජ්‍ය මාධ්‍ය පාවිච්චි නොකර සත්‍ය ප‍්‍රකාශ කරන්න කියලා. අපි නීති රීති වලට අනුව මැච් එක ගහමු. මේ මැච් එක ගහලා එක් කෙනෙක් දිනනවා. එක් කෙනෙක් පරාද වෙනවා.
අද රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා මේ පවතින ක‍්‍රමයේ වෙනසක් අවශ්‍යයි කියලා. අපි කරන සමීක්ෂණ වලිනුත් දකිනවා ජනතාව වෙනසක් අවශ්‍යයි කියලා ප‍්‍රකාශ කරන ආකාරය. ඒ වෙනස තමයි යුක්තියත්, සාධාරණත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, කතා කිරීමේ සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතියත් ඇති රටක්. එහෙම වුණොත් මේ රටට අළුත් මාර්ගයක යන්න පුළුවන්. මේ මැතිවරණය ඉතාම තීරණාත්මකයි. ඒ නිසා මම ඔබ සියළුදෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ රජයේ සම්පත් අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැති ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන නායකයෙක් පත්කර ගන්න තමුන්නාන්සෙලාගේ සහයෝගය ලබා දෙන්න.

Back to Samabima
Back platform
View Pdf....
View more Photo
view Karu jayasuriya Speech ...

වෙනසකට කැපවෙන්න අපි සූදානම්













විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක
රනිල් වික‍්‍රමසිංහ

‘‘පාර්ලිමේන්තුව පත් වෙලා දවස් එකසිය අසූවකින් යහපාලනය, 17 වන සංශෝධනය, ව්‍යවස්ථාමය හා නීතියේ ආධිපත්‍යය ආදී කාරණා ගැන නිදහසේ වේදිකාව සහ අනිත් පිරිස් සමඟ සාකච්ඡා කර ශ‍්‍රී ලාංකික අනන්‍යතාවය සහ ජනතාවගේ පරමාධිපත්‍යය තහවුරු වෙන ආකාරයේ අළුත් ව්‍යවස්ථාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා.’’
විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පවසා සිටියේ, ‘වෙනසකට කැපවෙමු’ තේමාව යටතේ නිදහසේ වේදිකාවේ පස් වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව එළි දැක්වීම පිණිස පසුගිය නොවැම්බර් 12 වෙනිදා කොළඹදී පැවති උත්සවයේදීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හා නිදහසේ වේදිකාව ජනතාවගේ මුලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට කැපවෙන බවත් අද මෙම අවස්ථාවට සහභාගී වන්නේ පුද්ගලයන් වෙනුවෙන් නොව අරමුණු සහ ප‍්‍රතිපත්ති වෙනුවෙන් බවත් කී වික‍්‍රමසිංහ මහතා ඒ සඳහා පළමුවෙන් මැතිවරණයක් පවත්වා විධායක ජනාධිපති ක‍්‍රමය හැකි තරම් ඉක්මණින් අහෝසි කිරීමට සැලසුම් කරගෙන යන බවද පැවසුවේය.
‘මැතිවරණයකින් පස්සෙ ජනතාව එක්සේසත් කර දේශපාලන විසඳුමක් ගෙන ඒමටත් සමාජ සාධාරණත්වයක් ඇති ආර්ථීකයක් (Social Market Economy) හදන්නත් අපි කැපවෙලා ඉන්නවා’ යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
නිදහසේ වේදිකාවේ පස් වැදෑරුම් ප‍්‍රතිපත්ති මාලාව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වෙත පිළිගැන්වීම මෙම උත්සවයේදී සිදු කෙරුණු අතර අනතුරුව එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාව ද රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නිදහසේ වේදිකාවේ සිවිල් සංවිධාන නියෝජිතයන් වෙත පිළිගන්වන ලදී. මෙම උත්සවයට විපක්ෂ නායකවරයා සමඟ කරු ජයසූරිය, මංගල සමරවීර, රවුෆ් හකීම්, තිස්ස අත්තනායක, ආචාර්ය කුමරගුරුබරන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් රැුසක් සහභාගී වූහ.
මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ‘‘නිදහසේ වේදිකාවේ මූලධර්ම පහ ප‍්‍රකාශයට පත්කිරීම වැදගත් පියවරක් බවයි. එක්සත් ජාතික පෙරමුණේ සියලූම පක්ෂ සහ සංවිධාන මේ මූලධර්ම පහ පිළිගැනීමට නිල වශයෙන් තීරණය කර තිබෙන බව පැවසූ ඔහු නිදහසේ වේදිකාව ආරම්භ කළේ ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනයෙන් පසු මේ රටේ නිදහස නැති වෙමින් ගිය අවස්ථාවක බවත් එදා සිට සියළුදෙනා සමඟ අත්වැල් බැඳගෙන ගිය ගමන නිසා නිදහස ඉතා සුළුවෙන් හෝ ආරක්ෂා කරගැනීමට හැකි වී ඇති බවත් පැවසීය.
‘‘දැන් අපි බලන්නෙ මෙම නිදහස සම්පූර්ණයෙන්ම රැකගෙන ඉදිරියට යන්නයි. මේ සඳහා නිදහසේ වේදිකාව සමඟ අපිත් එකතු වෙලා සාකච්ඡා කළා. කටයුතු කළා. අපි එකතු වෙලා නිදහස් සමාජයක් ඇති කරලා මේ ආසියානු කලාපයටම පෙන්නන්න ඕන. අපේ සටන් පාඨය අපි ඔක්කොම රජවරු. ඒක සත්‍යයක් බව පසක් කරන්න අපි මේ පස් වැදෑරුම් මූලධර්ම පිළිගෙන ක‍්‍රියාකරනවා.’’ වික‍්‍රමසිංහ මහතා පැවසීය.
බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා පිළිගැනීමේ කතාව පැවැත්වූ අතර ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු මහත්මිය විසින් ‘වෙනසකට කැපවෙමු’ පස්වැදෑරුම් වැඩපිළිවෙළ සභාව වෙත ඉදිරිපත් කළාය.



සිවිල් සමාජයට සුවිශේෂ වගකීමක් ඇත
ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

රට ගොඩනැඟීම සඳහා නිදහසේ වේදිකාව විසින් එළිදක්වන ලද පංචවිධ ප‍්‍රතිපත්ති තමා සම්පූර්ණයෙන්ම අනුමත කරන බවත් එම ප‍්‍රතිපත්ති ආරක්ෂා කරගැනීමට සුවිශේෂී වගකීමක් සිවිල් සමාජය වෙත පැවරී ඇති බවත් විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ සහ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු ප‍්‍රකාශ කරයි. ඔහු එසේ පැවසුවේ පංචවිධ ප‍්‍රතිපත්ති එළිදැක්වීමේ උළෙලට නිව්යෝර්ක් නුවර සිට සුබ පැතුම් පණිවිඩයක් එවමිනි. එම පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
‘‘නිදහසේ වේදිකාව විසින් ඉදිරිපත් කරන ලද මෙම පංචවිධ ප‍්‍රතිපත්ති මම සම්පූර්ණයෙන් ම අනුමත කරමි. මානව හිමිකම් දැඩි ලෙස ආරක්ෂා කරන්නාවූද, යහපාලනය සහිතවූද, සාමය සහ සමඟි සන්ධානය ගොඩනඟා ගත්තාවූද, එක්සත් ශ‍්‍රී ලංකාවක් වශයෙන් ඉදිරියට යනු පිණිස මෙම ප‍්‍රතිපත්ති සුරකින ලෙස දේශපාලන පක්ෂ වලින් ද, සිවිල් සමාජ සංවිධාන වෙතින්ද ඉල්ලා සිටීමට මම කැමැත්තෙමි.
අප වර්තමානයේ මුහුණ දෙමින් සිටින අභියෝග මධ්‍යයේ ඉහත ප‍්‍රතිපත්ති රැක ගැනීම සඳහා සක‍්‍රීයව දායකවීමේ සුවිශේෂ වගකීමක් සිවිල් සමාජය වෙත පැවරී ඇති බව මම අවධාරණය කරමි.’’


Thursday, November 19, 2009

ජනාධිපති අපේක්ෂකයා කවුරු වුනත් ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂක වළල්ලක් අවශ්‍යයි


වැසි දියෙන් තෙත බරිත වී මඳ අඳුරකින් පරිසරය වැසී යමින් තිබුණද නිදහසේ වේදිකාව පළමු වරට එළිමහන් පිටියක පැවැත්වූ ගම්පහ මහජන රැස්වීමට සහභාගීවීමට පැමිණ සිටි විශාල ජනකායක් ගම්පහ කොළඹ බස් නැවතුම් පළ වටා රොක් වී සිටි අයුරු පසුගිය නොවැම්බර් 14 වෙනිදා අපට දැක ගත හැකි විය.
මෙහිදී පැමිණ සිටි පිරිසගේ අවධානය පැහැර ගනිමින් ප‍්‍රහාරාත්මක විලාසයකින් ආරම්භක කතාව කරන ලද්දේ නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ය.
‘‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ අපි යමකට විරුද්ධ නම් එයට විරුද්ධයි කියල කියන්න අපිට ධෛර්යයක් තිබුණෙ නැහැ. ඒත් දැන් අපිට ඒ ශක්තිය තියෙනවා. අපිට ඕන මේ රටේ අළුත් ආණ්ඩු හදන්න නෙවෙයි. අපේ අරමුණ මොන ආණ්ඩුවක් බලයට ආවත් එය ව්‍යවස්ථාවට හා නීතියට ගරු කරන ආණ්ඩුවක් බවට පත් කිරීමයි.’’
ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ ලාල් විජේනායක මහතා කියා සිටියේ, ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක තිබෙන ප‍්‍රධානම ලක්ෂණ වන තමන් කැමති පාලකයෙකු පත් කර ගැනීම, කාටත් එක සමානව සලකන නීතියේ ආධිපත්‍යය සුරක්ෂිතව තිබීම, අධිකරණයේ ස්වාධීනතාව සහ මානව හිමිකම් ගරු කිරීම ආදියට අද විශාල තර්ජනයක් එල්ල වී ඇති බවයි.’’
අනතුරුව සභාව ඇමතුවේ ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු ය.
‘‘ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට සිවිල් සමාජය දේශපාලන පක්ෂ සමඟ එක්ව ඉතාම විවෘතව ඓතිහාසික ක‍්‍රියාදාමයකට අවතීර්ණ වූ බවත්, සිවිල් සමාජය හා දේශපාලන සමාජය අතර ඇති කරගත් මෙම කතිකාව මැතිවරණයකින් අහවර නොවිය යුතු බවත්, නිදහසේ වේදිකාව රටේ පාලනය නැවත පුරවැසියා අතට ලබා දීමට පෙරමුණ ගන්නා බවත් ’’ ඇය පවසා සිටියාය.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතා මෙසේ පැවසීය.
‘‘මැතිවරණ වලින් කවුරු දිනුවත් කවුරු බලයට පත් වුණත් ජීවත් වීමට ඇති අයිතියට, තමන්ගේ හෘදසාක්ෂියට එකඟව මතයක් ප‍්‍රකාශ කිරීමේ නිදහසට තර්ජන එල්ල වෙන අකාරය, ඳුෂණය හා නාස්තිය වැඩි වී ජනතාවට අභියෝග එල්ල වෙන ආකාරය පසුගිය කාලෙ අපි දැක්කා. අද තිබෙන වැඩවසම් රදළ චින්තනය තුළ රජතුමාට සියළු බලතල හිමිවෙලා රටවැසියෝ අතවැසියෝ බවට පත්වෙලා. එය නීත්‍යනුකූලව අභියෝගයට ලක් කිරීමට ජනතාවට අයිතියක් තිබෙන බවට මතක් කර දිය යුතුයි.’’
නිදහසේ වේදිකාවේ සම කැඳවුම්කරු නීතිඥ සුදර්ශන ගුණවර්ධන මීළඟට අදහස් දක්වන ලදී.
‘‘මීට මාස පහකට පෙර මේ ආණ්ඩුවේ හා ජනාධිපතිතුමාගේ පාලනය සදාකාලිකයි කියල කියපු ජනතාව අද එහෙම ලේසියෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන්න දෙන්නේ නැහැ කියලා ප‍්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා. එදා ප‍්‍රධාන විපක්ෂයට තමන්ගේ දේශපාලනය කරගෙන යන්න හැකියාවක් තිබුණා නම් ඔවුන්ට සිවිල් සංවිධාන එක්ක හවුල් වෙන්න ඕන නැහැ. සිවිල් සංවිධාන වලටත් තමන්ගේ ව්‍යාපෘති පවත්වාගෙන යමින් මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන්න ඉඩක් තිබුණා නම් දේශපාලන පක්ෂ එක්ක එකතු වෙන්න අවශ්‍ය නැහැ.
නමුත් මේ සියළුදෙනාට එකට එකතු වෙන්න සිදුවුණේ මේ රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කඩ කරමින් ගෙන ගිය අත්තනෝමතික එ්කාධිපති පාලනය නිසා. කවුරුන් හෝ මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරනවා නම් නිදහසේ වේදිකාව ඊට එරෙහිව නැඟී සිටින බව බය නැතුව ප‍්‍රකාශ කර සිටිනවා.’’
මෙහිදී විපක්ෂ නායක සහ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ, ‘‘ඉතා ඉක්මනින්ම මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර අළුත් ව්‍යවස්ථාවක් සාදා ජනතාව අතට බලය ලබා දීමට කටයුතු කරන බවත්, ඊට මූලාරම්භයක් වුණේ නිදහසේ වේදිකාව බවත්ය.’’
රැස්වීමේ අවසන් කථාව කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර මහතා පවසන ලද්දේ, ‘‘බලය ලබා ගත්තට පස්සේ එතැනට එන්න පාර කපල දුන්න සිවිල් සංවිධාන ක‍්‍රියාකාරීත්වය සහ ඔවුන්ට වුණු පොරොන්දු දේශපාලන පක්ෂ විසින් අමතක කර දමන බව පසුගිය කාලේ අපි දැක්කා. ඒ නිසා ඊළඟට පත්වන ආණ්ඩුව මොකක් වුණත්, ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් නිදහසේ වේදිකාව තුළ එක්වී සිටින සිවිල් සංවිධාන විසින් ඡන්දය දිනූ දාට පසුදා සිට එය ක‍්‍රියාත්මක කරවා ගැනීමට තමන්ගේ ප‍්‍රතිපත්ති පහ හරහා ඒ දේශපාලන පක්ෂ වටා ශක්තිමත් ආරක්ෂක වළල්ලක් දැමිය යුතුයි.’’යනුවෙනි.
දිනෙන් දින නිදහසේ වේදිකාව වටා ජනතාව රොක් වෙමින් සිටිති. දැන් ඔවුන් සිය සංවාදය අරඹා ඇත. ඒ එය ඔවුන් වෙනුවෙන් බිහි වූ ජනතා ව්‍යාපාරයක් බැවිණි. ගමින් ගමට නගරයෙන් නගරයට යමින් ජනතාව සමඟ අරඹා ඇති නිදහසේ වේදිකාවේ ජනතා සංවාදය නුදුරේදීම ඔබ හමුවටද පැමිණීමට නියමිතය.

වෙනසකට කැපවෙමු ! - නිදහසේ වේදිකාවේ පංචවිධ ප‍්‍රතිපත්ති

නිදහසේ වේදිකාව ශ‍්‍රී ලංකාව තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සහ නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම හා ශක්තිමත් කිරීම උදෙසා කැපවූ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයින් හා දේශපාලන නායකයින් විසින් පිහිටුවා ගනු ලැබූ පුළුල් සන්ධානයකි. රට පුරා පවතින මානව හිමිකම් කඩ කිරීම් නිදහසේ වේදිකාව බිහිකර ගැනීම සඳහා හේතු පාදක විය. එසේම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, නීත්‍යනුකූල නොවන මනුෂ්‍ය ඝාතන මෙන්ම මාධ්‍ය මර්දන කටයුතුවල නියැළුනන්ට දඞුවම් නොලැබීම හරහා මතුවුණු නිර්මුක්ති සංස්කෘතිය ද මෙයට හේතු පාදක විය.
අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජීවත්වීමේ අයිතිය යන මූලික මානව අයිතීන් නිදහසේ වේදිකාවේ අඩිතාලම වන්නේය.
සියළු දේශපාලන ආයතන හා කි‍්‍රයාදාමයන් පුරවැසියන්ගේ පුර්ණ සහභාගීත්වය සඳහා විවෘත, ජන කොටස්වල විවිධත්වය හඳුනා ගන්නා සහ එය පිළිබිඹු කරන, ඔවුන් ගේ දුක්ගැනවිලි වලට ආමන්ත‍්‍රණය කරන සහ අපේක්ෂාවන්ට ඉඩ දෙන්නක් විය යුතුය. ශී‍්‍ර ලංකාවේ සියළු පුරවැසියන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් දක්වනු ලබන මූලික අයිතිවාසිකම් බුක්තිවිදීමේ අයිතිය තහවුරු කළ යුතුය.
ඒ අනුව අප රටේ සාමය, යහ පාලනය හා සමාජ සාධාරණත්වයට මඟ පෙන්වීම සඳහා නිදහසේ වේදිකාව විසින් පහත දැක්වෙන පංචවිධ ප‍්‍රතිපත්ති කෙරෙහි තම කැපවීම ප‍්‍රකාශ කරනු ලබයි.

01.ජන සහභාගී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම
x විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය.
x ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ වගකීම තහවුරු කෙරෙන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කළ යුතුය.
x කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධූරයන් අඩු කළ යුතුය.
x ජනවාර්ගික ගැටුම විසදාලීමට අදාළව බලය බෙදීම පදනම් කරගත් රාජ්‍යය ප‍්‍රතිව්‍යුහකරණය කළ යුතුය.
x අසාධාරණයන්ට ලක් වූවන්ට සමානත්වය තහවුරු කිරීම පිණිස විශේෂ විධි විධාන ඇති කළ යුතු අතර විශේෂයෙන් සියළු තීරණ ගැනීමේ මණ්ඩල තුළ කාන්තා නියෝජනය සහ සහභාගීත්වය වර්ධනය කළ යුතුය.

02.යහ පාලනය, නීතියේ ආධිපත්‍ය සහ විනිවිදභාවය තහවුරු කිරීම
x ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ආරක්ෂා කළ යුතුය.
x 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් කි‍්‍රයාත්මක කිරීම හරහා පොලිස් සහ පරිපාලන සේවය දේශපාලන ඇගිලි ගැසීම් වලින් මුදා ගත යුතුය.
x ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවිය යුතුය.
x තොරතුරු ලබා ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීති සම්මත කළ යුතුය.
x අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුය.

03.ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය වර්ධනය කිරීම
x සියළු ජනවර්ගයන්ගේ සමානත්මතාවය පිළිගන්නා බලය බෙදාහැරීම මත පදනම් වූ දේශපාලන විසඳුමක් වහාම ගෙන ආ යුතුය.
x ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය සංකේතය මගින් පුද්ගලයන්ගේ විවිධත්වය මත පදනම් වූ එක්සත් බව පිළිඹිබු විය යුතුය.
x අවතැන්වූවන්ගේ ආත්ම ගරුත්වය සුරැකිය යුතුය.
x යුද ගැටුම් වලින් අවතැන්වූවන් නැවත පදිංචිකරවීම සහ පුනරුත්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට අනුකූලව කි‍්‍රයාත්මක කළ යුතුය.
x රාජ්‍ය භාෂා නීතිය අර්ථාන්විත ලෙස කි‍්‍රයාත්මක කළ යුතුය.

04.ආර්ථික හා සමාජ සාධාරණත්වය
x ජනගහනයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන කොටස්වල ජීවන තත්ත්වය සහ අභිවෘද්ධිය තහවුරු කිරීම සඳහා කි‍්‍රයාත්මක වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.
x රටේ ආර්ථිකයේ විභවතාවය වර්ධනය කිරීම සඳහා සමාජ වගකීම් සහිත වෙළදපොළ ආර්ථිකයක් ප‍්‍රවර්ධනය කළ යුතුය.
x තිරසාර සංවර්ධනය සහ කෘෂිකාර්මික විධික‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම හරහා ආහාර සුරක්ෂිතභාවය සහ පරිසරය ආරක්ෂා කළ යුතුය.

05.මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස සුරැකීම
x අතුරුදහන්කරවීම්, පැහැරගෙන යාම් සහ නීති විරෝධී ඝාතනයන් සම්බන්ධ පරීක්ෂණයන් වහා පවත්වා වරදකරුවන් නීතියේ ඉදිරියට ගෙන එ්ම හරහා වරදින් නිදොස් කිරීමේ සංස්කෘතිය වහා අවසන් කළ යුතුය.
x ජාතික ආරක්ෂාව සඳහා පනවා ඇති නීති, හදිසි නීති විධි විධානයන් ඇතුළු සියළු නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
x ශී‍්‍ර ලංකා රාජ්‍යය අපකීර්තියට පත් නොවනු පිණිස අප විසින් පිළිගෙන ඇති සියළු ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රඥප්තීන් ගරු කළ යුතුය.
x ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කරන නීතියක් වහාම සම්පාදනය කළ යුතුය.
x මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහි හිංසනය වහා නැවැත්විය යුතුය.
x මහජන සේවා මාධ්‍ය සම්ප‍්‍රදායක් සැලසුම් කිරීම හරහා රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ඒකාධිකාරය පරිවර්තනයට ලක් කෙරෙන නව මාධ්‍ය සංස්කෘතියක් බිහිකළ යුතුය.
x පුවත්පත් මණ්ඩල පනත වහා අහෝසි කළ යුතුය.

Back to samabima
view pdf
Back to platform